කොම්පඤ්ඤ වීදිය අදින් වසර තුන්සීයකට පමණ ප්‍රථම මනස්කාන්ත භූමියක්ව පැවති බව කියැවේ. අද ඒහි යන අපට දකින්නට ලැබෙන්නේ විවිධ ගොඩනැගිලි වෙළෙඳසල් වැනි සුවිශාල මහල් නිවාස සංකීර්ණය. කොම්පඤ්ඤ වීදිය පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ගේ අවධානය දිනාගත් සුවිශේෂී බිම්කඩක් වූ බව ඒ පිළිබඳව විමසීමේදී පෙනී යයි. කොම්පඤ්ඤ වීදියට මේ සුවිශේෂත්වය හිමිව ඇත්තේ බේරේ වැව නිසා යැයි සිතිය හැකිය. කොළඹ 02 ලෙස සිතියම්ගත කර ඇති මෙහි සුවිශාල ගොඩනැගිලි ඉදිවීමට පටන් ගැනුණේ මේ භූමිය සතු සුවිශේෂී පිහිටීම නිසා ය. නමුත් කාලාන්තරයක් තිස්සේ විවිධ අයුරින් මෙම ප්‍රදේශයට සංක්‍රමණය වූ හා එහිම නිවැසි ජනතාව තමන්ට හැකි අයුරින් පැල්පත් නිවාස සාදාගෙන මෙහි ජීවත්ව සිටියෝ ය. රටේ සංවර්ධන කටයුතු විධිමත් කිරීමේදී ආර්ථික මර්මස්ථානයක පිහිටි මෙම භූමිය වඩා ඵලදායී ලෙස ආයෝජනය කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබුණි. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් මේ පිළිබඳව විධිමත් සැලැස්මක් සකස් කෙරිණි. ඒ අනුව මෙහි සනීපාරක්ෂාව නොමැතිව ඉතාම දිළිඳු ආකාරයට නිවැසි ජනතාවට නිවාස සංකීර්ණයක් මෙම ස්ථානයේම ඉදිකර දී ඒකී ඵලදායි සංවර්ධනය සඳහා භූමිය නිදහස් කර ගැනීමේ කටයුතු ආරම්භ විය.
ඒ අනුව මෙහි සියලු ඉදිකිරීම් ඉන්දියාවේ ‘ටාටා කන්ස්ට්‍රක්ෂන්’ සමාගම වෙත පැවරුණු අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව ශ්‍රී ලංකාවේ හසළ දැනුමක් ඇති විශේෂඥ ඉංජිනේරුවන්ගේ සහය ඇතිව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතන දෙකේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කටයුතු ආරම්භ විය. ඒ අනුව මුලින්ම ආරම්භ කෙරුණේ නිවාස ව්‍යාපෘතියයි. මූලික වශයෙන් ගොඩනැගිලි තුනක් ඉදි කෙරුණු අතර, ඉන් ගොඩනැගිලි දෙකක් මහල් 23 කින් සමන්විතය. අනෙක් ගොඩනැගිල්ල මහල් 17 කින් සමන්විතය. මෙම ගොඩනැගිලි තුනේම නිවාස 626ක් ඉදි කෙරිණ. මීට සමගාමීව සියලු අංගවලින් සමන්විත වෙළෙඳසල්, වාහන නැවතුම් ස්ථාන, වාහන ගාල් කිරීමට පොළොව අභ්‍යන්තරයේ විශේෂ ස්ථාන කිහිපයක් ඉදි කෙරිණ.
නාගරික සංවර්ධන අධිකාරියේ අදහස අනුව ‘මෙම ව්‍යාපෘතිය ඉදිකරන්නේ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ විශාල භූමි භාගයකය. රට තුළ විශාල ආයෝජනයකට මඟ පාදන ආර්ථිකයකට ඵලදායී ලෙස යොදා ගතහැකි මෙම භූමිය ඉතාම අක්‍රමවත්ව ඉදිවූ අවලස්සව අපිරිසිදු ස්ථානයක්ව පැවති බවයි. ඒ පිළිබඳ අධ්‍යයනය කර අදාළ ඉඩම පවරාගෙන ඉන් කොටසක එම නිවෙස්වල පදිංචිව සිටි සියලු දෙනාට නව නිවාස සංකීර්ණයක් ස්ථාපිත කර නිවාස ලබාදීමට කටයුතු කළ බවයි. අනිත් භූමියේ වාණිජ කටයුතු, නේවාසික කටයුතු කරගෙන යාමට ආයෝජකයන්ට ලබාදී ඇත බවයි. සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කර 05 කට ආසන්නය.
