රනිල්, අමරවීරගෙන් රිළව් ගැන ඇහුවේ මොනවාද? | Page 4 | සිළුමිණ

රනිල්, අමරවීරගෙන් රිළව් ගැන ඇහුවේ මොනවාද?

මේ මස අග කැබිනට් සං‍ශෝධනයක් සිදුවනු ඇති බවට යම් යම් ආරංචි මාර්ග පැතිර යමින් පවතී. මේ මස 25 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහිදී යම් යම් දේශපාලන තීරණ ගැන කතාබස් සිදුවන බවට ද වාර්තා ‍පළවේ.

අවුරුදු කෑමට ඉඩ සැලසු ජනපතිට සුබ පැතුම්

නුවරඑළියේ සංචාරය නිමවා කොළඹ පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහ රාජකාරි ආරම්භ කිරීම සඳහා ජනාධිපති කාර්යාලය වෙත පැමිණියේ ඉකුත් සඳුදා ය. සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව රාජකාරී ආරම්භ කරන මුල් දිනය බැවින් ජනාධිපති කාර්යාලයේ සේවක පිරිස චාරිත්‍රානුකූලව තේ පැන් සංග්‍රහයක් සුදානම් කර තිබුණි.

ජනාධිපති තම නිල කාමරය වෙත යෑමට ප්‍රථම ගියේ සිය නිලධාරීන් සූදානම් කර තිබූ කැවිලි මේසයටය. ජනපති එතනට පැමිණෙන බවට ලද පණිවුඩය හේතුවෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ලේකම් කාර්යාල දොරකඩ වෙත පැමිණියේ ජනපති පිළිගැනීමටය.

ජනපති රනිල් ඇතුළු පිරිස ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඇති කැවිලි මේසය වෙත ඔවුන් දෙපළ විසින් කැඳවා ගෙන යද්දී රැස්ව සිටි සේවක සේවිකාවන් ඔහුට සුබ පතන්නට වූහ. සැමට ආචාර කරමින් කැවිලි මේසය අසලට ගිය ජනපති “ඔයාලත් එන්න” යැයි සේවකයන්ට ආරාධනා කරමින් තේ පැන් සංග්‍රහයට එක්වූවේය.

“පසුගිය වසරේ නිදහසේ අවුරුදු සමරන්න ලැබුණේ නෑ. හැබැයි පොදුවේ කාටත් මේ වසරේ නම් අවුරුදු සමරන්න ලැබුණා.” සුබ පතන්නට ආ සේවක සේවිකාවන් ජනපතිට ආචාර කරමින් කීවේ එවැන්නකි.

“මොන අමාරුකම් තිබුණත් අවුරුදු සමරන්න ඉඩ හදලා දුන්න එක වටිනවා.” ලේකම් සමන් හා දිනිත් චින්තක කීවේ ජනපති දෙස බලමිනි.

ඒ වන විටත් මැති ඇමතිවරුන් ගණනාවක් ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියේ අලුත් අවුරුද්දට ජනපතිට සුබ පතන්නට ය. සේවක සේවිකාවන්ගේ තේ පැන් සංග්‍රහය නිමවා ජනපති කෙළින්ම ගියේ මැති ඇමතිවරුන් රැඳී සිටි ස්ථානය වෙතය. අගමැති දිනේෂ් ද එහි පැමිණියේ ඒ අවස්ථාවේදීය. ඔහුවත් කැඳවාගත් ජනපති මැති ඇමතිවරු සිටි දෙසට පිය මැන්නේය.

නිමල් සිරිපාල, විජයදාස රාජපක්ෂ, කෙහෙළිය, අමරවීර ආදී මැති ඇමතිවරු රැසක් එහි පැමිණ සිටියෝය. ජනපති පැමිණ සිටි සියල්ලන්ටම වෙන වෙනම සුබ පැතුවේය.

