සජබට මේ රට ගොඩනඟන්න පුළුවන්කමක් නෑ... | සිළුමිණ

සජබට මේ රට ගොඩනඟන්න පුළුවන්කමක් නෑ...

එක්සත් ජන­රජ පෙර­මුණේ නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණ­වක

- තුවාලයට දැමූ ප්ලාස්ටරය ණය ප්‍රතිව්‍යුහගතකරණයත් එක්ක ගැලවී යනවා
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තිත්ත බෙහෙත් බිව්වත් රට යළිත් ප්‍රකෘතිමත් වන්නේ 2028 දීයි.
- 2048 ඉලක්කය සිහිනයක් විකුණන්න දරන උත්සාහයක් පමණයි
- මම මේ බංකො‍ලොත්භාවයට වගකියන්නේ කොහොමද?
- සැප්තැම්බරයට ප්‍රථම ණය කපා හරින ගිවිසුම ඉදිරිපත් කළ යුතුයි
- සජබ පවුල්වාදය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක්
- ජීවන බර ජනතාවට දරාගන්න බැහැ. උද්ධමනය අඩු වුණාට භාණ්ඩ මිල අඩුවී නැහැ

2048 වන විට ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත් කරන බව ජනාධිපතිවරයා පැවැසුවා. ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ලෙස මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

සංවර්ධන රටක් ලෙස දැනට ඇති ඉලක්කය වන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,000 ඉක්මවා යෑම. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 ට අපි ළඟා වුණා. නමුත් දැන් යළිත් අපි ආපසු යමින් ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලු තිත්ත බෙහෙත් බිව්වත් 2019 රට පැවැති තත්ත්වයට යළිත් පත් වන්නේ 2028 දී. වත්මන් ජනාධිපතිතුමා කියන පරිදි 2048 ඉලක්කයට අපි කවුරුත් ජීවත් වෙලා ඉදියි කියලා හිතන්න බැහැ. 

2048 කියන්නේ අස්වාභාවික ඉලක්කයක් පමණයි. 2032 දි වත් ඉලක්කයකට ගේනවා නම් ඒ ගැන අපිට සලකා බැලිය හැකිව තිබුණා.

මේ අර්බුදය ජය ගැනීමට අවශ්‍ය ප්‍රධාන දෙයක් වන්නේ අපේ දළ දේශීය නිෂ්පාදිතය පුළුල් කර ගැනීම. ඊට අවශ්‍ය මානව සම්පත පුළුල් කළ යුතු වෙනවා. නමුත් පසුගිය වසරේ 9% ක් හා මේ වසරේ මුල් කාර්තුවේ 11% ක් ලෙස ආර්ථිකය සංකෝචනය වුණා. රටේ වැඩ කළ හැකි පිරිස් අද රටින් පිටවෙලා යන්නේ අපේ රටේ මුදලුත් ඇදගෙනමයි. කඩිනම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ නොකර තව වසර දෙකක් මේ ආකාරයෙන් ඉදිරියට ගියොත් වෙන්නේ රට යළිත් 2000 පැවැති තත්ත්වයට පත්වීමයි. 2048 ඉලක්කය සිහිනයක් විකුණන්න දරන උත්සාහයක් පමණයි.

රට බංකොලොත් වීමට තිබුණේ 2017 දී බව ඔබ පවසනවා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඒ අවස්ථාවේ IMF ගිය නිසා බංකොලොත් බවින් මිදුණ බවත් ඔබ පවසනවා?

ඒක ඇත්ත. 2013 අපේ රජය බලයට පත්වීමට පෙර ‘ආලාපාළු ආර්ථිකය ‘නමින් මම ලියූ පොතේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂයන් ණය අරගෙන කරන වාණිජ සංවර්ධන ව්‍යාපාතිවල භයානකකම පැහැදිලිව පෙන්වා දුන්නා. 2016 දි මම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ ලංකාවේ ණය දරාගත හැකි මට්ටමට පත් කර ගන්නේ කෙසේද කියා සඳහන් කළා.

