චන්ද්‍රිකා රහසේ හමු වූ හිටපු අමාත්‍යවරුන් කවුද? | Page 3 | සිළුමිණ

චන්ද්‍රිකා රහසේ හමු වූ හිටපු අමාත්‍යවරුන් කවුද?

2023 නව වසරේ පාර්ලිමේන්තුව රැස්වුණේ පසුගිය 05 වැනිදාය. කථානායක මහින්ද යාපා අ‍බේවර්ධන රාජකාරී කටයුත්තකට විදේශගත වී සිටින නිසා පාර්ලිමේන්තුව රැස්වුණේ අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි. නියෝජ්‍ය කථානායකවරයා මුලින්ම මැතිසබයට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක්කළ අතර ඉන් අනතුරුව දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාත්, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයාත් ඇතුළු පක්ෂ නායකයෝ නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කළහ. 

මහින්දට සලකන බවට ප්‍රබල රටකින් පණිවිඩයක්

මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණෙන විට පිළිගැනීමට ගොස් සිටියේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරය.

මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා මැතිස‍බයේ සහා ගර්භයට යන විට අතරමඟදී රජයේ ඉහළම නිලධාරියකු ඇතුළු නිලධාරීන් පිරිසක් මුණ ගැසුණේය.

“IMF ආධාර ඉල්ල ඉල්ල යන්න ඕන නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිධුරයට පත්කරනවා නම් අපි කොතරම් උදවු උපකාර වෙනදාටත් වැඩියෙන් ශ්‍රී ලංකාවට ලබා දෙනවා” යනුවෙන් එක් ප්‍රබල විදෙස් රටක තානාපතිවරයෙකු රාජ්‍ය නිලධාරීන් සමඟ පැවති සාකච්ජාවකදී කරපු ප්‍රකාශයක් එම රාජ්‍ය නිලධාරියා විසින් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කරන ලදි. “ඒ කියන්නේ මට තාමත් හොඳ ඉල්ලුමක් තියෙනවා කියන එක නේද?” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා කියපු කතාවට සියල්ලෝම සිනාසුණහ.

ගංජා ගහන වෛද්‍යවරයකුගෙන් ඩයනාට ඇමතුමක්

පාර්ලිමේන්තු සංකීර්ණයේදී සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සමඟ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේත් බොහෝ දෙනකු විමසන්නට වූයේ ඩයනාගේ ද්විත්ව පුරවැසිභාවය ගැනය.

“ඔය ද්විත්ව පුරවැසිභාවය ගැන අසත්‍ය, අනවශ්‍ය කතා පතුරවන කට්ටියට මං හොඳ පාඩමක් උගන්නනවා” යනුවෙන් ඩයනා පැවසුවේ තරමක අවේගශීලි අයුරිනි.

“මොකක්ද ඒ ගොල්ලන්ට කරන්න යන්නේ” යනුවෙන් ආණ්ඩු පක්ෂයේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඩයනාගෙන විමසීය.

ඒ ගොල්ලන්ට ඕන තරම් වටේ ගිහිල්ලා අන්තිමට මගේ ළඟට එන්න වෙනවා. අදාළ ඩොකියුමන්ට්ස් තියෙන්නේ මගේ ළඟ. ” යනුවෙන් ඩයනා පැවසුවේ මඳක් සිනාසෙමිනි.

මේ අතර අපනයනය කිරීම සඳහා කංසා වගා කිරීමේ ඩයනාගේ යෝජනාව ගැනද කතා කිරීමට ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමතක නොකළහ.

“මං කියන්නේ මේ පාර දිගේ ගංජා ගගහ ඇවිදින්න කියන එක නොවෙයි. ඖෂධ ඇතුළු නිෂ්පාදන සඳහා කංසා අපනයනය කරලා විශාල මුදලක් රටට හිමිකර ගන්න පුළුවන්. තණමල්විල ගිහිල්ලා නියම සිස්ටම් එකට ගංජා වගා කරලා හරි විදියට අපනයනය කරලා රටට විශාල මුදලක් ලබා ගන්න පුළුවන්.

