සිංහලයේ සම්මතය හා අසම්මතය | Page 4 | සිළුමිණ

සිංහලයේ සම්මතය හා අසම්මතය

නව සම්මතයක් අවැසියි
- හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගනේවත්ත

නව සම්මතයක් අවැසි නෑ
- මහාචාර්ය සඳගෝමි කෝපරහේවා

හැම කෙනෙක්ම ලියන කියන හැමදේම හරි කියලා පිළිගන්න බෑ 
- හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගනේවත්ත

සම්මතය ගැන දන්නෙ නැති අයයි සම්මතය ගැන කතා කරන්නෙ 
- මහාචාර්ය සඳගෝමි කෝපරහේවා

ම්මත සිංහලය ගැන බොහෝ මතවාද ගොඩනැඟෙයි. ඒ මතවාද මුලින් බෙහෙවින් අඩු වදන් ගණනකින් හා රීති ගණනකින් සමන්තවිත වුව ද පසුව එය ක්‍රමයෙන් දියුණු වෙන්නට පටන් ගත්තේ ය. බස හා සංස්කෘතිය දියුණු වෙත්ම මෙකී මතවාද ද දියුණු වෙන්නට හා මතවාදීමය වෙනස්කම් සහිත වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස සම්මත සිංහලයක් ඇති කර ගැනීමට අවැසි කරුණු කාරණා සම්මත කරගැනීම සඳහා 1968 දී කමිටුවක් පත් කරන ලදී. එහි සභාපතිත්වය දරන ලද්දේ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි වන අතර, ලේකම්වරයා වූයේ අ. දො. චන්ද්‍රසේකර ය. සම්මත සිංහල කමිටුවට අයත් වූයේ එකල භාෂා භාවිතය සම්බන්ධ ඡේකයන් ය.

සම්මත සිංහලය පිළිබඳවත් එය භාවිතයේ දී සිදුවන යම් යම් වෙනස්වීම් හා නොතකා හැරීම් පිළිබඳවත් මෙවර සිළුමිණ වාදාභිමුඛ වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය සඳගෝමී කෝපරහේවා සහ හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගනේවත්ත ය.

භාෂාවට සම්මතයක් අවැසි ද යන්නට මහාචාර්ය සඳගෝමි කියන්නේ දැනටමත් තියෙන මතවාද ප්‍රමාණවත් බවෙකි.

‘භාෂාවේ බොහෝ දේවල් ගැන සම්මතයක් තියෙනවා. උදාහරණයක් විදියට අක්ෂර වින්‍යාසය, උක්ත ආඛ්‍යාත ආදියේ බොහෝ දේ ගැන සම්මතයක් තියෙනවා. සම්මතයක් නැහැ කියන්න බැහැ; ව්‍යවහාරයෙන් සම්මත වුණු භාෂා සම්මතයක් තියෙනවා. 1968 වෙනකම් ලේඛකයන් භාෂාව සිය නිර්මාණ සඳහා භාවිත කළේ කවුරුවත් හදපු සම්මතයක් මත පදනම් වෙලා නොවෙයිනෙ. ව්‍යවහාරයෙන් තහවුරු වුණු සම්මතයක් තියෙනවා‘

ඒ අදහසට විරුද්ධ වෙමින් හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගනේවත්ත පවසන්නේ ඕනෑ ම නීතියක් රීතියක් කල් යද්දී වෙනස් විය හැකි බැවින් යාවත්කාලීන විය යුතු බව ය.

‘සම්මතයක් කියන්නේ භාවිතය කල් යද්දි පැනෙන නීතිරීති සමූහයක් ඔස්සේ සම්පාදනය වෙන්නක්. ලෝකයේ ඕනෑම ශාස්ත්‍රයක, විද්‍යාවක මේක ඇති වෙනවා. ඒකට හේතුව තමයි කාලයක් තිස්සේ භාවිත වෙද්දී එය වඩාත් හොඳට කරන්නේ කොහොමද කියන එක ගැන භාවිත කරන්නන්ට තේරෙනවානේ. ඊට පස්සෙ ඒ නීතිරිති සම්මත වෙනවා. භාෂාවටත් ඒක අදාළයි‘

1956 ජුනි 15 වැනි දා 1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත මඟින් සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීම සිදු වෙයි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස සැලසුම් කිරීම මෙන් ම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම පැවරුණේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට ය.

