දුගීකමට අස්වැසුමක් දෙන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් අවශ්‍යයි | Page 4 | සිළුමිණ

දුගීකමට අස්වැසුමක් දෙන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් අවශ්‍යයි

ජය මඟින් ආරම්භ කිරීමට යෝජිත 'අස්වැසුම' වැඩසටහන මෙරට දුගී ජන කොටස් සඳහා සහන ලබා දීමේ ජාතික ප්‍රතිපත්තියේ දිගුවක් ලෙසට හඳුනාගත හැකිය. සුබසාධක රාජ්‍යයක් ලෙසට මෙර‍ට විකාශය වීම ඩොනමෝර් ව්‍යවස්ථාව (1931-47) යටතේ ආරම්භ වූ අතර, එය දෙවැනි ලෝක යුද්ධ සමයේ මුහුණ දීමට සිදු වූ අයහපත් ආර්ථික තත්ත්වය මත වඩාත් තීව්‍ර සමාජ අවශ්‍යතාවක් බව සනාථ විය. මෙසේ ක්‍රමිකව විකාශ වූ සුබසාධක රාජ්‍ය සහිත ආර්ථිකය “බීජය සිටුවීමට පෙර ඵලය අනුභව කිරීමේ” ක්‍රමයක් ලෙසට පසු කලකදී ආර්ථික විද්‍යාඥයකු විසින් හඳුන්වා දී තිබිණ.

ජනතාව සඳහා සහන සැලසීම විශේෂයෙන් ආහාර සහනාධාර, පංගු ක්‍රම ලබා දීමේ වැඩසටහන්වල ඇරඹුම 1942 තරම් ඈත අතීතයකට දිවයන අතර, එහිදී ඇති කළ “ආහාර සලාක ක්‍රමය” ඉතා සුළු වෙනස්කම් සහිතව ජාතික අය වැයට දරාගත නොහැකි තරම් වාර්ෂික වියදමක් ඇති කරමින් 1942-1987 අතර කාලයේ ක්‍රියාත්මක විය.

දරාගත නොහැකි වියදම් හේතු කොට ගෙන ආහාර සලාක ක්‍රමයට සංශෝධන ගෙන ඒම සඳහා පළමුව 1953දීත්, පසුව 1964දීත් ඉදිරිපත් කළ යෝජනා දැඩි මහජන විරෝධතා හේතුවෙන් අත්හැර දැමිණි. එහෙත් 1977 බලයට පැවති නව රජය, ආහාර සලාක ක්‍රමය අවශ්‍යතාව මත පදනම්ව 50%කින් පමණ අඩුකර පසුව, “ආහාර මුද්දර” ලෙසට නව වැඩසටහනකට පරිවර්තනය කර ක්‍රියාත්මක කෙරිණ.

“අවශ්‍යතාව ” පදනම්ව ලබා දුන් මුදල් වටිනාකමකින් යුතු ආහාර මුද්දර ක්‍රමය, 1989දී ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් අදියරගතව, “ජන සවිය” නමින් ක්‍රියාත්මක කළ නව ප්‍රවේශයකට එළැඹි අතර, එය සහනාධාර ක්‍රියාවලිය තුළ ආහාර ලබා දීමෙන් ඔබ්බට ගොස් “දුගීකම තුරන් කිරීමේ” නව ආකෘතියක් ඉදිරිපත් කරන ලදී. මෙම වැඩසටහනට ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා “ප්‍රජාව විසින්” දිළිඳු ජනතාව හඳුනාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබිණ. මෙම වැඩසටහනට ඇතුළත් වූ තවත් විශේෂිත අංගයක් නම් එය“වසර දෙකක”නිශ්චිත කාලයක් සඳහා පමණක් වලංගු වීමය. කෙසේ වුවද ආර්ථිකයේ ව්‍යූහාත්මක ගැටලු හේතුවෙන් අත් කර ගත හැකිවූ ඉතා අඩු සංවර්ධනය තුළ දුගී ජනතාවගේ ආර්ථික තත්ත්වයන් වසර දෙකක් වැනි කෙටි කලකින් ඉහළ දැමීමට ප්‍රමාණවත් ප්‍රසාරණයක් නිෂ්පාද‍නයේ ඇති නොකෙරිණ.

