මාළු අස්වැන්න සිඳී ගිය ත්‍රිකුණාමලයේ ගැහැනු මුහුදේ කඳුළු කතාව | Page 4 | සිළුමිණ

මාළු අස්වැන්න සිඳී ගිය ත්‍රිකුණාමලයේ ගැහැනු මුහුදේ කඳුළු කතාව

- යාං ඔයේ මෝයකට අවධිමත් ලෙස වෙනස් කිරීම මේ සියලු සන්තෑසිවලට හේතුවයි
- කල්ලරාව ශාන්ත අන්තෝනි ධීවර සමූපකාර සමිතියේ සභාපති චන්ද්‍රිකා මානෙල්
- වසා දැමුවා නම් ඔප්පු කරන්න! සමාගමෙන් අභියෝගයක්
- ඔව්, ඔප්පු කරනවා තමයි! -  ධීවර සමිති කියයි

තීතයේ පටන්ම කාව්‍යක්කාරයන් සයුර ස්ත්‍රියට උපමා කළ ද සාමාන්‍ය ජනතාව සයුරට ස්ත්‍රීත්වයක් ආරෝපණය කළේ එකම එක තැනකදී පමණි. කාව්‍යාලංකාර කිසිත් නැතිව කෙලින්ම ‘ගැහැනු මුහුද‘ යැයි හැඳින්වුණු ඒ තැන, යාන් ඔය මහ සයුරට එක් වන මෝය ආශ්‍රිත ත්‍රිකුණාමලයේ කල්ලරාව මුහුදු තීරයයි. ඈත දියඹේ වෙසෙන මසුන් ප්‍රජනන අවධිය ගත කිරීමට කල්ලරාව මුහුදු තීරයට පැමිණීම මෙම අපූරු නාම කරණයට හේතුව බව කල්ලරාව ධීවරයෝ කියා සිටිති. කල්ලරාවේ වසර පුරාම ලැබෙන සරුසාර මත්ස්‍ය අස්වැන්න එය සනාථ කරයි.

එහෙත් මෑතක සිට ගැහැනු මුහුද වඳ මුහුදක් බවට පත් වෙමින් පවතින බව ධීවරයන්ගේ අත්දැකීමයි. එය දේශපාලඥයන්ගේ හා රජයේ අධිකාරිවල බලය අවභාවිත කරමින් සිදු කළ ඓතිහාසික වරදක සෘජු ප්‍රතිඵලයක් බවට චෝදනා කරන කල්ලරාවේ ධීවරයෝ, එම ‍ වරද වහා නිවැරදි කොට සිය ජීවනෝපාය ආරක්ෂා කර දෙන ලෙස බලධරයන්ගෙන් ඉල්ලා සිටිති. ත්‍රිකුණාමලයේ සිට කිලෝ මීටර් 50ක් පමණ උතුරට වන්නට කල්ලරාව ධීවර ගම්මානය පිහිටා ඇති අතර, වර්තමානයේ එහි වෙසෙන පවුල් ගණන සියයකට ආසන්නය.

විශ්‍රාමික සහකාර ධීවර අධ්‍යක්ෂවරයකු වූ උපාලි සමරතුංග ‘ගැහැනු මුහුද‘ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් කියා සිටින්නේ, කල්ලරාව මුහුදේ පිහිටීම, මිරිදිය හා කරදිය ජලය මිශ්‍ර මුහුදු කලාපය තුළ වැඩෙන ඇල්ගී ශාක සහ කැළි කසළවලින් තොර හරිත පරිසරයක් හරහා ගලා එන යාං ඔයේ ජල දහර ඔස්සේ මසුන් ප්‍රිය ආහාරමය කොටස් පාවී ගොස් මෝයකට මුහුදු තීරයේ තැන්පත් වීම එසේ මසුන් බහුල වීමට හේතුව බවයි. 

මෙම විකෘති විපර්යාසයට හේතු වී ඇත්තේ යාන් ඔය මුහුදට වැටෙන ස්වභාවික එක් මෝයකටක් වෙනස් කිරීමෙන් එම පරිසර කලාපයට සිදුව ඇති බලපෑම නිසා බව ධීවරයන්ගේ අදහසයි. ප්‍රකට සමාගමක උවමනාව මත, දේශපාලනඥයන්ගේ හා දූෂිත නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් සිදු කර ඇති මෙම ක්‍රියාව තම බඩගෝස්තරයට එල්ල කළ පහරක් බවට ධීවරයෝ දෙස් තබති. කල්ලරාව ස්වභාවික මෝයකට වසා දැමීම පාරිසරික අපරාධයක් ලෙස සැලකිය යුතු බව පරිසරවේදී සජීව චාමිකරගේ අදහසයි.

