ඵලදායිතාව අඩු ක්ෂේත්‍රවල පූර්ණ පරිවර්තනීය වෙනසකට මඟ | Page 4 | සිළුමිණ

ඵලදායිතාව අඩු ක්ෂේත්‍රවල පූර්ණ පරිවර්තනීය වෙනසකට මඟ

මේ වන විට රජයට පවතින විශාල ම ගැටලුව රජයේ ආයෝජන පිරිවැය වැඩිවීම සහ ආදායම අඩුවිමයි. එනම් ඒ දෙක අතර පවතින පරතරයයි. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමාජය සහනාධාර වෙනුවෙන් රජය දැරීමට අපේක්ෂිත වියදම දැරීමට සිදුවෙයි. මේ වියදම් අනිවාර්යෙන් කළ යුතුයි. ආදායමට වඩා වියදම වැඩි වන්නේ ඒ හෙයිනි. මේ සඳහා වරින් වර මුදල් අච්චු ගැසීම සිදුවිම හරහා ගැටලුව තවත් උග්‍ර වීමක් සිදුවිය.

මේ ගැටලු සමථයකට පත් කිරීමට ආණ්ඩුව පියවර රැසක් ගෙන ඇත. එනම් පසුගිය කාලයේ අනෙක් අංශවලට දෙන ලද ඇතැම් සහනාධාර ඉවත් කිරීමයි. ඒ අනුව සියලු ජනතාවගේ ඒ සහනාධාර කොටස අහිමි විය. කෙසේ වුවත් ණය ප්‍රතිව්‍යුහගත කර ගන්නේ කෙසේද යන ප්‍රධාන කාරණා පිළිබඳ සංවාදයේදී පවතින විශාල අර්බුදය සමනය කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් විවිධ සංවාද විවාද සමාජයේ මතු වී ඇත.

නමුත් කෙටි කාලීන විසඳුම් පිළිබඳ අපි මෙහිදී සාකච්ඡා කළ යුතුයි. මේ විසඳුම් දිර්ඝ කාලීන ප්‍රතිඵලදායක විය යුතුයි. ඒ අනුව පළමුව රජයට ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට හැර අනෙක් රජයට අයත් ආයතන සහ ඒවාට අයත් වාහන කොපමණ පවතින්නේද යන්න ගැන නිවැරැදි සොයා බැලීමක් සිදු කළ යුතුයි. කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා වාහන විශාල සංඛ්‍යාවක් තියෙනවා. රජයේ සියලුම වාහන පිළිබඳ මේ සොයා බැලීම කළ යුතුයි. උපාය මාර්ගික වශයෙන් වැදගත් වන වාහන හැර, එනම් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අතර වන වාහන සහ ඒවාට වන වියදම් හැර, සාමාන්‍ය රජයේ ප්‍රවාහනයට පාවිච්චි වන සියලුම වාහන රජය සහ පුද්ගලික අංශය ඒකරාශී වී එක් සමාගමක් යටතට පැවරීම සිදු කළ යුතුයි. ඉන් අනතුරුව එම සමාගම කුලී රථ සේවාවක් ලෙස එක් සමාගමක් ලෙස ක්‍රියාත්මක කළ හැකියි. ඉන් අනතුරුව ඕනෑම අවස්ථාවක රජයේ නිලධාරීයෙකුට අවශ්‍ය වාහනය ඇණවුම් කර ලබාගත හැකිවන පරිදි සකස් කළ හැකියි.

ඒ අනුව රජයට එක් එක් ආයතනයවලට අදාළව වෙන වෙනම වාහන නඩත්තු කිරීම සිදු නොවෙයි. ඒ ආයතනයේ වගකීම වන්නේ ප්‍රවාහන කටයුතු සිදු කිරීම පමණයි. මේ රජයට අදාළ සියලු රාජ්‍ය ආයතනවලට අනුයුක්ත වාහන එක් ස්ථානයකට ස්ථානගත කර පිහිටුවනු ලබන තනි සමාගමට පුද්ගලික ඇණවුම් කර ලබාගත හැකි ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කරන පරිගණක දුරකතන යෙදවුම් හඳුන්වා දීමක් සිදු කළ හැකිය. එවිට එම (app) මඟින් අදාළ වාහන ඇණවුම් කළ හැකි ආකාරය සකස් කළ හැකියි. මේ අනුව වාහන භාවිතයේ උපරිම ඵලදායිතා තත්ත්වයට පත් වෙයි. රජයේ හෝ පුද්ගලික වුවත් එහි ප්‍රවාහන මාධ්‍යය අවශ්‍ය ප්‍රමාණයෙන් සහ දුර ප්‍රමාණය ගුණාත්මයක භාවයකින් යුතුව ලබාගත හැකි ක්‍රමවේදයන් සකස් කළ යුතුයි.

