මසකදී වැඩිම ලාබයක් ඉපැයූ ලුණු සංස්ථාවේ අලුත්ම කතාව | Page 4 | සිළුමිණ

මසකදී වැඩිම ලාබයක් ඉපැයූ ලුණු සංස්ථාවේ අලුත්ම කතාව

ටට රසට ආහාරයක් පිස ගැනීමේදී ලුණු අපට නැතිව ම බැරි රසකාරකයකි. ආහාර සුවඳ කිරීමට, වර්ණවත් කිරීමට, විවිධ රස එක්කිරීමට කුළු බඩු කොතරම් සමත් වුවද ලුණු නොමැතිව ඒ කිසිදු රසයකින් ඵලක් නොවේ. එනිසා මුළුතැන් ගෙයි කිරුළ නිතරගයෙන් හිමිව ඇත්තේ ලුණුවලටය. එහි ඇති වටිනාකම දන්නෝ ගෘහණියෝමය. අප සැමගේ ආහාරයට නැතිවම බැරි ලුණු ගැන ඇති ඉතිහාසය ද බොහෝ ඈතට දිව යන්නකි.

ඉකුත් දිනයක අපි හම්බන්තොට මහ ලේවාය බලා පිටත් වීමු. අප හම්බන්තොට මහ ලේවායට පැමිණෙන විට හිරු ගිනිගෙන දැවෙමින් තිබිණ. මාස කිහිපයකින් වැස්සක් නොලද ගහකොළ වියළී ගොසිණි. වර්ෂාව නොමැති කමින් කෙසෙල් වගාව, ගස්ලබු වගාව, පොල් වගාව පමණක් නොව අනෙකුත් බෝග වගාවන් ද විනාශ වී ඇති අයුරු දර්ශනය විය. අප මහ ලේවායේ පිහිටි කාර්යාලයට සේන්දු වුණෙමු. ලංකා ලුණු සමාගමේ වත්මන් තත්ත්වය පිළිබඳ තතු විත්ති පහදන්නට සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය සැදී පැහැදී සිටියෝය. ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ චමින්ද සූරිය පටබැඳි පවසා සිටියේ “ ලංකා ලුණු සමාගම මෙතෙක් ඉතිහාසයේ මසක් තුළ ඉපැයූ වැඩිම ආදායම් මේ වසරේ මාර්තු මස තුළ දී ලබා ගැනීමට සමත් වූ බවයි. එය රුපියල් මිලියන 700 ඉක්මවා ඇති බවයි. මේ වසරේ මුල් කාර්තුව තුළදී පැවති අයහපත් කාලගුණය නිසා අපට අපේක්ෂිත ලුණු අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වුණා. නමුත් මුල් කාර්තුව තුළදී ලුණු අලෙවියේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට ලංකා ලුණු සමාගම සමත් වී තියෙනවා.

මේ වසරේ ජනවාරි, පෙබරවාරි හා මාර්තු කියන පළමු කාර්තුවේ පමණක් එලෙසින් නිෂ්පාදනය කෙරුණ ලුණු වලින් ලැබූ ආදායම මිලියන 110 ට වැඩියි. ඉකුත් මාර්තු මාසයේදී පමණක් ඉන් මිලියන700 ට අධික මුදලක් උපයා ගැනීමට ලංකා ලුණු සංස්ථාවට හැකියාව ලැබුණා. මේක ලංකාවේ ලුණු කර්මාන්ත ඉතිහාසයේ තැබූ වාර්තාවක්.

මෙය නිකම් ඕපපාතිකව පහළ වුණු දෙයක් නෙමෙයි; මේ සඳහා සභාපතිවරයා වශයෙන් මමත් අධ්‍යක්ෂ මණ්ඩලයත් එක් වී සැලසුම් සකස් කළ අනෙකුත් නිලධාරීන් සහ සේවක පිරිස ඒ කටයුතු නියමාකාරයෙන් ඉෂ්ට සිද්ධ කළා. මේ හැමෝගෙම සාමූහික ප්‍රතිඵලයක් විදියටයි මේ තත්ත්වයට පත් වුණේ.

