බදු වැටට වෙට්ටු දාන බීඩි-සුරුට්ටු කතන්දරේ | Page 4 | සිළුමිණ

බදු වැටට වෙට්ටු දාන බීඩි-සුරුට්ටු කතන්දරේ

සුගිය සතියේ 'මෙරට' බීඩි කර්මාන්තය ගැන ආකර්ෂණීය පුවත් කිහිපයක් වාර්තා විය. එයින් මුල් පුවත වාර්තා වූයේ සමස්ත ලංකා බීඩි හා සුරුට්ටු නිෂ්පාදකයින්ගේ හා බීඩි කොළ ආනයනකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් නිසාය. ඔවුන් ඉල්ලා සිටියේ බීඩි එතුම් කොළ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම නිසා රජයට වසරකදී අහිමි වන රුපියල් කෝටි 525කට අධික බදු මුදල අයකර ගැනීම සඳහා ජනාධිපතිවරයාට මැදිහත් වන ලෙසය.

බීඩි එතීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන තෙන්දු කොළ කිලෝවකට රුපියල් 6,000ක සෙස් බද්දක් අයකරන හෙයින්, එම කොළ කිලෝවක් රුපියල් 9,500ක් පමණ වන බව ද එම සංගමය ජනාධිපතිවරයාට කරුණු දක්වා ඇත.

බෝට්ටුවකින් හොර පාරෙන් ගෙනෙන බාල වර්ගයේ තෙන්දු කොළ කිලෝවක් රුපියල් 5,700ක් පමණ මිලකට කළු කඩයෙන් ලබාගත හැකි බව ද එම නීති විරෝධී ආනයනය නතර කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ද එම සංගමය ඉල්ලා ඇත.

බීඩියකට රුපියල් 3.50ක ඍජු බද්දක් අය කිරීමෙන් රජයට වසරකට රුපියල් කෝටි 3. 50කට අධික ආදායමක් ලැබෙන අතර, එය දැනට ලබන බදු ආදායමට වඩා රුපියල් කෝටි 353කට වැඩි මුදලකැයි ද බීඩි හා සුරුට්ටු නිෂ්පාදකයන්ගේ සංගමය ජනාධිපතිවරයාට කරුණු දැක්වීමත් සමඟ බීඩිය දෙස කාගෙත් ඇස යොමුවන්නට විය.

බීඩි ගැන මෙවැනි දැඩි අවධානයක් යොමු වූයේ සිගරට් මිල වැඩිවීමත් සමඟය. බීඩී යනු සිගරට්වලට ඍජු ආදේශකයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ 20,000කට වගකිව යුත්තා වී ඇත්තේ දුම්කොළ නිෂ්පාදනයන්ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණවලින් 55කම වගකීම භාරගත යුත්තේ දුම්කොළය. දුම්කොළ පරිභෝජනය, ශ්‍රී ලංකාව තුළදී ප්‍රධාන ආකාර තුනකට සිදුවේ. සිගරට්, බීඩි හා බුලත් සැපීමේදී යන එම ආකාර තුනෙනුත් ප්‍රධාන මාරක ස්ථානය වී ඇත්තේ සිගරට් බීමය. ඒත් දැන් ඒ අභිභවා බීඩිය මේ මරණවලට හේතුව වී ඇත.

මෙම තත්ත්වය හමුවේ දුම්පානයෙන් සමාජය ඈත් කිරීම සඳහා වන ක්‍රියාකාරකම්වලට කාලයක් පුරාවට ලෝකයා යොමු වී ඇත. 2005 වසරේදී ශ්‍රී ලංකාව ඒ සඳහා වන නීති රීති සම්මත කරගත් අතර වයස අවුරුදු 21ට අඩු පුද්ගලයන් සඳහා දුම්වැටි අලෙවියත්, ඔවුන් අතර ඒවා ප්‍රවර්ධනය කිරීමත් තහනම් කිරීම, දුම්වැටි ප්‍රචාරණය, ප්‍රවර්ධන ක්‍රියාකාරකම් හා අනුග්‍රාහකත්ව තහනම් කිරීම, වෙන්ඩින් යන්ත්‍ර හෙවත් ස්වයංක්‍රියව ක්‍රියාකරන සිගරට් මිල දී ගත හැකි යන්ත්‍ර තහනම් කිරීම, සෞඛ්‍යාරක්ෂිත නිවේදන සඳහා දුම්වැටි නිෂ්පාදන සමාගම් ස්වේච්ඡාවෙන් යොමු කිරීම හා ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කිරීම සිදුවිය.