එනම් නිලධාරීන්ගේ අවශ්‍යතාවය අනුව ප්‍රමාණයෙන් ප්‍රමිතියෙන් සහ දුර ප්‍රමාණය අනුව වාහන ලබා ගත හැකියි. එවැනි මෘදුකාංග පාවිච්චි කිරීමෙන් වාහන භාවිතයෙන් සිදු වන අවභාවිත කිරීම් නැති වෙයි. මේ ආකාරයට රජයේ සහ සියලුම පොලිසි සහ ත්‍රිවිධ හමුදාවේ උපාය මාර්ගික වශයෙන් වැදගත් නොවන වාහන සියල්ල රාජ්‍ය පෞද්ගලික එකමුතුවකින් සකස් කරන ලද ආයතනයකට පවරයි. ඒ අයගේ තනතුරේ සහ කරන රාජකාරීයේ ආකාරයට අදාළ වාහන ඇණවුම් කිරීමයි.

ඒ ඒ භාවිතය අනුව ඒ ඒ දෙපාර්තමේන්තුවෙන් සහ සංස්ථාවන් ඒ සඳහා ගෙවුම් සිදු කළ යුතුයි. අදාළ ප්‍රවාහන කටයුත්ත හැර වාහන ඇණවුම් කිරීම් නඩත්තු කිරීම අවශ්‍ය නොවෙයි. අදාළ පවරා ගන්නා සමාගම වාහන පිළිබඳ විශේෂඥ සමාගමක් විය යුතු අතර, එම සමාගම විසින් නඩත්තු කටයුතු කළ යුතුයි. රජයේ පාවිච්චියට නොගෙන බොහෝ ආයතනවල පාවිච්චි නොකරන ලද වාහන විශාල සංඛ්‍යාවක් වෙයි. ඒවා විකුණා දැමීම විශාල ක්‍රමවේදයකට ගත හැකියි. මේ අවස්ථාවේදී එම ක්‍රමවේදයන් යම් ලිහිල් තත්ත්වයකට පත් කර එම වාහන විකුණා දැමිය හැකියි.

එසේම අපේ රටේ එකම විෂය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල සංඛ්‍යාවක් ආයතන පවත්වා ගෙන යයි. එනම් එකම කාර්යය ඉටු කරන ආයතනය විශාල සංඛ්‍යාවක් ඇත. උදාහරණයක් ලෙස අපේ රටේ පර්යේෂණ කරන ආයතන විශාල සංඛ්‍යාවක් ඇත. විවිධ විෂයන්වලට විශාල සංඛ්‍යාවක් පර්යේෂණ ආයතන ඇත. මේ ආකාරයට එකම කාර්ය සඳහා සහ සමාන දේ සඳහා කිසිදු වග විභාගයකින් තොරව මෙවැනි ආයතන පිහිටුවීම නොකළ යුතුයි.

එවගේම නීතිය රාජ්‍ය, පරිපාලනය, තාක්ෂණය මානව සම්පත් කළමනාකරණය පිළිබඳ දැනුම්වත් කණ්ඩායමකින් යුතු විශාල බලතල සහිත කොමිසමක් පත් කළ යුතුයි. එක් එක් ආයතන පිහිටුවා ඇති පනත් අධ්‍යයනය කර මේ ආයතන වල ඇති සමාන කොටස් ඒකරාශි කර ගනිමින් එක් ආයතනයක් ගොඩනැඟීම කළ හැකියි. විශාල කාර්යයක් එක් ආයතනයකින් ඉටු නොවන්නේ නම් එම කාර්යය ම කෙරෙන තවත් ආයතනයක් පවතී නම් එකම කාර්යය ඉටු කරන ආයතන විශාල සංඛ්‍යාවක් ඇත.