අද අපි බැලුවම හැමතැනම පේන්නේ වැඩ වර්ජන; නමුත් වෘත්තීය අයිතිවාසිකම් දිනාගන්න නම් පළමුවෙන්ම අපි වැඩ කළ යුතුයි. වැඩ කරන්නේ නැතිව ආයතනයක් ගොඩ ගන්න බැහැ. එහෙම ආයතනයකින් ලාබ ලබන්නත් බෑ. අනෙක් අතට ආයතනය ලාබ ලබන්නේ නැතිනම් සේවකයන්ට නිසි පරිදි වැටුප් වගේම අනෙකුත් දීමනා ලබා දීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ලංකා ලුණු සමාගමට අයත් හම්බන්තොට මහ ලේවාය, පලටුපාන සහ බූන්දල ආදී ලේවායන් ඇරුණම පුද්ගලික ආයතන විසින් පවත්වාගෙනයනු ලබන තවත් ලුණු ලේවායන් කිහිපයක් ස්ථාපිතව තිබේ. නමුත් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඒ ලුණු සමාගම්වලට වාර්තාගත ලුණු අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වී තිබිණ. මේ නිසා ලුණු වෙළෙඳ පොළ තුළ ලුණු සඳහා ලොකු ඉඩක් විවර විය. ඒ ඉඩ පිරවීම සඳහා ඉදිරියට පැමිණ තිබුණේ ලංකා ලුණු සමාගමය.

එම අඩුව පිරවීමට ඔවුන්ට හැකියාව ලැබුණේ ලංකා ලුණු සමාගමට අයත් මහා ලේවාය, පලටුපාන සහ බූන්දල යන සියලුම ලේවායන් මඟින් 2022 වසර තුළදී ලුණු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 10,000 ට වැඩි ඉහළ ලුණු අස්වැන්නක් නෙළා ගෙන තිබීම නිසාය.

අනෙක් අතට ලංකා ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2022 වසරේදී ලුණු ආනයනය සීමා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සිදු කළ ඉල්ලීමට අනුව මෙරටට ලුණු ආනයනය සීමා කෙරුණු අතර මෙම වාර්තාගත ආදායම ලබා ගැනීමට එය ද හේතු විය. ඒ අනුව ලංකා ලුණු අවශ්‍යතාවෙන් සියයට 70 ට වැඩි ප්‍රමාණයක් මේ වන විට සපයන්නේ ලංකා ලුණු සමාගමය. 2023 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී පමණක් රුපියල් කෝටි 16ක පමණ බදු මුදලක් ආණ්ඩුවට ගෙවීමට ලංකා ලුණු සමාගම කටයුතු කර තිබේ. මීට අමතරව මාර්තු මස බදු මුදල කොපමණ ද යන්න මේ වනතෙක් ගණනය කර නොතිබුණ ද ලංකා ලුණු නිෂ්පාදන ඉතිහාසයේ වැඩිම බදු මුදල මාර්තු මාසයේ ගෙවීමට බලාපොරොත්තුවෙන් සිටන බව ලංකා ලුණු සමාගම සහතික කිරීම ද සුවිශේෂ කාරණයකි. ඊට හේතුව වන්නේ අර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ජනතා ගැටලු විසඳීමට රජය ගන්නා වෑයමට එය මහත් අස්වැසිල්ලක් වන නිසාය.

ඊට හේතුව වන්නේ වත්මන් කළමනාකාරීත්වය විසින් 2020 වසරේ ලංකා ලුණු සමාගම භාර ගන්නා විට බැංකු අයිරාව රුපියල් මිලියන 122 ක් සමඟ මිලදී ගැනුම්, සැපයුම්, හා ව්‍යවස්ථාපිත ගෙවීම් වෙනුවෙන් රුපියල් මිලියන 324 ක ණය බරක් පැවතුණි. ඒවා ගෙවා අවසන් කිරීමට ද පියවර ගැණිනි. මේ වන විට හම්බන්තොට ලුණු සමාගම යටතේ පවතින හම්බන්තොට මහ ලේවාය හා කොහොලිංගල ලේවාය සතුව අක්කර 830 පවතින අතර, පලටුපාන ලේවායට අක්කර 826 ක වපසරියකින් යුක්තය. බුන්දල ලේවාය අක්කර 500න් සමන්විත වේ.

ඉදිරියේදී මෙම ලේවායන් ඉලක්ක කරගෙන තවත් ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ලංකා ලුණු සමාගමේ ප්‍රධාන විධායක වෛද්‍ය අජිත් ශන්මුගනාදන් පෙන්වා දුන්නේය.

