
මේ පාරත් පොසොන් වන්දනාවේ යන ඔබට ඒ ගමනේ වෙහෙස විඩාව නිවා ගන්නට, වතුර පිරුණු වැව් දිය පොකුණු ඕනෑ තරම් ඒ මඟ දිගේ මුණ ගැසේ වි.
ඒත් වන්දනාවේ යන ඔබ, හැමදාමත් සිහි තබා ගත යුතු කරුණක් තිබේ. එනම්, 'පෙර රජ දරුවන් වැව් බැන්දේ ඔබ ගිලී මිය යන්නට නොවේ...' යන්නයි. එහෙයින්, ඔබ වතුරට බැසිය යුත්තේ ජීවිත ආරක්ෂක නිලධාරීන් සිටින තැන්වලින් ම පමණක් බව AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙවර ද අවධාරණය කරනුයේ ඔබේ ජීවිතය සහ රැකවරණය වෙනුවෙනි.
1993 සිට මේ දක්වා ගෙවී ගිය 28 වසර පුරා ජීවිත 200 කට අධික පොසොන් බැතිමතුන් සංඛ්‍යාවක් බේරා ගත් මෙම රැකවරණ වැඩසටහන, අද වන විට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය ජාතික වගකීමක් බවට පත් කර ගෙන තිබේ.
හේතුව, උතුරු මැද පළාත ආශ්‍රිතව ඇති වැව් සහ ජලාශ පොසොන් සමය වන විට පවතින්නේ පිටාර මට්ටමට ළඟා වී පිරී ඉතිරෙන අයුරෙනි. වතුරේ අවදානම කොතෙකුත් දුටුවත් පොසොන් උත්සවය සැමරීමට නන් දෙසින් පැමිණෙන බැතිමතුන් ඒ බව නොතකා දිය නෑමට පෙළැඹීම අද සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.
එහෙත් 1992 වසරේ දියේ ගිලී සිදු වූ අවාසනාවන්ත වියෝ වීමකින් පසු, පොසොන් උත්සව සමයේ දියේ ගිලීමෙන් සිදුවන අනතුරු වළක්වාලමින් බැතිමතුන් ගේ ජීවිත සඳහා රැකවරණය තහවුරු කිරීමේ විසඳුමක් ලෙස, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙම රැකවරණ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.
මේ පිළිබඳ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය සිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.
"1993 වසරේ දී ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය සමඟ මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබුවේ පොසොන් සමයේ දී, දියේ ගිලීම නිසා එවකට සිදුවෙමින් පැවති විශාල අනතුරු ප්‍රමාණයක් වළක්වා ගැනීමේ අරමුණ ඇතිව යි. පොසොන් උත්සවය සඳහා සහභාගී වීමට පුදබිම් වෙත ගමන් ගන්නා බැතිමතුන් වැව්වලින් දිය ස්නානය කිරීමේ දී ඇති විය හැකි අවදානම සැලකිල්ලට ගෙන, අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල සහ මිහින්තලේ පූජා නගර සියල්ල ආශ්‍රිතව පිහිටා ඇති වැව් 24ක් ආවරණය වන අයුරින් දින 3ක් පුරා 500 කට ආසන්න ජීවිත ආරක්ෂක නිලධාරී මහත්වරුන්ගේ සේවය ලබා ගනිමින් බැතිමතුන්ගේ ජීවිතවලට දියේ දී විය හැකි අනතුරු සඳහා රැකවරණය තහවුරු කිරීම මේ ඔස්සේ සිදු වනවා.
පසුගිය වසර ගණනාව පුරාවට වටිනා ජීවිත 200 කට අධික ප්‍රමාණයක් බේරා ගැනීමට මේ ඔස්සේ අපට හැකියාව ලැබුණා. පවුලක දරුවෙක්, මවක්, පියෙක් හෝ මුළු පවුලක් ම රක්ෂා කරන සහෝදරයෙක් මෙම රැකවරණ වැඩසටහන ඔස්සේ ඒ බේරා ගත් අය අතර සිටින්නට ඇති.
