අපේ ක්‍රිකට් අම්බරයම එකලු කරන මොරටු පැංචා | සිළුමිණ

අපේ ක්‍රිකට් අම්බරයම එකලු කරන මොරටු පැංචා

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග දුනිත්ට තිළිණ කළ පන්දුව

- පුතා කණ්ඩායමට තේරුණා කියන තැන ඉදලා මම හිටියේ පුදුමාකාර බයකින්
- මට කරන්න බැරි වුණුදේ පුතා ඉටුකරනවා දකින්න මට හීනයක් තිබුණා
- දුනිත්ගේ හිස අත ගාමින් මැක්ස්වෙල් කිව්වේ මොනවාද?
- දුනිත් අහිංසක වුණාට හරිම දඟකාරයෙක්

සුරංග වෙල්ලාලගේ හා හර්ෂණී කාංචනා ප්‍රනාන්දුට දාව වර්ෂ 2003 ජනවාරි මස නව වැනිදා උපන් දුනිත් වෙල්ලාලගේ වයස අවුරුදු හතරක් ගතවීමටත් පෙර සිටම ප්‍රිය කළ සෙල්ලම් භාණ්ඩය වූයේ ප්ලාස්ටික් හෝ රබර් පන්දු පමණි. ඔහුගේ පියා 1993 වර්ෂයේදී මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයීය 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරමින් ක්‍රිඩා කළ නිසා පුතු දුනිත් ද පියාගේ අඩි පාරේ යමින් පිත්තෙන් හා පන්දුවෙන් දක්ෂතා දක්වාවි යැයි ඔහුගේ මව හර්ෂණීගේ සිතේ සිහිනයක් විය. දුනිත් ඉපිද වසර නවයක් යන්නටත් මත්තෙන් ඒ සිහින මල්ඵල ගැන්විණ.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඇතුළත් වී සිප්සතර හැදෑරූ දුනිත් නවවැනි ශ්‍රේණියේදී එම පාසලට ආයුබෝවන් කියා මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයට ඇතුළත් වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නිසාමය. වයස අවුරුදු 13දී වයස අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දුනිත්, එම කණ්ඩායම සමඟ වසර කිහිපයක්ම ක්‍රීඩා කිරීමට තරම් වාසනාවන්ත වන්නේ ඔහුගේ පිත්තේ හා පන්දුවේ ශක්තිය නිසාමය. පාසල් ක්‍රිකට් කණ්ඩායම් තුළ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වීමටත් සමත් වූ දුනිත් එතැනින් නොනැවතී 2018 සිට 2021 දක්වාම පාසල් ක්‍රිකට් කණ්ඩායමට ආලෝකයක් විය. 2021 වර්ෂයේ ශාන්ත ජෝශප් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ දුනිත් නායකයකු ලෙස ක්‍රීඩා කළ 19න් පහළ පාසල් කණඩායම් තරග 13න් 11කම ජයග්‍රහණ සිය කණ්ඩායම සතු කරගන්නට තරම් දක්ෂයකු විය. නායකයකු ලෙස ඔහුගේ තරග ජයග්‍රාහී ප්‍රතිශතය සියයට 91.66ක් වන අතර, එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ 19න් පහළ නායකයකු සතු ඉහළම ජයග්‍රාහී ප්‍රතිශතය ද එයයි. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි අවස්ථා වාර්තා වෙන්නේ දෙකක් පමණී.

මෑතකදී මෙතරම් අඩු වයසකින් ජාතික කණ්ඩායම නියෝජනය කළ එකම ක්‍රීඩකයා වන්නේ ද දුනිත් වෙල්ලාලගේ ය. ප්‍රවීණ ක්‍රීඩක අර්ජුන රණතුංග ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ ඔහුට වයස අවුරුදු 18යි මාස 2ක්ව තිබියදීය. අරවින්ද ද සිල්වා හා සංජීව වීරසිංහ ද ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ අඩු වයසින්ය. අර්ජුන රණතුංග මෙන් වමත් පිතිකරුවකු වූ දුනිත් ද අනාගතයේ අර්ජුන රණතුංග කෙනෙක් වෙන බව සහතික විය හැකි බවට බොහෝ දෙනෙකුගේ මතයයි.

