මැතිසබය උණුසුම් කළ IMF විවාදය | Page 3 | සිළුමිණ

මැතිසබය උණුසුම් කළ IMF විවාදය

න්තර් ජාතික මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පසුගිය 26,27 සහ 28 විවාදයට ගැනීමට තීරණය කළේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවය. ඒ අනුව පසුගිය අප්‍රේල් මස 26,27 හා 28 යන තෙදින තුළම පාර්ලිමේන්තුව විවාදයට බඳුන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳවය. මෙම පාර්ලිමේන්තු විවාදයේදී ආණ්ඩු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මැති ඇමැතිවරු උණුසුම් විවාදයකට එක් වූහ. මේ IMF විවාදයේදී දැක්වූ අදහස්ය.

රට පුනරුදයේ මාවතට අවතීර්ණ වුණා
- ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අපි ආර්ථික පුනරුදයේ මාවතට අවතීර්ණ වුණා. ඊට මුළු රටේම සහයෝගය දිය යුතුයි. මා ජනාධිපතිකම බාර ගත්තේ බලාපොරොත්තු කඩ වූ අවස්ථාවක රට ගොඩනැඟිය හැකි යැයි විශ්වාසය තිබූ නිසයි. විදේශ බැංකු මුල්‍ය ආයතනවල විශ්වාසය අපි දැනටම ලබාගෙන තියෙනවා. දැනටම ආර්ථික ස්ථාවරභාවය ඇති වී ගෙන යනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයන් ලංකාව දිහා බලනවා. 16 වතාවක් IMF ගිවිසුමට ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන් කළේ නෑ. 17 වෙනි අවස්ථාවේ දී ස්ථාවර විසඳුමක් එද්දි අපේ දීර්ඝකාලීන දුර්වලකම් නැති කරලා අලුත් වැඩසටහනකට යන්න තියෙනවා. මේකට කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමා ණය පිළිබඳ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අපිට තියෙන සාකච්ඡා. ඒක අපේ ද්විපාර්ශ්වික රටවල් එක්කත් ඒ වගේම පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කරනවා. අපිට වුවමනායි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. පළමුවෙන්ම අපිට තියෙන්නේ විදේශ ණයකරුවන් සමඟ සාකච්ඡා කරන්න. ඒ වගේම ඒ අය කියලා තියෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැනත් සාකච්ඡා කරන්න කියලා. දැනට අන්තිම තීරණය අරගෙන නෑ. මේ ගැන සාකච්ඡා කරද්දි අපි තීරණ ගන්න ඕනේ. අපිට කොන්දේසි දාලා සාකච්ඡා කරන්න බෑ. අපිට වාසියි කොන්දේසි නැතිව සාකච්ඡාවලට යන එක. කාටවත් හානියක් වෙන්නේ නෑ. සමහරු කියනවා කොටස් වෙළෙඳපොළ කඩා වැටෙනවා කියලා. කඩා වැටුණොත් මම ඒක වහන්නම්. අපිට හරිත ඩිජිටල් ආර්ථිකයක් අවශ්‍යයි. IMF ගිවිසුම හැර වෙන විකල්පයක් නැහැ. එම නිසා ක්‍රියාකාරි වෙන විකල්පයක් නැතිනම් අපි මෙය අනුමත කළ යුතුයි.

ජාත්‍යන්තර ගනුදෙනුවලට යළි මාර්ග විවෘත වුණා
- අගමැති දිනේෂ් ගුණවර්ධන

අන් කවර කලකටත් වඩා දරුණු මූල්‍ය අර්බුදයක් හමුවේ පසුගිය වසරේ රට අඩපණ වී ගිය අයුරු පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත් අමතක නැහැ. අපි මේ IMF ගිය පළමුවැනි වතාව නෙවෙයි, 17 වැනි වතාව. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යේෂ්ඨයන්ට අමතකයි තමන් කලින් 16 වතාවෙම හෝ එයින් අඩක් හෝ සහභාගි වී තිබෙන බව. පසුගිය මාස 12 තුළ රාජ්‍ය සේවයේ කිසිවකු රැකියාවෙන් අස්කර නැහැ. වැටුප් සහ විශ්‍රාම දීමනා නවත්වා නැහැ. එය ශ්‍රී ලංකාව අනෙක් රටවලට ලබා දී තිබෙන ආදර්ශයක්. අසීරු කාලයකට මුහුණ දී අපි එයින් ගොඩ එමින් තිබෙනවා. අපට තිබෙන්නේ IMF ගිවිසුම පමණක් නෙවෙයි. ඒ සමඟ වෙනත් ජාත්‍යන්තර ආයතන සමඟ මූල්‍ය ගනුදෙනු යළි පටන් ගැනීමේ මාර්ග විවෘත වී තිබෙනවා. රටේ ආර්ථික හා මූල්‍ය ප්‍රබෝධය ඇතිකළ හැකි තවත් සැලසුම් අපට තිබෙන බවත් කිව යුතුයි.

