හෙලිකොප්ටරයට වාසුගේ විරෝධය | Page 3 | සිළුමිණ

හෙලිකොප්ටරයට වාසුගේ විරෝධය

- සාමාන්‍ය ජන ජීවිතයට හෙලිකොප්ටරය දුරස්ථයි
- නඩු තීන්දුව දැනගෙනද මෛත්‍රී ලොක්කා සන්ධානය හදන්න 11 වැනිදා දාගත්තේ

ළාත් පාලන මැතිවරණයට කඩිනමින් දේශපාලන පක්ෂ හා නව සන්ධාන සූදානම්වීම නිසා පසුගිය සතිය දේශපාලන වශයෙන් උණුසුම් විය. නමුත් පළාත් පාලන මැතිවරණය හරියටම පවත්වනවාද? නැද්ද? කියා තවම ප්‍රකාශ කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරුය.

මෛත්‍රීද? සන්ධානයද? 

පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු වූයේ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන් ඒකමතික තීන්දුවය. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් මෙම පස්දෙනා විසින් වින්දිතයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී. මෙම නඩු තීන්දුව 12 වැනිදා ලබාදුන් අතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නායකත්වය දරන නායකත්ව මණ්ඩලයක් විසින් මෙහෙයවන නිදහස් ජනතා සන්ධානය උත්සවකාරයෙන් එළිදැක්වුයේ පසුගිය 11 වැනිදාය.

විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් උත්තර ලංකා සභාව, ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස්ගේ නායකත්වයෙන් යුත් නිදහ‍ෙස් ජාතික සභාව ඇතුළු දේශාපලන පක්ෂ හා සංවිධාන රැසක් මෙම නිදහස් ජනතා සන්ධානයට එක්වී තිබුණි.

මෙම නඩු තීන්දුවෙන් පසුව නිදහස් ජනතා සන්ධානයේ පක්ෂ කිහිපයකම නියෝජිතයෝ හදිසියේ කොළඹ එක්තරා ස්ථානයකදී රැස්වූහ.

“මේ නඩු තීන්දුව දැනගෙනද මෛත්‍රී ලොක්කා සන්ධානය හදන්න 11 වැනිදා දාගත්තේ" යනුවෙන් එක් නියෝජිතයෙකු පැවසීය.

“මේ වගේ නඩු තීන්දුවක් අපේ නව සන්ධානයට අවාසියි. නඩු තීන්දුවෙන් පස්සේ මේ වගේ සන්ධානයක් හදන්න අපි එන්නේ නැති නිසාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 11 වැනිදා නව සන්ධානය හදන්න මෙච්චර දැගළුවේ” යනුවෙන් තවත් නියෝජිතයෙකු මෙහිදී ප්‍රකාශ කර තිබුණි.

“මෛත්‍රීපාල සිරිසේන මහත්තයා උපක්‍රමශීලිව දේශපාලන පැත්තෙන් වැඩේ ගොඩදාගත්තා” යනුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේය.

වාසු හෙලිකොප්ටරයට විරුද්ධ ඇයි?

නිදහස් ජනතා සන්ධානය පිහිටුවීමෙන් අනතුරුව එහි පක්ෂ නායකයින් කතාබස් කරමින් සිටින අතරතුර මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකට වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මුණගැසුණේය.

“ඔබතුමා නව සන්ධානයේ සළකුණ හෙලිකොප්ටරයට විරුද්ධයි කියලා ආරංචියක් ආවා” යනුවෙන් එක් මාධ්‍යවේදියෙකු විමසීය.

“ඔව්. මං අකමැත්තෙන් තමයි, හෙලිකොප්ටරයට කැමැති වුණේ. නව සන්ධාන හැදුවහම අපිට ඕන ඕන සළකුණු හදිසියට ගන්න බැහැ. අපිට ගන්න පුළුවන් සළකුණ තමයි ගත්තේ” යනුවෙන් වාසුදේව නානායක්කාර පිළිතුරු දුන්නේය.