සිංහල භාෂාවේ භාවිතය හා ව්‍යවහාරය පිළිබඳ වෙනස්කම් සිදු වන්නට වූයේ රාජ්‍ය භාෂාවක් ලෙස සිංහලය සම්මත වීමෙන් පසු ය. භාෂා සැලසුම්කරණ වැඩසටහන් රැසක ප්‍රතිඵල සිංහල භාෂා විෂයෙහි බලපෑම් ඇති කළ අවධියක් ලෙස 1956න් පසු එළැඹුණු සමය දැක්විය හැකි ය. රාජ්‍ය භාෂාවක් වශයෙන් සිංහල භාෂාවේ තත්ත්වය 1956දී නීතිගත වීමත් සමඟ නූතන භාෂාවක කාර්යය ඉටු කිරීමේ වගකීම ද සිංහල භාෂාවට පැවරිණි. මේ නිසා සිංහල භාෂාවේ මුහුණුවර ද වෙනස් වන්නට විය. භාෂා සැලසුම්කරණය හා සංවර්ධනය හේතු කොට ගෙන භාෂා ව්‍යවහාරයේ පරිණාමය වඩාත් ශීඝ්‍ර ලෙස සිදු වූ අවධියක් ලෙස 1950–60 දශක දැක්විය හැකි ය. නූතන ඥාන සම්භාරය දැරීමට සුදුසු කාර්යක්ෂම මාධ්‍යයක් වශයෙන් සිංහල භාෂාව සැලසුම් කිරීමේ ප්‍රයත්නය නිසා සිදු වූ භාෂා සංවර්ධනය සිංහල භාෂාවේ නූතන ස්වරූපය සකස් වීම කෙරෙහි බෙහෙවින් බලපෑවේ ය. එමෙන් ම ව්‍යාකරණ රීති හා ව්‍යවහාරය පිළිබඳ සම්මුති ඇති කර ගැනීම සඳහා ඇතැම් පිරිස් ප්‍රයත්න දැරූහ.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වන මහාචාර්ය කෝපරහේවා පවසන්නේ මේ සියල්ල තිබියදී වුව ද විවිධ මතවාද ද කරළියට එනු වැළැක්විය නොහැකි බවකි.

‘ ඒ කාලෙ මතුවුණු ප්‍රශ්න තමයි හෙළ හවුලේ අය එක විදියකටත්, විශ්වවිද්‍යාලවල අය තව විදියකටත්, තවත් පිරිසක් කතා කරන බසිනුත් ලියන්න පටන් ගැනීම. ඒනිසා ඒ සම්මතය ඒ වෙලාවෙ අවශ්‍ය වුණා. 1989 ලේඛන රීතිය පොත ආවා. ඊළඟට අධ්‍යාපන ප්‍රකාශන ආවා. මේ අතරෙ තනි තනි ප්‍රයත්නත් තියෙනවා. ජේ. බී. දිසානායකයන්ගෙ අක්ෂර වින්‍යාසය පොත ආවා. දැන් ගැටලුවක් තියෙනවා නම් එකතු වෙලා කතා කරලා විසඳුමකට, එකඟතාවකට එන එක තව වැඩක්.

හොඳ ම උදාහරණය ෆ හෝඩියට ගන්නවද නැද්ද කියන එක 88-89 වෙනකම්ම ප්‍රශ්න තිබුණා. දැන් ෆ හෝඩියෙ තියෙන එක ගැන කාටවත් ම ප්‍රශ්නයක් නැහැනෙ‘

නිවැරදි භාෂාවක් භාවිත නොකිරීමෙන් ඇතිවිය හැකි අනිටු ප්‍රතිඵල ලෙස හෙළ හවුලේ නයු ගනේවත්ත පවසන්නේ චින්තනය නිරාකූල වීමට නම් භාෂාව සංදිග්ධතාවලින් තොර විය යුතු බවෙකි.