පවුලකට සිය සාමාජිකයින් ගේ ජීවිතය කෙතරම් වටිනවා ද කියා මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම වන අප හොඳින්ම දන්නවා. ශ්‍රී ලංකාවේ දීර්ඝතම ආයතනික සමාජමය මෙහෙවරක් වන AIA ජාතික පොසොන් රැකවරණ ව්‍යාපෘතිය 28 වැනි වතාවටත් මෙවර පොසොන් සමයේදී සිදු කිරීමට සියලු කටයුතු අප විසින් සංවිධානය කර තිබෙනවා...”
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අනුරාධපුර පුදබිම් වටා පිහිටා ඇති වැව් සහ ජලාශ ආශ්‍රිතව ජීවිතාරක්ෂක සේවා සැලසීමට අමතරව, රැකවරණ ප්‍රචාරණ පුවරු සවි කරමින් දියට බැසීමට සුදුසු සහ නුසුදුසු ස්ථාන මෙන්ම අනතුරු විය හැකි ස්ථාන පිළිබඳ දැනුම්වත් කිරීමද සිදු කරමින්, වැව් සහ ජලාශ ආශ්‍රිතව සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම තහවුරු කර තිබේ.
එමෙන්ම AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සමාජ මාධ්‍ය හරහා ද පොසොන් උත්සවයට සහභාගී වීමට යන බැතිමතුන් හට වැව් සහ ජලාශවලින් දිය නෑමේදී ආරක්ෂා වියයුතු ආකාරය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇත.
ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස සිව්වන වරටත් (ප්‍රදානය ග්ලෝබල් බෑන්කින් ඇන්ඩ් ෆිනෑන්ස් රිවිව් වෙතින්, - 2019, 2020 සහ කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් වෙතින්, - 2021, 2022) සම්මානයෙන් පිදුම් ලද AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ, ශ්‍රී ලාංකික ජනතාව ගේ රැකවරණ අවශ්‍යතා සපුරාලීමට කැප වූ මෙරට ඉතා ශක්තිමත් ලෙස මුල් බැසගත් දේශීය සන්නාමයකි.
AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය ද සමාගම සිදු කරන්නා වූ ජාතික මෙහෙවර පිළිබිඹු වන තවත් එක් මුලපිරීමක් වන අතර, මේ උතුම් සද්කාර්යයෙන් ජීවිත බේරා ගත් මිනිසුන් ගේ අත්දැකීම් ද සටහන් කරනු වටී.
61 හැවිරිදි මාදම්පේ නාමල් මහායාගොඩ පොසොන් වන්දනාවේ ගොස් දියේ ගිලීමට ලක් වූයේ සිය ඥාති පවුල් කිහිපයක දරුවන් ද සමඟිනි.
ඒ බිහිසුණු අත්දැකීම පිළිබඳ ඔහු පැහැදිලි කළේ මෙලෙසිනි.
" 2019 අවුරුද්දේ පොසොන් වන්දනාවේ යන්න අපි සහෝදර සහෝදරියන් ඇතුළු දූ දරුවන් සූදානම් වුණා. ගමන සංවිධානය කළේ මගේ අක්කගේ දූ. පොසොන් දාට කලින් දවසේ තමයි අපි මාදම්පේ සිට සෝමාවතිය බලා පිටත් වුණේ. අපේ කණ්ඩායමේ ගෑනු උදවිය හයක් හිටියා.
ගැහැනු ළමයි ටික හිනා වෙවි, හරි සතුටින් ගමන ගියේ. අපි මින්නේරියට ළඟා වෙද්දී හවස් වුණා. ගමන් වෙහෙස නිවා ගන්න මින්නේරි වැවෙන් නාන්න අපි තීරණය කළා.වැව ළඟ බෝඩ් එකක් තිබුණත් විස්තරය පැහැදිලි වුණේ නැහැ. තවත් කට්ටිය නාමින් හිටපු නිසා අපිත් වතුරට බැස්සා. අපේ ළමයි සතුටින් නටමින් දඟලමින් වතුරේ කාලය ගත කළා. හිටි අඩියේ කවුදෝ කෑ ගහනවා ඇහුණා, 'එක්කෙනෙක් ගිලුණා...' කියලා. බලනකොට ඒ ගහගෙන යන්නේ අපේ දුවෙක්.