පාත්ෆයින්ඩර් ඇඩ්වෙන්චර් නැමැති පුද්ගලික සමාගමක් විසින් යාං ඔයේ මෝය කට අවධිමත් ලෙස වෙනස් කිරීම මේ සියලු සන්තෑසිවලට පාදක වූ බවත්, මේ හේතුවෙන් පාරම්පරික ජීවනෝපාය අහිමි වීමේ ඛේදජනක ඉරණමකට කල්ලරාව මුහුණ දී සිටින බවත් කල්ලරාව ශාන්ත අන්තෝනි ධීවර සමූපකාර සමිතියේ සභාපති චන්ද්‍රිකා මානෙල් පොඩිනේරිස් අවධාරණය කරයි.

“ගමේ අය ඒ කාලේ ඉඳන්ම කළේ මාදැල් රස්සාවයි, ඕල දැල (කලපු) රස්සාවයි. පාත්ෆයින්ඩර් ඇඩ්වෙන්චර් කියන පුද්ගලික සමාගම මීට අවුරුදු දොළහකට විතර කලින් මේ මෝය කට ගාව තිබුණ ඉඩම හෝටලයක් හදන්න කියලා මිලදී ගත්තා. 2011 අවුරුද්ද අන්තිමට කාලේ වගේ එයාලා ගමේ අයම කුලියට අරගෙන වැලි කොට්ට ගහලා මේ මෝයකට හරස් කළා. එදා ඉඳන් මුහුදේ වතුර කලපුවටවත්, කලපුවේ වතුර මුහුදටවත් යන්නේ නැහැ. මේ නිසා කලපුවේ විතරක් නෙවෙයි, මුහුදෙත් මේ වෙද්දී මාළු හිඳිලා ගිහිල්ලා. මේව තේරෙනකොට අපි ප්‍රමාදයි.“ මානෙල් පොඩිනේරිස් කල්ලරාවේ වත්මන් ඛේදවාචකය පැහැදිලි කරන්නේ ඒ අයුරිනි.

මෝය කට වසා දැමීමෙන් නොනැවතුණු අදාළ සමාගම මෝය කට පිහිටි භූමියද අත්පත් කර ගැනීමට කටයුතු කළ බව කල්ලරාව සුළු පන්න ධීවර සමිතියේ සභාපති රෝෂන් සුරනිමල කියා සිටී. ජී. පී. ආර්. එස්. තාක්ෂණයද යොදා ගනිමින් කලපුවට අයත් භූමි භාගය තම ඉඩමට අයිති බව කියමින් එහි සීමා කණු ද ස්ථාපිත කරන ලද්දේ, කවරකුගේ අවසරයකින්දැයි ඔහු ප්‍රශ්න කළේය.

වෙරළක, කලපුවක හෝ මෝයක සීමා කණු සලකුණු කළ හැක්කේ, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවට හෝ වන සංරක්ෂණ දෙපාර්මේන්තුවට පමණි.

“ඒ කාලේ මේ පැත්තේ හිටිය වෙරළ සංරක්ෂණ නිලධාරිනිය හිටියේ, කොම්පැනි කාරයාගෙයි මාදැල් මුදලාලිලාගෙයි ඔඩොක්කුවේ. ඉතින් නීතියක් තියෙයිද?“ ඒ මානෙල් පොඩිනේරිස්ගේ විග්‍රහයයි.

