භාවනාවට බාධා වන ශරීර ඉරියව් | Page 4 | සිළුමිණ

භාවනාවට බාධා වන ශරීර ඉරියව්

‘කාර්යබහුල ලෝකයක දිවි ගෙවන මනස නිරතුරුවම ව්‍යාකූලය. එම ව්‍යාකූල බවින් මිදී සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරී වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙසින් වැඩිය නොහැකිය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝ දෙනා ථෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගීත්වය මහත් සේ අගය කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමි විසින් රචිත Mindfulness In plain English (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අ‍ෙමරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ 100ක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සතිපතා කොටස් වශයෙන් සිළුමිණෙහි පළ වන අතර, මේ එහි දහඅට වැනි කොටසයි.

ඔබගේ සහකරුගේ හෝ සහකාරියගේ වියෝව (මරණය) ඔබ භාර ගන්නේ කෙසේ ද? හෙට ඔබගේ මවගේ මරණය සිදුවුවහොත් එය ඔබට කෙලෙස දැනෙයි ද? ඔබගේ සොයුරිය හෝ සමීප මිතුරකුගේ වියෝව ඔබට කෙලෙසක දැනේවි ද? එකම දිනෙක රැකියාව අහිමිවී තැන්පත් කර තිබූ ධනය හා දෙපා අහිමි වුවහොත් ඉතිරි මුළු ජීවිත කාලයම රෝද පුටුවකට වී ගෙවන්නට සිදුවන තත්ත්වයකට මුහුණදීමට ඔබට හැකි ද? සුවකළ නොහැකි පිළිකාවක් ඔබට වැලඳුණ හොත් එහි වේදනාව ඔබ හසුරුවා ගන්නේ කෙසේ ද? එලෙස එළඹෙන මරණය සමඟ ඔබ ගනුදෙනු කරන්නේ කෙසේ ද? මෙවැනි අවාසනාවන්ත බොහෝ දේවලින් ඔබට ගැලවිය හැකි නමුදු සියල්ලන්ගෙන්ම ගැලවිය නොහැකිය. අප බොහෝ දෙනෙකු තමන්ගේ ජීවිතයේ යම් දිනෙක මිතුරන් හා නෑදෑයින් ගේ වියෝව අත්දකිනු ඇත. අපි සැම රෝග පීඩාවන්ට ගොදුරු වෙමු. එමෙන්ම දිනෙක අප මිය යනු ඇත. මෙවැනි සිදුවීම් තුළින් කනගාටුවීම හෝ ඒවාට විවෘතව මුහුණදීම කළ යුතුව ඇත. තේරීම ඇත්තේ ඔබ අතේය.

වේදනාව නොවැළැක්විය හැකි නමුත් දුක එසේ නොවේ. වේදනාව හා දුක්විඳීම තත්ත්වයන් දෙකකි. ඔබගේ වර්තමාන මානසික තත්ත්වයෙන් මෙවන් ශෝකජනක සිදුවීමකට මුහුණපෑමට සිදුවූ විට ඔබ දුක් විඳිනු ඇත. වර්තමානයේ ඔබගේ මනස පාලනය කරන පුරුදු රටාවන් ඔබව දුකට කොටු කළ විට එයින් ගැලවීම අපහසුය. මෙවැනි පුරුදු රටාවන්ට සරිලන විකල්ප ඉගෙන ගැනීම සඳහා ගත කරන කාලය ඉතා හොඳ ආයෝජනයකි. බොහෝ මනුෂ්‍යයන් වින්දනය වැඩිකර ගැනීම හා වේදනාව අඩුකර ගැනීම සඳහා ඔවුන්ගේ මුළු ශක්තියම වැය කරති. මෙම ක්‍රියාව මුළුමනින්ම නතර කළ යුතුයි කියා බුදුදහම නොපවසයි. මුදල් සහ සුරැකියාව යහපත් දේය. හැකි සෑමවිටම වේදනාව මඟ හැරිය යුතුය. ඔබ සතු සියලු වස්තුව අත හරින්න හෝ අනවශ්‍ය වේදනාව සොයායන්න කියා හෝ කිසිවකු ඔබට නොකියයි. නමුත් සමහර වේදනා නොවැළැක්විය හැකි බැවින් එම අමිහිරි අත්දැකීම් සමඟ ගනුදෙනු කිරීමට ඉගෙන ගැනීම සඳහා කාලය යොදවන ලෙස බුදුදහම ඔබට උපදෙස් දෙයි. ඔබ දෙසට ඇදී එන වාහනයක් දුටු විට ඔබ එම මාර්ගයෙන් ඉවතට පනින්න. එහෙත් භාවනාව සඳහා ද කාලය යොදවන්න. ඔබ නොදකින වාහනයෙන් බේරීම සඳහා ඔබ සූදානම් කරන එකම ක්‍රමය, අමිහිරි දේ සමඟ ගනුදෙනු කිරීමට ඉගෙන ගැනීමයි.

