
සාමයේ මල්
කටු කිරුළ පලන්දා
දුක බව කීවත්
කටු පඳුරු වලට
මල් පුබුදා
සාමය උදා කළා
ස්වර්ගයේ දෙවිඳු ළඟ
සිත නවතින්නට
දහම බෙදා දුන්නා
බෙත්ලෙහෙම් පුරේ
තව අසිරි නැඟේ
සීනු හඬින් පුබුදා
උඳුවප් සිසිලස
හදවත් සිසිලට
ජේසු සමිඳු සිහිවේ
නයනා රාජපක්ෂ
නත්තලේ සැබෑ අරුත
අඹර පෙර දිගෙහි දිලි අමුතු තරුවක් තියේ
තුසර පිනි වැටෙන හරි සීත කළුවර රැයේ
පවර උපතක ලකුණු ඇතිව නත්තල් පැයේ
නුවර බෙත්ලෙහෙම් ගවලෙනක බිහිවුණු පියේ
නපුරු රජුන් පූජකද ධනවතුන් රොද බැඳී
රුදුරු ලෙස ලොවේ සාරය උරා බොන ලදි
අඳුරු සමයක එවන් ජේසු උපතද යෙදී
මහරු එතුමා දහම් දෙසා හරි මඟ යෙදී
කෙනෙක් ඔබේ කම්මුලට ගසා ඇති මුත් රඳා
අනික් කම්මුල පානු ඉවසලා සිත හදා
බසක් මේ වැනි සතට ඉවසීම ගැන එදා
පසක් වෙයි හැම සතට ඉවසීම වෙත හොඳා
අමුවල අමරසේන
ජේසු උපන්නා
නිල් අහසේ තරු තුනකින්
බැබළෙනු දුටුවා
රජතුන් කට්ටුව ඒ ගැන
විමසනු දුටුවා
ජේසු බිලිඳු උපන් පුවත
දසත පැතිරුණා
බෙත්ලෙහෙම් පුරේ ගවලෙන
තුටින් වැජඹුනා
සාම කුමරු උපන් නිසා
ලොවම සැනසුනා
ශ්‍රී නාමය කිතුනු ලොවේ
සනිටුහන් වුණා
සාමය, සමගිය ලොව
හැමතැනම රජවුණා
සීතා රංජනී සතරසිංහ
නත්තල් සීනු
අප පොඩි ගම්මානේ -පිවිතුරු දෙවි විමනේ
ගොපලු පැලක් තුළ - බිලිඳු පුතකු බිහි වූ බව දන්වන සේ
නත්තල් නත්තල් නත්තල් නත්තල් නත්තල් සීනු ඇසේ
හිම වැසි වැස්සේ මුළු රැය තිස්සේ- නත්තල් සීනු ඇසේ
රත්රන රජ කාලේ- දිළිදා පැලේ මෙසේ
බිලිඳා දිළිදා වී බිහිවූයේ -දිළිදා ඔසවන සේ
නත්තල්...
මාලිග පහත හෙළා - පැල්පත උසස් කළා
මාලිග සැදුවේ දිළිදගේ කඳුළෙන්- යනු පහදාලන සේ
නත්තල්...
ජීවන විලාසිතා - නව ආරයට ගොතා
අපටත් පිහිටෙව්වා නව ආරය- බිලිඳුට සමවන සේ
නත්තල්...
බිලිඳුට ගව ඔරුවේ- නිදා ගන්න හුරු වේ
පැල හෝ පිල හෝ අපටත් - නත්තල් බිලිඳුට සම වන සේ
නත්තල...
(මර්සලින් ජයකොඩි පියතුමා විසින්
1990.06. 19 රචනා කරන ලද්දකි.)
ඉදිරිපත් කිරීම- ආනන්ද කරුණාරත්න
නත්තල් ආවා!
