වමේ පක්ෂ නායකයන්ගේ දැන් අරමුණ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමයි | සිළුමිණ

වමේ පක්ෂ නායකයන්ගේ දැන් අරමුණ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමයි

හු කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වන්නේ 1972 වර්ෂයේදීය. ඉන් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සම්මේලන ලේකම්වරයා ලෙස දේශපාලන ගමන ආරම්භ කරන ඔහු එතැන් සිට තරුණ ප්‍රධාන ලේකම්වරයා දක්වා ගමන් කරන අතර, කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු ලෙස ද කටයුතු කළේය. එසේම ඔහු ලෝක ප්‍රජාතන්ත්‍රවාදී කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ විධායක සභිකයෙක් ලෙසද කටයුතු කරන ලදී. 1985 සහ 1989 වර්ෂයේදී ජගත් තරුණ සම්මේලනයේ සමුළුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා ද විය.

•වමේ ප්‍රබල දේශපාලන පක්ෂයක් වන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු ලෙස 1974 දී එම පක්ෂයට බැඳෙන ඔබ එතැන් සිට 2004 දක්වා තනතුරු ගණනාවක් දරමින් කටයුතු කළත් ඔබ පක්ෂයෙන් නෙරපා දැමීමට කටයුතු කරනවා. ඊට හේතුව කුමක්ද?

පක්ෂයෙන් මා ඉවත් කිරීමට හේතුව ලෙස මාධ්‍යම කාරක සභාවේ තීන්දු තීරණ ක්‍රියාත්මක නොකිරීම කියල තමයි චෝදනා පත්‍රය එව්වේ. ඒ චෝදනා පත්‍රය අනුව අන්තිමට පරීක්ෂණය ඉවර වුණාට පස්සේ තීන්දු වෙලා තියෙන්නේ මාස තුනක් නොකඩවා සාමාජික මුදල් ගෙව්වේ නෑ කියන ඒ හේතුව නිසා අස් කළා කියලා. එතකොට මම මාධ්‍යම කාරක සභාවේ හිටියේ. විශේෂයෙන් පක්ෂයක මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය කියලා දෙයක් තියෙනවා.

ඒ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානියා වන අපක්ෂපාති පුද්ගලයා වන පක්ෂයේ ප්‍රධාන ලේකම් තමයි නිදහසට කරුණු ඉල්ලමින් මට චෝදනා පත්‍රය එව්වේ. මම මැතිවරණයට වැඩ කළේ නෑ කියලා කියනවා. ඊට පසුව මම ඒකට උත්තර දුන්නා. ඒත් ඒවා ප්‍රතික්ෂේප කරලා විනය පරීක්ෂණයක් තියෙනවා කියලා තුන් දෙනෙක් නම් කළා. මේ අය මතවාදීව මා එක්ක එච්චර හොඳ නෑ. පරීක්ෂණ කමිටුව පත්කළේ ප්‍රධාන ලේකම්, ප්‍රධාන සාක්ෂිකරුත් ප්‍රධාන ලේකම්. ලෝක ඉතිහාසයේ වමේ පක්ෂයක ප්‍රධාන ලේකම් තමන්ගේ මධ්‍යම කාරක සභාවේ තව කෙනෙකුට විරුද්ධව සාක්ෂි දෙන්න එන්නේ නෑ. මේ ලේකම් ඒක කළා. පක්ෂයේ ප්‍රධාන ලේකම් සාක්ෂි දෙනකොට තීන්දුව සාධාරණ තීන්දුවක් වෙන්නේ නෑනේ. පස්සේ මාව පක්ෂයෙන් අයින් කළා. මේ අසාධාරණ ඉවත් කිරීම නිසා බොහෝ ප්‍රබල සාමාජිකයෝ පිරිසක් පක්ෂයෙන් එයට විරෝධයක් ලෙස අයින් වුණා.

•මෙරට වමේ දේශපාලන කඳවුර ගැන ඔබට කලකිරීමක් තිබෙනවද?

