ජනපති ‍රනිල් ආනන්දයේදී කඩුව බිම දැමූ හැටි... | Page 4 | සිළුමිණ

ජනපති ‍රනිල් ආනන්දයේදී කඩුව බිම දැමූ හැටි...

- ඔව් මට තරම් වෙන කාටවත් රනිල්, මෛත්‍රී එක්ක ඇරියස් තිබුණේ නැහැ
- මන්ත්‍රීතුමා ජනාධිපතිතුමාගේ මල් වට්ටියට අත ගහනවද?

මූල්‍ය අරමුදලේ ණය සහතිකය මෙරටට ලැබීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ “රට ‍ගොඩනැංවීමේ මල් වට්ටියට අත ගැසීම සඳහා සියලුම දෙනාට ආරාධනා කරන බවයි.

ජනාධිපතිවරයාගේ මල්වට්ටි කතාවට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු වී තිබුණි. මල්වට්ටියට අත ගැසීම සඳහා සමගි ජන බලවේගයේ 15 ක පමණ කණ්ඩායමක් කැමැත්තෙන් සිටින බවටද යම් යම් ආරංචි මේ සමඟම පැතිර ගියේය.

ජනපතිගේ මල් වට්ටියට අත ගහන්න පෝලිමක් 

මල්වට්ටියට අතගැසීම සඳහා සිටින පිරිසෙන් මුලින්ම කියවෙන්නේ ‍දොස්තර රාජිත සේනාරත්නගේ හා කුමාර වෙල්ගමගේ නම්ය. ඊට අමතරව සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් නායකයන් කිහිපදෙනෙකු ඇතුළු තවත් නම් කිහිපයක්ද කියවේ. වතුකරයේ දේශපාලඥයන් පිරිසක්ද ජනාධිපතිවරයාගේ මල් වට්ටියට අත ගැසීමට සූදානමකින් සිටින බවටද වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ 17 වැනි කථානායක වශයෙන් කටයුතු කළ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා හිටපු කථානායකවරයාගේ දේහය 30 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන එනු ලැබුවේ සම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලබන අවසන් ගෞරව දැක්වීම සඳහාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් දේශපාලඥයෝ රැසක්ම මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.

“මන්ත්‍රීතුමා ජනාධිපතිතුමාගේ මල් වට්ටියට අත ගහනවද?”යනුවෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියේය.

“බලමු මොකද වෙන්නේ කියලා” රාජිත සිනහමුසු මුහුණින් පැවසීය.

මේ කතාව ඇසුණු ආණ්ඩු පක්ෂයේත් මන්ත්‍රීවරයෙකු කියා සිටියේ මුලින්ම මල්වට්ටි කතාව කි‍ව්වේ රාජිත බවයි.

“ඔව්.ඔව්. යුද්ධය ගැන වෙලාවේ ත්‍රස්තවාදය පරාජය කරන්න සහාය දෙන්න කියලා ඒ මල් වට්ටියට අතගහන්න කියලා 2007 දී මං කිව්වා. කරූ ජයසුරිය මහතා ඇතුළු අපි 17 දෙනෙක් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සහයෝගය ලබාදුන්නා” කියමින් රාජිත සිනහසෙමින් කියා සිටියේ මගේ කතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කොපිකර ඇති බවයි.

දියගමදී ජනපතිගෙන් දොස්

ජනපති රනිල් ඉකුත් ඉරිදා හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය වෙත ගියේ ඔහු අගමැති ලෙස 2016 දී ඉදිරිපත් කර තිබූ යෝජනාවක් ද සිතෙහි දරාගෙනය. එම ස්ථානයට ක්‍රිඩා ඇමැති රොෂාන් රණසිංහ, ඇමැති බන්දුල ගුණවර්ධන, ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සේම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හා ක්‍රිඩා ඇමැති උපදේශක සුදත් චන්ද්‍රසේකර ද පැමිණ සිටියහ.

ක්‍රිඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීමට යාමට පෙර ඔහු නිලධාරීන් හා සාකච්ඡාවක් වෙනුවෙන් අසුන් ගත්තේ ක්‍රිඩා සංකීර්ණ සාකච්ඡා ශාලාවේය. එහිදි ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් නිලධාරියෙකු කරුණු දක්වන්නට විය. ඔහු ඒ සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජනාවක් ද ඉදිරිපත් කරනු ලැබීය.

