නිදහස් චින්තනයේ ප්‍රභාෂ්වරයෙන් බිහි වූ අවිහිංසාවාදියා ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් | සිළුමිණ

නිදහස් චින්තනයේ ප්‍රභාෂ්වරයෙන් බිහි වූ අවිහිංසාවාදියා ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්

ළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ වරක් ප්‍රකට අවිහිංසාවාදියකු වන ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්ගේ නිවෙසට වැඩම කළහ. එහිදී ඇති වූ කතාබහ අවසානයේ උන්වහන්සේ පුදුම වූහ. කතාබහ මෙවැන්නකි.

“ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුලුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහිම තිබිය දී කොහේ දෝ යෑමට ඔහු වෙන කෙනෙකුගේ කාරයක් බලාපොරොත්තුවෙන් සිටියහ. “ඇයි තමන් ගේ කාරය තිබෙද්දී වෙන එකක් ගැන බලාපොරොත්තු වන්නේ“ යි මම ඇසීමි. තව සති කීපයක් යන තුරු එයට නිවාඩු දී ඇතැ යි ඔහු කීහ. “ඒ ඇයි දැ“ යි මම ඇසීමි. ඔහු එහි ගොස් සෙමෙන් එය ඇර පෙන්වීය. මී පැටවුන් කීප දෙනෙකි. මී දෙනක එහි විත් පැටවුන් වදා එයට වී ඉඳී. “පැටියන් එයින් වෙන තැනක තබන්නට තැත් කළොත් මී දෙන බියෙන් පැන යනු ඇත. පැටවු අනාථව මැරෙති. එබැවින් ඔවුන් ලොකු වී මව සමඟ නික්ම යනතුරු කාරය නොසෙල්වමි“ 

කරුණාව යනුවෙන් බුදුන් අර්ථ ගන්වන්නේ තම දරුවාට තරම් ම තමන්ගේ නොවෙන දරුවකුටත් ආදරය කළ හැකි නම් එ් වැනි වූ කරුණාවක් ගැන ය. සිය කාරය මීයන්ට දී වෙනත් වාහනයකින් සිය ප්‍රවාහන අවශ්‍යතාව සපුරා ගන්නා ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් ඒ වැනි මඟක ගිය මහා කරුණාව සහිත සිතැත්තෙකි. සුපහන් සිතක අරුමය ඒ වැනි ය. හේ ලියූ සිතිවිලි සිත නිවන්නේ යම් සේ ද සිය ජීවන දර්ශනයෙන් ම එකී පහන් බව ඔහු සමාජයට ජීවිතාදර්ශයක් කළේ ය. එකක් පෙන්නා එකක් කියන, ලියන කියන දේට සාකල්‍යයෙන් ම බැහැර ජීවන දර්ශනයක් ඇති අයට වඩා ඔහු මුළුමනින් ම තමාගේ හෘදය සාක්ෂියට අනුකූල ය.

ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තීරණාත්මක සමාජයීය මෙහෙවරක් ඉටු කළ චින්තකයෙකි. අන්ධ විශ්වාසවල එල්බ, මෝහාන්ධකාරයෙන් පිරුණු සිතැත්තවුන් එකී මෝහයේ නිද්‍රාවෙන් අවදි කරන්නට ඔහු ගත් උත්සාහය කැපී පෙනෙන්නකි. ජාතිවාදය හා ජාතිකත්වය වැනි සංකල්ප ප්‍රබල ව විවේචනය කළ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් ලක් මනස සුපහන් කිරීමේ ලා අදීන ව ක්‍රියා කෙරූවෙකි. කෙටි ජනප්‍රියත්වයට වඩා ඔහුට අවැසි වූයේ දිගුකාලීන අවදි කිරීමකි.

ජාතිවාදය ඇතිවීමට බලපාන හේතු සාධක කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටි ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් ජාතිවාදයේ සුලමුල ගැන මානව විද්‍යා ප්‍රකාශනයේ 3 වැනි කලාපයට සාකච්ඡාවක් දෙමින් පවසා ඇත්තේ මෙවැන්නකි.