ජනපතිගෙන් අමරවීරට රිළා ප්‍රශ්නයක්

ඇමති විජයදාස අසලට ගිය ජනපති ප්‍රතිත්‍රස්ත පනත ගැන ඇත්ත කතාව ජනතාවට කියන්න වේවි යැයි කීවේ සුබපතන අතරතුරය. මහින්ද අමරවීර අසලට ගිය ජනපති ඔහුගේ රිළව්න් ගැන විමසද්දී සැමට සිනහව නතර කර ගන්නට නොහැකි වූහ.

ජනපති ද සිනහසෙමින් සිටිනු දුටු එ.ජා.ප නියෝජ්‍ය නායක රුවන් එතැනට ගොස් “ සිංහල අවුරුද්ද ජනතාවට නිදහසේ සමරන්න සැලසීම ගැන ජනපතිතුමන් සතුටින් ඉන්නේ. සර් හිටියේ නැත්නම් මේ අවුරුද්ද සමරන්න ඉඩක් නොලැබෙන්නත් තිබුණා.” යැයි කියද්දී සැවොම හිස සලා එය අනුමත කළහ.

සජිත් ගැන වජිර රනිල්ට දුන් ඔත්තුව

“සර් දන්නවද මේ පාරත් විපක්ෂ නායකතුමා සිංහල අවුරුද්දට ඉඳලා තියෙන්නේ කොළඹින් පිටත ඈත ප්‍රදේශයක. මේ නිසා ගොඩක් අයට එතුමාට සුබ පතන්නත් බැරිවෙලා.” මන්ත්‍රී වජිර පැමිණ ජනපතිට තොතුරක් දුන්නේය.

“ඒක තමයි එතුමා නිතරම ඉන්නේ යාල වනෝද්‍යානයේ. ඒ නිසා මම බැලුවේ එහේ වෙනම නිල නිවසක් එතුමට හදලා දෙන්න කියලා.” ජනපති ඇඟට පතට නොදැනී කියා එතනින් ඉවත්ව ගිය ද එහි සිටි අයට සිනහා නොවී සිටිය නොහැකි වූහ. තානාපතිවරුන් රැසක් එහි පැමිණ සිටි අතර ඔවුන් ජනපතිට අලුත් අවුරුද්දට සුබ පැතූහ.

එදින සවස ඇමති මණ්ඩල හමුව පැවැති අතර එහිදි ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක්ම අනුමත කරන ලදි. මෙහිදී රජයේ සේවාවන් කිහිපයක් ද අත්‍යවශ්‍ය සේවා කිරීමට අනුමැතිය හිමි වූ බැවැන් ජනපති ලේකම් විසින් එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළේය.

අගහරුවාදා සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීම පැවැති අතර ඊට පක්ෂයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ. මැයි දින රැලිය ගැන මෙහිදී අදහස් හුවමාරු විය. එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි මහලේකම් රංගේ බණ්ඩාර කීවේය.

ජාතික ආණ්ඩුව ගැන ඇත්ත කතාව

“ජාතික ආණ්ඩුවකට යනවා කියලා කතාවක් යනවා. පාක්ෂිකයෝ අපෙන් මේ ගැන විමසනවා. ඇත්තටම මොකක්ද ඇත්ත කතාව.” කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ශමල් සෙනරත් විමසා සිටියේය.

“අපි දන්න තරමින් නම් ජනාධිපතිතුමා ජාතික ආණ්ඩුවකට කතා කළේ නෑ.” ජාතික සංවිධායක සාගල පිළිතුරු බැන්ඳේය.

“එයාලම ජාතික ආණ්ඩු කතාවක් කියලා දැන් එයාලම එන්නේ නෑ කියනවා. ජාතික ආණ්ඩුවක් ඕන වෙලා තියෙන්නේ එයාලටම තමයි.” රංගේ ද කතාවට එක්වූවේය.