මම දකින විදියට ලංකාවේ වමේ දේශපාලන පක්‍ෂ නෑ. වම කියන එක ටිකක් පැහැදිලි කළා නම් හොඳයි කියලා මට හිතෙනවා. වම කියන දේ ආවේ මුලින්ම එංගලන්තෙන්. ඒ කාලයේ කාල් මාක්ස් එහෙ හිටියනේ. ඒගොල්ලෝ රජ්ජුරුවන්ට විරුද්ධව වම් අත පැත්තේ තමයි හිටියේ. ඒ තමයි left කියන අදහසයි. පක්ෂපාත අය හිටියේ දකුණේ. වම කියන නම ආවේ එතනින්. අපේ රටේ වාමාංශික ව්‍යාපාර වමේ නෙවෙයි, දකුණත් එක්කයි හිටියේ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුව කාලේ ජවිපෙත් රාජ්‍ය පාලනයට ගියා. ඇමැතිකම් ගත්තා. එතකොට එහෙම පාරිශුද්ධ වමේ ව්‍යාපාරයක් අපේ රටේ නෑ.

මේ පවතින සමාජ ක්‍රමය වෙනස් කරලා මාක්ස්වාදීන් හැටියට අපි අපේ රටේ පක්ෂවල සමාජවාදය ගොඩනඟන්නේ කොහොමද කියන හැඟීමක් ඔවුන් තුළ තිබුණේ නැහැ. පළමු වැනි ජනතා නැඟිටීම තිබුණේ 1953 හර්තාලයේදී. ඒක මෙහෙය වූවේ වමේ පක්ෂ. සම සමාජ සහ කොමිනියුස්ට් පක්‍ෂය. කොළඹ හැරුණු විට යාපනයේ සම්පුර්ණයෙන්ම හර්තාලය සාර්ථක වුණා. ඊට පස්සේ මාක්ස්වාදීන් කියාගන්නා පිරිස් ඒ අවස්ථාවේදි කළේ අපි එක දවසකටයි හර්තාලය අාරම්භ කළේ, මේක දිගටම යන එකක් නෙවෙයි කියලා ඔවුන් ගිහින් ඔක්කොම හැංඟුණා. නව දෙනෙක් ඒකෙන් මැරුණා. ඒ හර්තාලය කොච්චර සාර්ථකද කිව්වොත් ඒ කාලේ බලයේ හිටිය ඩඩ්ලි සේනානායක නැවකට ගිහින් කැබිනට් එක රැස්වුණේ. එතරම් සාර්ථකත්වයක් තිබුණා. නමුත් ඒ හර්තාලය මාක්ස්වාදීන් යැයි කියාගන්නා පිරිස් විසින් පාවා දුන්නා.

ඒ වගේම කියුබාවේ 1952දි බැරක්කෙට පහර දුන්නේ පිදෙල් කස්ත්‍රෝ.

එදා ඉඳලා අවුරුදු පහයි මාස පහයි දවස් පහක් යනකොට පිදෙල් කස්ත්‍රෝ කියුබාව නිදහස් කරගත්තා. ඒ අයට ශුද්ධවූ ඉලක්ක සහ අරමුණු තිබුණා. ලංකාවේ එහෙම ඉලක්කයක් තිබුණේ නැහැ. හැමෝගෙම ප්‍රධාන අරමුණ වුණේ මේ පවතින පන්ති සමාජ ක්‍රමය මේ විදිහටම තියාගෙන පාර්ලිමේන්තුවේ නියෝජනයක්‌ ලබා ගැනීමයි. මේක දිගින් දිගටම සිද්ධ වුණා.

•පක්ෂ දේශපාලන ඉතිහාසය ගත්විට වාමාශික පක්ෂ මේ රටේ ප්‍රබල පක්ෂ බවට පත් වෙලා තිබුණා. ඒ ප්‍රබල පක්ෂවල ජනප්‍රියත්වය බිඳ වැටුණේ එහි ශූද්ධ වූ අරමුණ නැතිවීම නිසා කියලද ඔබ කියන්නේ?

මුල් කාලයේ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ වගේ අය වෘත්තීය සමිති හරහා බොහෝ සටන් කළා. ශුද්ධ වූ අරමුණු හා ඉලක්ක නැති වීම සිදු වුණේ පාර්ලිමේන්තු වාදයට ගොදුරු වීමෙන්. ඔවුන්ට අවශ්‍ය වුණේ පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් ඇති කර ගැනීම. අනෙක් කරුණ බලයට එන දේශපාලන පක්ෂත් එක්ක සන්ධානගත වෙලා තනතුරු ලබා ගැනීමයි.

•වමේ දේශපාලන පක්ෂවල ප්‍රායෝගික ක්‍රියාදාම සාර්ථක නොවීම පක්ෂයේ බිඳ වැටීමට හේතුවක් කියලා ඔබ හිතනවාද?