ඔහු කියන කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී ජනපතිට වැටහී ගියේ එය ක්ෂණිකව සකස් කළ වාර්තාවක් බවය. තමන් ඉදිරියේ බොරු රඟපෑමක් ඔහු කරන බව දැනගත් ජනපති ඔහුගේ කතාව නවතන ලෙස ඉල්ලා සිටියත් දිගින් දිගටම ඔහු අදහස් දැක්වීම නිසා ජනපතිට කතාව නවතන ලෙස උස්හඩින් කීමට සිදු විය.

“2016 න් පස්සේ මම ඉදිරිපත් කළ මේ ක්‍රිඩා විශ්වවිද්‍යාල යෝජනාව ගැන හැරිලවත් බලලා නෑ. දැන් ඒක ගැන බොරු කතා කරන්න එපා. අපි වියදම් කරන හැම ශතයටම අපි වගකියන්න ඕනේ.” ජනපති කීවේ උස් හඬිනි.

අර්ජුන රණතුංග ද ක්‍රිකට් ක්‍රිඩාව ගැන අදහස් දැක්වූ අතර පසුව ජනපති ඔහුට කීවේ තමන්ට ඔහුව හඳුනා ගැනීමට නොහැකි වූ බවය. එහි සිටි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද කීවේ තමන්ට ද එකවර ඔහු හඳුනා ගැනීමට නොහැකි වූ බවය.

ජනපතිගෙන් විපක්ෂයට බේස් බෝලයක්

ඉන් පසු පිරිස ගියේ ක්‍රිඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීමටය. එහිදි බේස් බෝල් ක්‍රිඩා කරමින් සිටි ක්‍රිඩකයන් පිරිසක් ද ජනපති අසලට පැමිණියේය.

“සර් අපි බේස්බෝල් ක්‍රිඩා කරනවා. ලංකාවේ බේස්බෝල් ක්‍රිඩා කරන එකම කණ්ඩායම අපි. මේක ජාත්‍යන්තරයට ගෙනි යන්න උදව් කරන්න.” එහි සිටි දරුවන් ඉල්ලා සිටියේය.

ජනපති වහාම මේ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පාලනාධිකාරිය වෙත උපදෙස් දුන්නේය. එහි සිටි එක් ක්‍රිඩකයෙක් ජනපති වෙත බේස් බෝලයක් පෙන්වමින් එහි අගය කියද්දී ජනපති කීවේ “අපි මේ බෝලය විපක්ෂයට පාස් කරමු”. කියාය. ජනපතිගේ පිළිතුරෙන් රැදී සිටියවුන්ට සිනහව නවතා ගැනීමට නොහැකි විය.

සඳුදා ජනපති උපදෙස් මත අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් බෙදා දීමේ වැඩසටහනකට කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහභාගී වී සිටියේය. සඳුදා සවස ඇමැති මණ්ඩල රැස්වීම පැවැති අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරවුම්හල්වලින් කොටසක් විදෙස් සමාගම් තුනකට පිරිනැමීමේ යෝජනාව ඇමැති මණ්ඩලයේදි සම්මත කෙරිණි.

පොලිස්පති සී.ඩි වික්‍රමරත්න මහතා වෙත මාස තුනක සේවා දිගුවක් පිරිනැමීමේ යෝජනාව ඉදිරිපත් වූ අතර එයටද ඇමැතිවරුන්ගේ අනුමැතිය හිමිවිණ. අත්අඩංගුවේ පසුවන ප්‍රධාන අපරාධකරුවෙකු වූ හරක් කටා ගැන ද එහිදි කතා බහට ලක්විණ.‍

වැඩබලන්න හිටිය ජනාධිපති කෙනෙක් හරක් කටාගේ ළඟට

“හරක් කටා වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑම නීතිඥයෙකුට අයිතිය තියෙනවා. හැබැයි නීතිඥ සංගමයේ සභාපති ඔහු වෙනුවෙන් පෙනී ඉන්නවා කියන්නේ රටට ලෝකයට යන්නේ වැරදි චිත්‍රයක්.” ඇමැති බන්දුල කීවේය.