“මගේ පුතාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය තමයි 2022 වර්ෂයේ 19 න් පහළ ලෝක කුසලාන තරග නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම. ඒ තරගාවලියේ ලකුණු 267ක් ලබා ගනිමින් කඩුළු 18ක් ලබා ගන්න පුතාට හැකියාව ලැබුණා. ඒ වගේම ICC එක ලෝක මට්ටමින් හදන ක්‍රීඩකයන් දොළොස් දෙනෙකුගෙන් යුතු ඒ කණ්ඩායමට දුනිත්ව තෝරාගන්නේ හය වැනි ක්‍රීඩකයා හැටියට. එහිදී ලංකාව නියෝජනය කළේ දුනිත් විතරයි. ඒ නැඟී එන කණ්ඩායම එක්ක එංගලන්තයට ගිය පුතා දින හතරේ තරගයේදී කඩුළු පහක්, ලකුණු 143ක් ගත්තා. ඒ ඕවර පනහක් තුළ. ලංකාවට ආ ගමන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ඒ කණ්ඩායම සමඟ පැවති එක් දින තරග දෙකෙන් පළමු තරගයේදී ලකුණු 33ක් හා කඩුළු දෙකක් ගන්නවා. දෙවැනි තරගයේදි පන්දූ 8ට නොදැවී ලකුණු 18ක් ලබා ගන්නවා. ඒ තරගය දිනන්න නම් වේගවත් ලකුණු සංඛ්‍යාවක් අවශ්‍ය වෙලා තිබ්බා. දුනිත් කණ්ඩායම වෙනුවෙන් ඒ සහාය ලබා දුන්නා.“

ක්‍රිකට් පිළිබඳ මනා අවබෝධයක් හා පළපුරුද්දක් ඇති දුනිත් වෙල්ලාලගේ ගේ ආදරණීය පියා, සුරංග වෙල්ලාලගේ තම වැඩිමහල් පුත්‍රයාගේ දක්ෂතා ගැන එසේ සඳහන් කළේය.

එම තරගයේ දෙවැනි තරගය අතරතුර තමන්ගේ වාරය එනතුරු දුනිත් විවේකාගාරයේ රැඳෙමින් තරගය රූපවාහිනි තිරයෙන් නරඹමින් සිටියදී ඔහුගේ දෙඇස් අදහා ගත නොහැකි සිදුවීමක් සිදුවිය. ඒ, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊළඟ තරගාවලිය සඳහා ක්‍රීඩකයන් විසිඑක් දෙනාගේ ලැයිස්තුව විකාශය කිරීමයි. ඒ අතර දුනිත් වෙල්ලාලගේ නම සඳහන් වද්දී ඒ සැණින් විවේකාගාරයේ සිටි ක්‍රීඩකයන්, පුහුණුකරුවන් දුනිත්ට සුබ පතන්නට වූහ. සතුට ඉහවහා ගියත් ඒ සතුට මොහොතකට අමතක කළ දුනිත් ක්‍රීඩා පිටියට ගොස් ඔහුගේ වගකීම තවදුරටත් ඉටු කළේය.

