ඩෙංගු අවදානමෙන් මිදෙන්න රජයේ සූදානම මෙන්න | Page 4 | සිළුමිණ

ඩෙංගු අවදානමෙන් මිදෙන්න රජයේ සූදානම මෙන්න

- අවදානම වැඩි බස්නාහිර පළාතට වැඩි අවධානයක්
- පාසල් යන අවුරුදු 5-19 වයසේ ඩෙංගු රෝගීන් 25%ක්
- වයස 20-60 ඩෙංගු රෝගීන් 60%ක්

ඩෙංගු නැවතත් හිස ඔසවන්නට පටන් ගෙන ඇත්තේ වසංගත මට්ටමිනි. මේ වන විට බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර බලධාරීන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ද වෙහෙසෙන්නේ කෙසේ හෝ මේ උවදුර මර්දනය කර ගැනීමටය. 2022 වසර තුළම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 76,689 ක් වුවද මේ වසරේ මුල් මාස 6 තුළ පමණක් ඩෙංගු රෝගීන් 46,473 දෙනෙකු වාර්තා වී තිබීම මේ වසංගතයේ තරම කියාපායි. මෙයිනුත් වැඩිම ප්‍රතිශතයක්, එනම් සමස්ත රෝගීන්ගෙන් 49.9% ක් එනම් 23,194 ක් රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතිනි.

බස්නාහිර පළාත තුළද වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, ඒ 10,293ක් එනම්, 22.1% කි. දෙවැනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වන විට රෝගීන් 9,927ක් වාර්තා වී ඇත. එම ප්‍රතිශතය 21.3% කි. 2,974 ක රෝගීන් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම ප්‍රතිශතය 6.4% කි. මේ නිසා ජාතික ඩෙංගු මර්දන ඒකකය මෙන්ම සෞඛ්‍ය අංශය දැඩිව අවධාරණය කරන්නේ මෙවර බස්නාහිර පළාත සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවකි. විශේෂඥ වෛද්‍යවරු පවසන්නේ නව ඩෙංගු ප්‍රභේදයක් හේතුවෙන් මෙවැනි වසංගත මට්ටමක් දක්වා පැමිණිය හැකි බවත්, මෙවරද එහි 4 වැනි ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී වසංගත මට්ටමක් දක්වා පැමිණීමේ ඉඩකඩ ඇති බවත්ය.

ඩෙංගු රෝග ඉතිහාසය තුළ එය මෙරට වසංගත මට්ටමක් දක්වා පැමිණියේ 2019 වසරේදීය. ඒ 1,15301 රෝගීන් හා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා කරමිණි. කොවිඩ් වසංගතයෙන් බැට කෑ ජනතාව නැඟිටින්නට වෙර දරද්දී රජයේත්, සෞඛ්‍ය අංශයන්ගේත් වගකීම වී ඇත්තේ මේ අවදානමෙන් කෙසේ හෝ ජනතාව මුදවා ගැනීමය.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් විශේෂ වැඩ පිළිවෙළක් දියත් කරන්නේ දහවල් කාලයේ දරුවන් මේ සඳහා ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති නිසාය. මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු අවදානම් තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්තගේ උපදෙසින් ආරම්භ වූයේ කලින් පැවැති පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවල සක්‍රිය දායකත්වය ලබා ගනිමිනි. එහි මූලික වැඩසටහන කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ කලාපයේ සියලු පාසල්වලින් ආරම්භ විය. ඒ අනුව කොළඹ නගරයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහන ක්‍රියාත්මක වූ අතර කලාප කාර්යාල, නගර සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහනගර සභාව හා පොලිසිය පාසල් සමඟ සම්බන්ධ කරමින් දරුවන්ගේ සනිපාරක්ෂාව ඉදිරියටත් පවත්වා ගෙන යෑමට අපේක්ෂා කරයි.

ඩෙංගු මර්දනයෙහිලා පාසල් දරුවන් සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කිරීමට හේතුව වී ඇත්තේ දැනට වාර්තාවන රෝගීන්ගෙන් 25% ක් පාසල් යන වයසේ පසුවන ළමයින් වන හෙයිනි. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ මේ වන විට සමස්ත ඩෙංගු රෝගීන් එනම් 46,473 න් 11,618 ( 25%) ක ප්‍රමාණයක් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ අවුරුදු 5-19 ත් අතර පාසල් යන වයසේ පසුවන්නන්ගෙන් බවය. මේ නිසා විශේෂ අවධානයක් පාසල් දරුවන් වෙත යොමුවිය යුතු බව එම ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අදහසයි.

“ බස්නාහිර පළාත පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඉදිරි දෙසතිය තුළ ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හදුනාගත් ගොතටුව, මහරගම හා බත්තරමුල්ල යන නගර තුනේ පාසල්, නිවාස හා අනිකුත් ආයතන මුල්කර ගනිමින් විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා. අපි පාසල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතර පාසල්වල ඩෙංගු ප්‍රවර්ධන කමිටු වඩාත් සක්‍රියව මේ සඳහා දායක කර ගැනීමට සුදානම්. ..." ඒ ජාතික ඩෙංගු මර්දන ඒකකයයි.