“අරගලය වෙලාවේ කට්ටිය කිව්වේ නීතිඥ සංගමයේ සභාපතිව වැඩබලන ජනාධිපති කරන්න කියලානේ. මට නම් එදා ඉදලම මේ ගැන සැකයක් තිබුණා. අද වෙනකොට ඒ සැකය අත්තක් බවට පත් වෙලා තියෙන්නේ. අරගලයේ හිටපු තරුණයෝ බොහෝ දෙනෙක් මත් වෙලා හිටපු බව දැන් තහවුරුයි.” ප්‍රසන්න රණතුංග ඇම­ැතිවරයා ඔහුගේ සැකය දුරුකර ගත්තේ එලෙසිනි.

ආනන්දයේදී ජනපති රනිල් ඉංග්‍රීසි අමතක කරයි

ජනපති කොළඹ ආනන්ද විද්‍යාලයට ගියේ ඉකුත් බදාදාය. ඒ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නැයි ලද ආරාධනාවකට අනුවය. ජනපති රනිල් ආනන්ද විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයකට සහභාගී වී තිබුණේ මීට වසර ගණනාවකට පෙර විදුහල්පති වී.එස් කුඩලිගමගේ යුගයේදී ය.

ආනන්ද විද්‍යාලයේ සිසුවෙකු ජනපතිට ප්‍රධාන ආරාධිත දේශනය ඉංග්‍රීසි බසින් ආමන්ත්‍රණය කරනා ලෙස ඉල්ලමින් ඉංග්‍රිසි බසින්ම ආරාධනයක් කරනු ලැබීය. එම අරාධනය පිළිගෙන සභාව ඇමතීමට පැමිණි ජනපති “ ගොඩක් අය මට ඉංග්‍රිසියෙන් කතා කරන්න ආරාධනා කරනවා. හැබැයි ආනන්ද විද්‍යාලයේ සම්ප්‍රදාය සිංහල මවු බසින් කතා කිරීම.” සිනහසෙමින් එසේ කී ජනපති සිංහල බසින් කතාව කරගෙන ගියේය.

විද්‍යාලයේ අතීතය ගැනත් වර්තමානය ගැනත් කතා කළ ජනපති අනාගත තාක්ෂණය ගැන කතා කරද්දී පැමිණ සිටි සැවොම මුහුණට මුහුණ බලා ගත්තේ ඔහුගේ ඇති නව තාක්ෂණ දැනුම ගැන මවිතයට පත් වෙමිනි. ටික්ටොක්, ෆේස්බුක් සේම ඒ.අයි තාක්ෂණය ගැනත් ඔහු කතා කළේය. ජනපතිව තේ පැන් සංග්‍රහය සඳහා කැඳවාගෙන ගියේ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය විධායක මණ්ඩලයේ සිසුන් විසිනි.

ජනපතිගේ සයිබර් දැනුම ගැන මවිත වෙයි

ජනපති තේ පැන් සංග්‍රහය භුක්ති විඳිද්දී ඒ අසලට පැමිණි ආදී ආනන්දියෙකු වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න “ ටික් ටොක්, ෆේස්බුක්, වට්ස්ඇප් ගැන නම් යම් දැනීමක් තියෙනවා. හැබැයි මේ අලුත් චැට් ජී.පී.ටි ගැන නම් දන්නේ නෑ ජනාධිපතිතුමා.” කීවේය.

“මම හැමදාම අලුත් අලුත් තාක්ෂණය ගැන හොයනවා. අපි හැමදාම අලුත් ලෝකයත් එක්ක අප්ඩේට් වෙන්න ඕනේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂතුමා.” ජනපති කීවේ සිනාසෙමිනි.

සිසු දරුවන් ඔහු සමඟ සෙල්ෆි ඡයාරූප ගැනීමට පවා පෙලඹුනේ වයසින් වැඩිමහලු වුවද අදහස්වලින් ඔවුන් හා සම මට්ටමේ සිටීම නිසාවෙනි. පැය දෙකක කාලයක් එහි රැඳෙන්නට පැමිණිය ද ඔහු ආනන්ද විද්‍යාලයෙන් නික්මෙද්දී පැය 3ට අධික කාලයක් ඉක්ම තිබුණි. ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

හොරණින් විශාල පිරිසක් මහින්දගේ නි‍ෙවසට

පහුගිය බදාදා උදෑසනින්ම සියයකට ආසන්න පිරිසක් සංජීව එදිරිමාන්නත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙ විජේරාම නිල නිවසට පැමිණියහ. ඔවුන් පැමිණ සිටියේ හොරණ සිටිය.

