ක්‍රීඩා ලෝලින් එක්ක එකතු වෙලා උගුර බැරැන්ඩි වෙනකම් මමත් කෑගැහුවා | සිළුමිණ

ක්‍රීඩා ලෝලින් එක්ක එකතු වෙලා උගුර බැරැන්ඩි වෙනකම් මමත් කෑගැහුවා

 

  • දසුන් වගේ කෙනෙක් ලබන්න මම පින් කරලා ඇති
  • මැච් එක දිනුවට පස්සේ ගැහැනු ළමයි මට මැසෙජ් කරලා තිබ්බා එයාලාගේ කැමතිම ක්‍රීඩකයා දසුන් කියල
  • මට හිතුණා එදා මොකක් හරි ලොකු වෙනසක් වෙයි කියලා.
  • ප්‍රතිවාදී කණ්ඩායම ශක්තිමත් හා දක්ෂ කණ්ඩායමක් නිසා පොඩි බයකුත් තිබුණා.
  • මම ආදරේ කළේ දසුන්ගේ මනුස්සකමට

 

දසුන් ශානක කියන්නේ මේ දවස්වල බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වූ ආදරණීය චරිතයක්. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායකයා ඔහුයි. පසුගියදා පැවති පන්දු වාර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ජය ගැනීමට කණ්ඩායමේ අනෙක් සඟයන්ට ශක්තියක් වෙමින් පරාජය වෙන්න ඔන්න මෙන්න තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට විශිෂ්ට පිතිහරඹයක යෙදුණු ඔහු මේ දිනවල කාගෙත් වීරයා බවට පත්වී තිබෙනවා.

විස්සයි විස්ස තරගාවලි ඉතිහාසයේ ඉලක්කයක් හඹාගිය අවස්ථාවවල අවසන් පන්දු වාර හතර තුළ ලකුණු 50ක් ලබාගත් එකම පිතිකරුවා වෙමින් වාර්තා පොත අලුත් කරන්නත් දසුන්ට හැකියාව ලැබුණා. එපමණක් නොවෙයි, වැඩි ඉලක්කයක් හඹාගොස් ජයගත් එකම ක්‍රිකට් කණ්ඩායම බවට පත්වෙමින් ඉතිහාසගත වීමටත් ඔහුගේ නායකත්වය බලපෑවා.

ජාත්‍යන්තර පිටිය පිත්තෙන් වගේම තුන් ඉරියව්වෙන් වර්ණවත් කරන ඔහු ගැන කතා කිරීමට හොඳම කෙනා, ඔහුගේ ආදරණීය ප්‍රියම්භිකාවයි. ඇය, චෙවන්ති පෙරේරා. මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන ඇය, සිය ආදරණීය සැමියා දසුන් ගැන සිළුමිණ එක්ක කතාබහකට එක්වුණේ මෙහෙමයි.

 පසුගියදා නිමාව දුටු පන්දු වාර විස්සයි විස්ස අවසන් තරගය ජයගැනීමට ඔබේ ආදරණීය සැමියා දැක්වූ දායකත්වය ගැන ඔබේ අදහස?

කණ්ඩායමේ සියලුම දෙනාගේ සහයෝගය දසුන්ට උපරිමයෙන් ලැබුණු නිසා අපේ රටේ ආදරණීය ජනතාව බලාපොරොත්තු වුණු ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා. ඒ සඳහා කණ්ඩායම හසුරුවා ගන්න දසුන්ට හැකියාව ලැබුණේ අනෙක් ක්‍රීඩකයන්ගේත් කැපවීම නිසා කියලයි දසුන් කියන්නේ. බලාපොරොත්තු නොවුණු මොහොතක ලැබුණු ජයග්‍රහණය ගැන කියන්න බැරි තරම් සතුටක් මටත් තියෙනවා. අපේ ක්‍රීඩාලෝලින්ගේ සතුට දැක්කම මටත් ලොකු සතුටක් දැනුණා. ඇත්තම කිව්වොත් ඒ සතුට ගැන කියන්න මට නම් වචන නැහැ. හීනයක් වගෙයි.

පන්දුවාර විස්සයි විස්ස තරග නුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වුණු නිසා ගමන් අපහසුතා මත ඔබ එය සජීවීව නැරඹීමට නොයා ඉන්න අදහස් කළ බව ඇත්තද ?