‘භාෂාවෙන් තොරව ලොකේ කිසිම දෙයක් කරන්න බෑ. ලෝකයේ සියලු දේ සිදුවෙන්නේ සන්නිවේදනය ඔස්සේ. ලෝකයේ දියුණුව කියලා අදහස් කරන්නේ ශිෂ්ටාචාරය හෙවත් සංස්කෘතිය දියුණු වීමනෙ. ශිෂ්ටාචාරය දියුණු වෙන්නේ චින්තනය සමඟ. චින්තනයේ මාධ්‍ය භාෂාව. භාෂාවෙන් තොර උසස් චින්තනයක් ඇති වෙන්නෙ නෑ. චින්තනය භාෂාව මූලික කරගන්න නිසා භාෂාවේ නිරවුල් බව, නිරාකූල බව අනුව තමයි චින්තනයත් නිරාකූල වෙන්නෙ, නිරවුල් වෙන්නෙ. ඒ නිසා භාෂාව තමයි ලෝක පැවැත්මේ අනිවාර්ය සාධකය. භාෂාව නිවැරදි නැත්නම් චින්තනය ආකූල වෙනවා. ඒ කියන්නෙ මිනිස් වර්ගයාගේ පැවැත්ම අවුල් වෙනවා. ඒකයි භාෂාව නිවැරදිව භාවිත කරන්න කියලා භාෂා පඩිවරුන් නිතර කියන්නෙ‘

සම්මතයක් ගැන පොදු සමාජයේ ගැටලු ඇතිවීම ගැන කෙරෙන කතාබහේදී මහාචාර්ය කෝපරහේවා පවසන්නේ මෙය එක්තරා අන්දමක නොදන්නා කම නිසා ඇති වන්නක් බවකි.

‘ වාක්‍ය රීති වැරැද්දීම මිසක් ඒවට විකල්ප නැහැ. මිනිසුන් යති, ආසාදිත සිසුන් විභාගය ලියති කියලා ලියනව නම් ඒක වැරැද්දක් මිසක් සම්මතයක් නැති නිසා වුණු දෙයක් නොවෙයිනෙ. ව්‍යාකරණය වැරදි වෙන්නෙ සම්මතය දන්නෙ නැති නිසා. හැබැයි සමහර තැන් තියෙනවා සම්මතයකට ආවෙ නැති. අපි ඔසු සල ලෙස පද දෙකකට ලියනවාද; ඔසුසල ලෙස එක පදයකට ලියනවාද, විශ්ව විද්‍යාලය කියලා පද දෙකකට ලියනවද; නැත්නම් විශ්වවිද්‍යාලය කියලා එක වචනයකට ලියනවද කියන එක තීරණය කරගන්න ඕන තමන්ගෙ භාවිතය ඇතුළෙ. මේක දෙකකට ලිව්වත් එකකට ලිව්වත් වැරැද්දක් නෑ. අපේ සම්මතයක් හදා ගත්තම හරි. ආයතනයක් පිළිගන්න එක ක්‍රමයක් හදා ගත්තම හරි‘

ඒ පිළිබඳ හෙළ හවුලේ නයු ගනේවත්තගේ අදහස වන්නේ නූතන භාවිතයේදී දුහුනන්ගේ භාවිතය සඳහා මේවා වෙනස් විය යුතුව ඇති බවකි.

‘ව්‍යවහාරය අවුරුදු දස දහස් ගණනක් පැවතුණාට පස්සෙ තමයි සම්මතය ඇති වෙන්නෙ. සම්මතය ඉබේ එකවර පහළ වෙන්නක් නොවෙයි. මම කිව්වොත් මි වලින් ඉවර වෙනවා කියන එක අවුරුදු දහස් ගණනක් තිස්සේ සිංහලයේ යොදලා යොදලා තමයි නීතියක් බවට පත් වුණේ. නීති කියන ඒවා එකපාර ආකස්මිකව පහළ වෙන්නේ නෑ. භාවිතය නිසාමයි ඇති වෙන්නෙ. ඕනෑම දෙයක් වඩාත් හොඳට කිරීම සඳහා තමයි නීති ඇති වෙන්නෙ. එහෙම ඇති වුණු ව්‍යාකරණයක් හා නීති මාලාවක් ව්‍යාකරණයේ තියෙනවා. එහෙම තියෙද්දි අද හිතෙන හිතෙන විදියට කොහොම ලිව්වත් තේරෙනවා නේ කියලා ලිව්වොත් සම්පූර්ණයෙන් භාෂාව අවුල් වෙනවා. එහෙම වුණාම භාෂාවෙන් ලියන අය, චින්තනය මෙහෙයවන අයගෙ කටයුතු අවුල් වෙලා මුළු මහත් සමාජය ම අවුල් වෙනවා.