ඔබගේ පුහුණුවේදී බාධක හමුවෙනු ඇත. ඒ ශාරීරික, මානසික හා ආකල්පමය වශයෙනි. සියල්ලටම මුහුණ දීම කළ හැකි වන අතර ඒවා එකිනෙකට සුවිශේෂී වූ ප්‍රතිචාර තිබේ. ඒ සෑම එකක්ම ඔබව නිදහස් කරන අවස්ථාවන් වෙයි.

පළමුවන ගැටලුව - ශාරීරික වේදනාව

කිසිවෙකු වේදනාවට කැමති නැති නමුදු, සෑම පුද්ගලයකුට ම කවර කලෙක හෝ වේදනාව දැනෙනු ඇත. මෙය ජීවිතයේ ඉතා සුලභ අත්දැකීමක් වන අතර කවර ආකාරයකින් හෝ එය භාවනාවේදී ද මතුවිය හැකියි.

වේදනාව හසුරුවා ගැනීම පියවර දෙකකින් සමන්විතය. පළමුව හැකිනම් වේදනාව දුරු කරගන්න. අඩුතරමින් යම් කිසි ප්‍රමාණයකට හෝ වේදනාව අඩුකර ගන්න. තවමත් තරමකට ඉතිරිව තිබේ නම් එය ඔබගේ භාවනා අරමුණ ලෙස පාවිච්චි කරන්න. පළමුවන පියවර එය සමඟ භෞතිකව ක්‍රියා කිරීමයි. වේදනාවට හේතුව හිසරුදාව, උණ හෝ සීරීමක් වැනි රෝගී තත්ත්වයක් නම් භාවනාවට වාඩිවීමට පෙර අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. එනම් ඖෂධ පාවිච්චිය, ආලේපන තැවරීම වැනි දේවල්ය. වාඩිවී සිටින ඉරියව්ව හේතුවෙන් ඇතිවන වේදනාවන් ද ඇත. ඔබ කිසිදිනෙක එරමිණියා ගොතාගෙන වාඩි වී නොමැති පුද්ගලයකු නම් එයට පුරුදු වීම සඳහා තරමක කාලයක් ගතවෙනු ඇත. සමහර අපහසුතා නොවැළැක්විය හැකි තරම්ය. වේදනාව දැනෙන ස්ථානයට අනුව එයටම සුවිශේෂී වූ ප්‍රතිකාර ඇත. පාදයේ හෝ දණහිසේ වේදනාව දැනෙන විට ඔබගේ ඇඳුම් තද වැඩි ද කියා පරීක්ෂා කරන්න. ඒවා ගොරෝසු රෙද්දෙන් මසා ඇත්නම් හෝ සිරුරට හිරවන සේ තිබේ නම් ප්‍රශ්නය එය විය හැක. ඒවා මාරු කරන්න උත්සාහ කරන්න. ඔබ වාඩි වී සිටින කුෂන් කොට්ටය ද පරීක්ෂා කරන්න. පුරවා තද කළ විට එහි උස අඟල් තුනක් පමණ විය යුතුය. වේදනාව ඉණ පෙදෙසේ නම් ඔබගේ බඳ පටිය හෝ ඉණ ආශ්‍රිතව ඇඳුම් ලිහිල් කරන්න. පිටේ ඉහළ ප්‍රදේශයේ ඇතිවන වේදනාව ඔබගේ වැරදි ඉරියව්ව හේතුවෙන් විය හැකියි. පිටකොන්ද නමා ගෙන සිටීම කිසිවිටෙකත් පහසු ඉරියව්වක් නොවේ. එබැවින් ඍජුව වාඩිවන්න. සිරුර දැඩි නොකර, ලිහිල්ව, කොඳු නාරටිය ඍජුව තබා ගන්න. පිටේ ඉහළ කොටසේ හෝ බෙල්ලේ වේදනාවට හේතු ගණනාවක් ඇත. පළමුවන හේතුව දෑත් තබාගෙන සිටින ඉරියව්ව විය හැකියි. ඔබගේ දෑත පහසුවෙන් උකුල මත තිබිය යුතුය. ඒවා ඔබගේ බඳ දක්වා ඉහළට ගෙන නොඑන්න. අත්බාහු හා ඔබගේ බෙල්ලේ පේශීන් පහසුවෙන් තබා ගන්න. හිස පහතට කඩා නොවැටී, කොන්දට හරි කෙළින් තබා ගන්න.