ඒ වන විටත් ලංකාවේ කිසිම කෙනෙක් මේ ණය හරහා අපේ රට බංකොලොත් තත්ත්වයට පත්වෙයි කියලා හිතුවේ නැහැ. අපි එහිදි බොහොම පැහැදිලිව කිව්වේ 2023 දී මේ ණය ගෙවාගන්න බැරිව ලංකාව බංකොලොත් වන බව. නමුත් දැන් ‘අපි කිව්වා‘ කියන අය ඕන තරම් ඉන්නවා. නමුත් ඒ අය ඒ ගැන කිව්වේ 2021- 2022 දීයි. පසුව ‘මූල්‍ය අර්බුදය පාමුල ‘නමින් මෙය සනාථ කරන්නට තවත් පොතක් ලිව්වා. එහි පැහැදිලිව සංවර්ධනය නමින් සිදු කරන මායාව මා හොඳින් පෙන්වා දුන්නා. වියත් මගේ අය එල්ල කළ චෝදනාවක් වන්නේ මහින්ද රාජපක්ෂයන්ගේ 2010-2015 කාලයේ 6% ක ආර්ථික වර්ධනයකුත් යහපාලන කාලයේ 3% ක ආර්ථික වර්ධනයකුත් තිබුණ බව. යහපාලන ආණ්ඩුව කළේ රට බංකොලොත් නොවීම සඳහා අඩු වර්ධන වේගයක් පවත්වා ගෙන යෑමයි. නමුත් පසුව අධි වර්ධන වේගයක් පවත්වාගෙන යාමට ගොස් අවසානයේ සිදුවුණේ ඍණ ආර්ථික වර්ධන වේගයක් ඇති වීමයි. යහපාලන ආණ්ඩුවේ 3% වර්ධන වේගය තිබුණා නම් 2020-2030 වන විට ඇත්ත තත්ත්වයේ හා ඒ වර්ධනයේ අතර වෙනස ඩොලර් බිලියන 250 ක්. ඒ කියන්නේ හැම පුද්ගලයෙක්ම වාර්ෂිකව ලක්ෂ තුනහමාරක් ආදායම අහිමි කර ගන්නවා, මේ වියත් මගේ උගුලට අහුවීම නිසා. මේ අවස්ථාවේ මගේ කැබිනට් පත්‍රිකාවක් විචාරයට ලක්වුණා. රජය ලෝක බැංකුව දේශීය ආයතන රාශියක් රටේ මුල්‍ය තත්ත්වය ගැන ඒ හරහා නිර්දේශ ලබා ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙසයි 2017 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ.

ඔබත් හිටපු ඇමතිවරයෙක්. රට බංකොලොත්වීමට ඔබත් වගකිව යුතුයි නේද?

මම කළ එක අමාත්‍යාංශයක්වත් පාඩු කරලා තියෙනවාද? එක සංවර්ධන ව්‍යාපෘතියක්වත් සුදු අලි වුණාද? එසේනම් අපි කොහොමද මේ බංකොලොත්භාවයට වගකිව යුත්තේ. මම පරිසර ඇමැති ලෙස පරිසර අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් මුදා ගත්තා. 2015 දින 100 ක් ඇතුළත ලංකා විදුලි බල මණ්ඩලය කෝටි 2000 ක ලාභ ලැබුවා. දැන් විදුලි බිල තුන් ගුණයකින් ඉහළ නැංවූවත් විදුලි බල මණ්ඩලය ලාභ ලබන්නේ නැහැ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පෙට්‍රල් ඩීසල් මිල අඩු කරලා එයත් ලාභ ලබන තැනට ගෙනාවා. නාගරික සංවර්ධන අධිකාරිය කෝටි 3900 ක් ණය වෙලා තිබුණේ. එයත් ලාභ ලබන තැනට ගෙනාවා. වරාය නගරය, කුණු ප්‍රශ්නය, ගංවතුර ප්‍රශ්නය විසඳුවා. මෙයින් ආර්ථිකයට කොතරම් ලාභයක් ලැබුණද? ආඩම්බරයෙන් මම කියන්නේ බංකොළොත් වන එකදු ව්‍යාපාරයක්වත් කරලා නැහැ. මම වගේ කරපු එක කෙනෙක් පෙන්වන්න. බංකොලොත්භාවයට අපි වගකිව යුතුද නැද්ද යන්න මම කළ අමාත්‍යාංශ දෙස බලා තීරණය කරන්න.

අද වන විට රාජ්‍ය ආයතන බොහෝමයක් පාඩු ලබන තත්ත්වයට පත් වෙලා. රජය ඒවා ප්‍රතිව්‍යුහගතකරණයට සූදානම් වෙනවා?