ඔව්; දසුන් ඇතුළු ක්‍රීඩකයන් නවාතැන් ගෙන හිටියේ හෝටලයක. අපිට ඔවුන් එක්ක ඉන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. ඒ නිසා තමයි මට අපහසු වුණේ ඒ ගමන යන්න. ඒ නිසා අවසන් තරගය නරඹන්න මම එන්නේ නැහැ කියලා දසුන්ට කියලා තිබුණේ. තරගය තිබ්බ දවසේ දවල් තමයි තිරණය කළේ මමත් තරගය නරඹන්න යන්නම ඕන කියලා. දසුන්ගේ යාළුවෙක්ගේ ෆැමිලි එකක් එක්ක මට යන්න අවස්ථාව ලැබුණා. කොහොම නමුත් යන්න අවස්ථාව ලැබුණු එක ගැන නම් දැන් දැනෙන්නේ සතුටක්. ඒ තරගය සජීවීව නරඹන්නේ නැතිව මගහැරුණා නම් මම අද දුක් වෙයි.

දසුන් නායකත්වය දැරූ පළමු තරග දෙකම පරාජයට පත් වුණත් අවසන් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවෙයි කියලා ඔබට විශ්වාසයක් තිබුණාද ?

ඉස්සර නම් මට ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දුවක් වගේම දැනුමක්, අවබෝධයක් තිබ්බෙත් නැහැ. දසුන් නිසා මම ක්‍රිකට් තරග නරඹන්න පෙලඹුණා වගේම මම දැන් ක්‍රිකට් වලට ඇබ්බැහි වෙලා. පල්ලේකැලේ තිබ්බ හැම තරගයක්ම මම බලන්න ගියා. පුළුවන් හැම වෙලාවකම මම දැන් ක්‍රිකට් තරග බලනවා. ඒ නිසාම දසුන්ගේ ක්‍රීඩා විලාසය ගැන මට දැන් ටිකක් තේරෙන නිසා මේක පරාජය වෙන්න තිබ්බ තරගයක් කියලා මට හිතුණේ නැහැ. දසුන් ඉවසීමෙන් ක්‍රීඩා කරපු විදිහත් එක්ක මට හිතුණා මේ තරගය දිනයි කියලා. ලකුණු ගද්දි එයා ෆෝම් වෙලා හිටියේ කියලා මට හිතුණා. එයා ෆෝම් වෙනවා කියන්නේ කොහොමත් ලකුණු ප්‍රමාණයක් ගන්නවා කියලා මම දන්නවා.

අනිත් එක විකට් කිහිපයක්ම ගිහින් තිබුණු මොහොතක දසුන් කඩුල්ලේ රැඳෙන්න උත්සාහ ගත්තා. එයාගේ අනෙක් පසින් හිටිය ක්‍රීඩකයා, චාමික එයාට ලොකු සහයෝගයක් දුන්නා. මම හිතෙන්නේ ඒ නිසා තමයි එයාට වේගයෙන් ලකුණු රැස් කරන්න අවකාශය සැලසුණේ. මට නම් හිතුණා මොකක් හරි ලොකු වෙනසක් වෙයි කියලා. නමුත් ප්‍රතිවාදී කණ්ඩායම ශක්තිමත් හා දක්ෂ කණ්ඩායමක් නිසා පොඩි බයකුත් තිබුණා. සමහර අවස්ථාවල පපුවේ ගැස්මත් වැඩිවුණා. මුළු ලංකාවම වගේම මමත් එදා පුදුමයට පත් වුණා.

දසුන් කියන්නේ සැලසුමක් අනුව කටයුතු කරන නායකයෙක් හා ක්‍රීඩකයෙක් ද?

එයා මොන දේ කරන්න ගියත් සැලැස්මක් අනුව වැඩ කරන කෙනෙක්. විශේෂයෙන්ම ක්‍රීඩා කරද්දී එයාට සැලසුමක් තියෙනවා. එදා තරගයත් හොඳට ප්ලෑන් කරන්න ඇති කියලා මම හිතනවා. ඒ නිසා තමයි කඩුල්ල රැකගන්න ගමන් වේගයෙන් ලකුණු රැස් කරන්න ඇත්තේ.

එක අවස්ථාවකදී ඔහු දැවී යාමකට හසුවෙන්න ගියා..?