නත්තල් දවසයි අද එන්නේ
දරුවන් දවසෙම බඩගින්නේ
උන්ගේ මූණු මැලවී ඉන්නේ
තැන තැන වැටිලා නිදියන්නේ
රෑ ගෙවිලා ඉර පායන්නේ
පොරොන්දු ණය කොහොමද දෙන්නේ
සිහිවෙන විට ගිනි ඇවිලෙන්නේ
කඩුල්ල පැන මුදලාලියි එන්නේ
දරුවන් ඔහු වට කර ගන්නේ
තෑගි බෝග උන් හට දෙන්නේ
බිරියයි බඩු මළු ටික ගන්නේ
මුදලාලියි නත්තල් දෙන්නේ
රූපසිරි කේ. ලියනගේ
නත්තලේ අසිරිය
පහන් තරුවක් නැඟී අහස් කුස දිලෙන් නේ
ගිමන් හල - ගවලෙනයි එළිය කර තිබෙන් නේ
මරිය මවු තුමිය වේදනා දුක් විඳින් නේ
ජුසේ පියතුමා තමයි පහසුකම් සදන් නේ
දේව දූතයන්ගේ පණිවුඩය ඇසෙන වා
සාමදානයේ කුමරු උපත ගැන කියන වා
ලෝ සතට සාමයේ දේව බල මැවෙන වා
වාසනාවන්ත නත්තලක් යළි ලබන වා
රැයේ මැදියම අසිරිමත් බවම දැනෙන වා
සිනා රැල් දරුවන්ගෙ මුව පුරා නැගෙන වා
අපේ දෙව් මැඳුරුවල සීනු හඬ ඇසෙන වා
සාමයේ කුමරුගේ නත්තලක් ලබන වා
සිරි දන්තනාරායන
සුවඳේ නත්තලේ
කිතු සමිඳුනි
දෙවි බව ඉවත් කොට ගනිමින් මිනිසි වෙස
ජනිතව දිළිඳු ලෙස කිතුහිමි මෙලොව කුස
පාදනු පිණිස ජනතාවගෙ නුවණ ඇස
කැප විය නිබඳ පෙම්බර පියතුමකු ලෙස
තම හට මෙන්ම අන් අයටද එක සේම
වෙනසක් නැතිව සුහදව කළ යුතු පේම
යනුවෙන් එදා සමිඳුනි ඔබ දෙසු දාම
පවතී මගේ සිත තුළ නොමැකී තාම
ඔබතුම කුලුණු බර දෑසින් මෙලොව බැලු
වස්වා දහම් වැසි පවු මල දොවන සුළු
පරමෝදාර කළ සේවෙට නොවන සුළු
තුතිමල් පුදති වැඳ වැටෙමින් ලොවම මුළු
දළුපත පිලීෂියන්
නත්තලයි දිනේ
උඳුවප් සීතල අරගෙන
හමන මඳ පවන් සමගින
සුබාරංචි අත දරමින
කවුද එනු පෙනේ...
ඇඟිලි ගැන්න මෙතුවක් කල්
දරුවො තුටින් දැඟලිලි ගත්
සාමය තුට පොදි බැඳගත්
සුමිතුරුම දිනේ...
කුසින් පිසින ගිනි විගසින
ප්‍රබෝධව සිටිති සැමදෙන
අරුත්බර ගීත ගයමින
බැති වඩන දිනේ...