“ඇයි ඔබතුමා හෙලිකොප්ටරයට අකමැති” යනුවෙන් එතන සිටි තවත් කෙනෙකු විමසීය.

“හෙලිකොප්ටරය අපගේ ජන ජීවිතයට හුරු පුරුදු දෙයක් නොවෙයි. හෙලිකොප්ටරෙන් හැමෝටම යන්න බැහැ. අපේ සාමාන්‍ය ජන ජීවිතයට හෙලිකොප්ටරය දුරස්ථයි” යනුවෙන් වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.

හෙලිකොප්ටරය ගොඩහේවාගේ

නිදහස් ජනතා සන්ධානයේ සළකුණ වන හෙලිකොප්ටරයේ අයිතිය ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවාටය. නාලක ගොඩහේවා‍ගේ ජාතික නිදහස් පක්ෂයේ සළකුණ හෙලිකොප්ටරයයි.

ඡන්දෙට වඩා වැඩ තියෙන බව ජනපති කියයි

පළාත් පාලන මැතිවරණය ගැන මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහ පැවැතියත් ජනතාවට නම් ඒ ගැන වගේ වගක් නැත. එක්සත් ජාතික පක්ෂය පොහොට්ටුව සමඟ එක්ව තරග කරන බවට ප්‍රචාරය වීමත් සමඟ බොහෝ දෙනා මේ ගැන විමසන්නට වූවේ ජනාධිපතිගෙනි.

“ඔය ගැන මගෙන් අහන්න එපා. මම මැතිවරණයෙන් ඈත් වෙලා ඉන්නේ. මට ඊට වඩා වැඩක් තියෙනවා කරන්න. ආර්ථිකය බොහොම අමාරුවෙන් යන්නේ. ඒක විසඳා ගත්තේ නැත්නම් අපි ඔක්කාටම ගිලෙන්නයි වෙන්නේ.” ජනපති දුන්නේ සැර පිළිතුරකි.

සදුදා පැවැති ඇමති මණ්ඩල රැස්වීමේදී ද මැතිවරණය ගැන කතා බහක් ඇතිවිණි. ඔවුන් බොහෝ දෙනෙක් විමසා සිටියේ මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය ගැනය.

“සර් අපි මැතිවරණයට බය හින්දා කියනවා නෙමෙයි. ඒත් මැතිවරණ කොමිසම වැඩ කරන විදිය ගැන ගැටළු තියෙනවා. මෙහෙම ගියොත් මැතිවරණ කොමිසම ගැන බලාපොරොත්තු බිඳ වැටේවි.” ඇමති ප්‍රසන්න සිය පැනය ඉදිරිපත් කළේ එලෙසිනි.

“මැතිවරණයට අදාළ පූර්ව කටයුතු කිසිවක් මැතිවරණ කොමිසම කරලා නෑ. පවතින ප්‍රශ්න ගැන නීතිපති උපදෙස් ගන්න කිව්වට මම දන්න තරමින් තවම ඒක කරලාත් නෑ.” ඇමති මනූෂ ද තර්ක කළේය.

“නෑ මාව හම්බ වුණ වෙලාවේ එයාලා නීතිපති උපදෙස් ගන්නවා කිව්වා.” ජනපති රනිල් කොමිසම පැත්තේ සිට ගත්තේය.

බන්දුලගේ උඩින් යටින් කතාව

“සර් ජනතාව ඡන්දයක් ඉල්ලන්නේ නෑ. ඡන්දේ ඕනේ කියන දේශපාලන පක්ෂත් උඩින් ඉල්ලුවාට යටින් ඡන්දේ තියනවාට කැමති නෑ.” ඇමති බන්දුල කියද්දී සැවොම කොක් හැඩලූහ.

