ලෝක උරුම ලැයිස්තුවට එක්වූ මහාවංශ පුස්කොළ පොත | Page 4 | සිළුමිණ

ලෝක උරුම ලැයිස්තුවට එක්වූ මහාවංශ පුස්කොළ පොත

වංශෙ කබල් ගානවා යැයි පරණ කියමනක් තිබේ. මෙවර සිංහලයන්ගේ වංශය ගැන අධිවංශයෙන් ලෝකයට කතා කරන්නට පටන් ගත්තේ පේරාදෙණිය සරසවියේ පුස්තකාලයේ ඇති මහාවංශ පුස්කොළ පොත ගැන යුනෙස්කෝව නිර්වචනයක් කිරීමත් සමඟය. යුනෙස්කෝව මහාවංශය සම්බන්ධයෙන් ගත් පියවර විවිධ දෙනා විවිධ කෝණවලින් විග්‍රහ කරද්දී මහාවංශය යනු කුමක්දැයි යුනෙස්කෝව කළ අධ්‍යයනයේදී තහවුරු වී ඇති තොරතුරු ඉතා වැදගත් මූලාශ්‍ර වී තිබේ. සිරිලක කිරුළුපළන් රාජවංශය ආශ්‍රයෙන් ගොඩනැඟෙන මෙරට බුද්ධ ශාසනය විකාශය වූ අන්දම දැක්වෙන මහා ග්‍රන්ථය ලෙස මහාවංශය හැඳින්විය හැකිය. එහෙත් එහි අන්තර්ගතය ග්‍රන්ථාරූඪ වන්නට පෙර පැවතියේ පුස්කොළ පත්තිරු ලෙසය.

මහාවංශය නියමාකාරව නිර්වචනය කිරීමට එහි ටීකාව හැදෑරිය යුුතුය. මෙහි සඳහන් පුවත් ඓතිහාසික සහ පූර්ව ඓතිහාසික යනුවෙන් යුග දෙකකට බෙදා ඇත. බුද්ධාගමනයේ සිට දෙවන පෑතිස් රජ සමය දක්වා යුගය ඉන් මුල්කොටසය. එතැන් පටන් මහසෙන් රජු තෙක් කතා පුවත්ය. දුටුගැමුණු රජ කතා නායකයා වශයෙන් ගැනෙන කොටස හයවැනි සියවසේ දික්සඳ පිරිවෙන්පති මහානාම හිමියන් විසින් ලියනු ලැබ තිබෙන බව පිළිගැනීමය. මහාවංශයේ දෙවැනි භාගය පොලොන්නරුවේ මහ පැරකුම්බා රාජවංශය දක්වා කොටස රාජගුරු ධර්මකීර්ති මාහිමියන් ලියූ බව සඳහන්ය. ඉන්පසු පරිච්ඡේද කිහිපය මාතෘකා 11කින් සමන්විත වන අතර කතුවරයා දෙවැනි ධම්මකිත්ති හිමියන් වේ. දෙවැනි විජයබා රජුගෙන් පටන්ගෙන සිවුවැනි බුවනෙකබා සමය තෙක් විස්තර එහි සඳහන්ය. එයින්පසු එක්වූ කොටසට පරිච්ඡේද 11කි. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත යතිවරයාණෝ එය ලේඛනගත කොට තිබේ. තිබ්බටුවාවේ යතිවරයා‍‍ණෝ අපවත්වීම නිසා ඉතිරිය සපුරන ලද්දේ හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් විසිනි. එයින් පසු 1925 දක්වා කර්තෘත්වය දැරුවේ යගිරල ශ්‍රී පඤ්ඤානන්ද නාහිමියෝය. එම ප්‍රමාණය පරිච්ඡේද 7කි. නමුත් මහාවංශයේ ගයිගර් පඬිතුමා කළ පරිවර්තනයෙහි භාෂාමය නිවැරැදි බවක් නොතිබූ බවට මතයක් තිබේ. කොටින්ම පොල්වත්තේ ශ්‍රී බුද්ධදන්ත පඬිහිමියෝ එම දුර්වලතා පෙන්වා දෙමින් ග්‍රන්ථයක් පවා පළ බව අද බොහෝ දෙනාගේ මතකයෙන් ගිලිහී හමාරය.