මෙම සියලුම වෙනස් කිරීම් අත්හදා බැලීමෙන් පසුව ද වේදනාව පවතියි නම් දෙවන පියවර අනුගමනය කරන්න. එනම් වේදනාව ඔබගේ භාවනා අරමුණ ලෙස භාවිත කරන්න. කලබල නොවන්න. වේදනාව එළඹි සිහියෙන් යුතුව නිරීක්ෂණය කරන්න. වේදනාව උග්‍ර වන විට, එය ඔබගේ අවධානය හුස්ම වෙතින් ඉවතට අදින බව දැනෙනු ඇත. ඒ සමඟ සටන් නොවදින්න. වේදනාව කෙරෙහි ඔබගේ සම්පූර්ණ අවධානය යොමු කරන්න. එවිට හටගන්නා හැඟීම ගවේෂණය කරන්න. එය මඟහරින ප්‍රතික්‍රියාව ඉක්මවා ගොස් වේදනාවට යටින් ඇති ශුද්ධ සංවේදනා තුළට කිඳා බසින්න.

ඒ තුළ පවතින සංඝටක දෙකක් ඔබ දකිනු ඇත. පළමුවැන්න සරල සංවේදනයක් වන වේදනාවයි. දෙවැන්න ඔබ එයට දක්වන ප්‍රතිරෝධයයි. මෙම ප්‍රතිරෝධය අඩක් මානසික හෝ අඩක් ශාරීරිකය. ශාරීරික කොටස රිදුම් දෙන ප්‍රදේශය අවට පේශීන් දැඩි කරයි. එම පේශීන් ලිහිල් කරන්න. එකිනෙක රැගෙන, එම පේශීන් මනාව, මුළුමනින්ම ලිහිල් කරන්න. මෙම පියවර මගින්ම වේදනාව සෑහෙන දුරට අඩුකරනු ඇත. දැන් මානසික ප්‍රතික්‍රියාව දෙසට යොමුවන්න. ඔබ මානසිකව ද තද කිරීමක් කරයි. මානසිකව එය යටපත් කරන ඔබ එය ඔබගේ විඥානයෙන් මුවාකර ප්‍රතික්ෂේප කරයි. මෙම ප්‍රතික්ෂේප කිරීම වචන රහිතව "මම මෙම සංවේදනයට අකමැතියි" හෝ "ඉවත යන්න" වැනි ආකල්පයක් දැක්වීමකි. එය ඉතාමත් සියුම්ය. නමුත්, එය පවතින අතර නියම ආකාරයෙන් බලන කල ඔබ එය දකිනු ඇත. එය ද සොයාගෙන, ලිහිල් කරන්න.