“මම කිව්වේ පාර්ලිමේන්තුවම එක ආණ්ඩුවක් විදියට වැඩ කරමු කියලයි. දැන් ඒක කෙරෙනවානේ. ආංශික අධීක්ෂණ කාරක සභාවල බහුතරයක සභාපතිකම් දීලා තියෙන්නේ විපක්ෂයට. රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ සභාපතිකම දීලා තියෙන්නෙත් විපක්ෂයට. දැන් පාර්ලිමේන්තුවම එක ආණ්ඩුවක් ලෙස වැඩ කරනවා.” ජනපති ඇඟට පතට නොදැනී දුන් පිළිතුරෙන් සැමගේ සැක සංකා තුනීවී ගියහ.

ජනපති රනිල් රැලියට නැතිලු

නිර්පාක්ෂික ජනාධිපති ලෙස තමන් මැයි රැලියට සහභාගි නොවනු ඇතැයි ජනපති රනිල් පැමිණ සිටි පිරිස දැනුම්වත් කළේය. පාක්ෂිකයන් මෙන්ම තරුණ කොටස් සමඟ මැයි දිනය සැමරීමට සැලසුම් සකස් කරන්නැයි ජනපති පැමිණ සිටි පිරිසට උපදෙස් දුන්නේය.

සජබ මැයි රැලිය ගුණසිංහ පුරට

මෙවර මැයි දින රැලිය සමගි ජන බලවේගය විසින් පැවැත්වීමට තීරණය කර ඇත්තේ පිටකොටුව ගුණසිිංහ පුර ක්‍රිඩාංගනයේය. මුලින් එය බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වීමට සැලසුම්කර තිබුණද ඊට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් කැම්බල් පිටිය වෙන්කර ගැනීම හේතුවෙන් සමගි ජන බලවේගයට වෙනත් ස්ථානයක් තෝරා ගැනීමට සිදුවිය. ඉන්පසුව අවධානය යොමු වූයේ හයිඩ් පිටිය වෙතය. හයිඩ් පිටිය කුඩා බැවින් ගුණසිංහ පුර ක්‍රීඩාංගනය තෝරාගත යුතු බව සජිත් යෝජනා කළේය. එම සාකච්ඡාව පැවැති රැස්වීමේදී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුව ජනතාවට බියවී ඇති නිසා කැම්බල් පිටිය තමන්ට ලබා නුදුන් බවයි. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුවට හොඳට දැනෙන මැයි රැලියක් ගුණසිංහ පුර ක්‍රීඩා පිටියේදි සිදුකළ හැකි බවයි. මැයි දින රැලිය ගැන සාකච්ඡා කිරීමට සජිත් ප්‍රේමදාස විසින් සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් සඳුදා දින (24) පැවැත්වීමට තීරණය කර ඇත.

ප්‍රසන්න ලබා දුන් අලුත් තොරතුර

ජනාධිපති කාර්යාලයේදී මැති ඇමතිවරු පිරිසක් ජනපති මුණ ගැසුණේ පාර්ලිමේන්තු කටයුතු ගැන මෙන්ම රටේ වත්මන් තත්තවය ගැන කතා කිරීමටය. ප්‍රතිත්‍රස්ත පනත ගැන මෙන්ම, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න ගැන ද මෙහිදි පිරිස තොරතුරු විමසා සිටියේය.

“ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ ත්‍රස්තවාදී පනත අහෝසි කරන්න. අනෙක මේක ගෙනාවේ 2015 – 2019 කාලේ. ඒකට එදා පක්ෂ වෙච්ච උදවිය අද ඒක හොඳ නෑ කියනවා. මොකක්ද විපක්ෂයේ අද ඉන්න කණ්ඩායමට වෙලා තියෙන්නේ කියලා මට නම් පැහැදිලි නෑ.” වජිර අබේවර්ධන කිවේ නොක්කාඩුවෙනි.