“මමත් ගෙදර ඉඳලා ඒ තරගය රූපවාහිනියෙන් නරඹමින් හිටියේ. ඊළඟ වන්ඩේ ස්කොඩ් එක දානවා මම දැක්කා. ඒකේ පුතාගේ නමත් තිබ්බා. මට නම් ඒ සිදුවීම විශ්වාස කරන්න පුළුවන් වුණේ නැහැ. පුතාට සැලසුමක් අනුව වැඩ කරන්න මමත් උදවු කරනවා. අපි දෙන්නා ප්ලෑන් කළේ එයාට අවුරුදු විසි දෙකක් හෝ විසි තුනක් වෙද්දි ඒ ඉලක්කයට යමු කියලා. ඒ නිසා මේ සිදුවීම මටත් පුතාටත් අහම්බයක්. ඒක පුදුමාකාර පුදුම කිරීමක්. තරග අතරතුර ක්‍රීඩකයන්ට ජංගම දුරකතන භාවිත කරන්න බැහැනේ. මැච් එක ඉවර වුණු ගමන්ම මම පුතාට කෝල් කළා. පුතාගෙන් ඇහුවා ඔයාට මොකක් හරි දෙයක් ආරංචි වුණාද කියලා. පුතා කිව්වා “ඔව් තාත්තේ මගේ නම ඊළඟ ස්කොඩ් එකට තියෙනවා. මටත් ඒක කල්පනාවක් වුණේ නැහැ. මගේ නම දැක්කට මම ඒක එච්චර හිතුවේ නැහැ. වැරදීමක් කියලා හිතුවේ. නමුත් කට්ටිය ඔක්කොම මගේ ළඟට ඇවිත් සුබ පැතුවා. ජාතික කණ්ඩායමට ඔයාගේ නම තියෙනවා කියලා එයාලා සතුටින් කතා කළා..“ කියලා කිව්වා. එතකොට තමයි පුතා විශ්වාස කරලා තියෙන්නේ. එයා හරිම සතුටින් හිටියේ. මේ ලැබුණු අවස්ථාව හරිම පරිස්සමින් පාවිච්චි කරන්න ඕන තාත්තේ කියලත් පුතා කිව්වා...“

දුනිත් ජාතික කණ්ඩායමට ඇතුළත් වූ අයුරු දුනිත්ගේ පියා එසේ පැවසුවේ නිහතමානීවය. එහෙත් තම පුතු පිත්තෙන් හා පන්දුවෙන් දක්ෂතා දක්වන්නේ ලොව අංක එකේ ජාතික ක්‍රිකට් කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ බව සිහිවද්දී නම් තම හදගැස්ම වේගවත් වූ බවද ඔහු කීවේය. දුනිත්ට වඩා පළපුරුද්ද හා දක්ෂතා ඉහළින්ම ඇති ක්‍රීඩකයන් සමඟ උරෙන් උර ගැටෙන්නට තරම් මානසික මට්ටමක් දුනිත් සතුව ඇතිද යන ප්‍රශ්නය ඊළඟට ඔහුගේ පියා වූ සුරංගට මතු විය.

“පුතා ස්කොඩ් එකට සිලෙක්ට් වුණා කියන එක සතුටක්. ඒත් මම ඒ මොහොතේ ඉඳලා හිටියේ පුදුමාකාර බයකින්. මොකද මේ පළමු තරගය, සෙල්ලම් කරන්නෙ අංක එකේ කණ්ඩායමක් එක්ක. ලේසි නැහැ. මට උණ වගේ. පුතාගේ වයසත් එක්ක ඔවුන්ගේ ක්‍රීඩා විලාසය පුතාට ඔරොත්තු දෙයිද? ඔවුන්ගේ ශක්තිය දැකලා පුතා මානසිකව වැටෙයිද? මේ වගේ ප්‍රශ්න මගේ හිතට ආවා. නමුත් පුතා එක්ක කතා කරද්දි ඒක එයාට ගානක්වත් තිබුණේ නැහැ.

