ප්‍රධාන ජේලර්ටත් සැලියුට් ගසා හිරකරු වැලිකඩින් පැන්න හැටි | Page 4 | සිළුමිණ

ප්‍රධාන ජේලර්ටත් සැලියුට් ගසා හිරකරු වැලිකඩින් පැන්න හැටි

සිරකාරයෝ බන්ධනාගාරවලින් හරි අපූරු ක්‍රම යොදාගෙන අමුතු විදිහට පැන යති. කුණු කානු දිගේ බඩගාමින් නිදහස සොයා යන්නෝ මෙන්ම බන්ධනාගාරය තුළට එන යන වාහන අස්සේ සැඟවී බන්ධනාගාරවලින් පිටතට පැන ගන්නා හිරකාරියෝද නැත්තේම නැත. උමං හාරාගෙන නිදහස සොයා යන්නෝ මෙන්ම බන්ධනාගාර නිලධාරීන් මෙන් හැද පැලඳ කිසිවෙකුටත් සැකයක් ඇති නොවන ලෙස බන්ධනාගාරවලින් පැන යන සිරකරුවන්ද සිටිති. එසේම බන්ධනාගාරවලට පහරදී සිරකරුවන් පන්නාගන්නා අවස්ථාද ඒ අතර නැතුවාම නොවේ.

මේ දේවල් වැඩි හරියක්ම අපි දකින්නේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටවලිනි. ඒ අතර අසල්වැසි ඉන්දියානු චිත්‍රපටවලද මෙවැනි දෑ ඉඳහිට දකින්නට ලැබේ.

සිරකාරයෝ බන්ධනාගාරයෙන් පලායන මේ දේවල් සෙලෝලයිට් පටවලින් දක්නට ලැබුණත් සැබෑ ලෝකයේදී මෙවැනි දේවල් ලෝකයේ සිදු නොවෙනවා ද නොවේ. මෙම සටහන තබන මොහොතේ මෙන්ම මෙම සටහන ඔබ කියවන මොහොතේ පවා ලෝකයේ කුමන හෝ බන්ධනාගරයකින් මෙවැනි උපක්‍රම යොදා හිරකරුවෙක් පලායමින් සිටිනු ඇත. 

අපේ රටේ ද බන්ධනාගාරවලින් හිරකාරයෝ පැන යති. වැඩි හරියක් දෙනා පලාගොස් ඇත්තේ රෝහල්වල ප්‍රතිකාර ලබන්නට ගොසිනි. එසේ පලා ගිය ඇතැම් අය වසර ගාණක් ගියද, අදටත් සොයාගන්නට නැති තරම්ය. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාසිටියදී අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට රෝහල්ගතව සිටියදී 2020 වසරේදී පැනගත් දෙහිවල කමල් නැමැති රැඳවියා අද රටේත් නැත. මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඇතිවුණු රෝගී තත්ත්වයකට රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කුඩු තිලාන් නැමැති කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරු පවා පැන්නේ රෝහලේ රඳවා සිටියදීය. එසේ පැනගත් ඔහු හසුවන්නේ වෙස් මාරුකරගෙන ඩුබායි පනින්නට ගොස් කටුනායක ගුවන්තොටුපොළේ දී රාජ්‍ය බුද්ධි සේවයේ නිරීක්ෂණයකිනි. අද ඔහු සිටින්නේ නිදහසේය. ඒ ජීවිතාන්තය තෙක් ලැබූ සිරදඬුම් දෙකකින්ම අභියාචනයකින් ඔහු නිදහස් වී සිටීම නිසාය. මේ ආකාරයට රෝහල්ගත වෙමින් හිරෙන් පනින්නට හිරකරුවන්ට පහසුය. රෝහල්වලදී බොහෝ අය හිරෙන් පනින්නේ වැසිකිළි යාමට යැයි කියාය. මෙසේ හිරකරුවන් පලා යන්නේද ඇතැම් දූෂිත නිලධාරීන්ගේ අතමිටද මොළවාය. ඒ බව පැහැදිලිවම හෙළි වූයේ කුඩු තිලාන් රාගම රෝහලින් පැන ගිය හැටි ගැන කෙරුණු විමර්ශනවලිනි.