“ජාත්‍යන්තර ප්‍රජාවගෙන් වගේම රටෙනුත් ලැබුණු ඉල්ලීම අනුව තමයි මේක ගෙනාවේ. සිවිල් සංවිධාන පවා එදා කිව්වා මේ පනත හොදයි කියලා. දැන් ඔවුන් මේ කතා කරන දේ අපහැදිලියි.” මනූෂ නානායක්කාර ද කතාවට අලගු තැබීය.

මේ ගැන මාධ්‍ය හමුවේ දිගටම කතා කරන්නැයි ජනපති මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේය. ප්‍රසන්න රණතුංග මෙහිදී වෙනත් කතාවක් ගෙන ආවේය.

“ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවට ස.ජ.බ අයට අද විරුද්ධ වෙන්න බැරි නිසා එයාලා වෙන කාරණයක් පෙන්නලා විවාදයෙන් පැනලා යන්නයි හදන්නේ.” ඇමති ප්‍රසන්න කීවේය.

“ඔව් ඔව් එයාලා දැන් කියනවා මේ ගිවිසුම භාෂා තුනෙන්නම දෙන්න ඕන කියලා. ස.ජ.බෙට අමතක වෙලා ඉන්දු ලංකා ගිවිසුමත් පාර්ලිමේන්තු විවාදයට ගත්තේ ඉංග්‍රීසි පිටපතින් පමණයි කියලා.” ඇමති බන්දුල ද පිළිතුරු දුන්නේ එලෙසිනි.

රවී හිටපු නීතිපති ගැන කතා කරයි

“පාස්කු ප්‍රහාරය ගැන කියපු දෙයක් ගැන ප්‍රකාශයක් ගන්න ටී.අයි.ඩි එකට එන්න කිව්වම හිටපු නීතිපති ආවේ නෑ. හැබැයි හිටපු මුදල් ඇමති ලෙස මට නම් එහෙම අවස්ථා ලැබුණේ නෑ.” රවි කරුණානායක ද කතාවට එක්වූවේය.

“එයා කිව්වේ ඇත්ත නම් මෙතනට ඇවිල්ලා කියන්න බය වෙන්නේ මොකට ද”. මධුර විතානගේ ද විමසා සිටියේය.

“දැන් රිළව් රට යවනවට ගොඩක් දෙනෙක් කැමතියි. හැබැයි චීන තානාපති කාර්යාලය කියලා තියෙනවා එයාලා රිළව් ඉල්ලුවේ නෑ කියලා.” ඇමති ප්‍රසන්න තවත් කතාවක් ඇද ගත්තේය.

“ඔව් මම මේ සියලු කාරණා ගැන හොයන්න කමිටුවක් පත් කරන්න ඉන්නේ.” ජනපති කී විලාසය අනුව සැවොම කොක් හැඬලූහ.

දිනේෂ්ගෙන්, අගමැති කාර්යාලයට අලුත් වගකීම්

අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ ජාතික මහෝත්සවය බියගම හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානයේදී පසුගිය ඉරිදා පැවැත්වුණේ අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි. එය සංවිධාන කර තිබුණේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟිනි. දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි අගමැති පිළිගත් අතර, පාර්ලිමෙන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනද ඊට එක්ව සිටියහ.

තනි අලියාට රුවන්ගෙන් පලතුරු

පන්සලේ හස්තියාට හිස තෙල් ගැල්වීම සහ ආහාර ලබාදීම ද නායක හිමියන් සහ අගමැති අතින් සිදුවූ පසු, ඊළඟ වාරය පැමිණියේ රාජ්‍ය ඇමති සිසිරට සහ එජාප නියෝජ්‍ය නායක රුවන්ටය.

"ඔබතුමා දෙන්න" රුවන්, සිසිරට කීය.

"නෑ..නෑ..තනි අලියට පලතුරු ටික දෙන්න සුදුසු ම කෙනා ඔබතුමා" සිසිර ජයකොඩි සිනාසෙමින් කියද්දී, රුවන්ට ද සිනා පහළ විය.