රටම රවට්ටලා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න පටන් ගත්තා
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

විපක්ෂයක් ලෙස අපි සක්වළ හුස්ම හරහා රෝහල් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කරන්නට කටයුතු කළා. 2019 හැට නව ලක්ෂයක ජනවරම් ලබාගත් අය කරපු පළමු දෙයින් තමයි මේ දේ වුණේ. බදු සහන දීලා, රාජ්‍ය ආදායම අඩු කර, ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශයන් අහිමි කිරීමත් සමඟයි, මේ දේ වුණේ. ඔවුන්ම කියනවා, 2019 දළ දේශීය නිෂ්පාදිතය නැවත තිබුණ තැනට ගන්ත පුළුවන් වන්නේ 2029දී කියලා. මේ යන විදියට අවුරුදු 5 ක් බලා සිටින්න වෙනවා. අන්ත දූෂිත වංචා වූ මුදල් අපේ රටට නැවත ලබා ගන්නා ආකාරය ගැන සඳහනක් නැහැ. දූෂණ විරෝධි ක්‍රමවේදයක් ගෙන ආ යුතුයි. දේශීය ආයෝජකයන්ට ඵලදායි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට අවස්ථාව දිය යුතුයි. හැමෝම කිව්වේ දේශීය ණයවලට අත තියන්නේ නැහැ කියලා. නමුත් අද රටම රවට්ටලා දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න පටන් ගත්තා අහිංසක ජනතාවගේ ඉතිරිකිරීම්, බැංකු පද්ධතියට, අර්ථසාධකයට මොකද්ද වෙන්නේ? පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි.

දැන් ජනප්‍රිය තීන්දු ගන්න බැහැ 
- අධ්‍යාපන ඇමැති හා සභානායක සුසිල් ප්‍රේමජයන්ත්

රට බංකොලොත් වූයේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන්. අපේ රට බංකොලොත් වූ පසු සියලු රටවල් ණය දීම නතර කළා. IMF යෑම ගැන වෙනස් වූ මත තියෙනවා. නමුත් මුදල් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ණයක් ගන්න සිදු වෙනවා. ඒ ණය මට ඕන විදිහට දෙන්නේ නැහැ. මේ නිසා අපිට යම් කැප කිරීම් කරන්න සිදුවෙනවා. ඩොලරය රුපියල කඩා වැටුණේ මේ ජනාධිපති පත්වීමට පෙරයි. හිටපු ජනාධිපතිට ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට හැකිවුණේ නැහැ. අපිට දැන් ජනප්‍රිය තීන්දු ගන්න බැහැ. IMF අවාසිදායක තත්ත්වයන් මාස 6 න් 6ට අධීක්ෂණය කළ හැකියි.

මහ පොළොවේ යථාර්ථය අවබෝධ කර ගත යුතුයි
- ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

අපි මහ පොළොවේ යථාර්ථය ගැන අවබෝධයක් ඇති කර ගත යුතුයි. නිදහසින් පසු අපිට ඔරොත්තු නොදෙන ආර්ථිකයක් පවත්වා ගෙන ගියා. මේ අර්බුදය සියලු රජයන් ඇති කරගත් එකක් ලෙස ජනතාව සිතනවා. පාර්ලිමේන්තුව ප්‍රධාන වගඋත්තරකරුවෙක් වෙනවා. 2003 මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ගෙනාවා. 2006 සිට අයවැය පරතරය 5% ට වඩා පවත්වා ගෙන යෑම අරමුණු වුණා. ඒවා ක්‍රියාත්මක වුණා නම් මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. අපේ රටේ සමස්ත ආර්ථිකය ඇ‍ෙමරිකානු ඩොලර් බිලියන 80ට අඩුයි. අපි විදේශයන්ට ණය වෙලා තියෙනවා, ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ක්. 2029 දක්වා කාගේ ආණ්ඩුව තිබුණත් ඇමෙරිකානු ඩොලර් බිලියන 12 කට වැඩිය ගෙවිය යුතුයි. හම්බන්කොට වරාය විකිණුවේ ඇ‍ෙමරිකානු ඩොලර් බිලියන 1.4 කට. ලංකාවට ලැබුණු ලොකුම ආයෝජනය වන පෝර්ට් සිටිය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 යි. මේ දෙකෙන්ම හොයන්න පුළුවන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක් නම් අපි ඇ‍ෙමරිකානු ඩොලර් බිලියන 50ක් හොයන්නේ කොහොමද?