“තාත්තා බය වෙන්න එපා. මම මානසිකව වැටෙන්නේ නැහැ. කණ්ඩායම සහ රට වෙනුවෙන් මට පුළුවන් උපරිමය මම ක්‍රීඩා කරන්නම්. මගේ වයසට මේ අවස්ථාව මට තේරිම් කමිටුව දුන්නේ මාව විශ්වාස කරලා වෙන්න ඇති. මට සෙල්ලම් කරන්න හයියක් තියෙනවා කියලා අවස්ථාවක් දීලා බලන්න ඇති. ඒ නිසා මම ඒ වගකීම ඉටු කරන්න ඕන තාත්තේ. තාත්තා බය වෙන්න එපා. මම හොඳට සෙල්ලම් කරන්නම්. “කිව්වා. මම හිතන්නෙ පුතාට අවුරුදු දහතුනේදී පුතා අවුරුදු 15න් පහළ පාසල් කණ්ඩායම නියෝජනය කරලා දක්ෂතා පෙන්නපු නිසා එයාට වයස ඉලක්කමක් විතරයි කියලා හිතෙන්න ඇති. පුතාගේ ඒ ශක්තිය හා විශ්වාසය ගැන මට සතුටුයි.

පුතාගේ අඩුපාඩු ටික ඉක්මනට හදා ගන්න රුවන් කල්පගේ මහත්මයා ඇතුළු කණ්ඩායම හරියට උදවු කළා. ඒ වගේම හෂාන් තිලකරත්න, චමින්ද වාස්, සචින් පතිරණ, උපුල් චන්දන, චමිල ගමගේ, අවිශ්ක ගුණවර්ධන, තිලිණ කණ්ඩම්බි, රොජර් විජේසූරිය, නිරෝෂන් බණ්ඩාරතිලක, ඩිලන් රාමනායක, රෂාන් පීරිස්, මොහාන් ප්‍රනාන්දු, නලීන් විජේසිංහ, නිශාන්ත ප්‍රනාන්දු කියන ගුරුවරු ඇතුළු බොහෝ පිරිසක් උදවු කළා. මේ වෙද්දි මගේ වයස අවුරුදු 47යි. මට ඕන වුණේ මට කරන්න බැරි වුණු දේ මම මැරෙන්න කලින් මගේ පුතා ඉටු කරනවා දකින්නයි. ඔහු ඒ හීනය ඉටු කළා...“

එක් දින පිටියට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ මේ කෝඩුකාරයාගේ පළමු පන්දුව කඩුල්ලක් බවට පත් වෙන්නේ ලෝකය පිතිකරණයෙන් හොල්ලා සිටින ආරෝන් ෆින්ච් නම් වූ 35 හැවිරිදි සුපිරි පිතිකරුවායි. දුනිත්ට වඩා අවුරුදු 16ක් වැඩිමහල් අතිශය සාර්ථක පිතිකරුවා පිටියට පිවිසෙන්නට ඇත්තේ මේ කෝඩුකාරයාගේ පන්දුව තමාට “මහා ලොකු එකක්” නොවන බව සිතා වෙන්නට පුළුවන. එහෙත් ඔහුත් ලෝකයත් මවිත කරමින් ප්‍රතිවාදී පිතිකරුවන්ට හොඳ පන්දු යවන්නෙක් මෙන්ම ප්‍රතිවාදී පන්දු යවන්නන්ට දක්ෂ පිතිකරුවෙක් බවට දුනිත් ඔහුගේ ශක්තිය පෙන්වා අවසනය. 33න් හැවිරිදි ස්ටිව් ස්මිත් පමණක් නොව කවුරුත් කතා කරන ක්‍රීඩකයෙක් බවට දුනිත් වෙල්ලාලගේ පත්වීමේ සම්පුර්ණ ගෞරවය හිමි වන්නේ ශ්‍රී ලංකාවටය. 33 හැවිරිදි දකුණත් පිතිකරු ග්ලෙන් මැක්ස්ෙවල් මේ කෝඩුකාරයා සුහදව වැලඳගෙන සිය සුබපැතුම් පිරිනැමුවේය.