එයාව බේරගන්න අපේ ම තවත් දුවෙක් වතුරට පැනලා. මාත් දෙපාරක් නොහිතා දරුවෝ බේරා ගන්න වතුරට පැන්නා. එතන ලොකු වලක් බව දැනුණේ වතුරට පැන්නට පස්සේ. මාව යටට ඇදිලා ගියා. වතුර යට දී මම දැක්කා එක දුවෙක් යටට ඇදීගෙන යනවා. මම එයාව කොහොමහරි අල්ලා ගත්තා. එයාව ඇදගෙන උඩට එන අතරේ මට දැනුණා, කවුරු හරි මගේ කරට අත තියලා තද කරගෙන උඩට එන්න දඟලනවා. මාව ගිලෙන්න ඔන්න මෙන්න. ඒ එක්කම තව කවුරු හරි මාව ඇදලා ගන්නවා වගේ දැණුනා. මං අල්ලා ගෙන හිටපු දුවවත් කවුරුහරි එහෙම ඇදලා ගත්තා. මගේ කරට අත තියලා උඩට එන්න දඟලපු දුව වත් ඒ එක්කම තව කෙනෙක් ඇදලා ගත්තා. බලනකොට අපි සේරම අට දෙනෙක් ගිලෙන්න ගිහින්.
පස්සෙයි දැන ගත්තේ, ඒ පළාතේ මිනිස්සු වැවේ වතුර හිඳෙන කාලෙට ඇනිකට් එක හරහා අඩි පනහේ හැටේ ගැඹුරු වලවල් කපනවා, කුඹුරුවලට වතුර ගන්න. වහින කාලෙට මේ වලවල් පිරෙනවා. කවුරුවත් දන්නැති ඒ වලවල්වලට තමයි, බොහෝ විට මේ නාන අය ඇදිලා යන්නේ.
අපි වතුරට බහින වෙලාවේ ජීවිතාරක්ෂක නිලධාරීන් එතැන හිටියේ නැහැ. නමුත් මේ සිදුවීම වුණේ ඔවුන් එතැනට ආපු ගමන්ම යි. ඔවුන් වහාම ක්‍රියාත්මක වෙලා, අර යටට ඇදිලා ගිය අපි හැම දෙනාව ම ගොඩට ගත්තා. අපේ දූලා දෙන්නට ම වතුර පෙවිලා තිබුණා. අපි සේරම ගොඩට ඇවිත් ටික වෙලාවක් බිම වැතිරිලා හිටියා. අපිව බේරා ගත්තු ජීවිතාරක්ෂකයින් සහ පොලීසියේ අය අපිව රෝහලට ගෙන යන්න හැදුවත්, අපිට එතරම් අමාරුවක් නැති බව කී නිසා එහෙම ම හිටියා. ඔවුන් අපිට සාත්තු කළා. පැය දෙකකට ආසන්න කාලයක් එතැන මහන්සි නිවා ගෙන අපි පිටත් වුණා. ඒ අය අපිට කිව්වේ අමාරුවක් වුණොත් දැනුම් දෙන්න. වහාම රෝහල්ගත වෙන්න, කියලා. කතා කරන්න දුරකථන අංක පවා දුන්නා.
ඇත්තටම ඒ මොහොතේ ඔවුන් නාවා නම් ජීවිත අටක් ඒ මින්නේරි වැව් පතුලේ සැඟවිලා යනවා. නන්නාඳුනන කෙනකුගේ ජීවිතයක් වෙනුවෙන් වතුරට පැනලා, එහෙම බේරා ගන්නවා කියන්නේ මොන තරම් උතුම් කාර්යයක් ද... ඒ කාර්යයට අත හිත දීලා ඔවුන්ව වැව් ගාණේ සේවය කරන්නට පහසුකම් සපයනවා කියන්නේ, ආයතනයක් විසින් කරන උතුම් පුණ්‍ය කර්මයක්. AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, මේ කරන සද්කාර්යය නිසා ජීවිත කීයක් බේරෙන්න ඇද්ද. ඔවුන් නිසා බේරුණේ, අපේ පරම්පරා දෙකක ළමයි.
