“අපේ චුටි පුතා තවම පෙරපාසල් යනවා. එයා පසුගිය අප්‍රේල් 07 වෙනිදා කිඩ්ස් හෝම් පෙරපාසලේ අවුරුදු උත්සවයේ විවිධ ඇඳුම් තරගයට ඇමති කෙනෙක් විදිහට පෙනී සිටියා. එදින සිට සති දෙකක් ගතවන විට පුතාට ඇමති කෙනෙක් කරන වැඩක් කරන්න ලැබෙයි කියලා අපි හීනෙකින්වත් සිතුවේ නැහැ. මේ සිදුවීම පිළිබඳව අපිට අදටත් සිතාගන්න බැහැ.”
ඒ හඬ, ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයේම සිදුවී ඇතැයි සිතිය නොහැකි සිදුවීමක් වන කෝටි ගණනක වියදමින් ඉදි කළ ව්‍යාපෘතියක් විවෘත කිරීමට දේශපාලකයන්, රාජ්‍ය නායකයන් හෝ ප්‍රභූවරුන් යොදා නොගෙන කුඩා පෙරපාසල් දරුවකු අතින් සිදු කිරීමේ අවස්ථාවට මුහුණ දුන් එම කුඩා පුතුගේ මවගේය. ඒ අපූර්වතම අවස්ථාවට මුහුණ දුන් පුංචි පුතුගේ තොරතුරු සොයා අප සිළුමිණ පාඨකයන් වෙනුවෙන් ඔහු පදිංචි මහගම, උදටියාවල එම නිවෙසට ගියෙමු.
පසුගිය 21 වැනිදා මතුගම නගරයේ පෞද්ගලික බස් නැවතුම් පොළ ඉදිරිපිට අගලවත්ත මාර්ගය හරහා ඉදිකළ යටිබිම් හරස් මග (උමං මාර්ගය) විවෘත කිරීම සඳහා තරුණ පිරිස් විසින් සහභාගි කරවා ගත් දරුවා නමින් ජනිත් තේජාන් ය. පුතුගේ මව වන පී.ඒ.නිලන්ති කුමාරි ඒ අත්දැකීම ගැන මෙසේ පැවසුවාය.
“මගේ සැමියා වන පී.ඒ.නාමල් කුමාර මතුගම පාන්තිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරනවා. අපිට පුතාලා දෙදෙනෙක් සහ එක් දියණියක් සිටිනවා. ලොකු පුතා පී.බී.හිමත් දින්සර පොලේගොඩ ජාතික පාසලේ සාමාන්‍ය පෙළට ඉගෙන ගන්නවා. දුව පී.බී.චේතනී තරුපබා මතුගම ආනන්ද ශාස්ත්රාලයේ 9 වැනි වසරේ ඉගෙන ගන්නවා. අපේ පුංචි පුතා පී.බී.ජනිත් තේජාන් අපේ ගමේම තිබෙන කිඩ්ස් හෝම් පෙරපාසලේ ඉගෙන ගන්නවා.
පසුගිය 21 වෙනිදා දුවගේ සපත්තු දෙකක් මහන්න චුටි පුතා සමඟ මම මතුගම නගරයට ගියා. සපත්තු මහන තැනකට සපත්තු දෙක දුන්නාම ටික වෙලාවකින් එන්න කිව්වා. පසුව මම චුටි පුතා එක්ක මතුගම නගරයේ පුද්ගලික බස් නැවතුම්පොළ අසලින් පුතාට ඇඳුමක් ගන්න ඇවිදගෙන ගියා.
එවිට තරුණ ළමයි දෙන්නෙක් ඇවිත් අක්කේ පොඩ්ඩක් එන්න කිව්වා. ඒ වෙනකොට මතුගම උමං මාර්ගයේ පිවිසුමේ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් දින ගණනාවක සිට ගාලුමුවදොර විරෝධතාවයට සහාය පළකරමින් පෙත්සමක් අත්සන් කිරීමේ කටයුතු වල නිරතව සිටියා. මම හිතුවේ ඒ පෙත්සමට අත්සන් කරන්න එන්න කිව්වා කියලයි.
අපි ඒ අය සමග එතනට ගියාම එතන හිටපු තරුණ කෙනෙක් කිව්වා අක්කේ අපි දැන් මේ උමං මාර්ගය විවෘත කරලා මහජනතාවට බාරදෙන්නයි හදන්නේ. මේක විවෘත කරන්නේ මැති ඇමතිලා නෙමෙයි. මහජන මුදලින් ඉදිකළ දෙයක් විවෘත කරන්න ඒ අයට අයිතියක් නැහැ. මේවා අයිති මේ රට බාරගන්න ඉන්න අහිංසක මිනිස්සුන්ගේ දරුවන්ටයි. ඒ නිසා දැන් මේ උමං මාර්ගය අක්කගේ පුංචි පුතා අතින් තමයි විවෘත කරන්නේ කියලා.
ඇත්තටම ඒ වෙලාවේ මට කිසි දෙයක් සිතා ගන්න බැරිවුණා. අපි වගේ දුප්පත් මිනිස්සුන්ට මේවගේ දේකට සම්බන්ධ වෙන්න තියා ඒ වගේ උත්සවයක ඉදිරියට ගිහින් බලාගෙන ඉන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ.