“ජාතිවාදය හෝ වෙනත් මොන යම් ආකාරයක බෙදීමක් හෝ ඇති වෙලා තිබෙන්නේ මිනිසා තුළ පවතින ආත්මාර්ථකාමී භාවය නිසා. මේ හේතුවෙන් අනෙකා පරයා නැඟිටින්නට යාමේදී මිනිසා තුළ ක්‍රෑරකමක් ඇති වෙනවා. මේ ක්‍රෑරකම හා ආත්මාර්ථකාමීකම නිසා ම තමයි අද මිනිසා ජාති, කුල, රටවල් ආදී වශයෙන් වර්ගවලට බෙදිලා කටයුතු කරන්නේ. ලොකු රටවල මෙම මානසික රෝගයෙන් පෙළෙන්නෝ මිනිසුන් ලක්ෂ ගණනක් මැරීම සඳහා පරමාණු ආයුධ තැනීම ආදී ලොකු උමතු ක්‍රියාවල යෙදෙනවා. ලංකාව වැනි කුඩා රටවල මෙම මානසික රෝගයෙන් පෙළෙන්නෝ මිනි මැරීම, කැති පොලුවලින් ඇන කොටා ගැනීම, තමන්ගේ නොවන භාෂාවකින් ලියන ලද නාම පුවරුවල තාර ගෑම ආදී කුඩා උමතු ක්‍රියාවල යෙදෙනවා.’’

මේ සියලු පෙනී සිටීම්වලින් ආචාර්ය අදිකාරම් පෙන්වා දෙන්නට උත්සාහ කරන පරම සත්‍යයක් තිබේ. ඒ ඔහුගේ ජීවන දර්ශනය පුරා පැළපැදියම් වී ඇති අවිහිංසාවේ ස්වභාවයයි. අදිකාරම් චරිතය හා සමාන ම අර්ථයක් ගන්නා තවත් යමක් වේ ද ඒ අවිහිංසාවාදයයි. අප ලිපිය ආරම්භ කරද්දී බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නාහිමියන්ට ආචාර්ය අදිකාරම් සම්බන්ධයෙන් ඇති අත්දැකීම සිහිපත් කළේ ඒ නිසා ය. තමා සම්මතයෙහි පිහිටා සිට අන් අයට උපදෙස් දිය යුතුය යන්න ආචාර්ය අදිකාරම්ගේ ජීවිතයේ තේමාව විය. ඔහුගේ ජීවිතය එකලු වන්නට ලොව පසිඳු චින්තකයකු වූ ජේ. ක්‍රිෂ්ණමූර්ති දර්ශනය බෙහෙවින් උපස්ථම්භක විණි. සෑම වසරකට වරක්වත් ක්‍රිෂ්ණමූර්තිතුමන්ගේ දේශනයක් ඇසීමේ පුරුද්දක් ආචාර්ය අදිකාරම්ට එකල තිබුණේ ය.

පාලි භාෂා ප්‍රවීණයකු වූ ආචාර්ය අදිකාරම් ජර්මන්, ඉංග්‍රීසි හා සංස්කෘත භාෂා නිපුණයකු විය. සිංහලෙන් විද්‍යාව ඉගැන්වීම කෙරෙහි උනන්දු වූ මතධාරීන් අතර, ප්‍රමුඛ පෙළේ සිටි හේ 6 සිට ජ්‍යේෂ්ඨය දක්වා සාමාන්‍ය විද්‍යා පොත් පෙළක් සම්පාදනය කළේ සිය මතය හා අරමුණ සමාජගත කරනු වස් ය. විද්‍යාවේ පාරිභාෂික වචන මාලාව සකස් කළ හේ සාමාන්‍ය ජනතාවට විද්‍යා අධ්‍යාපනය ලබා දීමේ අරමුණෙන් තීරු ලිපි පෙළක් රචනා කළේ ය. නවීන විද්‍යා මාසික සඟරා පෙළක් ඇම්. ඩී. ගුණසේන සහ සමාගමේ සංස්කාරකත්වයෙන් අරඹන ලද්දේ ද මේ අරමුණ පෙරදැරි ව ය. ශ්‍රී ලංකාවේ පළ කරන ලද ප්‍රථම විද්‍යා සිංහල සඟරාව ලෙස සැලකෙන්නේ මෙම සඟරාවයි. 