මෙරට ඉතිහාසයේ මුලින්ම සුද්දන් ලංකාවට සිගරට් හඳුන්වාදී හන්දිගානේ නොමිලේ බෙදා හැරියේ 'නිකං දෙනවා නම් හෙම්බිරිස්සාව වුණත්' ගන්නා සිංහලයාගේ මානසිකත්වය හඳුනාගෙන තිබුණ නිසාය. ලංකාවට මුල්ම වල් නාශක කෘමි නාශක හඳුන්වාදී තිබුණේ ඩඩ්ලි සේනානායක යුගයේය. ඒ සංදියේ ආණ්ඩුව ජනතාවට දුන් පණිවුඩය 'නිකං දෙන අස්සයගේ දත් බලන් නැතුව ඔය පිනට හම්බවෙන කෘමි නාශක - වල් නාශක ටික ගහල දාපල්ලා' යන නියෝගයයි.

ඉතිහාසය පුරා මෙරට පාර්ලිමේන්තුවේ වසරකට වරක් කියවෙන අය වැය වාර්තාව අසන්නට රේඩියෝ සිලෝන් එක වටා ජනතාව රොක්වූ යුගයක් ද විය. වයර්ලස් සැට් එකට හොඳවායින් බැටරි දෙකක්ම දවාලියේ චාර්ජ් කර ගත්තේ රාත්‍රී ජාමේ අය වැය වාර්තාව ඇසීමටය. මේ අය වැය වාර්තාවේ අනිවාර්ය අංගයක් වූයේ අරක්කු - සිගරට් මිල ඉහළ දැමීමය. ඒ නිසා අරක්කු - සිගරට් තොග අය වැයට පෙර තොග පිටින් සඟවා තැබීමට ජාවාරම්කරුවන් සංවිධානාත්මක විය. එහෙත් ඇන්. ඇම්. වරක් අය වැයෙන් සිගරට් මිල අඩු කිරීම නිසා ජාවාරම්කරුවන් වැටුණේ ලොකු අමාරුවක බව කියැවේ.

දුම්වැටි පානය හේතුවෙන් දිනකට ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් කෝටි 15ක අලාභයක් සිදුවන බව මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ඇඩික්) විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මීට කලකට ඉහත සඳහන් කොට ඇත.

මෙරට දුප්පත්කමට හේතු වී ඇති ප්‍රබලතම සාධකය වී ඇත්තේ දුම්වැටි පානය බවත් සමෘද්ධිලාභීන් තමන්ට රජයෙන් ලැබෙන සමෘද්ධි දීමනාව මෙන් දෙගුණයකට අධික මුදලක් දුම්වැටි පානය සඳහා වැය කරන බවත්, සුමනසේකර ඒ අවස්ථාවේ තාර්කිකව තහවුරු කොට ඇත. 2002 වසරේදී සමෘද්ධිලාභීන් සඳහා වන දීමනා වශයෙන් රජය රුපියල් කෝටි 840ක මුදල් ප්‍රතිපාදන ලබාදෙන විට සමෘද්ධිලාභීන් රුපියල් කෝටි 1825ක මුදලක් දුම්වැටි පානය සඳහා වැය කර තිබූ බව සුමනසේකර සඳහන් කළ බව අප අමතක නොකළ යුතුය.

