
දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ වැඩිපුරම කතාබහට ලක්වූ සිදුවීම වූයේ සමගි ජන බලවේගයේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ පී.හැරිසන් කියපු කතාවයි.
හැරිසන් කට ඇරිය හැටි
ඔහු කියා සිටියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පමණ ළඟදීම ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවයි.
මෙහි ඇත්ත නැත්ත දැනගැනීමට සමගි ජන බලවේගයේ ප්‍රබලයෙකු සහ දැනට විරුද්ධ පක්ෂයේ සිටින කටකාර දේශපාලන නායකයෙකු පී.හැරිසන්ට දුරකතනයෙන් අමතා තිබේ. ඔවුන් දෙදෙනාටම පී.හැරිසන් දී ඇත්තේ එකම පිළිතුරකි.
“මට තනතුරු ඕන නැහැ. රට ගැන හිතලයි මං රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහාය දෙන්න තීරණය කළේ. මං විතරක් නෙවෙයි. තව 20 දෙනෙක් එන්න ඉන්නවා. ඒ 20 දෙනොගෙන් 17 දෙනෙක්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු.
අනෙක් තුන්දෙනා විපක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂවල. වැඩිම වුණොත් තව පෝය දෙකයි”යනුවෙන් හැරිසන් ප්‍රකාශ කර ඇත.
පොහොය යනුවෙන් අදහස් කළේ මාසේ පොහොය ද කියා හැරිසන් ප්‍රකාශ කර නැත.
නිවාඩු නැති ජනපති රනිල්ගෙ දිනපොත
රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා අගමැති ධුරයට පත්වී වසරක් ගෙවුණේ ඉකුත් සතියේ 12 දා ය.
සතියේ රාජකාරි කරන දින හෝ නිවාඩු දින කියා කොටසක් ජනපති රනිල්ගේ දිනපොතේ නැත. රාජකාරි කරන වේලාව පැය කොපමණද කියා සඳහනක් ද නැත. උදේ කාර්යාලයට පැමිණි විට රාත්‍රී හත - අට වන තුරු ඔහු රාජකාරියේ නිරත වන්නේය. එම කැපවීමේ ප්‍රතිඵල ලැබෙමින් ඩොලරයේ අගය 300 සීමාවෙන් පහළට ආවේ අංශක 360කින් ආර්ථික ගමන වෙනස් කරමිනි.
කාලගුණයෙන් විපතට පත්වූවන් කෙරෙහි ජනපතිගේ අවධානය
රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක් ස්වාභාවික විපතින් පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරුන් ජනපති ලේකම් සමන් ඒකනායකට දැනුම් දී තිබුණි. ඔහු මේ කාරණය ගැන ජනපති රනිල්ට වාර්තා කළ විගස ජනපති වහාම කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක කැදවා ඒ ගැන සොයා බලා පිළියම් යෙදීමට යොමු කළේ ඔහුට ඉතා හොඳ අත්දැකීම් කලක සිට පවතින බැවිනි.
ක්ෂණයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගිය සාගල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර ඇතුළු ආරක්ෂක ප්‍රධානින් ඊට කැඳවා ජනතාව විපතින් බේරා ගැනීමට අවශ්‍ය පිළියම් යෙදුවේය.
ඇතැම් දෙමළ ඩයස්පෝරාවල සහාය ජනපතිට
ඇමති මණ්ඩල හමුව සඳුදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති අතර එහිදී ආර්ථිකය ගැන මෙන්ම ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් හා යෝජනා ගැන ද සාකච්ඡා වී තිබුණි. අගහරුවාදා එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව මුණ ගැසුණු අතර එහිදි පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ගැන සාකච්ඡා කළේය.
පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ වාර්තාවක් මහලේකම් රංගේ බණ්ඩාර විසින් ඉදිරිපත් කරනු ලැබීය. එසේම දෙමළ ඩයස්පෝරාවේ පිරිසක් සමඟ මහලේකම් ආරම්භ කර ඇති සාකච්ඡාවකට අදාළ කරුණු ද ඉදිරිපත් කළේය.
“රටවල් කිහිපයක දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන පිරිස් අපට සහාය දක්වන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔවුන් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සහාය දෙන්න කැමතියි.” රංගේ කීවේය.
“එයාලට ලංකාවට ආයෝජන ගේන්න කියන්න.” ඒ පිළිතුර ජනපතිගෙනි.
“ඔව් සර් එයාලා දැන් රටට උදව් කරන්න කැමතියි. සාම්ප්‍රදායික දෙමළ පක්ෂවලට මේ අය දැන් කැමති නෑ. ඒ නිසා මට නැවත උතුරට එන්න කියලා තියනවා. මම ලබන 27-28 මුලතිව් යනවා. දෙමළ තරුණ ප්‍රජාවත් දැන් අපිත් එක්ක ඉන්නේ.” මහලේකම් දීර්ඝ විස්තරයක් කළේය.
“දේශපාලනය කරද්දී ලෝක දේශපාලන රටාව ගැන වගේම ලංකාවේ දේශපාලන රටාව ගැනත් හොඳ අධ්‍යයනයක් කරන්න. ඒක හැමෝටම වැදගත්.” නායකයා සැමට උපදෙසක් දුන්නේය.
කොළඹ ආරක්ෂාව තර කිරීම ගැන කතාබහක්
මහින්ද රාජපක්ෂ අගමැතිධුරයේ දිවුරුම් දීම ගැනත්, කොළඹ විශ්වවිද්‍යාලය අවට ආරක්ෂාව තර කිරීමත් ගැනත් පිරිස කතා කරන්නට වූහ.
“අගමැතිධුරයේ කවුරුත් දිවුරුම් දුන්නේ නෑනේ. අගමැතිතුමා ඔය ඉන්නේ.” ජනපති ඇඟට පතට නොදැනී කීවේ අහක බලාගෙනය.
අන්තරේ බෙදීමක්
“කොළඹ විශ්වවිද්‍යාලයේ ගැටුමක් ඇති වෙන්න යන බවට තොතුරු ආවේ ඇතුලෙන්. මෙතන ගැටලු ගණනාවක් තියෙනවා.” වජිර පිළිතුරු බැන්ඳේය.
“අන්තරේ ඇතුළේ බෙදීමක් තියෙනවා කියලත් ආරංචියි. අලුත් කැඳවුම්කරුවෙක් අන්තරේට පත් කර ගන්නත් සාකච්ඡා යනවා. ජ.වි.පෙ නැවත අන්තරේ බලය අල්ලන්නයි හදන්නේ.” රංගේ කීවේ ජනපති දෙස බලමිනි.
“සර් අගමැති වෙලා වසරකුත් ගෙවුණා. දැන් හැමෝටම තේරෙනවා කවුද වැඩකාරයා කියලා.” රුවන් විජයවර්ධන කීවේ සිනාසෙමිනි.
“ඔව් කිසිම උත්සවයක් නෑ. රට හොඳටම යනවා. අතීතයේ නම් වර්ෂ පූර්ණ උත්සව ජයටම තිබුණා. නායකතුමාට අගමැතිකම දෙන්න එපා කියලා එදා කියපු අයටත් අද කට උත්තර නෑ.” සාගල රත්නායක ද කතාවට එකතුවූවේ එලෙසිනි.
“මන්ත්‍රීවරු 225ම දියවන්නාවට දැම්මාම දියවන්නාව අපරිසිදු වෙනවා කියපු කතාවට සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙනවා. ඇත්තටම මන්ත්‍රීවරු දියවන්නාවට දැම්මා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නෑනේ.” අකිල කී දේ සැවොම අනුමත කළහ.
ජනපති රනිල් නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත් කෙරුවේ ඉකුත් බදාදාය.