ඒ මොහොතේ නම් මට හිතුණේ අනේ තව ටිකක් කඩුල්ලේ රැඳෙන්න අවස්ථාවක් තිබ්බා නම් කියලා විතරයි. කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් රැස් කරලා දුන්නු ලකුණු එක්ක දසුන්ගේ ලකුණු නොතිබ්බා නම් අපි පරාජය වෙයි නේද කියන සිතිවිල්ල හිතට ආවා. කොහොම නමුත් එම අවස්ථාව දැවී නොයෑම ලොකු දෙයක් කියලා මම සතුටු වුණා. ඒ මොහොතේ මට හිතුණා දසුන් ලකුණු ගන්න එක නම් දැන් කාටවත් නතර කරන්න බැහැ කියලා. එයත් ඒ අවස්ථාවෙන් ප්‍රයොජනය ගත්තා.

තරගය ආරම්භ කරන්න කලින් දසුන්ට විශ්වාසයක් තිබුණද ජයග්‍රහණය ගැන? ඔහු ඔබට ඒ ගැන මොනවද කිව්වේ..?

අවසන් තරගයේ ටිකට් කලින්ම විකිණිලා තිබුණා. ජනතාව තරග නරඹන්න තියෙන උනන්දුව ඒකෙන්ම තේරෙනවා. මම දසුන්ට කතා කරලා කිව්වා, රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ක්‍රීඩාලෝලීන් සල්ලි දීලා ටිකට් එකක් අරන් මැච් එක බලන්න එන්නේ ක්‍රිකට්වලට තියෙන ආදරේ නිසයි. ඒ නිසා මේ මැච් එක දිනලා ඔයාලට ආදරේ කරන ජනතාවට සතුටක් දෙන්න, ඒක පිනක් කියලා. එයත් ඒ ගැන කතා කළා වගේම ලොකු බලපොරොත්තුවක් තියාගෙනයි ක්‍රීඩා පිටියට ගියේ. ක්‍රීඩාලෝලින්ගේ උද්‍යෝගය දැකලා එයාගේ හිතටත් ලොකු ශක්තියක් බලාපොරොත්තුවක් ඇති වෙන්න ඇති. දසුන් කතා කරද්දි ඒ බව මට තේරුණා.

ජයග්‍රහණය කළ සැණින් ඔහු ඔබ අමතන්න ඇති..?

මම තරගය නරඹන්න ආවා කියලා කෝල් කරලා කිව්වම එයා ගොඩක් සතුටු වුණා. මම ආව එක එයාට ලොකු ශක්තියක් කියලත් කිව්වා. තරගය අවසන් වුණාට පස්සේ දසුන් ක්‍රීඩාලෝලින්ට ආචාර කරන්න ක්‍රීඩා පිටිය අයිනෙන් ආවා. ඒ මොහොතේ මමත් ජනතාව අතරේ ඉන්නවා එයා දැක්කා. එයා සතුටින් හිනාවෙලා මටත් අත වනාගෙන ගියා. ඊට පස්සේ එයා විවේකාගාරයට ගිය ගමන් මට කෝල් කළා. කෝල් කරලා ඇහුවේ ඔයා තවම ග්‍රවුන්ඩ් එකේද කියලා. මම ඔව් කිව්වා. එතකොට එයා හරි සතුටින් කතා කළා. හැම ක්‍රීඩකයකුගේම කැපවීම නිසා අපි දිනුවා කිව්වා. මැච් ඉවර වෙනකල් අපි දෙන්නට මුණගැහෙන්න බැහැ. ඒ නිසා වෙන්න ඇති මාව දැක්කම සතුටු වුණේ.

විස්සයි විස්ස තරගාවලි ඉතිහාසයේ අවසන් පන්දුවාර තුන තුළ ලකුණු 50ක් ලබා ගත් එකම පිතිකරුවා ලෙස දසුන් ඉතිහාසගත වුණා. ඊට පෙර එම වාර්තාවේ සම හිමිකරුවන් වුණේ ඕස්ට්‍රේලියාවේ මයික් හසී හා දකුණු අප්‍රිකාවේ රාසී වෑන් ඩ්‍රසන්. ඒ, ලකුණු 45 බැගින් ලබාගෙන...මෙවැනි වාර්තාවක් ඔහු පිහිටුවා ඇති බව ඒ මොහොත වෙද්දි දැනගෙන හිටියා කියලා දසුන් කිව්වද..?

