තුන් නිවුන් කිරි සිහින සමඟ යළි නොඑන්නටම ගිය ගුරු මව | Page 4 | සිළුමිණ

තුන් නිවුන් කිරි සිහින සමඟ යළි නොඑන්නටම ගිය ගුරු මව

ගැහැනියකට අසා සිටිය නොහැකි ලෝකයේ ඇති බිහිසුණුම ඛේදවාචකයක් පිළිබඳ කතාවක් අසා හිඳිමි. සුව නොවන තුවාලයක් සැතකින් පහරන්නාක් සේ ඒ කම්පිත සිදුවීම හාර හාරා විමසීම දුකකි. දස වසරකට පසු සැබෑ වෙන බව පහළ කළ කිරි සිහිනය සුබපල නොදරා කාල බෝමබයක් සේ පිපිරි ගොස් තිබිණි. තුන් නිවුන් දරුවන් කුසහොවා සිටි ඒ තරුණ මව කිරිකැටි කලල සමඟ අවසන් ගමන් ගොස්ය. ඒ අම්මා ලවන්ති චතුරි ජයසූරිය ය. ඇය ගෝනවල පමුණුවිල විද්‍යාලයේ දරු පැටවුන්ට අම්මා කෙනෙක් වූ ලවන්ති ටීචර්ය. ඉගැන්වූ විෂයයන් සියයට සියයක සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වාර්තා කර දුන් අති දක්ෂ ගුරුවරිය ඇය ය. ලවන්ති ටීචර් පසුගිය 03 වැනිදා රාගම රෝහලේ දී සිය කුස තුළ හොවා වැඩූ සිඟිති දරු කළල තුන ද රැගෙන අවසන් ගමන් ගියාය.

තම ලෙයින් උපන් කිරිකැටියන් සමඟ සංසාර ගමනට එක් වූ කුලවමිය අකල්හි වියෝවීම තරුණ සැමියකුට දරාගත හැකි ඛේදවාචකයක් නොවේ. තවමත් තිගැස්මෙන් ඉන්නා ලවන්තිගේ ප්‍රිය සැමියා අප අසල හිඳ සිය නෙත් අබියස සිදුවූ ඒ විකල් දිවි බිඳුම ගැන කියමින් සිටියේය. ඔහු අමිල සමරවීරය.