“කොහොම වුනත් පූර්ව මැතිවරණ කටයුතු නොකිරීමත්, නීතිපති උපදෙස් නොගැනීමත් ගත්තම තේරීම්භාර නිලධාරීන් ඇප මුදල් බාර ගැනීම නීති විරෝධියි.” එහි සිටි නිලධාරියෙක් නීති තර්කයක් මතු කළේය.

ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ ඇමති මණ්ඩලය පසුව නීතිපති උපදෙස් ගන්නා තෙක් ඇප මුදල් බාර නොගන්නා ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම් දීමට තීන්දු කළේය.

වනගහනය අඩුවීම ගැන අතේ රෝලක්

ජනපති රනිල් එදින පෙරවරුවේ මාධ්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් විමසා සිටියේ ජනපති ලේකම් සමන් ඒකනායකගෙනි. ඒ මෙරට වන ගහනය 16% දක්වා අඩුවී ඇති බවට පළවූ මාධ්‍ය වාර්තාවන්ය. ඔහු වහාම මේ ගැන වන සංරක්ෂණ ජනරාල්ගෙන් විමසා තිබූ අතර ඔහු කියා තිබුණේ එය සම්පූර්ණ අසත්‍ය කතාවක් බවටය. මෙරට වන ගහනය 29.5% බවට ඔහු කී දත්ත ජනපති ලේකම් ජනපතිට වාර්තා කර තිබුනි.

බ්‍රසීලයේ ඇතිවූ ප්‍රජාතන්ත්‍ර විරෝධි අරගලය හෙලා දකිමින් තානාපති කාර්යාලය හරහා පණිවුඩයක් නිකුත් කිරීමට ද ජනපති රනිල් කටයුතු කළේ මෙරට වූ දේශපාලන අරගලය ද සිහිපත් කරමිනි.

ඊට අමතරව නිදහස් දින සැමරුම ගැන ද විශේෂ සාකච්ඡාවක් පැවැතියේය. මෙහිදි නිදහස් සැමරුමට වැය වන වියදම පිළිබඳව එහිදි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් අශෝක ප්‍රියන්ත ඇමතිවරයා කීවේ මෙයට යම් වැය බරක් පැවැතිය ද සංචාරක ආකර්ෂණයට මෙය පිටුවහලක් වනු ඇති බවය. ජනපති රනිල් ද සිහිපත් කළේ නත්තල් සමයේ කළ සැමරුම් හේතුවෙන් ලන්ඩනය පෙබරවාරි මාසයේ මෙරට සංචාරයට සුදුසු රටක් ලෙස නම්කොට ඇති බවය.

මහමැතිවරණයේ පොලිස් රාජකාරී දීමනා ලැබී නැහැ

පොලිස්පතිවරයා ද මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල් මුණ ගැසි ඇති බවද එහි සිටි නිලධාරියෙක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුම්වත් කළේ මේ අතරවාරයේය. එහිදි අනාවරණය වූවේ පොලිස්පතිවරයා ඉකුත් මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ලැබිය යුතු දීමනා තවමත් ලැබී නැති බැවින් එය කඩිනමින් ලබා දෙන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බවය.

එහිදි වෙබ් මාධ්‍යයේ පළවු පුවතක් ගැන ජනපති දැනුම්වත් කළේ ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංගය. ඔහු ඒ පුවතේ සත්‍ය අසත්‍යතාව ගැන සොයා බැලීමක් කර තිබුනි.

මැතිවරණ කොමිසමේ සභාපති සාලිය පීරිස් හමුවූයේ ඇයි?

“මැතිවරණ කොමිසමේ සභාපතිට නීතිපති මුණ ගැහිලා උපදෙස් ගන්න කියලා තියෙද්දී එයයි කොමසාරිස් ජනරාලුයි ගිහින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මුණ ගැහිලා උපදෙස් අරගෙන.” ඇමති ප්‍රසන්න කීවේය.