සරත් කුමාර වික්‍රමගේ
ගව ඔරුවක බිලිඳු පුතෙක්
හිරිගඩු පිපෙනා සීතල යාමෙක - බිලිඳු හඬක් ඈතින් ඇසුණා
කිසිදු කෙනෙක් නැත ඇහෙනා මානෙක - කෙළවර නැති තරු වැල් පෙණුනා
මා පිය දෙදෙනට හව් හරණක් නැත - ගණඳුර ලොව තුළ රජ කෙරුණා
චුටි පුතෙක් ඇත බිහිවී මවකට - ගව ඔරුවක පහසක් ලැබුණා
දයාව කැටිකළ පහන් සිළුව වු - මිනිසත් බව ලත් ජේසු බබා
සාමය පතුරන විලසින් මිහිබට - "සාම කුමරුවා" ජේසු බබා
ෆ්රීඩා විල්ලවරායන්
සාම කුමරුනේ
මිනිසත්බව ගෙන මෙලොවට වැඩි
දෙවි පුතුගේ උපත සමරණ
මෙවන් මොහොතක මිනිසුනේ
ඔබ හද විවරකර බලනුමැන
දූෂණයෙන් භිෂණයෙන්
වෛරයෙන් පලිගැනීමෙන්
ගිනි ගෙන දැවෙන ලොව
මිනිසුන් උදෙසා මිනිස් බව ගත්
දෙවි පුතු වු සාම කුමරුනේ
පවුකරුවනට සමාව දුන්නු
යහමග පෙන්නු සාම කුමරුනේ
මාරි පැන්සි පෙරේරා
මිලාන නත්තල
මිලාන හඳ බොඳ වීලා තරු එළියේ
හිරුගේ රටා නොවියෙන මුත් කල එළියේ
එක එක ගෙදර අය බැඳෙනා කිටිකිටියේ
මෙය නත්තලකි පවුලේ අය එක හැලියේ
රට තොට පුරා රෝ බිය පැතිරෙන හින්දා
ගත හැකි නොවේ වෙනකකු ගෙදරට කැන්දා
එනිසා නිවැසියන් පමණක් ගෙයි රන්දා
සමරන නත්තලකි එක හුයකින් බන්දා
සිත තුළ වේය අද බිලිඳුන් ඉපදෙන්නේ
එක එක ගෙවල් අද ගව මැදුරක් වැන්නේ
නවතම පණිවිඩයකිය අරගෙන එන්නේ
බිලිඳුන් සුසිත් දන නැත තනි කරවන්නේ
ගාමිණි ලිවේරා
නත්තල් සිරි
හිම මල් පෙති
ගසු අතු ඉති මත
විලෝ ගස්වල කොළ එක දෙක
හෙමින් හෙමින් හෙමිහිට
මිහිමත...
ඩැෂර්, ඩාන්සර්, ප්‍රාන්සර්
වික්සන්, කොමට්, කියුපිඩි
ඩොන්ර් බ්ලිටිසන්, රුඩොල්ෆ්
සූදානමින් පිනි මුවන් බැඳෙන
කරත්තයට
සිනාසෙමින්, සිහින මවමින්
බලා සිටිනා දූ පුතුන්
හමුවන්නට
සැන්ටර් ක්ලෝස් සමගින්
චාන්දනී දේවිකා පුංචිහේවා
.
නත්තල් අසිරිය
තරුවක් නැගුණ අහසේ
බිලිදෙක් නිදයි සුවසේ
සීතල පිනි මුවන් රහසේ
උණුසුම බෙදයි රිසිසේ
පැල්පත් මහ මැදුරු අතරේ
සාමයෙ ගී මිහිර පැතිරේ
සීනු හඬ රැව්දෙයි දේව මැදුරේ
අදයි නත්තල බලන් මිතුරේ
රත්නසිරි පතිරණ
මුදු සිත් තුළ සුමුදු පැතුම්
සීතලම සීතලේ බිම වැටෙන පිනි බින්දු
නත්තලේ ගස් පුරා පුංචි කොළ තුඩු අතර
එකිනෙකා තුරුලු වී ආදරේ බෙදාගෙන
දකින හැම සිතකටම සතුට දෙන අපුරුව
හිම වගේ පිරිසිදුය සමිඳ ඔබෙ හදවතත්
එහි පිරී තියෙන්නේ හිත නිවන සිහිලසක්
පිරිසුදුය - සුන්දරය ජේසු සමිඳුනි ඔබත්
අප වෙතට එනු මැනවි මේ නත්තලේදිවත්