එම අවසාන කොටස වඩාත් සූක්ෂ්ම වන අතර එය නිවැරදිව විස්තර කිරීමට මිනිස් ලොවෙහි වචන නැත. සමානතා ගෙනහැර දැක්වීමක් මගින් එය හොඳින් වටහා ගත හැකියි. ඔබගේ දැඩි වූ පේශීන් ලිහිල් වූ ආකාරය විමසා බලා එය මානසික තලයට ද ක්‍රියාත්මක කරන්න. එනම් සිරුර ලිහිල් කර සන්සුන් කළ ආකාරයටම සිත ද ලිහිල් කරන්න. සිත හා සිරුර ඉතා තදින් එකිනෙක බැඳී පවතින බව බුදුදහම පිළිගනියි. මෙය සැබැවින්ම සත්‍ය වන අතර බොහෝ දෙනා එය පියවර දෙකක් ලෙස දකින්නේ නැත. ඒ ඔවුන් සිරුර ලිහිල් කිරීම යනු සිත සන්සුන් කිරීම හා සිත සන්සුන් කිරීම යනු සිරුර ලිහිල් කිරීම යනුවෙන් අදහස් කරන බැවිනි. මොවුන් සම්පූර්ණ ක්‍රියාවලිය වන සිත හා සිරුර විවේකයට පත්කිරීම තනි ක්‍රියාවලියක් සේ අත්දකියි. කෙසේවෙතත් ඔබගේ අවධිමත් බව, ප්‍රතිරෝධය නමැති බාධකය පසුකොට එයට යටින් ගලායන නිමල සංවේදනා ප්‍රවාහයට නිදහසේ ඇතුළුන තෙක් මුදා හරින්න. ප්‍රතිරෝධය ඔබ විසින් ම තනා ගත් බාධකයකි. එය තමා හා අනුන් අතර ඇතිකරගත් පරතරයකි. පරතරයක් පිළිබඳ හැඟීමකි. එය "මා" හා "වේදනාව" අතර පනවාගත් සීමා මායිමකි. එය දියකර හැරිය විට වෙන්කිරීම නොපෙනී යනු ඇත. ගලා යන සංවේදනා සාගරයට සෙමෙන් අවතීර්ණ වූ විට ඔබ වේදනාව හා එකතු වනු ඇත. එවිට ඔබ වේදනාව බවට පත්වෙයි. ඔබ එම ප්‍රවාහයේ නැඟීම හා බැසීම දෙස බලා සිටින විට විශ්මිත දෙයක් සිදුවනු ඇත. තවදුරටත් වේදනාවක් නැත. දුක පහව ගොසිනි. අත්දැකීමක් ලෙස, විඳීමේ සංවේදීතාව පමණක් ඉතිරිව ඇත. වේදනාවෙන් පෙළුණු "මම" ඉවත්ව ගොසින්ය. අවසාන ප්‍රතිඵලය වේදනාවෙන් නිදහස් වීමයි.