ජනපතිට කරපු පැමිණිල්ල මොකක්ද?
ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ජනපති නිලධාරීන්ට උපදෙස් දුන්නේ මේ අතරවාරයේය. බුදුන්වහන්සේට අපහාස කරමින් දෙවගැතිවරයෙකු වන ජෙරම් ප්‍රනාන්දු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කතාව ඇදී ආවේ බදාදා මන්ත්‍රීවරු පිරිසක් ජනපති මුණ ගැසීමට පැමිණි අවස්ථාවේදීය.
“මට මේ ගැන පැමිණිල්ලක් ආවා. ඒක මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා.” ජනපති කීවේ මන්ත්‍රීවරුන්ගේ පැනයට පිළිතුරු දෙමිනි.
“මේක රටේ ප්‍රශ්න මඟ හරින්න ගෙනාපු දෙයක් කියලා විපක්ෂය කියනවා. එක්සප්‍රස් පර්ල් නැව ගැන දැන් කතාවක්වත් නෑ කියලා තමයි ඔවුන් කියන්නේ.” මන්ත්‍රී මධුර විතානගේ කීවේය.
“ඒක වැරදියි. සිංගප්පූරුවේ වාණිජ අධිකරණයේ ඒ නඩුව විභාග වෙනවා. ඊළග නඩු දිනය ජුනි 01 දාට යෙදිලා තියෙනවා.” කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඊට පළිතුරු දුන්නේය.
හැරිසන් ගැන ප්‍රසන්න කිව්වේ මොනවාද?
“ඔව් ඒක හරි. හැබැයි ජෙරම් ගැන වචනයක්වත් කතා නොකරපු විපක්ෂ නායකතුමා නම් පාස්ටර් ජෙරොම් ගැන කතා නොකරන්නේ මන්දැයි කියලා පී හැරිසන් කියපු ගමන් අන්න හැරෙන තැපෑලෙන් නිවේදනයක් දාලා.” ඇමති ප්‍රසන්න කීවේ සිනාසෙමිනි.
අමාත්‍යාංශ ලේකම්වරු හමුවූ අවස්ථාවේදී ජනපති කීවේ රට සංවර්ධනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට පැරණි ක්‍රමවලින් මිදී නව ක්‍රම යටතේ රාජ්‍ය පරිපාලනය යොදවන ලෙසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කිහිප විටක්ම ජනපති මුණ ගැසුණු අතර ඔවුන් වැඩිමනක් සම්බන්ධ වූවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟය.
ඩොලරය පහළ ගිය හැටි
“වසරක් යන්න කලින් ඩොලරය 300 සීමාවෙන් ඉවත් වුණා. එය පහළට එනවා. අයි.එම්.එෆ් සාකච්ඡා පටන් අරන් අවුරුද්දක් වෙද්දී එය තවත් වෙනස් වේවි.” ඇමති සියඹලාපිටිය ද කීවේ එවැන්නකි.
“හැබැයි විපක්ෂය නම් කියන්නේ එයාලා එක්ක පැවැති සාකච්ඡාවේදි ලංකාවේ ජනතාවට මේ ගහලා තියෙන බදු ප්‍රමාණය ගැන අයි.එම්.එෆ් නියෝජිතයෝ පුදුම වුණා කියලයි.” එහි පැමිණ සිටි නිලධාරියෙකු කීවේය.
“මොන බොරුවක් ද මීට වඩා බදු වැඩි රටවල් කොපමණ තියෙනවාද? එයාලා අපි යන වැඩපිළිවෙළ අගය කරනවා. අනෙක රජයේ ආදායම් තවම මදි බවයි එයාලා කියන්නේ.” ශෙහාන් පිළිතුරු දුන්නේය.
“ආනයන සීමා ක්‍රමක්‍රමයෙන් ලිහිල් කිරීමට සැලසුමක් හදන්නත් ඒ අය සහාය දෙනවා.” සාගල ද කතාවට පිළිතුරු බැන්ඳේය.