බන්ධනාගාරවල සිට අධිකරණයට ගෙන යන අවස්ථාවලදී ද සිරකරුවෝ පැනයන අවස්ථාද නැත්තේම නැත. එසේ පලා ගිය හිරකරුවෝ අතර අදටත් අල්ලා ගන්නට බැරිවුණු සිරකරුවෝද සිටිති. සිරකරුවෝ පහසුවෙන්ම පලා යාමට තෝරා ගන්නේ මෙවැනි ක්‍රමය. ඒ අතර බන්ධනාගාර තාප්පවලින් පැන යන සිරකරුවෝ ද සිටිති. නමුත් එවැනි අවස්ථා විරලය. කඹ ආධාරයෙන් හෝ රෙදි පටි ගැටගසා සකස් කරගන්නා යම් ආධාරකයන් යොදාගෙන සිරකරුවන් බන්ධනාගාරයේ තාප්පවලින් පැනගිය හැටි ඉතිහාසයේ ඇතැම් තැන්වල සටහන්ව ඇතත් අද එය හිතන තරම් ලෙහෙසි නැත. නමුත් පසුගිය වසරේ සැප්තැම්බර් 16 වෙනිදා නම් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු තාප්පෙන් පැන්නේ බන්ධනාගාර නිලධාරීන්ට පවා ඔහු පැන ගියේ කෙසේ දැයි සිතා ගන්නටවත් ඉඩක් නොතබමිනි. එදා මහා දවාලයේ එම සිරකරු අඩි 20ක් 30ක් උසැති තාප්පයෙන් පලා යන්නේ ඇසිපිය හෙළන සැණින් බල්ටියක් ගසා තාප්පයට ගොඩවෙමිනි. සිය ගණනක් රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් සිටියදී ඔහු එසේ පැන ගන්නේ තාප්ප දිගේ බඩගෑමට ඇති සුවිශේෂි හැකියාව නිසාය. වෘත්තියෙන් පොල් කඩන්නෙක් ද වන ඔහු තාප්පෙන් පැන නිදහස සොයා ගිය ද සති දෙකකට වඩා නිදහස බුක්ති වින්දේ නැත. නැවතත් බන්ධනාගාරයටම එන්නේ කඩුවෙල අධිකරණයෙන් සොරකමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙනි. ඔහු පැන්නේ වැලිකඩිනි. නැවත ආවේ රිමාන්ඩ් බන්ධනාගාරයටය. ඒ වන විටත් මොහු වැලිකඩින් පැන්නේ කෙසේදැයි වැලිකඩ හැමෝම සිටියේ සිතා ගැනීමටත් නොහැකිවය. වැලිකඩින් පැන්න මෙම සිරකරු රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බව දැනගන්නේ ඔක්තෝබර් මාසයේදීය. ඒ වැලිකඩ සේවය කළ නිලධාරියෙක් රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය විටදීය. බල්ටි ගසා තාප්පයෙන් පැන ගිය හැටි පවා පසුව ඔහු පෙන්නුවේ බන්ධනාගාරයේ ලොකු නිලධාරීන් පවා පුදුමයට පත්කරමිනි. එදා සිට ඔහුව බන්ධනාගාරයේ හැමෝම හඳුන්වනු ලබන්නේ “ ස්පයිඩර් මෑන්“ ලෙසිනි.

ගාල්ල බන්ධනාගාරයෙන් 2014 වසරේ ජූලි මාසයේදී රැඳවියෙක් හිරෙන් පනින්නේ කසළ ටැක්ටරයක සැඟවීය. මීගමුවේත් මෙවැනිම ආකාරයට වරක් සිරකරුවෙක් පැන ගත්තේය. මේ හැරුණු කොට බන්ධනාගාරවල කුණු කානුවලින් රිංගා පලා යන්නට උත්සාහ දැරූ සිරකරුවන්ද නැත්තේම නැත. දුම්බර බන්ධනාගාරයෙන් පනින්නට ගිය සිරකරුවෙක් මෑතකදී මිය යන්නේ මහවැලි ගඟේ ගිලීමෙනි. ඒ එම බන්ධනාගාරයේ පැත්තක් ඇත්තේ මහවැලි ගඟට මායිම්ව වන බැවිනි.