ශ්‍රී ලංකාවේත් මහජන සෞඛ්‍යයට ප්‍රබල තර්ජනයක් දුම්කොළ හරහා එල්ලවී ඇත. 2009 සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිල ප්‍රකාශනයකට (Brief Profile on Tobacco Control in Sri Lanka) අනුව වසරකට දුම්පානය නිසා හටගන්නා රෝගාබාධ නිසා අවම වශයෙන් 20,000ක් දෙනා අකාලයේ මිය යන බව සඳහන්ය. සාමාන්‍යයක් ලෙස ගතහොත් දිනකට 56 දෙනකුට සමානය.

රාජ්‍ය නොවන සංවිධානයක් වන මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු කේන්ද්‍රය (ADIC) මෙරට දුම්පානය හා මත්පැන් පානය ගැන වසරකට දෙවතාවක් බැගින් වෙනම සමීක්ෂණ පවත්වා තිබේ. 1998 සිට සිදු කර ඇති සමීක්ෂණ ප්‍රතිඵල අනුව පෙනීගොස් ඇත්තේ දුම්පානය කරන ජන ප්‍රතිශතය ටිකෙන් ටික අඩුවන බවයි. අවසන් සමීක්ෂණය වයස 14ට වැඩි පිරිමි 2465 දෙනකු එයට හවුල් කරගනු ලැබීය. එහි ප්‍රතිඵලවලින් මෙරට දුම්පානයේ ප්‍රවණතාව ගැන දළ ඉඟියක් ලද හැකියි.

දැනට දුම්පානය කරන අයගේ ප්‍රතිශතය සාම්පලයෙන් 32.5%ක් වුණා. එහෙත් වයස 40ට වැඩි පිරිස අතර එය 36.7%ක්වූ අතර වයස 15 - 24 අතර පිරිසේ දුම්පානය කළේ 26.9%ක් පමණයි.

දුම්බොන අයගෙන් තුනෙන් එකකටම ඒ සඳහා හරිහමන් හේතුවක් නැත. තවත් 31% කීවේ පුරුද්දට දුම්බොන බවයි. ඉතිරි හේතු වූයේ සන්තෝෂයට (19%), සමාජශීලී වන්නට (14%), ප්‍රශ්න අමතක කරන්නට (3.4%) හා මිතුරු බලපෑම් නිසා (1.1%) බව මෙකී අවසන් පරීක්ෂණය තහවුරු කොට ඇත.

බීඩි ගැන පසුගිය සතියේ තහවුරු වූ ප්‍රවෘත්තිය වූයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ 600 දෙනකු බීඩිය ගැන ඇස ගසාගෙන සිටින බවය. අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පසුගිය ජූලි 12 වැනිදා ප්‍රකාශ කළේ එදින සිට සුරාබදු නිලධාරීන් 600ක් බීඩි බදු එකතු කිරීම සම්බන්ධයෙන් මාසයක කාලයක් අනුයුක්ත කර සිටින බවය.

නියමිත පරිදි රජයට බදු ගෙවිය යුත්තන් හඳුනා ගැනීම බදු පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ බීඩියක් මත රුපියල් දෙකක් බැගින් වූ සුරා බද්ද අයකර ගැනීමේ ප්‍රගතිය පිළිබඳ සෑහීමකට නොහැකි නිසා මෙලෙස මාසයක කාලයක් අදාළ ස්ථාන අධීක්ෂණය කරන බව කපිල කුමාරසිංහ පවසන ලදී.

බීඩි කොළ සහ එම කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍ය ආනයනය කරන්නන්, බීඩි නිෂ්පාදකයන් සහ නිෂ්පාදිත බීඩි ගබඩා කරන ස්ථාන ආදී සියල්ලම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්කරන බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසූ අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විශේෂිත ඒකකයක් මේ වෙනුවෙන්ම වෙන් කර ඇති බවත් අදාළ අධීක්ෂණ කටයුතු ඒ හරහා සිදුකරන බවත් පවසන ලදි.