ජනපතිගෙන් සාගලට පැසසුම්
වසර 30ක යුද්ධයේදී දිවි පිදු රණවිරුවන් සිහිකර පැවැත්වෙන 14 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ඉකුත් සිකුරාදා සවස පැවැත්වුණේ පාර්ලිමේන්තු ක්‍රිඩාංගණය අසල රණවිරු සැමරුම් ස්මාරකය අභියසදීය.
“හැමදාම මේක දේශපාලන සැමරුමක් වුණා මිසක රණවිරු සැමරුමක් වුනේ නෑ. ඒ නිසා මෙය රණවිරුවන්ට මුල්තැන දෙමින් කරන්න ඕනා.” ජනාධිපති ජාතික ආරක්ෂක උපදේශක සාගල ත්‍රිවිද හමුදා ප්‍රධානින්ට උපදෙස් දුන්නේය.
රණවිරු සැමරුම චාම් හා අභිමානවත් අයුරින් පැවැත්වීමට සාගල උපදෙස් දුන් අතර දේශපාලනයෙන් තොරව එම සැමරුම සංවිධානය කිරීම ගැන ජනපති සාගල පැසසුමට ලක් කළේය.
TNA ප්‍රශ්නයට අගමැති දිනේෂ්ගෙන් පිළිතුරු
පසුගිය බ්‍රහස්පතින්දා ජනපති සහ අගමැති සහභාගි වූ පක්ෂ නායක නියෝජිතයන්ගේ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකිව බොහෝ කාලයක් ගතවීම හේතුවෙන් මතුව ඇති ගැටළු සහ ඒවාට විසඳුම් සාකච්ඡා කිරීමටය. එහිදී දෙමළ ජාතික සන්ධානය දිගට ම ඉල්ලා සිටියේ පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්විය යුතු බවය.
"පළාත් සභා පිහිටෙව්ව අරමුණ ඉටුවෙන්නේ නෑ, ඒ නිසා ඒ ඡන්දේ ඉක්මනට පවත්වන්න ඕනේ." ටී එන් ඒ , සුමන්දිරන් මන්ත්‍රීවරයා කියද්දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රශ්නයක් නැඟීය.
"හරි දැන් ඔය පළාත් සභා මැතිවරණය තියන්න කියන්නේ, අලුතින් අපි හදපු මිශ්‍ර ඡන්ද ඡන්ද ක්‍රමය යටතේද , නැත්නම් පරණ සමානුපාතික ක්‍රමය යටතේ ද ?"
"කේවළ , සමානුපාතික දෙකම එකතු වෙච්ච මිශ්‍ර ක්‍රමයක්නේ අපි එදා පාර්ලිමේන්තුවේදී අනුමත කළේ" වෙනත් පක්ෂ නියෝජිතයෙකු පවසද්දී ටී එන් ඒ නියෝජිතයෝ නිහඬව සිටියහ. යළිත් දිනේෂ් හඬ අවදි කළේය.
" හරි , මම අහන්නේ හැමෝම එකඟයිනේ ඒකට" එවිට සුමන්දිරන් මන්ත්‍රීවරයා ඊට එකඟතාව පළ කළේය.
"එදා පළාත් සභා සඳහා මිශ්‍ර ක්‍රමය ඇතුළත් නව ක්‍රමය පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවේ ටී එන් ඒ මන්ත්‍රීවරුත් ඡන්දය දීලනේ ඒක සම්මත කරගත්තේ "
අගමැති දිනේෂ් තවදුරටත් එම කරුණ පැහැදිලි කරගැනීමට පැරණි සිදුවීම සිහිපත් කළේය.
"මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කතා කරලා තීරණයකට එමු, ඒක අගමැතිතුමා කරයි" ජනපති, දිනේෂ් දෙසට හැරෙමින් කිවේය.