මේ සියලු බල කේන්ද්‍රවල ඇති බලය ඒකරාශී කරන එක් විශාල බලයක් ඇති එක් ආයතනයක් පිහිටු විය හැකියි. මේ රටේ අනවශ්‍ය ආයතන එක් රැස් කර ගනිමින් එක් ආයතනයක් පිහිටු විය යුතු වන්නේ ඒ සඳහා වන වැඩි පිරිවැය සහ සේවක සංඛ්‍යාව යෙදවීමට සිදුවි ඇති නිසයි. එවැනි රජයක් සමඟ කරන ගනුදෙනු සියල්ල ගෙවීම් සම්බන්ධ සියල්ලම මාර්ගගත ක්‍රමයට ගෙවීම් කළ හැකි ආකාරයට කිරීමට කටයුතු කළ හැකියි. මෙවැනි ක්‍රමවේදයන් මඟින් දූෂණය සොරාකෑම අඩු වෙයි.

විවිධ හේතු මත රජයේ සේවයේ රැකියා ලබාදිය යුතු නිසා ම පුරප්පාඩු නොමැති අවස්ථාවලදීත් රැකියා අවස්ථා ලබා දීම සිදුවී ඇත. ඒ අනුව බොහෝ රජයේ ආයතනවල පහළ මට්ටමේ සේවකයන් විශාල සංඛ්‍යාවක් වෙයි. මේ සේවකයන් නැවත සේවාවන් සඳහා සුදුසු පරිදි පුහුණුවීම් ලබාදී වෙනත් රැකියාවලට යැවීමට කටයුතු කළ යුතුයි. සංවෘත සේවා හැර අනෙක් අංශවලට සියලුම ආයතනවල මානව සම්පත් කළමනාකරණ අංශයක් සකස් කිරීම ඉතාම වැදගත් වෙයි. ඒ අනුව කළමනාකරණ අංශය පිහිටුවීම කළ යුතුයි. ආයතනයක අවශ්‍ය පිරිස එම ආයතනයේ සිටිය යුතුයි. මෙලෙස අලුත් ව්‍යුහයක් ආයතනයේ මුඛ්‍ය පරමාර්ථය ඉටු කිරීමේ පිරිස සහ ඒ සඳහා සහාය දැක්වීමේ පිරිස වෙනම අංශයක සිටිය යුතුයි. මේ සහාය දැක්වීම පොදු සේවයක් ලෙස සැලකිය යුතුයි. මූල්‍ය කළමනාකරණය මානව සම්පත් කළමනාකරණය සෑම ආයතනයකට අවශ්‍යයි. එක් අමාත්‍යංශයකට එක් මූල්‍ය කළමනාකරණ අංශයක් පිහිටුවීම ප්‍රමාණවත්. එහි සිදුවන සියලු ගනුදෙනු මාර්ගගත ක්‍රමවේදයක් අනුව කළ හැකියි.

යල්පැනගිය ආයතන කාලීන අවශ්‍යතාව අනුව සකස් කළ යුතු සේම, වඩා නොවැදගත් ආයතන කිසිදු වග විභාගයකින් තොරව වසා දැමිය යුතුයි. ඒවායේ උපයෝගිතාව අනුව පෞද්ගලික අංශ දිරිගැන්වීම් කළ යුතුයි. එසේ නැතිනම් මේ සියලු අංශයන් එක් ආයතනයකට පැවැරිය යුතුයි. මෙවැනි ආකාරයට අත්‍යවශ්‍ය නොවන ආයතන වසා දැමීම හෝ පෞද්ගලික අංශයට භාරදීම සිදු කළ හැකියි. පුද්ගලික අංශයෙන් කළ හැකි සියලුම කාර්යයන් පුද්ගලික අංශයට පැවැරිය හැකියි.