සුළඟත්, ජලයත් මිනිසාට නොමිලේ සොබාදහමෙන් ලැබෙන්නේ යම් සේ ද එලෙස ම අධ්‍යාපනය ද නොමිලේ ලැබිය යුතු බව ආචාර්ය අදිකාරම්ගේ මතය විය. නිදහස් අධ්‍යාපනය ලබාදීම පිණිස මහත් කැපවීමෙන් කටයුතු කළ හේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර සමඟ එක්වී ඒ අභියෝගය සාර්ථක ව ජයගන්නට මාවත සැකසුවේය. අධ්‍යාපනය සම්බන්ධව එසේ කටයුතු කරමින් ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා සුපහන් සිතිවිලි සමාජගත කිරීමට හේ සිතිවිලි පාඨක සමාජයක් ඇරඹුවේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස සිතිවිලි පොත් ඛාණ්ඩ අප වෙත තිළිණ කරන්නට හේ සමත් විය. ඒවායේ තිබෙන්නේ මේ ගිනිගෙන දැවෙන සමාජය නිවන සිතිවිලි ය. ඒ සිතිවිලි බර විසින් අවිහිංසාවාදී ජිවිතයකට සේ ම නිවුණු ජීවිතයකට මංපෙත් විවර කළේ ය. ආචාර්ය අදිකාරම් තරුණ සිතිවිලි සමාජයක් නිර්මාණය කිරීමේ ලා උපස්ථම්භක වූයේ ය. තරුණ සිතුවිලි සමාජයේ තේමාව වූයේ දුම්පානය, මත්පැන් පානය, හිංසන ක්‍රියාවලින් වැළකී අවිහිංසාවාදී සමාජ සේවයට කැපවීම යන්නයි. නගරයෙන් ඔබ්බට යමින් ගම් හා දනව් මට්ටමෙන් තරුණ සමාජ ඇතිකර ඒ හරහා ප්‍රදේශවල ජනතාවට දුම්පානයේ, මත්පැන් පානයේ ආදීනව විද්‍යාත්මකව පහදා දුන්නේය. ඔහු ලියූ මද්‍යපානය පිළිබඳ විද්‍යාත්මක කරුණු කිහිපයක් හා දුම්පානය පිළිබඳ විද්‍යාත්මක කරුණු කිහිපයක් යන පත්‍රිකා තරුණ සිතුවිලි සමාජ හරහා ගෙන් ගෙට ගොස් බෙදා දුන්නේය. එයින් දුම්පානය, දුරාචාරය, මත්පැනින් තොර සමාජයක් ඇති කිරීමේ පදනම නිර්මාණය කිරීම ඔහුගේ බලාපොරොත්තුව විය.

ආචාර්ය අදිකාරම්ගේ මුල්කාලීන ජීවිතය හැඩගැස්වීමේ ලා උපස්ථම්භක වූ ගුරුවරයකු පිළිබඳ පූජිත ජීවිත කෘතියට ලිපියක් ලියමින් මහාචාර්ය ජිනදාස පෙරේරාගේ සටහනක් උපුටා දක්වන අමරසිරි පොන්නම්පෙරුම ලේඛකයා මෙවැනි හෙළිදරව්වක් කරයි.

‘චෙල්වනායගම් නාමය අදිකාරම්තුමාගේ සිතෙහි සදාකල්හි අමරණීයව පැවතුණු බව මම පෞද්ගලිකව දනිමි. චෙල්වනායගම්තුමාගේ නිසංසලභාවයත්, චාම් දිවි පැවැත්මත් අදිකාරම්තුමාගේ ජීවිතය මුලින්ම හැඩගස්වාලීමට සමත්වූ බව ඔහු නිතර පැවසුවේය‘

කේම්බ්‍රිජ් ජ්‍යේෂ්ඨ පන්තියේදී අදිකාරම් ශිෂ්‍යයාට උගන්වන ලද්දේ නීතිඥ එස්. ජේ. වී. චෙල්වනායගම් ය. එස්. ජේ. වී. චෙල්වනායගම් ගුරුවරයා ගැන අදිකාරම් ශිෂ්‍යයාට තිබුණේ බලවත් ගෞරවයකි. 1922 කොළඹ යුනිවර්සිටි කොලීජියට ඇතුළත් ව ලන්ඩන් ඉන්ටර්ස් සයන්ස් විභාගය විද්‍යා විෂයයන්ගෙන් හදාරන අදිකාරම් ශිෂ්‍යයා 1926 වසරේදී ශාස්ත්‍රවේදී විභාගයට පෙනී සිටියේ ය. ශාස්ත්‍රවේදී උපාධියට ඇති වටිනාකම පිළිබඳ තක්සේරුවකට එන අදිකාරම් විද්‍යාර්ථියා ඉන් අනතුරුව උත්සාහ ගන්නේ ආචාර්ය උපාධියක් ලබා ගැනීම වෙනුවෙනි. ශිෂ්‍යත්වයක් ලබා ගන්නා ඔහු ලන්ඩනයට යන්නේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි පර්යේෂණ සඳහා ය. ඔහුගේ පර්යේෂණ මාතෘකාව වූයේ Early History of Buddhism in Ceylon (ලක්දිව පුරාතන බෞද්ධ ඉතිහාසය) යන්නයි. ආචාර්ය උපාධි උපදේශකයන් සේ කටයුතු කරන ලද්දේ මහාචාර්ය විලියම් ස්ටීඩ් සහ රීස් ඩේවිස් ය. 1934 දී මේ පර්යේෂණ කෘතිය සඳහා ආචාර්ය උපාධිය හිමි වන අතර, එය දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ කෘතියකි.