පසුව ඒ අය පුතාගේ අතට කතුරක් දුන්නා. අපේ පුතාට කතුරක් අල්ලන්නවත් ඒ තරම් හුරුවක් තිබුනේ නැහැ. හැබැයි පුතා කිසිම පැකිළීමක් නැතිව කතුර අරගෙන ඒ අය කියපු විදිහට රිබන් එක කපලා අලුත් උමං මාර්ගයේ පහලට ඇවිදගෙන ගියා. එතනට රැස්වෙලා සිටිය හැමෝම අත්පුඩි ගහද්දි මට සතුට වැඩිකමට ඇඩුණා.
ඊට පස්සේ මම පුතා එක්ක එතනින් පිටව ගිහින් පුතාගේ ඇඳුම් අරගෙන ආපසු ආවා. එතැනදී කිසිම කෙනෙක් අපේ තොරතුරු විමසුවේ නැහැ. එතන සිටිය මාධ්‍යවේදීන් අඩු ගානේ පුතාගේ නමවත් ඇහුවේ නැහැ. අපි සවස ගෙදර ඉන්නකොට අපේ යාළුවෙක් කිව්වා අන්න ඔයාලගේ පුතාව ටී.වී. එකේ පෙන්වනවා කියලා. පසුව මහත්තයත් ගෙදර ආවම අපි ටී.වී. එකෙන් පුතා උමං මාර්ගය විවෘත කරන එක දැක්කා. අපි හැමෝටම පුදුම සතුටක් දැනුනේ. හැමෝම ඇඬුවා. දුප්පත් අපේ පුංචි පුතාව ටී.වී. එකෙත් පත්තරවලත් දකින කොට පුදුම සතුටක් දැනුනේ. හැබැයි අපේ පුතාගේ නමවත් ඒ කිසිවකින් කිව්වේ නැහැ. සිළුමිණ පත්තරෙන් තමයි අපිව සොයාගෙන අපේ ගෙදරටම ඇවිත් අපේ තොරතුරු විමසුවේ.”
ඇය කීවේ ඒ සතුට අව්‍යාජ ලෙස අප හමුවේ විදහා පාමිනි. ඒ අවස්ථාවට මුහුණ දුන් ජනිත් තේජාන් පුංචි පුතු ද අප සමඟ කතාබහට එක්විය.
“මම අම්මත් එක්ක පාරේ යනකොට මාමලා දෙන්නෙක් ඇවිත් අපිට කතා කළා. අපි ඒ මාමලා එක්ක එතනට ගියාම මාම කෙනෙක් මට කතුරක් දීලා කිව්වා ඒ පටිය කපන්න කියලා. මමත් එක කැපුවා. එතන හිටිය කට්ටිය ඔක්කොම හයියෙන් අත්පුඩි ගැහුවා. ඊට පස්සේ ඒ මාමලා කිව්වා මට එතන පඩි ටික බහින්න කියලා. මම පහළට ගිහින් ආපහු අම්ම ළඟට ආවා.
ඊට පස්සේ අම්මයි මමයි ගෙදර ආවා. හවස අම්මගේ යාළුවෙක් කෝල් කරලා කිව්වා මම ටී.වී. එකේ ඉන්නවා දැක්කා කියලා. අපි ෆෝන් එකෙන් බැලුවා.තාත්තා ආවම රෑ ටී.වී. එකෙනුත් දැක්කා. ගෙදර හැමෝම අත්පුඩි ගැහුවා. තාත්තායි අම්මයි මාව බදාගෙන කිව්වා මගේ පුතා හරී හොදයිනේ කියලා. මොන්ටිසෝරියේ ටීචයි යාළුවොයි මාව ටී.වී.එකෙන් දැකලා තිබුනා. මම ලොකු වෙලා හොඳට ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක් වෙනවා.” ජනිත් පුතු කීවේ සුරතල් ස්වරයෙනි.
මෙම උමං මාර්ගය විවෘත කිරීම පිළිබඳව මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහගෙන් ද අප අදහස් විමසීමක් කළෙමු.
“මතුගම නගරයේ වාහන අනතුරු අවම කිරීමේ අරමුණින් පසුගිය යහපාලන සමයේ මෙම උමං මාර්ගය ඉදිකිරීමට සැලසුම් සකස්කළා. පසුව බලයට පැමිණි පොදුජන පෙරමුණු රජය මඟින් එම උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතු 2020 වර්ෂයේ මාර්තු මස 19 වැනිදා මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ආරම්භ කළා. මෙම උමං මාර්ගය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ හාරසිය හැටහතක්(4,66,32,897/-) පමණ මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා.
මෙම උමං මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරේ තිබුනේ. තව එහි සුළු සුළු වැඩ කීපයක් සහ ප්‍රධාන මාර්ගය පිළිසකර කිරීමට තිබුනා. අප්‍රේල් 21 වැනිදා මට දැනගන්න ලැබුනා පිරිසක් එකතු වී එම උමං මාර්ගය විවෘත කළ බව. එසේ විවෘත කිරීම පිළිබඳ අපට ගැටලුවක් නැහැ. එය විවෘත කිරීමට උත්සවයක් පැවැත්වීමටත් අදහසක් තිබුණේ නැහැ. මෙහි ආරම්භක අවස්ථාවේදීවත් මුල්ගල් තැබීමක් හෝ වෙනත් කිසිදු උත්සවයක් පැවැත්තුවේ නැහැ. මෙහි ඉදිකිරීම් අවසන් වනතෙක් සිට විවෘත කළා නම් ජනතාවට එහි උපරිම සේවය ලබා ගැනීමට තිබුණා” යැයි සභාපතිවරයා කීවේය.
සටහන සහ ඡායාරූප
බන්ධුතිලක තඹවිට - මතුගම සමුහ