අපේ ලී පදම් කර රට පටවා ලංකාවට ඩොලර් ගේන දිරිය මිනිසා | Page 4 | සිළුමිණ

අපේ ලී පදම් කර රට පටවා ලංකාවට ඩොලර් ගේන දිරිය මිනිසා

ද ඔබට හඳුන්වා දෙන්නට යන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු පදම් කළ දැව අපනයනය කර රටට ඩොලර් ගෙන නව මාවතක් විවර කළ ව්‍යවසායකයකු පිළිබඳවය. ඔහුගේ ඇති විශේෂත්වය වන්නේ ඔහු විසින් අපනයනය කරන දැව, පිවිතුරු හරිත පරිසරයක් ගොඩනැඟීම තේමා කරගනිමින් මීට වසර කිහිපයකට ප්‍රථම ආරම්භ කළ “තුරු ප්‍රජාව”නම් හරිත වන උයන් රැක ගැනීමේ ව්‍යාපෘතිය මඟින් ඉවත් කෙරෙන ෆයිනස් ශාකය මේ සඳහා යොදා ගැනීමයි. ඒ අනුව මෙම මාහැඟි කර්තව්‍ය හරහා හෙතෙම පරිසරයට ප්‍රතිලාභයක් අත්කර දෙනවා සේම මෙරට ආර්ථික උන්නතියටද දායකත්වය ලබා දෙයි. 

හෙතෙම වෘත්තියෙන් ලී ව්‍යාපාරිකයකු වූ ඩී. පී. සතරසිංහ සහ දයාවති ලියනගේ මහත්ම මහත්මීන්ට දාව 1960 අගෝස්තු 14 වැනිදා නොම්බර 63, ගලවිල පාර, මාලපල්ල, පන්නිපිටිය ග්‍රාමයේදී උපන් අරුණ කීර්ති උදය කුමාර සතරසිංහ ය. තම පියාණන් 1977 වසරේදී ලී ව්‍යාපාරයට සමුදීමට තීරණය කිරීමත් සමඟ ඔහු එකී ව්‍යාපාරය තවදුරටත් පවත්වා ගෙන යාමට තීරණය කළේය. පන්නිපිටිය මාකුඹුර ග්‍රාමය තුළ පවත්වා ගෙන ගිය මේ ලී ව්‍යාපාරය 1977 දී මැතිනිය ප්‍රමුඛ කොටගත් සමඟි පෙරමුණ ආණ්ඩුව පෙරළී එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණීමත් සමඟ එතෙක් පවත්වා ගෙන ආ තේක්ක වන වගාව නතර කරදැමීමට තීරණය කිරීමත් සමඟ අර්බුදයට ගියේය. මේ නිසා අරුණ රාජ්‍ය දැව සංස්ථාවේ කොන්ත්‍රාත්කරුවකු ලෙස ලියාපදිංචි විය. ඒ වන විට අරුණ වයස අවුරුදු 18ක නවයොවුන් තරුණයෙකි. මේ කාලයේ කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීමට සැලසුම් සකස් වෙමින් තිබුණි. මෙනිසා පොළොන්නරුව හබරණ ආදී ප්‍රදේශවල කැළෑ හෙළි කළ හෙයින් ඒවා කැපීමේ කොන්ත්‍රාත්තුව අරුණට හිමි විය. පසුව සිංහරාජයට මායිම් ව ඉංගිරිය ප්‍රදේශයේ වන වගාව ඉවත් කිරීමට පියවරගත් අතර එහිදී ද කොන්ත්‍රාත්කරුවකු වශයෙන් කටයුතු කළ අරුණ සමනල වැව ව්‍යාපෘතියේ ද කොන්ත්‍රාත්කරුවකු විය. මේ අතරතුර මැලේසියාවෙන් කෙම්පස් ලී ගෙන්වා විකිණීමට අරුණ කටයුතු කළේය. මෙලෙස 1990 දී මැලේසියාවෙන් ගෙන්නූ කෙම්පස් ලී තොගයක් නිදහස් කර ගැනීමට අරුණ සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී හැව්ලොක් ටවුන්හිදී අනතුරකට ලක් විය. ජාතික රෝහලට ඇතුළත් කළ අරුණ එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර තම ව්‍යාපාරය පිළිබඳ වෙනස් තීරණයකට එළැඹියේය. ඒ ගස් කැපීමේ කොන්ත්‍රාත් කටයුතුවලින් ඉවත් වී ලී මෝලක් ආරම්භ කිරීමටය. රෝහලේ සිටින අතරතුර පුවත් පත් ගෙන්වාගෙන කියැවීමට පුරුදුව සිටි අරුණ, සුබසෙත පුවත්පතේ පළවී තිබූ ප්‍රවෘත්තියක් දුටුවේය. එම ප්‍රවෘත්තිය මඟින් කියැවුණේ ව්‍යාපාරයකට හොඳ නැකතක් පිළිබඳවය. ලී මෝලක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි අරුණට මෙය මහත් ආස්වාදයක් ඇති කළ ප්‍රවෘත්තියක් විය.