ගංජා ඖෂධයක් කියලා මුළු ලෝකයම පිළිගන්නවා. ගංජා ගහන ඩොක්ටර් කෙනෙක් මට කෝල් කරලා කිවුවේ ගංජාවල තියෙන ඖෂධීය ගුණය ගැනයි” යනුවෙන්ද ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

පොහොට්ටුවේ නැකත

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම මුලින්ම සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් කළුතර දිස්ත්‍රික්කයට අදාළ ඇප මුදල් තැන්පත් කළේ නැකතකට වීම තවත් විශේෂත්වයකි. ඒ් උදෑසන 10.33ට යෙදුණු සුබ මොහොතිනි.

ජනපති ලේකම් කාර්යාලයට විශාල පිරිසක්

“පැය අටේ සේවය. දින පහේ රාජකාරිය යන මානසිකත්වයෙන් මිදෙන්න.” ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක මණ්ඩලය අමතා අවුරුද්දේ පළවෙනි දවසේ දුන් ඔවදන එයය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික ධජය එසවීමෙන් පසු ජනපති රනිල් සිය සේවකයන් ඇමතූවේ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපස තරප්පු පෙළ මත සිටය.

විනාඩි කිහිපයක සුළු කතාවක් කිරීමෙන් අනතුරුව ඔහු ගියේ සිය කාර්යාලයේ රාජකාරි ආරම්භ කිරීමටය. සේවක මණ්ඩලය වෙනුවෙන් ස්ථාන දෙකක අවුරුදු කෑම මේස සූදානම් කර තිබුණේ සාම්ප්‍රදායිකවය.

“සර් අවුරුදු කෑම මේසය විවෘත කරන්න එනකම් කට්ටිය බලාගෙන ඉන්නවා.” පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ජනපති දැනුම්වත් කළ පසු ඔහු වහාම එදෙසට ගියේය. ජනපති කාර්යාලය එදින විවෘත ආරාධනා සහිත ස්ථානයක්වීම නිසා බොහෝ පිරිසක් එහි පැමිණියේ ජනපති ඇතුළු ප්‍රධානීන්ට නව වසරට සුබ පතන්නටය. ජනාධිපති ලේකම් කාර්යාලයේ අමුත්තන්ගේ භෝජනාගාරයේ සූදානම් කර තිබූ කෑම මේසය දෙසට ජනපති යද්දී ජනපති ලේකම් සමන් ඒකනායක ගියේ ගොඩනැගිල්ලේ පිටත සූදානම් කර තිබූ අනෙක් අවුරුදු කෑම මේසය දෙසටය.

ජනපති ලේකම් එදෙසට ගමන් කරද්දී අතරමඟ දී මුණ ගැසුණු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ඇතුළු පිරිසක් ද එදෙසට කැඳවා ගෙන ගියේය. ජනපති ලේකම් සමන් ඒකනායක සේවකයන්ට ආහාර අනුභවයට එදෙසට කැදවාගෙන ගොස් ඔහු ද එහි සිට ආහාර අනුභව කළේය.

“කාලෙකට පස්සේ ජනපති ලේකම් කෙනෙක් අපිත් එක්ක කෑම කනවා.” එහි සිටි පැරණි සේවකයෙක් තවත් සේවකයකුට කීවේ ඉතිහාසය ද සිහිපත් කරමිනි.

ජනපති ලේකම් සේවකයන් සමඟ ආහාර ගෙන අවසන්ව යළිත් අමුත්තන්ගේ භෝජනාගාරය වෙත යන විටත් එහි කටයුතු අවසන්ව තිබුණේ නැත. ජනපති රනිල් අසුන් ගෙන සිටි මේසය වටා එ.ජා.ප මන්ත්‍රී වජිර අබේවර්ධන, කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් චින්තක කරුණාරත්න අසුන්ගෙන සිටි අතර ජනපති ලේකම් ද එහි අසුනකට බර වූවේය.

ජනපති රනිල්ගේ එංගලන්ත මිතුරා දුන් සහතිකය

මැති ඇමැතිවරු ද බොහෝ පිරිසක් එහි පැමිණියේ ජනපතිට නව වසරට සුබ පතන්නටය. එදින සවස ජනපතිට පැරණි විදේශ දේශපාලන මිතුරකු මුණ ගැසීමට අවස්ථාව හිමි වූවේය. ඒ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් සිය පවුලේ ඥාතීන් සමඟ මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඩේවිඩ් කැමරන් උණුසුම්ව පිළිගත් ජනපතිවරයා ඔහු සමඟ කළ සාකච්ඡාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ලේකම් සමන් ඒකනායක මෙන්ම ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ ද සම්බන්ධ කර ගත්හ.

