දහඅට වංගුවේ සුපර් හීරෝ ජීවිත පනහක් බේරා ගත් දෙවියෙක් වැනි විරුවා | Page 4 | සිළුමිණ

දහඅට වංගුවේ සුපර් හීරෝ ජීවිත පනහක් බේරා ගත් දෙවියෙක් වැනි විරුවා

බස් රථය පාර අයිනේ තිබූ කඩයක් ආසන්නයේ නතර කළ පසු

වෙලාව මධ්‍යහන 12.00යේ කනිසමට ආසන්නව තිබිණි. දිනය ඉකුත් මැයි 26 වැනි සිකුරාදාය. උඩුදුම්බරින් ඉහළ අහසේ පෙනෙන හුන්නස්ගිරි කඳු මුදුනෙන් හිරු සැඩවෙමින් නැගෙයි. සීතල පහව ගොස් දැඩි හිරු රශ්මිය පොළොවට පතිත වෙමින් අපූර්ව ආලෝකයක් අවට සිසාරා විහිදෙයි. සුපුරුදු පරිදි වෙනදා මෙන් ගමන් ගන්නා නුවර මහියංගණය බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබිණි. රාත්‍රී වැඩමුරය නිමවා නිවෙස් බලා යන බොහෝ මගීහු ගමන් විඩාව නිසාම තද නින්දට වැටී සිටියහ. බස් රථය දහඅට වංගුවට තවත් සැතැපුමක් පමණ දුරිනි. හදිසියේම බස් රථයේ රියැදුරු අසුන ආසන්නයේ දොර විවෘත විය. ඇසිල්ලකින් රියැදුරු දෑතින් සුක්කානම ගිලිහී රියැදුරු බස් රථයෙන් ඉවතට විසි විය. 

රියැදුරු බස් රථයෙන් ඉවතට විසි වීමත් සමඟ රියැදුරකු නොමැති බස්රිය හීයක වේගයෙන් ප්‍රපාතයට ඇදී ගියේය. රියැදුරු අසුනට වම්පස ඉදිරි පෙළෙහි අසුන්ගෙන සිටි පුද්ගලයෙක් තද නින්දෙන් අවදි වී හීනෙන් මෙන් රියැදුරු බස් රථයෙන් බිමට වැටෙන අයුරු දුටුවේය. සිතීමට කාලයක් ඉතිරි නොකර ඇසිල්ලකින් ඔහු රියැදුරු අසුනට පැන්නේය. ප්‍රපාතය දෙසට වේගයෙන් ඇදෙමින් තිබෙන බස් රථයේ තිරිංග වේගයෙන් පෑගුවේය. ඒ වන විට ප්‍රපාතයට තවත් ඉතිරිව තිබුණේ මීටර කිහිපයකි. සිදුවන්නට ගිය මහ විනාශයක් වළකාලමින් බස් රියේ සිටි මඟීන් පනහකට අධික පිරිසකගේ ජීවිත බේරා ගැනීමට ඔහු සමත් විය.

හදවත එක් මොහොතකට නතර කළ ඒ ත්‍රාසජනක සිදුවීම චිත්‍රපට දර්ශනයක් නොවේ. දහවල් දුටු සිහිනයක්ද නොවේ. ඒ සිදුවීම සිහි වන විටත් බස් රථයේ රියැදුරු අසල අසුනක සිටි නන්දන යසරත්නට දැනෙන්නේ මහත් භීතියකි. තම ජීවිතය බේරාදුන් පුද්ගලයා සැබෑම වීරයෙකි. බස් රිය ප්‍රපාතයට පෙරළීමට ගිය අනතුරින් යාන්තම් දිවි බේරා ගෙන යසරත්න අනෙත් මඟීන් පිරිසත් සමඟ උඩුදුම්බර අනතුර සිදුවූ ස්ථානයෙන් මහියංගණය බලා යන ඊළඟ බස් රථයට අසීරුවෙන් ගොඩ විය. තම ජීවිතයත් අනෙක් අයගේ ජීවිතත් බේරා දුන් ඒ වීරයා පිළිබඳ අපූර්ව සටහනක් ඔහු තම මුහුණු පොතේ තැබුවේ මෙසේය.