“ මම ව්‍යාපාරිකයෙක්. අපි විවාහ වුණේ මීට අවුරුදු 10කට කලින්. ලවන්තිට වයස අවුරුදු 36ක්. ඇගේ ගම හොරණ. විවාහයෙන් පස්සේ කිරිබත්ගොඩ ගල්පොත්ත හන්දියේ අපේ ගෙදර පදිංචි වුණා. දරුවෙක් ගැන අපිට තිබුණේ ලොකු ආසාවක්. අපි දරුවෙක් ලබන්න අවුරුදු හයක් තිස්සේ විවිධ ප්‍රතිකාර කළා. බාර හාර වුණා. බැරිම තැන ලෝකයේ තියන ඉහළම තාක්ෂණික ක්‍රම යොදාගෙන නල දරුවෙක් හදාගන්න දෙපාරක් ඉන්දියාවේ ගියා. එක් අවස්ථාවක දරු ගැබ ගබ්සා වුණා. ප්‍රතිකර්මවලට යන වියදම් ගැන කිසිම වෙලාවක කල්පනා කළේ නෑ. අවසානයෙ ගිය අවුරුද්දේ දෙසැම්බර්වල දී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් යටතේ ප්‍රතිකාර ගත්තා. ඒ තැන්පත් කිරීම්වලදී තමයි හෙළි වුණේ අපිට තුන් නිවුන් දරුවො ඉන්නවා කියලා. ඒ සතුටුදායක ආරංචිය ආවේ මාර්තු මුල් සතියේ. ඒ එක්කම මේ වයසට තුන් නිවුන් දරුවො බිහි කරනවා කියන කාරණය ඇතුළෙ තරමක අවදානමක් තිබුණු නිසා සතියෙන් සතිය සියලුම ස්කෑනින් කළා. අපි දරුවො තුන් දෙනා වෙනුවෙන් අනාගතය සැලසුම් කළා. ඒත් සති 20ක් යද්දී ඇයට තරමක ලේ ගැලීමක් පටන් ගත් නිසා ඇයව නාරාහෙන්පිට ප්‍රසිද්ධ පුද්ගලික කාන්තා රෝහලකට ඇතුළත් කළා. අපේ වෛද්‍යවරයා කිව්වේ දරුවො තුන් දෙනෙක් නිසා ගර්භාෂය පාත් වෙද්දී ලේ පොඩ්ඩක් එනවා එය සාමාන්‍යයි කියලා. දවස් දෙකකින් ඇයව රෝහලෙන් ගෙදර එව්වා. ගෙදර ආවාහම පෙර විදිහටම ලේ ගැලීම පටන් ගත්තා. මට තේරුණා ලේ ගලන ප්‍රමාණය වැඩියි කියලා. අපි නැවත ඩොක්ටර්ට කතා කරලා පුද්ගලික රෝහලට ගියහම ඔහු තමයි කිව්වේ පෞද්ගලික රෝහලේ නැවති ප්‍රතිකර්ම කරන එක ලොකු වියදමක් නිසා රාගම රෝහලේ ඔහුගේ අධීක්ෂණය යටතේ තිබෙන 25 වාට්ටුවට ඇතුළත් වෙන්න කියලා. 28 වැනිදා රාගම රෝහලට ඇඩ්මිට් වුණා. එතනදිත් ඔහු ස්කෑන් එක කරලා කිව්වේ බබාලයි අම්මයි හොඳින් ඉන්නවා ගැටලුවක් නෑ කියලා.

ඒත් එදා ලවන්තිට ටිකක් උණ තිබ්බා. උණ ගතිය ඇවිත් තියෙන්නේ විෂබීජයක් අසාදනය වෙලා. ඒ වෙනකොට බබාලා වැටෙන නිසා ගැබ් ගෙලට මැහුමක් දාලා තිබුණෙ. මේ අසාදනය වැඩි වේවි කියලා ඒ මැහුම මේ අය අයින් කරලා තිබුණා. එදා රෑ දරුවකුගේ වෝටර් බෑග් එකක් කැඩිලා තිබ්බා. වෛද්‍යවරු කිව්වා දැන් දරුවො ගැන තියන අදහස අත්හැර ගන්න. ඒ දරුවො සති විසි තුනක නොමේරු කලල නිසා ඔවුන්ව ජීවත් කරන්න බැරිවේවි කියලා. ඊට පස්සේ ලවන්තිගේ රුධිර පරීක්ෂාවක් කළා. මම වාට්ටුව භාර ප්‍රධාන වෛද්‍යවරයාගෙන් ඇගේ තත්ත්වය විමසද්දී ඔහු කිව්වා බබාලා තුන් දෙනා සාමාන්‍ය විදිහට එළියට එනවා කියලා. මම ඇහුවා සීසර් කරන්න අවශ්‍ය ද කියලා. අවශ්‍ය නෑ කිව්වා. එදා උණ පිටම ලවන්ති මගෙන් ඇහුවා මෙතන හොඳට බැලෙන්නේ නෑ. අනේ අපි ප්‍රයිවට් යමු ද කියලා. මම කිව්වා දැන් ඇඩ්මිට් කරලා ඉවරයිනේ. ප්‍රශ්නය වැඩි වෙයි නේද අපි ගියොත් කියලා.