“මැක්ස්වේල් කියන්නේ මුළු ලෝකයම ආදරය කරන දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු මගේ පුතා ළඟට ඇවිත් ඔයා වටිනා ක්‍රීඩකයෙක්, ඔයා ක්‍රීඩා කළේ වටිනා තරගයක්. ඔයා දවා ගත්තේ අසීරූ ක්‍රීඩකයන්ගේ කඩුළු. ඒ වගේම දක්ෂ පන්දු යවන්නන්ගේ පන්දුවලට තමයි ඔයා බය නැතුව ලකුණු ගත්තේ. අඩුපාඩු හදාගෙන මේ ගමන ගියොත් ඔයාට දුර ගමනක් යන්න පුළුවන්. ඔයා ලංකාවට වටින ක්‍රීඩකයෙක්” කියලා. ඇත්තටම ඒ වගේ වචන අහන්න දුනිත් වාසනාවන්තයි. ඒ වගේම ලසිත් මාලිංග කියන ලෝක පූජිත පන්දු යවන්නා මගේ පුතාව පුදුම කළා පන්දුවක් තිළිණ කරලා. ඒ පන්දුවේ පුතා මුලින්ම ක්‍රීඩා කළේ කවදද, ක්‍රීඩාංගණය, දවාගත් පළමු කඩුල්ල, විනිසුරුවන්ගේ නම් ඇතුළත් කරලා තිබ්බා. ඒක වටින තෑග්ගක්. පුතාගේ පන්දු පුහුණුකරු විදිහට කටයුතු කළේ පියල් විජේතුංග මහත්මයා. ලසිත් කියන්නේ ෆාස්ට් බෝලිර් කෝච්. නමුත් එතුමා මගේ පුතා වෙනුවෙන් කළ දේ අගය කරනවා...ඒ වගේම එක් දින පිටියේ හිස් වැසුම පුතාට පැලඳුවේ වනිඳු හසරංග. ඔහුගේ ආශිර්වාදයත් පුතාට තිබ්බා...“

දුනිත්ගේ ආදරණීය පියාණන් තම පුතණුවන්ට ලැබුණු ආශිර්වාද ගැන එසේ සතුටින් කතා කළේය. දුනිත් සේම ඔහුගේ බාල සහෝදරයන් දෙදෙනාත් ක්‍රීඩාවේ හපනුන්ය. 15 හැවිරිදි පුනිල සේනාත් වෙල්ලාලගේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය නියෝජනය කරන බැට්මින්ටන් ක්‍රීඩකයෙකි. ඔහු කනිෂ්ඨ ජාතික බැට්මින්ටන් සංචිතය ද නියෝජනය කරයි. 13 හැවිරිදි පවුලේ බඩපිස්සා චමත් චිතිර වෙල්ලාලගේ ද ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දුනිත්ගේ ආදරණීය මව හර්ෂණී කාංචනා ප්‍රනාන්දු ඔහුගේ කුඩා කාලයේ මතක අවදි කළේ මෙලෙසිනි.