පසුව දෙදෙනා ම අලියාට කෑම ලබාදුන්හ.

අලුත් අවුරුද්දෙන් පසු අගමැති දිනේෂ්, කොළඹ මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණියේ, 17 වන සඳුදා උදෑසනය. ඒ වනවිට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීහු එහි පැමිණ සිටියහ.

"හැම දෙනාට ම සුබවේවා කියල ප්‍රාර්ථනා කරනවා, අලුත් අවුරුද්දේ ජයගත යුතු අභියෝග රැසක් අපට තියෙනවා"

අගමැති දිනේෂ්, වචන කිහිපයකින් සිය ශුභාශිංසන සහ අගමැති කාර්යාලයේ වගකීම් සිහිපත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක හඬ අවදි කළේය.

"අපේ මේ අගමැතිතුමා යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අපිට අලුත් අත්දැකීම් රැසක් ලැබිලා තියෙනවා. වෙනදා නොතිබූ කාර්‍යභාරයන්, සේවාවන් රැසක් ඉටු කරන්න අපිට පැවරිලා තියෙනවා"

එසේ කියමින් ඔහු අගමැතිතුමා දෙස බැලීය. අගමැතිතුමා සිනාසෙමින් යමක් කියනු ඇසිනි.

මහින්ද බැලීමට මෙවරත් පිරිස් තංගල්ලට

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා සුපුරුදු පරිදි මෙදා සිංහල, දෙමළ අවුරුද්ද සැමරුමේ තංගල්ලේ කාල්ටන් නිවසේදීය.

සිය බිරිඳ දරු මුනුබුරන් සමඟ අවුරුදු චාරිත්‍රවලට සහභාගි වු මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා 17 වැනිදා දක්වාම සිටියේ තංගල්ලේ සහ මැදමුලනේය.

මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ තනතුරු දරන රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් තංගල්ලට පැමිණ බුලත් දී මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට අවුරුද්දට සුබ පැතූහ.

15 වැනිදා පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා ද පැමිණ සිටියහ.

මර්වින්ගේ දේශපාලන ඉඟිය

මේ අවස්ථාවේදී ලක්ෂ්මන් වසන්ත පෙරේරා දුරකතන ඇමතුමක් ලබාගත්තේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාටය.

“මර්වින් ඇමතිතුමා මං සර්ගේ ළඟ ඉන්නේ ෆෝන් එක සර්ට දෙනවා” යනුවෙන් කියපු ලක්ෂ්මන් වසන්ත පෙරේරා තම ජංගම දුරකතනය මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා අත තැබුවේය.

“මගේ බුදු සර්. සුබ අලුත් අවුරුද්දක් වේවා. මගේ ආයුෂත් අරගෙන තවදුරටත් නිරෝගීව වැජඹේවා” යනුවෙන් ආශිර්වාද කළ මර්වින් පරණ සිද්ධි මතක් කරමින් විනාඩි 15ක පමණ කාලයක් කතාබස් කළේය.

මර්වින් සිල්වාගේ පැරණි රසකතාවලට සිනහ නොවී සිටීමට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට නොහැකි විය.

“සර්. දැනට මං මේ සංක්‍රාන්ති කාලය ඉතා හොඳින් නිරීක්ෂණය කරමිනුයි ඉන්නේ. බලාගෙන ඉඳලා හොඳ තීන්දුවක් ගන්නවා. සර් මේ දකුණේ අපිට නිකන් ඉන්න බැහැනේ. මං සර් හමුවෙන්න ඉක්මනටම එනවා” යනුවෙන් ප්‍රකාශ කරමින් මර්වින් දුරකතන ඇමතුමට සමුදුන්නේය.

