අරාබියෙන් ඇරඹෙන මෙවර පාපන්දු වසන්තය | Page 4 | සිළුමිණ

අරාබියෙන් ඇරඹෙන මෙවර පාපන්දු වසන්තය

- මේ මැදපෙරදිග අරාබි කලාපයේ පවත්වනු ලබන පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලියයි 


පාපන්දු ක්‍රීඩාවේ වසර 4කට වරක් උදා වෙන වසන්ත සැණකෙළිය ‘ලෝක කුසලාන පාපන්දු තරගාවලිය‘ සලකනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ වැඩිම අවධානය යොමු වූ සහ ලෝක ජනගහනයෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් වසඟයට ගත් ක්‍රීඩා ඉසව්ව ලෙසිනි. මැදපෙරදිග අරාබි කලාපයේ පවත්වනු ලබන පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ අද ආරම්භ වන්නේ 22 වැනි තරගාවලිය ලෙසිනි. සියලු මහාද්වීප තුළ පැවැති සුදුසුකම් ලැබීමේ තරගමාලා රැසකින් තෝරා ගත් අවසන් කණ්ඩායම් 32ක් අද (20) සිට ලබන දෙසැම්බර් මස 18 වැනිදා දක්වා දින 29ක් පුරාවට කටාර් නුවර උණුසුම දෙගුණ තෙගුණ කරමින් කරට කර තරග වදින්නේ තවත් වසර 4කට ලෝක පාපන්දු ශූරයන් ලෙස අභිෂේක ලැබීමේ බලාපොරොත්තු අතැතිවය.

සමාරම්භක උත්සවය

අද රාත්‍රී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට මෙවර පාපන්දු ලෝක කුසලාන සමාරම්භක උත්සවය කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට කිලෝමීටර් 40ක් දුරින් පිහිටි ක්‍රීඩාලෝලීන් හැටදහසකට අසුන්ගත හැකි අල් බයිට් ස්ටේඩියම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අනතුරුව සත්කාරක කටාර් රාජ්‍ය කණ්ඩායම සහ ඉක්වදෝර කණ්ඩායම අතර පළමු තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඔලිම්පික් ක්‍රීඩා උලෙළට නොදෙවැනි ආකාරයෙන් පැවැත්වෙන සමාරම්භක උත්සවය වර්ණවත් කරමින් විවිධ ඉසව් රාශියක් සංවිධාන කර ඇති අතර, පසුකාලීනව ලොව ජනප්‍රියතම ගීතයක් බවට පත් වූ වසර 2010 දකුණු අප්‍රිකාවේ පැවැති පාපන්දු ලෝක කුසලානයේ ‘වකා වකා‘ තේමා ගීතය ගැයූ කොලොම්බියාවේ ශකීරා සමඟ පොප් ගී ලොව අතිශය ජනප්‍රිය බ්ලැක් අයිඩ් පියර්ස් ගායක කණ්ඩායමත්, එංගලන්තයේ පොප් ගී තරුව රොබී විලියම්ස් සමාරම්භක උත්සවය වර්ණවත් කිරීමට එක් වනු ඇත. ලොව පුරා තරුණ ගීතලෝලීන්ගේ හද දිනූ දකුණු කොරියාවේ බීටීඑස් ගායක කණ්ඩායමේ සාමාජික ජංකොක් ද සමාරම්භක උත්සවයට එක්වන බව එම සංගීත කණ්ඩායම පසුගියදා නිවේදනය කර තිබිණි. මෙවර පාපන්දු ලෝක කුසලානයේ තේමා ගීතය වන ‘හයා හයා‘ අරාබි සහ ඉංග්‍රීසි බස මිශ්‍රිත අපූරු ගීතය ගයනු ලබන්නේ ට්‍රිනිඩෑඩ් කොදෙව්වේ කාර්ඩොනා, දකුණු අප්‍රිකාවේ ඩේවිඩෝ සහ කටාර් ගායිකා අයිෂා විසිනි. මීට අමතරව පසුගියදා ඉන්දියාවේ කූප්‍රකට මූල්‍ය වංචාවට හසු වූ සුකේෂ් චන්ද්‍රසේකර්ගෙන් තෑගි ලැබූ බවට චෝදනා එල්ල වූ බොලිවුඩ් සිනමාවේ සුරූපි නිළි කැනේඩියානු ජාතික නෝරා ෆටේහි ද මේ උත්සවය වර්ණවත් කිරීමට නියමිතය.