ජනපති රනිල් මුලින්ම ඔහුගෙන් විමසා සිටියේ ලංකාවේ ගත කළ නිවාඩු කාලය ගැනය. “මම ඉතාම ප්‍රිය කරන රටක් ලංකාව. ඉතින් මම හොඳ නිවාඩුවක් පවුලේ අයත් සමඟ ගත කළා.” කැමරන් පිළිතුරු දුන්නේය.

ඔහු විමසා සිටියේ තමන්ගෙන් මේ සුන්දර දිවයිනට ඉටුවිය යුතු දේ කුමක් ද කියාය. ඊට පිළිතුරු දෙමින් ජනපති රනිල් ජාත්‍යන්තර වෙළෙඳාම ගැන හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ගැන මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ද විස්තරයක් කළේය.

කොළඹ වරාය නගරය නැරඹීමට ගොස් සිටි ඔහු ඒ ගැන ප්‍රසාදයෙන් අදහස් දැක්වූවේය. නිදහස් වෙළෙද ගිවිසුම් ගැන මෙන්ම නැවත හිස ඔසවන කොවිඩ් වසංගතය ගැන ද කතා කළ ඩේවිඩ් කැමරන් රසායනික පොහොර නොලැබීම මත කෘෂිකර්මාන්තයේ ඇතිවූ පසුබෑම ගැන ද කතා කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තමන්ගේ පැත්තෙන් දිය හැකි සහයෝගය දෙන බව කී කැමරන් හිටපු අගමැතිවරයා රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කිරීම ගැන මෙන්ම රටේ සංහිඳියාව ඇති කිරීමට ජනපති ගන්නා උත්සාහය අගය කළේය.

ජනපති නිදහසට කරුණු විමසයි

ජනපතිට ලැබුණු දුරකතන පණිවුඩයකින් කියැවුණේ රාජ්‍ය ආයතන තුනක් මුදල් අමාත්‍යාංශ දැනුම් දීම කඩ කරමින් බෝනස් ගෙවා ඇති බවටය.

ලාභ නොලබන කිසිදු රාජ්‍ය ආයතනයක් ප්‍රසාද දීමනා හෙවත් බෝනස් නොගෙවිය යුතු බව මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය සංස්ථා, මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන වෙත දැනුම් දී තිබුණි. එසේ තිබියදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය හා ශ්‍රී ලන්කන් ගුවන් සේවය බෝනස් ගෙවා ඇති බව දැනගත් ජනපති රනිල් මේ ගැන වහාම සොයා බලන ලෙස ජනපති ලේකම් වෙත දැනුම් දුන්නේය. එහිදි ඔහු නැවත දැනුම් දී තිබුණේ විදුලිබල මණ්ඩලය ප්‍රසාද දීමනා ගෙවා නොමැති බවය.

“අනෙක් ආයතන දෙකේ සභාපතිවරුන්ගෙන් මේ ගැන වහාම නිදහසට කරුණු විමසන්න.” ජනපති රනිල් ලේකම් සමන්ට උපදෙස් දුන්නේ එලෙසය. එය මාධ්‍ය තුළ විශාල කතා බහක් ඇති කළ පුවතක් වූවා සේම ජනතාවද දැඩි කම්පනයට පත් කරන පුවතක් වූවේය.

කිසිවකු බලාපොරොත්තු නොවූ රනිල්ගේ පිළිතුර

ජනපති එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව මුණගැසුණේය. එහිදි පක්ෂ සභාපති වජිර විමසා සිටියේ ඉදිරි මැතිවරණය ගැනය.

“පළාත් පාලන ඡන්දය ගැන මැතිවරණ කොමිසම ගන්න තීන්දුව ගැන මම බලාගෙන ඉන්නවා. “ ජනපති කීවේය.