“මටත් ඔය ගැන ආරංචි වුනා. සම්පූර්ණ වැරදි වැඩක්. එහෙම කරන්න බෑ. සභාපතිතුමා කොමිසමට කියලා තියෙන්නේ නීතිපති අධිකරණයේ නඩුවලට පෙනී සිටින්න බෑ කිව්වා ඒක නිසා සාලිය පීරිස් මුණ ගැසෙනවා කියලායි. මම මේ ගැන සොයලා බැලුවා. හැබැයි නීතිපතිතුමා කියලා තියෙන්නේ එක නඩුවකට විතරයි බැරි අනිත් නඩුවලට පුළුවන් කියන කාරණයයි.” වජිර කීවේය.

“මේක වැරදි පූර්වාදර්ශයක්. මේ ගැන මටත් පැමිණිලි ගණනාවක් ආවා.” දිලුම් අමුණුගම ද කතාවට එක්වූවේ එලෙසිනි.

අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2කට රජයෙන් සහල්

ජනපති රනිල් පැමිණ සිටි මැති ඇමතිවරුන්ට පසුව කීවේ මාර්තු හා අප්‍රේල් මාසවලදී අඩු ආදායම්ලාභි පවුල් මිලියන 2 ක් වෙනුවෙන් මසකට හාල් කිලෝ 10 බැඟින් හාල් කිලෝ 20 ක් මාස දෙකක් තුළදී ලබා දෙන බවය. එසේම වී මිල ද රුපියල් 100 කට වඩා අඩුවන්නට ඉඩ නොදී තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ජනපති රනිල් පිරිසට කීවේය.

“ආණ්ඩුව පොහොර දුන්නා. පෝලිම් නැති කළා. වී වෙනුවෙන් සහතික මිලක් දුන්නා. ජනතාවට දැන් ඡන්දය දෙන්න තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමට විතරයි.” ඇමති බන්දුල කියද්දී සැවොම හිස සැලූවේ සිනාසෙමිනි.

“හැබැයි සර් ඡන්දයකට ගියොත් නම් මේ ඔක්කොම ඉවර වෙනවා නේද? ලෝක බැංකුවත් දැන් කියලා තියෙනවා මේ විදියටම ආර්ථිකය කළමනාකරණය කරගෙන ගියොත් ලබන වසරේ ආර්ථික වර්ධනය ධන අගයක් ගනියි කියලා. ඡන්දයකට ගියොත් මේ ඔක්කොම කඩාකප්පල් වෙනවා.” වජිර කීවේ කණගාටුවෙනි.

“මැතිවරණ කොමිසම, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ව කැදවලා ඇප බාර ගන්න එපා කියලා එයා තේරිම්භාර නිලධාරීන්ට යවපු ලියුම ගැන අහන්න. එහෙම කරන්න පුළුවන්ද?” සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා විමසා සිටියේය.

“ලේකම්තුමා ස්වකැමැත්තෙන් ගියොත් මිසක් මැතිවරණ කොමිසමට බලයක් නෑ නිලධාරියෙක් කැදවලා ප්‍රශ්න කරන්න.” එහි සිටි නීති නිලධාරියෙකු කීවේ එවැන්නකි.

චාල්ස් කුමරු ඉදිරිපිට දී මහින්ද ගෝඨාට කීවේ මොනවාද?

මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු මීට වසර කිහිපයකට පෙර ඔටුන්න හිමි චාල්ස් කුමරු වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී සිදු වූ සිදුවීමක් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා හෙළි කළේ පසුගියදා කොළඹ පිහිටි නිවසේ හිතවතුන් පිරිසක් සමඟ කතාබස් කරමින් සිටින අතරතුරය.

මෙහිදී කතාවට මුල්වූයේ ජංගම දුරකතනවලින් දුරකතන ඇමතුම් ගන්නවට වඩා එම ජංගම දුරකතනය ඔබ ඔබ එය නරඹන පුරුද්ද ඉතා වේගයෙන් වැඩි වී තිබෙන බවයි.