මේ ක්‍රමයේදී අණ්ඩුව අනුගමනය කරන්නේ විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් නෙමෙයි. රාජ්‍ය ආයතන 2200 ක් තියෙනවා. මේ අායතනවලින් අත්‍යාවශ්‍ය කීයක් තියෙනවාද? කීයක් වැසිය යුතුද? කොපමණ ප්‍රමාණයක් ඒකාබද්ධ කළ යුතුද? පොල් සංවර්ධන ආයතන තුනක් තියෙනවා.

එවා එකක් බවට පහසුවෙන් ඒකාබද්ධ කරන්න පුළුවන්. අනවශ්‍ය ඒවා වසා දමන්න පුළුවන්. ශ්‍රි ලංකා යුද හමුදාවේ පිරිස අඩු කරන්න පුළුවන්. රාජ්‍ය අංශය මෙසේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරනවා මිස සංස්ථා විකිණීම නොකළ යුතුයි. රාජ්‍ය සේවකයන් අතර අත්‍යවශ්‍ය නොවන පිරිස් හඳුනා ගෙන ඒ අයට කළ යුත්තේ කුමක්ද යන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා සොයා බැලිය යුතුයි. සියල්ලටම එක් ක්‍රියාදාමයක් අනුගමනය කළ යුතුයි. රාජ්‍ය ආයතන 2200 කටම එක ප්‍රතිපත්තියක් මත පිහිටා ක්‍රියා කළ යුතුයි.

2019 ට පෙර රට පැවැති තත්ත්වයට ගෙන යාමට ඔබට ඇති නිශ්චිත වැඩපිළිවෙළ කුමක්ද ?

පාර්ලිමේන්තු සාකච්ඡා ගණනාවකින් පසු ආර්ථික ස්ථායිකරණ කමිටුවෙන් පසුගිය 2022 නොවැම්බර් 15 වැනිදා වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා.

IMF වැඩපිළිවෙළ අනුව රට ප්‍රකෘතිමත් වන්නේ 2032 දී. අපේ වැඩපිළිවෙළ අවුරුදු 3 ක් යන කඩිනම් වැඩපිළිවෙළක්. ඖෂධ ප්‍රශ්නයයේදී ආනයනය කරන ඒවායෙන් තුනෙන් එකක් අපිට කපා හරින්න පුළුවන්.

සෞඛ්‍ය ප්‍රශ්නවලට දෙන පිළියම්, ලංකාව තුළම ආහාර සකසා ගන්නේ කෙසේද, බලශක්ති වැඩ පිළිවෙළ කුමක්ද ආදි වශයෙන් වූ කරුණු තුන වෙනත් අයගේ බලපෑමකින් තොරව අපි සකසා ගන්නේ කෙසේද යන්න ඉදිරිපත් වෙනවා. අධිවේගී පාර හැදීම අද රටේ කාලීන ප්‍රශ්නය නෙමෙයි. ඉදිරි වසර 3 තුළ අපි ආර්ථිකයේ ණය බර ගෙවා ගත හැකි පරිදි යාම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ ඉහත කරුණු තුන අපිටම දරාගත හැකි වැඩපිළිවෙළකට යාමයි අපේ ක්‍රියාදාමයේ අන්තර්ගත වන්නේ.

රටට ඔරොත්තු නොදෙන මේ ණය කන්ද ලිහීමට හැකි වෙයිද?

ඒ සඳහා අපි ආදායම් වැඩි කර වියදම් අඩු කර ගත යුතු වෙනවා. අපි කරන වැඩපිළිවෙළ පිළිබඳ මහජනතාවගේ අවධානය දිනාගත යුතුයි. එසේ නොවූවහොත් වන්නේ මේ වැඩපිළිවෙළ පීලි පැනීමයි.

සමහර පුද්ගලයන්ගේ අය කර ගත හැකි බදු පවා අපි අයකර ගෙන නැහැ. ධන කුවේරයෝ බැංකු තැන්පතුවලින් 13% ක් බැංකුවලට පොලු තියලා තියෙනවා. වර්ෂයකට රුපියල් බිලියන 900 කට අධික ප්‍රමාණයක් ආදායම් බදු දෙපාර්තමේන්තුව ආදායම් බදු හොයලා නැහැ.