“ජනසවිය” වැඩසටහන 1994 වසරේ බලයට පැවති රජය, “සමෘද්ධි”නමින් නව වැඩසටහනක් ලෙසට හඳුන්වා දී, එයට අදාළව දුප්පත්කම තුරන් කිරීමේ කාර්ය ඉටුකිරීම සඳහා, එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට සංවර්ධන නිලධාරීන් තිදෙනකු පත් කරන ලදී. මොවුන් සමාජ විපර්යකාරකයන් ලෙසට, දුප්පත් ජනතාව සමඟ එක්ව කටයුතු කර, ඔවුන් දුප්පත්කමින් එතෙර කිරීමේ පවුල් සංවර්ධන කාර්ය සඳහා යොදවන ලදී. “සමෘද්ධි” වැඩසටහන පසුව “දිවිනැගුම”නමින් නව ආකෘතියකින් 2013දී ඉදිරිපත් වූ අතර, එම වැඩසටහන 2016දී “සමෘද්ධිය” ලෙසට නැවත නම් කරන ලදී.

වාර්ෂික අය වැය ලේඛන තුළින් ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් දිළිඳුකමට සහනයක් ලබා දීමට සහ දිළිඳුකම තුරන් කිරීම සඳහා ලබා දුන් නමුත් බලාපොරොත්තු වූ ඉලක්ක කරා ළඟා වීමට එම වැඩසටහන අසමත් විය. බොහෝ දුරට මෙම වැඩසටහන ලබා දුන් සහනාධාර,“ජීවිත කාලය”පුරා ලැබෙන සහනාධාර ලෙසට සැලකූ අතර, වැඩසටහන තුළ සිටි දිළිඳු නොවන ජන කොටස් එම වැඩසටහනින් ඉවත් කිරීමට හෝ නව දුගී ජනයා එයට ඇතුළත් කර ගැනීම ඒ මඟින් අහුරා තිබිණ.

2002 පමණ වන විට සමෘද්ධි වැඩසටහන මඟින් ලබා දුන් නිසි සහන ලබා ගැනීමට ඇතැම් ඉතා දිළිඳු ජන කොටස්වලට නොහැකි වූ අතර, ඉතා දිළිඳු ආර්ථික මට්ටමේ සිටි ජන කොටස්වලින් වැඩසටහනට ඇතුළත් වූ ප්‍රමාණය 40% පමණකට සීමා වූ බවට ඇස්තමේන්තු කර තිබිණ. මෙම වැඩසටහනින් ප්‍රතිලාභ ලැබූ නමුත් එසේ ලැබීමට නුසුදුසු ජන කොටස සුදුස්සන්ට වඩා ඉහළ බව පසුව හඳුනාගැනිණ.

සමෘද්ධි වැඩසටහන සඳහා “සමාජ විපර්යකාරක” ලෙසට බඳවා ගත් සංවර්ධන නිලධාරීන් ඔවුනට හිමි රාජකාරි ඉටු නොකිරීම හේතුවෙන් අන්ත දිළිඳු ජනයා ක්‍රමිකව දිළිඳුකමින් ඉවත් කිරීමට හැකියාවක් නොවීය. කෙසේ වුවද නුසුදුසු ප්‍රතිලාභීන්, වැඩසටහනින් ඉවත් කිරීමට අරඹන ලද සියලු වැඩසටහන් මහජන නියෝජිතයන්ගේ මැදිහත් වීම මත අතරමඟදී අතහැර දැමීමට සිදු විය.

මෙම තත්ත්වය අව‍බෝධ කර ගනිමින් නිසි ක්‍රමවේදයක් යටතේ ප්‍රතිලාභීන් තෝරා ගැනීම අරමුණු කර ගනිමින් 2002 අංක 24 දරණ “සුභසාධන ප්‍රතිලාභ පනත” ඉදිරිපත් කරන ලද අතර, එය ක්‍රියාත්මක කිරීම විවිධ හේතූන් මත, 2022 දක්වා ප්‍රමාද කිරීමට සිදු විය. මෙම පනත මඟින් සහනාධාර ලබා දීම සඳහා “විද්‍යාත්මක තෝරා ගැනීමේ ක්‍රමවේදයක්” හඳුන්වා දීමෙන් සහනාධාර සඳහා නියම සුදුස්සන් තෝරා ගැනීමට හැකි වන පරිදි නීති සම්පාදනය කර ඇත.