මෙම මසක කාලයක අධීක්ෂණ ක්‍රියාමාර්ගය හරහා අපේක්ෂා කරන ප්‍රධානම කාරණාව වන්නේ රජය විසින් බීඩි මත අයකර ගැනීමට බලාපොරොත්තු වන සමස්ත ආදායම වසර අවසානය වන විට මහා භාණ්ඩාගාරයට අය කර ගැනීමට හැකිවන ආකාරයේ ප්‍රායෝගික ක්‍රමවේදයක් සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රායෝගිකව සකසාදීමය.

මෙරට බීඩි වෙ‍ෙළඳපොළට බදු දැල වැටෙන්නට ප්‍රධාන හේතුවක් වන්නේ බීඩි අලෙවිය සිගරට් අලෙවිය පසුකර යාමය. එසේ නම් අප මුලින්ම කළ යුත්තේ සිගරට් වෙළෙඳපළේ ඇති මිල ගණන් සසඳා බැලීමය.

මෙරට වෙළෙඳපළ තුළ දැඩි වැඩිම මිලකට අලෙවි වන සිගරට්ටුව රුපියල් 135/=කි එය ඩන්හිල් සුවිට්ය. 

“මේ සුවිට් කියන්නේ මොනාද” සිගරට් වෙළෙන්දකුගෙන් අසා සිටියෙමි.

“ඩන්හිල් ඒකේ ෆිල්ටරේ ළඟ බට්න් එකක් තියෙනවා. සිගරට් එක පත්තු කරල බට්න් එක එබුවාම කූල් එකක් එනවා ඉස්සර මැටර්හේන් වගේ.”

ඩන්හිල් සිගරට්ටුව 'ඩබල් ස්විට්' නමින් ප්‍රභේදයක් ද අපට දැක ගත හැකි විය. ලංකාවේ නම් දරාපු සිගරට් වර්ගය වූ 'බ්‍රිස්ටල්' නම් දැන් දැකීමට නැත. ඒ නිසා කොළම බ්‍රිස්ටල් වීදියටත් වෙනත් නමක් දමා තිබුණේ දුම්කොළ සහ මද්‍යසාර පනත අනුව යයි ඔබ වරදවා වටහා ගත යුතු නැත. එදා සිගරට් වෙළෙඳපළ රජ කළ ෆෝ ඒසස් වැනි සිගරට් වර්ග නම් දැන් වෙළෙඳපළේ දකින්නටවත් නැත.

දැන් ගෝල්ඩ් ලිෆ් සිගරට්ටුවක මිල රුපියල් 125/=කි අපි හිතං හිටියේ 'බඩි' ඇත්තේ බීම බෝතල්වල කියාය. ඒත් ගෝල්ඩ්ලිෆ් සිගරට් එකේ ද බඩියක් ඇත. ප්‍රමාණයෙන් කොට මෙහි මිල රුපියල් 85/=කි. නව ගෝල්ඩ් ලිෆ් බඩිය, ෆිල්ටරය නැති තද දුම්කොළ ආශ්වාදකයින් අතර ජනප්‍රිය නැවිකට් එකක මිල රුපියල් 55/=කි. බීඩි ආක්‍රමණයෙන් පොදු ජනතාව බේරා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නිෂ්පාදිත සිගරැට්ටුවක් ද ඇත. මේ සිගරට් හාදයාගේ නම 'කැප්ටන්'ය. රුපියල් දහයේ කාසි තුනක් කඩේ මුදලාලිගේ අතේ තැබීමෙන් මේ කැහි කූරක් තමා සතු කර ගත හැකිය.

සිගරට් මිල ඉහළ ගිය කාලෙක සුදු බීඩිය වෙළෙඳපළට ආවේ කලකට ඉහතය. එය පෙනුමෙන් සිගරට්ටුවට සමාන විය. වෙනසකට තිබුණේ ෆිල්ටරයක් නැති කැප්ටන් සිගරට්ටුවක් මෙන් පෙනී සිටීමය. එහෙත් 'සුදු බීඩියට' වැඩිකල් වැජඹීමට මෙරට සිගරට් ඒකාධිකාරය ඉඩ දුන්නේ නැත. නීතියේ ආනුභාවයෙන් 'සුදුබීඩිය' වෙළෙඳප­‍ෙළන් පලවා හරින ලදී.

