කොරියාවේ සිටින ශ්‍රී ලාංකේය සේවකයන්ගේ ආර්ථික සහ වාණිජ බැඳීම් ශක්තිමත් කිරීම විශාල වත්කමක් | Page 4 | සිළුමිණ

කොරියාවේ සිටින ශ්‍රී ලාංකේය සේවකයන්ගේ ආර්ථික සහ වාණිජ බැඳීම් ශක්තිමත් කිරීම විශාල වත්කමක්

කොරියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පැවැති උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත සහ කොරියානු තානාතිවරයා

කොරියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 45 වන සංවත්සරය සමරමින්, කොරියානු ජනරජයේ මෙරට සිටින තානාපති සන්තුෂ් වූන්ජින් ජියොං සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක අනුවර්තනයයි මේ. මෙහිදී, දෙරට අතර සම්බන්ධතා ඉදිරියට පවත්වා ගෙන යෑම පිළිබඳව තම අදහස් පළ කළ තානාපතිවරයා, වඩා හොඳින් ලෝක ව්‍යාප්ත වීම සඳහා ශ්‍රී ලංකාවට ඇති අවස්ථා මෙන් ම මැඬපැවැත්විය යුතු අභියෝග පිළිබඳව ද තම මතය ඉදිරිපත් කළේ ය. පහත දැක්වෙන්නේ ඒ සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත් කොටස් කිහිපයකි.

ඔබගේ රටේ වටිනාකම් මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාව සමඟ තිබෙන බැඳීම් ශක්තිමත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ඔබ සැලසුම් කරන්නේ කෙසේ ද?

ශත වර්ෂයකින් අඩකට ආසන්න කාලයක දී අපගේ ද්විපාර්ශ්වික සම්බන්ධතා විවිධ මාන ඔස්සේ සංවර්ධනය වී තිබෙනවා. කොරියානු තානාපතිවරයා වශයෙන්, ආර්ථික, සංවර්ධන, කම්කරු, සහ සංස්කෘතික හා අධ්‍යාපනික සහයෝගිතාව ඔස්සේ අපගේ බැඳීම් දියුණු කිරීමට මම අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් සහ කම්කරු බළකායට ඌණ පූරකයක් ලෙස කොරියාවේ අධි තාක්ෂණය හා ප්‍රාග්ධනය සමඟ සම්බන්ධ විය හැකියි. උපාය මාර්ගික පිහිටීම සලකා බලන විට ශ්‍රී ලංකාව සමඟ සහයෝගිතාව පවත්වා ගැනීම කොරියාවට අත්‍යවශ්‍ය දෙයක්. දෙරටෙහි ම ආර්ථික සංවර්ධනයට දායක වෙමින් ශ්‍රී ලාංකීය විදේශ රැකියා නියුක්තිකයන් 25,000 ක් පමණ දැනට කොරියාවේ සේවය කරමින් සිටිනවා. අපගේ රටවල් දෙක අතර සම්බන්ධතාව පවත්වා ගෙන යෑම සඳහා ඔවුන් වැදගත් භූමිකාවකට පණ පොවනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියේ දී කොරියාව උපකාර කරන්නේ කෙසේ ද?

සංවර්ධන ව්‍යාපෘති ගැන කතා කරන විට, ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් KOICA සහ EXIM Bank Korea යන ආයතන විසින් ඉටුකර ඇති ප්‍රධාන කාර්යයන් හඳුන්වා දෙන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. අධ්‍යාපනය, ප්‍රවාහනය, ජල සම්පත් සහ කෘෂිකර්මය යනාදී අංශවල ප්‍රධාන උපාය මාර්ගික අරමුණු ඉලක්ක කරගෙන KOICA ආයතනය මඟින් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එමඟින් ඔවුන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යායාම සාර්ථකව ශක්තිමත් කිරීමට දායක වී තිබෙනවා. කොරියාව, ශ්‍රී ලංකාවේ වර්තමාන ජාතික සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සහාය ලබා දෙන විශ්වසනීය, එමෙන්ම විශ්වාසය තැබිය හැකි හවුල්කරුවකු වනු ඇතැයි මා විශ්වාස කරනවා. මේ සියලු දේ ජවයක් බවට පත් කරගෙන, ඉදිරි වසරවල දී ද්විපාර්ශ්වික බැඳීම් තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කරන්නට පුළුවන්.