මුදු සුමුදු ළමා විය වියළෙන්න ඉඩ නොදී
මුවට මදහස බෙදා - හිතට සෙනෙහස සදා
ආදරේ මුතු පබළු - නෙතු පියන් අග රුවා
සමිඳුනේ වඩිනු මැන ආදරේ තෑගිත් අරන්
කුසුමා වර්ණසුරිය
යළි වඩිනු මැන
අයුක්තිය අසාධාරණය
රජයන ලෝකයක
සාමයේ පණිවුඩය
නැවත සිහි කැඳවන්ට
එනු මැන මනුලොවට
කනවැරැල්ලේ හේමාලෝක හිමි
සාම රජිඳු
රන් තරුවක් - අහසේ බැබළෙනවා
සීනු හඬින් - ලොව පිබිදෙනවා
සාමය සම්පත -දෝත දරාගෙන
ගවලෙන තුළ- රජිඳකු බිහිවෙනවා
ශ්‍රීමතී කුමාරි ජයකොඩි
රන් රුවක් බඳු දෙව්පුත්
කුමරි මරියාවන්
ශුධාත්ම බලයෙන්
පිළි සිඳුනි කුසයේ
ජේසු බිලිඳුන්
බෙත්ලෙහෙම් පුරවරයේ
ගව ලෙනක දුකසේ
ඉපදුනා දෙව්පුත්
රන් රුවක් සේ
බිලිඳු දුටු ගොපලුන්
වැඳ වැටුනි බැතියෙන්
සුරැකි පිය මුනිඳුන්
රැක ගත්තේ පුතු පණ මෙන්
නාලිනී අල්මේදා
සිරිබර නත්තල
නත්තල නත්තල සුමිහිරි නත්තල
සාමයේ ගී හඬ රැවු දෙන නත්තල
සිහිල් පවන් රැලි පාවෙන නත්තල
වටපිට හැඩ තව වැඩි වෙන නත්තල
සුන්දර නත්තල මිහිරිම නත්තල
ඔබ මා හමුවුණ පසුගිය නත්තල
දෙව් මැදුරේ අප දෙපසින් සිටගෙන
ගීතිකා ගැයුවෙමු සිහිකර නත්තල
නත්තල නත්තල සිරිබර නත්තල
ළඟ ළඟ එනවා නැවතත් නත්තල
දෙව් මැදුරට අපි මෙවර එකට යමු
ගයමු ගීතිකා සමරමු නත්තල
මාලතී රූපිකා පුංචිහේවා
නත්තල් ගීතේ
සීතල උඳුවප් මාසය පැමිණෙන්නේ
දෙසැම්බරය දින දසුනට නෙත දෙමිනේ
එහි තවත් එක් පිටුවක් පෙරළෙන්නේ
නත්තල ජනතාවට සිහි ගන්වමිනේ
මැදියම් රැයේ නත්තල් සීයා එන්නේ
ඒ සාන්ත නිකලස් යැයි පැවසෙන්නේ
නත්තල් තෑගි සැමටම නැහැ පුද දෙන්නේ
පුංචි ළමයි තෑගි ලැබ සතුටින් ඉපිලෙන්නේ
ඉඳුරංග හල්කෙවිදාන
ඉමිහිරි රහසක්
සීතල දෙසැම්බරේ
සමරන නත්තලේ
දෙවි සමිඳුන් හට
ආලේලුයියා වේ
අප ලද ජීවිතයේ
අරුත කියූ සමිඳේ
බාධක මැද ජයගත් දිවියේ
ස්තුතිය ඔබට පිදේ
උදවු කරමු සැම විට
බෙදා සතුට සැමහට
එකා මෙන්ම සැමවිට
සදා බැඳෙමු රැහැනක
මේනකා දමයන්ති
නත්තලේ සුපිපි මල්
ලස්සන අහසේ තරුමල් අතරින්
දිදුලන තරුවක් පෑයුවා
බෙත්ලෙහෙමේ බැදි කඩතුර අතරින්
බිලිඳු හඬක් මතුවී ආවා
ලොවම සලිතවී ලොවම සතුටු වී
සාමයෙ මල් වැල් නැලැවුවා
නත්තල් සීනු හඬේ රන් ස්වරයෙන්
ජේසු බිලින්දා බිහිවුවා
දුගියා මගියා හා කුලපතියා
සැමහට එකලෙස සැලකූවා
සතුරා මිතුරා භේද දුරැරදා
යහපත සලසා කැපවුවා
ලොව දන සැමගේ වැඳුමට පිදුමට
පා පියුමක් වුවා