සිගරට්ටුවේ මිල ඉහළ ගිය තරම කිවහොත් 'දුමට ඇබ්බැහි වූ' විධායක නිලධාරීන්ට ද අන්තිමට බීඩි බොන්නට සිදු වූයේ කවුරුත් නොසිටින ගොම්මන් මණ්ඩියක සිටය. බීඩිය ඉරුවත් එක්සෙකටිව් සුදු ෂර්ට් එකට උරා ගත් බීඩි ගඳ නම් අරින්නට පර්ෆියුම් ගැහුවත් හැකි වුණේ නැත.

බීඩි තොග කඩ ඇත්තේ පිටකොටුවේ ගබෝස් ලේන් එකත් කදිරේෂන් වීදියත් අසලය. කලක් මෙරට බොහෝ සාහිත්‍යවේදීන් අතරත් ජනප්‍රිය වූයේ සුරුට්ටුය. ඒ අතරින් 'තන්ෂර්' නමැති සුරුට්ටු පෙට්ටි අසුරා ආවේ කුඩා ලීවලින් හැදූ පෙට්ටිවලය. අද මේ සුරුට්ටුවක මිල රුපියල් 25කි. දොදොල්, මස්කට්, පොලවල්වලට ගෙනා මීගමුවේ ආච්චිලා එදා හප හපා ඉරුවේ කළු සුරුට්ටුවය. කළු සුරුට්ටුවක් කළු තෙලේ දමා පදන් කළ විට කළු සුරුට්ටුවක් බී හමාර කිරීමට ගිනිපෙට්ටියක් පමණ අවශ්‍යය. එම සුරුට්ටු කදිරේෂන් වීදියේ රුපියල් 10 සිට රුපියල් 40 දක්වා අලෙවි වූයේ දුංකොළයේ කොලිටිය අනුවය. ඒ බෙහෝ කළු සුරුට්ටු ගෙනවිත් තිබුණේ යාපනයේ සිටය. කළු සුරුට්ටු විකිණීමට දමා තිබුණේ එදා කඩවල සව්බොර දමා තිබූ තඩි වීදුරු බෝතල්වලය.

මේ අතර පසුගිය 12 වැනිදා බීඩි ආයනය පසුපස සුරාබදු නිලධාරීන් 600ක් යෙදවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බීඩි නිෂ්පාදනය සහ බීඩි දුම්කොළ ආනයනය කරන්නන්ගේ සංගමයේ ලේකම් ඉන්දික විමලරත්න කළ විමසුමකදී පැවසුවේ නියමිත පරිදි රජයට බදු ගෙවිය යුත්තන් හඳුනා ගැනීම බදු පැහර හරින පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම යන කරුණු මුල්කරගෙන සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකරන මෙම අධීක්ෂණ වැඩපිළිවෙළට තම සංගමයේ කිසිදු විරෝධත්වයක් නොමැති බවත් මෙම දෙපාර්තමේන්තුව සිදුකිරීමට යන කටයුත්තට බීඩි කර්මාන්තකරුවන් ලෙස සියලු දෙනා එකඟ වන බවත්ය.

මේ අතර මෙරට බීඩි වෙළෙඳපළ නිරීක්ෂණයේදී පෙනී ගියේ බීඩි නිෂ්පාදකයන්ගේ කොම්පැනි 14ක් පමණ තිබෙන බවය. එහෙත් එයින් කප් ගසා ඇත්තේ තෝරා බීඩි වර්ගයකි. බීඩියක මිල වී ඇත්තේ රුපියල් 12ක් අතරය. බීඩි වෙළෙඳපලේ කප් ගසා ඇති වෙළෙඳ නාමයට ඇති ඉල්ලුම ගැන අප අසා සිටියේ ආදුරුප්පුවීදියේ පෙට්ටි කඩයකිනි. ‍

“බොසාට කියන්න බසාර් එකේ තියෙන සැරම බීඩිය තමයි මේක, කුඩ්ඩො මේවා අරන් යන්නේ මිටි ගණන්. කුඩු සික් එක මේ බීඩිය ගැහුවාම බහින්නේ නැතුව තියෙනවාලු.”