මහාවංශය හා සැසඳිය හැකි එකම ග්‍රන්ථය වන රාජතරඞිගිණි හෙවත් කශ්මීර වංශකථාව රචනා කරන ලද්දේ මහාවංශය ලිවීමට පසු අවදියක් වන ක්‍රි.ව. 12 වැනි ශත වර්ෂයෙහිදී බව පැහැදිලිව පෙනේ.

පුරාතන ලංකාවේ ඉතිහාසය හැදෑරීමට ඇති වැදගත්ම මූලාශ්‍රය නම් මහාවංශයයි. ආර්.ඕ. ප්‍රෑන්ක්ගේ නිගමනය අනුව මූලාශ්‍ර කිසිවක් නැති හෙයින් මහාවංශයත්, දීපවංශයත්, සමන්තපාසාදිකාවත් ඓතිහාසික වටිනාකමක් නැති ග්‍රන්ථ ලෙස දක්වා ඇත.

2017දී මහාවංශය ජනගත කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මහාවංශ සම්පාදක කාර්යාලය විධිවිධාන යොදා තිබුණි. එකී සම්මන්ත්‍රණ ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස මහාවංශයේ ඇති වැදගත්කම විමසා බැලීමට හා ඉතිහාසය ගැන නොදන්නා වත්මන් පරපුරට අපේ ඉතිහාසයේ වැදගත් අවස්ථා ග්‍රන්ථාරූඪ කර ඇති ආකාරය පෙන්වා දීමට කරනු ලබන්නක් විය.

ඊට සමගාමීව මහනුවර පැවති අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයකදී ඊට අනුගතව පැවැති සාහිත්‍ය සම්මන්ත්‍රණයකදී අදහස් පළ කළ විද්වතකු කියා සිටියේ මහාවංශය ප්‍රබන්ධයක් වන බවය. අප කරන කවර හෝ කෘතියක් ප්‍රබන්ධයක් ලෙස හැඳින්වීම ද කළ හැකි වුවද එකී දේශකයා අදහස් කළේ මහාවංශය ඓතිහාසික ලේඛනයක් නොව හුදු නිර්මාණයක් ය යන පෞද්ගලික මතයයි. දුටුගැමුණු රජතුමා ජාතිවාදියෙකැයි සඳහන් කළ එකී දේශකයා එතුමා කළ වැරැදි නිවැරැදි කිරීමට අනුලා බිසවට ද්‍රවිඩ ස්වාමිවරු කීපදෙනෙක් ම තබා ගැනීමට සිදුවූ බව ද සඳහන් කළත් මෙවැනි මහාවංශය ගැන පෞද්ගලික නිර්වචන යුනෙස්කෝ සංවිධානයේ අවධානයට ලක් නොවූ බව පෙනී ගොස් හමාරය.

මහාවංශයට ඇති ප්‍රධාන තවත් චෝදනාවක් නම් එය ජාතිවාදි ස්වරූපයක් ගන්නා බවය. දුටුගැමුණු රජතුමා හා සටන් කළ දෙමළ නරපතියා වූ එළාර රජු කෙරෙහි මහානාම හිමියන් දක්වන ආකල්පයෙන් මේ බව මැනවින් විග්‍රහ කළ හැකිය. තමා බෞද්ධයකු නොවූවත් සංඝයාට දන්දීමෙන් රටේ චිරාගත සම්ප්‍රදායයන් සම්භාවනයෙන් සැලකූ ධර්මිෂ්ඨ නරපතියකු වශයෙන් එළාරගේ ගුණ ගැයීමට මහානාම හිමියන් මහත් උත්සාහයක් ගෙන ඇත. එළාර රජු තෙරුවන් ගුණයෙහි අගය නොදැන සිටියත් පෙර සිරිතට අනුව සිය කටයුතු කළ බව මහාවංශයෙහි සඳහන්ය. එළාර රජු යුද්ධයෙන් පරාජයට පත් වූ පසුව දුටුගැමුණු රජතුමා විසින් දේහය තැබූ ස්ථානයෙහි චෛත්‍යයක් කරවා අවසන් ගරු බුහුමන් දැක්වීමෙන්ම මහාවංශයට ඇති ජාතිවාදී ලේබලය ගලවා බිම දැමිය හැකිය. චෛත්‍ය අසලින් තූර්ය වාදක කණ්ඩායම් යන්නේ නම් එම තූර්ය වාදන නවත්වා යා යුතු බව නියෝගයක් ද පනවන ලදී. එම නිසා මහානාම හිමියන් විසින් මහාවංශය රචනා කිරීමේදී ජාතිවාදී ස්වරූපයකින් සිය කෘතිය නිර්මාණය නොකරන ලද බව මහාවංශය නිසි ලෙස අධ්‍යයනයෙන් තහවුරු කොට ගත හැකිය.

