
බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රදේශයේ, 13 කණුව ගම්මානය ආශ්‍රිතව පිහිටා ඇති 'රත්න ඇග්‍රෝ ප්‍රඩක්ට්ස්' යනු, දශක ගණනාවක් රසායනික පොහොර භාවිතයෙන් විනාශ වී ගිය ශ්‍රී ලාංකේය මහපොළොව සුවපත් කිරීමේ කාර්යයෙහි නිරත, තවත් එක් දේශීය කාබනික පොහොර නිෂ්පාදන සමාගමකි.
එහි ප්‍රධාන කාර්යාලය 'රත්න සුපර් සිටි' නුවර පාර, මීගහකිවුල, බදුල්ල ලිපිනයේ පිහිටා ඇති අතර, කාබනික ඝන පොහොර සහ කාබනික දියර පොහොර ඔවුන්ගේ ප්‍රධානතම කාබනික නිෂ්පාදන දෙවර්ගය යි.
සිය කාබනික පොහොර නිෂ්පාදන සමාගම පිළිබඳ එහි සභාපති, දේශමාන්‍ය රසික ශාලින්ද රත්නායක මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි.
" මම හාඩ්වෙයාර් සහ සුපර් මාර්කට් ව්‍යාපාර ක්ෂේත්‍රයේ අවුරුදු 20කට වැඩි කාලයක් නියැළී සිටින කෙනෙක්. හැබැයි ඒ ව්‍යාපාර බොහෝමයක් පදනම් වී තිබෙන්නේ Buying and Selling මත. යමක් නිෂ්පාදනය කරනවාට වඩා, භාණ්ඩයක් අරගෙන විකිණීමේ දී වගකීම අඩුයි. ඉපැයීම් හොඳයි. නමුත් අවුරුදු දහ අටක්, විස්සක් ඒ ව්‍යාපාරවල ම හිටි කෙනෙක් හැටියට මට ඕනේ වුණේ මගේ උපන් රටට මම ම යමක් නිෂ්පාදනය කර බෙදා හැරීමටයි. එයින් ජනතාවටත් රටටත් යහපතක් වනවා දැකීමටයි. කරදර නොවී ලාභ ලැබිය හැකි ව්‍යාපාර ක්ෂේත්‍ර දෙකක ඉඳගෙන, මුදලට වඩා තෘප්තිය අත්විඳිය හැකි කාබනික පොහොර නිෂ්පාදන ක්ෂේත්‍රයට මම යොමු වුණේ ඒ අනුවයි.
මම 2022 මුල් කාලයේ කාබනික පොහොර නිෂ්පාදනයට අත ගහද්දී, ලංකාවේ වී ගොවිතැන වෙනුවෙන් කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ ව්‍යාපාරයට බොහෝ දෙනා වෙහෙස මහන්සි වුණා. ඇත්තටම ඒ වෙලාවේ රට වෙනුවෙන් යමක් කරන්නට ඕනේ කියන සිතිවිල්ල සහ උත්තේජනය සමඟ මමත් අලුත් ගොඩනැගිලි හදලා, මැෂින්, යන්ත්‍ර සූත්‍ර සහ ට්‍රැක්ටර් මිල දී ගෙන, විශාල ආයෝජනයක් කර මීගහකිවුල ප්‍රදේශයේ කාබනික පොහොර කර්මාන්ත ශාලාවක් ආරම්භ කළා.
ඒ අනුව, 2022 යල කන්නයේ කාබනික ඝන පොහොර කිලෝ ලක්ෂ 12ක් සහ දියර පොහොර ලීටර 15,000ක් රජයේ පොහොර සහනාධාර ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කර ලබා දෙන්න මට හැකියාව ලැබුණා.
ඒ වගේම, 2023 මහ කන්නයේදී ත් කාබනික ඝන පොහොර කිලෝ 14,000ක් සහ දියර පොහොර ලීටර 11,000ක් නිෂ්පාදනය කළා. 45 දෙනකු පමණ සේවය කරන අපගේ කර්මාන්තශාලාවේ මෙවැනි විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන විට, අතිරේක පිරිස් සේවය සඳහා යොදා ගන්නවා. ඒ අතරින් බහුතරය කාන්තාවන්. මේ කර්මාන්තය හරහා ඔවුන්ගේ ගෘහ ආර්ථිකයට වගේම ග්‍රාමීය ආර්ථිකයටත් විශාල හයියක් ලැබුණා. ඇත්තටම, ඔවුන් හොඳින් වැඩ කළා වගේම, අපිටත් හොඳින් ඇණවුම් තිබුණා. නමුත් දැන් තත්ත්වය වෙනස්. මාස දෙකකින් අපේ කර්මාන්තශාලාවල වැඩ නැහැ.