එන්න එන්න වාඩි වෙන්න..පුටු නම් මදිවෙයි මම හිතුවෙ නෑනෙ මෙච්චර කට්ටියක් එයි කියල... එහෙම කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කටිටියම පිළිගත්තේය.

“සර්...රුවන්පුර හයිවේ එක වෙනුවෙන් මේ අය ලොකු කැපකිරීමක් කළා.ඒත් ව්‍යාපෘතිය අතරමග නතර වුණු නිසා තිබිච්ච දේවලුත් නෑ වන්දිත් නෑ ..දැන් මේ අය අසරණ වෙලා ඉන්නෙ.කොහොමහරි මේ අයට සාධාරණයක් කරමු සර්.“ සංජීව එදිරිමාන්න කතාව ආරම්භ කළේය.

“සර්...දක්ෂිණ අධිවේගී මාර්ගෙ හදන වෙලාවෙ පදිංචිකරුවන්ට ඒ අය හිතුවටත් වඩා ඔබතුමා වන්දි ගෙව්ව.අපි හිතුව අපිටත් එහෙම ලැබෙයි කියල .ඒත් අන්තිමටම අපිට ඉන්න හිටින්න තැනක් නැති වුණා“..හොරණින් ආපු කණ්ඩායමෙ නායකයා කරුණු පැහැදිලි කළේය.

“දැන් මොකක්ද ඔයාලගෙ ඉල්ලීම...“මහින්ද රාජපක්ෂ බොහොම කාරුණිකව විමසීය.

“සර් අපිට වන්දි ගෙවල අපේ ඉඩම් ආණ්ඩුවට අරන් අපිව මේ ප්‍රශ්නෙන් නිදහස් කරන්න කියන්න සර්... “යනුවෙන් එක් පුද්ගලයෙකු සියලුම දෙනා වෙනුවෙන් ඉල්ලා සිටියේය.

හරි මම ඉක්මනින් මේ ගැන කතා කරන්නම්.“

ප්‍රසන්න කෙළින් හිටගන්නේ කාත් එක්කද?

නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගිය 25 වැනිදා සවස් වරුව ගත කළේ වෝටර්ස් එජ් හෝටලයේය. ඊට නිමිත්ත වී තිබුණේ ප්‍රසන්නගේ අමාත්‍යාංශයෙන් සංවිධාන කර තිබූ සුහද හමුවකි. රටේ නම් දැරූ මාධ්‍යවේදීන් පිරිසක් මේ සුහද හමුවට ආරාධනා ලැබ සිටියහ. පුවත්පත් කතුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු තිහක පමණ පිරිසක් ඊට එක්ව සිටි අතර විශේෂත්වය වූයේ ඔවුන් සියලුදෙනා ම පාහේ ප්‍රසන්නගේ ළගම හිතවතුන් වීමය.

සවස හය වන විට සුහද හමුව ආරම්භ වන බව දැනුම් දී තිබූ නිසා බොහෝ මාධ්‍යවේදීන් වේලාපහම හෝටලය වෙත පැමිණ සිටියද අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු කිහිපයක් හේතුවෙන් ප්‍රසන්න එහි එන විට මඳක් ප්‍රමාද වී තිබුණි. ඒ වන විටත් මාධ්‍යවේදීන් හට සංග්‍රහ කටයුතු ආරම්භ කොට තිබූ නිසා ප්‍රසන්න එන විට එය ප්‍රසන්න නොමැති ප්‍රසන්නගේ සුහද හමුවක් බවට පත් වෙමින් තිබුණේය.

පමාව ගැන සමාව අයදිමින් ආ ප්‍රසන්න මුලින්ම හිද ගත්තේ රාජ්‍ය සහ පෞද්ගලික පුවත්පත් ප්‍රධානීහු සිටි මේසයකය.

"ඇමැතිතුමා මොකෝ ප්‍රමාද? අයකු ඇසුවේය.

"දන්නැද්ද අපිට මේ දවස්වල වැඩ වැඩිනෙ" ප්‍රසන්න සිනාසෙමින් කීවේය.

