ජීවිතේ පළමු වතාවට එදා මරණ බය දැනුණා | Page 4 | සිළුමිණ

ජීවිතේ පළමු වතාවට එදා මරණ බය දැනුණා

මැයි 9 වැනිදා මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙන නිසා අපට අගමැති කාර්යාලයෙන් දැනුම් දීමක් කළා එතුමාට සුබ පතන්න එන්න කියලා. ඒ අනුව මමත් එදා අරලියගහ මන්දිරයට ගියා. මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමාට සුබ පතලා මම මගේ කාර්යාලයට ආවා. කාර්යාලය තියෙන්නේ තලංගම ඩිපෝව ඉදිරිපිට. හවස් වෙනකම් මම කාර්යාලයේ රාජකාරී කටයුතු කරමින් හිටියා. හවස් වෙද්දි ආරංචි වුණා රට පුරාම කලබලකාරී තත්ත්වයක් ඇතිවෙමින් තිබෙන බව. කාර්යාලයේ රූපවාහිනියෙන් අපි ඒ බව දැක්කා. ඒ අතරේ කොළඹට ඇඳිරි නීතියත් දැම්මා. ඊට පස්සේ බස්නාහිර පළාතටම ඇඳිරි නීතියත් දැම්මා. කොහොමහරි තවත් හවස් වෙද්දි අපිට කාර්යාලයෙන් එළියට බහින්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන බව දැනගන්න ලැබුණා."

ඒ මතක ආවර්ජනය කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ය. දිනය 2022 මැයි 09 වැනිදාය. රටේ දේශපාලන ඉතිහාසයට අභාග්‍ය සම්පන්න මතකයක් ඉතිරි කළ ඒ මැයි 09 වැනිදා ගැන බොහෝ දෙනකුගේ සිත් තුළ ඇත්තේ අඳුරු මතකයකි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර එදා ඔහු මුහුණ දුන් ප්‍රචණ්ඩත්වය පිළිබඳ තවදුරටත් පැවසුවේ මෙලෙසිනි.

" ඒ වෙද්දි රට පුරාම කලබල. තලංගම කොස්වත්ත හන්දියේ පිරිස විශාල වශයෙන් එක්රැස් වෙලා ඝෝෂා කරනවා. මිනිස්සුන්ට පහර දෙනවා. පාරේ යන වාහන නවත්තනවා, ඒවා පරීක්ෂා කරනවා, පහර දෙනවා. පැලවත්ත, මාලඹේ හන්දිවලත් තත්ත්වය ඒකමයි. ඒ වෙද්දි මගේ කාර්ය මණ්ඩලය අතරින් මාත් එක්ක කාර්යාලයේ හිටියේ මගේ ලේකම්වරු දෙතුන්දෙනෙක් සහ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙක් විතරයි. මම තලංගම පොලිසියේ ස්ථානාධිපතිතුමාට දුරකතනයෙන් කතාකරලා කිව්වා තලංගම පිරිසක් කලබලකාරීව හැසිරෙනවා, ඒක වළක්වන්න පියවර ගන්නවාද කියලා. ඔහු කිව්වා ඒක කරන්න බැහැ මන්ත්‍රීතුමා, එතැන මේ ‍වෙලාවේ විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා කියලා. මගේ කාර්යාලය පැත්තටවත් ආරක්ෂාව දෙන්න කියලා මම ඒ වෙලාවේ ඔහුගෙන් ඉල්ලීමක් කළත් ඔහු කිව්වේ ඒකටත් අවස්ථාවක් නැහැ කියලයි. මගේ කාර්යාලයට එහා පැත්තේ තියෙන්නේ හමුදා කඳවුරක්. හමුදාපතිතුමාගේ ආරක්ෂක අංශයේ අය ඉන්නේ ඒ කෑම්ප් එකේ. මම එහි ප්‍රධානියාට කතා කරලා කිව්වා මේ විදිහේ කලබලකාරී තත්ත්වයක් තියෙනවා, ඒ තත්ත්වය ඔබලාටවත් පාලනය කරන්න බැරිද කියලා. ඔහු කිව්වා එහෙම පාලනය කරන්න උපදෙසක් හෝ බලයක් ඔවුන්ට ලැබිලා නැහැ කියලයි. ඒ වෙලාවේ මම ඇහුවා අල්ලපු වැටේ තියෙන මගේ කාර්යාලයට ප්‍රශ්නයක් වුණොත් ඒක වළක්වන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවෙත් ඔහු කිව්වේ බලන්නම්, නමුත් බලධාරියකුගේ උපදෙස් නැතිව තීන්දුවක් ගන්න පුළුවන්කමක් නැහැ කියලයි.