මේ හැරුණු විට සෙලෝලයිට් පටවල දකින්නට ඇති ආකාරයට අනුව බන්ධනාගාරවල තාප්ප සිදුරු කරගෙන මෙන්ම උමං හාරා ගෙනද සිරකරුවන් පලා යාමට ගත් උත්සාහයන් මෙරට ඉතිහාසයේ ලියැවී ඇත්තේ වරක් දෙවරක් නොවේ. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඝාතනයට තැන් කිරීම සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට සූදානම් වූයේ උමඟක් හාරාගෙනය. ඒ සඳහා සැලසුම් පවා සකස් කරගෙන තිබුණ ද එය ව්‍යාර්ථ වන්නේ බුද්ධි අංශ වෙත කල්තියා ලද තොරතුරක් හේතුවෙනි. එසේ නොවන්නට උමඟක් හාරා සිරකරුවන් පලායාමක්ද මෙරට ඉතිහාසයේ ලියැවෙනු ඇත.

මෙසේ විවිධ ක්‍රම ඔස්සේ සිරකරුවන් පලා ගියද කිසිවිටෙකත් බන්ධනාගාර නිලධාරීන්ගේ නිල ඇඳුමක් ඇඟලාගෙන බන්ධනාගාර නිලධාරියෙක් ලෙස මෙරට කිසිදු බන්ධනාගාරයකින් සිරකරුවෙක් පලා ගිය බවක් ඉතිහාසයේ කොතනකවත් සටහන් වන්නේ නැත. එසේ පලා ගිය බවට තොරතුරක් වාර්තා වන්නේ ද නැත. අපි මේ දේවල් දැක්කේ චිත්‍රපටවලින් පමණි. සෙලෝලයිට් පටිවලින් දුටු ඒ දේ පසුගිය 25 වෙනිදා වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිතව සිදුවන්නේ මරණීය දණ්ඩනයෙන් සිරදඬුවම් ලබමින් සිටි සිරකරුවකු විසින් දීර්ඝ කාලයක් තිස්සේ කළ සැලසුමක ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ බන්ධනාගාර ඉතිහාසය පවා වෙනස් කරමිනි.

මෙම සිරකරු නමින් සුජිත් කුමාරය. ගම්පළාත ලෙස සැලකෙන්නේ පන්නල ඉහළකොටුවැල්ලය. අවුරුදු 42ක් වයසැති මෙම සිරකරු බන්ධනාගාරගත වන්නේ ගම්පහ මහාධිකරණය මඟින් 2015 වසරේ මාර්තු 06 වෙනිදා මරණීය දණ්ඩනයකින් ලබාදුන් දඬුවමකට අනුවය. ඒ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් ඔහු අධිකරණය හමුවේ වරදකරු වෙමිනි. එදා සිට සුජිත් කුමාරගේ නවාතැන්පොළ වූයේ වැලිකඩ බන්ධනාගාරයේ පිහිටි චැපල් වාට්ටුවයි. මරණීය දණ්ඩනයෙන් සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වන සිරකරුවන් රඳවා තැබෙන්නේ චැපල් වාට්ටුවේය. මෙම වාට්ටුවේ සිරකරුවන් රඳවා තැබෙන්නේ සුවිශේෂී ආරක්ෂාවක් සහිතවය. සෙසු සිරකරුවන් මෙන් ඔවුන්ට බන්ධනාගාරය තුළ එළිමහනේ පවා ඇවිදින්නට ඉඩක් නැත. විශේෂයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් ඔවුන් රඳවා සිටින සිර මැදිරිවලින් එළියට එන්නට අවස්ථාවක් ලැබෙන්නේ දිනකට පැයක් වැනි කෙටි කාලයක් පමණි. ඒ ඔවුන්ට ව්‍යායාම් කිරීමට සහ ඔවුන්ගේ සිරුරුවලට හිරු එළිය ලැබීමටය. එසේ මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් එළියට ගන්නේද ජේලර්වරයකුගේ අධීක්ෂණය යටතේය. ඒ හැරුණු කොට මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්ට සිර මැදිරිවලින් පිටතට පැමිණීමට අවස්ථාවක් ලැබෙන්නේ බන්ධනාගාරය තුළ පැවැත්වෙන සුවිශේෂී වැඩසටහන්වලදී පමණි. ඒ අතර ප්‍රමුඛ වන්නේ ආගමික වැඩසටහන්ය. ඉරිදා දහම් පාසල වැලිකඩ බන්ධනාගාරය තුළ මරණීය දඬුවම් නියම වී සිටින සිරකරුවන් වැඩිදෙනෙක් සහභාගි වන වැඩසටහනකි. ඒ දහම් පාසල පැවැත්වෙන පැය කිහිපයම ඔවුන්ට සිර මැදිරිවලින් පිටත සිටීමට අවස්ථාවක් උදා වෙන බැවිනි. සිරකරුවන්ට මෙහිදී තමන් කැමති ආගමකට අයත් දහම් අධ්‍යාපනයක් ලැබීමට හැකියාව ඇත්තේය. සුජිත් කුමාර ද මේ නිසාම ඉරිදා දහම් පාසලට සම්බන්ධව සිටියේය. කතෝලිකයෙක් වූ බැවින් ඔහු සම්බන්ධව සිටියේ කතෝලික දහම් පාසලටය. 