දිවයිනේ දිළිඳුකම මැනීම සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව බහුමාන දිළිඳුකම මැනීමේ දර්ශකය (Multidimensional Deprivation Test) භාවිත කරනු ලබන අතරම, දුගීකමේ ශීර්ෂ දර්ශකය ගණනය කිරීම ද තවදුරටත් භාවිත කරනු ලබයි. බහුමාන දිළිඳුකම මැනීමේ දර්ශකය (Head Count Index) අනුව මෙරට දරිද්‍රතාව, 2019 සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කරන ලද ගණන් ගැනීමකට අනුව 18.7% පමණ ඉහළ අගයක් දක්වා ඇත. ලෝක බැංකුව මඟින් කරන ලද දුගීකම පිළිබඳ ප්‍රක්ෂේපනය අනුව, එය 2023දී 25% විය හැකිය. කෙසේ වෙතත් දිළිඳුභාවය, මෑතක අත්විඳිමට සිදු වූ ආර්ථික කඩා වැටීම හමුවේ ඉහළ ගොස් ඇති අතර, එය කෙටි කාලයකදී තුනී කරගත හැකි වේයැයි විශ්වාස කළ නොහැකිය.

මෙම බහුමාන දිළිඳුකම මැනීමේ දර්ශක (Multidimensional Deprivation Test) ක්‍රමවේදය, ප්‍රථමයෙන්ම ඔක්ස්ෆර්ඩ් (OXFORD) විශ්වවිද්‍යාලය මඟින් ජාත්‍යන්තරව, සුභසාධනය සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රමයක් ලෙසට යෝජනා කරන ලද අතර, මෙහිදී නිර්ණායකයක් ලෙසට“ආදායම” ට ලැබෙන ප්‍රමුඛතාව ඉතා අවම කර ඇත. ප්‍රතිලාභීන් ආදායම නිසි පරිදි වාර්තා නොකරන පසුබිමක් යටතේ, පවුලේ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ජීවන තත්ත්වය යන මානව සංවර්ධන දර්ශක ගණනාවක් යටතේ දරිද්‍රතාවයේ “තීව්‍රතාව”සහ ආන්තික දුගී බව නිර්ණය කළ හැකි වේ. මෙම ක්‍රමවේදය මෙරට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් අධ්‍යයනයට ලක් කර මෙරටට ගැළපෙන ලෙසට සකසා ඇත. එසේම ලෝක බැංකු ආධාර යටතේ සමාජ ශුභසාධන අමාත්‍යාංශය මඟින් වසර දෙකක් පුරා තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ක මෙම ක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක කළ හැකි දැයි ක්ෂේත්‍රයේදී පරීක්ෂණයට ලක් කර ඇත.

කෙසේ වෙතත් සංඛ්‍යාත්මක පදනමක් සහිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේදී ක්ෂේත්‍ර මට්ටමේදී නිසි සුදුසුකම් සහිත ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය තුළ සහනාධාර සඳහා සුදුසුකම් නොමැති අය “වැඩසටහනට ප්‍රවේශ වීමෙන් ” සහ සුදුසුකම් ඇති පුද්ගලයන් එයින් “බැහැර වීම” සුළු ප්‍රමාණයකින් සිදු වීම වැළැක්විය නොහැකිය. එවැනි වැරදි 5% - 10%ක් අතර විය හැකි අතර, එයද ක්ෂේත්‍රයේදී නැවත පරීක්ෂා කිරීමක් මඟින් නිවැරදි කර ගත හැකිය.

මේ සඳහා යොදා ගත හැකි පහසුම සහ නිශ්චිත ක්‍රමය නම්, නිවෙසක ඇති වර්තමාන විදුලි බිල “පෙරකලාසියක්” ලෙසට භාවිත කිරීමයි. විදුලිබල මණ්ඩලයේ 2023 සංඛ්‍යා ලේඛනවලට අනුව විදුලිය ඇති නිවාස කාණ්ඩවලින් ලක්ෂ 14කට වැඩි ප්‍රමාණයක මාසික විදුලි පරිභෝජනය ඒකක 0 – 30 අතර වන අතර, තවත් නිවාස ලක්ෂ 15 ක ප්‍රමාණයක් මසකට විදුලි ඒකක 60ට අඩු ප්‍රමාණයක් භාවිත කරයි.