ඒ අතරේ මට ආරංචි වුණා තලංගෙම කොස්වත්තේ කලහකාරී ලෙස හැසිරුණු තුන් හාරසියයක පිරිසක් අපේ කාර්යාලය පැත්තට එන්න ලෑස්ති වෙනවා කියලා. ඒ වෙලාවේ මම මගේ ආරක්ෂක නිලධාරිනුත් එක්ක කතා කරලා තීන්දුවක් ගත්තා. ඒ වෙද්දි අපිට පාරට බහින්න බැරි තත්ත්වයක් තිබුණේ. එහෙම ගියොත් ජීවිතේට හානියක් වෙනවා කියන කාරණය ඒ වෙලාවේ බරපතළ විදිහට අපිට දැනුණා. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා ඉක්මනින්ම කාර්යාලයෙන් පිට වෙන්න"

ඒ ගත් තීරණය නොවන්නට ඇතැම් විට මැයි 9 වැනිදා ප්‍රචණ්ඩකාරීන් විසින් මහමඟදී ඉතා සාහසික ලෙස ඝාතනය කළ අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අත්වූ ඉරණමට සමාන අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට ද සිදු නොවැතැයි කිව හැක්කේ කාටද?

"නාවික හමුදාවේ මගේ මිත්‍රයෙක් ඔහුගේ වාහනයක් එවලා අපිව ඒ ස්ථානයෙන් අරගෙන ගියා. මඟ දිගටම අපි දැක්කේ තැන් තැන්වල ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයන්. කණ්ඩායම් වාහනවලට පහර දෙනවා, වාහන පරීක්ෂා කරනවා, මිනිස්සුන්ට ගහනවා. වාහන, පොදු දේපළවලට හානි කරනවා. අපි අපේ වාහනයකින් ගියා නම් මුහුණ දෙන්න වෙන්නේ ඉතාම අනතුරුදායක තත්ත්වයකටයි. අපි කාර්යාලයෙන් පිටත් වෙලා විනාඩි පහකින් පිරිස අපේ කාර්යාලය අසලට ඇවිත් තිබුණා. මම කාර්යාලයෙන් පිටත් වුණේ රෑ අටට. අටයි පහ වෙද්දි ප්‍රචණ්ඩකාරීන් අපේ කාර්යාලයට ඇවිත් තිබුණා. මුලින්ම ඔවුන් කාර්යාලයේ සීසීටීවී කැමරා පද්ධතියට ගහලා, ඒවා කඩලා ඊට පස්සේ කාර්යාලයේ වීදුරු සම්පූර්ණයෙන්ම කඩලා ලොකු විනාශයක් කරලා. කාර්යාලයේ තිබුණු උපකරණ, ලිපි ගොනු ඒ සියල්ලම විනාශයි. මම පස්සේ දැනගත් තොරතුරු අනුව ඔවුන් කාර්යාලය ගිනි තියන්නත් කටයුතු කර තිබුණත් අසල්වැසියන් මැදිහත් වෙලා එය වළක්වාගෙන තිබුණා."