ඒනිසා තමයි අපි කියන්නෙ භාෂාව නිවැරදිව භාවිත කිරීම සඳහා යම් නීතී රීති භාවිතයක් අවශ්‍යයයි කියලා. භාෂාවේ ක්‍රමික විකාශනයක් දකින්න පුළුවන් සාහිත්‍යයක් තියෙනවා‘

කුමක්ද සම්මත විධික්‍රමයට උදාහරණ යන්නට මහාචාර්ය කෝපරහේවා පවසන්නේ මෙවැන්නකි.

‘ලේඛන රීති පොත ගත්තත්, අක්ෂර වින්‍යාස පොත ගත්තත් මේවා ලියැවිලා තියෙනවා. ආයෙත් කරන්න දෙයක් නැහැ. ඇත්තටම මෙතන තියෙන ප්‍රශ්නෙ තමයි මේක දන්නෙ නැතිකම. දැන් මගේ අක්ෂර වින්‍යාසය පොත දන්න අය ඒක බලනවා. දන්නෙ නැති අය කියාවි කෝ අපට අක්ෂර වින්‍යාසය ගැන දැනගන්න තැනක් නෑනෙ කියලා. උදාහරණයක් විදියට කවුරුහරි අහනව නම් සමනලයා ලියන්නෙ කොහොමද කියලා; ඒක ලියන්නෙ දන්තජ ල භාවිත කරලා. ඒකට අලුතෙන් හොයන්න දෙයක් නෑ. දන්නෙ නැතිකම මිසක් වෙන දෙයක් නොවේ මේක‘

සම්මතයට ඇති විය හැකි ගැටලු කවරේද යන්නට හෙළ හවුලේ නයු ගනේවත්ත පවසන අදහස නවීන ය.

‘ නිර්මාණකරණයේදී හෝ ජනමාධ්‍ය සඳහා භාෂාව භාවිතයේදී භාෂාව පිළිබඳව ක්‍රමවත්ව යෙදුණු රීති සමූහයක් දැකගන්න පුළුවන්. ඒවා තමයි වෙනම අරන් ව්‍යාකරණඥයෝ ව්‍යාකරණ පොත් කියලා පළ කරන්නේ. ව්‍යාකරණය කියන එක මවන්න බෑ. සිදත් සඟරාවෙ වුණත් තියෙන්නෙ එහෙමයි. සිදත් සඟරා කතුවරයා ඒවා එක එක අදියර විදියට බෙදලා දක්වලා තියෙනවා. ඊට පස්සෙ ව්‍යාකරණඥයන් සිදත් සඟරාව අනුව ගිහින් නීතිරීති සමූහය දක්වලා තියෙනවා. ඒ කාලෙ ඇති වුණු ප්‍රශ්නය තමයි පැවතුණු කාලෙ භාෂා රීති සමූහය නොවෙයි ඊට කලින් පරණ භාෂා රීති මෙහි දක්වා ඇති බව. ඒකෙන් අද තියෙන භාෂාවෙ භාවිතය සඳහා ඒක ප්‍රමාණවත් නෑ කියලා අදහසක් ආවා‘

මේ සම්මතය පිළිබඳ කතාව ගොඩනැඟෙන්නේ කටවහර ගත්වහර ගැටලුව නිසාද යන්නට මහාචාර්ය කෝපරහේවා පවසන්නේ මතභේදයක් නැති ව්‍යාකරණයක් නැති බවෙකි.

