එක්සත් අරාබි එමීරය බබළවමින් විස්සයි20 කාන්තා ක්‍රිකට් පිටියේ හොඳම පිතිකාරිනිය වූ අපේ කවිෂා | Page 6 | සිළුමිණ

එක්සත් අරාබි එමීරය බබළවමින් විස්සයි20 කාන්තා ක්‍රිකට් පිටියේ හොඳම පිතිකාරිනිය වූ අපේ කවිෂා

කුත් 2022 වසර කෙනෙකුට ප්‍රීතියෙන් පිරුණු සුබදායකම වසරක් වෙද්දී තවත් අයකුට එය දුක සහ අවාසනාව පිරුණු අවුරුද්දක් වුවාට සැකයක් නැත. එහෙත් මේ කතාවේ කතා නායිකාවට ගෙවී ගිය වසර පමණක් නොව අවුරුදු එකොළහ සම්පූර්ණ වූ දින සිටම සුබය. පසුගිය වසරේ පන්දු වාර විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගවලදී වැඩිම ලකුණුලාභිනිය වන්නේ ඇයයි. ලෝක වාර්තා දෙකකට හිමිකම් කියන ඇය නමින් කවිෂා කුමාරි එගොඩගේ ය. ලංකාවට කුමාරියක් නොවුණත් ඩුබායි රාජ්‍යයට නම් ඇය කුමාරිකාවකි. පිත්තෙන් පන්දුවෙන් ක්‍රිකට් අරඹ එළිය කළ ඇය ඉපදෙන්නේ ඩුබායි රාජ්‍යයේය. එනිසාම ඇය අයිති අපට නොව එරටටය. එහෙත් කවිෂා කැමති ලංකාවටය. ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමටය. මේ වන විට 19 වැනි වියේ පසුවන කවිෂා, 2003 වසරේ අප්‍රේල් මස 23 වැනිදා ඩුබායි හිදී උපත ලබන්නේ ජගත් කුමාර හා චාන්දනී දසනායක යුවළට දාවය. කුලුඳුල් දියණිය මෙන්ම පවුලේ එකම දරුවා ද වන ඇය මවුපියන්ට අනර්ඝ වස්තුවකි. කවිෂාගේ පියා ජගත් කුමාර ඇය ගැන සිළුමිණට කතා කළේ නිහතමානී ආඩම්බරයකිනි. 

“අපි ඩුබායි රාජ්‍යයට ඇවිත් දැන් අවුරුදු තිහකට වැඩියි. අපි පන්නිපිටියේ පදිංචිකරුවන් වුණත් දැන් ජීවත් වෙන්නේ මෙහේ. අපි දැන් මෙහෙට හුරුවෙලා ඉන්න නිසා ලංකාවට කවදා එයිද කියලා හිතන්න අමාරුයි. කවිෂා අපේ එකම දුව. මම හිතන්නේ එයා ක්‍රිකට්වලට ආස වෙන්න හේතුව එයා පුංචි කාලේ ඉඳලම දැක්කේ මම ටීවී එකෙන් ක්‍රිකට් මැච් බලනවා. එයත් මාත් එක්ක වැඩි වෙලා මැච් බැලුවා. අරාබි රටක් වුණාට මෙහේ ක්‍රීඩා කරන්න අවස්ථා තියෙනවා. දුව අඩු වයසින්ම ඩුබායි ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වුණා. ඒක අහම්බයක් නෙවෙයි, එයාගේ කැපවීම් නිසයි ඒ අවස්ථාව ලැබුණේ. දුව පාසල් ගියේ ඩුබායි අරාබි යුනිට් පාසලට. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණා. දැන් තොරතුරු තාක්ෂණ අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. මේ වන විට ඇය අවසන් වසරේ සිසුවියක්.”

කවිෂා ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම පිහිනීමට හා නර්තනයට ද දස්කම් පාන්නීය. එහෙත් ඒ සියල්ල පසෙකලා ඇය ක්‍රිකට් පිත්තටත් පන්දුවටත් වැඩියෙන් ඇලුම් කළ ඇය ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගත්තා පමණක් නොව ඒ නිසාම ලෝකයක් දිනුවාය.