දුනිත් අහිංසක දරුවෙක් වුණත් හරිම දගකාරයෙක් පොඩි කාලේ ඉඳලම. මම ආතර් සී ක්ලාක් එකේ ජොබ් එක කළේ. ඒ කාලේ දුනිත්ට සෙල්ලම් බඩු ගෙනත් දුන්නම එයා සෙල්ලම් කරන්නේ රබර් බෝල හෝ ප්ලාස්ටික් බෝල එක්ක විතරයි. දවසක් ගෙදරට අලුත්ම විදුරු කබඩ් එකක් ගෙනත් පැයක්වත් ගියේ නැහැ දුනිත් ගේ ඇතුළේ බෝල ගහන්න ගිහින් ඒ කබඩ් එකේ වීදුරු ටික කුඩු වුණා. ඒත් අපි දරුවට මොකුත් කිව්වේ නැහැ. එතකොට එයාගේ වයස අවුරුදු හතරක් පහක් විතර ඇති. අපේ ගෙදර ලොකු මිදුලක් නැති නිසා ගේ ඇතුළේ තමයි දරුවෝ ගොඩක් වෙලාවට සෙල්ලම් කළේ. ඉගෙන ගන්නත් දක්ෂ වුණත් ක්‍රිකට් එක්ක දුනිත්ගේ අධ්‍යාපන කටයුතු මගහැරුණා. දුනිත් පොඩි කාලේ පිහිනුම් කටයුතු කළා. බැට්මින්ටන් ක්‍රීඩා කළා. ඊට පස්සේ ක්‍රිකට් ඇකඩමියට පුතාව තේරුණා. පුතාලගේ තාත්තා රැකියාවට ගිහින් රෑ වෙලා ගෙදර එන්නේ. ඒ නිසා මට දරුවෝ තුන්දෙනාගේ හැම වැඩකටම සම්බන්ධ වෙන්න සිදු වුණ නිසා මම රැකියාවෙන් අයින් වුණා.

පුතාට මම කොට කලිසමක් අන්දලා, ලී පිත්තකුයි, රබර් බෝලයකුයි අරන් දීලා ක්‍රිකට් ඇකඩමියට එක්කගෙන ගියා. එතකොට එයාට වයස අවුරුදු 7ක්. එදා මම පුතාට කිව්වා පුතේ ඔයා ක්‍රිකට්වලට සම්බන්ධ වුණු නිසා දැන් නම් තාත්තා ඔයාගේ වැඩවලට එයි කියලා. පුහුණුකරුවන්ගේ සහයෝගය උපරිමයෙන් ලැබෙද්දි සුරංග දුනිත් ළඟින්ම හිටියා. දුනිත්ගේ මැච් එකක් දෙකක් මගහැරුණට අනිත් හැම තරගයක් බලන්න සුරංග යනවා. තරග නරඹන්න නොලැබුණු දවසට එයා තාප්පවල එල්ලිලා පුතාගේ මැච් බලලා තියෙනවා...“

දුෂ්කරතා පවා සුන්දර අත්දැකීම් බවට පත්කරගනිමින් දරුවාගේ සිහින තම බලාපොරොත්තු කරගෙන ජීවිතය ගෙවී ගිය හැටි දුනිත්ගේ මව සිහි කරන්නේ ආදරයෙනි.

“දුනිත් මල්ලිලා දෙන්නට හරි ආදරෙයි. යාළුවෝ වගේ ඉන්නේ. රණ්ඩු වෙන අවස්ථාත් තියෙනවා. ඒත් දුනිත් පුතා කවදාවත් කෙනෙක්ගේ හිතක් රිද්දන්නෙ නෑ. එයාට නොගැළපෙන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙනවා මිසක්. දැන් අපි ඉන්න ලේන් එකේ පුංචි ළමයි, ලොකු ළමයි බලාගෙන ඉන්නවා දුනිත් එනකල් එයා එක්ක සෙල්ලම් කරන්න. පසුගිය කාලේ එයා ගෙවල් ළඟ තියෙන ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න ගියා. බෝලේ ඈතට ගියාම මෙයා බෝලේ ගන්න දුවලා යද්දී එයාට වැඩිමහල් ළමයි පවා ඔයා යන්න එපා මල්ලී අපි ගේන්නම් කියලා බෝලේ හොයන්න යනවලු. ඒතරම් දුනිත් එක්ක ළමයි කිට්ටුයි..“

මොරටුව ගමම සුරංග වෙල්ලාලගේ ගේ පුතා දුනිත් කියා සිහිකරද්දී, ලෝකයම මේ කොලු ගැටයාගේ දක්ෂතා ගැන කතා කරන්නට පටන් ගෙන ඇත. අරවින්ද ද සිල්වා, චමින්ද වාස් වැනි ක්‍රීඩකයන් සමඟ අසූව දශකයේ අගභාගයේදී දුනිත්ගේ ආදරණීය පියා සුරංග වෙල්ලාලගේ ක්‍රීඩා කර ඇතත් පියාගේ අඩි පාරේ ගියත් දුනිත් කිසි දිනෙක ඒ කිසිවකින් අයුතු ප්‍රයෝජන ගත්තේ නැත. කිසිවකු නොදන්නා සේ දක්ෂතා දක්වමින් ඔහු ඔහුගේ ඉලක්කයට ළඟාවිය.