අපගේ කර්මාන්තශාලාවල සෘජුව වැඩ කළ අයට විතරක් නෙවෙයි, අමුද්‍රව්‍ය සැපයූ සැපයුම්කරුවන් රියැදුරන් සහායකවරු ඇතුළු බොහෝ දෙනකුට මේ තත්ත්වය එක සේ බලපා තිබෙනවා. මොකද, අපේ කාබනික ඝන පොහොර නිෂ්පාදනය සඳහා මේ අවට ප්‍රදේශවලින් ගිණිසීරියා සපයා ගත්තා.
ඒ වගේම කුඩා ගොවිපළවලින් ගොම සහ කුකුළු පොහොර ලබා ගත් අතර, මදි පාඩුව සඳහා කුලියාපිටියෙන් කුකුළු පොහොර සහ තණමල්විලෙන් ගොම පොහොර සැපයුම්කරුවන් ලවා ගෙන්වා ගත්තා. ආරම්භයේ පටන් අප නිෂ්පාදනය කරන කාබනික පොහොර දෙවර්ගයේ නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගත්තේ, ප්‍රමිතියෙන් උසස් අමුද්‍රව්‍ය පමණයි.
මේ අවස්ථාව වන විටත් එසේ අතිශය උසස් ලෙස නිෂ්පාදනය කළ කාබනික ඝන පොහොර මෙට්‍රික් ටොන් 700ක් සහ කාබනික දියර පොහොර ලීටර 25,000ක් අපගේ ගබඩාවල ගොඩගසා තිබෙනවා.
ඇත්තටම මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ කාබනික ඝන පොහොර කිලෝ ලක්ෂ දෙකක් වැනි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමෙන්. එහි ඉහළ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ගැන භාවිතාවෙන් ම අත්දැක වටහා ගත් ගොවි මහත්වරුන්ගෙන් අප වෙත නැවත නැවතත් ඉල්ලීම් ලැබුණා.
මෙම කර්මාන්තය ආරම්භ කිරීමේ දී මට ලැබුණු ලොකුම අත්දැකීම තමයි මගේ මාමණ්ඩිය කාබනික දියර පොහොර සහ කාබනික ඝන පොහොර බොහෝ කලක සිට හැදූ කෙනකු වීම. රැල්ලක් ලෙස එය ව්‍යාප්ත වන්නට පෙර කාලයේ පටන් ම ඔහු කාබනික පොහොර සැකසුවා. එතකොටත් ලංකාවේ කාබනික පොහොර සඳහා එතරම් ඉල්ලුමක් තිබුණේ නැහැ. ඒ වුණත් ඔහු අත් නොහැර කර ගෙන ආවා. ඔහුගේ ඒ අත්දැකීම් සහ ආභාෂය ලබා ගෙනයි, මම මේ ක්ෂේත්‍රයට පිවිසුණේ.
කොහොම වුණත්, අද වන විට අපගේ අලෙවිසල් හරහා අපගේ නිෂ්පාදන සෘජුවම අලෙවි කරනවා. ඒ නිසා ලංකාවේ ඕනෑම තැනෙක සිටින කෙනකුට අපගේ පොහොර භාවිත කර, ලැබෙන ප්‍රතිඵලවල වෙනස අත්දකින්නට පුළුවන්.
ලංකාවේ කාබනික පොහොර වෙළෙඳපොළ හෙමි හෙමින් පල්ලමට යන නිසා, අපනයන ක්ෂේත්‍රයට පිවිසීම සඳහා මේ වන විට අප Control Union සහතිකය ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. එහි විගණන කටයුතු බොහෝ දුරට අවසන්. ලංකාවට වටින්නේ නැති නම් පිට රටට හෝ අපගේ කාබනික නිෂ්පාදන අලෙවි කරන්නයි අප බලාපොරොත්තු වන්නේ. මොකද, මේ වන විට විදේශ රටවල් කාබනික පොහොර සඳහා විශාල නැඹුරුතාවක් දක්වනවා. ඔවුන් තමන්ගේ පුරවැසියන්ගේ සහ රටේ යහපත වෙනුවෙන් යළි කාබනික වගාවන් වෙත ශීඝ්‍රයෙන් නැඹුරු වෙමින් පවතිනවා. ඒ තත්ත්වයෙන් හෝ අප ප්‍රයෝජනයක් ගත යුතුයි.