කොහොම වුණත් මගේ මේ ජීවිත අත්දැකීමෙන් මම කියන්නේ, මඟ සලකුණු කරලා තියන තැන්වලින් සහ ජීවිතාරක්ෂක නිලධාරීන් ඉන්න තැන්වලින් පමණක් වතුරට බහින්න කියන එකයි. කොයි තරම් බේරුණත් සමහරවිට පෙනහලුවලට වතුර ගියාට පස්සේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.
මොකද, මේ සිදුවීමේ දී වැඩිපුරම යටට ගිලුණු, හොඳ ශක්තිවන්ත තරුණ වයසේ හිටි අපේ එක් ඥාති දුවක් අවුරුදු දෙකකට පස්සේ පෙනහලු ප්‍රශ්නයකින් මිය ගියා. එයා තමයි මේ ගමන සංවිධානය කළෙත්. වතුරට බහින සෑම වෙලාවක ම ආරක්ෂාව ගැන යළි යළිත් හිතන්න යැයි මං හැමෝටම කියන්නේ මේ ජීවිත අත්දැකීම නිසා. ඉන් පස්සේ අපි නම් ඇත්තටම තවමත් වැවකට බහින්න බයයි. වටපිටාව නොදැන වතුරට බහින එක අන්තිම භයානකයි කියන ජීවිත පාඩම අපි මේ සිදුවීම හරහා ඉගෙන ගත්තා.
ඒ වගේම, නොදන්නා කෙනකුගේ ජීවිත බේරන ජීවිතවල ආරක්ෂක නිලධාරීන්ටත්, ඔවුන් ගේ සහාය වන්දනාකරුවන්ට ලබා දෙන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමටත් අපි හදවතින් ම ණයගැති යි..."
මාතර පදිංචි චාමික 24 හැවිරිදි ය. පොසොන් වන්දනා සමයේ ඔහු ද කණ්ඩලම වැව් පතුලේ ගිලෙන්නට ගොස් ජීවිතය බේරා ගත් අයෙකි. එසේ දියේ ගිලී බේරුණේ AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය ඔස්සේ යොදවා තිබූ ජීවිතාරක්ෂකයින් ඔහුව ද බේරා ගත් නිසා ය.
"2019 අවුරුද්දේ පොසොන් දවසට කලින් දවසේ අපි පිදුරංගල සහ සීගිරියට පිටත් වුණා. හවස් වෙද්දී කණ්ඩලම වැවෙන් නාන්න අපි තීරණය කළා. එතැන හිටපු ජීවිතාරක්ෂකයින් ගෙන් අපි ඇහුවා, එතැන නාන්න සුදුසුද කියලා. ඒ අය කමක් නෑ කියලා කිව්වා. අපි හැමෝම වතුරට බැස්සා. මට ටිකක් පීනන්න පුළුවන්. ඒත් හොඳට ම බැහැ. මම හිටියේ අර සලකුණු කරපු තැනට මෙහායින්. මම ටික දුරක් පීනලා නැවතුණා. මම හිතුවේ මගේ කකුල් පොළොවේ වදියි කියලා. නමුත් එතැන තිබුණේ ලොකු වලක්. මාව යටට ගියා. එක පාරටම තව තවත් යටට ගියා. මට බය හිතුණත් මම කලබල වුණේ නැහැ. යටට ගියොත් උඩට එනවා කියන එක මම දැනගෙන හිටියා. උඩට ඇදිලා ආ මොහොතේ ක්ෂණිකව ම මම අත් දෙක ඉහළට ඉස්සුවා. කවුරු හරි දකින්න ඕනේ, කියන එක විතරයි මගේ ඔළුවේ තිබුණේ.
මගේ වෙලාවට, අපි එක්ක ගිය එක ගෑනු ළමයෙක් මාව ගිලෙන්න යන බව දැකලා තිබුණා. මගේ අත් දෙක උඩට ආ වෙලාවේ ඒ ළමයා කෑ ගහලා තිබුණා. ඒ සද්දෙට තමයි ජීවිතාරක්ෂකයින් ඇවිත් තියෙන්නේ. හැබැයි ඊට කලින් අපි එක්ක ගිය එක අයියා කෙනෙක් මාව ඇදලා අරන් තියෙනවා. මම කට තද කරගෙන හිටිය නිසා මට වතුර පෙවුණේ නැහැ. වතුර යටදී වුණත් මම හිටියේ කට තද කරගෙන. ඊට පස්සේ මට සිහි නැති වුණා. විනාඩි දහයකට කිට්ටු කාලයක් මම වතුරෙන් යට ඉන්න ඇති.