මෙම ඉඩම පවරා ගැනීම සිදු කර ඇත්තේ 2013 වසරේ දීය. නිවාස ලබාදෙන තෙක් එහි ජීවත්ව සිටි සියලු දෙනාට නිවාස සඳහා කුලී මුදලක් ගෙවීමටද කටයුතු කර තිබුණි. නිවාසවල අයිතිකරුවන්ට තමන් පදිංචිව සිටි නිවාසයේ වර්ග ප්‍රමාණය අනුව නව නිවාස සංකීර්ණයේ නිවස ලබාදී ඇත්තේ ඉන් අනතුරුවය. මෙම නිවාස වර්ග අඩි 400, 600, 1000 සහ 1200 ප්‍රමාණයෙන් යුක්තය. මේවනවිට මෙම නිවාස සංකීර්ණයේ පදිංචි කර ඇති පවුල් සංඛ්‍යාව 456 කි. මෙම නිවාස ව්‍යාපෘතියේ සම්පූර්ණ වගකීම නාගරික අධිකාරිය සතුය. දිනෙන් දින වර්ධනය වන ජනගහනයට සහ කොළඹට සංක්‍රමණය වන ජනගහනයට සාපේක්ෂව මෙවැනි මහල් නිවාස ඉදිකිරීම අවශ්‍යතාවයක් ව පවතී.
නමුත් මෙම භූමිය තුළ කෞතුක වටිනාකමෙන් ආඪ්‍ය ගොඩනැගිලි ද්විත්වයක් වූ බව අමතක නොකළ යුතුය. එමඟින් මෙම භූමියට සුවිශේෂ අලංකාරයක් එක්කර තිබුණි. කොම්පඤ්ඤවීදිය දුම්රියපළට දකුණු පසට වන්නට ජස්ටිස් අක්බාර් මාවතේ තැඹිලිපාටට හුරු බ්‍රිතාන්‍ය ගෘහනිර්මාණ ශිල්පය අනුව ඉදි කළ එක් ගොඩනැගිල්ලක් වූයේ කාසල් හෝටල් ගොඩනැඟිල්ලයි. එහි කළු පාට අකුරින් 'Castle Hotel'කියා සඳහන් වී තිබුණි. නමුත් අද එම ගොඩනැඟිල්ල දැකිය නොහැකිය. ඒ වෙනුවට එහි ඇත්තේ ඇස් නිලංකාර කරන අහස සිඹින ගොඩනැගිලි සමූහයකි. පසුගිය සමයේ එනම් 2017 මැයි මාසයේ මෙම කෞතුක වටිනාකමකින් යුතු ගොඩනැඟිල්ල සිත්පිත් නැති ආකාරයෙන් බිමට සමතලා කර තිබුණි.
එසේම ඊට යාබදව පිහිටි අනෙක් ගොඩනැඟිල්ලක් වූයේ 'De Soyza buildings' ද සොයිසා ගොඩනැඟිල්ලයි. එයද 2020දී එලෙසින්ම බිමට සමතලා කෙරිණි. මැලේ වීදිය පටන්ගත් තැන සිට ජස්ටිස් අක්බාර් මාවතට සමාන්තරව රේල් පාර දක්වා අලංකාර කැටයමින් යුතුව බ්‍රිතාන්‍ය ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණවලින් සමන්විතව මෙම ගොඩනැඟිල්ල ද ඉදි කර තිබුණි. එය කඩා ඉවත් කිරීමට ආසන්න කාලය වනවිට කඩ සාප්පුවලින් පිරි මේ ගොඩනැගිල්ල නිසි නඩත්තුවක් නොමැති කමින් කාක බෝගස් සහ නුග ගස්වලින් ආක්‍රමණය කර තිබෙනු දැකිය හැකි විය.
මෙම ගොඩනැඟිලි ද්විත්වය අයිතිව තිබුණේ මහා ධනපතියකු වූ චාල්ස් හෙන්රි ද සොයිසා පවුලටයට. පසුව අවසාන කාලයේදී රනිල් සොයිසා, මාලතී සොයිසා සහ ගීතාල් සොයිසා යන අයට උරුමයෙන් මෙය හිමිව තිබුණි. කාසල් හෝටලය කුලීකරුවන් විසින් පවත්වාගෙන ගිය අතර එය සැම දිනකම උදෑසන සහ හවස කාර්යය බහුල ජනීජනයාගෙන පිරි ස්ථානයක් විය. මධුලෝලීන්ද රෑ සමනලියන් ද මෙහි සුලබ දසුනක් විය.