ශ්‍රී ලංකාව කොරියාවට බොහෝ අගනා රටක්, එසේ ම එය අපගේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලෙන් (EDCF) ප්‍රතිලාභ ලබන දේශ පහ අතරෙන් එකක්. කොරියානු අපනයන-ආනයන බැංකුව හරහා 1987 සිට ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ සලසමින් නොයෙක් ODA ව්‍යාපෘතිවල කළ ආයෝජන හා ප්‍රදාන සමඟ ලබා දුන් සම්පූර්ණ සහන ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 900 ඉක්මවා යනවා. උදාහරණයක් වශයෙන්, 2020 වසරේ සිට 2022 වසර තෙක් කොරියානු රජයේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලෙන් (EDCF) ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 500 ක වටිනාකම වන තෙක් මෘදු ණය ලබා ගැනීමට හැකි වන පරිදි අවශ්‍ය රාමුව සකසා තිබෙනවා. ඒ අතරම, ශ්‍රී ලංකාවේ සේමෝල් පදනම (Sae maul Foundation) යනුවෙන් හැඳින්වෙන අලුත් ගම්මාන ව්‍යාපාරය සහ KOPIA මඟින් ශ්‍රී ලංකාවේ දී ක්‍රියාවට නැංවූ අර්ථවත් ප්‍රවේශ හරහා ග්‍රාමීය ජනයාගේ ජීවනෝපාය ක්‍රම සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාර්ථකත්වය අත්පත් කරගෙන තිබෙනවා.

ඒ වාගේ ම කොළඹ තිබෙන KORTA ආයතනය මඟින් සපයන අමිල සේවය ගැනත් මෙහි දී මා මතක් කළ යුතුයි. මෙය අපගේ ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා ඉතා වෙහෙස වී වැඩ කරන, වාණිජ සම්බන්ධතා පිළිබඳ විශේෂිත නියෝජිත ආයතනයක්. කොරියානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීම සඳහා පහසුකම් සැලසීමේ මාර්ග පිළිබඳව තවදුරටත් සොයා බලමින්, KORTA ආයතනය අපගේ ද්විපාර්ශ්වික වෙළඳාම් හා ආයෝජන වැඩි කිරීම සඳහා බොහෝ සේ උනන්දු වෙනවා.

කොරියාව 2004 වසරේ දී රැකියා බලපත්‍ර යෝජනා ක්‍රමය හරහා ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබා දීම ආරම්භ කළා. කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් දෙරටෙහි ම ආර්ථිකය නඟා සිටුවීමට උපකාර කරනවා. කම්කරු සහයෝගිතාව පුළුල් කිරීමේ යම් හැකියාවක් තිබෙන බව ඔබට පෙනෙනවා ද?

කම්කරු සහයෝගිතාව සඳහා මෑත වසරවල දී සම්බන්ධ වී තිබෙන ආකාරය සිත්ගන්නා සුලුයි. EPS මධ්‍යස්ථානය මඟින් සිදු කරන පෙරටුගාමී මැදිහත්වීම නිසා කොරියාවේ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට දුෂ්කරතාවලින් තොරව පිටත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසී තිබෙන අතර, එමඟින් අප දෙරට අතර කම්කරු සහයෝගිතාව ශක්තිමත් කර තිබෙනවා. ශ්‍රී ලාංකික සේවකයන් 25,000 ක් පමණ මේ වන විට කොරියාවේ සිටිනවා. 2019 වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 520 ක් පමණ ඔවුන් කොරියාවේ සිට මෙරටට එවා තිබෙනවා. දෙරටෙහි ම ආර්ථික උන්නතිය වෙනුවෙන් ඔවුන් විශාල වශයෙන් දායක වෙනවා. දෙරට අතර පවතින ආර්ථික සහ වාණිජ බැඳීම් ශක්තිමත් කිරීම සඳහා කොරියාවේ සිටින ශ්‍රී ලාංකික සේවකයන් විශාල වත්කමක්. ඔවුන්ගේ වටිනා දායකත්වය සැලකිල්ලට ගනිමින් මේ වසරේදී කොරියානු රජය ශ්‍රී ලංකාවට ලබා දෙන විදේශ රැකියා කෝටාව සැලකිය යුතු මට්ටමකින් වැඩි කර තිබෙනවා. ආසන්න වශයෙන් එය දෙගුණයක වැඩිවීමක්. දෙරට අතර පවතින කම්කරු සහයෝගිතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි යන්න මගේ බලාපොරොත්තුවයි.

කොරියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන ප්‍රවර්ධන ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කිරීමට දායක වී ඇත්තේ කෙසේ ද?