ශූරයන්ට ඩොලර් මිලියන 44ක්

මෙවර පාපන්දු ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායමට හිමි වන තෑගි මුදල ඉතිහාසයට එක් වන්නේ වැඩිම මුදලක් ශූරයන්ට පිරිනැමෙන අවස්ථාව සටහන් කරමිනි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1623කි. මේ මුදල් ප්‍රමාණය අවසන් වරට 2018 රුසියාවේ පැවැති තරගාවලියේ ශුරයන්ට පිරිනැමුණු තෑගි මුදලට වඩා මිලියන 40ක වැඩිවීමකි. මීට අමතරව මුළු තරගාවලියේම තෑගි මුදල ඩොලර් මිලියන 440ක් බව ලෝක පාපන්දු සම්මේලනය පසුගියදා නිවේදනය කර තිබිණි. එය අමෙරිකානු ඩොලර් බිලියන 8ක් බව කටාර් පාපන්දු සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇති අතර, තරගාවලිය පැවැත්වීමෙන් උපයා ගැනීමට අපේක්ෂිත ලාභය ඩොලර් බිලියන 17කි.

හංස ගීත මුමුණන ක්‍රීඩකයෝ

කාලයක් පුරා ලෝක පාපන්දු පිටියේ සුපිරි තරු බවට පත්වී සිටින ආජන්ටිනාවේ ලයනල් මෙසී, පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ බ්‍රසීලයේ නේමර් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී හංස ගීත ගයනු ඇතැයි විචාරකයෝ දැනටමත් අනුමාන කරති.

වසර 2006 ජර්මනියේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ සිට පාපන්දු පිටියේ ආධිපත්‍ය පතුරුවාලමින් සිටින 35 හැවිරිදි මෙසී සහ 37 හැවිරිදි රොනල්ඩෝ මෙන්ම 30 හැවිරිදි නේමර් ද වෙති. මේ අතුරින් මෙසී සහ රොනල්ඩෝ දෙදෙනාම 2006 සිට මේ දක්වා අඛණ්ඩව ලෝක කුසලාන තරගාවලි 4කට ක්‍රීඩා කර ඇති අතර, නේමර් ක්‍රීඩා කරන්නේ 2014 සිට අඛණ්ඩව තුන්වැනි ලෝක කුසලාන තරගාවලියටය. පාපන්දු ලෝකයේ සිටු කුමාරවරුන් ලෙස වැජඹෙමින් සිටියද මේ තිදෙනාටම මෙතෙක් කිසිදු අවස්ථාවක ලෝක කුසලානයේ ජයපැන් පානයට වාසනාවක් නොලැබීම කැපී පෙනේ. 

අනාවැකි පිට අනාවැකි

ඕනෑම ලෝක කුසලාන තරගාවලියකට පෙර ලොව පුරා විවිධ රටවල විචාරකයෝ සහ තරග විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති. එසේ කල්තියාම පළ කරන බොහෝ අනාවැකි ඉතිහාසයේ මෙතෙක් සඵල වී නැත. එසේ වුවත් අනාවැකි පළවීමේ නම් කිසිදු අඩුවක් නැත.

මෙවර පාපන්දු ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායම ලෙස වැඩිම අනාවැකි පළ වී ඇත්තේ බ්‍රසීලයටය. පසුගිය මාසයේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල නොම්මර එකේ කණ්ඩායම බවට පත්වූ බ්‍රසීලය වැඩිම වතාවක් ලෝක කුසලානය දිනාගත් කණ්ඩායම ද වේ.

අවස්ථා 5කදී කුසලානය ජයගැනීමට ඔවුන් සමත් වූවත් 2002 වසරෙන් පසු මෙතෙක් ලෝක පාපන්දු කුසලානයට අතවත් තබා නැත. 1986 දී ඩියාගෝ මැරඩෝනාගේ නායකත්වයෙන් ලෝක පාපන්දු කිරුළ දිනා ගැනීමෙන් පසු මෙතෙක් පැවැති තරගාවලි 8දීම කුසලානය දිනා ගැනීමට නොහැකි වූ ආජන්ටිනාවේ එකම බලාපොරොත්තුව තවමත් මෙසී පමණි. 2018 තරගාවලියේදී අවසන් මහා තරගයට සිය කණ්ඩායම රැගෙන යෑමට මෙසී සමත් වූවත් අවසානයේදී අනුශූරතාවෙන් සෑහීමකට පත් වීමට ආජන්ටිනාවට සිදු විය.