එසේම ජනතාවට සමීපතම ආයතනයක් වන ග්‍රාම සේවා කාර්යාල ශක්තිමත් කිරීම කාලීන අවශ්‍යතාවයකි. ග්‍රාම සේවක වසම්වලට සියලුම අන්තර්ජාල තාක්ෂණික පහසුකම් තිබීම කාලීන අවශ්‍යතාවකි. ග්‍රාමීය ජනතාවට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම සඳහා අන්තර්ජාල පහසුකම් සපයා ගත හැකියි. එයින් කාලය සහ ධනය කළමනාකරණය සිදුවෙයි.

අන්තර්ජාලය මඟින් සියලු කටයුතු ඉටු කර ගැනීම නිසා අතිරික්ත වන සේවකයන්ට නැවත සකස් කිරීමට යම් වෘත්තීය පුහුණුවක් ලබාදිය යුතුයි. එසේ නැතිනම් රැකියාවෙන් ඉවත් වීමට කැමැති පිරිස් වේ නම් යම් වන්දි මුදලක් ගෙවා වෙනත් ජීවනෝපාය ක්‍රමවේදයක් සඳහා දිරිගැන්වීම් සිදු කළ හැකියි. දුප්පත් මිනිසුන් දුගීභාවයෙන් මුදවා ගැනීමට සමෘද්ධි ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දෙපාර්තමේන්තුවක් අවශ්‍ය වන්නේ නැත. ඔවුන් දුගී භාවයෙන් මුදවා ගැනීම යම් ක්‍රමෝපායන් සකස් කිරීමට ඒ සඳහා එම පවුල් ශක්තිමත් කළ යුතුයි. සමෘද්ධි ලබා ගන්නා දිළිඳු ජනතාවක් සෑම ආණ්ඩුවක් යටතේම සිටියි. එම පිරිස ප්‍රමාණයෙන් වැඩිවීම හැර ආධාර ලබා දුන්නද අඩුවීමක් නොවෙයි. එය සිදු වන්නේ ඡන්ද ව්‍යාපාර සඳහා දුප්පත් මිනිසුන්ට නොමිලේ සහනාධාර ලබාදීම සහ රැකියා ලබාදීම සඳහා ව්‍යාපාරයක් ලෙසයි.

මේ රාජ්‍ය සේවය ඇත්ත වශයෙන්ම නැවත වෙනස් කර එය ශක්තිමත් කළ යුතු බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. එයට හොඳම උදාහරණය නම් කොවිඩ් හොඳින්ම මර්දනය කර කළමනාකරණය කළ සෑම රටකම රාජ්‍ය සේවය බිම්මට්ටමේ ඇති, රාජ්‍ය යන්ත්‍රණය හොඳින් ක්‍රියාත්මක වූ රටවල් බවට හොඳ සහතිකයක් ලැබී තිබෙයි. අමෙරිකාව වැනි රටවල් කොවිඩ් පාලනය කර ගැනීමට නොහැකි වීමත් තායිලන්තයේ ශ්‍රි ලංකාව වැනි රටවල්වල කොවිඩ් හොඳින් මර්ධනය කරගත හැකි වීමට හේතුව ඒ සඳහා හොඳ ක්‍රියාවලියක් තිබීමයි. එමෙන්ම පාරදෘෂ්‍යභාවය වැඩි කළහොත් එහිදි මෙවැනි අංශවල විශාල නාස්තිය අඩුවෙයි. සෞඛ්‍ය වැනි අංශවල අධිතාක්ෂණික උපකරණ 100% ප්‍රයෝජනයට ගන්නේ ද යන්න ගැටලුවක් ඇත. රාජ්‍ය ආයතනවල පවතින අධිතාක්ෂණික උපකරණ තොරතුරු තාක්ෂණය පාවිචිචි කර අවශ්‍ය පුද්ගලයන්ට ඇණවුම් කළ හැකියි. එහිදී රජය එවැනි ඇණවුම් කිරීම නතර කළ යුතුයි. විශේෂයෙන්ම තාක්ෂණික උපකරණ වෙනුවෙන් පුද්ගලික අංශයෙන් සේවා ලබා ගැනීමට රජයට හැකියාවක් ඇත. අයිතිය නොව භාවිත කළ හැකි සේවාව යන සංකල්පයට අපි යා යුතුයි. රටක් ලෙස ඵලදායිතාවය අඩු සියලු ක්ෂේත්‍රවල පූර්ණ පරිවර්තනීය ක්‍රමවේදයකට යා යුතුයි.