“අපි නාම යෝජනා මණ්ඩල පත් කරලා ඉදිරි වැඩකටයුතු සූදානම් කරන්නම්. සර්ගේ මූලිකත්වයෙන් මේ වැඩේ කරමු.” පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් කියද්දී ජනපතිගෙන් ලැබුණේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ පිළිතුරකි.

“මම මේ මැතිවරණයේ කිසිදු වැඩකට සම්බන්ධ වෙන්නේ නෑ. පක්ෂ නාම යෝජනා අනුමත කරන කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මුලසුනට විතරක් සම්බන්ධ වෙන්නම්. මට කරන්න වෙන වැඩක් තියෙනවා. මට වරමක් ලැබිලා තියෙන්නෙ රටේ ආර්ථිකය හදන්න. ඔයාලා ඡන්ද ව්‍යාපාරය කරන්න.” ජනපති කීවේය.

මැතිවරණ කොමිසමේ බෙදීම ගැන වජිර කියයි

“මැතිවරණ කොමිසම බෙදිලා කියලා කතාවක් යනවා. සභාපතිතුමා තනි මතයට වැඩ කරනවා කියලා තමයි ආරංචිය.” වජිර යළි කීවේය.

“මටත් ඒ ගැන දැනගන්න ලැබුණා. මම අගමැතිතුමාට කිවුවා මේ ගැන නීතිපතිතුමාත් එක්ක කතා කරලා බලන්න කියලා.” ජනපති කීවේ එවැන්නකි.

“දැන් අපිට ආයෙත් 8000 ට වැඩි සභික පිරිසකට දීමනා දෙන්න වෙනවා.” සාගල කිව්වේ බැරෑරුම්වය.

“භාණ්ඩාගාරයේ සල්ලි නෑ. දැන් තියෙන මුදල් බැලුවම අපට දෙන්න පුළුවන් 4000 ට විතරයි. ඉතිරි කට්ටියට ස්වේච්ඡාවෙන් තමයි වැඩ කරන්න වෙන්නේ.” ජනපති කීවේ නළල රැලි ගන්වමිනි.

“අපි එහෙනම් ඒ අයට කියමු වසරෙන් වසර බෙදාගෙන තට්ටු මාරු ක්‍රමයට වැඩ කරන්න කියලා. මන්ත්‍රීවරු 4000 ක් වැටුප් අරන් එක අවුරුද්දක් වැඩ කරනවා. අනෙක් 4000 ඊළඟ අවුරුද්දේ වැටුප් අරන් වැඩ කරනවා. ඒකත් හොඳ ක්‍රමයක්.” යැයි කළ වජිරගේ යෝජනාවට සැවොම කොක් හැඬලූහ.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය නිකුත් වූ අතර ජනපතිට ආරංචි වූයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ අත්සනින් තොරව ගැසට් පත්‍රය මුද්‍රණය කර ඇති බවය.

අගමැති මාධ්‍ය මිතුරන් හමුවෙයි

2022 වසර අවසාන වෙන්න තිබියදී තියා දෙසැම්බර් 30 වැනිදා මාධ්‍යවේදීන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

රටේ ප්‍රශ්න රැසක් උද්ගතව ඇති අවස්ථාවක කා බී විනෝද වීම සුදුසු නැතැයි සිතූ අග්‍රාමාත්‍යවරයා මෙම හමුව කෙටි ආහාර වේලකට පමණක් සීමා කරන ලෙස දැනුම් දී තිබිණී.

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් පසුව මාධ්‍ය මිතුරන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

එය වෙනස්ම ආකාරයේ මිතුරු හමුවක් විය. එළිමහනේ පැවැත්වුණු මෙහි හිඳගැනීමට ආසන පනවා නොතිබුණි. මලින් සැරසූ ස්ටෑන්ඩ් ටේබල් කිහිපයක් එහි විය. උද්‍යානය කෙළවරක සංග්‍රහය සූදානම් කර තිබිණි.

අගමැතිතුමා මේ අවස්ථාවට සහභාගී වන විටත් මාධ්‍යවේදීහු බොහෝ පිරිසක් එහි පැමිණ සිටියහ.

අග්‍ර­ාමාත්‍යවරයා සමග ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර ද එක්ව සිටි අතර ඔවුන් පැමිණි මාධ්‍යවේදීන් සමග ඉතා කුළුපගව කතාබහක යෙදිණි. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ඉතිහාස රස කතා කියමින් එතැන සිනා සයුරක් කළේය.