මේ පක්ෂවල නායකයන්ගේ ප්‍රායෝගික ක්‍රියාදාමයන් ගත්තම මේ රටේ දුක් විඳින කම්කරුවන් ගැන මේ අය කතා කරන්නේ නැහැ. අද මාක්ස්වාදී යැයි කියාගන්නා පක්ෂ කීයක් කැඩිලා බිඳිලද? සම සමාජය කැඩුණා. සම සමාජය සහ කොමිනියුස්ට් පක්ෂ කැඩිලා ඒ පක්ෂවලට වෘත්තීය සමිතියකුත් හදාගත්තා. ඒ කාලේ මගේ සටන තිබුණේ එක වෘත්තියකට එක වෘත්තීය සමිතියක්, වෘත්තීය සමිතිවලට එක මධ්‍යස්ථානයක් තිබිය යුතුයි කියලා. දැන් එහෙම නැහැනේ. හැදෙන හැදෙන පක්ෂයක් වටා වෘත්තීය සමිතියකුත් හදාගන්නවා. වැඩ කරන ජනතාවගේ අරමුණු නෙවෙයි එතන මුඳුන්පත් වෙන්නේ. ගොනුවෙන දේශපාලන සංවිධානවල අරමුණු සඳහා තමයි ඔවුන් එකතු වෙන්නේ.

•මාක්ස්වාදය නියෝජනය කරන පක්ෂ සම්බන්ධයෙන් අද ස්ථාවරය කුමක්ද?

දැන් සම සමාජ පක්ෂය කෑලි කෑලිවලට කැඩිලා ගිහින් වමේ කේන්ද්‍රය කියලා එකක් හැදුවා. වමේ කේන්ද්‍රය ලිබරල් මතවාද ගරු කරන අය සමඟයි ඉන්නේ. එහෙම නම් මාක්ස්වාදීන් කියන අයයි දකුණට ගිහිල්ලා තියෙන්නේ. වාමාංෂික දේශපාලන පක්ෂ ගැන කලකිරිලා හෝ කුමන හේතුවක් නිසා හෝ සමාජවාදය යට ගිහිල්ලා, ජවිපෙ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ඇවිල්ලා තියෙනවා.

මාක්ස්වාදී දේශපාලන පක්ෂ ඒකරාශි වන්නේ ගොවි කම්කරු ජනතාව සමඟයි. එනම්, නිර්ධන පන්තියත් සමඟයි. අද වන විට පැරණි වමේ පක්ෂ නිර්ධන පන්ති සමඟ නොවෙයි ඉන්නේ.

ඒ සඳහා සටන් කරන්නේ නැහැ. පැරණි වමේ පක්ෂ නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඒ සඳහා සටන් කරන්නෙත් නැහැ. ඒ අයගේ නායකත්වයෙන් තිබූ වෘත්තිය සමිති පක්ෂ දේශපාලන ප්‍රතිපත්තිවලට එතැනින් ඉවත් වෙලා ස්වාධීනව ඉන්නවා.

ජනතා විමුක්ති පෙරමුණත් ගොවි, කම්කරුවන් එකතු වුණු දේශපාලන සංවිධානයක් නොවෙයි. තරුණයන්ගේ කැරැල්ලක් ලෙසයි ආවේ. පැරණි දේශපාලන වමේ පක්ෂ මාක්ස්වාදී පිළිවෙතක් අනුගමනය කළා. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන එකයි දැන් වමේ පක්ෂවල අරමුණ. ප්‍රතිලාභ දේශපාලනයක් නොවෙයි මාක්ස්වාදියකුට තිබිය යුත්තේ.

•ඔබ මේ කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සම්මේලනයේ නායකයා ලෙස 1985 සහ 1998දී ලංකාව නියෝජනය කළ ලෝක තරුණ සම්මේලනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා. එම අත්දැකීම් කෙබඳුද?

ඒ‍ කාලේ පක්ෂය ඇතුළේ පක්‍ෂ පාසලක් ගොඩනඟන්න මම උත්සාහ කළා. විෂය නිර්දේශයක් හදලා දුන්නා. එහිදී ඔවුන්ගේ මතය වුණේ එය තවත් දෙවැනි පක්ෂයක් හදන්න වෑයමක් කියලයි. හිටපු ප්‍රධාන පෙළේ හැම නායකයෙක්ම ජාත්‍යන්තර වශයෙන් සෝවියට් දේශය සමඟ කටයුතු කළේ රාජ්‍ය නොවන සංවිධානයක් හැටියටයි. එහෙන් දෙන ආධාර අරගෙන මේ අය දීමනා අරගෙන පූර්ණ කාලයක් නඩත්තු කරනවා. නමුත් සෝවියට් කොමියුනිස්ට් පක්ෂය උත්සාහ කළ, අපේක්ෂා කළ දේවල් මේ අය කළේ නෑ.