“නවලෝක ගෲප් එකේ ඉද්දී සුරංග අරවින්ද, වාස් එක්ක ක්‍රීඩා කරලා තියෙනවා. වාස් එක්ක සුරංග එකට ඒ කාලේ කෝච්චියේ පවා යනවලු. එයා ක්‍රිකට් අතරමග නතර කළේ ඒ කාලේ තිබ්බ ගැටලු එක්ක. නමුත් ඒ ගැටලු කවදාවත් පුතාලට අත්විඳින්න සුරංග ඉඩ තිබ්බේ නැහැ. දවසක් මහේල ජයවර්ධන මහත්මයා පුතාගෙන් ඇහුවලු ඔයා සෙල්ලම් කරන එක ගැන තාත්තා මොකද කියන්නේ කියලා. පුතා සුරංග ක්‍රිකට් ක්‍රීඩා කළ කෙනෙක් බව කියලා නැහැ. ඒත් මහේල දන්නවා සුරංග ගැන. දුනිත් ඒ වගේ කෙනෙක්. මේ අවස්ථාව හිමි වුණේ පුතාගේ දක්ෂතාවයටමයි.. ඒකට ක්‍රිකට් බෝඩ් එකේ හා තේරීම් කමිටුවේ සියලු දෙනාට ස්තූතිවන්ත වෙන්න ඕන..“

දුනිත් ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්ව ක්‍රීඩා කළ පළමු එක්දින තරගය නරඹන්නට ගිය මව, ඒ හැඟීම් වචනවලට පෙරළුවේ මෙසේය.

“පුතා ක්‍රීඩා කරන්න පිටියට යන්න කලින් ඉඳලම මම හිතන්නෙ එයාට වඩා මමයි සුරංගයි මානසික පීඩනයෙන් හිටියේ. අපිට අවශ්‍ය වුණේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායම දිනන්න. පුතාගේ අතින් කණ්ඩායමට අවාසියක් වෙයිද කියන බය තිබ්බා. පුතා බෝල් කරද්දි ඒ බෝලවලට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් වැඩි ලකුණු ගනිවිද කියන බය තිබ්බා. පුතා බැට් කරද්දි අවුට් වෙයිද කියලා හිතුවා. හිතපු නැති විදිහට පුතා අනෙක් ක්‍රීඩකයන්ට පීඩනයක් වුණා. මට නම් ඒ ගැන කියන්න වචන නැහැ හරිම සතුටුයි. ”

ඇය කීවේ අව්‍යාජවය. තරග නැරඹීම සඳහා දුනිත්ට ලැබුණු ටිකට්පත් ඔහු තමා පුහුණු කළ පුහුණුකරුවන්ට ලබා දීමට තරම් නිහතමානී විය. “අම්මයි තාත්තයි ගෙදර ඉඳලා ටීවි එකෙන් මැච් බලන්න, කෝච්ලට ටිකට් දෙමු අම්මේ, මගේ කෝච් ඉස්සර පාන්දර දෙකට එනවා මගේ පුහුණු වීම්වලට. ඒ නිසා අපි කෝච්ට ටිකට් දෙමු..“ යැයි දුනිත් මවට පවසා තිබිණි. එතරම් නිහතමානී ගුණගරුක ක්‍රීඩකයකු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීම ද භාග්‍ය්‍යකි.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

Comments