‘කටවහරෙන් ලියන්න ඕන කෙනකුට අයිතියක් තියෙනවා. කවුරුහරි කියනව නම් අපි භාවිත කරන්නෙ කටවහර කියලා. ඒකට වැරැද්දක් කියන්න බෑ. හැබැයි හැමෝම එහෙම තමයි ලියන්න ඕන කියලා නීතියක් දාන්න බෑ. සම්මතය ගැන දන්නෙ නැති අයයි සම්මතය ගැන කතා කරන්නෙ. හුඟාක් දේවල්වලට සම්මතයක් තියෙනවා. පොඩි දේවල් ටිකකටයි නැත්තෙ. පද බෙදීම වගේ තැන් කිහිපයක්. මතභේද නැති ව්‍යාකරණයක් නෑ.

හෝඩියේ 60 සම්මතයිනෙ. හැබැයි ව්‍යවහාරයේ නැති අකුරු 4ක් තියෙනවා. කාටහරි මේක මතු කරන්න පුළුවන්. මිනිස්සු හරියට අධ්‍යයනය කරන්නෙ නෑ. හොයන්නෙ නෑ‘

හෙළ හවුලේ නයු ගනේවත්ත පවසන්නේ කුමාරතුංගයන් පවා මෙකී වෙනස්කම් පිළිබඳ සවිඥානික වූ බව ය.

කුමාරතුංග මුනිදාස වගේ කෙනෙක් තමන් භාවිත භාෂාව අරගෙන ඒක හරියට විචාරය කරලා, විග්‍රහ කරලා හරි නීතිරීති සමුදායක් දැක්වුවා ව්‍යාකරණ විවරණය වගේ පොත්වල. අද වෙනකොට ඒක තවත් වෙනස් වෙලා. සම්මත සිංහලයේ ගැටීම නිසා, භාෂා භාවිතය සීග්‍ර වීම නිසා, සමාජ මාධ්‍ය භාවිතය නිසා භාෂාව වෙනස් වුණා. දැන් වෙනස් රීති ඇතිවෙලා තියෙනවා. ඡේකයන්ගේ වගකීම තමයි ඒ රීති හරියට විචාරයට ලක් කරලා තියෙන ස්වරූපයත් භාවිතයට ගෙන නව නීති පද්ධතියක් ඉදිරිපත් කිරීම.

සමහර රීති ව්‍යාකරණ පොත්වලවත් නෑ. එතකොට ආධුනිකයා මුලාවට පත්වෙනවා. අද ඉන්න ව්‍යාකරණඥයන්ගේ වගකීම තමයි භාෂාවේ නිවැරදි ව්‍යාකරණ අරගෙන අද ඉන්න දුහුනන්ට භාවිතය සඳහා පොතක් හෝ වෙනයම් ක්‍රමයකින් ඉදිරිපත් කිරීම‘

නූතන වාග් විද්‍යාඥයා හා ව්‍යාකරණඥයා අතර පවතින ගැටුම ගැන මහාචාර්ය කෝපරහේවා මේ සිංහලයේ සම්මත වාදයේදී පවසන්නේ එය ප්‍රවේශය හා දෘෂ්ටිය අතර ගැටුමක් බවකි.

‘ නූතන වාග් විද්‍යාඥයා සහ ව්‍යාකරණඥයා අතරෙ ගැටලුවක් තියෙනවා. භාෂාවේ ව්‍යාකරණඥයාගේ කාර්යභාරයට වාග් විද්‍යාඥයාත් පසුව එකතු වෙනවා. ඒ දෙදෙනා භාෂාව විග්‍රහ කරන විදිය සහ භාෂාව දෙස බලන විදිය දෙකක්. ඒකෙන් අදහස් කරන්නෙ නෑ වාග් විද්‍යාඥයා ව්‍යාකරණය ගැන කතා කරන්න අයිතියක් නෑ කියලා. ඉංග්‍රීසි ව්‍යාකරණ පොත් ගත්තොත් ඒවා බහුතරයක් නූතන වාග් විද්‍යාඥයන් ලියූ ඒවා. 18 - 19 සියවස්වල හිටපු පැරණි ව්‍යාකරණඥයන් නෙවෙයි එ්වා ලිව්වා. ප්‍රවේශය හා දෘෂ්ටිය පිළිබඳ ප්‍රශ්නයක් එතන තියෙන්නෙ. ඒක වෙනම කාරණයක්‘

එකඟතාවක් ඇති කරගන්නේ නම් එකී එකඟතාව ඇති කරගන්නේ කෙසේද යන්නට හෙළ හවුලේ නයු ගනේවත්ත පැහැදිලි පිළිතුරක් දෙයි.