එදා උදෑසන අවදිව මුහුණ කට සෝදාගෙන උදෑසන ආහාරය ද ලබාගෙන දහම් පාසලට පැමිණි ඔහු සෙසු සිරකරුවන් සමඟ දහම් අධ්‍යාපනය ලබන අතර හැමෝගේම ඇස් වසා එතැනින් පැන ගත්තේ කල්තියා කළ සැලසුමකට අනුවය. වැසිකිළියට යන මුවාවෙන් දහම් පාසලෙන් එළියට පැනගත් ඔහු නැති අඩුව හැමෝටම දැනෙන්නේ දහම් පාසල නිමාවීමෙන් පසු සිරකරුවන් නැවත සිර මැදිරිවලට ඇතුළු කරන විටදීය. බන්ධනාගාරයේ හැම අස්සක් මුල්ලක්ම නෑර සොයා බැලූවත් සුජිත් කුමාරව සොයාගන්නට නැති තැන නිලධාරීන් කලබල වන විට ඒ ගැන සුවිශේෂි අවධානයක් යොමුකරනු ලබන්නේ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂාවට සිටි ගේට්කීපර්ගේය. ඒ සුළු මොහොතකට පෙර ඔහු රැඳී සිටි ගේට්ටුවෙන් පිටතට ගිය වැඩ පරීක්ෂක නිල ඇඳුමින් සිටි බන්ධනාගාර නිලධාරියෙක් කෙරෙහි ඇතිව තිබුණු සැකයක්ද ඇතැතිවය. මුව ආවරණයක් පැලඳ සිටි එම නිලධාරියා ගේට් කීපර් ලෙස සේවයේ නිරතව සිටි නියාමකවරයාට සැලියුට් එකක්ද ගසමින් එම ස්ථානය පසුකර බේස්ලයින් මාර්ගය දෙසට ගමන්කර ඇත්තේ “මම පල්ලෙකැලේ “යැයි කියාගෙනය. ඒ ඔහු සේවයේ නිරතව සිටින්නේ පල්ලෙකැලේ යැයි එම නියාමකවරයාට හඳුන්වාදෙමිනි.

මෙදා රට වටේම ඇති බන්ධනාගාරවලින් වැලිකඩ සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට සිරකරුවන් රැගෙන එන දවසය. විවිධ බන්ධනාගාරවලින් නිලධාරීන් පැමිණෙන බැවින් බොහෝ දෙනෙක් එකිනෙකා හඳුනන්නේත් නැත. තමන්ව එම නිලධාරීන් බොහෝ විට හඳුන්වනු ලබන්නේ බන්ධනාගාරයේ නම කියාය. ඒ පැමිණි නිලධාරීන් නැවත ඔවුන් පැමිණි බන්ධනාගාර වෙත යන්නේ වැලිකඩ, රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල සිට තමන් පැමිණි බන්ධනාගාරවලට රැගෙන යන්නට සිරකරුවන් සිටී නම් ඔවුන්වත් රැගෙනය. ඒ පැයක් හමාරක් එහි ගතකරය. වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවේ රැඳී සිටි නියාමකවරයාට පල්ලෙකැලේ යැයි කියා පිටව ගිය නිලධාරියා ගැන යම් සැකයක් ඇති වන්නේ තමා සමඟ වැඩි භජනයට නොගොස් ඔහු තරමක් කලබලයෙන් මෙන් ගේට්ටුව පසුකරගෙන ගිය බැවිනි. ඒ ගිය ඔහු බන්ධනාගාරය ඉදිරිපිටින් ඇති බේස්ලයින් මාර්ගය හරහා ගොස් ත්‍රිරෝද රථයක නැඟී යන්නේ පුංචි බොරැල්ල දෙසටය.