29 රෑ 12ට විතර ලවන්තිට අමාරු වෙලා තිබුණා. ඇය ළඟ හිටියේ අම්මා. අම්මා වැඳලා වගේ නර්ස්ලට කියලා තිබුණා අනේ මිස් දුවව බලන්න එන්න කියලා. නර්ස්ලා කියලා තිබුණෙ ඒක සාමාන්‍යයයි කියලා. නමුත් මේ කාලය ඇතුළෙම ලවන්ති ඉවසන්න බැරි වේදනාවෙන් අනේ මොනවද එළියට එනවා කියලා කෑ ගැහුවත් කවුරුත් ඇයව බලන්න ඇවිත් තිබුණෙ නෑ. ලේ ගොඩාක් එක්ක එක දරු කලලයක් බිමට වැටුණම තමයි මිඩ්වයිෆ් කෙනෙක් දුවගෙන ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ ලවන්තිව ට්‍රොලියක දාලා අර ලේ පෙරෙන කළලය ඇඟේ ඇඟ උඩින් තියලා ලේබර් රූම් එකට අරන් ගිහින් තිබුණේ ලේ පෙරි පෙරි.

දරුවො තුන් දෙනාම මළ දරු උපත් ලෙස බිහි කරන්න ඇය අප්‍රමාණ ආයාස දරා තිබුණා. රෑ 12 ඉඳන් උදේ හය වෙනකම් ඇය ඒ දරන්න බැරි වේදනාව විඳලා තිබුණා. 30 දා උදේ ඇගේ වැදෑමහෙන් කොටසක් ඉතිරියි කියලා ඇයව තියටර් එකට ගෙනිච්චා. මමත් තියටර් එක ළඟට ගිහින් ඇහුවා ලවන්ති කෝ කියලා. එතන හිටපු කෙනෙක් ඇතුළට ගිහින් ඇවිත් කිව්වා ඇය හොඳින් බව. ටිකකින් මට පේනවා දොස්තරලා දුවගෙන එනවා. ඒ අතර ජ්‍යේෂඨ වෛද්‍යවරු සහ වාට්ටුව භාර මහාචාර්යවරයාත් හිටියා. උදේ 08 විතර වෛද්‍යවරු ඇවිත් මගෙන් ඇහුවා ලවන්තිගේ කට්ටිය ද ... ලෙඩාට ටිකක් අමාරුයි. එයාට සිහි නැති වෙලා හිටියේ කියලා. ආයෙ විනාඩි 45කින් කිව්වා දැන්නම් හොඳයි. හෙට වාට්ටුවට දාන්න පුළුවන් වෙයි අපි ලෙඩාව දැඩි සත්කාර ඒකකයට යොමු කළා කියලා.

ඒ වෙද්දී ඇයව කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයට ( වෙන්ටිලේටර්) සවි කරලා තිබුණේ. අයි.සී.යූ එකේ දොස්තරලා සෑහෙන්න බැලුවා. ඇය දවස් තුනක් වෙන්ටිලේටර් එකේ හිටියා. ඒ අතරෙ ‍රජයෙන් දෙන බෙහෙත් ආන්සර් කරන්නේ නෑ කියලා විශේෂ ප්‍රතිජීවක බෙහෙතක් ගෙනත් දුන්නා. ඩොක්ටර්ස්ලා කිව්වේ ඇය සිහි නැතිව ඇද වැටීම නිසා ඇඟේ පැයක් පමණ පල්ස් නතර වුණු අවස්ථාවේ ඇඟේ බහු අවයව අකර්මණ්‍ය වෙලා ඇති කියලා. ඩයලිසිස් කරන්න බැරි නිසා ෆිල්ටර් එකක් ගෙනත් දෙන්න කිව්වාහම ලක්ෂ පහ හමාරක් දීලා 3 වැනිදා ෆිල්ටර් එකක් ගෙනාවා. එදා උදේ වරුවේ මුලින්ම හාර්ට් එක නවතින්න ගත්තම ෂොක් ට්‍රීට්මන්ට් එකෙන් එක පාරක් ගත්තා. වෛද්‍යවරු ඒ වෙද්දී මට තත්ත්වය පැහැදිලි කළා. අවශ්‍ය අයට ඇවිත් ඇයව බලන්න දෙන්න කිව්වා. ඒ වෙද්දි දෙපාරක් හාර්ට් එක නැවතුණා. අපි හාමුදුරුවෝ වැඩම කරලා පිරිත් කියෙව්වා. පිරිත් කියද්දි තමයි හවස 3.45ට විතර ලවන්ති අපිව දාලා ගියේ. ඩොක්ටර්ස්ලා පැනල් එකක් ඇවිත් මං එක්ක කතා කරද්දී මං ඇහුවා තේරෙනවා නේද මෙතන නොසලකා හැරීමක් වෙලා තියෙනවා කියලා. ඔවුන් කිව්වා අපට නම් එහෙම පේන්නේ නෑ. අවශ්‍ය නම් ඉන්ක්වයරි එකක් ඉල්ලන්න කියලා. ඒ වෙද්දි මට ස්ටාෆ් නර්ස්ලා කිහිපදෙනකුත් කියලා තිබුණේ මේකට පරීක්ෂණයක් ඉල්ලන්න කියලා.