මේ වන විට කොළඹ ප්‍රධාන පාසල් අවට පුළුල් සමික්ෂණයක් කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙනි. පසුගිය ජූනි 16 වැනිදා කුප්ප­ියාවත්ත බටහිර මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රගති කොඩිතුවක්කු විසින් කොළඹ 10 ආනන්ද විදුහල අවට ඩෙංගු මදුරු පරීක්ෂාවේ යෙදුණු අවස්ථාවේ ඩෙංගු මදුරු කීටයින් බෝවිම සඳහා අනුබල දුන් පිරිසකට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදි නඩු පැවැරූ අතර ඒ අනුව අධිකරණය විසින් වරදකරුවන්ට අවවාද කර රුපියල් 50,000ක දඩයක් නියම කෙරුණි.

ජනාධිපතිවරයා විසින් පසුගියදා ඩෙංගු පාලනය සඳහා අමාත්‍ය කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර, එම විශේෂඥ කමිටුව මඟින් පළාත් මට්ටමින් ද අනුකමිටු 09ක් පත් කරනු ලැබීය. ඩෙංගු රෝගයෙන් ආරක්ෂාව වීම සඳහා බස්නාහිර පළාත් පාසල් ළමුන් පාසල් නිල ඇඳුමට අමතරව ශරීරයට ගැළපෙන ළා පැහැති ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලීමක් කළේ පසුගියදාය. සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි හා ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පැවැසුවේ මෙම ඉල්ලීම පිළිබඳ පාසල් ප්‍රධානීන්, ගුරු සිසුන් හා දෙමවුපියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

"අපි මේ වන විට ඩෙංගු මර්දනයට අවශ්‍ය සියලු පියවර ගනිමින් පවතිනවා. එහි එක් පියවරක් පමණයි පාසල් සිසුන්ගේ නිල ඇඳුමට යමින් තවත් ඇඟ ආවරණය වන ඇඳුමක් ඇඳීම. දහවල් කාලයේ දරුවන් ඩෙංගු මදුරු දෂ්ටනයට නිරාවරණය වීම වේගවත්. ඒ නිසා පාසල් හා අවට පරිසරය පිරිසුදු කිරීම ඇතුළු අනිකුත් මර්දන කටයුතු සිදු කරන අතරතුර පාසල් දරුවන්ට මෙවැනි ආකාරයේ ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවයි අපි කියා සිටින්නේ. මේ පිළිබඳ විශාල බරක් හෝ වැරදි වැටහීමක් ගත යුතු නැහැ. වයිරසය පාලනය වන තෙක් මාස දෙක තුනක් හෝ දරුවන් සඳහා පාසල් නිල ඇඳුමට යටින් ළා පැහැ ඇඟට හිර නොවන ඇඳුමක් ඇඳීමට අවසර දෙන්න. මෙය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක්. මේ වන විට සියයට 50ක් රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතින්. ඒ නිසා පළාතට ආවේණික ගැටලුවලට අපි විසඳුම් දිය යුතුයි." ඒ, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළය.

මේ වන විට ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් නිල ඇඳුමට යටින් සිසුන්ට ආරක්ෂිත ඇඳුමක් ඇඳීමට අවසර ඉල්ලා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී ඇති අතර, අධ්‍යාපන ලේකම්වරයා විසින් ඊට අවසර ලබා දී ඇති බව වාර්තා වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ඒකකය සඳහන් කරන්නේ ඉදිරියේදි පාසල් ප්‍රධානීන් හා පාසල් සිසුන් දැනුම්වත් කරන බවය.

"බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර පළාත් පාසල් සිසුන්ට ආවරණය වන ඇඳුමක් ඇඳීමට අවසර ඉල්ලමින් නිකුත් කළ ලිපියට අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව බස්නාහිර පළාත් දෙපාර්තමේන්තුව විසින් ඉදිරි සතියේදි පාසල් සිසුන් හා මවුපියන් දැනුම්වත් කිරීමට නියමිතයි. මේ වන විටත් සමහර පාසල්වල අවසර දීලා තියෙනවා, මේ ආකාරයට නිල ඇඳුමට උඩින් ආරක්ෂිත ඇඳුමක් අඳින්න. ඇඳුම කෙසේද යන්න තීරණය කිරීම අනුමැතිය ලැබුණු පසු පාසල් විසින් සිදු වේවි. එසේම මේ වන විට පාසල්වල සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු ශක්තිමත් කරමින් ඩෙංගු මර්දන කටයුතු වේගවත් කිරිමට පියවර ගෙන තියෙනවා." ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ඒකකයයි.

මේ වන විට රෝග වාහකයා සහ වයිරස් ප්‍රමාණය පාලනය කිරීමට කඩිනමින් පියවර ගැනීමට මෙන්ම රෝහල් අවට ප්‍රදේශයන්හි ඩෙංගු පාලනයට වෙනමම මාර්ගෝපදේශ සකස් කරන්නට මෙම විශේෂඥ කමිටුව ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දී ඇත. රෝහල් ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා උණ රෝගීන් සඳහා පමණක් වෙන් කළ ස්ථානවල (Fever corners) ඔවුන් හුදෙකලා කිරීම මෙන්ම ඩෙංගු ආසාදිතයකු ලෙස හඳුනා ගන්නා රෝගීන්ගෙන් තවත් අයකුට රෝගය බෝ වීමට ඇති අවස්ථා පිළිබඳ කෙටි පණිවිඩයක් මඟින් දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Comments