දැනට විද්‍යමාන සාධක අනුව දීපවංශයෙන් ඇරැඹෙන ශ්‍රී ලාංකීය වංශකථා සම්ප්‍රදාය මහාවංශය, දීපවංශය, දෘඨාවංශය, චූලවංශය. අරියවංශය, බෝධිවංශය, ථූපවංශය, හත්ථවනගල්ල විහාරවංශය, චේතියවංශය සහ ත්තර විහාරවංශය ආදී වශයෙන් විවිධාකාර ඓතිහාසික කාරණා ඔස්සේ රචනා වී තිබේ. එම වංශකථාවලින් ඓතිහාසික කෘතියක් වශයෙන් මහාවංශයට වැදගත් ස්ථානයක් හිමි වන්නේ නිතැතිනි.

දැන් අපේ අභිමානවත් මහාවංශය ගැන හිතන්නට ඊටත් වඩා මහාවංශයේ ඇති වටිනාකම දැනෙන්නට වූයේ යුනෙස්කෝ සංවිධානය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය තුළ ඇති මහාවංශ පුස්කොළ පොත Unesco Memory Registerට එක් කළායින් පසුවය. එහෙත් සමහරුන් එය නිර්වචනය කළේ මහාවංශය යුනෙස්කෝව ලෝක උරුමයක් බවට පත්කළ බව කියමිනි.

"ලොව දිගම නොබිඳුණු ඓතිහාසික ලේඛනයන්ගෙන් එකක් වන මහාවංශය, පරිණත ඉතිහාස සම්ප්‍රදායක් ආරම්භ කරමින්, ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමික අනුපිළිවෙළකට ඉදිරිපත් කරමින්, දකුණු ආසියාවේ එවැනි ආකාරයේ පළමුවැනි ඉතිහාස වාර්තාව බවට පත්ව තිබෙනවා" යැයි යුනෙස්කෝව මහාවංශය ගැන නිර්වචනයක් සිදුකොට ඇත.

"ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ මඟින් ලේඛනයේ දක්වා ඇති කරුණුවල සත්‍යතාව තහවුරු වී තිබේ. එය බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලය, අශෝක අධිරාජ්‍යයා සහ ලෝක ව්‍යාප්ත ආගමක් ලෙස බුදුදහමේ නැඟීම පිළිබඳ තීරණාත්මක තොරතුරු අඩංගු දකුණු ආසියාවේ වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් ද වේ. අග්නිදිග ආසියාවේ බුදුදුහම ප්‍රචලිත කිරීමට මේ ලේඛනය සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකර ඇති අතර, ඉන්දියානු ඉතිහාසයේ අශෝක අධිරාජ්‍යයාගේ අනන්‍යතාව තහවුරු කිරීමට ද ඍජුවම දායක වී තිබේ. රටවල් කිහිපයක මහාවංශයේ අත්පිටපත් ගණනාවක් පැවතීම මෙන්ම, අග්නිදිග ආසියාතික සහ යුරෝපීය භාෂා කිහිපයකට එය පරිවර්තනය කිරීම තුළ එහි වූ අතිවිශාල ඓතිහාසික, සංස්කෘතික, වචනාර්ථ, භාෂාමය සහ ශාස්ත්‍රීය වටිනාකම් සඳහා සාක්ෂි දරනවා" යැයි යුනෙස්කෝව මහාවංශය ගැන ගත් පියවර ගැන සඳහන් කොට තිබේ.

යුනෙස්කෝව හා මහාවංශය ගැන මේ අලුත්ම තත්ත්වය ඇතිවීමට මුල්ම පදනම පේරාදෙණි විශ්වවිද්‍යාලය මඟින් ගනු ලැබුවේ මීට වසර දෙකකට පෙරය. ඒ කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු මහාවංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නම් කරන ලෙස විශ්වවිද්‍යාලය මඟින් මෙයට දෙවසරකට පෙරදී යුනෙස්කෝ සංවිධානයට යෝජනා කළ නිසාය.

