මා අත ඇත්තේ හුදෙකලාවේ ආවර්ජන නම් භෞතික ව හුදෙකලා වුව ද සිතින් හුදෙකලා නොවුණු අප්‍රමාණ මිනිසකුගේ සටහන් සමුදායකි. හේ මේ සටහන් තබන්නේ සිය නව වැනි දශකය ගෙවමින් සිටියදී ය. හරියට ම කියන්නේ නම් අනූ තුන්වැනි වියෙහිදී ය. එය ස්වකීය ජීවිතයේ නව වැනි දශකය පටන් ගත් ඇසිල්ලේ ලියැවුණු දුර රූපයේ ආවර්ජනය නම් කෘතියෙහි ම දිගුවකි. සාමාන්‍ය මිනිසකුට දශක නවයක් යනු දීර්ඝ කාලයකි. එහෙත් අප මේ කියන්නට යන අප්‍රමාණ මිනිසා සිය ජීවිත කාලය පුරා ඉටු කළ මෙහෙවර හා සසඳද්දී එය කෙටි කාල වකවානුවකි. ඔහු සිය ජීවිත කාලය පුරා එතරම්ම වැඩ කර තිබේ.
මේ අප්‍රමාණ මිනිසා එස්. පියසේන ය. මුළු නමින් කියන්නේ නම් සේනාධීර පියසේන ය. සමහරු දෙයක් දැන කියා ගන්නට කතා කරන්නේ ඔහුට ය. පුදුමාකාර මතක ශක්තියකින් හෙබි පුද්ගලයකු සේ ජනමන සටහන් වූ හේ අතීත විත්ති පමණක් නොව සමකාලීන සමාජ දේශපාලන තතු පිළිබඳ දැනුමැත්තේ විය ඇස්. පියසේන ලේඛකයාගේ සියවැනි ජන්ම සංවත්සරය 2022 නොවැම්බර් 14 වැනිදා එනම් හෙට ට යෙදේ.
වත්මන් සිද්ධි ගැන ඊට සමාන අතීත සිද්ධි සැණින් මතක් කරමින් පූර්වාපර සන්ධි ගළපන ඔහු කිසි මොහොතක නිකරුණේ අපතේ නොයවන්නේ ය. මේ පූර්වාපර සන්ධි ගැළපීම් සමහරක් ඒවා ලංකාදීපයේ පළ විණි. ඒ ලිපි පළ වෙනතෙක් මඟ බලා සිටි පාඨක පිරිස් සිටියහ.
ඔහු අත්දැකීම් බහුල ඇසූ පිරූ තැන් ඇත්තෙකි. රැකියාවෙන් රැකියාවට අලුත් අත්දැකීම් හඹා ගිය අයෙකි. බොහෝ පොත්පත් පරිශීලනය කෙරූවෙකි. සිය සීයාගේ වාමවාදී දේශපාලන නැඹුරුවෙන් ආභාසය ලැබූවෙකි. ලොව වෙනත් රටවල සිදු වූ විවිධ දේශපාලන, සාමාජීය හා සංස්කෘතික විපර්යාසයන් වසර 95ක කාලයක් තිස්සේ දකිමින්, අසමින් සිය මතකයේ තබා ගනිමින් හේ පාඨකයන්ට ලබා දුන්නේ නොමසුරුව ය. ආනන්දයේ ඉගෙනුමට පෙර ඔහුගේ ගුරු දේවයෝ වූයේ අග්ගමහා පණ්ඩිත පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රේය, අග්ගමහා පණ්ඩිත පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්වාමීන්ද්‍රයාණෝ වෙති.
ආනන්දයේදී ඔහුට සිංහල ඉගෙනීමට ලැබෙන්නේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වෙතිනි. ස්වජාති ආලය වර්ධනය වීමේ ලා මූලික අඩිතාලම වැටෙන්නට ඇත්තේ එතැනිනි. 1939 දී උසස් අධ්‍යාපනය සඳහා කල්කටා යද්දී ඔහුගේ භාරකාරයා වූයේ දේවප්‍රිය වලිසිංහ ය.