මහින්ද බැලීමට පැමිණි පැරණිම අමුත්තා

මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා හමුවීමට පැමි‍ණියේ වයස්ගත ගොවි මහතෙකි. මහින්ද රාජපක්ෂට සුබ පැතූ ඔහු අසල පුටුවක අසුන්ගෙන දීර්ඝ වේලාවක් කතාබස් කළේය. ඔහුට කියන්නේ මහතුන් අයියා කියාය.

1960 අගභාගයේදීත් 70 දශකයේදීත් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා යන එන සෑම තැනකම ගිය මෙම මහතුන් අයියා ඒ කාලයේ ඔහුගේ ආරක්ෂාව ගැන ද සොයාබලා තිබේ. මහතුන් අයියා සමඟ අතීත සිදුවීම් ගැන කතාබහ කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා දැක්වුයේ දැඩි උනන්දුවකි. “සර් බලන්නමයි මං මේ ආවේ. මගේ නෝනත් නැතිවුණා. දරු මල්ලොත් බැඳලා. මං දැන් කුඹුරක් කරගෙන ඉන්නවා” යනුවෙන් මහතුන් අයියා පැවසුවේය.

“බලන්න ආපු එකට සතුටුයි. මොනව හරි කාලා යන්න” මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පැවසුවේ බොහොම ළෙන්ගතුවයි. 

ප්‍රතිත්‍රස්ත පනතට සජබයේ දැඩි විරෝධය

ත්‍රස්ත විරෝධි පනත හරහා ගෙන එන රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය හරහා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය විනාශ කිරිම මේ ආණ්ඩුවේ ඒකායන අරමුණ බවත් මේ අරමුණ පරාජය කරන්න සියලුම ප්‍රගතිශීලී බලවේග ඒකරාශී කරමින් සිටින බවත් විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කීවේය.

ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව දැවැන්ත බලවේගයක් ගොඩනැඟිය යුතු බවත් ඒ වෙනුවෙන් සූදානම් වන ලෙසත් සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.

ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව ඉතා පුළුල් ලෙස කබීර් හෂීම් අදහස් දැක්වීය.

"අලුත් ත්‍රස්ත පනතේ ස්වභාවය පිළිබදව පිටු ගණනින් අදහස් දක්වා තිබූ වජිර අබේවර්ධන කබීර් හෂීම් මහතාගෙන් ටියුෂන් ගන්න ඕනා" ඉරාන් වික්‍රමරත්න කීවේය.

"අද රට කරන්නේ කළුකඩ මුදලාලි කෙනෙක්. රිළව් විකුණලා හරි කමක් නෑ කීයක් හරි හොයාගන්න තමා හදන්නේ."එහෙම කිව්වේ තුෂාර ඉඳුනිල් ය.

අජිත් රාජපක්ෂ චන්ද්‍රිකා ඇළේ

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට මෙවර අවුරුදු දින කිහිපයක ඉතා කාර්යය බහුල විය.

අජිත් රාජපක්ෂ ගමේ සිටින විට නෑමට යන්නේ ගම් පළාතේ ඇළවල්වලිනි. වළවේ ගඟත් ගෙවල් අසලින් ගලාබසින නිසා වළවේ ග‍ඟෙන් දිය නෑමට ද අජිත් රාජපක්ෂ ප්‍රිය කරයි.

මෙවර දිය නෑමට අජිත් රාජපක්ෂ ගියේ ඇඹිලිපිටියේ සිය බිරිඳගේ ගමේය. උඩවලව ජලාශයේ සිට චන්ද්‍රිකා වැවට ජලය ගෙන යන ඇළ මාර්ගයක තම බිරිඳ සමඟ නෑමට ගිය අජිත් රාජපක්ෂට යම් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය.

ඇළේ නානවිට ඒ ඇළේම නෑමට පැමිණ 7, 8 වසරවල පිරිමි ළමුන් කිහිපදෙනෙකු ඉතා අසභ්‍ය වචන කියමින් ඇළේ නෑමේදි මෙම දරුවන්ට අසභ්‍ය වචන නොකියන ලෙසට ඉතා කරුණාවෙන් අජිත් රාජපක්ෂ කියා සිටිය ද එම දරුවන් ටික වේලාවක් නිහඬව සිට යළිත් අසභ්‍ය වචන කියමින් කෑගසන්නට විය..