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පැවසුවේ සිය කාර්යාලය විනාශ කිරීමට පැමිණි පුද්ගලයන් හඳුනා ගැනීමට ඔහු අපොහොසත් වුවත්, අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කරනු ලැබූ විමර්ශනවලින් සැකකරුවන් හඳුනා ගෙන ඇති බවයි. "ඔවුන් ප්‍රකාශ කළ පරිදි කාර්යාලයට පහර දෙන්න පැමිණි පිරිස අතරේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ දෙන්නෙක් ඉඳලා තියෙනවා. එක් අයෙක් ඉංජිනේරු ශිෂ්‍යාවක්. අනෙක් පුද්ගලයා ඉංජිනේරුවෙක්. සැකකරුවන් පොලිසියට දීලා තිබුණු ප්‍රකාශයෙන් හෙළි වෙලා තියෙනවා, ඔවුන් මගේ කාර්යාලයට පහර දෙන්න එන්න පෙර සීතා අරඹෙපොල මන්ත්‍රීතුමියගේ නිවෙසට පහර දෙන්න ගිය කණ්ඩායම එක්කත් ඉඳලා තියෙනවා කියලා. ඊටපස්සේ ඔවුන් නැවත ගෝල්ෆේස් අරගල භූමියටත් ගිහින් තියෙනවා. ඔවුන් හැරුණු කොට මගේ කාර්යාලයට පහර දෙන්න ආ පිරිසෙන් වැඩි පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂවලට සම්බන්ධකම් තියෙන පුද්ගලයන්."

මැයි 9 වැනිදා රට පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් දාමය බොහෝ දෙනකුට සිහිපත් කළේ 1988/89 භීෂණ සමයයි. ඒ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මෙසේ කීවේය.

"88/89 කාලේ මම පාසල් දරුවෙක් නිසා ජවිපෙ භීෂණය සම්බන්ධයෙන් ඍජු අත්දැකීම් මට නැහැ. නමුත් අරංගල හන්දියේ මිනිස්සු මරා දැමීම්, ගිනි තැබීම් සිදුවූ බව මම අසා තිබෙනවා. ඒ කාලෙත් සමාජයේ ලොකු තිගැස්මක්, භීතියක් තිබුණා. නමුත් මගේ දේශපාලන හෝ පෞද්ගලික ජීවිතය තුළ එවැනි තැතිගැන්මක් එහෙමත් නැත්තම් මරණ බය දැනුණු පළමු දවස මැයි 9 වැනිදා කියලා හඳුන්වන්න පුළුවන්. ඒ තරම් බයක් කවදාවත් ඇති වෙලා නැහැ. ඒකට හේතුව එදා බොහෝ දෙනෙක් හැසිරුණේ ගොඩක් ආවේගශීලිව කුපිත වූ ආකාරයටයි. එකතැනක දෙතැනක නෙවෙයි රට පුරාම තිබුණේ එවැනි තත්ත්වයක්. එයින් පැහැදිලි වෙන්නේ ඔවුන් බොහොම කල් ඇතිව ඒ සිදුවීම් දාමය සැලසුම් කර ඇති බවයි. එවැනි මොහොතක් එනතුරු ඔවුන් බලාගෙන ඉඳලා තියෙනවා. ඔවුන් උත්සාහ කරනවා කියන්න, මේක අගමැතිතුමාගේ පිරිස ගෝඨාගමට ගහපු නිසා සිදු වූ දෙයක් කියලා. නමුත් මේක සැලසුම් කළ සිදුවීම් දාමයක් කියලා පැහැදිලියි. මැයි 9 සිදුවීමට කලින් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවෙසට පහර දුන්නා. එතැනත් බස් විනාශ කළා. එතැනත් සිදු වුණේ පිරිස කුපිත කිරීමක්. ඒ දවසට කලින් දවසේ මගේ කාර්යාලයටත් ගලක් ගහලා තිබුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ නිවෙස්වලට පහර දී තිබුණා. එය ඔවුන් පූර්ව සැලසුම්ක් රහිතව කළ අත්හදා බැලීමක්. නමුත් මැයි 9 වැනිදා ඔවුන් එය කළේ සැලසුම් සහිතවයි. ජීවන වියදම ඉහළ යෑම, බඩු මිල වැඩි වීම ආදී ප්‍රශ්න රැසකින් පීඩා විඳිමින් සිටි ජනතාවගේ දුක, වේදනාව ආයුධයක් කරගත් අන්තවාදී බලවේග ඒ තුළින් බලය ලබාගන්න උත්සාහ කිරීමක් එදා වුණේ. ජනාධිපති, අගමැති ඉවත් කරලා එහි කූට ප්‍රාප්තියක් තමයි එදා සිදු වුණේ. ඔවුන්ගේ වෑයම සාර්ථක වුණා නම් මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් ඝාතනය කරලා බලය අල්ල ගන්නවා. වාසනාවකට ඒ වෑයම අසාර්ථක වුණා. ජුනි 9 වැනිදා රූපවාහිනි ආයතනවලට ගිහින් බලය අල්ලන්න, පාර්ලිමේන්තුව වට කරන්න කටයුතු කළා, ඒ සඳහා උපදෙස් දුන් පිරිස අතර ජවිපෙ සහ පෙරටුගාමී ඇතුළු කණ්ඩායම්වල සාමාජිකයන් සිටියා. ඔවුන් උත්සාහ කළේ ජනතා පීඩනය ඇතුළේ බොර දියේ මාළු බාන්න උත්සාහ කිරීමක්."