•නිර්ධන පන්ති ආඥා දායකත්වයක් අහෝසි වූ විට සමාජවාදය බිඳ වැටෙනවා කියලා ඔබ කිව්වත් අද වනවිට නව ලිබරල්වාදී මතවාද ව්‍යාප්තිය නිසා සමාජවාදය බිඳවැටීමට ලක්වී ඇති බවයි බොහෝ අයගේ අදහස?

නිර්ධන පන්තියේ ආඥා දායකත්වය ඉවත් වීමත් එක්කම මතු වෙන්නේ නිලධාරිවාදයයි. එය තමයි සිදු වුණේ.

•නිර්ධන පන්තියේ ආඥා දායකත්වය ඇති රටවල සමාජවාදය සුරක්ෂිතවෙලා තිබෙනවා කියලා ඔබ හිතනවාද? එසේ නිර්ධන පන්ති ආඥා දායකත්වයක් ඇති කරගන්න මේ නව ලිබරල්වාදි ව්‍යාප්තියට හැකිවෙලා තියෙනවාද?

කියුබාවේ පාර්ලිමේන්තුව වසරකට එක්වරක් පමණයි රැස් වෙන්නේ. 1982දී මම එය දැක්කා. එහිදී පාර්ලිමේන්තුවට තේරී පත්වෙන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් පඩි ගෙවන්නේ නෑ. ඔවුන්ට වැටුප් ගෙවන්නේ වැඩ කරන ආයතනයෙන්. කම්කරුවෙක් නම් කම්කරු වැටුප, දොස්තර කෙනෙක් නම් දොස්තර වැටුප. වෙනත් රැකියා කරන කෙනෙක් වුණත් ඊට අදාළ වැටුපයි ගෙවන්නේ. පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුපක් ගෙවන්නෙ නෑ. වාහන බලපත්‍ර දෙන්නේ නැහැ.

නිකන් කන්න දෙන්නෙත් නැහැ. ඒ වාගේම මාස එකොළහක්‌ කරපු වැඩ ගැන එයාලා විස්තරයක් කරන්න ඕන. ඊළඟට ඉදිරි මාස එකොළහ සඳහා ඔහු විසින් සැලසුම් හදලා දෙන්නත් ඕන.

මේ හැමෝම හරිම සම්බන්ධයි. ඒ වගේ තමයි උතුරු කොරියාවේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ අවුරුද්දට දෙපාරයි. වියට්නාමය, ලාඕසය වගේම චීනයේත් ඒ විදිහයි. ඒ නිසා ඒ රටවල් ඉස්සරහට ගිහින් තියෙනවා.

ලංකාව වගේ රටවල් සෘජුවම අහු වුණේ ගෝලීයකරණයට. ගෝලීයකරණයේ යහපත් ලක්ෂණ වගේම අයහපත් ලක්ෂණත් තියෙන බව අපි දන්නවා. කියුබාව, වියට්නාමය වැනි රටවල් ගෝලීයකරණය ප්‍රතික්ෂේප කළේ නැහැ. එහි යහපත් දේ ඔවුන් ගත් නිසා තමයි ලෝකයත් එක්ක සම්බන්ධවෙලා කටයුතු කරන්නේ. ගෝලීයකරණයේ අයහපත් ලක්ෂණවලට ඔවුන් ගොදුරු වෙන්නේ නැහැ. නමුත් මාක්ස්වාදය ගැන අපේ රටේ පක්ෂවලට අවබෝධයක් නැහැ. ප්‍රාථමික අවධියේදී ජාත්‍යන්තර කරණයේ ක්‍රියාදාමය ප්‍රධාන වශයෙන්ම ආරම්භ වුණේ වෙළෙඳාමයි. ඊළඟට යටත් විජිත පටන් ගත්තා.

ධනපති රටවල් ආර්ථිකමය, යුදමය බොහෝ ක්ෂේත්‍රවල වාසිදායක තත්ත්වයක් ඇති කර ගත්තා. නිෂ්පාදන බලවේග, උසස් තාක්ෂණය ආදී සියල්ලම සමාජගත වුණා.

නමුත් ආර්ථික ක්‍රියාදාමයේදී සංවර්ධනය වන්නා වූ ඌන සංවර්ධිත රටවල් කෙරෙහි යහපත් සහ අයහපත් බලපෑම් දෙකම ඇති වුණා.

Comments