"අද දින මා මහනුවර සිට මහියංගණය දක්වා පැමිණි බස් රථය උඩුදුම්බර වංගුවකදී රියැදුරු අසුන ළඟ දොර ඇරී රියැදුරු ඉවතට විසි විය. බස් රථය රියැදුරු නොමැතිව වේගයෙන් මාර්ගයෙන් ඉවතට පැන ගමන් කරන්නට විය. ක්ෂණිකව රියැදුරු අසුන අසල ආසනයේ අසුන් ගෙන සිටි පහළ ඡායාරූපයේ සිටින දෙහිඅත්තකණ්ඩිය, මැදගම ප්‍රදේශයේ තරුණ මහතකු රියැදුරු අසුනට පැන තිරිංග පාගා විශාල ප්‍රපාතයක් ආසන්නයේදී බස් රථය නතර කර ගන්නා ලදී. සිය දිවිනොතකා ජීවිත 50ක් පමණ බේරූ ඔහු වීරයෙකි. බුදු සරණයි!. ඒ තරුණ මහතාට දීර්ඝායුෂ ලැබේවා !" ඔහු ඒ සටහන මුහුණු පොතට එක්කර හෝරාවක් ගතවූයේ නැත. සමාජ මාධ්‍ය සිසාරා මේ පුවත වේගයෙන් පැතිර යන්නට විය. ඒ කොතෙක්ද කිවහොත් යසරත්න මහියංගණයෙන් බැස ගන්නට පෙර මේ පුවත නැරඹුම් වාර ගණන දහසකට අධිකයට විය.

ඒ අවස්ථාවේදී බස්රථයේ මඟියෙක් ලෙස ගමන් ගත් යසරත්න දුටු මේ බිහිසුණු අත්දැකීම සිළුමිණට පැහැදිලි කළේ මෙසේය.

"එදා මම නුවර ඉදලා මහියංගණයට එන බස් රථයට ගොඩ වුණේ හසලක මගේ නිවෙස බලා යන්න. අපි කවුරුත් නිදාගෙන හිටියේ. උඩුදුම්බර කිට්ටුව වංගුවකදියි මේ සිදුවීම වුණේ. බොහෝ දෙනෙක් නිදියගෙන හිටිය නිසා මොකක්ද වුණේ කියලා දන්නේ නැහැ. මම දැක්කා රියැදුරු බස් එකේ දොර ඇරිලා එළියට විසිවෙනවා. ඒ එක්කම වම්පැත්තේ ඉදිරිපස අසුනේ හිටිය මේ පුද්ගලයා රියදුරු අසුනට පැන්නා. ඒ සිතුවිල්ල ඔහුට පහළ වෙන්න ඇත්තේ අපි කාගෙත් වාසනාවකට. අපේ ජිවිත බේර ගත්තට පස්සේ මම ගිහින් ඒ මහත්තයාට කතා කළා. පස්සේ මම දැනගත්තා ඔහු යුද හමුදාවේ කියලා. මම වැඩ කරන්නේ හසලක. මට හිතුණා එදා බංකරයකට පැනලා රට බේරගත්ත හසලක ගාමිණී වගේ මහ විරයෙක් කියලා මේ මහත්තයත්. මම මුහුණු පොතේ සටහන තැබුවෙත් එහෙම හිතලයි." 

ඒ මෙම සිදුවීම සියැසින් දුටු ඔහු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ නන්දන යසරත්නගේ හඬය.