සුවය ලබා රෝහලෙන් පිටව ආ අරුණ සිය පියා වෙත ගොස් “තාත්තේ මට හොඳ ව්‍යාපාර නැකතක් හම්බ වුණා. මං කැමතියි ඒ නැකතට ලී මෝලක් පටන් ගන්න, තාත්තා උදවු කරනවද” ඔහු සිය පියාගෙන් විමසීය. අරුණගේ උනන්දුව හා කැපවීම හොඳින් අවබෝධකරගෙන සිටි පියා ඊට කැමැත්ත පළ කළේය. ඒ අනුව නැකතට අනුව ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා පළමු පස් පිඩැල්ල කැපිණි. ඒ වන විට අරුණ සතුව තිබුණේ පර්චස් 38ක ඉඩමකි. ක්‍රමයෙන් ඉදිවූ ලීමෝලේ කටයුතු කරගෙන යන අතරතුර ලී පදම් කිරීමේ ආශාවක් අරුණට ඇති විය. අරුණ ලී පදම් කරන තැන් සොයා ලංකාව වටේම කරක් ගැසුවේය. තමුත් ඔහුට ලී පදම් කරන ස්ථාන හමු වූයේ තුනක් හෝ හතරක් පමණි. ඔහු ඒ ස්ථාන වෙත ගොස් ලී පදම් කරන ආකාරය අධ්‍යයනය කළේය. එවක කොස්ගම පිහිටි තුනී ලෑලි සංස්ථාවේ කටයුතු කළ කාර්මික ශිල්පියකු හඳුනාගත් අරුණ තමන් මෙතෙක් උකහාගත් දැනුම කැටි කර ලී පදම් කිරීමේ කටයුතු ආරම්භ කළේය.

මුලින්ම රබර් ලී පදම් කිරීමට යොමු වූ අරුණ පිළියන්දල පිහිටි මැක්පැක් ආයතනයට මේ පදම් කළ ලී ලබා දුන්නේය. ඔවුන් කළේ ඒවා පිටරටවලට යැවීය. මින් ලැබූ ආදායම ගොඩක් වාසිදායක වූ නිසා ඔහු ක්‍රමයෙන් ලී ව්‍යාපාරය පුළුල් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව අක්කර දෙකක් දක්වා විශාල භූමියක අති නවීන පන්නයේ ලී ඉරන යන්ත්‍ර, ලී පදම් කළ හැකි යන්ත්‍ර හා පදම් කළ ලී බොයිලේරු මඟින් උණුසුම් කර ක්ෂණිකව වියළිය හැකි ගබඩා මෙන්ම කුඩා ලී කැබලි එකට පුරුද්දා විශාල ලෑලි සෑදිය හැකි යන්ත්‍ර කිහිපයක්ද සවි කළේය. 