" ආරංචි අපිට ජනාධිපතිතුමාට ඔබතුමා නැතිවම බැරි බව" තවත් අයකු පැවසීය.

" අපි ඉතින් හිට ගන්න පැත්තේ කෙළින් හිට ගන්නවනෙ" ප්‍රසන්න ඇගට පතට නොදැනී කීවේය.

" කලින් නම් ඔය පැත්ත වහකදුරු වෙලා නේද ඇමැතිතුමා තිබුණේ? තවත් පැනයකි.

" ඔව් මට තරම් වෙන කාටවත් රනිල්, මෛත්‍රී එක්ක ඇරියස් තිබුණේ නැහැ. ඒ කාලෙ මතකනෙ මල්ලි ? ප්‍රසන්න ඇසුවේ සිය ගම් පළාතේ මාධ්‍යවේදීයකු දෙස බලමිනි.

" ඔව් ඒ කාලෙ කට ඇරියොත් බණින එකමනෙ වැඩේ" මාධ්‍යවේදියා කීවේය.

" බණින්න ගියාම වගෙම තමයි රකින්න ගියාමත් එහෙමද ඇමැතිතුමා ? එල්ල වූයේ බවුන්සරයකි.

" වැඩේ මේකනෙ" ප්‍රසන්න අසුනේ හරිබරි ගැසුණේ දිගු කතාවකට මුල පුරමිනි.

" ගෝඨාභය මහත්තයාගෙ ආණ්ඩුව හදන්න මූලික වුණේ අපි. හැබැයි වැඩි කලක් යන්න ඉස්සර ආණ්ඩුවට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වුණා. සමහර ඒවා අපට පාලනය කර ගන්න බැරි ඒවා. හැබැයි සමහර ප්‍රශ්න ආණ්ඩුවේ අයම දාගත්තුවා. ඒ නිසා රටේම ලොකු විරෝධයක් ආවා. අන්තිමේදී අපිට සිද්ධවුණා තීන්දුවක් ගන්න. පක්ෂයේ බහුතර තීන්දුව වුණේ ඒ වෙනකොට අගමැති වෙලා හිටපු රනිල්ට සහය දෙන්න ඕනෙ කියන එක. අපි ඒ බහුතර මතය පිළිගත්තා. “

ප්‍රසන්න කියපු සිල්ගත්තු කොක්කු කවුද?

"මොකද හිතන්නෙ අරගලය ගැන? තවත් පැනයකි.

"අරගලය ආවෙ කොහොමද, පිටිපස්සෙ හිටියෙ කවුද කියන එක දැන් අපි කාටත් රහසක නෙමේ නෙ. හැමෝම දන්නවා කොල්ලො කෙල්ලො අවුස්සලා බොරදියේ මාළු බාන්න ගියෙ කවුද කියලා, හැබැයි දැන් බොර දිය පැහැදිලි වෙනකොට ඒ අය සිල් ගත්තු කොක්කු වගේ" ප්‍රසන්න ව්‍යංගයෙන් කීවේ කවුරු ගැනදැයි කාටත් රහසක් නොවීය.

" ඔබතුමාගෙ ගේත් ගිනි තිබ්බනෙ? මාධ්‍යවේදීයකු ඇසුවේය. මෙතෙක් වේලා සැහැල්ලුවෙන් සිටි ප්‍රසන්න හැඟුම්බර වූයේ එවිටය.

" මගේ ගේ මුලින්ම ගිනි තිබ්බෙ 77දී. ඒක මගෙ මහ ගෙදර. පස්සෙ මෑතකදි තමයි මම ඔය ගිනි තිබ්බ ගෙදර හැදුවෙ. මේ සමහරු දන්නවා ඕක හදපු හැටි. මහ ගේ කඩලා මාව ඔය ගේ තිබ්බ පොඩි ඉඩම් කෑල්ලට එන්න ගේට්ටුවක්වත් නැතිව අසරණ වෙලා හිටපු විදියත් මේ අය දන්නවා. මට දුක ගේ පුච්චපු එකට නෙමේ. ගේ ඇතුළෙ තිබ්බ මගෙ තාත්තගෙ, මගෙ දේශපාලන ඉතිහාසය ගිනි තිබ්බ එක" ප්‍රසන්න කීවේය.