ඒ අනුව සුළං විදුලි බලාගාරයක් සහ සූර්යතාප විදුලි බලාගාරයක් ස්ථාපනය කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. මේ වන විට එම කටයුතු පළමු අදිරයේ අධ්‍යයන සීමාවේ පවතින බවත් ඊට අමතරව සංචාරක කර්මාන්තය පිළිබඳව සැලකිල්ලක් දක්වමින් සංචාරක නිකේතන ඉදිකිරීමටත් බලාපොරොත්තු වන බවත් හෙතෙම පැවසීය. ඒ සඳහා ඉදිරියේදී සංචාරක හෝටල් කර්මාන්තය සමඟ සම්බන්ධ වීමට සැලසුම් කර ඇති බව ඔහු අවධාරණය කළේය.

මෙතෙක් කලක් ටූත් පේස්ට්, බිස්කට්, සොසේජස්, අයිස්ක්‍රීම්, මාගරින් සහ රූපාලවණ්‍යය නිෂ්පාදනය සඳහා අවශ්‍ය පියෝ සෝල්ට් මෙරටට ගෙන්වූයේ විදෙස් රටවලිනි. ඉදිරියේදී පියෝ සෝල්ට් නිෂ්පාදනය කිරීම සඳහා නවකර්මාන්ත ශාලාවක් ස්ථාපනය කිරීමට අවශ්‍ය ටෙන්ඩර් කැඳවීම් සිදු කර ඇති බවත් මේ වසර අවසන් වීමට පෙර මෙරටට අවශ්‍ය පියෝ සෝල්ටි නිෂ්පාදනය කළ හැකි බව ලංකා ලුණු සමාගමේ සේවක අධ්‍යක්ෂ දිනුක චාමර ද සිල්වා පෙන්වා දුන්නේය. මීට අමතරව ජපානය සහ කොරියාව යන රටවලට ලුණු ආනයනය කිරීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇති බවත් ලුණු සාම්පල මේ වන විටත් ඒ රටවලට ලබාදී ඇති බවත් හෙතෙම පැවසීය.

මේස ලුණු නිෂ්පාදනය සඳහා යන්ත්‍රයක් මේ වන විට බූන්දල ලේවායේ සවි කරමින් තිබේ. එහි නිෂ්පාදන කටයුතු ලබන මාසය වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර එමඟින් මසකට ලුණු මෙට්‍රින් ටොන් 600ක් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබේ. මීට අමතරව කරවල වේළීමට සහ පොහොර සෑදීම සඳහා ඉතා සුළු මුදලකට ලබාදෙන හතරවන ශ්‍රේණියේ ලුණු (වැලි සාද්‍රණය වැඩි ලුණු) කැනඩාවට යැවීමට සාකච්ඡා කරමින් තිබේ. ඒ වාර්ෂිකව එම රටවලට පතිත වන හිම දිය කර හැරීම සඳහාය.

මේ වන විට මත්ස්‍ය ආහාර වශයෙන් ආනයනය කරන ආර්ටිමියා පලටුපාන ලේවායේ නිෂ්පාදනය කරයි. සාමාන්‍යයෙන් මෙරටට ආනයනය කරන ආර්ටීමියා ආහාර ග්‍රෑම් 450 ක මිල රුපියල් 20000 ක් පමණ වේ. නමුත් මෙරට තුළ නිෂ්පාදනය කරන ආර්ටීමියා ග්‍රෑම් 150 ක මිල රුපියල් 3500 කි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි අසුරා තිබෙන බිත්තර ආර්ටිමියාවන් බිහි කරගත හැකි ප්‍රතිශතය (රැක්ක වීමේ අනුපාතය ) සියයට අසූපහක් පමණ වීමය. මෙම නිෂ්පාදනයේ කල් ඉකුත්වීමක් නොදැක්වෙන අතර, මෙය වසර 3000ක් වුව ඇසුරුම් කර තබා ගත හැකිය. ඊට හේතුව වන්නේ මෙම බිත්තර ඝන ප්‍රෝටීන් අාවරණයකින් ආරක්ෂා වී පැවතීමය. මෙනිසා ආර්ටීමියා බිත්තර කාලතරණ ජීව මාධ්‍යයක් ලෙස පිළිගෙන තිබෙන බව පලටුපාන ලේවායේ නිෂ්පාදන කළමනාකරු නුවන් උබේසිංහ පෙන්වා දුන්නේය. මේ සියලුම නිෂ්පාදන හරහා ඉදිරියේදී විශාල විදේශ විනිමයක් අප රටට උපයා ගත හැකිය. ඒ සියල්ල කෙරෙහි බලධාරීන්ගේ නිසි අවධානය යොමු කර වැටී සිටින රට ගොඩනැඟීමට කටයුතු කරනු ඇතැයි අප තරයේ විශ්වාස කරමු.


Comments