"හරි එහෙම හොඳයි, දැන් හැමෝම එකඟයිනේ මිශ්‍ර ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා ඡන්දය තියනවට" දිනේෂ් එසේ කියමින් රැස්ව සිටි පක්ෂ නියෝජිතයන් දෙස බැලිය. කිසිවෙකු විරෝධය පළ කළේ නැත. ඒ අනුව පළාත් සභා ඡන්දය පවත්වන විට මිශ්‍ර ඡන්ද ක්‍රමය යටතේ එය පවත්වන්නේ කෙසේද සහ පාර්ලිමේන්තුවේ එය හිරවී ඇති නීතිමය තත්ත්වය විසඳා ගැනීම පිළිබඳ, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, අගමැති දිනේෂ් විසින් ඉදිරියේදී .කැඳවනු ඇත.
මහින්දට සුබ පැතීමට විශාල පිරිසක්
පසුගිය 18 සහ 19 යන දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට සුබ පැතීම සදහා විශාල පිරිසක් කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසට පැමිණ සිටියහ.
ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, හිටපු පළාත් සභා හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ද ඒ අතර වුහ.
“සර් අද වගේ දවසකනේ කොටි ත්‍රස්තවාදය පරාජය කරලා රට බේරාගත්තේ. අදට අවුරුදු 14ක් වෙනවා” යනුවෙන් කතාව පටන් ගත්තේ විමලවීර දිසානායක මන්ත්‍රීවරයාය.
“ඔව්. අදට අවුරුදු 14ක් වෙනවා. සියලුම දෙනාගේ ගෞරවය රණවිරුවන්ට හිමිවිය යුතුයි” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේය.
“හැබැයි. සමහරුන්ට ඒක අමතක වෙලා” යනුවෙන් එහි සිටි එක් අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේය.
“ඔව් ඔහොම තමයි. වැඩිය ඕවා ගැන හිතන්න නරකයි. අපි රට වෙනුවෙන් නිවැරදි තීන්දුව ගත්තා. ඒක නිසා රට දෙකඩ නොවී තියෙනවා. ඒක දන්න කට්ටිය දන්නවා” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පැවසීය.
“ඒත් මේ ළගදී අරගල කරපු කොල්ලො කෙල්ලෝ මේවා දන්නවාද? එදා යුද්ධය නවත්වන්න කියලා ඔබතුමාට කොච්චර බලපෑම් ආවත් ඔබතුමා බය නැතුව කොටි ත්‍රස්තවාදය පරාජය කළා. ඒකට සමහර විදෙස් බලවේග තාමත් ඔබතුමා එක්ක තරහයි. ඔබතුමා නැත්නම් රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගන්න බැරිවෙනවා” යනුවෙන් පැවසුවේ විමලවීර දිසානායකය.
“ඒ දරුවන් කවදහරි නියම ඇත්ත තේරුම් ගනීවි” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා මදක් සිනාසෙමින් ප්‍රකාශ කළේය.
සජිත් බරපතළ තීන්දු ගන්නා විට පැමිණි අමුත්තා
පසුගිය සතියේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී බරපතළ තීන්දු දෙකක් ගනු ලැබීය. ඒ කිසි ලෙසකින්වත් ආණ්ඩුව සමඟ එක් නොවන බවටත්, ඊළඟ ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවටත්ය.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ වීමට නියමිතව තිබුණේ සවස පහට වුව ද ඊට විනාඩි විස්සකට පමණ පෙර විශේෂ අමුත්තෙක් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේය. ඒත් දෙවසරකට ආසන්න කාලයක් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි නොවී සිටි සුජීව සේනසිංහය. ඉකුත් මැතිවරණයේ පසුබෑමක් සමඟ දේශපාලන කටයුතුවලින් මඳක් ඈත් වී සිටි සුජීව නැවත මීට මාස එකහමාරකට පමණ පෙර සිට සමගි ජන බලවේගය මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට සහභාගි විය. ඒ විශේෂ කථිකයකු ලෙසය.