රාජ්‍ය ආයතන දේපොළ සහ උපකරණ හිමියෙක් බවට පත්වී ඵලක් නැති අතර, එයින් ලබාගත හැකි සේවාව පමණක් වඩා වැදගත් වෙයි. ආනයනය කිරීම නඩත්තු කිරීම තත්ත්ව පාලනය සම්පූර්ණයෙන් ඉවත් කිරීම වැදගත් වෙයි. එමෙන්ම නවිණතම උපකරණ ගෙන්වීමට හැකියාවක් අදාළ ආයතනයන්ට ගත හැකියි. රජයේ මුදල් එක් ආයතනයක එක් ගිණුමක් යටතේ මධ්‍යගත කිරීම කළ හැකියි. අවම වශයෙන් අමාත්‍යංශ මට්ටමින් හෝ එය කළ හැකියි. 

එවිට මුදල් පරිපාලනය ඉතා පහසු වෙයි. රජයේ ආයතනවල ඒ අයගේ මුදල එක් එක් බැංකුවල තැම්පත් නොකර එක් තැනක මධ්‍යගත කළ හැකියි. මුදල් සහ වෙනත් ප්‍රතිපාදන චෙක්පත් සහ වෙනත් එකම තැනකින් නිකුත් කිරීම ඉතා සරල සම්පූර්ණයෙන්ම වෙනස් කරන ක්‍රියා පද්ධතියකට යා හැකියි. විශ්‍රාමිකයන්ගේ ජිවිත සහතිකය ලබාදීම සඳහා වසරක් පාසා නිකුත් කළ හැකියි. මේ සඳහා මරණ රෙජිස්ටාර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා නිකුත් කරන ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. මෙවැනි කාර්යයන් අපි ඉටු කළ යුතුම ද කියලා ගැටලුවක් පවතියි. කාලීනව වෙනස් වන ක්‍රියා පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුයි.

සංස්කෘතික ත්‍රිකෝණයේ හැමතැනම ටිකට් නිකුත් කරන එක නතර කර, ගුවන්තොටුපළින් ඇතුළු වන විටම එක් ඩොලරයක් අයකිරීම කළ හැකියි. එවිට සංස්කෘතික ත්‍රිකෝණයට ගියත් නැතත් එම මුදල ලැබෙයි. එසේම අධිවේගී මාර්ගවල පිවිසුම්වල ටිකට් නිකුත් කරන අය වෙනුවට එය මාර්ගගත ක්‍රමයට අනුව කළ හැකියි. මෙවැනි සම්පූර්ණ මේ ක්‍රමවේදයත් ඉවත් කර නැවත ගොඩනඟන ක්‍රියාවලියක් මේ රට තුළ සකස් කළ යුතුයි.

උදාහරණයක් ලෙස ඉන්දියාවේ කෘතිම බුද්ධිය පාවිච්චි කරමින් ඉන්දියාවේ සියලුම භාෂාවන් ඉංග්‍රිසියට පරිවර්තනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරමින් පවතිනවා. එහිදි ඒ අය දුරකතනය මඟින් මාර්ගත ක්‍රමවේදයක් සකස් කරනු ලබයි, එහිදී මාර්ගගත ක්‍රමය අනුව ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ භාෂාවෙන් කතා කර ඒ තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඉන්දියාවේ සකස් කරයි. මේ අනුව භාෂාවෙන් වෙන් වී ඇති ඇතැම් සමාජ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට හැකියාවක් එමඟින් ලැබෙනු ඇත. ඵලදායීතාව අඩු සියලු ක්ෂේත්‍රවල මෙවැනි කාලීන පරිවර්තනයකට අපත් රටක් ලෙස යා යුතුයි.

එකම දේ කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වීමට මම කියන්නේ උමතු බව යැයි ඇල්බට් අයිස්ටයින් වරක් ප්‍රකාශ කර ඇත. අපි බොහෝ විට වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් එකම කාර්යය කරයි. අපිට අවශ්‍ය වෙනස් ප්‍රතිඵල නම් කාලීනව අපි වෙනස් දේ කළ යුතුයි. එවගේම අපේ චින්තනමය විපර්යාසයක් ද ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

Comments