සමිඳානෙනි ඔබ වෙනුවෙන් මගෙ පැල
නොනිමෙන පහනක් දැල්වුවා
ආනන්ද අබේවික්‍රම
ජේසු සමිඳු
පෙන්වා තමන් සතු අසදිස බලය හද
පිළිසිඳ මනු ලොවේ හැර දෙවි පදවි ලද
හැම සිත් මිනිස් එකසේ සනසවන ලෙද
ජේසුස් සමිඳු ඉපදුන නත්තලය අද
පුහුදුන් මිනිස් සිත පිළිබඳ දැනුම මත
වරදට සමා දීමෙන් හැම අයෙකු වෙත
යේසුස් කිතුනු සමිඳුන්ගේ අපරි මිත
මානව දයාවේ තරමම පෙනෙනු ඇත
සිසිලක් වැනිවු ලෝකෙට ගිනි ගහන පවේ
දහමේ කිතුනු බලයෙන් ගත සිතද නිවේ
පරලොව චීර ජීවනයේ අමර සුවේ
ලබනට ජේසු මඟ යමු අපි නිබඳ දෙවේ
ඩී.සී. වැලිකල
නත්තලේ පණිවිඩය
සාමය සතුට ගැන ලෝකෙට පවසන්න
පවිටු දුදන ගතියෙන් අප බේරා ගන්න
මුළු ලොව එළිය කළ කිතු ගුණ සමරන්න
කියමින් සුබ නත්තලක් ඇවිදින් සිත් සැනසෙන්න
සුළඟේ සලිත වන විකසිත මල් තුරුලේ
බමරුන් ගී ගයනවා නත්තල් අසිරිය කියමින් මිහි මඩලේ
සාමයේ පණිවිඩය ලෝකෙට කියන වෙලේ
කොඳමල් හිනැහුනා රෑ සඳ එළියට නිසංසලේ
ඩබ්.පී. ඉන්ද්‍රානි
අසිරිමත් නත්තල
උඳුවප් මහේ සීතල මැදියම් රැයක
බිලිඳකු උපන්නා සුපසන් ගවලෙනක
මරියතුමී ලැබදුන් ඒ නිල් මැණික
සාමයෙ කුමරු සුදිලෙයි හැම පල්ලියක
පෑයූ සුපුන් සඳ ඔබමය නිලම්බරේ
ජේසු සමිඳු!නාමය දසතම පැතිරේ
වඩිනු මැනවි යළි යළි මතු සංසාරේ
බොදු කිතු බැතිමතුන්ගෙනි මේ උපහාරේ
ලයනල් ජයලත්
ඊතල විලසට
සීතල ගෙනදී
උඳුවප් මස අග
සිසිල සදාලන
කරුණා දයාව සොම්නස කැලතී
උතුරා ගලනා හද තුළ සෙනෙහස
සිහිපත් කරවයි බිලිඳු උපන්දින
සාමයේ පිවිතුරු පණිවිඩය ද ගෙන
සීතල සුනිමල දිය දහරක් සේ
දාහය විඩාව හදෙහි නිවාලන
සිරිබර සිත් තුළ සුවය සදාලන
බැතියෙන් සමරමු
පහදා තුන් සිත
රෝහිණී කැටිපෙආරච්චි
බොදු සිතෙහි නත්තල
ගව ලෙන තුළ කුමරෙකු උපදින්නේ
සුව සහනය සතහට ගෙන දෙන්නේ
පව පින ගැන දහමකි පවසන්නේ
ලොව දිනු කිතු සමිඳුන් දැකගන්නේ
දුරුකොට නැති බැරිකම් අප අතරින්
දරුවන් වෙත සෙනෙහස දෙමු සතුටින්
බොරු, කේලම්, තන්හා දුරු කරමින්
සරුකොට ගමු දිවිමග ගුණ දහමින්
ගුවන් ගැබේ තනි තරුවකි දුටුවේ
සවන් පිනා යන ගීයකි ඇසුවේ
රුවන් රිදී අප යන මග හමුවේ
පවෙන් මිදී නත්තල අද සරුවේ
කරුණාදාස සපුතන්ත්‍රි
නත්තල් පැතුම
නත්තල් පිනි වැටී උඳුවප් මස දිනක
නත්තල් කුමරු උපදී සුබ ගවලෙනක
නත්තල් තරුව බැබළි සිරි දෙව් ලොවක
නත්තල් හිත් පහන් දල්වමු එක පිලක
ලයනල් ගමගේ
නත්තල කොහිද?