එම දරුවන්ට නොදැනෙන ලෙස තම ආරක්ෂක නිලධාරීන් යවා අජිත් රාජපක්ෂ සොයා බැලුවේ මෙම දරුවන් කොහේ සිට පැමිණ තිබේ ද කියාය.

එහිදී දැනගැනීමට ලැබුණේ මෙම දරුවන් තවත් මිතුරෙකුගේ දානමය පිංකම් ගෙදරකට පැමිණ එම ගෙදරටත් නොකියා නෑමට පැමිණ ඇති බවයි.

එම දරුවන් ඇඹිලිපිටියේ ජනප්‍රිය පාසලක දරුවන් බවට ද කෙටි වේලාවක් තුළ අජිත් රාජපක්ෂ දැනගත්තේය.

දිගටම අසභ්‍ය වචන ප්‍රකාශ කරන දරුවන් අසලට ගිය අජිත් රාජපක්ෂ ඔවුන්ට අවවාද කළේය.

“ඔයගොල්ලන්ගේ ඉස්කෝලෙ මං දන්නවා. ළඟ තියෙන දානේ ගෙදරකට ඇවිල්ලා ඊට පස්සේ හොරට නාන්න ඇවිල්ලා. ඔය පුතාලා තාම පොඩියි. වැඩිහිටි කෙනෙක් නැතුව නාන්න ඇවිල්ලා වතුරේ ගියොත් මොකද වෙන්නේ. මං ප්‍රින්සිපල්ටයි. දානේ ගෙදර අයටයි. දැන් ඔයගොල්ලන් ගැන කියනවා”යනුවෙන් අජිත් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

“අනේ අපිට සමාවෙන්න. අපි තවත් අසභ්‍ය වචන කියන්නෙ නෑ”කියමින් එම දරුවන් පිරිස හැකි ඉක්මනින් පින්කම් ගෙදර යන්නට වුහ.

අලියාට ආලය කළ රහස වජිර හෙළි කරයි

මේ අතර එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගිය සතියේ සෙනසුරාදා උදෑසනින්ම ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට පැමිණියේ අලුත් අවුරුද්දෙන් පසු ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහාය.

වජිර පැමිණි විගස කිරි ඉතිරවීමේ කටයුත්ත සඳහා ලිපි ගිනි මෙළවීම සිදුකෙරිණි.

ලිපි ගිනි මොළවා ටික වේලාවකට පසු කිරි කලය ඉතිරි ගියේ සියලුදෙනාගේම ආශිර්වාදය මධ්‍යයේය.

“ජය වේවා,, ජය වේවා“ පිරිස උස් හඬින් කීහ.

“අද අපිට මෙහෙම කිරි උතුරන්නේ අපේ ඇමතිතුමා නිසා තමයි. “එක් අයෙක් පැවසීය.

“නැතුව නැතුව, ගිය අවුරුද්දේ කොහෙද මෙහෙම අවුරුදු සැමරුම්. මට මතකයි ගිය අවුරුද්දේ මේ වෙලාවට අපි හිටියේ ගෑස් පෝලිමේ.“

ගෑස් පෝලිම් විතරක් දැයි, පෙට්ට්‍රල් පෝලිම්. ඒ අතීතය සිහි වෙනකොටත් බය හිතෙනවා.

මම නම් හිතුවේ නැහැ නැවත අපිට මෙහෙම අලුත් අවුරුද්දක් සමරන්න පුළුවන් වෙයි කියලා.“ පැමිණ සිටි පිරිසෙන් තවත් එක් අයෙක් පැවසීය.