නමුත් මැක්පැක් ආයතනය 1997 වසරේදී වසා දැමීමත් සමඟ අරුණ විශාල අර්බුදයකට මුහුණ පෑවේය. ඒ පිළිබඳ අරුණ සිළුමිණට පැවසුයේ මෙවන් අදහසකි. “මැක්පැක් එක වසා දැමීමත් සමඟ මං මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉද්දී මට යාළු­‍ෙවකු මාර්ගයෙන් ප්‍රංශ ජාතික ගැනුම්කරුවකු මුණ ගැසුණා. ඔහු කළේ ගෘහ භාණ්ඩ හා ලී සෙල්ලම් බඩු ප්‍රංශය ඇතුළු යුරෝපා රටවලට යැවීමයි. මම ඒ ප්‍රංශ ජාතික ගැනුම්කරුවා මාර්ගයෙන් ගෘහ භාණ්ඩ සහ ලී සෙල්ලම් බඩු හදා පිටරට යවන්න පටන් ගත්තා. ඒ විදියට 2000 අවුරුද්ද වෙනකම් කටයුතු කරමින් සිටියදී ඒ කටයුතු ඇන හිටියා. ඊට පස්සේ මම ආර්පිකෝ එකට ගෘහභාණ්ඩ ලබාදීමට යොමු වුණා. ඒ අනුව පුටු, මේස, කබඩ්, අල්මාරි, ඇඳන්, කණ්ණාඩි මේස ආදිය සැපයීමට පටන් ගත්තා.

ඔය අතරේ සිංගර් එක ගෘහ භාණ්ඩ හදන ෆැක්ටරියක් ආරම්භ කළා. ඔවුන් පදම් කළ රබර් ලී ගන්න මං ළඟට ආවා. ඒ අනුව ආර්පිකෝ එකට ගෘහ භාණ්ඩ දෙන ගමන් සිංගර් එකට ලෑලි දුන්නා. ඒ විදියට ව්‍යාපාරය දියුණු කරගෙන ඉදිරියට ආවා. ඔය අතරතුර මම චීනය, ජර්මනිය, ඇමරිකාව, ප්‍රංශය ආදී රටවල ලී ව්‍යාපාර සම්බන්ධයෙන් පැවැත්වෙන වැඩසටහන්වලට සහභාගි වුණා. ඒ විදියට ගිය ගමනකදි මං දැක්කා කුඩා ලෑලි කෑලි එකට පුරුද්දලා ලී සහ ලෑලි හදන්න පුළුවන් යන්ත්‍රයක්. මේ ක්‍රමය ඒ වෙද්දි සාර්ථක ආකාරයට ලංකාවේ කිසිම ලී ව්‍යාපාරයක යොදාගෙන තිබුණේ නැහැ. ගොඩක් අය ෆැන්ට්‍රි කබඩ්ස් හදන්න ගන්නේ එම්ඩීඑෆ් නැත්නම් ෆ්ලයිවුඩ් බෝඩ්. නමුත් ඒවා ටික කාලෙකින් ගුල්ලෝ ගහලා කුඩු හැලෙන්න ගන්නවා. වතුර වැටුණම ඉදිමිලා කැඩිල යනවා. නමුත් මේ විදියට සකස් කළාම ඒ කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් අපි ඒ විදියට ලෑලි හා ලී හදන්න පටන් ගත්තා. වගකීම් සහතිකයක් එක්ක මේවා දෙන්න යොමු වූ නිසා ලංකාව තුළ ලොකු මාර්කට් එකක් හැදුණා. මේ ක්‍රමය නිසා පොඩි ලී කෑල්ලක්වත් අහක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ ලී ඉරන මැෂින්වලින් පවා අනවශ්‍ය විදියට ලී ඉවත්ව යන්නේ නැහැ. මොකද ඉතාම සියුම්ව තමයි කොටන්වලින් ලෑලි ඉරන්නේ. රවුම් දැති කියතෙන් ලී ඉරද්දී විශාල ලී ප්‍රමාණයක් වැඩකට නැතිව අහක යනවා. විශේෂයෙන් පිට පළුවට. නමුත් මේ ලී ඉරන යන්ත්‍රය නිසා ඉතාම සියුම් පිටපළුවක් තමයි ඉවත් වන්නේ. ඒවා අපි පදම් කළ ලී වියළන බොයිලේරුව සඳහා යොදා ගන්නවා. ඉරීමේදී ඉතුරු වන ලී කුඩු බිම්මල් ව්‍යාපාරය සඳහා ලබා දෙනවා. ඒ නිසා අපේ ලී නිෂ්පාදනාගාරයට එන කිසිදු ලී කොටයක දශමයක්වත් අපතේ යන්නේ නැහැ. මේ නිසා අනවශ්‍ය ලෙස දැව අපතේ යාම වැළැක්වී තිබෙනවා. ඒ සඳහා හේතුවෙලා තියෙන්නේ අප යොදා ගන්නා උසස් තාක්ෂණයයි.