දෙරටෙහි ජනතාව අතර ඇති බැඳීම් ශක්තිමත් කිරීම ද්විපාර්ශ්වික සම්බන්ධතාවල ඇති වැදගත් අංගවලින් එකක් යැයි මා විශ්වාස කරනවා. ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිහිටුවා වසර 45 ක සංවත්සරය සනිටුහන් කිරීම වෙනුවෙන් වැදගත් ඉහළ නිල හොබවන කොරියානු නිලධාරීන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ, ජාතික සභාවේ කථානායක සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍යවරයායි. ඔවුන් මෙහි පැමිණියේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා කොරියාවේ කළ සංචාරයට පසුවයි. 2020 වසරේ දී නව වැනි පාර්ලිමේන්තුවේ ආරම්භයෙන් පසු ශ්‍රී ලාංකික කථානායකවරයාගේ ඇරයුමකට අනුව මෙරටට පැමිණි පළමු විදේශ රටක කථානායකවරයා වන්නේ කොරියානු කථානායකවරයායි. කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයන්ගේ වටිනා දායකත්වය සමඟ මේ සංචාරය එක්ව ගත් විට එය දෙරට අතර ඇති පාර්ලිමේන්තු සම්බන්ධතා වඩාත් තහවුරු කිරීම සඳහා කළ කාහල නාදයක් වගේ. වසර 45 කට පසු උදාවූ නව පරිච්ඡේදයේ දී දෙරටෙහි ජනතාව අතර සිදුවන හුවමාරු කර ගැනීම් ඉහළ නැංවීම සඳහා මා වැඩිපුර උත්සාහ කරනවා.

කොරියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික සහයෝගිතාවේ නවතම සංවර්ධන ක්‍රියාවලි මොනවා ද?

කොරියානු පොප් සංගීතය සහ නාට්‍ය සඳහා ඇති ජනප්‍රියතාව වැඩිවීමත් සමඟ ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව අතර කොරියානු භාෂාව ජනප්‍රිය වෙමින් තිබෙනවා. මේ නැඹුරුතාව පිළිබිඹු කරමින්, 2021 වර්ෂයේ සිට ඉදිරියට උසස් පෙළ පන්ති සඳහා කොරියානු භාෂාව විෂයයක් ලෙස හඳුන්වාදීමටත්, 2023 වර්ෂයේ සිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ විභාගයේදී විදේශ භාෂා අතරට කොරියානු භාෂාව විෂයයක් ලෙස එක් කිරීමටත් ශ්‍රී ලංකා රජය ගත් පියවරයන්ට කොරියානු තානාපති කාර්යාලය ප්‍රශංසා කරනවා. ශ්‍රී ලාංකික ජනතාවගෙන් වැඩි දෙනකුට කොරියානු භාෂාව ඉගෙනීමට අනුබල දීමේ අරමුණ ඇතිව කොරියානු තානාපති කාර්යාලය සමඟ එකතු වී ශ්‍රී ලංකා රජය මඟින් විවිධ ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. එමඟින් කොරියාවේ සේවය කිරීම සඳහා යන ශ්‍රී ලාංකිකයන් රැකියාවල යෙදවීමේ හැකියාව වර්ධනය කිරීමට මෙන් ම සන්නිවේදන සම්බන්ධතා ගොඩනැඟීමට ද හැකි වේවි.

ඔබේ රාජ්‍යතාන්ත්‍රික වෘත්තියේ දී ඔබ වැඩ කිරීමට වඩාත් ප්‍රිය කළ රටවල් මොනවා ද? ඊට හේතු වූ කරුණු මොනවා ද?

ශ්‍රී ලංකාව, මම රටවල් බොහෝ ගණනකට ගොස් තිබෙනවා වගේ ම එම රටවල වැඩ කර තිබෙනවා. එසේ වුවත්, තානාපතිවරයකු වශයෙන් මම සේවය කළ පළමු රට වන්නේ ශ්‍රී ලංකාවයි. මම කොරියානු තානාපතිවරයා පමණක් නොවෙයි, ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කළ තානාපතිවරයා ද වෙනවා. මම කොරියාවේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරනවා. හේතු කාරණා ගණනාවක් නිසා ශ්‍රී ලංකාව මට විශේෂයි. ශ්‍රී ලාංකික මිනිසුන්ගේ මුහුණුවල සෑමවිට ම සිනා දකින්නට තිබෙනවා.

කොරියානු භාෂාවෙන් මගේ නම වන “වූන්ජින්” යන්නෙහි තේරුම වන්නේ සතුටයි. මා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ශ්‍රී ලාංකික මිතුරන් කීප දෙනෙක්ම ‘සතුට’ යන්නට සමාන තේරුම් ඇති ශ්‍රී ලාංකික නම් ගණනාවක් මට නිර්දේශ කළා. ඒ අතරින් ‘සන්තුෂ්’ කියන නම මගේ හිත වඩාත් ඇද ගත්තා. ශ්‍රී ලංකාව මට විශාල සතුටක් ලබා දෙන නිසා මට මා හැඳින්වීමට වඩාත් සුදුසු නම ‘සන්තුෂ්’ යැයි මම තීරණය කළා. මම සෑමවිට ම කියනවා වාගේ මම ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලාංකික ජනතාවට සතුට (සන්තුෂ්) රැගෙනයි. ඒ, මම ශ්‍රී ලංකාවට හා ශ්‍රී ලාංකික ජනතාවට ආදරෙයි.

අනුරාධා කෝදාගොඩ 
අනුවර්තනය - අම්බිකා දිසානායක

Comments