සුජිත් කුමාරව සොයා කලබලවී සිටි සිය උසස් නිලධාරීන්ට මේ ගැන මෙම නියාමකවරයා පැවසුවේය. ඒත් එක්කම එම නිලධාරීන් වහාම ක්‍රියාත්මක වෙමින් බන්ධනාගාරයේ පිටත සවිකර ඇති ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂාකර බැලුවේය. එතෙක් වේලා බන්ධනාගාරය ඇතුළත අස්සක් මුල්ලක් නෑර තමන් සොයමින් සිටියේ ඒ වන විටත් බන්ධනාගාරයෙන් පිටතට පලා ගොස් සිටින සිරකරුවකුව බව ඒ හැමෝටම දැනගන්නට ලැබෙන්නේ එහිදීය. බන්ධනාගාර නිලධාරියකුගේ වෙස්ගත් එම සිරකරු එදා වැලිකඩ බන්ධනාගාරයේ ගේට්ටුවෙන් එළියට එන්නට පෙර ප්‍රධාන ජේලර්වරයා පවා ඔහු ඉදිරියට හමුවී ඇත. එහිදී පවා කිසිදු වෙනසක් නොපෙන්වූ සුජිත් කුමාර ප්‍රධාන ජේලර්වරයාට පවා ආචාර කර ඇත්තේ සැබෑ බන්ධනාගාර නිලධාරියකු මෙන් හැසිරෙමිනි. එහිදී එම ආචාරයට ප්‍රධාන ජේලර්වරයාගෙන් ප්‍රතිචාරය ද ලැබී තිබේ. තමා ඒ ආචාර කර ඇත්තේ පලා යමින් සිටි සිරකරුවකුට බව ප්‍රධාන ජේලර්වරයා පවා දැනගන්නේ ආරක්ෂක කැමරා මගින් සිරකරු පලා ගියේ බන්ධනාගාර නිලධාරියකුගේ නිල ඇඳුමකින් සැරසී බව තහවුරු කර ගැනීමත් සමඟිනි.

මේ බව ඉහළ බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කරමින් වැලිකඩ බලධාරීන් බස් රථයක් පුරවා නිලධාරීන් රොත්තක්ම පුංචි බොරැල්ල දෙසට යැවෙන්නේ පලා ගිය සිරකරු අල්ලා ගන්නටය. ඒ අතර බන්ධනාගාරය තුළ තිබුණු ත්‍රිරෝද රථ සහ වෑන් රථ මෙන්ම මෝටර් රථවල ද නැඟී නිලධාරීන් හතර වටේ යන්නට වූයේ පලා යමින් සිටි සිරකරුව අල්ලාගන්නටය. ඒ වන විටත් ඔහු පලාගොස් සැලකිය යුතු වේලාවක් ගතවී තිබුණත්, නිලධාරීන් උත්සාහය අතහැරියේ නැත. නිල ඇඳුමෙන් ගමන් කළ බන්ධනාගාර නිලධාරියෙක් දුටුවේදැයි ත්‍රිරෝද රථ රියදුරන්ගෙන්, බස් නැවතුම්වල රැඳී සිටින්නන්ගෙන්, ලොතරැයි කූඩුවලින් වගේම යාචකයන්ගෙන්ද විමසමින් කොළඹ හතර වටේම බන්ධනාගාර නිලධාරීන් කරක් ගසන්නට ගත්තේය. ඒ අතර නිලධාරීන් කණ්ඩායමක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ගියේය. තවත් කණ්ඩායමක් මධ්‍යම බස් නැවතුම්පොළ වෙතත් පුද්ගලික බස් නැවතුම්පොළ වෙතත් ගොස් බස් රථවල නැඟී සිරකරු ඒවායේවත් සිටීදැයි සොයා බලන්නට ගත්තේය.