වෙළෙඳප‍ෙළ් බීඩි පැකට්ටුවක ඇති බීඩි ගණන 400කි. ජනප්‍රිය බීඩි වර්ග මිටියක් නොහොත් බණ්ඩලයක මිල රුපියල් 2800 ත් 3000ත් අතරය.

මේ බීඩි අතර රුපියල් 1500 - 2000 අතර බීඩි බණ්ඩල් ද ඇත. අපි ඒ ගැන බීඩිම විකුණන ගෑස්පහ හන්දියේ 'ඩිමො බට්ටා ලෙරියක' තසිර්ගෙන් අසා සිටියෙමි.

“ඔය අඩුවට ගන්න බීඩි 1000 ක් ගත්තොත් 400 ක් විතර ඩැමේජ්. ඒ හින්ද අපි ඒවා දැන් ගන්නේ නෑ. සමහර බීඩි ඇතුළේ දුම්කොළ නෑ. ඊට වැඩිය නමක් තියෙන බීඩියක් වැඩිගාණට අරන් වික්කත් ලාභයි.”

මේ ප්‍රකාශය අපට ඇසුණ විට අපේ මතකයට ආවේ බීඩි නිෂ්පාදකයන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව කළ ඉල්ලීමය.

බීඩි කර්මාන්තය ආරක්ෂා කරගැනීම සඳහා බීඩි මිල ඉහළ දැමීම අනිවාර්ය වන අතර, අඟල් දෙකේ රතු නූල සහිත කුඩා බීඩියක් රුපියල් 12.50කට ද අඟල් දෙකයි කාලක් දිග බීඩියක් රුපියල් 15කට ද සහ අඟල් දෙක හමාරේ බීඩියක් රුපියල් 16කට ද සිල්ලරට අලෙවි කළ යුතු බව ද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇත.

එමෙන්ම ලියාපදිංචි අංකය නොමැති බීඩි විකිණීමට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගැනීම් සහ වැටලීම් සිදු කළ යුතු බව ද එම සංගමය කියා සිටි බව අප මතකයට ආවේ මේ බාල බීඩි ගැන වෙළෙන්දුන් කළ ප්‍රකාශයත් සමඟය.

වෙළෙන්දකුට හොඳ ඩිමාන්ඩ් බීඩි බණ්ඩලයක් විකිණීමෙන් ලබාගත හැකි ලාභය රුපියල් 800/=කි. සිගරට් පෙට්ටි තිබුණත් බීඩි ඇත්තේ මිටි ලෙසය. බීඩි ‍වෙළෙන්දන් බීඩි මිටියක් විකුණනවාට වඩා එක බීඩිය බැගින් විකුණන්නට ඉතා කැමතිය. එයින් වෙළෙන්දාට 150%ක පමණ ලාභයක් ලැබිය හැකිය. බීඩි විකුණන පැකේජ ද ඇත. ඒ හොඳ බීඩි සඳහාය. ඒ 25ට 2යි. 40ට 4යි ආදී වශයෙනි.

සිගරට් ගෝස් ලෙස පැකට් 144 ඇති බණ්ඩල් ආවරණය කරන්නේ සෙලෝෆේන් ආවරණයකය. ඒත් බීඩි බණ්ඩල් 100ක් අසුරා එන්නේ හනනූල් ගෝනිවලය. අපි මුලින්ම ඇසුවේ කොකා කෝලා බඩී බෝතලයයි. ඊට පස්සේ ගෝල්ඩ්ලිෆ් බඩී සිගරට්ටුවක මෙන්ම දැන් බීඩී බඩියක් ද වෙළෙඳපළ ආක්‍රමණය කිරීමෙන් තහවුරු වන්නේ සිගරට් මිල දරාගත නොහැකි ජනතාවට ඊට ආදේශයක් වූ බීඩි මිල ද දරාගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව නොවේද?

Comments