කෙසේ වෙතත්, කල්ලරාව මෝයකට වසා දැමීම පිළිබඳව එවකට කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කළ උමා මහේෂ්වරන්ද දැන නොසිටි බව අප කළ විමසීමකදී ඔහු විසින් ම කියා සිටියේය. මෙසේ මෝයකට වසා දැමීම හේතුවෙන් ගොඩබිමක් බවට පත් වූ කලපු තීරයේ, තම ආයතනය කිසිදු සීමා කණුවක් ස්ථාපිත කිරීම හෝ මැනුම් ගත කිරීමක් සිදු නොකළ බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද පිළිගෙන ඇත. ඒ අනුව, පැහැදිලිව හෙළි වන කාරණයක් නම්, අදාළ සමාගම ජනතාව ගොනාට අන්දවා රාජ්‍ය ආයතනයකින් මෙම කටයුත්ත සිදු කරන බව අගවමින් මෙහි සීමා නීර්ණය සිදු කර ඇති බවයි. එවකට කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර සිටි වෙරළ සංරක්ෂණ නිලධාරිනිය වූ ටී. ගෞරි මෙම කටයුත්ත නොදැන සිටි බව සඳහන් කිරීම පිළිගත නොහැකි බව ගම්වාසීන් කියා සිටී.

දේශපාලන හා අධිකාරිමය බලය උපරිම ලෙස අවභාවිත කරමින් යාං ඔයේ ගමන් මඟ වෙනස් කළ අදාළ සමාගමට එරෙහිව, බලධාරීන් මෙතෙක් කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති වුව ද, මෝයකට වසා දැමීමෙන් අගතියට පත් ජනතාවට එරෙහිව නම්, කුච්චවේලි පොලිසිය කටයුතු කර බව කියවේ. 2011 වසරේ පෙබරවාරි මාසයේ ඇති වූ මහා ගංවතුර තත්ත්වය හමුවේ, ස්භාවිකව වැලිවලින් වැසී ගිය මෝයකට කපා ජලය බැස්සවීමට ඉදිරිපත් වූ ගම්වාසීන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට කුච්චවේලි පොලිසිය කටයුතු කර තිබුණි. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මැදිහත්වීමෙනි.

තම සමාගමට අයත් ඉඩමක් හරහා ඇළ මාර්ගයක් කපා ඉඩමට අනර්ථයක් සිදු කළ බව හා ඉඩම දෙකඩ කළ බව කියමින් නන්දන හේවගේ නැමැති අයකු 2011.02.05 වන දින ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව කුච්චවේලි පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය 2011.02.12 වන දින කල්ලරාව ගම්මානයට ගොස් හරි හැටි කරුණු විමර්ශනය නොකර ගම්වාසීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ගම්වාසීන් කියා සිටී.

කුච්චවේලි පොලිසිය මහේස්ත්‍රාත්වරයා වෙත BR/K/162/PC/11 නඩුවට අදාළව කරුණු වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ, ගම්වාසීන් අදාළ සමාගමට අයත් ඉඩමේ නව මෝයකටක් කපා ඊට අනර්ථයක් සිදු කර ඇති බවයි. එහෙත්, ගම්වාසීන් කපා ඇත්තේ, පුද්ගලික සමාගමට අයත් ඉඩම ද, නැතහොත්, කලපුවේ පිහිටි පැරණි ස්වභාවික මෝය ද යන්න මෙහිදී විමර්ශනය කර නොමැත.

2011 අංක 49 දරන වෙරළ සංරක්ෂණ (සංශෝධන) පනතට අනුව යම් ගංගාවක මෝයකට ආශ්‍රිතව සිදුවන ක්‍රියාවලීන් නියාමනය සිදු වනුයේ, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දොපාර්තමේන්තුව මඟින් බව පරිසරවේදි සජීව චාමිකර පෙන්වා දෙයි. සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නම්, ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සැකසීම හා එය දින තිහක කාලයක් මහජන අදහස් සඳහා ප්‍රසිද්ධ කිරීම සිදු කළ යුතු අතර, අනුමැතියකින් තොරව එවැන්නක් ක්‍රියාත්මක කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

පුද්ගලික සමාගමක් විසින් කල්ලරාව මෝය කට වසා දැමීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය නිලාවේලි පිහිටි කාර්යාලයෙන් කළ විමසීමේදී මෝයකට වසා දැමීමක් සිදුව නොමැති බව මුලදී කියා සිටිය ද, දෙවන වර කළ විමසීමකදී සඳහන් කර ඇත්තේ, මේ වන විට ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරමින් පවතින බවයි.