එහෙත් ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වූයේ නැත. නමුත් මෙවර රැස්වීමට ඔහුගේ සහභාගීත්වය විශේෂ විය. කෙසේ වෙතත් විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සුජීව මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර තබා පක්ෂ නායක සජිත් ප්‍රේමදාසවත් මුණගැසුණේ නැත.
ඔහු කෙලින්ම පැමිණ වාඩිවුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන ශාලාවට යාබද අමුත්තන්ගේ කාමරයේ ය.
එක් අතකින් ඔහු ගේ පැමිණීමත්,අනෙක් අතින් ඔහුගේ හැසිරීමත් බොහෝ දෙනෙකුගේ කුතුහලයට හේතු විය.
සාමාන්‍යයෙන් සුජීව ප්‍රකටව සිටින්නේ විවෘතව කතාකරන කෙනෙකු ලෙසයි.
"ආ, සුජීව උඩට යන්."
කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ලක්ෂ්මන් ෆොන්සේකා, හර්ෂණ රාජකරුණා ඇතුළු කිහිප දෙනෙක්ම ඔහුගෙන් ඉල්ලා සිටියත් ඒ වෙනුවට ඔහු කළේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තරුණයින් කිහිප දෙනෙකු සමඟ රැස්වීම ආරම්භ වනතුරු අමුත්තන්ගේ කාමරයට වී රැඳී සිටීම ය.
නැවතත් ලක්ෂ්මන් ෆොන්සේකා පැමිණ සුජීවට කතා කළේය.
"නෑ ලක්ෂ්මන්, දේශපාලන වැඩවලින් පැත්තකට වෙලා ඉන්නකොට නායකතුමායි මහලේකම්තුමා ඔයයි තමා මට ආපහු කතා කළේ. ඔයාලගෙන් බේරෙන්න බැරිම තැන තමයි මම ආපහු ස්ටේජ් එකට ගොඩ වුණේ. දැන් ආපහු හැරෙන්න බැහැ. මේ තැන් තැන් වල යන කටකතාවලට උත්තරයක් තියෙන්න ඕන. ඒ වගේම ඒකෙ කෙළවරක් තියෙන්න ඕන. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට මම ආවේ ඒ ගැන දෙකෙන් එකක් තීන්දුවක් ගන්න කියලා කියලා යන්න"
සුජීව එහෙම කීවත් බොහෝ දෙනෙකුට එය ප්‍රහේලිකාවක් විය.
හරියටම සවස 5 වන විට කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ආරම්භ වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙනි.රැස්වීම් කාමරයට පැමිණෙන විටම සජිත් සුජීව දුටුවේය. මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පසුගිය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සජිත් සභාව ඇමතීය.
"විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව දැනුම්වත් කරන්නයි ඒ පිළිබඳව අනුමැතිය ගන්නයි තමයි අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳෙව්වේ.එක පැත්තකින් අපි ආණ්ඩුව ගෙන යන මේ දුර්දාන්ත වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට විපක්ෂයේ සියලු පක්ෂ එකතු කර ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. යනුවෙන් සජිත් ප්‍රේමදාස පැවසීය.
වේළි වේළි ඉඳලා වැඩක් නැති බව සුජීව කියයි
"නායකතුමනි, සෑහෙන කාලෙකට පස්සේ මම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ආවේ. අද මේකට නෑවිත් හිටියනම් මට මගේ හෘද සාක්ෂියත් එක්ක ලොකු ෆයිට් එකක් කරන්න වෙනවා.