හේ වෘත්තීය මාධ්‍ය ජීවිතයට පිළිපන්නේ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහගේ ජන ශක්තිය පුවත්පතට එක් වීමෙනි. 1948 වන විට දිනමිණ කතු මඬුල්ලට බැඳෙන්නට ඔහු ලේක්හවුස් වෙත එන්නේ ය. දිනමිණ පත්‍රයේ ඔහුට පැවරෙන්නේ පාර්ලිමේන්තු වාර්තාකරණයයි. ලේක්හවුස් පුස්තකාලයත්, පාර්ලිමේන්තු පුස්තකාලයත් ඔහුගේ ජීවිතයේ ඥාන කෝෂය වර්ධනය වීමේ ලා බෙහෙවින් බලපෑම් කළේ ය. දවස පුවත්පතේ 1977දී නියෝජ්‍ය කතුවරයා වූ ඔහු පසුව ලේක්හවුස් කර්තෘ මණ්ඩල විධායක ලෙසද කටයුතු කළේය.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා මෙන්ම නොයෙක් විෂයයන් සම්බන්ධයෙන් ලියැවුණු බොහෝ කෘති ද ඔහුගේ ජීවිතයට වටිනාකමක් එක්කර ඉනික්බිති අප ඇතුළු පාඨක ප්‍රජාව ඥානණය කළේ ය. දේශපාලන ඉතිහාසය හා වකවානු සම්බන්ධයෙන් ආවර්ජන පෙළ ගැසීමේ ලා නිපුණයකු බවට ඔහු පත් වෙන්නේ සිය හැදෑරීමේ ඵලයක් වශයෙනි.
1964 සිට වසර 11ක් ඉන්දියාවේ ආකාශ්වානී ගුවන් විදුලි නාළිකාවේ සිංහල වැඩසටහන් සම්පාදකවරයෙක් ලෙස කටයුතු කළ ඇස්. පියසේන මුල් ම වැඩසටහන ගෙන ඒමේ ඓතිහාසික අවස්ථාවේ හිමිකරු ය. එහිදී ඔහු සිය දැනුම යාවත්කාලීන කරගත්තේ සමාජ, ආර්ථික දේශපාලනික හා සංස්කෘතික කාරණා හා දැනුම හැදෑරීමෙනි.
1942 දී ලංකාවට පැමිණෙන ඇස්. පියසේන ඒ වසරේදී ම ආරම්භ කරන ලද ටැබ්ලොයිට් පිටු 4 පුවත්පතක් වූ නවශක්තියේ මිල සතයකි. කලින් කර්තෘ සහ ප්‍රකාශකයා වූ ඩී. පී. යසෝදිස් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව පුවත්පතෙන් කරුණු කියාපෑම නිසා සිටියේ සිරගතවය. සමසමාජ පුවත්පතේ 1936 කතුවරයා වූයේ බී. ජේ. ප්‍රනාන්දුය.
සිය 94 වැනි ජන්ම දිනය සැමරූ 2016 නොවැම්බර් 14 දා වන විට ද හෙතෙම ජාතික දිනපතා පුවත්පත් දෙකකට සෑම සිකුරාදා ම දේශපාලන තීරු ලිපි දෙකක් සතිපතා සපයමින් සිටියේය. මාසිකව ශ්‍රී ලංකාවේ සිංහල පුවත්පත්වලට ද විදෙස්ගත ශ්‍රී ලංකික ප්‍රජාව ප්‍රකාශයට පත්කරන පහන, සන්නස, සිහනද ඇතුළු පුවත්පත් කිහිපයකටම මාසික ව ලිපි සම්පාදනයේ ලා ද හේ ක්‍රියාකාරී ව සිටියේ ය. හේ ඇවිදින පුස්තකාලයක් මෙනි.
එබැවින් මේ ලිපි සම්පාදනය ඔහුට ආගන්තුක අසීරු කාර්යක් නොවීය. දැනුම සොයා පැමිණෙන්නන් ඔහු වෙතින් නික්ම යන්නේ ස්වකීය අවැසිතාව පූර්ණය කරගැනීමෙන් ඉනික්බිතිව පමණක් නොව තව තවත් බොහෝ දෑ තම දැනුමට එක්කර ගනිමිනි. තමා දන්නා කරුණුවලට ඔබ්බෙන් ඇති කරුණු සොයා තමන් වෙත එන ශාස්ත්‍රාභිලාෂීන් දැනුමෙන් පෝෂණය කිරීමෙන් හේ ඉමහත් සතුටක් ලැබුවේ ය.