මෙය ප්‍රවර්ධනය වන ක්‍රියාවලියකි. ආරම්භයේදී සුළු වේදනාවලින් ජය ලබන ඔබ මහත් වේදනාවලින් පරදිනු ඇත. අපගේ බොහෝ කුසලතා මෙන්ම මෙය ද පුහුණුව මඟින් දියුණු වන්නකි. වැඩි වැඩියෙන් පුහුණු වන විට විශාල වේදනාවන් හසුරුවා ගැනීමට ද හැකිවෙයි. මෙය හොඳින් වටහා ගන්න. මෙහිදී ස්වයං වධහිංසා කිරීමක් නැත. උග්‍ර තපස් රැකීමක් මින් අදහස් නොකරමු. මෙය ස්වයං වධදීමක් නොව අවධිමත් බව ප්‍රගුණ කිරීමකි. වේදනාව දරා ගත නොහැකි මට්ටමට බලවත් වූ විට සෙමෙන් හා සිහියෙන් යුතුව ඉරියව්ව වෙනස් කරන්න. ඔබගේ චලන නිරීක්ෂණය කරන්න. චලනය කරන විට ඔබට දැනෙන්නේ කෙසේ දැයි බලන්න. වේදනාව ඉවත්ව යෑම දකින්න. අවශ්‍ය ප්‍රමාණයට වඩා චලනය නොකරන්න. සෙලවීම අඩුවන තරමට අවධිමත් බවෙන් සිටීමට පහසු වෙයි. වේදනාවෙන් පෙළෙන විට සිහියෙන් සිටීමට අපහසු බව ආධුනික භාවනානුයෝගීහු පවසති. අපහසුතාව වැරදි වැටහීම හේතුවෙන් ඇති වන්නකි. එළැඹි සිහිය යනු වේදනාවෙන් වෙන්වූ දෙයක් ලෙස මෙම සිසූහු දකිති. එය වැරදිය. එළැඹි සිහිය කිසි විටකත් තනිව නොපවතියි. එය සැම විටම යම්කිසි වස්තුවක් ඇසුරෙන් පවතියි. වේදනාව මනෝ භාවයකි. හුස්ම ගැන සිහියෙන් සිටින ආකාරයටම ඔබට වේදනාව පිළිබඳව ද අවදිමත් බවෙන් සිටිය හැකියි.

හතරවන පරිච්ඡේදයේදී සාකච්ඡා කළ කරුණු අන් සියලුම මානසික ස්වභාව සේ ම වේදනාව සඳහා අදාළ වනු ඇත. එම සංවේදනය පවතින ප්‍රමාණයට වඩා අඩු වැඩි නොකිරීමට ඔබ ප්‍රවේශම් වන්න. එයට කිසිවක් එකතු නොකරනවා මෙන්ම එයින් කිසිවක් මඟ නොහරින්න. එම ශුද්ධ අත්දැකීම සංකල්ප හෝ විසිරුණු සිතිවිලි මගින් කිලිටි නොකරන්න. එහි පටන්ගැන්ම හා අවසානය මඟ නොහැරෙන සේ ඔබගේ සිහිය වේදනාව කෙරෙහිම තබා ගැනීමට උත්සාහ කරන්න. අවධිමත් බවෙන් වේදනාව නොදකින විට තරහ, බිය හෝ කාංසාව වැනි හැඟීම් ප්‍රතිචාර ඇති වේ. එය නිවැරදිව දකින විට, එවන් ප්‍රතිචාර පැන නොනඟිනු ඇත. එය සරල ශක්තියක් වන සංවේදනයක් පමණක්ම වෙයි. ශාරීරික වේදනාව ආශ්‍රිතව ඔබ මෙම ක්‍රමවේදය ඉගෙනගත් විට අනෙකුත් ජීවිත අත්දැකීම් කෙරෙහි ද ඒවා පාවිච්චි කළ හැක. සියලුම අමිහිරි ඇත්දැකීම් සඳහා ම ඔබට එය භාවිත කිරීමට පිළිවන. වේදනාව සඳහා ප්‍රතිඵලදායි වන ක්‍රම කාංසාව හෝ විශාදය සඳහා ද යහපත් ප්‍රතිඵල ලබා දෙනු ඇත. මෙම උපක්‍රමය ජීවිතයට ඉතාමත් ප්‍රයෝජනවත් දක්ෂතාවකි. එය ඉවසීමයි.

 

(නිදිමත භාවනාවට ගැටලුවක්ද? මීළග

කලාපයෙන් විමසා බලමු)

Comments