මෙමඟින් පැහැදිලි වන්නේ ලක්ෂ 15 වැඩි විදුලි බලය භාවිත කරන නිවාස සංඛ්‍යාවක් සැබෑ දිළින්දන් ලෙසට හඳුනා ගෙන ඇති බවය. මේ අනුව සමස්ත ගෘහස්ථ විදුලි පරිභෝජන සංඛ්‍යාව වන 4,493,505 න් 32% ක් මාසිකව විදුලි ඒකක 30ට වඩා අඩුවෙන් පරිභෝජනය කරනු ලබන අතර, තවත් ගෘහ ඒකක 34%ක් මාසික විදුලි පරිභෝජනය ඒකක 31-60 කි.

මෙම දිළිඳු භාවයේ සංවේදිතා සාධකය මත සහනාධාර ලබා දීම සඳහා නව ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ඉතා ප්‍රවේශම්කාරී විය යුතු අතර, නියම සුදුසු දිළිඳු ජනතාවට සහනාධාර ලැබෙන බව ද සාක්ෂාත් කළ යුතුව ඇත. මෙම ක්‍රමවේදය සාර්ථක වීමට නම් එය ක්ෂේත්‍රයේදී සමාජ පරීක්ෂණයකට ලක් කළ යුතුව ඇත. මෙසේ තෝරා ගත් ගෘහ කාණ්ඩ සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර, ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි පුද්ගල මට්ටමින් අදාළ දීමනා ලබා දෙනු ලැබේ.

මෙහිදී සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2,500.00 බැගින් 2023 දෙසැම්බර් 31 වැනිදා දක්වාද, අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින් 2024 මාර්තු 31 වැනිදා දක්වා ද මූල්‍ය ප්‍රතිලාභ ලබා දීමට නියමිත අතර, දුප්පත් ප්‍රතිලාභීන් 800,000ක් සඳහා මාසිකව රුපියල් 8500.00 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000.00 බැගින් 2023 ජූලි 01 වැනිදා සිට වසර තුනක කාලයක් ලබා දීමට නියමිතය. එසේම දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින්ද, වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000.00 බැගින්ද, වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000.00 බැගින්ද ලබා දෙනු ඇත.

මෙයින් දුප්පත් සහ අන්ත දිළිඳු ජන කොටස් සඳහා ක්‍රමවත්ව සංවිධානය කළ “දුගීකමින් කෙටි කාලයකින් එතෙර කිරීම” සඳහා සකස් කරන ලද වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5කදී, සාර්ථකව අත්හදා බලනු ලැබූ අතර, එම වැඩසටහන සංවිධානයේදී ලෝක බැංකුව MIT විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව, අබ්දුල් ලටීෆ් ජමීල් දුගීකම පිළිබඳ ක්‍රියාකාරී පර්යේෂණ පරීක්ෂණාගාරය මේ සඳහා තාක්ෂණික සහාය ලබා දුන්හ.

මෙම වැඩසටහන් සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් මත තෝරා ගනු ලබන ප්‍රතිලාභීන්, ඒවා ලැබීමට නියම සුදුස්සන්ද යන්න අවසාන සහනාධාර ලේඛන සැකසීමට පෙර තහවුරු කර ගැනීම මෙවැනි වැඩසටහනක පාරදෘශ්‍යතාව තහවුරු කර ගැනීම වැදගත් වේ. එසේම මෙවැනි වැඩසටහනක අකාර්යක්ෂමතාව මත ඇති විය හැකි දේශපාලන ගැටුම්කාරී තත්ත්වයන් ඉවත් කර ගැනීමට ද මෙම ක්ෂේත්‍ර වලංගු කිරීම ඉතා වැදගත් වේ.

ආචාර්ය ආර්. එම්. කේ. රත්නායක

Comments