පියසේනගේ දැනුම නිසා ඔහු චෙන්නායිහි ලංකා සහකාර තානාපති හැටියට පත්වීමක් ලැබීය. හෙතෙම ඉන්දියාවේ දක්ෂතම මාධ්‍යවේදීන්ව ළඟින් ම ඇසුරු කළේය. ඔවුන් සිතේ ලංකාව ගැන හොඳ හිත ඇති කිරීමට වැදගත් මෙහෙයක් කළේය. භාරතීය මාධ්‍යවේදීන් හා ශාස්ත්‍රඥයන් ලංකාවට ආවේ පියසේනගේ හැඳින්වීමේ ලිපියක් රැගෙනය. ඉන්දියානු මාධ්‍යවේදීන් ලංකාවට පැමිණි විට අනිවාර්යයෙන් ඔහු හමු වී මෙරට කටයුතු ගැන උපදෙස් ලබා ගත්තේය. ජාතික ඇඳුම හැඳි හේ ප්‍රතාපවත් පෙනුමැත්තෙක් විය. තමාට ම ආවේණික වූ ගති ලක්ෂණ සහිත ඔහු ආසියාතික දේශපාලනය පිළිබඳ විශේෂඥ දැනුමකින් යුතු වූවෙක් වෙයි.
ඉන්දියාවේ කල්කටාහි සිටියදී වාමාංශික දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධ වී ට්‍රොස්කිවාදියකු ලෙස කටයුතු කළ ඔහු ලංකාවේ වාමාංශික ව්‍යාපාර හා බැඳී දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ වැනි වාමාංශික නායකයන් ඇසුරු කළේය.
ඔහු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය 1943 නීත්‍යානුකූල කිරීමත් සමඟ ම ආරම්භ වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 11දෙනාගෙන් කෙනකු ද විය. සෙසු මධ්‍යම සභිකයන් වූයේ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, පීටර් කේනමන්, වෛද්‍යලිංගම්, ආරියරත්න, රාමනාදන්, කුලතුංග ඇතුළු පිරිසකි.
සෙසු මධ්‍යම සභිකයන් වූයේ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කේනමන්, වෛද්‍යලිංගම්, ආරියරත්න, රාමනාදන්, කුලතුංග ඇතුළු පිරිසකි. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය තහනම් වූ කාලයේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වූ බෙංගාලි කම්කරු පක්ෂයේ උද්යෝගිමත් ක්‍රියාකරුවෙක් බවට වූ ඔහු එහි ශිෂ්‍ය ව්‍යාපාරයේ සාමාජිකයන් සමඟ නැෂනල් ප්‍රන්ට් පත්තරය මහ පාරේ විකිණීමට ඔහු එක් විය.
කොළඹ ආනන්දය ඔහුගේ ශික්ෂිත ජීවිතයේ අඩිතාලම විණි. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, තල්පාවිල සීලවංශ හිමි වැනි ජාතික සටනේ ක්‍රියාධරයන්ගේ ඇසුර ඔහුගේ දිවිය එකලු කරන්නට ඇත. විදුහල්පති පී. ද. එස්. කුලරත්නයන්ය. ආනන්දයේදී අශෝතියන් නමින් ත්‍රෛමාසික සිංහල සහ ඉංග්‍රීසි සඟරාවේ වරෙක සංස්කාරකවරයා වූයේද ඔහු ය.
හලාවත මහ වැව විදුහලේ 1900 මුල් ගුරුවරයා වූ පියසේනගේ පියා වන ඕදිරිස් අප්පුහාමි ඉඩම් හිමි වැවිලිකරුවෙකි. එමෙන්ම 1935 පොල්ගහවෙල ගම් සභාවට ඡන්දයෙන් පත් වූ සභිකයෙකි. මෑණියන් වූ චලෝ නෝනා මිය ගියේ ඔහුට වයස 5ක් සම්පූර්ණ වන්නටත් මත්තෙනි. දරුවන් තිදෙනා වෙනුවෙන් කැප වූ පියා යළි විවාහ නොවූ අතර නෑ හිතවතුන් ඔවුන් ඉතා හොඳින් රැකබලා ගත්හ.
මාරක කතා චක්‍රවර්තී ලෙස බුහුමනට ලත් ඩීමන් ආනන්දටත් පෙර රහස් පරීක්ෂක මාරක කතා ලියූ ලේඛකයා ඇස්. පියසේන ය. එය ගුවන්විදුලියේ නිෂ්පාදනය වූ රහස් කතා ඇසුරෙන් ප්‍රකාශිත වූවකි. මාරක ගින්න නම් වූ ප්‍රථම කථාව ලිහිණි පොත් මගින් ප්‍රකාශයට පත්වූයේ 1954 මාර්තු මසය. මිල රුපියල් 1.50කි.