“පොඩි කාලේ දුවට ප්ලාස්ටික් බෝලයක් තිබ්බා. එයා ඒ බෝලේ බිත්තියට ගහලා අල්ලනවා. අම්මගෙන් බැණුම් අහලත් තියෙනවා එහෙම ගහද්දි ‘ටොක් ටොක්’ සද්දේ ඇහෙන නිසා. ඒත් දුව තනියම සෙල්ලම් කළා. මම ක්‍රිකට්වලට කැමති කෙනෙක් නිසා මම එයාට ඕන දෙයක් කරන්න ඉඩ දුන්නා. වයස අවුරුදු හයේදී එයා දහම් පාසලේ විකට ඇඳුම් තරගයකට ඇන්ඳෙත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේ. එදා එයා බෝල් ක‍ළේ ඩිල්ස්කුප් විදිහටයි. ඊට පස්සේ මගේ යාළුවෙක්ගේ පුතෙක් ගිය ක්ලබ් එකට මම දුවව දැම්මා. එතකොට එයාට වයස අවුරුදු 11යි. පිරිමි ළමයි එක්ක තමයි සෙල්ලම් කරන්න තිබුණේ. මුලින් පුහුණුකරු දුවට දුන්නේ සැහැල්ලු පන්දුවක්. සතියකින් විතර හාඩ් බෝල් එක දුන්නා, මෙයා දක්ෂයි කියලා. අවුරුදු 9න් කණ්ඩායමේ නායකයා වුණා. එක සැරයක් පිරිමි ළමයි එක්ක මැච් එකක් සෙල්ලම් කරලා තරගයේ වීරයා වුණා. එදා කණ්ඩායමේ පිරිමි ළමයි දහයට හිටිය එකම ගැහැනු ළමයා කවිෂා දුව. ඒක තමයි පටන් ගැන්ම. ඊට පස්සේ පුංචි කාලේම එක එක තරගවලට ක්‍රීඩා කළා. මුලින්ම ආරම්භක පිතිකරුවෙක් විදිහටත් පසුව තුන් ඉරියව් ක්‍රීඩිකාවක් විදිහටත් ක්‍රීඩා කළා. ඩුබායි නියෝජනය කරමින් 2014දී ඕමානයට ගියා. එතකොට දුවට වයස අවුරුදු 11යි. අඩුම තරමින් එයා තනියම ඔළුව පීරගන්නවත් දන්නෙ නැහැ. ඒ නිසා අපි බය වුණා තනියම යවන්නත්. සාජාවල තිබුණු ඒ තරගයට ක්‍රීඩා කළේ දඟ පන්දු යවන්නෙක් විදිහටයි. ඊට පස්සේ 2020-2022 ලෝක කුසලාන තරගයට ගියා. එහිදී නේපාලය එක්ක තිබුණු තරගයේදී ඩුබායි කණ්ඩායම පරදින්න යද්දි දුව තමයි ඒ තරගය දිනවලා දුන්නේ. එදා එයා ලකුණු 52ක් අරගෙන ළාබාලතම ක්‍රීඩිකාව විදිහට වාර්තාවකුත් තිබ්බා.

ඉන්දියාවේ ශකිලා වර්මා වාර්තාවක් තිබ්බ වෙලාවේ ටයිම් ඔෆ් ඉන්දියා පත්තරේට දුවගෙ දක්ෂතා ගැනඅගයමින් කතා කරලා තිබ්බා. ඒ විදිහට ඇය දිනෙන් දින ඉදිරියට ගියා. කවිෂා දුව තියපු දෙවැනි වාර්තාව එක නම් කාටවත්ම කඩන්න බැහැ. අන්තර් විශ්වවිද්‍යාල ලෝක කුසලාන තරගාවලියේදී තැබූ වාර්තාව වෙනුවෙන් දුව සම්මාන ලැබුවේ ලෝ ප්‍රකට ක්‍රීඩක කුමාර සංගක්කාර අතින් වීම වටිනාම අවස්ථාවක්. ඒ වගේම දුව ඩුබායි ජාතික කණ්ඩායම නොකඩවා නියෝජනය කරනවා. 2018, 2019 සහ 2022 වසරවලදී ඩුබායි ලීග් තරගාවලිය නියෝජනය කළා. ඒ තුන් වතාවේදීම දක්ෂතම ක්‍රීඩිකාව වුණා.” 

ලෝකයේ සුපිරි ක්‍රීඩිකාවන් සමඟ එකට එක ගැටී ආසියාවේ හයිය පෙන්නු කවිෂා, ‘ඩුබායි ද ස්පීන්’ ක්‍රීඩා සමාජය නියෝජනය කරන්නීය. ඇය 2019 වර්ෂයේ ලංකාවට පැමිණ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කළ අතර, එහිදී ඇයට ක්‍රීඩිකා චාමනි සෙනෙවිරත්න හා පුහුණුකාරිනි රන්දිකා උදවු කළ බව ද කවිෂාගේ පියා මතක් කළේය.

“දුව අනුගමනය කරන්නේ ටී. එම්. ඩිල්ශාන්ව, චමරි අතපත්තු වගේම ශෂිකලා සිරිවර්ධනටත් කැමතියි.”

කවිෂාගේ පියා එසේ කියද්දි මම ඔහුගෙන් විමසුවේ ඇයගේ දක්ෂතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලබා දීමට කැමැත්තක් නැද්ද යන පැනයයි.