කල්ලරාව මෝයකට වසා දැමීම සඳහා තම ආයතනයේ අනුමැතිය කිසිවකුටත් ලබා දී නැති බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය වත්මන් ප්‍රාදේශීය ඉංජිනේරු එම්. තුලසිදාසන් අප කළ විමසීමකදී කියා සිටියේය. තම ආයතනයේ අනුමැතියකින් තොරව එවැනි කටයුත්තක් සිදු කර ඇත්නම්, ඊට එරෙහිව පියවර ගැනීමට තම ආයතනයට හැකි බව ද ඉන්ජිනේරුවරයා වැඩි දුරටත් කියා සිටියේය.

2011 අංක 49 දරන වෙරළ සංරක්ෂණ (සංශෝධන) පනතේ 111 අ කොටසේ (3) වගන්තියට අනුව මෙවැනි මෝයක හෝ කලපුවක, මුහුදු දිවියට බලපෑමට යටත් වන ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශිත ප්‍රදේශයක, මුහුදු දිවියට හානි විය හැකි ඉදි කිරීමක්, පිරවීමක්, අවහිර කිරීමක්, අපිරිසිදු කිරීමක් වැනි අහිතකර ක්‍රියාවක් කරන යම් තැනැත්තෙකු වරදකට වරදකරු වන බව පැහැදිලිව සදහන්ව කර ඇත. 

කල්ලරාව මෝයකට වසා දැමීමට තම ආයතනයේ අනුමැතිය ලබා දී නැති බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ඉංජිනේරු එම්. තුලසිදාසන් පුන පුනා කියා සිටියද, ෆාත් පයින්ඩර් සමාගම කරන ලද ඉල්ලීමකට අනුව 2011.09.09 වන දින යොමු අංක CC/P/GEN/42 C දරන ලිපිය මඟින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්මේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) ගාමිණි හේවගේ යන අය විසින් ඊට අනුමැතිය ලබා දී ඇති බව හෙළිදරව් කර ගැනීමට ලියුම්කරුට හැකි විය. ධීවර කටයුතුවලට හෝ වෙරළට බාධාවක් නොවන සේ එය ක්‍රියාත්මක කළ යුතු බව ද එහි සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, මෙතෙක් කලක් රහසක්ව පැවති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් බව කියන එකී අනුමැතිය (යොමු අංක CC/P/GEN/42 C) හරි හැටි විමසා බැලීමේ දී තහවුරු වනුයේ, එකී ලිපිය මඟින් අවසර ලබා දී ඇත්තේ, අදාළ සමාගමට අයත් යැයි කියන ඉඩමේ ගම්වාසීන් විසින් බලහත්කාරයෙන් කපන ලද බව කියන ඇළ මාර්ගය සහිත මෝයකට වසා දැමීමට මිස, ස්වභාවික මෝයකට වසා දැමීමට නොවන බවයි. එහෙත්, සමාගම වැලි කොට්ට ගසා වසා දමා ඇත්තේ, වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව යටතේ පවතින කලපු තීරය හා ස්භාවික මෝයකට බව සක්සුදක් සේ පැහැදිලිය.

මෙම අනුමැතිය සම්බන්ධයෙන් අදහස් දක්වන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සාමාජික පරිසරවේදී සජීව චාමිකර කියා සිටින්නේ, 2011 අංක 49 දරන සංශෝධිත වෙරළ සංරක්ෂණ පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් නොමැතිව එවැනි අනුමැතියක් දීමේ බලයක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නැති බවයි. පනතට අනුව, එවැනි ව්‍යාපෘතියක් සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කර, දින තිහක කාලයක් මහජන අදහස් සඳහා විවෘත කළ යුතු බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි. එවැනි ව්‍යාපෘතියක් සදහා මහජන අදහස් විමසීමක් තම ආයතනයේ සිදුව නැති බව වත්මන් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කේ. ගුණනාදන් තහවුරු කළේය.

කල්ලරාවේ මෝය කට වසා දැමීම සම්බන්ධයෙන් ලැබුණු මහජන පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමට කල්ලරාවට පැමිණි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලාවේලි කාර්යාලයේ නිලධාරීන්, අමුතුම ආකාරයේ යෝජනාවක් ද ගම්මුන්ට ඉදිරිපත් කර තිබේ. ඒ, වසා දැමූ මෝයකට, වෙනත් ස්ථානයකින් ලබාදීමයි.