අපගේ දියර පොහොරවල විශේෂත්වය තමයි, එහි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස අප යොදා ගන්නේ ගව මුත්‍රා සහ උක් හකුරු වීම. මේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකට අමතරව අපට ම ආවේණික වූ තවත් අමුද්‍රව්‍ය කිහිපයක් යොදා ගෙන පැසුම් කාරක යොදා, දියර පොහොර එක පැසෙන්නට තබනවා. නියමිත කාලයෙන් පසු තමයි දියර පොහොර ලෙස එය සකස් කර ගන්නේ. අපගේ පොහොරවල උසස් ප්‍රමිතිය පිළිබඳ ප්‍රතිචාර ලබා දෙන්නේ ඒවා පාවිච්චි කරන ගොවි මහත්වරු. එය, අපගේ පොහොරවල ගුණාත්මකභාවය ඉහළ නංවන්න ලැබෙන හොඳ අවස්ථාවක් සහ උත්තේජනයක්.
ඒ වගේම, කාබනික පොහොර නිෂ්පාදනයේ දී අපට තරග කරන්නට තිබෙන්නේ, විශාල පොහොර සමාගම් එක්ක. ඒ නිසා අපිට ලැබෙන කුඩා අවස්ථාවක දී වුණත් හොඳම කොලිටිය සපයා දී නියම කාබනික පොහොරවල වෙනස අප ගොවීන්ට අත්දකින්නට සලස්වනවා.
මීට හොඳම උදාහරණය තමයි පළමු යල කන්නයේ දී අප මහියංගණ ප්‍රදේශයේ ගොවීන්ට ලබා දුන් පොහොරවලින් ලද උසස් අස්වනු නිසා, ඔවුන් යළිත් අපගේ පොහොර ම ඉල්ලා සිටියා. එම නිසා, මහියංගණ ප්‍රදේශයට මහ කන්නයේ දී අමතර පොහොර කිලෝ ලක්ෂ 7,8ක ප්‍රමාණයක් ලබා දෙන්නට අපට හැකි වුණා. ගොවීන් තුළ එවැනි ආකාරයේ උත්තේජනයක් තිබූ නමුත් දැන් මේ වවුචර් ක්‍රමය තුළ සියල්ල උඩු යටිකුරු වෙලා.
කන්න කිහිපයක් කාබනික පොහොර දැමීමෙන් විනාශ වී ගිය මහපොළොව පණ ගහමින් තිබුණා. ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙමින් තිබුණා. නමුත් දැන් ඒ ගොවීන් ආපහු ටිකෙන් ටික කාබනික ගොවිතැනින් ඈත් වන්නට පටන් අරන්. අර හැදී ගෙන ආ පසත් යළි වෙනස් වන්නට පටන් අරන්. රජය මේ විනාශ වන්නට ඉඩ දී බලා සිටීම නොකළ යුතුයි.
විශාල ආයෝජන සිදු කොට, ගොඩනැගිලි ඉදිකර අප වැනි ව්‍යාපාරිකයන් හැදූ කාබනික පොහොර කර්මාන්ත ශාලා වැසී යන්නට ඉඩ නොදිය යුතුයි දැන් අපේ කාබනික පොහොරවලට කරගන්න දෙයක් නැහැ. ඒවා ගොඩගසා ගබඩාවල ඔහේ තිබෙනවා. 70%ක් රසායනික ව සහ 30%ක් කාබනික ප්‍රතිශතය ට අනුව පොහොර යෙදීම නිර්දේශ කළා නම්, ගොවියා ව්‍යාපාරිකයා විතරක් නෙමෙයි මහපොළොවත් අඛණ්ඩව සුවපත් වනවා.
අවංකව කිව්වොත් දේශීය කාබනික පොහොර නිෂ්පාදකයින් හැටියට අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. දේශීය ව්‍යාපාර කරලා මේ විදියට නැත්තට නැති වෙන්න ඉඩ නොදී කෘෂිකර්ම අමාත්‍යවරයා වහා මැදිහත් වී මේ ගැටලුව විසඳිය යුතුයි. අපි ඇත්තටම කිහිප වරක් කෘෂිකර්ම අමාත්‍යවරයා මුණගැසුණා. දැනුම්වත් කළා. ඔවුන්ට තිබුණා අපිවත් දැනුම්වත් කර, යම් කාලයක් දී මේ කාබනික පොහොර භාවිතය නැති කරනවා නම් නැති කරන්න. නමුත් අපිව එක සැරේට විනාශ කළාම අපි කොහොම ද ඔළුව උස්සන්නේ.
මහපොළොව සුවපත් කරන්න ඉදිරිපත් වූ අපිවම පොළවට සමතලා වෙන තත්ත්වයකුයි දැන් තියෙන්නේ..."