තුන්පාරක් විලි රුදාව හැදිලා බ්ලීඩ් වෙනකොට එක පාරක්වත් ඩොක්ටර් කෙනෙක් බලන්න ඕන නැද්ද?

හදිස්සියෙ වෛද්‍යවරයෙක් ගෙන්වා ගන්න ඕන නැද්ද. මම කියන්නේ එච්චරයි. මේක දැනගන්න ඕන ලෝකය. නැවත කිසිම කෙනකුට අනේ මෙහෙම අපරාධයක් වෙන්න එපා. මේ ටික ඔයාලට කිව්වෙත් ඒ යුතුකම ලවන්ති වෙනුවෙන් මං කරන්න ඕන නිසා”. අමිල අවසාන වශයෙන් කියනු අසා සිටියෙමි.

ලවන්තිගේ අම්මා මේ කම්පිත විප්‍රයෝගය සහිතව හැඬූ කඳුළිනි. සිය සුරතල් බාල දියණිය කිසිවෙක් ප්‍රාර්ථනා නොකළ ආකාරයට ඇගේ කිරි සිහිනත් සමඟ ඇගේ ඇස් ඉදිරිපිටම ඇයගෙන් උදුරාගෙනය. ඇය විශ්‍රාමික ගුරුවරියක වන ඩබ්ලියු. ආරියවතීය. පියා වී අලෙවි මණ්ඩලයේ විශ්‍රාමික ප්‍රාදේශීය අලෙවි කළමනාකරුවෙක් වූ ඉන්ද්‍රසේන ජයසූරිය ය. ඒ අම්මා ආයාසයෙන් මා සමඟ කතාව ආරම්භ කළාය.

“ අපේ ගම් පළාත් හොරණ. මම ගුරුවරියක් විදිහට සේවය කළ නිසා ලවන්ති පුංචි කාලෙ ඉස්කෝලෙ ගියෙ මාත් එක්ක. ඇයට ඉන්නේ අයියලා දෙන්නෙක්. සත්තුන්ට පුදුමාකාර කරුණාවයි. තුවාල වුණු සත්තුන්ට බේත් කරන්න දවස් ගණන් මහන්සි වෙනවා. ශිෂ්‍යත්වය පාස් වෙලා හොරණ තක්ෂිලා විද්‍යාලයට ගිහින් ඕලෙවල් හොඳම ප්‍රතිඵල ගත්තා. ඒ ලෙවල් විභාගයේ ඒ තුනක් එක්ක පාස් වුණා. විශ්වවිද්‍යාලයේ කලා ධාරාවෙ ඉහළම ලකුණු ගන්න අය තේරෙන අධ්‍යාපන පීඨයට තමයි දුව තේරුණේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනවේදී උපාධිය කරලා ඇය ගුරු වෘත්තියට සම්බන්ධ වුණා. “