ගිවිසුමේ කොන්දේසිවලට විරුද්ධයි 
- සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල

මේ ගිවිසුම සභාගත කර නැහැ. අපි වාද කරන්නේ ගිවිසුමක් නැතුවයි. අපි කරුවලේ අතපත ගාමිනුයි විවාදයට සහභාගි වෙන්නේ. අපි රට බාර දුන්නේ බිලියන 7.8 ක් එක්ක. රට බංකොලොත් කරපු අයම IMF ගිහින් රට ගොඩ ගන්න හදනවා. IMF ගියේ ප්‍රමාද වෙලා. ආණ්ඩුව ඉල්ලා අස් වෙන්න. අපි ගිවිසුමේ කොන්දේසිවලට විරුද්ධයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, අධික විදුලි බිල, අර්ථසාධක අරමුදල, බදු බර දරා ගැනීමට අපහසුයි. 2019 රට තිබුණු තත්ත්වයට ගේන්න 2027 වෙනකම් ඉන්නලු.

ගිණුම බැලන්ස් කළාට සමාජ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ
- ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

මෙය කුමන්ත්‍රණකාරීව ගනු ලැබූ යෝජනාවක්. මේ යෝජනාවේදී රට වෙනුවෙන් ගනු ලැබූ එකඟතා හෙළි නොකර පාර්ලිමේන්තුවේ ඡන්දය ඉල්ලීම යුක්තිසහගත නැහැ. ආර්ථිකය සමනය වී ඇති බවට කරන ප්‍රකාශ අසත්‍යයයි. අපේ රටේ ගෙවුම් ශේෂය ඇතිවුණේ ආර්ථික දේහයේ ප්‍රශ්නයක් නිසයි. නමුත් IMF එකට මේක ගෙවුම්කරණයේ ප්‍රශ්නයක් විතරයි. එකවුන්ට් එක බැලැන්ස් කළාට සමාජ ජීවිතයේ ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. ඔවුන් යෝජනා කරන්නේ වැට් ආදායම වැඩි කරගැනීමයි. වැට් එක හරහා සමාජ ජීවිතයේ සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. බැංකු පද්ධතිය පවතින්නේ විශ්වාසය මතයි. එය බිඳ වැටුණොත් බැංකු පද්ධතියම කඩා වැටෙනවා. විදෙස් සංචිත ශක්තිමත් කරන්න යෝජනා කරන්නේ ලාභ ලබන ආයතන විකුණලයි. නැතිවෙලා නැතිවෙලා හිඟමනට වැටුණට පස්සේ විකුණලා ජීවත් වෙන එක ආර්ථික උපාය මාර්ගයක් නෙවෙයි. මේක ගිණුම්කරණ සැලැස්මක් මිසක් ආර්ථික දේහයේ පරිවර්තනයක් නෙවෙයි. දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර ආර්ථික දේහය ප්‍රතිසංස්කරණය කරන්න බැහැ.

කඩුල්ල ජයගත්තේ ජනාධිපතිතුමයි 
- වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

රට ගොඩනැඟීමේ වැදගත් සන්ධිස්ථානයකට පත්ව තියෙනවා. IMF කලින් යා යුතුය කියන මතය අපිටත් තිබුණා. නමුත් ඒ මතය ජය ගන්න ලැබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පමණයි. විපක්ෂ නායකටත් අභියෝගය බාර ගැනීමට ශක්තියක් තිබුණේ නැහැ. අපි එක් කඩුල්ලක් පැන්නා. දැන් තවත් කඩුල්ලක් වූ ණය හිමියන් සමඟ සාකච්ඡාවලට අපි අවතීර්ණ විය යුතුයි. අපි මෙහි කොන්දේසිවලට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකඟ විය යුතුයි. මීට විරුද්ධ වනවා නම් ඊට විකල්පත් පෙන්වා දිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහි කරුණු කාරණා අපි ක්‍රියාත්මක කළ යුතුයි.