ලී පදම් කිරීමේදී සිදු කරන ප්‍රෙෂර් ට්‍රීට්මන්ට් ගැන මේ ව්‍යාපාරයේ වැඩි දෙනකුට නිසි අවබෝධයක් නැහැ. විශේෂයෙන්ම මේ සඳහා යොදාගන්නා තාක්ෂණය පිළිබඳව. බොහෝදෙනා සිතන්නේ ලීය මතුපිටින් ආලේප කළාම ප්‍රමාණවත් කියලා. ඒක සීයට සීයක්ම අසාර්ථකයි. මොකද ලීවලට හානි කරන කිරිවේයා ඇති වන්නේ ලීය ගැඹුරෙයි. ඔවුන් ලීය ඇතුළතින් විදගෙන එළියට එනවා. ඒ නිසා මේ ට්‍රීට්මන්ට් එක ලීය මතුපිටට වගේම අභ්‍යන්තරයටත් කරන්න ඕන. එකට හයි ප්‍රෙෂර් කෙමිකල් ප්ලාන්ට් එකක් ඕන. ලංකාවේ ලොකුම හයිප්‍රෙෂර් කෙමිකල් ප්ලාන්ට් එක තියෙන්නේ අපේ ළඟ. මේ සඳහා අප යොදා ගන්නා කෙමිකල් එක තමයි ඇමෙරිකාවේ, කැනඩාවේ, ඔස්ට්‍රේලියාවේ පවා යොදා ගන්නේ. මොකද ඒ අය ඉදිකිරීම් බොහොමයක් කරන්නේ දැ‍වවලින්. ඒ නිසා කල් පවතින නිවැසියන්ට හානිකර නොවන කෙමිකල් යොදා ගන්න ඕන. එවැනි උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය තමයි අප ආයතනය විසින් යොදා ගන්නේ. මේ නිසා වසර 50ක තත්ත්ව සහතිකයක් එළිමහනේ ඉදිකරන දැව කටයුතු සඳහා ලබාදෙන්න පුළුවන් වගේම ඇතුළත සියයට සීයක තත්ත්ව සහතිකයක් අපේ නිෂ්පාදන සඳහා ලබාදෙන් පුළුවන් ”