මේ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධ කතා නායකයා මහියංගණය රිදීමාලියැද්ද තිස්සපුර පදිංචිකරුවෙකි. ශ්‍රී ලංකා 4 වැනි පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල්වරයෙකු ලෙස සේවය කරන ඔහු සෙබළ 323628 බුද්ධික රුවන් කුමාර කරුණාරත්න ය.

"එදා මම නිවාඩු එන්න කොළඹින් නුවර බස් එකක ඇවිත් නුවර ඉඳලා යන මහිංයංගණය බස් එකකට ගොඩ වුණා. ඒ සිද්ධිය වුණේ දහඅට වංගුව ආසන්නයේදී. වෙලාව උදේ 11. 40 ට ඇති. මට ඒ වෙලාවේ නින්ද ගිහින් තිබුණේ. එකපාරටම මම අවදි වුණා. ඇහැ අරිනවාත් එක්කම මම හීනෙන් වගේ දැක්කා උඩුදුම්බර හරියේ එක වංගුවකදී රියැදුරු බස් රථයේ දොර ඇරිලා එළියට විසි වෙනවා. මට කිසි දෙයක් හිතාගන්න බැරි වුණා. මම ක්ෂණිකව රියදුරු අසුනට පැන්නා. එක කකුලක් යන්තම් ඩ්‍රයිවර්ගේ අසුන ළඟට තියාගෙන කොහොම හරි බ්‍රේක් එක පාග ගත්තා. ඉන්පස්සේ මම බස් එක පාර පැත්තට කැපුවා, ඒත් එක රෝදයක් ප්‍රපාතය පැත්තට ගියා. මම තිරිංග තද කළා. එකවරම පාර අයිනේ තිබුණ කඩයක් ළඟ ලොකු වතුර පුරවපු බැරල් එකක් පෙරළගෙන බස් එක නතර වුණා. ඒ කඩේ ළඟත් කිහිප දෙනෙක් හිටියා. මම බස් එකේ සුක්කානම මගේ අතට ගන්න විටත් රියදුරා නැතුව වේගයෙන් බස් එක ප්‍රපාතයට පැත්තට මීටර් පනහක් විතර ගියා. ඒක විශාල ප්‍රපාතයක්" ඔහු ඒ බිහිසුණු සිදුවීම නැවත ආවර්ජනය කළේ එලෙසිනි.

ඔහු සඳහන් කරන ආකාරයට මහ ශබ්දයක් නඟමින් බස් රථය පාරේ අයිනක නතර වන විටත් බොහෝ දෙනෙක් තද නින්දේ පසු විය. ඒ නිසා සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි වැටහීමක් බස් රථය තුළ සිටි බොහොමයකට දැන සිටියේ නැත. බස් රියේ එක් රෝදයක් මාර්ගයෙන් ඉවතට පැන තිබිණි. ඒ නිසා ප්‍රපාතය පැත්තේ ඇති ඉදිරිපස දොරින් බැස ගැනීමට නොහැකි නිසා පිටුපසින් සියලු දෙනා බැස යන්නට විය. සියලු දෙනා රියෙන් ඉවත්වූ පසු පිටුපස දොරින් බුද්ධික හිමිහිට බසයෙන් බැස ගත්තේය.

“මම යුද හමුදාවේ 4 වැනි පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල්වරයෙක්. මම අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ සේවය කරනවා. ඒ සිදුවීම වෙච්ච වෙලාවේ මම කරපු දේ මගේ යුතුකමක් කියලා මම හිතනවා. ඒ ගැන හුඟක් පැසසුම් ආවා. ඒ වෙලාවේ බස් රථයේ වැඩිමහල් බොහෝ පිරිසක් හිටියා. ඒ අය මට පින් දුන්නා. දෙවියෙක් බස් එකේ ඇවිත්, දෙවියන් වගේ ඇවිත් අපේ ජීවිත බේරගත්තා කියලා එක වයසක අම්මා කෙනෙක් ඇඬුවා. අඬලා මට පින් දීලා ගොඩක් ස්තූති කළා. 