“පසුගිය අවුරුදුවල චන්ද්‍රිකා ඡායාරූප ගත්ත නම්, මෝය කටක් තිබ්බ ද නැද්ද කියලා ඕන කෙනකුට හොයා ගන්න පුළුවන්“ එසේ කියන්නේ රෝෂන් සුරනිමලයි.

තිබුණා නම් ඔප්පු කරන්න 
- සමාගම කියයි

කල්ලරාව මෝයකට වසා දැමූ බවට ගම්වාසීන්ගේ චෝදනාවට ලක්ව සිටින ෆාත් පයින්ඩර් පුද්ගලික සමාගමට අයත් මෙකී ඉඩම මේ වන විට පවරා ඇත්තේ, සෙන්ටිනල් රියැලිටි පුද්ගලික සමාගමටයි. (Sentinel Realty (Pvt) Ltd.) එය ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගමට අයත් සමාගමක් බව අප කළ සොයා බැලීමේදී තහවුරු විය. සෙන්ටිනල් රියැලිටි පුද්ගලික සමාගමේ සභාපතිත්වය දරන්නේ, බර්නාඩ් ගුණතිලකයි. තම ආයතනය විසින් කල්ලරාව මෝයකට වැලි කොට්ට ගසා වසා දැමීමක් සිදු නොකළ බවත්, 2011 වසරේදී ගම්වාසීන් පිරිසක් විසින් තම සමාගමට අයත් ඉඩමක අනවසර ඇළ මාර්ගයක් කැපීම හේතුවෙන් ඛාදනයට ලක්වූ භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් ගං ඉවුර වැලි කොට්ට මගින් ආවරණය කිරීම පමණක් සිදු කළ බවත් සභාපතිවරයා කියා සිටියේය. කලපු තීරය තම සමාගමේ ඉඩමට යා කරමින් සීමා කණු සිටුවීමක් සම්බන්ධයෙන් තමා දැනුම්වත් නැති බව ද ඔහු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ගුණතිලක කියා සිටින්නේ, කල්ලරාව යාං ඔය මෝයකට ගම්වාසීන් කියන ස්ථානයේ පැවති බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර අඩුම තරමින්, මැනුම් සිතියමක හෝ මෝයකට එහි පැවති බවක් සඳහන්ව නැති බවයි.

සෙන්ටිනල් රියලිටි පුද්ගලික සමාගමේ සභාපතිවරයාට අනුව යාං ඔයේ මෝයකට පිහිටා ඇත්තේ, තම සමාගමට අයත් ඉඩමේ සිට මීටර් 800 පමණ දුරකිනි. එහෙත්, යාං ඔයේ ජල මට්ටම වැඩි වන අවස්ථාවලදී ප්‍රශ්නගත ස්ථානයෙන් වතුර ගලා යන තත්ත්වයක් ද පවතී. ඒ අනුව මෙය ස්භාවික විවෘත සංවෘත මෝයකටක් බව ගම්‍ය වේ.

මෙහිදී මතුවන අනෙක් කාරණය නම්, රජයේ ඉඩම් ආඥා පනතට අනුව ගංගාවක හෝ කලපුවක ඉවුරේ සිට මීටර් 60 ක භූමි ප්‍රමාණය රජය සතු බව සජීව චාමිකර පෙන්වා දෙයි.

ඔව්, ඔප්පු කරන්න පුළුවන්! 
-ධීවර සම්මේලනය

සෙන්ටිනල් රියැලිටි පුද්ගලික සමාගමේ සභාපතිවරයා කරන අභියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වන සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ විධායක කමිටු සාමාජික ප්‍රියන්ත මැලවැන්නගොඩගේ කියා සිටින්නේ, සභාපතිවරයා පළමුව කළ යුත්තේ, තම ඉඩමට අයත් භූමිය හා කලපුවට අයත් භූමිය හඳුනා ගැනීම බවයි. යාං ඔය මෝය කටේ වෙනස්වීම් සම්බන්ධයෙන් විවිධ වසරවලදී ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූප ඔවුන් සතුව ඇති බවත්, යාං ඔයේ මෝය කට ස්ථාන දෙකින් මුහුදට විවර වී ඇති ආකාරය ඒ අනුව තහවුරු කළ හැකි බවත් ඔහු කියා සිටී.

මංගලනාත් ලියනආරච්චි, ත්‍රිකුණාමලය

Comments