මේ අතර කොටුව දුම්රිය පොළ වෙත ගිය නිලධාරීන් දුම්රිය මැදිරි පරීක්ෂා කරමින් සිටියදී දකින්නේ රඹුක්කන බලා ගමන් ඇරඹූ දුම්රියේ මැදිරියක කාකි නිල ඇඳුමක් ඇදගත් අයෙක් අසුන් ගෙන සිටින බවය. එම පුද්ගලයා බන්ධනාගාරයෙන් පැන්න සිරකරු බවට පැහැදිලිව හඳුනා නොගත්තත් පන්නමින් සිටියේ නිල ඇඳුමින් සිටි පුද්ගලයෙක් පස්සේ බැවින් ඒ ඔහු විය හැකි බව නිලධාරීන් සැක කළේය. ඒ වන විටත් දුම්රිය තිබෙන්නේ ධාවනය වෙමිනි. ඒ පස්සේ දිවගොස් එහි ගොඩවීම අසීරු කටයුත්තක් වූ බැවින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ රැඳී සිටි නිලධාරීන් සිය ජංගම දුරකථන මගින් මරදාන කිට්ටුව පාත සෝදිසියේ නිරතව සිටි නිලධාරීන්ට දැනුම් දෙන්නේ හැකි ඉක්මනින් මරදාන දුම්රිය ස්ථානයට ගොස් කොටුවේ සිට පැමිණෙන දුම්රිය පරීක්ෂා කරන ලෙසය. ඒ දුම්රියේ පාට පවා කියමිනි. ඒ අනුව ඒ කිට්ටුව පාත රැඳී සිටි නිලධාරීන් කණ්ඩායමක් ඒ සැණින් මරදාන දුම්රිය ස්ථානයට දිව ගියේය. ඒ වන විටත් දුම්රිය තිබෙන්නේ මරදානත් කොටුවත් අතර ධාවනය වෙමිනි. එම දුම්රිය රඹුක්කන බලා ධාවනය වන දුම්රිය බව දැන නොසිටියත් කොටුවේ සිට පැමිණෙන එම දුම්රිය නතර කරන වේදිකාව දුම්රිය සේවකයන්ගෙන් විමසා දැනගත් බන්ධනාගාර නිලධාරීන් එම වේදිකාවේ පමණක් නොව, ඒ අවට හැම තැනක්ම ආවරණය වන ලෙස ආරක්ෂක වළල්ලක් ද යොදවනු ලැබීය. දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේ නියමිත වේදිකාවේ නතර කරන විට ඊට ගොඩවීමට සූදානමින් සිටි බන්ධනාගාර නිලධාරීන් දුටු බන්ධනාගාර නිල ඇඳුමින් සිටි සිරකරු කලබල විය. ඔහු දුම්රියෙන් පැන්නේය. ඒ වේදිකාව පැත්තට නොව, දුම්රිය මාර්ගයටය. ඔහු දුම්රිය මාර්ගය ඔස්සේ දිව යන විට රැකවල් යොදා සිටි නිලධාරීන් ඔහුව පන්නා ගොස් අල්ලන්නේ වැඩි වෙහෙසකින් තොරවය. ඒ මෙරට ඉතිහාසයේ පළමු වරට බන්ධනාගාර නිල ඇඳුමකින් පලා ගිය සිරකරුවෙක් පලා ගොස් පැය කිහිපයක් තුළ අල්ලා ගත් බවට ද වාර්තා පොත්වල සටහන් තබමිනි.

වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ මෙම සිරකරුව පසුව යොමු කෙරෙන්නේ බූස්ස බන්ධනාගාරය වෙතය. ඒ තවදුරටත් ඔහුව වැලිකඩ තබා ගැනීම අනාරක්ෂිත බව බන්ධනාගාර බලධාරීන්ට පෙනී යන්නට වූ බැවිනි. මෙම සිරකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙන්නේද බූස්සට රැගෙන යාමෙන් අනතුරුවය. බන්ධනාගාරය පැත්තෙන් කියැවෙන නිල තොරතුරුවලට අනුව මෙම සිරකරු පලා යන විට හැඳ සිටි ඇඳුම ඔහු ලබා ගත්තේ යැයි කියැවෙන්නේ නිලධාරියකුගේ ලොකරයකිනි. තවත් පැත්තකින් කියැවෙන්නේ සිරකරුවන් කිහිප දෙනකුගේ සහය ඇතිව ස්ටෝරු කාමරයෙන් පන්නා ගත් බවය. බන්ධනාගාරය අභ්‍යන්තරයෙන් ලැබෙන තවත් තොරතුරකින් කියැවෙන්නේ මැහුම් පාටියේ සිරකරුවන්ගේ සහාය ඇතිව නිල ඇඳුම පන්නා ගත් බවය. මේ කුමන ආකාරයකින් හෝ ඔහු නිල ඇඳුමක් පන්නා ගත්තා පමණක් නොව, එම නිල ඇඳුමින් සැරසී බන්ධනාගාර නිලධාරීන් පවා නොමඟ යවමින් එළියට පැන්නේය. ඒ කාලයක් තිස්සේ බන්ධනාගාර නිලධාරීන්ගේ හැසිරීම සහ බන්ධනාගාරය තුළ සිදුවන ක්‍රියාවන් හොඳින් නිරීක්ෂණය කරමිනි. මේ මොන දේ කළත් නිල ඇඳුම ලබා ගැනීමේදී ඊට සම්බන්ධවන සිරකරුවන්ට ද සැලකිය යුතුය. එසේම නිල ඇඳුමක් පැන්නීම ක්ෂණිකව කළ හැකි කටයුත්තක්ද නොවීය. ඒ අනුව පැහැදිලි වන්නේ ඔහුගේ අතට නිල ඇඳුම පත් කළ සිරකරුවන්ට ඔහු සලකා ඇති බවය. ඒ ගැන පවා මේ වන විට බන්ධනාගාරය පැත්තෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවා සිදුවෙමින් ඇත්තේ එම සිරකරුවන් කවුරුන්දැයි හඳුනා ගනිමිනි.

මෙහිදී හෙළි වූ සුවිශේෂි කරුණක් වන්නේ මෙම සිරකරු මෙතරම් මහන්සියක් ගෙන පලා යන්නේ නිදහස සොයා නොවන බවය. ඒ සිය බිරියගෙන් පළිගන්නට බවය. බිරියගෙන් පළිගන්නට ඔහු සිතන්නේ ඇය වෙනක් බලාගෙන සතුටින් කල්ගෙවමින් සිටින බවට තොරතුරක් ලැබීම මුල්කරගෙනය. එය ඇත්තක්ද? නැත්තක්ද? යන්න ගැන පැහැදිලි අවබෝධයක් ඔහුට නොවීය. එසේම බිරියගෙන් පළිගන්නේ කෙසේදැයි කියාවත් ඔහුට සැලසුමක් නොවීය. නිලධාරියකුගේ නිල ඇඳුමකින් සැරසී සැලසුමක් ඇතිව බන්ධනාගාරයෙන් පැන්නත් ඉන් එහාට කළ යුතු දේවල් ගැන නිසි අවබෝධයක් පවා ඔහුට නොවීය. එසේ වී නම් ඔහුව කිසි විටකත් මරදාන දුම්රිය ස්ථානයේදී බන්ධනාගාර නිලධාරීන්ට හසුවන්නේද නැත. එසේ වී නම් ඔහුගේ බිරියගේ ජීවිතයට මේ වන විටත් ලොකු අනතුරක් සිදුවී හමාරය.


බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක

මේ සිද්ධිය පිළිබඳව දැනට විමර්ශන දෙකක් සිදුකරනවා. එකක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන්.

අනෙක බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ නැති නම් බන්ධනාගාර බුද්ධි අංශයෙන් සිදුවෙනවා. මෙහිදී අදාල සිරකරුගෙන් සිදුකෙරුණු මූලික පරීක්ෂණවලදී ඔහු පවසා ඇති කරුණු සියල්ලම සත්‍යයයැයි කියා අපි පිළිගන්නේ නැහැ.

නිල ඇඳුම ලැබුණේ කෙසේද?, පැනයාමට සැබෑ හේතුව මේවගේ දේවල් අප විමසුවාම සිරකරුවෙකු කියන්නේ ඒ වෙලේට හිතට එන දේවල්. දැනට මේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයේදී නිලධාරීන් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෛන තිබෙනවා. සිරකරුව බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට මාරුකර යැව්වා.

Comments