අස්වාමිකව අතරමන් වු දිලිඳු මවුවරු
හාමතේ හඬා වැටෙනා බිලින්දන්
සිඟමන් යදී හිස් කුස් පුරවා ගන්න
මේ ලොව නිරායුධ මිනිසුන්
මිහිදන් කරන්නට මිසයිල හදන්නට
සඳ විමනේ මාලිගා තනන්නට කල්වරි කන්දටත් වඩා උසට
කහවනු වැය කරමින් වෙර දරණ
දේශවල ජන නායකයන්ට විද්‍යාධරයන්ට බෙදා දෙනු මැනවි
මනස මානව දයාව
මේ මිහිරි නත්තලේ ජීවමානවු ජේසු ස්වමිදරුවනේ...
ඩී.එච්. බන්දු
පාට කරන නත්තල
වැලේ දඹල ඹ්විලි බැඳ පදින නත්තල
මාදැල ඇද ලිහිණි රෑන නටන නත්තල
පුවත් මලෙන් මුතුමල් ඇට වහින නත්තල
පුවක් මලෙන් දෙසැම්බරී ගෙනෙන නන්තල
කලාමැදිරියාට එළිය ගෙනෙන නත්තල
උකුලෙ නටන කලය අරන් දුවන නත්තල
ගැරුම් වට්ටියෙන් මතුවී දිලෙන නත්තල
අන්න බලන් වක්කලමේ නාන නත්තල
අනිල් රාජා
ඔබ සොයා ආවා!
මිනිසා උගත් හොඳ නරකත් එසේ මය
දෙවියෝ කියති එය නම් නුඹෙ කරුමයමය
අපගේ වදන් වෙත යන්නට වෙහෙසමය
ආවත් දෙවි ළඟට මිනිසා මෝඩමය
දෙවියෝ උදා කළ අගනා දවස අද
යොදවා මනස යහපත අරගනිමු සොඳ
නත්තල ගැන සිතා හද පිරි තුති ද පුද
පෙන්වමු ලොවට අසිරිය නත්තලේ අද
කරුණාරත්න
ජේසු පුතා ඉපදිලා
සඳ නැති අහසේ සඳ රැස් මොකටද? තරුවක් දෙයි අමුතුම එළියක්
උඳුවප් මාසේ සීතල කුමටද? උණුසුම දෙයි ගවලෙනේ ඔරුවක්
වෛරය දුරු කොට සාමය ඇත්නම් ලෝකය සොඳුරුම පිබිදීමක්
ජේසු පුතා ඉපදුණු නත්තල ගෙන ආවා ලොව්තුරු සැනසීමක්
පාපයටම දැන් ඇලී ගැලී ඇයි?හොඳ දේවල් නැත හිත රන්දා
වැරදි මඟ දිගේ කවුරුත් යන විට කාට කියන්නද නොම තේරේ
මිනිසුන් තිරිසන් සතුන්ට අන්තයි දහමට ගරු නොකරන හින්දා
සාමය උදෙසා ජේසු ඉපදුණා කුරුසියේ දණ නමලා වැන්දා
ග.මු. සුබසිංහ
සිහින නත්තල
සීතල නත්තල ඇවිත්
උණුසුම් බඩු මිල සමඟ
Happy Christmas
කියනු බැරිව...
සොයයි නත්තල් සීයලා
දුක් පත් ජන...
කීර්ති එස්.කුමාර