එසේ නම් කොහොමද අහිංසක ජනතාවගේ දේපළ ජනසතු කරන්නේ. අද රට මේ තැනට පත් කරපු අයට විරුද්ධව කිසිදු අධිකරණයමය ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. නමුත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී දුප්පත් ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදලට බදු ගහනවා. ඔවුන් කළ වරද කුමක්ද? විශ්වාසය දිනා ගන්න නම් ආණ්ඩුව සැමට එකසේ ක්‍රියාත්මක වන බව පෙන්විය යුතුයි. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට නම් සෘජු, අවංක හා විවෘත ප්‍රතිපත්ති අවශ්‍යයයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා ඉදිරි සැප්තැම්බරයේදී රජයට දැඩි අවදානමකට රජයට මුහුණ දෙන්නට සිදුවන බවට ඔබ අනාවැකි පළ කරනවා?

ඉදිරි දින කිහිපය තුළ ණය ප්‍රතිව්‍යූහගත සැලසුම ලෝකයට කියන්න අපිට සිදු වෙනවා. ලබන සැප්තැම්බරයේදී මූල්‍ය අරමුදලේ දෙවැනි අදියරට යාමට පෙර ඒ අය සමඟ සාකච්ඡා කර අවබෝධතා ගිවිසුමකට පැමිණිය යුතු වෙනවා. එසේ නොහැකි වුණොත් කිසිම කෙනෙක් නැවත ණය දෙන එකක් නැහැ. IMF නිර්ණායකවලට අනුව ඉදිරි දින කිහිපය තුළ අපේ ණය කපා හරින ගිවිසුම ඉදිරිපත් කළ යුතුයි.

ජනාධිපතිවරයාගේ රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ පිළිබඳ ඔබ දකින්නේ කෙසේද? 

එතුමාට පාර්ලිමේන්තු බලයක් නැහැ. එතුමා කරන සමහර දේවල් අත්‍යාවශයයෙන්ම කළ යුතු දේවල්. නමුත් මහජනතාව මර්දනය කිරීම, ජාවාරම්කාරයන්ට අත නොතැබීම, ආර්ථික අර්බුදයට සම්බන්ධ වූවන්ට දඬුවම් නොදීම වැනි සමහර කාරණා අපිට අනුමත කරන්න බැහැ. මේ නිසා ඇති වී ඇති විශාල පිළිකුල නැතිවී යන්නේ නැහැ.

මෙහෙම ගියොත් ලංකාව මානව කාන්තාරයක් බවට පත්වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා මේ ගැන අවබෝධයෙන් හා සහ කම්පනයකින් වැඩ කළ යුතුයි.

ඔබ පවසා තියෙනවා මේ තුවාලය තවමත් පැසවමින් තිබෙන බව?

තුවාලය තවමත් සුව වී නැහැ. තුවාලයට දැමූ ප්ලාස්ටරයට ණය ප්‍රතිව්‍යුහගතකරණයත් සමඟ ගැලවී යනවා.

ජනතාව ඉදිරියේදි මීට වඩා සහන බලාපොරොත්තු වෙනවා. රජයේ වැඩපිළිවෙළ අනුව ඉදිරියේදී සහන ලැබෙයිද?

ජීවන බර ජනතාවට දරාගන්න බැහැ. උද්ධමනය අඩු වුණාට භාණ්ඩ මිල අඩුවී නැහැ. දිනපතා ජනතාවට ආදායම් අහිමි වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 6 කට රැකියා අහිමි වුණා. ව්‍යාපාර ස්ථාන වැසී ගියා.

පවුල් ලක්ෂ 12 ක් නව දුප්පතුන් බවට පත් වුණා. අධික විදුලි බිල ඉන්ධන මිල ලෝක වෙළෙඳ පොළ මිලටත් වඩා සාපේක්ෂව වැඩිවුණා. පොලී අනුපාත දරා ගැන්න බැහැ. සෑම ක්ෂේත්‍රයක්ම එකවිට කඩා වැටුණා. සහන දෙන්නත් ඕන. ඒ සහන දීම තුළ ආර්ථිකය තවදුරටත් කඩා වැටෙන්න දෙන්න බැහැ. විවෘතභාවය අතිශයින්ම වැදගත්.