ග්‍රන්ථ කර්තෘවරයකු ද වෙන දේශපාලන හා සාමාජීය කරුණු රැගත් කෘති ගණනාවක් රචනා කර තිබේ. ඉන්දියාවේ ඉන්දිරා, ඡන්ද ඝාතනය, තට්ටු මාරුව, පවුල් වාදය හා විනාශය, කසාය බීපු ගොළුවෝ, අන්ධානුකරණයෙන් විනාශයට, කළු ජූලියේ රිදී ජුබිලිය හා පේමස්ගේ නිදහස, දුර රූපයේ ආවර්ජනා හා හුදෙකලාවේ ආවර්ජන ඔහු රචිත කෘති අතරෙන් කිහිපයකි.
පාර්ලිමේන්තුවේ ප්‍රථම සිංහල සමගාමී කතා පරිවර්තකයා වශයෙන් 1956 මැයි 1වැනිදා සේවයට බැඳී වසර 3 සේවය කළ ඔහු පවසන්නේ පීටර් කේනමන්, ජී.ජී පොන්නම්බලම් වැනි අයගේ මැති සබේ කතාවලින් බොහෝ දේ ඉගෙනගත හැකි වූ බවය.
විශිෂ්ටතම දේශපාලඥයකු ලෙස ඔහු හැඳින්වූ දේශපාලඥයා වූයේ රොබට් ගුණවර්ධන ය. ලංකා ගුවන්විදුලි සේවයට 1951 නිෂ්පාදකයකු වශයෙන් එක්වී පසුව නාට්‍ය සහ විශේෂාංග නියෝජ්‍ය සම්පාදක වශයෙන් කටයුතු කළ පියසේන ගේ සමකාලීනයන් වූයේ තේවිස් ගුරුගේ, පී. වැලිකල, ඩී. එම්. කොළඹගේ, එච්. එම්. ගුණසේකර, කරුණාරත්න අබේසේකර සහ නන්දා ජයමාන්න ආදීහු ය.
ජීවිතයේ සැදෑ සමයේ සිය බිරියගේ නික්ම යෑමත් සමඟ හුදෙකලා වූ ඔහු සිය හුදෙකලාවේ ආවර්ජන කෘතියේ සඳහන් කරන්නේ හුදෙකලාව වීම තරම් සිත කකියවන අන් දෙයක් ඇත්දැයි නොදන්නා බව ය. ඔහු ජිවිතයෙන් වැඩි කලක් ගත කළේ සාමූහිකව ය. සිය දරුවන්, සිය නෑයන්ගේ දරුවන් ඈ කිසිවකට ඔහුගේ නිවෙස ආගන්තුක ස්ථානයක් වූයේ නැත. ජීවත් වෙනවා යනු කුමක්ද යන්නට දිය හැකි හොඳ ම පිළිතුර සාමූහික ව පරිභෝජනය කිරීමයි යනු ඔහුගේ අදහස ය.
දැන් මා ජිවිතයේ ඉදිරි අල්ප කාලය ගෙවා දමන්නේ යම් යම් අල්පේච්ඡ පරිභෝජනාදිය කරමින් බව ලියන ඔහු ජීවිතයේ හුදෙකලාව නිවා ගත්තේ ද සිය ජීවිතය වන් ලේඛනයෙන් ම ය. ඒවා අදටත් අප මාධ්‍ය ජීවිතය ඒකාලෝක කරන්නේ ය. ජීවිතයේ සැදෑ සමය ද මතු පරපුරක් වෙනුවෙන් සටහන් කර තැබූ ඇස්. පියසේන ප්‍රවීණ ලේඛකයා හා මාධ්‍යවේදියා ජීවතුන් අතර සිටියේ නම් නොවැම්බර් 14 වැනි දාට එනම් හෙට සපුරන්නේ ශතකය ය.
දශක නවයක් ගෙවා වයස 95ක් ආයූ විඳ ඇස්. පියසේන ලේඛකයා නික්ම යන විට තව පරම්පරා කිහිපයක් සවිඥානක කර අවසන් බැව් සටහන් කරන්නේ ඔහුගේ සේවාව පිළිබඳ ගෞරවයෙනි.
ලොව ඇත්තේ යාම් ඊම් ය. ආවොත් යන්නට වෙනවා ය කියා මළගිය ඇත්තෝ ලියමින් කියන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයෝ ය. එහෙත් ගියත් අමරණීය වෙන්නට වැඩ කළ අය අල්පයක් සිටිති. ඇස්. පියසේන ජ්‍යේෂ්ඨයා වැටෙන්නේ ඒ ගණයට ය.