ඒ ගැන නම් කතා කරන්න අපිට බැරි වුණා. මම හිතෙන්නේ සතුට වැඩිකමට අපිට ඒක අමතක වුණා. මම නම් ඒ ගැන දැනගත්තෙත් ඒ මොහොතේ නිවේදනය කරද්දියි. ඒ මොහොතේ සතුට වැඩිකමට මට ඉන්න තැනත් අමතක වෙලා සතුටින් කෑගැහුවා. එදා ක්‍රීඩාලෝලින් එක්ක එකතු වෙලා උගුර බැරැන්ඩි වෙන තරමටම කෑගහලා මමත් සතුටු වුණා. රෙකෝඩ් එකක් තියන්න යනවා කියලා දසුන් නම් දැනගෙන ඉන්න ඇති. නමුත් මට මොකුත්ම කිව්වේ නැහැ. ඒ වෙලාවේ මමත් එතන හිටපු එක වටිනවා කියලා මට එදා හිතුණා.

ඔහුගේ දක්ෂතා ගැන දසුන්ගේ සහ ඔබේ මවුපියන්ටත් ගොඩක් සතුටු ඇති?

තමන්ගේ පුතා මුළු ලෝකයක් ඉදිරියේ දක්ෂතා දක්වද්දී මොන අම්මා තාත්තද සතුටු නොවී ඉන්නේ. නමුත් අම්මයි තාත්තයි මගෙත් එක්ක මොකුත් කිව්වෙ නැහැ. නිහතමානීව සතුටු වෙනවා ඇති කියලා මම හිතනවා. මගේ අම්මයි තාත්තත් සතුටු වුණා.

දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන දසුන්ගේ බිරිය ඔබ වීම ගැන ඔබට මොනවද හිතෙන්නේ..?

දසුන් ක්‍රීඩකයෙක් වෙන්න කලින් එයා මගේ පෙම්වතා වෙලා හිටියේ. එයා වගේ ක්‍රීඩකයෙක්ගේ බිරිය වීම ගැන මට නිහතමානී සතුටක්. දසුන් වගේ කෙනෙක් ලබන්න මම පින් කරලා ඇති. ඔහු ඒ තරම්ම හොඳ ආදරණීය සැමියෙක්.

පන්දුවාර 20යි 20 තරග ඉතිහාසයේ හඹායාමකදී ඩෙත් ඔවර් (Death Overs) තුළ ලකුණු 50ක් පසු කළ එකම ක්‍රීඩකයා බවට පත් වෙන්න දසුන් වාසනාවන්ත වුණා. ඒ වගේම ඒ තරගයේ වීරයා වුණෙත් දසුන්. ජාත්‍යන්තරය පවා කතා කරන ඔහුගේ දක්ෂ පිතිහරඹය ගැන ඔබට මොනවද හිතෙන්නේ ..?

එදා දසුන් හරි සතුටින් හිටියා මම දැක්කා. මම හිතනවා මට වඩා සතුටක් එයාට දැනෙන්න ඇති. ඒ වගේම එයාට වඩා ආදරණීය ක්‍රීඩාලෝලීන් සතුටු වුණා. නමුත් එයා වාර්තාවක් තියන්න ඕන කියන අදහසින් සෙල්ලම් කරන්න ඇති කියලා මම හිතෙන්නේ නැහැ. එයා හැමදාම හිතන්නේ ක්‍රිකට්වලින් අයින් වෙන්න කලින් රටට දෙයක් කරන්න ඕන, රටට ජයග්‍රහණ ගෙනත් දෙන්න කියලයි. වාර්තාවක් පිහිටු වීම ඒ සිතිවිලිවලට උත්තේජනයක් වෙයි. ඔහුගේ හැම සාර්ථක පියවරක්ම මට සතුටක්. එයා සාර්ථක ක්‍රීඩකයෙක් වෙන එක තමයි මගේ සතුටත් ඔහු එතරම්ම ක්‍රීඩාව වෙනුවෙන් කැප වෙනවා. ඒ කැපවීමේ ප්‍රතිඵල තමයි ඔහුට මේ හිමි වුණේ.

ඔහු වැනි සුන්දර චරිතයක් ඔබට මුණගැහුණේ කොහොමද කියලත් කියමු..?