“මාර වැඩක් කියන්නේ දැන් හුඟ දෙනෙක් මොබයිල් ෆෝන් කෝල් ගන්නවට වඩා මේක ඔබ ඔබ බලනවා.

චාල්ස් කුමාරයා මීට කලින් ආපු වෙලාවේ මායි, ගෝඨාභයයි අපි කට්ටිය මීට් වුණා. ගෝඨාභය එතකොට ආරක්ෂක ලේකම්.

අපි කතාකර කර ඉන්නකොට මං දැක්කා ගෝඨාභය දිගටම ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. මං ගෝඨාභයට ගෝඨා, ගෝඨා කියලා දෙපාරක් කිව්වා. එතකොට ගෝඨාභයට තේරුණා මං කියන්නේ මොකක්ද? කියලා. එයා අමාත්‍යාංශයෙන් ආපු වැදගත් මැසේජ් වගයක් බලලා තියෙන්නේ" යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ සිට ඇමති ප්‍රසන්න කළ මෙහෙයුම

දෙසතියකට ආසන්න කාලයක් ඉන්දියාවේ සංචාරයක නිරතවූ ඇමති ප්‍රසන්න රණතුංග මෙරටට පැමිණියේ පසුගිය ඉරිදා උදෑසනය.

ඇමති ප්‍රසන්න රණතුංග මෙරටට පැමිණීමට පෙර දිනයේදී ඉන්දියාවේ සිටම ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක නිරතවූයේ සූම් තාක්ෂණය ඔස්සේය. එහිදී ඇමතිවරයා විමසුවේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරඟ කළ යුතු ආකාරය පිළිබඳවය. එහෙත් බොහො දෙනෙකුට පළාත් පාලන මැතිවරණයට තරඟ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි අවබො‍්ධයක් තිබුණේ නැත.

8 වැනි ඉරිදා ලංකාවට පැමිණි වහාම ඇමති ප්‍රසන්න කෙලින්ම ආවේ උඩුගම්පළ කාර්යාලයටය. ඉකුත් මැයි 9 වැනිදා අරගලකරුවන් විසින් ඇමතිවරයාගේ නිවස හා දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කර තිබුණි. මේ වනවිට කාර්යාලය පමණක් පිළිසකර කර තිබේ. ඇමතිවරයා කාර්යාලයට එනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ප්‍රධානීන්, මන්ත්‍රීවරුන් හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ද එතැනට පැමිණ සිටියහ.

“ඡන්දෙදි මොකද කරන්නේ. අපි කතාකරන්න ඕන දේවල් මෙතනම කතාකරගම්මු. මම බැසිල් ඇමතිතුමා හම්බවෙන්න යනවා. ඊට කලින් මෙතන තීරණය දැනගන්න ඕන”ඇමතිවරයා කෙලින්ම පැවසයීය.

“අපි පොහොට්ටුවෙන්ම ඉල්ලමු” බොහෝ දෙනෙකු කී අතර තවත් කිහිප දෙනෙකු කීවේ දිස්ත්‍රික්කයේ කිහිප තැනකට ස්වාධීනව තරඟ කළ යුතු බවය.

“මොනදේ වුනත් අපිට දේශපාලනය කරන්න පක්ෂයක් තියෙනවා. හුඟ දෙනෙක්ට ඕන වුණේ අපේ පක්ෂය ඉස්සරහට එන එක වළක්වන්නයි.අරගල කාරයන්ට ඕන උනෙත් ඒකමයි.”

ඇමති ප්‍රසන්න දීර්ඝ කතාවකට සූදානම් වෙමින් කීය.

“සාමාන්‍ය මිනිස්සු අරගලය පටන්ගත්තේ ඒ අයට ඇත්තටම තිබුණු පීඩාව නිසයි. ඒත් කුමන්ත්‍රණකරුවෝ ඒක මගදි හයිජැක් කළා. දැන් මිනිස්සු පීඩාවට පත්වෙලා ඉන්නේ අරගලය නිසයි.”