ඒ වෙලාවේ බස් එක නතර වුණාට ඉස්සරහ දොරෙන් කට්ටියට බහින්න බැහැ. මොකද ඒ පැත්තේ රෝදෙ පාරෙන් පිට පැනලා තිබුණේ. කට්ටියම බස් එකේ පිටිපස්සේ දොරෙන් බිමට බැහැලා ඩ්‍රයිවර්ට මොකද වුණේ කියලා ගිහින් බැලුවා. එයාගේ කකුලක් තුවාල වෙලා තිබුණත් ඔහුට ලොකු අමාරුවක් නෑ කියලා කිව්වා. ඒත් ඔහු කතා කරගන්න බැරි තරමට කම්පනයට පත්වෙලා හිටියේ. මම එයාටත් උපකාර කරන්න හැදුවා, නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළා"

සිදු වන්නට ගිය මහත් විනාශය පිළිබඳ දැනගත් වහාම බස් රථයේ බොහෝ පිරිසක් තම ජිවිත බේරාදුන් බුද්ධිකට ප්‍රශංසා කරන්නට විය. එහෙත් තමා සිදු කළ වීර ක්‍රියාව ඔහු හැඳින්වූයේ හමුදා නිලධාරියෙක් ලෙස මිනිසුන් වෙනුවෙන් තමා විසින් ඉටු කළ යුතුව තිබූ යුතුකමක් ලෙසය. මේ සිදුවීමෙන් විනාඩි 10කට පමණ පසු වෙනත් බස් රථයකට නැඟුණු බුද්ධික ඇතුළු සෙසු මගීහු තම ගමනාන්ත වෙත ළඟා වූහ.

"බස් එකෙන් බැහැලා වෙන බස් එකක් එනකම් පාරේ ඉන්න කොට මට කතා කළ එක මහත්තයෙක් සෙල්ෆියක් ගහලා ෆේස්බුක් දාලා තිබුණා මම දැක්කා. ඒ මහත්තයාගේ නම නන්දන යසරත්න, දෙහිඅත්තකණ්ඩිය පැත්තේ ඉන්න කෙනෙක්, හසලක පල්ලේ වත්තේ භූ විද්‍යා ඔෆිස් එකේ වැඩ කරන්නේ කියලා අපිත් එක්ක කිව්වා. අපි මහියංගණයට ආව බස් එකේ අයත් වැඩිය ඒ ගැන දන්නේ නැහැ, මොකක්ද වුණේ කියලා ඒ අයට වැටහීමක් තිබුණේ නැහැ. අනතුරක් වෙලා බස් එක නතර වෙලා ඇති කියලා ඒ අයත් හිතන්න ඇති. මම ගෙදර ඇවිත් මගේ නෝනටත් කිව්වා සිද්ධ වෙච්චි දේ ගැන. එයා සතුටු වුණා ජීවිතය බේරාගෙන අනිත් අයගෙත් ජීවිත බේරාගන්න ගත්ත උත්සාහය ගැන. යසරත්න මහත්තයා නිසයි මේ සිදුවීම ගැන රටම දැනගත්තේ. මම එතුමාව මේ වෙලාවේ සිහි කරනවා" බුද්ධික අප සමඟ පැවැසීය.

දිවි පරදුවට තබා සිදුවන්නට ගිය විශාල අනතුරකින් ජීවිත රැසක් බේරාදුන් කේ. එම්. බුද්ධික රුවන් කුමාර කරුණාරත්න 35 හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ උපන් ගම වන්නේ මහියංගණය, මැදගම, කොටබෝව දුෂ්කර ගම්මානයයි. ඔහුගේ බිරිය ඉනෝකා ප්‍රියදර්ශනීය. ඇයට වයස අවුරුදු 32කි.