වජිර මේ සියල්ල අසාගෙන කිසිවක් නොකියා නිහතමානීව ඔවුන්ගේ හඬට සවන් දුන්නේය.

“ඕවා ගැන අපි කතා කරමු, මුලින් ගිහින් කිරිබත් කෑල්ලක් කාලා ඉමුකෝ.“ වජිර පැමිණ සිටි පිරිස කිරිබත් මේසය අසලට කතා කළේ කිරිබත් කෑල්ලක් අනුභව කිරීම සඳහාය.

“අපි හැමදාමත් හිට ගත්තේ හරි පැත්තේ. 2020 මහ මැතිවරණයේදීත් ගාල්ල දිස්ත්‍රික්කයෙ බොහෝ අය මට කිව්වා අලියගෙන් ඡන්දය ඉල්ලන්නත් එපා කියලා.

මොකද මම දේශපාලනේ දන්නවා. හරි දේ මොකද්ද කියලා තේරුම් ගැනීමේ ශක්තිය මට හොඳටම තියනවා. මම ඒකයි එක හෙළාම තීරණය කළේ මම ඉල්ලන්නේ අලියගෙන්, මම නියෝජනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය දෙන කණ්ඩායම කියලා. “ යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

එදා පක්ෂ වු අය අද විරුද්ධ වෙන හැටි වජිර පෙන්වයි

නිදහසින් පසු අවුරුදු 75ක් තුළ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් විවිධ දේශපාලන මත දරන නායකයන් 125කට වැඩිය ඝාතනය කොට සිවිල් වැසියන් දහස් ගණනාවක් ඝාතනය කර තිබෙන රටක, රටේ අනාගතය සඳහා ත්‍රස්ත විරෝධී පනත ඉතා වැදගත්ය යනුවෙන් වජිර ප්‍රකාශ කළේ පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ ජනතා නියෝජිතයින් පිරිසක් සමඟය.

විරුද්ධ පක්ෂය මේ සඳහා විරුද්ධ වන්නේ නම් එදා විරුද්ධ පක්ෂයේ සිට කැබිනට් මණ්ඩලයේ සිට 2018 සැප්තැම්බර් 11 වෙනි දින කැබිනට් රැස්වීමේදී එකඟතාවය ලබා දුන් වර්තමානයේ විරුද්ධ පක්ෂයේ අැතැම් උදවියගේ මේ විවේචනය කිරීම ශ්‍රී ලාංකික මහජනතාව ඒ පිළිබඳව කල්පනාවෙන් ක්‍රියා කළ යුතුය. එසේ නොමැති නම් මෙම පනත්වල පිටු 102 කියවා බලා, එසේ නොමැති නම් අනෙක් පනතේ පිටු 93 කියවා බලා එහි නොගැළපීම්, ජාතික ආරක්ෂාවට හානි කර වගන්ති ඇති නම් ඒ කුමකදැයි ජාතියට හෙළි කළ යුතුව ඇත.

නාමල් ගමේ මිනිස්සුන්ට දුන් සහතිකය

මෙවර සිංහල, දෙමළ අවුරුද්ද වෙනුවෙන් තංගල්ල කාල්ටන් නිවසට පැමිණි ගම්වල පිරිස් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට සුබ පැතීමෙන් අනතුරුව හමුවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂය.

මන්ත්‍රීතුමා දැන් තාත්තා වගේ උඩු රැවුල වවලා. තාත්තා මේ රට වෙනුවෙන් කරපු සේවය ඔබතුමාත් මේ රටට ලබාදෙන්න ඕන. කවුරු මොනවා කිව්වත් තාමත් මේ රටේ ජනප්‍රියම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා” යනුවෙන් එම පිරිස පැවසූහ.

“ඔබතුමාලා කියන ඕනෑම දෙයක් ‍මං මේ රට වෙනුවෙන් කරනවා” යනුවෙන් නාමල් රාජපක්ෂ විසින් එම පිරිසට සහතික විය.

Comments