රුසියාවේ පැවැති පසුගිය තරගාවලියේදී ශූරතාව දිනු ප්‍රංශය එය රැක ගැනීමට දැඩි උත්සාහයක නිරත වනු ඇති අතර, සුපිරි ක්‍රීඩක කයිලාන් එම්බාපේ කණ්ඩායමේ විශාලතම තුරුම්පුව බවට පත් වී සිටී. සුපිරි ක්‍රීඩක හැරී කේන් තවමත් සිය කණ්ඩායමේ බලාපොරොත්තු රඳවා තබා ගැනීමට තරම් ප්‍රමාණවත් දස්කම් දක්වමින් සිටින බැවින් එංගලන්තය ද මෙවර කුසලානයට කුරුමානම් අල්ලමින් සිටී.

ලැයිස්තුවේ ඊළගට ස්පාඤ්ඤය, ජර්මනිය සහ නෙදර්ලන්තය සිටින අතර සුපිරි ක්‍රීඩක රොනල්ඩෝගේ පෘතුගාල කණ්ඩායම කුසලානය දිනා ගනු ඇතැයි අනාවැකි පළ කළ රටවල් අතර පසුවන්නේ 8 වැනි තැනය. 

දෙවියන්ගේ හස්තය

වසර 92 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සිදු වූ විස්මිත සිදුවීම් රැසකි. අපකීර්තිමත් සිදුවීම් ද එමටය. ඒ සියල්ල අතුරින් අදටත් ක්‍රීඩාලෝලීන්ගේ කතා බහට ලක් වී ඇත්තේ ‘දෙවියන්ගේ හස්තය‘ ගැනය. මේ කියන්නේ මීට වසර දෙකකට පෙර මෙලොවින් සමුගත් ආජන්ටිනාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනාගේ වමතේ වැදී ගිය ගෝලය ගැනය. 1986 තරගාවලියේ එංගලන්තය සමඟ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී වාර්තා වූ එම සිදුවීම එතෙක් මෙතෙක් පාපන්දු තරග ඉතිහාසයේම වඩාත්ම කූප්‍රකට සිදුවීම බවට පත් විය. සිය වමතින් එල්ල කළ ගෝලයෙන් ලෝක අපකීර්තියට පත් වූ මේ අසහාය ක්‍රීඩකයා ඊට මිනිත්තු 4කට පසු දෙවැනි ගෝලය අතිවිශිෂ්ට ලෙස එල්ල කරමින් සිය කණ්ඩායම අවසන් පූර්ව තරගයටත්, අනතුරුව අවසන් මහා තරගයටත් ගෙන ගිය අතර, ඉන් නොනැවතී ආජන්ටිනාව ලෝක ශූරයන් බවට පත් කිරීමට ද සමත් විය.

අතුරුදන් වූ ලෝක කුසලානය සොයා දුන් වීරයා

1966 වසරේ මාර්තු මාසයේ මධ්‍යම ලන්ඩනයේදී ප්‍රදර්ශනයට තැබූ පාපන්දු ලෝක කුසලානය එවකට මහා ආන්දෝලනයකට තුඩු දුන්නේය. ඊට පසු දින බ්‍රිතාන්‍ය පාපන්දු සභාපතිවරයා ලද නිර්නාමික දුරකතන ඇමතුමකින් ලෝක කුසලානය සොරකම් කරනු ලැබූ සොරුන් විසින් නැවත එය බාර දීමට පවුම් 15,000ක කප්පමක් ඉල්ලා සිටියේය. පොලිසියට මේ බව දැනුම් දුන් අතර, පොලිසිය කළේ ව්‍යාජ මුදල් නෝට්ටු පුරවා දැමූ සූට්කේසයක් රැගෙන මුදල් රැගෙන එන ලෙස දැන් වූ ස්ථානයට යෑමය. අනතුරුව පොලිසිය එමඟින් සොරා කොටු කරගත්තද, ඒ පැමිණ සිටියේ අතරමැදියකු මිස කුසලානය සොරකම් කළ පුද්ගලයා නොවීය. පොලිසිය පැටලුණේ පඹගාලකය. අවසානයේ පොලිසියේ පිහිටට පැමිණියේ පික්ල්ස් නමැති බලු සුරතලෙකි. කුසලානය සොරා ගැනීමේ සිදුවීමෙන් දින කිහිපයකට පසු තම ස්වාමියා සමඟ ඇවිදින්නට ගිය මේ බලු සුරතලා පඳුරක් අසල සඟවා තිබූ පාපන්දු ලෝක කුසලානය සොයා ගත්තේය. පික්ල්ස් එක් රැයකින්ම ජාතික වීරයකු බවට පත් විය. පික්ල්ස්ට පවුම් 6,000ක මුදල් ත්‍යාගයක් ද ලැබිණි.