අරගලකරුවන් සිදු කළ තවත් හානි එළියට

" මේ හට් එක ගහලා තියෙන තැන ටිකක් විශේෂයි" ඒ අගමැතිවරයාය. " මොකක්ද ඒ විශේෂත්වය"මාධ්‍යවේදීන් පෙරළා ප්‍රශ්න කළේය. " මෙතන තමයි මන්දිරය අල්ලගත්ත අය උයා පිහා ගත්තෙ" අග්‍රාමාත්‍යවරයා සිනාමුසුව කීය.

"දරලිප්වලින් නේද මෙතන උයලා තියෙන්නේ" තවත් මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් නැගීය.

" ඔව්. ඒ අය දර විදිහට භාවිතා කරලා තිබුණේ මන්දිරයේ තිබුණු ඓතිහාසික වටිනා දැව භාණ්ඩ" ඒ පෙදෙස හොඳින් නිරීක්ෂණය කළ තවත් මාධ්‍යවේදියෙක් " මං ඒත් බැලුවා.... නිලට තියෙන තණකොළ පිට්ටනියේ මෙතන විතරක් පොළොව හිස් ඇයි කියලා" යි කීය.

චන්ද්‍රිකාගේ සයකන් මන්ත්‍රණය

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි නිල නි‌ෙවසේදී මේ දිනවල යම් යම් දේශපාලන රහස් කතාබස් සිදු වේ. 2022 වසර අවසාන‍යේදීත් 2023 වසර ආරම්භයේදීත් මෙම සාකච්ජා සිදු වී ඇති බව වාර්තා‍ වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මුලින්ම චන්ද්‍රිකා සමඟ කතාබස් කළ අතර එහිදී බොහෝ කතාබස් සිදු වූයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විවේචනය කරමිනි.

ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වී ස්වාධීනව කටයුතු කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු පසුගියදා චන්ද්‍රිකා හමුවී දීර්ඝ වේලාවක් කතාබස් කොට ඇති බව වාර්තා වේ. චන්ද්‍රිකා හමු වී එසේ කතාබස් කළේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි චන්ද්‍රිකා හමුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වුහ. පොහොට්ටුවේ දේශපාලනය දැඩි ලෙස මෙහිදී විවේචනය කර ඇති චන්ද්‍රිකා දැඩිව ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි ඕනෑම මැතිවරණයකදී පොහොට්ටුවට මතක හිටින පාඩමක් ඉගැන්විය යුතු බවයි.

සජිත්ගෙන් ගයන්තට හයේ පහරක්

විපක්ෂ නායක සජිත් පසුගිය සතිය පුරාම බෙහෙවින් ම කාර්යබහුල වූයේ ඔහු විසින් ක්‍රියාත්මක සක්වළ වැඩසටහනට අදාළ බස්රථ පරිත්‍යාග කිරීම් වැඩසටහන නිසාය.

සතියක් තුළ බස්රථ දොළහක් ඔහු පරිත්‍යාග කරනු ලැබීය. එක් දිනක් තුළ පාසල් 4 කට බස්රථ පරිත්‍යාග කිරීම ද යෙදී තිබුණි. බද්දේගම උඩුගම විද්‍යාලයට බස් රථය ලබා දීමෙන් අනතුරුව සජිත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ද අමතක නොකළේය.

එහිදී පන්දු යැවීම සිදු කළේ ගයන්ත කරුණාතිලක ය. ගයන්ත එවූ පළමු පන්දුවට සජිත් හයේ පහරක් එල්ල කළ අතර, ඊළඟ පන්දුව කඩුල්ලේ ගෑවී නොගෑවී ගියේය.

"ගයන්ත දක්ෂ බෝලර් කෙනෙක්. ඉස්සර ඉඳන්ම එහෙම තමා" සජිත් එහෙම කීවේ ය.

වජිරට විශේෂ සුබ පැතුම්

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනට පසුගිය සති අන්තය වෙනදාටත් වඩා කාර්යබහුල විය.