“ඒක ඇත්ත සර්... සාමකාමීව විසඳගන්න තිබුණු සමහර ප්‍රශ්න අරගලය නිසා දිග්ගැස්සුණා”

පළාත් පාලන ප්‍රධානියකු කීය.

“මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ වෙන වාසියක් ගන්නයි. රටේ ආර්ථිකය යන්තන් ඔළුව උස්සගෙන එනවා. ආර්ථිකය ශක්තිමත් වුණොත් වෙන්නෙ මොකද්ද කියල විරුද්ධ පක්ෂය දන්නවා. විරුද්ධවාදීන් හිත්නනෙ මේ වෙලාවේ ඡන්දයකට යන එක අපිට අමරුයි කියල. හැබැයි මේ ඡන්දෙන් පැරදුණත් ආණ්ඩුව වෙනස් වෙන්නේ නෑ. බොරදියේ මාළු බාන්න හදන කුමන්ත්‍රණකාරයන්ගෙ උත්සාහය අපි කොහොම හරි පරද්දන්න ඕන.” ඇමති ප්‍රසන්න දැඩිව පැවසීය.

හිටපු අගමැති මහින්ද, බැසිල් හා ඇමැති ප්‍රසන්න රහස් සාකච්ඡාවක

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ප්‍රධානීන්ගේ අදහස දැනගත් ඇමති ප්‍රසන්න ඊට පසුදින එනම් 9 වැනිදා පෙරවරුවේදී බත්තරමුල්ල, නෙළුම් මාවත පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේදී ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හමුවිය. අහම්බයකින් මෙන් මෙම අවස්ථාවට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී විය. මෙම විශේෂ සාකච්ඡාව තිදෙනාටම පමණක්ම සීමාවූවක් විය. එබැවින් මෙම කතාබහ සම්බන්ධ කරුණු කාරණා කිසිවක් මාධ්‍යයට හෙළි නොකිරීමට ද තිදෙනා වග බලාගත්හ.

එම සාකච්ඡාවෙන් පසුව ඇමති ප්‍රසන්න රණතුංග එදින හැන්දෑවේම ගම්පහ ආසනයේ ප්‍රාදේශීය සභා ගම්පහ නගර සභාවේ මන්ත්‍රීවරුන් හමුවිය.

“ගම්පහින් පොහොට්ටුව දිනවන්න ලෑස්තිවෙන්න. මේක දිනන්න පුළුවන් මැච් එකක්” ඇමතිවරයා උද්යෝගිමත්ව කීය.

පළාත් පාලන නියෝජිතයන් ද අත්පොළසන් දෙමින් ඇමතිවරයාගේ කතාවට සහය පළ කළහ.

විජේවීරගේ පවුලට ජ.වි.පෙ. සලකපු හැටි මුජිබර් කියයි

සමඟි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වුයේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව කතාබහ කිරීමටය.

"දැන් වෙන විකල්පයක් නැහැ.අනිත් එක සමගි ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්ම බිහි වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ උරුමය තියෙන තැන. අපිට දෙගිඩියාවක් නැතිව එතෙන්ට එන්න පුළුවන්" බොහෝ දෙනා එලෙස පැවසීය.

මඩවලට වැඩවලින් උත්තර

"දැන් විපක්ෂයේ ඉන්න කණ්ඩායම් ආණ්ඩුවට ගහනවා වෙනුවට කරන්නේ විපක්ෂයටම ගහන එක" එහෙම කිව්වේ ගයන්ත කරුණාතිලක ය.

"ජෙවීපී එක නම් ප්‍රවෘත්ති සාකච්ඡාවකට යන්නෙත් දැන් අපිට ගහන්න බලාගෙන“ මරික්කාර් කීවේය.