මම පදිංචි වෙලා හිටියේ කොච්ච්කඩේ, එයා මීගමුවේ වුණත් අපේ හමුවීම අහම්බයක්. ඒ වෙද්දී මම ක්‍රිකට් ගැන උනන්දුවක් නැහැ. එයා ක්‍රිකට් ගහනවා කියලා මම දන්නෙත් නැහැ අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙයි දැනගත්තේ එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා. ඒක මටවත් පවුලේ අයටවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. එයා අපි ඉදිරියේ සාමාන්‍ය කෙනෙක්. ඒක අදටත් එහෙමයි. මවුපියන්ගේ ආශිර්වාදය ලැබුණත් අපි නිතරම මුණගැහුණේ නැහැ. මාව මුණගැහෙන්න එයා එන්නේ අපේ ගෙදරට. අවුරුදු දෙකක් ආදරේ කරලා විවාහ වුණා.

ක්‍රිකට් ක්‍රීඩකයකුගේ අව්වේකී ජීවන රටාවත් එක්ක පවුල් ජීවිතය රැක ගන්න අපහසු වෙයි කියලා බියක් දැනුණේ නැද්ද?

මම එයාව දැක්කේ සාමාන්‍ය කෙනෙක් විදිහට. දසුන් මාත් එක්ක ඉද්දි ක්‍රිකට් ගැන කතා කරන්නේ නැහැ. ඉඩ ලැබෙන හැම මොහොතකම අපි ජිවිතේ විඳිනවා. ඒ නිසා එයා කාර්යබහුල ක්‍රීඩකයෙක් වීම නිසා අපිට ජීවිතේ මගහැරෙයි, එයා වෙනස් වෙයි කියන සිතුවිල්ල මට ආවේ නැහැ. මම ආදරේ කළේ එයාගේ මනුස්සකමට. ඒ වගේම විවාහ වෙන්න හිතාගෙන තමයි එයා ආදරෙ කරන්නේ කියලා තෙරුම් ගියා. විවාහ යෝජනාව ගෙන ආවෙත් විවාහ වුණෙත් මගේ හිමිකාරයා ඔහුම නිසා වෙන්න ඇති. නැත්නම් අපි එකතු වෙන එකකුත් නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. විවාහ වෙලා දසුන්ගේ මවුපියන් එක්ක ජීවත් වෙද්දී මට දැනෙන්නේ මගේ අම්මා, තාත්තා එක්ක ඉන්නවා වගේ හැඟීමක්. ඒ නිසා දසුන්ගේ බිසී ලයිෆ් එක මට බරක් කරදරයක් විදිහට දැනිලා නැහැ.

ජාත්‍යන්තර අවධානය දිනාගත් බොහෝ දක්ෂ ක්‍රීඩකයන්ගේ දක්ෂතා විවාහයෙන් වියැකී ගියත් දසුන් තවමත් දක්ෂතා දක්වනවා. ඒ සඳහා ඔබේ දායකත්වය අනිවාර්යයෙන් ලැබෙනවා ඇති නේද ..?

ආදරේ කරන කාලෙත් විවාහ වුණාට පස්සෙත් මම එයාට වදක භාර්යාවක් වෙලා නැහැ. දසුන්ට උපරිම නිදහස දීලා මම පවුලේ වැඩ කටයුතු දසුන්ගේ මවුපියන් එක්ක එකතු වෙලා කරගෙන යනවා. එයාට එයාගේ ක්‍රීඩා වැඩ විතරයි කරගන්න තියෙන්නේ. මැච් නැති දවස්වලටත් එයා පුහුණුවීම් කරනවා. ව්‍යායාම් කරනවා. යාළුවෙක් එක්ක හරි පිතිකරණ පුහුණුවීම් වෙනවා. එයාට පුංචි විවේකයක් හරි ලැබුණොත් පවුලේ අය එක්ක කාලය ගත කරනවා. පුළුවන් උපරිමයෙන් අපි ජිවිතේ විදිනවා. මේ කාලය එයාට නිදහසේ ඉන්න දෙන්න ඕන කියලයි මම හිතෙන්නේ. පවුල් ජීවිතේ බරක් වුණොත් එයාට එයාගේ ගමන යන්න බැහැ. එයාගේ සාර්ථකත්වය මට සතුටක්. ඒකට මට පුළුවන් උපරිමය මම කරනවා. මට හොඳ සැමියෙක් ලැබිලා ඉන්නවා. මම එයාට ඒකට ගරු කරන්න ඕන.

ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් වශයෙන් දසුන්ගේ ඇඳුම් විලාසිතා ගැන ඔබ වැඩිපුර හිතනවා ඇති නේද ?

විශේෂ අවස්ථාවලදී දසුන් කියනවා එයාට ගැළපෙන ඇඳුමක් මට හදලා තියන්න කියලා. මම ඒ ජොබ් එක කරන්නේ හරිම ආසාවෙන්. ඒ නිසා මගේ රැකියාවට දසුන් නීති දාන්නේ නැහැ. ඒකට එයා නිදහස දීලා තියෙනවා. ගොඩක් වෙලාවට මගේ ඇඳුම් නිර්මාණය කරන්නෙත් මමම තමයි. විශේෂයෙන් දසුන්ගේ විලාසිතා ගැන මම හිතනවා.

දසුන් වගේ කඩවසම් ක්‍රීඩකයකුට තරුණියන්ගෙන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙද්දි ඔබට ඒ ගැන ඊර්ෂ්‍යාවක් නැද්ද ?

අපි අවුරුදු දෙකක් ආදරේ කරලයි විවාහ වුණේ. එයාගේ ආදරේ හැමදාම මට තියෙනවා. එයා මගේ සැමියා නිසා එයා මගේ. ඒ නිසා තරුණියන් ප්‍රතිචාර දැක්වුවා කියලා මම ඒ ගැන කලබල වෙන්නෙවත් දුක් වෙන්නෙවත් නැහැ. ඊර්ෂ්‍යා කරන්නෙත් නැහැ. සමහර ගැහැනු ළමයි මට මැසෙජ් කරලා තිබ්බා මැච් එක දිනුවට පස්සේ එයාලාගේ කැමතිම ක්‍රීඩකයා දසුන් කියලත්. මම එයාලට ප්‍රතිචාර දැක්වුවා. ඒක සතුටක් මිසක් දුකක් නෙමෙයි මට නම්. ඒ වගේ ප්‍රතිචාර ලබන්න දසුන් වාසනාවන්තයි.

තරග ජයග්‍රහණය කරද්දී අත්පොළසන් දෙන ජනතාවම තරග පරාජය වෙද්දී විවිධ චෝදනා කරනවා. ඒ වගේ අවස්ථාලදී ඔබ හා දසුන් මානසිකව වැටිලා නැද්ද ..?

තරග පරාජය වෙද්දී හැම ක්‍රීඩකයෙක්ම මානසිකව වැටෙනවා. දසුනුත් එහෙමයි. අපේ රටේ ජනතාව එතරම් දරුණු නැහැ. නමුත් ඇතැම් අවස්ථාවලදී සමාජ මාධ්‍යයේ යන විවේචන හිතට දුකක් ඇති කරනවා. නමුත් දැන් අපි පුරුදු වෙලා ඉන්නවා ඒවා නොබලා ඒවායින් ඈත්වෙලා ඉන්න. ක්‍රීඩාලෝලින්ට දොස් කියන්න බැහැ. ඒ එයාලගේ සතුට හා දුක එළියට දාන ක්‍රමය වෙන්න ඇති. ඒ හැමදේම සම සිතින් විඳින්න ඕන.

බොහෝ දක්ෂ ක්‍රීඩකයන් මේ වෙද්දී විදේශරටවලට ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා, රටේ තියෙන ප්‍රශ්න එක්ක දසුන් ඔහුගේ දායකත්වයත් විදෙස් රටකට ලබා දෙයිද..?

දසුන්ට මේ වෙද්දිත් බොහෝ අවස්ථා හිමි වෙනවා. කණ්ඩායම් නායකත්වය දරන්නත් අවස්ථාව හිමි වෙලා තියෙනවා. ඒ වගකීම් අවසන් වුණු දවසක එයා තීරණයක් ගනීවි, අනාගතේ මොකද කරන්නේ කියලා. තවම එයා හිතන්නේ අපේ රටට දෙයක් කරන්න මිසක් විදෙස්ගත වෙන්න අදහසක් නැහැ. පුළුවන් උපරිමයෙන් එයාගේ දායකත්වය අපේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ලබා දෙයි.

 

 

Comments