“ආසියානු කුසලාන තරගාවලියට එක්වූ අවස්ථාවේ බංග්ලාදේශයේ පුහුණුකරු හෂාන් තිලකරත්න දුවත් එක්ක කතා කරලා මට කතා කළා. එතුමා කිව්වා කොහොම හරි ලංකාවේ ලීග් එකක් ගස්සන්න කවිෂාට අවස්ථාව අරන් දෙන්නම් කියලා. එතකොට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එකතු වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලත් කිව්වා. ඇත්තටම කිව්වොත් මම නම් ඒකට කැමති නැහැ. ඒත් දුවගේ එකම බලාපොරොත්තුව ඒකයි. එයා කියන්නේ කොහොම හරි ලංකාවට ක්‍රීඩා කරන්න ඕනේ කියලයි. මේ අවුරුද්දේ දුවගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් අවසන් වෙනවා. එයා කැමති දේකට ඉඩ දෙනවා. දුව හොංකොං ලීග් එකටත් සම්බන්ධ වුණා. ඊළඟ එකටත් ආරාධනා ලැබෙයි කියලා හිතනවා.”

තවමත් කවිෂාගේ පුහුණුවීම් කටයුතු සඳහා ඇයට පියාගේ උදවු ලැබෙයි. ඒ ගැන මතක් කිරීමටත් ඔහු අමතක නොකළේය.

“දුවගේ ෆිට්නස් තියා ගන්න එයා මහන්සි වෙනවා. දවසට පැය දෙකක් ප්‍රැක්ටිස් කරනවා. ගොඩක් වෙලාවට එයාට මම පැය දෙකක් බෝලේ විසි කරනවා බැට් කරන්න. ඒ වගේම එයාගේ ක්ලබ් එකෙන් එයාට ලොකු අවස්ථාවක් ලැබුණා පොඩි ළමයින්ගේ පුහුණුකාරිනියක් විදිහට වැඩ කරන්න.”

මේ කතාබහට කවිෂාගේ ආදරණීය මව චාන්දනි ද එකතු වූයේ කවිෂාගේ කුඩා වියේ සොඳුරු අත්දැකීම් ගැන වඩාත් හොඳින් දන්නේ ඇය නිසාය.

“දුව පුංචි කාලේ ඉඳලා වැඩිපුරම බැණුම් ඇහුවේ මගෙන්. ඒ ක්‍රිකට් නිසයි. අදටත් මම නම් කැමතිම නැහැ දුව ක්‍රිකට් ගහනවට. පොඩි කාලේ ඉඳලා ආසාවට ගවුම් අන්දන්න බැහැ, කොට කලිසම්, ටීෂර්ට් ඇන්ඳේ. අදටත් එහෙමයි. මම බල කරලා ගවුමක් ඇන්දුවා එයාගේ උපාධි ප්‍රදානෝත්සවයට. පොඩි කාලේ සෙල්ලම් බඩු ඔක්කොම පැත්තකින් තියලා බෝලෙයි බැට් එක අතට ගත්තේ. දුව ඉන්නේ තනියම නිසා එයා සෙල්ලම් කරන්නේ, රණ්ඩු කරන්නේ සේරම තාත්තා එක්ක තමයි. දුව නටන්නත් දක්ෂයි. මම කිව්වා ක්‍රිකට් අත හැරලා නැටුම් කරන්න කියලා. ඒත් එයාගේ තාත්තා කිව්වා, ඔයා කැමති දේ තෝරා ගන්න ඉඩ දෙනවා කියලා. දුව කිව්වා ඔක්කොම නවත්‍තලා ක්‍රිකට් ගහන්නම් කියලා. තාත්තා ඒකට ඉඩ දුන්නේ අම්මගේ බලාපොරොත්තු ඉටු කරන්න ඕනේ නැත්තම් ක්‍රිකට් ගහන්න දෙන්නේ නැහැ කියලා. මොකද මට ඕන වුණේ දුව හොඳට ඉගෙන ගන්නවා දකින්නයි. දුව ගණිතයට හරිම දක්ෂයි. ඒ නිසා ක්‍රිකට් නතර කරයි කියලා බයට දුව හොඳින් ඉගෙන ගත්තා. දැන් මම නම් කියන්නේ ක්‍රිකට් පැත්තකින් තියලා ඩිග්‍රි එක කරලා ජොබ් එකක් කරන්න කියලා. ඒත් එයා ඒකට කැමති නැහැ.”

කවිෂා ගැන ආදරණීය මව එසේ කීවාය. කවිෂා පවුලට දඟකාර චරිතයක් වුවත් පිටතට නම් අහිංසක යුවතියක බව ඇය ගැන හොඳින්ම දන්නා මව කීවාය. පසුගිය වසරේ පන්දු වාර විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගවලදී වැඩිම ලකුණුලාභියා වූ කවිෂා කුමාරි එගොඩගේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ද අනගි සම්පතක් වනු ඇත. වයස අවුරුදු 19 වන විට ලොව අංක එකේ දක්ෂතා දක්වන්නට ඇයට හයියක් තිබුණා නම් තව වසර දෙක තුනකින් ඇය ක්‍රිකට් පිටිය තුළ කුමන පෙරළියක් කරනු ඇත්දැයි සිතාගත නොහැකිය.


Comments