"ඒ විතරක් නෙමේ අර පැත්තකින් ඉන්න නායකතුමාගේ අම්මවත් පටලවාගෙන ඒ අය මඩගහනවා."

ජේ.සී අලවතුවල කීවේය.

"ඒ අය චෝදනා කරනවා විපක්ෂ නායකතුමාගේ අම්මව නඩත්තු කරන්නේ මහජන මුදලින් කියලා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ.රණසිංහ ප්‍රේමදාස මහත්මයා මියගිය එල්ටීටීඊ ප්‍රහාරයකින්. එතුමියට විශේෂ වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ."

මහලේකම් රංජිත් කීවේය.

"ඔය ටිකම ඩී.බී විජේතුංග මහත්මයාගේ බිරිඳටත් උරුමයි. ජේ ආර් ජයවර්ධන මහත්මයාගේ බිරිඳටත් උරුමයි. සාමාන්‍යයෙන් ස්වාමියාගේ හරි බිරිඳගෙ හරි කාලත්‍රයාට විශ්‍රාම වැටුප ලැබෙනවා." එහෙම කීවේ කිරිඇල්ල ය.

",මේ වෑයම් කරන්නේ කාලාත්‍රයාට විශ්‍රාම වැටුප ලැබෙන එකටත් තට්ටු කරන්න ද දන්නෙ නෑ"

වඩිවෙල් සුරේෂ් කීවේ බැරෑරුම්වය.

"රෝහණ විජේවීර මහත්මයාගේ බිරිඳ ඇතුළු දරු පිරිස ජීවත් වුණේ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ.

එයාලට අවශ්‍ය පහසුකම්,ඒ දරුවන්ට ඉගෙනීමට අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දුන්නේ ආණ්ඩුව හරහා. අදත් අපි කියනවා ඒක කළ යුතු දෙයක්.

ඒ දරු පවුල ගැනවත් ඇහැක්වත් ඇරලා නොබලපු ජනතා විමුක්ති පෙරමුණට සහකම්පනය නැති එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. හැබැයි අපි චෝදනා කරන්නේ නැහැ විජේවීර මහත්තයාගේ පවුල නඩත්තු වුණේ ආණ්ඩුවෙන් කියලා.මොකද ශිෂ්ට සම්පන්න මිනිස්සු හැටියට ඒක අපිට කරන්න බැහැ."

එහෙම කීවේ මුජිබර් රහුමාන් ය.

ලාල්කාන්තගේ නි‍ෙවස ගැන නලීන් බණ්ඩාර කිවුවේ මොනවාද?

ඒ විතරක් ද අදටත් ලාල්කාන්ත මහත්තයා ජීවත් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි නිල නිවාසෙක.හැබැයි ශිෂ්ට සම්පන්න මිනිස්සු විදිහට අපි අහන්නේ නෑ කොහොමද ලාල්කාන්ත මහත්තයා මන්ත්‍රීවරයෙකුත් නොවී එහෙම නිවසක ජීවත් වෙන්නේ කියලා."

නලින් බණ්ඩාර කීවේය

"මඩ ගහන අයට මඩ ගහන්න කියන්න. අපිට තියෙනවා වැඩ කරන්න.මම කවදාවත් ඒ අයගෙ නම් කියලා චෝදනා කරලා නැහැ. ශිෂ්ට සම්පන්න කවුද කියලා මේ රටේ මිනිස්සු තේරුම් ගනී" සජිත් කීවේය.

මඩවලට එරෙහිව අජිත් රාජපක්ෂගෙන් දැඩි ක්‍රියාමාර්ග

පක්ෂ නායක රැස්වීම 13 වැනිදා උදෑසන 9.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

පක්ෂ නායක රැස්වීම ආරම්භවීමට ස්වල්ප වේලාවකට පෙර අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා එහි පැමිණියේය.

අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා එන විට විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක‍ත් එහි සිටියහ.