බත්තරමුල්ල ඉන්ද්‍ර ජෝති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ජගත් කුමාර, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී බාහිර උපාධිධාරියකු වන ඔහු, කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ සමස්ත ලංකා අමද්‍යප සංගමයේ භාණ්ඩාගාරික ලෙස ද කටයුතු කළේය. 1994දී සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ වීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බඳුය.

"සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරමින් එදා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කිව්වේ, යෞවන යෞවනියනි, හෙට නෙවෙයි අද රට භාර ගන්න කියලයි. ඒ හරහා බලාපොරොත්තු වුණේ තරුණයන්ට රටේ වගකීම් භාර දීලා නායකත්වයට හුරු කරවීම. ඒ කිව්වා වගේම සමෘද්ධි ව්‍යාපාරය මට වගේම තරුණයන් විශාල පිරිසකට හොඳ අවස්ථාවක් වුණා වගකීම් දරන්න, අභියෝගවලට මුහුණ දෙන්න පුරුදු වෙන්න. මම වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම, පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් පාලන ආයතනවල සභාපතිවරු විදිහටත් එදා සමෘද්ධි ව්‍යාපාරයෙන් ආව කිහිප දෙනෙක්ම ඉන්නවා. මේ දක්වා මම අවුරුදු 25ක් සමෘද්ධි නිලධාරීන්ගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් විදිහට කටයුතු කරනවා. මම උසස්පෙළ කරද්දි දේශපාලන විද්‍යාව විෂයයක් විදිහට ඉගෙන ගත්තා. ඒ තුළින් සෑහෙන අත්දැකීම් ලැබුවා. අදටත් මම ගරු කරනවා, මට දේශපාලනය ඉගැන්වූ කුසුමා රාජපක්ෂ ගුරුතුමියට. එතුමියගෙන් න්‍යායාත්මකව ඉගෙන ගත් දේශපාලනය මම ප්‍රායෝගිකව ප්‍රගුණ කිරීම ආරම්භ කළේ කඩුවෙල ප්‍රාදේශීය සභාවෙන්."