“ඇමැතිතුමා, සුබ නව වසරක් වේවා. ඔබතුමාගේ උත්සාහයයි, කැපවීමයි නිසා තමයි අද අපේ රටේ ජනතාවට මේ විදිහට නව වසර පිළිගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැමෝම අරගලවලට බයේ හැංගෙන කොට ඔබතුමා විතරයි බය නැතිව එළියට බැහැලා කිව්වේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට රට බාර දෙන්න කියලා. එද ඒකේ ප්‍රතිඵල ජනතාව භුක්ති විඳිනවා. ඇත්තටම ඉතින් මේකේ සම්පූර්ණ ගෞරවයම යන්න ඕනේ ඔබතුමාට තමයි.”

වජිර මුණගැසීමට පැමිණි ඇතමෙක් මෙසේ ප්‍රකාශ කරනවිට වජිර පැවසුවේ මෙවන් අදහසකි.

“මං හැමදාමත් හිටගත්තේ හරි පැත්තේ. එදා අපි මැතිවරණය පැරදුණා තමයි. නමුත් ඉතාමත් ඉක්මනින් නැවතත් සත්‍ය ජයගත්තා. කොහොම නමුත් අවසානේදී 2023 නව වසර ලබනකොට අපේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ඉතින් ඒ නිසාම අපේ ඉදිරිය ගැන නම් අපි පොඩ්ඩක්වත් දැන් බිය විය යුතු නැහැ.” යනුවෙන් වජිර ඔවුන්ට පැවසුවේය.

අරගල භූමිය සැණකෙළි භූමියක් වූ හැටි

මේ අතර නිවසට පැමිණි තවත් කෙනෙක් සිය දුරකතනය ද අතට ගෙන වජිරට පෙන්වමින් කියා සිටියේ, “මේ බලන්නකෝ ඇම­ැතිතුමා ගෝල්ෆේස්වල ඉන්න සෙනඟ. මේ හැමෝම තමන්ගේ නිදහස භුක්ති විඳින්න ආව අය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුළුවන් වුණා අරගල භූමිය සැණකෙලි භූමියක් කරන්න.”

“මිනිස්සු අරගල කරන්නේ තමන්ගේ ජීවත් වීමේ නිදහස හෝ ජීවත් වීමේ අයිතිය නැති වෙනවනම්. එදා නැතිවුණු ඒ සියලු අයිතීන් යළි ලබා දෙන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හැකිවුණා. ඒක මේ තරම් ඉක්මනටම ලැබුණු එක තවත් ලොකු ජයග්‍රහණයක්. ” යනුවෙන් වජිර පැවසුවේ නිහතමානී සතුටකිනි.

අජිත් රාජපක්ෂට වයස 0 යි

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය 06 වැනිදාටය. ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් දේශපාලනඥයින් රැසක්ම අජිත් රාජපක්ෂට සුබ පතා තිබීම විශේෂත්වයි.

මේ වෙනුවෙන් අජිත් රාජපක්ෂ ද දැනුම්වත් නොකර ඉතා චාම් උත්සවයක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේ කාර්ය මණ්ඩලය සංවිධානය කර තිබුණි.

කුඩා කේක් ගෙඩියක් ගෙනවිත් තිබූ අතර උපන්දිනයට අදාළ වන ඉලක්කමක් සහිත ඉටි පන්දමක් සොයා ගැනීමට නොහැකි වූ නිසා 0 සඳහන් ඉටිපන්දමක් කේක් ගෙඩිය උඩ සකසා තිබුණි.

අනපේක්ෂිතව තමන් වෙනුවෙන් කේක් ගෙඩියක් ගෙනවිත් තිබෙන බව දැනගත් නියෝජ්‍ය කථානායකවරයා පුදුමයට පත් වූ අතර තම කාර්ය මණ්ඩලය සුබ පතද්දී ඉටිපන්දම නිවා කුඩා කේක් ගෙඩිය අජිත් රාජපක්ෂ විසින් කපන ලදි.

0 (බිංදුව) ඉලක්කමෙහි ඉටි පන්දම දුටු අජිත් රාජපක්ෂ “මේක නම් හරිම හොඳයි. මගේ වයස තවම බිංදුවයි” යනුවෙන් කරපු ප්‍රකාශයට සියල්ලෝම සිනාසුණහ.

Comments