ලවන්ති අවුරුද 26 දී තමයි විවාහ වෙන්නේ. ඒක අපි දන්න පවුලකින් ආපු යෝජිත විවාහයක්. මගේ දරුවට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. ගෙයක් දොරක් තිබුණා. අපි ඇයට කාර් එකක් දුන්නා . ඇයගෙ එකම හීනය වුණේ දරුවෙක් ලබා ගැනීම. අවුරුදු 10 පුරාම පෙරුම් පිරුවෙ ඒකට. ඉන්දියාවෙදි නල දරුවෙක් හදා ගන්න ගිය අවස්ථා දෙකක්ම වැළලිලා ගියා. ඔය අතරෙ තමයි මේ පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ. ඇය හරිම සතුටින් හිටියේ. “දරුවො තුන් දෙනෙක්... පුතෙකුයි දුවලා දෙන්නයි මා ළඟට ඇවිත් අම්මේ, ඉස්කෝලෙ ළමයින්ගේ අම්මලා හතර දෙනෙක්ම කිව්වා ඇවිත් දරුවො බලා දෙන්නම්“ කියලා කිව්වා. ඉතින් මේ මාස පහමාරම මම හිටියෙ දුව ළඟ. ඇයට සාත්තු කරමින්. අඩු ගානෙ වතුර වීදුරුවවත් අතින් අරන් බොන්න දුන්නෙ නෑ. බත් ටික කැව්වා“. අම්මා කියන්නී ලවන්ති ගැබ් ගත් දා සිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බවය.

අමිල පුතා ඇය නිසා අනවශ්‍ය විදිහට දුක් විඳිනවා කියන සිතිවිල්ලක ඇය හිටියා. මොනතරම් මේ ආකල්පය ඇතුළේ හිටිය ද කියනවා නම් එක දවසක් අමිල පුතාටයි මටයි කියනවා “මේ සැරේ ළමයෙක් හදලා දෙන්න බැරිවුණොත් අමිලට ඩිවෝස් එක දෙනවා“ කියලා. අමිල පුතා ඒ වෙලාවෙත් ඇහුවා “ඔයාගේ මොළේ හොඳ නැද්ද කියලා.

සැරින් සැරේට බ්ලීඩ් වුණු හැම වෙලාවෙම ස්කෑන් කළා. දරුවො හොඳට ඉන්නවා කියලා දොස්තරලා කිව්වා. ඇය යන්නෙ හොඳම දොස්තර ළඟට බව ඇයට විශ්වාසයක් තිබුණා. ඔහු දුවව බලපු නාරාහේන්පිට ප්‍රසිද්ධ පුද්ගලික රෝහලෙන් රාගම රෝහලට මාරු කළා. එදා රෝහලට යද්දී “ අම්මේ රාගම ඉස්පිරිතාලෙට මෙහෙම යන කිසිම කෙනෙක් ආපහු එන්නේ නෑ කියලයි මම අහලා තියෙන්නේ“ කියලා දුව මට කියපූ දේ තවමත් මගේ කන්වල දෝංකාර දෙනවා “ අම්මා කතා කළ නොහැකිව ගොළු වූවාය. එතැනින් පසු රාගම රෝහලේදී ඒ මවට අසන්නට වූයේ සිය දියණියගේ දරාගත නොහැකි වේදනාවේ මොර ගැසීම පමණී.

ලවන්ති ඉගැන්වූ පමුණුවිල මහා විදුහලට ගිය අප මුලින්ම හමුවන්නේ ඇය පාසලට පැමිණි දිනයේ සිට විදුහල්පති ධුරය දරමින් සිටින විදුහල්පති සුගත් ප්‍රියන්තය.