" අපරාදෙ කරපු අය ඇල්ලුවෙ නැද්ද ඇමැතිතුමා? තවත් අයකු ඇසුවේය.

" මොකද නැත්තෙ. ඔය අහුවෙලා ඉන්නෙ. ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ගෙවල් ගාණක් ගිනි තිබ්බෙ. ඒවා ඔක්කොම කලින් ප්ලෑන් කරලා කරපුවා. දවස් ගාණකට ඉස්සර තමයි තීරණය කරලා තිබ්බෙ මෙන්න මේ මේ ගෙවල් ගිනි තියනවා කියලා. මේ අය ගේ විනාශ කරද්දි එතන බලන් හිටපු අය වෙච්ච දේ සම්පූර්ණයෙන් මට කිව්වා" ප්‍රසන්න කීවේය.

සජිත්ගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්

අප්‍රේල් 04 වැනි අඟහරුවාදා රාත්‍රි කාල‍යේ වැඩසටහනක් සඳහා සමගි ජනබලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වේලාව වෙන්කරගෙන සිටින ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය ගැන කතා කරමින් කොළඹ පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වන ලෙසට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා එම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

වජිරට ඇඳුම් ප්‍රශ්නයක්

පසුගිය බදාදා රාත්‍රී ජාතික රූපවාහිනියෙන් විකාශය වූ මහජන දිනය වැඩසටහනට සහභාගී වුයේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනයි. මෙම වැඩසටහන සඳහා වජිර සහභාගී වුයේ තනි නිල්පාට ඇඳුමකින් සැරසීගෙනය. කමිසය පමණක් නොව කලිසමද එකම පැහැයෙන් යුක්ත විය.

වේෂ නිරූපණ මැදිරියේදී මාධ්‍යවේදියෙකු වජිරගෙන් විමසා සිටියේ “ඔබතුමා දැන් නිල්පාට වෙලා මොකද කියාය.

“අපිට ඇඳුම් නැහැනේ. ඉතිං කවුරු හරි හිතවතෙක් දෙන ඇඳුමක් එපැයි අපි අඳින්න. නිල්පාට එකක් හම්බ වුණා. ඒක ඇඳගෙන ආවා. ලස්සනද?” යනුවෙන් වජිර කියපු කතාවට එතන සිටි සියල්ලෝම සිනාසුනහ.

ඇඳුම් ලැබෙන දේශපාලන පක්ෂ සමගි ජන බලවේගයේ “THE BLUE PRINT”

ආර්ථික සමුළුව ගාලු දිස්ත්‍රික් බලමුළුව පසුගිය දා ගාල්ලේදී පැවැත්විණි.

තිරසර සංවර්ධනයක් සහිත රටක් ගොඩනැඟීම උදෙසා වූ සමගි ජන බලවේගය ආර්ථික දැක්ම පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

මෙම සමුළුව සජිත් ප්‍රධානත්වයෙන් පැවැති අතර , ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්,යන මන්ත්‍රීවරුන් ගේ මූලිකත්වයෙන් එම වැඩසටහන රට පුරා දිස්ත්‍රික් වශයෙන් ක්‍රියාත්මක වෙයි. සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, ආර්ථික විශේෂඥයන් මෙන්ම ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයන් විශාල පිරිසක් එක්විය.

"පහුගිය දවස්වල ව්‍යාජව හදලා තිබුණු රැලි සේරම මේ වෙනකොට බිඳ වැටිලා ඉවරයි. ඇත්තටම රට ගොඩනඟන වැඩපිළිවෙළ හරියටම විද්‍යාත්මකව ඉදිරිපත් කරලා තියෙන්නෙ සමගි ජන බලවේගය විතරයි."

එම අවස්ථාවට එක්ව සිටි ව්‍යාපාරිකයෙක් කීවේය.

"අරයගෙන් මෙයාගෙන් ඉල්ලගෙන ඇඳුම් ඇඳ ගන්නවා කියන සමහරු රට හදන්න එන්නෙත් ඉල්ලගෙනම තමයි. අපි හරි අභිමානවත් කියලා අල්ලපු ගෙදර මනුස්සයාගෙන්,අහල පහල යාළු හිතමිතුරන්ගෙන් ඉල්ලගෙන කාලා ජීවත් වෙන රටක් හදන්න නායකයෝ ඕන නෑ. අපි ඔය හැමෝටම කියන්නේ සමගි ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ කියවලා බලන්න කියලා"

තවත් ව්‍යාපාරිකයෙක් කීවේය.