නායකතුමනි මහා සටනක් කරලයි අපි මේ පක්ෂය හැදුවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂය සින්නක්කරව ලියාගෙන ජනමතයට පයින් ගහලා වැඩ කරනකොට මේ රටේ අභිමානවත් එක්සත් ජාතික පක්ෂයේ අතීත ශ්‍රී විභූතිය අරගෙන අපිට අලුත් බලවේගයක් නිර්මාණය කරන්න වුණා. ඔබතුමා ඇරෙවන නායකයෙක් ආය පේන තෙක් මානයක නැහැ. ඔබතුමා ප්‍රමෝට් කරන්න ඕනේ ඔබතුමා නෙමේ. ඔබතුමාව ප්‍රමෝට් කරන්න ඕනේ මේ ඉන්න අනික් අය. අපිට පිරිසුදු කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම ඔබතුමා වටේ පෙළ ගැහුනම මේ රට හදන්න පුළුවන්. අන්න ඒකට අපි කැපවෙමු. අලුත් පක්ෂය අපි හැදුවේ ඔබතුමා එක්ක ගමනක් යන්න. වේළි වේළි ඉඳල වැඩක් නැහැ.“ සුජීව සේනසිංහ තරමක් හැඟුම්බරව පැවසීය.
වජිර හමුවීමට විශේෂ කණ්ඩායමක්
එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මහජන දිනය වැඩසටහන මේ සතියේත් සඳුදා දින උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
මහා සංඝරත්නය ඇතුළු එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන්, නිලධාරීන් ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් වජිර හමුවීමට පැමිණ සිටියහ.
උදෑසන සිට දහවල් වන තෙක්ම පැමිණ සිටි පිරිස සමඟ සුහදව කතා බහ කරමින් ඔවුන්ට තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට වජිර කටයුතු කළේය.
මේ අයට අමතරව තවත් විශේෂ කණ්ඩායමක්ද මෙදින වජිර මුණගැසීමට පැමිණ සිටියහ.
ඒ වෙනත් පක්ෂයක් නියෝජනය කරන තරුණ කණ්ඩායමකි.
“සුබ උදෑසනක් ඇමතිතුමා, අපේ මේ කණ්ඩායම ඔබතුමාව මුණගැහෙන්න කල්පනා කළේ ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධව අපේ ලොකු පැහැදීමක් ඇතිවුණ නිසා. අපේ මේ පිරිසත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අය. අපි හිතුවා එතුමා ගෙනයන වැඩපිළිවෙළට අපිට දෙන්න පුළුවන් සහයෝගය ලබාදෙන්න. .” යැයි පැමිණ සිටි පිරිස වජිර හමුවේ අදහස් දැක්වීය.
“ඒක නම් බොහොම හොඳයි, ඔයාලා වගේ තරුණ අය තමයි ඉස්සරහට එන්න ඕන. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලෝකයේ පළමුවෙනි වතාවට පාර්ලිමේන්තු කමිටු නියෝජනයට තරුණ කණ්ඩායම් යොදවගන්න ක්‍රියා කරන්නේ. මේ ගැන ජනාධිපතිතුමා පසුගිය දවසේ කරුණු පැහැදිලි කරලා තිබුණා. ආංශික අධීක්ෂණ කාරකසභා සම්බන්ධයෙනුත් තරුණ තරුණියන් 10ක් වත් ඇතුළත් කිරීමට ජනාධිපතිතුමා දැනටමත් අවධානය යොමු කරලා තිබෙනවා. එය ඉතා වැදගත් කාරණයක්. ඔයාලා තමයි එතුමා ගෙනයන වැඩපිළිවෙළ සමාජගත කරන්න ඕන. ” යැයි වජිර ඔවුන්ට පැවසීය.
මානසික ත්‍රස්තවාදය ගැන වජිර හෙළි කරයි
මේ අතර වජිර අබේවර්ධනට පසුගිය සතියේදී පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් හමුවු අතර එහිදී ජාතික ආරක්ෂාව ගැන දීර්ඝ වශයෙන් කතාබහ කෙරිණි.