මේ ගැන විපරම් කර බැලීමේදී රනිල් සොයිසාට මෙය සුපිරි පන්නයේ බ්‍රිතාන්‍ය ස්වරූපය ගත් අවන්හලක් කිරීමට අවශ්‍යතාව තිබුණත් එවකට සිටි නීති අධිකාරීන් එයට ඉඩ දී නොතිබුණි. කුලී කරුවන් විසින් එම ගොඩනැගිල්ලේ ස්වරූපය වෙනස්වන ආකාරයේ වෙනත් ඉදිකිරීම් හා වර්ණ ගැන්වීමද නොකළ යුතු බව අදාළ ආයතන විසින් නියෝග කර තිබුණි. එසේ තිබියදීත් 2012 දී නාගරික සංවර්ධන පණත යටතේ මේ ප්‍රදේශයේ අක්කර 5 කට හෝ ඊට සමාන බිම්කඩක් (සුප්‍රකට Java lane ද ඇතුළුව) මිනිසුන් සහ ගොඩනැගිලි ඉවත් කර ටාටා සමාගමේ නිවාස ව්‍යාපෘතියකට ලබා දීමට කටයුතු කළේය. මහින්ද පෙරේරාට සිය කුලී ස්ථානයද සොයිසාවරුන්ට ඔවුන්ගේ දේපළද ඉන් අහිමිව ගියේය.
එකල කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ සහකාර කථිකාචාර්යවරියක වූ ඩෙබෝරා ෆිලිප් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලිපියක් ලියමින් ඇපෑලක් ඉදිරිපත් කරමින් කාසල් හෝටල ගොඩනැගිල්ල පුරා විද්‍යාත්මක වටිනාකම පැහැදිලි කරමින් එය ඉවත් කිරීමට අවසර නොදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි. ඇගේ පර්යේෂණ වාර්තාවලට අනුව කාසල් හෝටල් ගොඩනැගිල්ල 1872 දී මුල් වරට ඉදිකර තිබුණේ සුපක්‍රට එච්.ඩබ්ලිව් කේවුස් (H.W. Caves)ට අයත්ව තිබූ කේව්ස් සහ සමාගම( Caves & Company) නම් සමාගම විසිනි. පසුව කුලී කරුවන් විසින් කළ සොයා බැලීම්වලට අනුව එය හෝටලයක් බවට පත් කොට තිබුණේ 1875 දී බව ලේඛන මඟින් සනාත වී තිබුණි. ඒ අනුව මෙය අවම වශයෙන් අවුරුදු 140 ක ලේඛනගත ඉතිහාසයකට උරුමකම් කියයි.
2016 පෙබරවාරි මස, කථිකාචාර්ය ඩෙබෝරා ෆිලිප්ගේ ඉල්ලීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යයනයෙන් අනතරුව එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති එකක් බැවින් එය ඉවත් නොකරන ලෙසට ටාටා සමාගමේ දේශීය නියෝජිතායතනය වුණ නාගරික සංවර්ධන අධිකාරියට දන්වා තිබුණි.
කෙසේ නමුත් පසුගිය ‘යහපාලන‘ සමයේදී එනම් 2017 මැයි මස නාගරික සංවර්ධන අධිකාරිය විසින් කාසල් ගොඩනැගිල්ල කඩා ඉවත් කළ අතර එය සංරක්ෂිත ගොඩනැගිල්ලක් ලෙස ගැසට් කොට නොතිබුණ බවට දැනුම්වත් තර තිබුණි. එලෙස කෞතුක වටිනාකමකින් ආඪ්‍යව විරාජමානව වැජඹුණු කාසල් ගොඩනැගිල්ල කොළඹ සිතියමින් සදහටම මැකී ගියේය.
නමුත් ටාටා සමාගම එවක පවසා තිබුණේ පැවති ගොඩනැඟිල්ල කිසිදු වෙනසක් නොමැතිව සියලු කැටයම්වලින් සමන්විතව නැවත එම ස්ථානයේ ඉදිකෙරෙන බවයි. එහෙත් තවම එවැන්නක් ඉදිවී නොමැත.එලෙස ප්‍රතිනිර්මාණය කළ ද එය හුදෙක් එහි ආකෘතිය රැගත් අනුරුවක් වනවා මිසක ශත වර්ෂ දෙකකට පෙර ඉදිවුණු කෞතුකමය අගය නොලැබෙනු ඇත.