අද විශාල පිරිසක් රට හැර යනවා. නමුත් රජය පවසන්නේ තරුණයන් රට හැරයාම හොඳ බවයි?

වෘත්තියවේදින්ගේන් 20% ක් රට හැර යන්නේ හරි දැනුමකින් යුතුව නෙමෙයි. දේපළ විකුණා ධනය පෙන්වා රට යාමෙන් සිදුවන්නේ මේ රටින් පිටතට ධනය ගලා යාමයි. මේ ගිය අයට හරිහැටි රැකියා පවා ලැබී නැහැ.

එයින් කිසිදු විවෘතභාවයක් ලැබන්නේ නැහැ. මන්ද ඔවුන් යන්නේ රට පිළිබඳ වෛරයකින්.

ඔබ පවසා තියෙනවා , පරණ පරම්පරාවට මේ රට ගොඩදාන්න බැහැ කියලා. එයින් අදහස් කරන්නේ වර්තමාන ජනාධිපතිවරයාට මේ කර්තව්‍ය ඉටු කළ නොහැකි බවද?

අනිවාර්යයෙන්ම මමත් ඇතුළු අපේ පරම්පරාව දැන් යල් පැනලා. තරුණ පරම්පරාවට ඊට අවස්ථාව දිය යුතුවා සේම පවුල් දේශපාලනය අවසන් කළ යුතුයි.

ඔබ පක්ෂයේ නව දේශපාලන ගමන් මඟ කෙසේද?

අපි පරම්පරා දෙකක් හා ජන කණ්ඩායම් අතර එකමුතුබවක් ඇති කරනවා. අපිට මැති ඇමැතිකම් ගැන බලාපොරොත්තුවක් නැහැ. නව පරම්පාරාවකට රට භාර දෙන භාරකාරයෝ විය යුතුයි. ඊළඟ ජනාධිපතිවරණයේදී රට ගෙනයාමට වඩාත්ම සුදුසු ඕනැම කෙනෙකුට අපි සහයෝගය ලබා දෙනවා.

ඉදිරි ජනාධිපතිරවරණයට ඔබ ඉදිරිපත් වෙනවාද?

ඉදිරිපත් වන කතාවක් නැහැ. කෙසේ වෙතත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ඉදිරි මැතිවරණවලදි දේශපාලනයෙන් සමුගන්නවා. අපි මැතිවරණයකට හොඳට සූදානම් වෙනවා. ජූලි 1 වැනිදා කොළඹින් අපේ දිස්ත්‍රික් සමිති පිහිටුවීම ආරම්භ කරනවා.

ආණ්ඩුවට එකතු වී රට ගොඩනැගීමේ කර්තව්‍යයේදී ජනාදිපතිවරයාට සහයෝගය ලබාදීමට සූදානමක් නැද්ද?

ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේදිම අපි කිව්වා අපි රජයට සහයෝගය ලබා දීමට සූදානම් බව. පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි උත්තර මණ්ඩලයක් පිහිටුවීම, ඒ උත්තර මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඊළඟ ජනාධිපතිවරණය දක්වා දිවයන ආර්ථික දේශපාලන අවම වැඩපිළිවෙළක් සකසා ගැනීම, විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීම, රටේ වැදගත් ආයතන 52 න් 15 කට දේශපාලන පත්වීම්වලින් තොර වෘත්තීය පිරිසක් පත් කිරීම ආදිය ඉටු කරනවා නම් අපි කිසිම පදවි තානාන්තරයකින් තොරව රජයට සහය දෙන්න සූදානම්. නමුත් කනගාටුවට කරුණ නම් ඒවා ඉටු වෙන පාටක් පේන්න නැහැ.

සජබ යේ අනාගතය ගැන විවිධ පිරිස් විවිධ මත පතුරුවනවා. පරිණත දේශපාලඥයකු ලෙස ඔවුන්ගේ ගමන් මඟ ඔබ දකින්නේ කෙසේද?

අපි ඡන්දය ඉල්ලුවේ සන්ධානයක් ලෙස මිස මම එහි සාමාජිකයෙක් නෙමෙයි. සමගි ජන බලවේගය ආරම්භයේදී අපේක්ෂා කළ දේවල් ඉටු වී නැහැ. එය පවුල්වාදය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක්. එයට මේ රට ගොඩනඟන්න පුළුවන්කමක් නැහැ.

Comments