තවදුරටත් කරුණු තහවුරු කරගෙන යාමේදී අපට පැහැදිලි කරගත හැකි වූයේ මහාවංශය ඇතුළු කොට ඇත්තේ ලෝක වාර්තාමය උරුම ලැයිස්තුවට බවය. යුනෙස්කෝ වෙබ් අඩවියේ සඳහන් පරිදි එයට අලුතින් අයිතම මහාවංශ පුස්කොල පොතත් ඇතුළුව 64ක් එක්වී ඇති අර ඒ අනුව 2023 වසරේ සමස්ත ලෝක වාර්තාමය උරුම ලැයිස්තුවේ ඇති අයිතම ගැන 494කි. පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ප්‍රධාන පුස්තකාලයේ තැන්පත් කර තිබෙන මහාවංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශයට පත්කර තිබෙන බවට සඳහන් වුවත් මහාවංශය ගැන උනන්දුවක් දක්වන විද්වතුන් අදහස් දක්වා ඇත්තේ යුනෙස්කෝ නිර්දේශයට පදනම් වූ මහාවංශ පුස්කොළ පොත නිශ්චිතවම පේරාදෙණිය විශ්විවද්‍යාලයේ ඇති පුස්කොළ පොත ද නැත්නම් වෙනත් ස්ථානයක වූ සම්පූර්ණ මහාවංශ පුස්කොළ පොත ද යන වග පැහැදිලිව සඳහන් වී නැති බවය. එමෙන්ම මහාවංශයේ පරිවර්තනයට ලක්වූ මුල්ම ප්‍රංශ පිටපත හෝ එයින් ඉංගිරිසියට පරිවර්තනය කළ මහාවංශය පිටපතෙන් කවර නම් භාෂා පිටපතක් යුනෙස්කෝ අධීක්ෂණයට ලක්වූයේදැයි සඳහනක් ද නැති බවය.

මේ ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දිසානායක පවසන පරිදි පරිච්ඡේද 99කින් යුත් මහාවංශය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට යටත්වන තෙක්ම ලියා තිබෙන බවත්, තිබ්බටුවාවේ මහානාහිමියන්ගෙන් පසු ඉදිරියට එය ලියන ලද භික්ෂූන් වහන්සේගේ නම පිළිබඳ සඳහනක් නොමැති බවත් පවසා සිටී. ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කළ මහාවංශය පුස්කොළ පොත පත්තිරු 237කින් සමන්විත යැයි ද අංශාධිපතිවරයා පවසා සිටී.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති ආචාර්ය ආර්. මහේෂ්වරන් පවසන්නේ යුනෙස්කෝ නිල වෙබ් අඩවියට මහාවංශය ඇතුළත් කොට ඇත්තේ පසුගිය 24 වැනිදා බවය.

අවසන් වශයෙන් අප ‍මේ සම්බන්ධයෙන් විමසා සිටියේ මහාවංශ සම්පාදක මණ්ඩලයේ වත්මන් සභාපතිනී මහාචාර්ය මාලනී ඇඳගමගෙන්ය.

"අප ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධ සුවිශිෂ්ට ඓතිහාසික ග්‍රන්ථයක් වශයෙන් මහාවංශය පැවැතීම සම්බන්ධයෙන් ආඩම්බර විය යුතුයි. ලක් ඉතිහාසයේ ඇති ඇතැම් අපැහැදිලි තැන් අවබෝධ කර ගැනීමට මහාවංශය මගින් දක්වා ඇති දායකත්වය සුළුපටු නැහැ. සෑම පරිච්ඡේදයකම අවසානයේ එන "හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස" යනුවෙන් සඳහන් වී තිබීමෙන් මෙහි අරමුණ කුමක්දැයි පැහැදිලියි. සෑම වංශකථාවකම දක්නට ලැබෙන මෙකී පහන් සංවේගය තුළින් වංශකතාකරු පාඨකයාගේ මනස ඒ කෙරෙහි යොමු කරන්නට සමත් වී ඇතැයි කිව හැකිය. එසේම විවිධ වංශකතා බිහි වී ඇතත් ඒ සියල්ල අතරින් මහාවංශය ප්‍රමුඛස්ථානයෙහි ලා සැලකිය හැක්කේ මෙය අනෙකුත් වංශකතාවලට මූලාශ්‍රය වී ඇති නිසයි. යුනෙස්කෝ ආයතනය ගත් මේ පියවර අපේ අතීත උරුමය ලිඛිතව ඇති බවට දිව්‍යමය සාක්ෂියක් වනු නියතයි!

Comments