අති දුෂ්කර දිවිපෙවතක් ගෙවූ බුද්ධිකගේ පියා ගොවිතැනින් සිය පවුල රක්ෂා කළ අයෙකි. බුද්ධිකගේ එකම බාල සොහොයුරා ද යුද හමුදාවේ කෝප්‍රල්වරයෙකි. ඉරුෂි දිව්‍යාංජලි හා ඉරුෂි ශෂිපබා යන අවුරුදු 06ක් වයසැති නිවුන් දියණියෝ තිස්සපුර මධ්‍ය මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබති. රීදිමාලියද්ද සිට තිස්සපුර මධ්‍ය මහ විද්‍යාලයට බොහෝ දුරක් ගෙවාගෙන පැමිණීමට සිදුවන නිසාත් අධික වන අලි තර්ජන නිසාත් මේ වන විට බුද්ධික, බිරිය සහ දරුවන් සමඟ දරුවන්ගේ පාසලට ආසන්නයේ කුලී නිවෙසක ජීවත් වෙති.

එදා නුවර සිට මහියංගණය දක්වා පැමිණෙමින් තිබූ ගමන එම බස් රථයේ සිට පැමිණි සියලු දෙනාගේ අවසන් ගමන වීමට ඉඩ තිබිණි. ඒ දෛවය වෙනස් කිරීමට සිය දිවි දෙවැනි කොට ඉදිරිපත් වූයේ බුද්ධිකය. එම නිසා ඔහුට එදා එම රියේ පැමිණි 50කට අධික ජීවිත රැකදීමට හැකි විය. ඔහු සැබෑ වීර පුතෙක් වන්නේද වීරයකු ලෙස පැසසුම් ලැබිය යුත්තේ ද තම දිවි පරදුවට තබා සැණෙකින් ගත යුතු පියවරක් නොපැකිළව ගැනීමට ක්‍රියාකළ හෙයිනි.


බුද්ධික නියම වීරයෙක්

මෙම සිද්ධීය රටට විවෘත කළේ එම බස් රථයේ ගමන් කළ මගියෙකු වන නන්දන යසරත්න විසිනි. ඔහු සේවය කරන්නේ හසලක පල්ලේවත්ත භූ විද්‍යා හා පතල් පර්යේෂණ මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර නිලධාරියකු ලෙසය. සිළුමිණ ඒ පිළිබඳ විමසීමට දෙහිඅත්තකණ්ඩිය පදිංචි නන්දන හමුවීමටද අමතක නොකළෙමු . මේ ඔහුගේ අදහස්ය.

“එදා මැයි 26. සිද්ධිය වුණේ උදේ 11.40 පමණ. මමත් එම බස් රථයේ මගියෙක්. මෙවැනි සිදුවීමක් මින් පෙර මා දැක හෝ අසා නැහැ. එනිසා රියැදුරුගේ ඡායාරූපයක් මගේ සෙල්ෆියෙන් ගත්තා.

මම දවල් 12.35ට තවත් බස් රථයක නැඟි මහියංගණය බලා පිටත් වුණා. බසයේ ගියේ හිටගෙන යන අතරේ කතාව ලියා රියැදුරුගේ ඡායාරූපයද සමඟ මගේ ෆේස් බුක් එකට පෝස්ට් එකක් දැම්මා. එතකොට වේලාව පස්වරු 2.10යි. දිනක් ඇතුළත එය 493 ශෙයා කරලා තිබුණා. අදහස් දැක්වීම් ද 192ක්.නැරඹුම් සංඛ්‍යාව 5000කට ආසන්නයි.

රියැදුරුගේ සියලු විස්තර මාධ්‍යවල පලවුයේ මගේ ෆේස්බුක් සටහන පාදක කරගෙනයි. මෙවැනි සද්ක්‍රියාවකට මට දායක වන්නට ලැබීම අතිශයින්ම තෘප්තිමත්. ඇත්තටම ඔහු නියම වීරයෙක්.“

Comments