ඇත්තෙන්ම මේ තාක්ෂණය යාවත්කාලීන කිරීමේදී අරුණට විශාලම ශක්තිය බවට පත් වී ඇත්තේ ඔහුගේ පුතුන් දෙදෙනාය. ඒ පුණිත සතරසිංහ හා නිසිත සතරසිංහ ය. පුණිත ලී පදම් කිරීම පිළිබඳ විශේෂ අවබෝධයක් ඇති තරුණයෙකි. පුණිත උසස් ප්‍රමිතිගත ලී පදම්කරණය පිළිබඳව සහතික ලත් ලංකාවේ සිටින එකම පුද්ගලයා වේ. ඔහු ඔස්ට්‍රේලියාවට ගොස් ඒ පිළිබඳ විශේෂ පුහුණු පාඨමාලාවක් හදාරා සිය පියා සමඟ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටියි. මේ වන විට මෙම ව්‍යාපාරයේ වගකීම් විශාල ප්‍රමාණයක් දරන්නේ පුණිත හා නිසිත විසිනි. ඔවුන් දෙදෙනා මේ වන විට ඒ වුඩ් ලංකා ආයතනය හරහා සම්පූර්ණයෙන් දැවයෙන් නිම කළ නිවාස තනාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. නූතන ලෝකයට ගැළපෙන පරිදි ඉතාම සුඛෝපභෝගී ආකාරයෙන් දැවයෙන් පමණක් නිමවා ඇති මෙම නිවාස ඕනෑම අයකුට ඔවුන් ලවා ඉදිකරගත හැකිය. මීට අමතරව සංචාරක හෝටල් සඳහා කබානා ඉදිකිරීමද ඔවුන් විසින් සිදු කරයි. මෙවැනි ඉදිකිරීමක් මාලපල්ලේ පිහිටි ඒ වුඩ් ලංකා ආයතනයට පිවිසෙන ඕනෑම අයකුට නැරඹීමේ පහසුකම් සලසා දී ඇත. ඕනෑම අයකුට ලක්ෂ 35ක් වැනි මිලකට ඔවුන් ලවා මෙවැනි ගෘහයක් ඉදිකරගත හැකිය. 

මේ සියලු කාර්යයන් සාර්ථක කරගැනීමේදී ඔවුන්ගේ ශක්තිය වන තිරය පිටුපස සියලු කාර්යයන් සිදු කරන්නේ අරුණගේ බිරිය වන අජන්තා ශ්‍යාමලී සේනාධීරය. අරුණ සතරසිංහ පවසන්නේ ඇයගේ ආශිර්වාදය, ධෛර්වත් කිරීම හා කැපවීම නොවන්නට මේ කිසිදු සාර්ථකත්වයක් ඔවුන් වෙත ළඟා නොවන බවය.

සිංහරාජ වනාන්තරය ඇතුළු මෙරට විවිධ පළාත්වල පයිනස් ශාකය රෝපණය කර තිබුණේ යටත් විජිත සමයේ දීය. ඒ අනුව සිංහරාජ වනාන්තරය අවට පමණක් හෙක්ටයාර 600ක් පුරා මෙම පයිනස් වගාව ව්‍යාප්තව ඇත. මීට අමතරව වැද්දගල බීට්ටුව, කුකුළේගම බීට්ටුව, රඹුක බීට්ටුව, කලවාන බීට්ටුව යන ප්‍රදේශවලද ෆයිනස් වගාව ව්‍යාප්තව ඇත. මෙම ගස් ක්‍රමයෙන් ඉවත් කරමින් ස්වභාවික වන වගාව කිරීම ආරම්භ වී තිබේ. මෙමඟින් ඉවත් කෙරෙන ෆයිනස් ඒ වුඩ් ලංකා ආයතනය විසින් ලබාගෙන පදම් කර මාලදිවයිනට අපනය කිරීමට පටන් ගෙන ඇත. ඔවුන් සංචාරක කර්මාන්තය සඳහා ඉදිකරන දැවමය නිර්මාණ සඳහා ෆයින්දැව විශාල වශයෙන් යොදාගනී. මෙතුවක්කල් ඔවුන් මෙම දැව ලබාගත්තේ ප්‍රංශය, යුක්‍රේනය හා රුසියාව වැනි රටවලිනි. නමුත් මේ වන විට යුරෝපය මුහුණදී සිටින තත්ත්වය හමුවේ මෙම දැව ගෙන්වීම අධික ලෙස මුදල් වැයවන කටයුත්තක් බවට පත්ව තිබේ. ඉන්දියාවෙන් පහසුවෙන් මෙම දැව ලබාගැනීමට හැකියාව තිබුණ ද ඔවුන්ට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු ලී මේ වන විට නිපදවන්නේ ඒ වුඩ් ලංකා ආතනය මඟිනි. එනිසා මාලදිවයිනට ඔවුන්ගෙන් ලී මිලදී ගැනීමට පෙලඹී සිටියි. මෙය එක් අතකින් අපේ රටේ දැව නිෂ්පාදනයේ ප්‍රමිතිය පිළිබඳ හොඳ තක්සේරුවක් ද වෙයි. එනිසා උසස් තත්ත්වයේ ෆයින් ලී මිලදී ගැනීමට හැකි රටක් ලෙස මෙරට ලී වෙළෙඳපොළ ප්‍රසාරණය වීමට මෙනිසා පසුබිම සකස් වී ඇත. එය මෙවැනි ආර්ථික අර්බුදකාරී සමයක විදේශ විනිමය උපයාදිය හැකි මහඟු ධන උල්පතක් බවට පත්වනු ඇති. මේ වන විට ෆයින් වගාව මඟින් අපට ලබාගත හැකි ලී ප්‍රමාණය ගණනය කර බලන විට රටේ අවශ්‍යතා සඳහා මුළුමණින්ම යොදාගෙන වුවද අති විශාල අතිරික්තයක් පවතී.