“ ලවන්ති කියන්නේ පාසලේ පමණක් නොවෙයි මුළු කැලණිය අධ්‍යාපන කලාපයේම සිටිය ගුරු සම්පතක්. ඉතිහාසය, භූ ගෝලය, සමාජවිද්‍යාව සහ පුරවැසි අධ්‍යාපනය තමයි ඇය දරුවන්ට ඉගැන්නුවේ. ඒ විෂයයන් ඇතුළෙ ඉහළම ප්‍රතිඵල දරුවන්ට ලබා දුන්නා. වැඩක් කරනකොට ඇයට කාලයක් තිබුණෙ නෑ. දරුවන්ට පුදුම විදිහට ආදරය කරපු ගුරුවරියක්. අන්තිමට ඇය සේවයට වාර්තා කළේ පහුගිය 12 වැනිදා. ලවන්ති වගේ ගුරුවරියකගේ මතකය මගේ ගුරු ජීවිතය තුළ කවදාවත් අමතක නොවේවී“. විදුහල්පතිවරයා කීවේය.

සාරංගි ජයතිලක ගුරුවරියකි. ඇය ලවන්තිට සිටි හොඳම යෙහෙළියකි. “ ලවන්ති මට අවුරුදු 02කට පස්සේ තමයි පාසලට ආවේ. ඇය ටිකක් මහතයි. බබාලා බලාපොරොත්තු වුණු නිසා ඇගේ බර අඩු කරගන්න මා එක්ක ඇවිදින්න ගියා. ජිම් ගියා. කෑම පාලනය කළා.

ප්‍රෙග්නට් වුණාට පස්සේ ඇය ගොඩාක් රෙස්ට් කළාට ඉස්කෝලෙට ඇවිත් වැඩ කරන්නත් ඕන වුණා. ඇගේ දරුවන්ට ඇඳුම් මහල දෙන්න පොරොන්දු වෙලා හිටියෙ මම. අන්තිමට මට ඇයව මුණගැහුණේ ගිය මාසෙ 12 මම ට්‍රාන්සර් යන දවසේ. ඇය හස්බන්ඩ් එක්ක ඉස්කෝලෙට ඇවිත් තිබුණා. මම දුවලා ගිහින් කතා කළා. මම හිතුවෙ නෑ ඒ අපි දෙන්න මුණගැහෙණ අන්තිම දවස වේවී කියලා.

හොස්පිට්ල් යන්න කලින් දවසේ මට ඇය මැසේජ් කරලා තිබුණා “අක්කේ මම ඉන්නෙ හරිම ගින්දරක. මගේ සැහැල්ලු ජීවිතය දැන් ගිනි ගොඩක්. පිරිමි ළමයා ගියොත් අනෙක් දරුවො දෙන්නත් එක්ක යන්නේ“ කියලා.

හොස්පිටල් ගියාට පස්සේ මට කතා කළේ නෑ. ඇයට ගොඩක් අමාරුයි කියලා දැන ගත්තු වෙලේම මම පුළුවන් ඉක්මනින් ආවා. අනේ මම එන අතරෙදි ඇය අපිව දාලා ගිහින්. “ යෙහෙළිය නිහඬව හඬා වැටෙන්නීය.

“ඇය හරිම සැහැල්ලුයි. හරිම විනෝදෙන් හිටියේ. හරිම හොඳ ගුරුවරයෙක්. හැමදාම ප්‍රතිඵල සියයට සියයි. ළමයින්ට ගොඩාක් උදව් කළා. කන්න බොන්න නැති දරුවන්ට කන්න බොන්න ගෙනත් දුන්නා. දරුවන් සම්බන්ධව ඇයට වාරණයක් තිබුණෙ නෑ. හැම දරුවකුටම අම්මා කෙනෙක් වගේ සලකපු ගුරුවරියක්.” සාරංගි අන්තිමට කීවාය. ඇය ලවන්තිගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දැඩි සත්කාර ඒකකයට ගොස් බලා තිබිණි. “අනේ මට ඇයව අඳුනගන්නත් බැරි වුණා. ගොඩාක් ඉදිමිලා හිටියේ.” සාරංගි ඉකිබිඳිමින් කීවාය.