"මේ රටේ ප්‍රශ්න විසඳන්න තියෙන ප්‍රායෝගික ම විසඳුම වගේම උත්තරයත් තියෙන්නේ මෙතන කියලා මේ blueprint වැඩසටහනට ආවම තේරුණා"

දෙසීයකට වැඩි ව්‍යාපාරික ප්‍රජාවක් එම අවස්ථාවට එක්ව සිටි අතර සමගි ජන බලවේගයේ ආර්ථික වැඩසටහන ඔවුන්ගේ ඇගයීමට ලක්ව තිබුණි.

අඩු ආදායම්ලාභීන් සවිමත් කිරීමට අජිත් රාජපක්ෂගෙන් යෝජනා රැසක්

අඩු ආදායම්ලාභී පවුල් ආර්ථීක වශයෙන් සවිමත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් යෝජනා රැසක් ඉදිරිපත් කරන ලදී.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පැවති අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ රජයෙන් සහල් ලබා දෙන වැඩසටහන්වලටද එක්වු අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේ ඉදිරි කාලයේදී මෙම පවුල්වල ආදායම් මාර්ග වැඩිකිරීම ගැන රජයේ අවධානය යොමු වන බවයි.

නාමල්ගේ මතය

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බනධයෙන් පවතින මතවාද පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා රාජ්‍ය ආයතන නියෝජිතයන් අතර සාකච්ජාවක් පසුගියදා තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණි.

“මේ වෙලාවේ IMF ලබාගැනීමට ජනාධිපතිතුමා කටයුතු කරන එක හුඟක් හොඳයි. සමහර දේශපාලන පක්ෂ කෑගැහුවට කිසිම විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැහැ. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන දැන් ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුත්තේ රටට වාසිවන ආකාරයටයි. ඒ නිසා මේ ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන විද්වතුන්, විශේෂඥයන්, වෘත්තිය සමිති සමඟ පුළුල් සංවාදයකට ගිහිල්ලා රටට වඩාත්ම වාසිදේ තෝරා ගත යුතුයි” යනුවෙන් නාමල් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කොට තිබේ.

ගාල්ලට බස් දෙන ගමන් වජිර ගෑස් පෝලිම් මතක් කරයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන පොදු ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා වෙන් කර තිබූ බස් රථ බෙදාදීමේ වැඩසටහන පසුගිය ඉරිදා උදෑසන එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

75වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම උදෙසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස්රථ 500ක්‌ ධාවනයට එක් කිරීමේ වැඩසටහනේ තවත් අදියරක්‌ ලෙස මෙම බස් රථ බෙදාදීම සිදු කෙරිණි.

“දැන් ඉතින් අවුරුද්දට ගාල්ලේ ටවුමට එන්න පුළුවන් වෙනදට වඩා ඉක්මනින්” බන්දුල ජනතාව අතරට ගොස් කීවේය.

“ජනතාව පසුගිය කාලය තුළ විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නා. ගාල්ල දිස්ත්‍රික්කයේ බස් එකක් දෙකක් පවා ධාවනයේ යෙදෙන ගම් තිබෙනවා. ඒවායේ ජනතාව බොහෝ විට ගමන් බිමන් යන්නේ මෝටර් සයිකලයෙන්, ඉන්ධන නැති නිසා ඒ ජනතාව විශාල ලෙස අපහසුතාවයට ලක්වුණා.

ගෙදරට අවශ්‍ය බඩු ටික ගන්න ටවුමට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.” වජිර බන්දුල ඇතුළු අනෙක් දේශපාලනඥයන් දෙස බලා පැවසීය.

“අනේ ඔව් සර්,

ඒකනම් සහතික ඇත්ත, අපි පුදුම දුකක් වින්දේ, තෙල් ප්‍රශ්නේ වගේම පොහොර ප්‍රශ්නෙනුත් අපි සෑහෙන බැට කෑවා.

දැන් නම් සර් තෙල් ටික වගේම පොහොර ටිකත් හම්බෙන නිසා අපිට ඔළුව උස්සගන්න පුළුවන්.” එක් අයෙක් පැවසීය.

Comments