එනිසා විදේශ විනිමය ඉපයිය හැකි ඉතා සාර්ථක වෙළෙඳ පොළක් ජාත්‍යන්තර වශයෙන් අත් කර දීමට ඒ වුඩ් ලංකා අයතනය කටයුතු කර තිබේ. මේ වන විට පළමු ඇණවුම ලෙස පදම් කළ ෆයින් ලී කන්ටේනර් පහළොවක් මාස දෙකක් ඇතුළත යැවීමට ගිවිසුම්ගතව ඇත.

එසේම මෙරටට මැලේසියාවෙන් හා ඉන්දියාවෙන් ගෙන්වන පදම් කළ ලී හා ඒ වුඩ් ලංකා ආයතනයේ පදම් කළ ලී සමඟ සසඳන කළ එහි ප්‍රමිතියට කිට්ටු වීමටවත් එකී රටවල නිෂ්පාදනවලට නොහැකිය. ඊට හේතු වී ඇත්තේ එවැනි දියුණු තාක්ෂණයක් යොදාගෙන පදම් කළ ලී මෙරටට ගෙන්වන්නේ නම් විශාල පිරිවැයක් දැරීමට සිදු වීමයි. එනිසා මෙරටට ගෙන්වන්නේ ඉතාම අඩු තාක්ෂණය යටතේ බාල රසායනික යොදා පදම් කළ ලී වර්ගය. ඒ බව අරුණ සතරසිංහ වගකීමෙන් ප්‍රකාශ කරයි.

මෙම ස්ථානයට පැමිණෙන ඕනෑම අයකුට ලී ඉරා යතු ගා ගැනීමට, පදම් කර ගැනීමට හා අවශ්‍ය ආකාරයේ හැඩතල කපා ගැනීමට ද මෙහිදී අවකාශ සලසා දී තිබේ. එසේම ඒ වුඩ් ලංකා ආයතනයට පැමිණ තමන් සතු ඕනෑම ලී වර්ගයක් කල්පවතින උසස් මට්ටමේ ලී බවට පත් කරගත හැකි අතර මෙහි ඇති උසස් තත්ත්වයේ පදම් කළ ලී ඕනෑම ප්‍රමාණයකින් ලබා ගැනීමට ද හැකියාව පවතී. තම ආයතනය මඟින් නිෂ්පාදිත පදම් කළ ලී කැබැල්ලක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගෙන ගොස් පරික්ෂා කර බලා එහි ප්‍රමිතිය ඕනෑම අයකුට දැන ගැනීමට හැකි බව අරුණ සතරසිංහ අවධාරණය කරයි.

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න

Comments