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට IMF කොන්දේසි නැහැ
- දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සිවඥානම් ශ්‍රී ධරන්

රජයේ මෙම දෙමළ විරෝධි ක්‍රියාවට IMF සහයෝගය දක්වන්නේ දැයි එම අරමුදලේ විධායක සභාවෙන් ප්‍රශ්න කරනවා. රටේ ජනවාර්ගික ප්‍රශ්නය හා ව්‍යවස්ථාමය ප්‍රශ්නය විසඳීම සඳහා IMF කිසිදු කොන්දේසියක් පනවා නැහැ. රට තුළ විපතට පත් දෙමළ ජනතාවට එරෙහි ක්‍රියාකාරකම් දිනෙන් දින උත්සන්න වන නිසා IMF ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙමින් සිටිනවා.

ඩොලර් ගෙනෙන වැඩපිළිවෙළක් ඕන
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

අපි ඡන්දය දුන්නත් නැතත් ආණ්ඩුවට මෙය ක්‍රියාත්මක කළ හැකියි. අද රට මේ තත්ත්වයට පත්වුණේ IMF යන්න ඕන නැහැ කියන මෝඩකම නිසයි. කිසිම ආණ්ඩුවකට IMFහැර වෙන විකල්පයක් නැහැ. ඉදිරි අවුරුදු 5 අපි තවත් ණය උගුලකට අසුවනවා මිස වෙනත් කිසිම දෙයක් සිදු වන්නේ නැහැ.

ඩොලර් අර්බුදයට විසඳුම ණය ගැනීම නම් මෙය ඕන කෙනකුට කරන්න පුළුවන්. ඩොලර් ආදායම අත්පත් කරගන්නා වැඩපිළිවෙළකට අපේ සහයෝගය ලබා දෙන්න සූදානම්. සංචාරක කර්මාන්තයේ හොඳම වකවානුව වූ 2018 ඩොලර් බිලිනය 4.3 කට ගිය ආදායම ඉදිරි කාලයේ ඩොලර් බිලියන 7 කට ගෙනෙන වැඩපිළිවෙළකට රජයට ආ යුතුයි. අපනයන ආදායම වැඩිකර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ කුමක්ද? ඩොලර් බිලිනය 13 ඩොලර් 20 දක්වා වැඩි කිරීමේ වැඩපිළිවෙළ කුමක්ද?

ණය උගුලෙන් ගැලවීමක් නැහැ 
- පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. ඇල්. පීරිස්

IMF ගිවිසුමෙන් කිරිබත් කන්න වෙන්නේ අපි මේ ණය උගුලෙන් ගොඩ වෙනවා නම් පමණයි. IMF පැහැදිලිව ප්‍රකාශ කරනවා 2027 වසරේ නැවතත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් ඉල්ලා සිටීමට. ණය උගුලෙන් ගැලවීමක් නැහැ.

දේශීය බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් තියෙනවා. සේවක අර්ථසාධක හා සේවක භාර අරමුදලට හානි නොවන බව පැවැසිය හැකිද? මේ සියල්ල වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිම නිසා. ජනතාව අති විශාල පීඩාවකට පත්වෙලා. 20% කට වඩා විදුලිය කපලා. කර්මාන්ත නිෂ්පාදනය අඩු වෙලා.

විශාල ජන රැල්ලක් මීට විරුද්ධව නිර්මාණය වන නිසයි ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කරන්නේ.

මේ ණය බෝම්බය 2026දී පිපිරෙනවා
- පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

මේ අර්බුදය පුපුරා යන බව දැක්කහම IMF යන්න කියලා අමාත්‍ය මණ්ඩලයට මුලින්ම යෝජනා කළේ මමයි. අපේ ආර්ථික අර්බුද එකිනෙකට වෙළිලා. රුපියල් හා ඩොලර් අර්බුද දෙකම විසඳාගත යුතුයි. අපි IMF ගියේ රුපියල් නැති නිසා නෙමෙයි, ඩොලර් නැති නිසයි. ඒ නිසා IMFගිවිසුමෙන් අපි බලාපොරොත්තු වන්නේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමට සහායයි. නමුත් අවාසනාවට මේ ගිවිසුමේ නැත්තෙත් එයමයි. මේ ගිවිසුම බදු වැඩි කිරීම, රාජ්‍ය සේවය කුඩා කිරීම, රාජ්‍ය වියදම් කපා හැරීම හරහා රුපියල් අර්බුදයට විසඳුම් දීලා තියෙන්නේ. ඩොලර් අර්බුදයට කිසිදු විසඳුමක් දී නැහැ. 2015 ගත් ණය බෝම්බය 2022 පිපිරුවා. මේ ණය බෝම්බය 2026දී පිපිරෙනවා.