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරගේ දේශපාලන ගමන් මඟ කෙටියෙන් සඳහන් කළහොත් ඔහු තරුණ මන්ත්‍රීවරයකු ලෙස කඩුවෙල ප්‍රාදේශීය සභාවට තේරී පත්වන්නේ 2002 වසරේදීය. 2009දී බස්නාහිර පළාත් සභාවට තේරී පත්වී වසර 10ක් අඛණ්ඩව පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන ඔහු පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙනි. අත්දැකීම් සහිත මහජන නියෝජිතයකු ලෙස රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඔහුගේ අදහස් මෙසේය.

ජනතා පීඩනය වැඩි වෙද්දි ඇති වුණු අරගලය තුළ වැඩි වශයෙන් හිටියේ මේ රටේ තරුණයෝ. ඒක අසාධාරණ නැහැ. ඉස්සර මම වෘත්තිය සමිති ලියුම්වල ලිව්වෙත් අරගලයෙන් තොර ජයග්‍රහණයක් නැහැ කියලා. ඒක ඇත්ත. නමුත් අරගල කළ යුත්තේ යම් සීමාවන් සමඟයි. ජනතාවගේ ජීවිත එක්ක අරගල කරන්න බැහැ. මිනිස්සු මරලා, ගෙවල් ගිනි තියලා, දේපළ විනාශ කරලා අරගල කරන්න බැහැ. අරගල කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීවයි. ජනතාව ආණ්ඩුවට බලපෑම් කළ යුතුයි. නමුත් අරගලය මුවාවෙන් ඇතැම් පාර්ශ්වයන් ඇතැම් තැන්වලදී ඔවුන්ගේ පටු දේශපාලන ඕනෑඑපාකම් වෙනුවෙන් තරුණ පිරිස් පාවිච්චි කළා. මේ රට තරුණ කැරලි දෙකකට මුහුණ දීලා තියෙනවා. ඒවායින් රට ආපස්සට ගියා මිසක් ඉස්සරහට ගියේ නැහැ. රට ඉස්සරහට යන්න නම් හැම දෙනාම එකතු වෙලා තමන්ගේ යුතුකම් ඉටු කළ යුතුයි. දේශපාලඥයන්ට පමණක් චෝදනා කිරීමෙන් රට හදන්න බෑ. දූෂණ, වංචා සිදු කරන දේශපාලඥයන් ඉවත් කිරීම අංක එක විය යුතුයි වගේම බොහෝ තීන්දු තීරණ ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවය තුළ සිදුවන අක්‍රමිකතාත් නැවැත්විය යුතුයි.

මේ රට ගොඩගන්න බැරි රටක් නෙවෙයි. දශක තුනක් තිබුණු යුද්ධය නතර කරන්න හැකි වුණේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් දුන් නායකත්වය නිසයි. රට වෙනුවෙන් එතුමන්ලා හොඳ නායකත්වයක් දීලා තියෙනවා. යම් යම් අඩුපාඩු වෙන්න ඇති, නමුත් හැමදේම වැරදියි කියන එක සාධාරණ නැහැ.

වත්මන් ජනාධිපතිතුමා රට අර්බුදයෙන් ගොඩ ගන්න විශාල උත්සාහයක් ගන්නවා. අපි හැමෝගෙම යුතුකම මේ වෙලාවේ ඊට සහයෝගය දීමයි. දේශපාලන පක්ෂ තමන්ගෙ පක්ෂයම බලයට ගේන්න වෙහෙස නොවී මේ වෙලාවේ තිබෙන ආණ්ඩුවට සහයෝගය දීමයි කළ යුත්තේ. ආණ්ඩුව වැටෙනවා කියන්නේ රට වැටෙනවා. රට වැටෙනවා කියන්නේ අඳුරු වෙන්නේ අපේ දරුවන්ගේ හෙට දවසයි. ආණ්ඩු වෙනස් කරන එක ජනතා අයිතිය.

ඡන්දයකදී කැමැති ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. දැන් තියෙන ආණ්ඩුවට වැඩ කරන්න දෙන්න. මේ සත්‍යය සියලු දෙනා තේරුම් ගත යුතුයි.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

Comments