තරග නැරඹීමට ඉල්ලුම වැඩි වෙයි

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙසැම්බර් 18 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය නැරඹීම සඳහා පෙරේදා වන විට මිලියන 3කට අධික පිරිසක් ප්‍රවේශපත් ඉල්ලා ලෝක පාපන්දු සම්මේලනයේ වෙබ් අඩවියට පිවිසුණු බව වාර්තා වේ. කොවිඩ් වසංගතයේ බලපෑමත්, යුක්රේන යුද ගැටුම් නිසා ගෝලීය ආර්ථිකය බිඳ වැටීමත් හේතුවෙන් ලෝක ක්‍රීඩා ඉසව් සුපුරුදු පරිදි උණුසුම් ස්වභාවයක් හෝ වැඩි පිරිසක් නැරැඹීමට පැමිණෙනු ඇතැයි අනුමාන කර නොතිබිණි. 

කටාර් වැනි කුඩා රාජ්‍යයක හෝටල් පහසුකම් එවැනි විශාල පිරිසකට ප්‍රමාණවත් නොවන අතර, දෝහා නුවර කේන්ද්‍ර කරගත් තරු පන්තියේ හෝටල තරගාවලිය පැවැත්වෙන බොහෝ දිනවල සිය හෝටලයේ නවාතැන් සඳහා ඉඩ නැති බව සිය වෙබ් අඩවිවල සටහන් කර ඇත. එම දින වකවානුව ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම උණුසුම් තරග පැවැත්වීමට නියමිතව ඇති කාල සීමාවය.

නොම්මර එකේ ආරක්ෂාවක්

මෑත වකවානුවේ මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයක සිදුවූ ප්‍රහාර හා වෙඩි තැබීම් හේතුවෙන් කටාර් රාජ්‍යය ලෝක කුසලාන පාපන්දු තරගාවලියට දැඩි ආරක්ෂක රැකවල් යෙදීමට කටයුතු යොදා තිබේ. තරගාවලියේ ආරක්ෂක කමිටුවට අනුව එරට රජයේ ආරක්ෂක භටයන් 32,000ක් සමඟ පෞද්ගලික ආරක්ෂක භටයන් 17,000ක් නරඹන්නන්ගේ සහ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ඇත.

එපමණක් නොව තවත් රටවල් 13කින් ආරක්ෂක සෙබළුන් ගෙන්වා ගැනීමට ද කටාර් රජය පියවර ගෙන තිබේ. තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සහ ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින හෝටල් අවට ආරක්ෂාව තර කිරීමට තුර්කිය පොලිස් කැරලි අංශයේ නිලධාරීන් තුන්දහසක් යවා ඇති අතර, පාකිස්තානය, ප්‍රංශය, මොරොක්කෝව, බ්‍රිතාන්‍යය, අමෙරිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙතින් ද සැලකිය යුතු ප්‍රමාණයෙන් ආරක්ෂක භටයන් කටාර් රාජ්‍යය බලා පැමිණ සිටී.

අවසන් මහා තරගය කටාර් ජාතික දිනයේදී

මෙවර ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන පෙළ ගස්වා ඇත්තේ අවසන් මහා තරගය සත්කාරක කටාර් රාජ්‍යයේ ජාතික දිනයේදී පැවැත්වෙන ආකාරයෙනි. දෙසැම්බර් 18 වැනිදා කටාර් රාජ්‍ය ජාතික දිනයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය 80,000ක පුද්ගල ධාරිතාවකින් සමන්විත එරට විශාලතම පාපන්දු ක්‍රීඩාංගණය වන ලුසාලි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැවීමට කටයුතු යොදා තිබේ.

හරියටම නත්තලට සතියකට පෙර පැවැත්වෙන අවසන් මහා තරගයේ දී කටාර් ගුවන් හමුදාවේ සංදර්ශනයක් ද පෙළ ගස්වා ඇත.

Comments