සියලු ප්‍රතිසංස්කරණ කළේ පාර්ලිමේන්තු අනුමැතියකින්
- මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

IMF හැර ආර්ථිකය යථාවත් කිරීමට වෙන විකල්පයක් ලොව නැහැ. මේ අවබෝධතා ගිවිසුම සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන්නා. රහසිගතව කරන්න දෙයක් නැහැ. විධායක සභාවේ අනුමැතිය ගැනීම දක්වා සියලු ප්‍රතිසංස්කරණ කළේ පාර්ලිමේන්තු අනුමැතියකින්. IMF හරහා මූල්‍ය විනයක් ඇති කර තියෙනවා. මේවා අපිට බලහත්කාරයෙන් පැටවූ ඒවා නෙමෙයි. රට නැවත යථාවත් කිරීමේ උපදේශනය, මාර්ගය ඔවුන් අපිට පෙන්වා දුන්නා. අපි මෙයින් පාඩම් ඉගෙන ගෙන මෙවන් තත්ත්වයක් ඇති නොවන පරිදි කටයුතු කළ යුතුයි. ඉදිරියේදී දැඩි මූල්‍ය විනය පාලනයක් ගෙන එනවා.

මේ යන්නේ පතුල නොපෙනෙන අගාධයකටයි 
- පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

අපි තවමත් අර්බුදයේ කරවටක් ගිලිලයි ඉන්නේ. දැන් භයානක පුරෝකථනයන් සිදු වෙනවා. IMF බෙහෙත් වට්ටෝරුව විතරයි මේ ප්‍රශ්නයට විසඳුම කියලා කියන්නේ ඒ අධිපතිවාදයට යටවුණු අයයි.

විදේශ විනිමය අර්බුදය පමණක් නොව රුපියල් අර්බුදයත් මතුවුණේ කොහොමද? වැරැදි ප්‍රතිකර්ම දෙමින් මේ අර්බුදය තව තවත් උත්සන්න කරමින් මේ රට අපට අහිමි කරනවා. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයේදි රාජ්‍ය බැංකු මූල්‍ය වෙළෙඳපොළ අස්ථාවරත්වයට පත්වෙනවා.

මේ මාස තුනේදී අපනයන ආදායම 15.5% කින් අඩුවෙලා. මේ යන්නේ පතුල නොපෙනෙන අගාධයකටයි. මූල්‍ය අරමුදලේ ප්‍රතිකර්මය මත පමණක් බලමින් යන ගමන කිසිසේත් ගැළපෙන්නේ නැහැ. අපනයන වැඩි කර ගැනීමේ ක්‍රමවේදයකට යා යුතුයි.

IMF බිල්ලෙක් මවපු අයට අපි ඇතුළත් නැහැ 
- සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

මෙහි සමහර යෝජනා 2025දීත් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. IMFයෑමට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ නැහැ. IMF බිල්ලෙක් මවපු අයට අපි ඇතුළත් නැහැ. රට මේ තැනට වැටුණේ වැරැදි ප්‍රතිපත්ති, දුර්වල කළමනාකාරිත්වය හා සම්පත් මංකොල්ල කාපු නිසා. මෙවර IMF ගියේ බංකොලොත් වුණාට පස්සෙයි. IMF ගනුදෙනුව හැමෝටම කතා කරන්න සිදු වෙනවා. සමහර රටවලින් ලැබුණු පිළිගැනීමට ස්තූතිවන්ත වෙනවා. අලුත් දේශපාලන සංස්කෘතියක් හදනවා නම් දිගින් දිගටම කතා කළ යුතුයි. අපි විසඳුමක් දෙන්නේ නම් තිබෙන ප්‍රශ්නය උග්‍ර නොවන විසඳුමක් දිය යුතුයි.

සකස් කළේ - සුභාෂිණී ජයරත්න සහ සුරේකා ඉලංකෝන්

Comments