ලන්ඩනයේ සිටියදී ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන ආදී කොමියුනිස්ට් නායකයන්ගේ ඇසුරට වැටෙන ආචාර්ය අදිකාරම් භෞතික විප්ලවයක් වෙනුවට අපේක්ෂා කළේ චින්තන විප්ලවයකි. 1933 නැවත ලංකාවට එන ඔහු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති ලෙස වැඩ බාර ගත්තේ ය. දෙවැනි ලෝක යුද සමයේ ආනන්ද ශාස්ත්‍රාලය ඉංග්‍රීසි හමුදාවේ කඳවුරක් ලෙස පවරා ගැනීමෙන් අනතුරුව රට පුරා තවත් විදුහල් කිහිපයක් ම ඇරඹීමට ආචාර්ය අදිකාරම් මුල් වෙයි. ඒ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය, කරවනැල්ල මහා විදුහල, බත්තරමුල්ලේ මහා විදුහල, උඩහමුල්ල මහා විදුහල හා පැපිලියාන මහමායා විදුහලයි. සිය වැටුපෙන් රුපියල් දහය බැගින් එකතු කර 1940 වසරේදී නුගේගොඩ අනුලා විදුහල ඇරඹීම ද ඉතිහාසය පුරා කතාබහට ලක් වෙන කාරණාවකි.

පැවැති ආචීර්ණකල්පික මතවාදවලට පහර ගැසූ ආචාර්ය අදිකාරම් බෞද්ධාගම් පිළිවෙත් ගැන ද දැක්වූයේ විරෝධාත්මක ආකල්පයකි. ඔහු විටින් විට පන්සිල් ගැනීම ප්‍රතික්ෂේප කළේ ය. වරක් ගත් පන්සිල් තමා දිවිහිමියෙන් රකින බැවින් නැවත නැවතත් පන්සිල් නොගත යුතු බව ඔහුගේ අදහස විණි. වරක් ආරාධනාවක් ලැබ මාලිගාකන්ද පිරිවෙනට ගිය ආචාර්ය අදිකාරම්ගෙන් භික්ෂූන් වහන්සේලා ප්‍රශ්න කිහිපයක් ඇසූහ. එහිදී ඔබේ බලාපොරොත්තු මොනවාදැ යි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ආචාර්ය අදිකාරම් පැවසූවේ “මගේ දෑස පියවෙන්න කලින් ඉටුවිය යුතු සිහිනයක් තිබෙනවා. එනම් ලංකාවේ එක හාමුදුරු නමක් හරි බුදු දහම වැලඳ ගනු දැකීම යි.“ කියා ය.

ඉංග්‍රීසියෙන් සිංහල පවා ඉගැන්වූ කාලයක සිංහලය වෙනුවෙන් පෙනී සිටි ඔහු සැහැල්ලූ දිවි පැවැත්ම, දෘෂ්ටියෙන් තොර වූ දැකීම වැනි මූලික චින්තනමය ලක්ෂණවලින් සජ්ජිත විය. 1976 සිට 1983 දක්වා ජයවර්ධනපුර සරසවියේ කුලපති ධුරය දැරූ ආචාර්ය අදිකාරම් බුදු දහමේ හරය පිළිබඳ ජනතාවට දැනුමක් හා අවබෝධයක් ලබා දීමට කටයුතු කළේය.

සැවොම එක මඟක එක සේ යද්දී වෙනස් මඟක උඩුගම් බලා යෑම ආචාර්ය අදිකාරම්ට පහසු නොවන්නට ඇත. පැවැති මිථ්‍යා මතවාදවලට නොබියව අභියෝග කළ ආචාර්ය අදිකාරම් ඒවා උපහාසයෙන් යුතු ව බැහැර කළේය. යමක් පැරණි හා දේශීය වූ පමණට ම එය අවිචාරවත්ව හා මුඵමනින් පිළිගත යුතු නැතැයි හේ තර්කානුකූල ප්‍රවේශයකින් පෙන්වා දුන්නේ ය. මේ උඩුගම් බලා යෑම පහසු නොවන්නට ඇතැයි අප පවසන්නේ ඒ නිසා ය. එකක් කියා එකක් කරන, තමාගේ ජීවන දර්ශනය පිළිබඳ අබැටක හෝ අවබෝධයක් නැති බොහෝ මෝහයෙන් යුතු මිනිසුන්ට හේ චින්තනමය ප්‍රදීපස්ථම්භයක් විය.

Comments