ගීතා කාන්ති කුමාරි ලවන්ති ඉගැන්වූ පාසලේ අනෙක් මිතුරියය. ගීතාට සිටි හොඳම යාළුවා ලවන්තිය. ගොඩක් හොඳ යාළුවෙක්. ගොඩාක් හොඳ ගුරුවරියක්. දරුවන්ට පුදුමාකාර ආදරෙයි. විශේෂයෙන්ම ගෑනු දරුවන්ට හරිම ආදරෙයි. ඇය දරුවන්ට කන්න බොන්න ඇඳුම් පැලඳුම් ගෙනත් දුන් ගුරු මවක්. ඒ මව ඇගේම දරුවෙක් මේ ලෝකයට ගේනකම් හරිම ආදරෙන් බලන් හිටියෙ.

29 වැනිදා හොස්පිටල් එකේ ඉඳන් මට ලවන්ති කතා කරලා කිව්වා “මට අමාරුයි කුමාරි. මගෙ ළග නවතින්න තව කවුරුහරි හොයලා දෙන්න කියලා.

කවුරුවත් නැතිනම් මම හරි එනවා“ කියලා මම ඇයට කිව්වා. මම ගෙවල් ලඟ කෙනෙක් කතා කරලා පහුවදා උදේ 08 වෙනකොට හොස්පිටල් එකට යැව්වා. එතකොට ඇයව අයි.සි.යූ. ගෙනිහින්. ඊට පස්සේ ලවන්ති ආවේ නෑ.” ඇයට හඬන්නට හැර මටත් හොරා මගේ දෙනෙත් බොඳ වෙන අයුරු කිසිවකුට නොපෙන්වා සිටීමට උත්සාහ කළෙමි.

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රණවීර ලියනගේය. ලවන්තිගෙත් ඇගේ තුන් නිවුන් දරු කලල තුනේත් ජීවිත විනාශය සම්බන්ධව මේ වනවිට රටෙන්ම රාගම රෝහලට කෙරෙන චෝදනා සම්බන්ධව කරුණු දැන ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරයා විමසුවෙමි.

“සිදුවීම සම්බන්ධව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මට්ටමින් සහ ආයතනික මට්ටමින් පරීක්ෂණයක් කරන්න අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්ගෙ අධීක්ෂණය යටතේ කමිටුවක් පත් කර තිබෙනවා. අපට යම් ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන්නේ ඒ කමිටු වාර්තා දෙක පදනම් කරගෙනයි. ඒ වාර්තා එනතුරු මේ සිදුවීම සම්බන්ධව දැනට මාධ්‍යයට කිසිම දෙයක් ප්‍රකාශ කරන්න අවසර නෑ...” රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවෙමින් ඇති මහා සෝදාපාළුවක සලකුණු මේ ඛේදවාචකය තුළ රැඳී ඇතැයි සිතේ. කාරුණිකත්වය සහ සිනහව පවා ලැබෙන්නේ මුදලටය. පෞද්ගලික රෝහල්වලදී ඒ කරුණාවත් ඉතාම මිලය. මනුෂ්‍ය සමාජයක මීට වඩා ව්‍යසනයක් තිබිය හැකි නොවේ. ඒ ව්‍යසනයෙන් මිදී ගිය ලවන්ති සහ සිඟිති දරු කැකුලු වෙනත් ලොවක හෝ සැනසීමෙන් සිටිනු ඇතැයි විශ්වාස කරමි.

ඡායාරුප - තිලක් පෙරේරා,

කේ.එස්. හැන්නදි - රාගම සමූහ

Comments