බංකොලොත් වූ රට ජනාධිපතිතුමා විසින් නිවැරදි මාවතට ගත් ආකාරයත්, රටේ ආරක්ෂාව මෙන්ම රටේ ජීවත්වන සමස්ත මහජනතාවගේ ආරක්ෂාව වැදගත් බවත් ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිසේත් පසුබට නොවන බවත් වජිර අබේවර්ධන කියා සිටියේය.
රටේ ආරක්ෂාව සහ ස්ථාවරභාවය ඉතා වැදගත්. මෙවැනි තත්ත්වයක් තුළ මේ කටයුුතු ඉතාම කල්පනාවෙන් මහජනතාව හැසිරවිය යුතුව තිබෙනවා. ඒ නිසා තමයි ජාතික ආරක්ෂාවට හානියක් වන සෑම අවස්ථාවකම ඒවාට සම්බන්ධ නීති රීති දැඩි කරන්න කියලා ඉල්ලා සිටින්නේ. ත්‍රස්තවාදය විමර්ශනයට ලක් කිරීම සඳහා අවශ්‍ය කරන පනත ඉදිරිපත් කළාමත් මහජන නියෝජිතයන් ඒ ගැන කල්පනාවෙන් වැඩ කරන්න තිබෙනවා. ආයුධ අතේ තිබෙන පිරිසක් අත්අඩංගුවට ගන්න පුළුවන්. අවි ආයුධ අතේ නැති ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නෙ කොහොමද කියලා නව නීති සොයන්න තිබෙනවා.
එහෙනම් යම්කිසි අවස්ථාවක පාරේ ගමන් කරන සාමාන්‍ය පුරවැසියෙක් විදියට පෙනීසිටින පුද්ගලයෙක්, ත්‍රස්තවාදියෙක් හැටියට මානසික පුහුණුව ලබලා තිබෙනවා නම් ඔහුට ක්‍රියාත්මක වෙන්න අවස්ථාව ලැබුණ ගමන් ඔහු ක්‍රියාත්මක වෙනවා. එවැනි හඳුනා ගැනීම් සඳහා නව නීති රීති අවශ්‍ය කරලා තිබෙනවා. ඒ නිසා තමයි 2018 දී ත්‍රස්තවාදය පාලනය කිරීමේ පනත ගෙනාවම කැබිනට් මණ්ඩලයේ අද විරුද්ධ පක්ෂයේ ඉන්න බහුතරයේ සියලුදෙනාම ඡන්දය භාවිත කරලා එම නීති රීති සම්මත කළේ. එය රටේ ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් කියලා මතක් කරන්න කැමතියි. “ යැයි වජිර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුවම රණවිරුවන්ට ගරු කළ යුතු බව අජිත් රාජපක්ෂ කියයි
පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාසල් සිසුන් ඇතුළු පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට හමුවිය.
එදින සවස පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට තිබෙන රණවිරු ස්මාරකය අභියස පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම ගැන මෙහිදී කතාවිය.
අද සවස පාර්ලිමේන්තුව ඉස්සරහ තියෙන උත්සවයට යනවාද? යනුවෙන් කෙනෙකු ඇසීය.
“ඔව්.අනිවාර්යෙන්ම යනවා. මීට අවුරුදු 14කට ඉස්සර වෙලා රටේ තිබුණු තත්ත්වය කොහොමද? මේ පාර්ලිමේන්තුව සම්මත කරන නීති පවා කොටි ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශවල ක්‍රියාත්මක වුණේ නැහැ. කොටි පොලිසි, කොටි අධිකරණ, කොටි බැංකු තිබුණා.
මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන නීති රටපුරා ක්‍රියාත්මක වෙන්නේ 2009 මැයි 18 වැනිදායින් පස්සේ රට කොටි ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීමෙන් පස්සේ. ඒක නිසා මුළු පාර්ලිමේන්තුවේම ගෞරවය මියගිය රණවිරුවන්ට හිමිවිය යුතුයි.”යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.