නියෝජ්‍ය කථානායක දුටු ලක්ෂ්මන් කිරිඇල්ලත්, අනුර දිසානායක‍ත් සිනහවෙමින් ප්‍රකාශ කළේ ඉඩම් කැබැල්ලක් තියනවානම් අපටත් දෙන ලෙසයි.

“නියෝජ්‍ය කථානායකගෙන් බද්දට ගත් ඉඩමේ කංසා වගාකරලා” යනුවෙන් පුවතක් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වීම නිසා කිරිඇල්ලත්, අනුර දිසානායකත් විහිළුවක් කිරීමේ අරමුණින් මෙසේ විමසා තිබේ.

“මේක අමූලික බොරුවක්. මේ ඉඩම මගේ නොවේ. මේක මඩගහන්න කරපු වැඩක්.

මේකට විරුද්ධව මං පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරනවා. ඒ වගේම නීති මගිනුත් කටයුතු කරනවා” යනුවෙන් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ දැඩිව ප්‍රකාශ කළේය.

“මං හිතුවේ බදු දීපු ඉඩමක මේක වෙලා කියලා” යනුවෙන් අනුර කුමාර දිසානායක පැවසීය.

“නෑ. මන්ත්‍රීතුමා මගේ ගමේ විතරයි මට ඉඩම් තියෙන්නේ. මත්තල මට ඉඩම් නැහැ" යනුවෙන් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

“මේකට වන්දි ඉල්ලලා නඩු දාන්න පුළුවන්. මීට කාලෙකට ඉස්සරවෙලා මට අපහාසයක් වෙලා වන්දි ඉල්ලලා නඩු දාලා රුපියල් ලක්ෂ 15ක් ලැබුණා” යනුවෙන් අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

“මට මතකයි ඒ කාලේ ගාමිණී දිසානායක මහත්තය අපහාස නඩුවක් දාලා මිලියන 3ක් ද කොහේද හම්බවුණා. මේ කාලේ හැටියට අපහාස නඩුවක් දාලා ඔබතුමාට හොඳ වන්දියක් ගන්න පුළුවන්” යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල සිනහවෙමින් පැවසීය.

මෛත්‍රී‍ ඉදිරියේ වජිර රනිල්ට ලකුණු දාපු හැටි

මනුෂ්‍යත්වයේ සමාජ සත්කාර පදනම (MUGP Organization) මගින් සංවිධානය කරන ලද සම්මාන ප්‍රධානොත්සවයක් පසුගිය සිකුරාදා සවස බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වුණු අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වූයේ එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.

සම්මානලාභීන් හට සම්මාන ප්‍රදානය කිරීමෙන් පසුව පැමිණි සිටි පිරිස ඇමතීමට වජිරට අවස්ථාව උදාවිය.

අද අපේ රට තිබෙන්නේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවකයි. ආර්ථික වශයෙන් රට විශාල කඩා වැටීමකට ලක්වෙලා. පසුගිය මාස කිහිපය තුළ ආර්ථික ප්‍රශ්න නිසා රටේ මහජනතාව විශාල ලෙස විවිධ පීඩාවන්ට ලක්වුණා. ඉන්ධන, ගෑස්, කිරිපිටි සොයාගැනීමට පවා නොහැකි වුණා. ජනතාව පෝලිම්වල මියගියා.

නමුත් මේ තත්ත්වය ඉතාම ඉක්මනින්ම වෙනස් කරන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හැකිවුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලපොරොත්තු වන්නේ මේ තත්ත්වයෙන් රට ගොඩගෙන ලංකාව ලෝකය හමුවට ගෙනයාමටයි.

ආර්ථික වශයෙන් රට කඩා වැටී ඇති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීම තුළින් සිදුවන්නේ රට තවත් කඩා වැටී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වීමයි. මේ පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීමට නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකර සියලුදෙනාම ඊට සහයෝගය ලබාදිය යුතුයි.” යැයි වජිර මෙහිදී ප්‍රකාශ කළේය.

Comments