පය ගහලා, දඟලලා කලබල වෙනවා වෙනුවට මම හිටියේ කල්පනාවෙන්. කවුරු හරි මාව දැක්කොත් හරි. උඩට ගිය ගමන් මං අත්දෙක උස්සනවා කියන කල්පනාව මම තරයේ තියා ගත්තා. ඇත්තටම එහෙම කරපු නිසා තමයි, අර ගැහැනු ළමයා වුණත් මාව දැක්කේ. වතුර අඩු කාලෙට මේ පළාතේ මිනිස්සු කුඹුරුවලට වතුර හරවන්න ඇල කානු කපනවා. එහෙම හැදුණු වලවල් තමයි මේ වැව්වල අතරින් පතර තිබිලා, වතුර වැඩි කාලෙට මිනිස්සු ගිලෙන්නේ.
කොහොම වුණත් අර අයියා මාව ඇදගෙන ගියාට, ජීවිත ආරක්ෂක නිලධාරීන් තමයි මාව ගොඩට ගෙනැවිත් තිබෙන්නේ.
ඇත්තටම අපේ අම්මට ඉන්න එකම පුතා මං. ඒ වෙලාවේ මම දියේ ගිලිලා මැරුණා නම් මගේ අම්මට මොන තරම් දුකක් ද.
නන්නාඳුනන කෙනෙක් මගේ ජීවිතේ බේර ගත්තු නිසා, අම්මට එයාගේ පුතාව ඉතිරි වුණා. ඇත්තටම මේ වැඩේට අත හිත දෙන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, විශාල පුණ්‍ය කර්මයක් සිදු කර ගන්නවා.
මට සමාජයට දෙන්න තියෙන පණිවිඩය තමයි, නොදන්නා තැන්වලින් වතුරට බහින්නේ බොහොම කල්පනාවෙන්. අනික පීනන්න පුළුවන් අය සමග නිතර ගැවසෙන්න. වතුරට වැටුණොත්, කලබල නොවී සිහි කල්පනාව තියාගන්න.
මොකද, මේ පොසොන් සමයේ දරු පවුල් පිටින් වැව්වලට බහින අය ඉන්නවා. මේ හැම කෙනකුට ම මගේ කතාව ආදර්ශයක් වේවි..."
වන්දනාවේ එන කිසිවකුටත් මෙවැනි අනතුරක් නොවන්නට මෙවර AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර පූජා නගරයේ නුවර වැව, කූබිච්චන්කුලම, බුලන්කුලම, අභයවැව, මල්වතු ඔය (යාපනයේ හන්දිය), මල්වතු ඔය (ඉසුරුමුණිය පාර) සුනාථ පොකුණ, කලා වැව, බලලු වැව, රාජාංගණය වැව, නාච්චදූව සහ තන්තිරිමලය වැව් ආශ්‍රිතව ජීවිතාරක්ෂකයින් සේවයේ යෙදී සිටිනු ඇත.
එමෙන්ම, පොළොන්නරුව පූජා නගරය ආවරණය වන පරිදි පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, සෝමාවතිය, දිඹුලාගල ආදී වැව් ආශ්‍රිතවත්, මිහින්තලේ පූජා නගරය ආශ්‍රිතව නාග පොකුණ, කළුදිය පොකුණ, මහකනදරා වැව ආශ්‍රිතව මෙන්ම, දඹුල්ල පූජා නගරය ආවරණය වන පරිදි කණ්ඩලම, ඉබ්බන් කටුව, රන්දෙණිය, පන්සල උඩවැව සහ තෙල්ගමුව ඔය ආවරණය වන ආකාරයෙනුත් 500කට ආසන්න ජීවිත ආරක්ෂක නිලධාරී කණ්ඩායමක් මෙවර ඔබේ ජීවිත රැකවරණය වෙනුවෙන් සේවයේ යෙදී සිටිනු ඇත.
ඉතින් පොසොන් වන්දනා සමය තුළ වුවත් ඔබේ ජීවිතය පිළිබඳ වගකීම ඔබ අතේ බව සිහි තබා ගන්න.