‘එකඟතාව කෙරෙන්න ඕන ඡේකයන් අතර විතරයි. අද පොත් ලියන්නෙ භාෂාව දන්න අය විතරක් නොවෙයි. නොදන්න අයත් ලියනවා. මේ හැම කෙනෙක්ම ලියන හැමදේම හරි කියලා පිළිගන්න බෑ. බොහෝ දෙනකුගේ කැමැත්ත අනුව තමයි වැඩ කළ යුතු කියලා දේශපාලනයේදී කියනවා. හැබැයි භාෂාවේ එහෙම බෑ. වැරැදි සමාජගත වෙන්න පුළුවන්. ඒකයි ඡේකයන් ගේ ව්‍යවහාරය නිවැරදි ලෙස සලකන්නේ. ඒනිසා මගේ යෝජනාව ඡේකයන්ගේ ව්‍යවහාරය නූතනයත් එක්ක විග්‍රහ කරලා බලලා හරි තීරණයකට ආ යුතු බවයි. ව්‍යාකරණය සංවර්ධනය කිරීම කාලයේ අවශ්‍යතාවක්‘

ඒ පිළිබඳ ව පැහැදිලි පිළිතුරක් ලබා දෙමින් මහාචාර්ය කෝපරහේවා පවසන්නේ සම්මතයක් අවැසි බව කියන්නේ එය නොදන්නා අය බවයි.

සම්මතයක් අවශ්‍යයි කියන්නෙ සම්මතය නොදන්න අය. සම්මතයක් තියෙනවා. ව්‍යවහාරයෙන් ආව සම්මතයක් තියෙනවා. පොඩි පොඩි මතවාද හැම භාෂාවකම තියෙනවා. ඒක වළක්වන්න බෑ. සම්මත කරගත්ත භාෂා රීති ඕන තරම් තියෙනවා.

මම නම් කියන්නෙ ආයෙත් සම්මතයක් ඕන නෑ. දැනටමත් භාෂාව නිවැරැදිව භාවිත කරන්න ඕන තරම් උපදේශ තියෙනවා; අවශ්‍ය තරම් පොතපත තියෙනවා. හැබැයි සම්මතය හා ව්‍යවහාරය පාලනය කරන්න ඕන. පරීක්ෂා කරන්නෙ නැතිව සම්මතය අවශ්‍යයි කියලා වැඩක් නෑ.

ආයතනික ශෛලියක් හැදුණට කමක් නෑ. අලුත් වචන, සුදුසු වචන හදාගන්න ඕන. පත්තරයට ලියන එකයි වෙබ් එකට ලියන එකයි දෙකක්නෙ‘

වෙනස්වීම් ගැන හෙළ හවුලේ නයු ගනේවත්ත පවසන අදහසට අනුව එය හිතුමතේ කළ නොහැක්කකි.

‘ ඒකෙන් අදහස් කරන්නෙ නෑ, භාෂාව එකතැන තියෙන කවදාවත් වෙනස් නොවෙන දෙයක් කියලා. භාෂාවෙ ඉතිහාසය සැලකුවාම යම්කිසි වෙනස්වීම් තියෙනවා. ඒවා පිළිගන්නේ යම්කිසි භාෂා ඡේකයන්ගේ සම්මුති අනුව. ඡේක ව්‍යවහාරයට අනුකූලව භාෂාවේ වෙනස් වීම කවුරුත් පිළිගන්නවා. හිතුමතේ වෙනස් කිරීම් නම් පිළිගන්න බැහැ‘

ඒ පිළිබඳව මහාචාර්ය කෝපරහේවා නවීනතම පිළිතුරක් දෙයි. මේ සියල්ලට වඩා ඉදිරියේදී භාෂාත්මක වෙනස්කම්වලට බලපාන දැයක් පිළිබඳව හේ කරන හෙළිදරව්ව ප්‍රායෝගික සත්‍යයකි.

‘ පරිගණකයත් එක්ක ආවම තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා.

අනාගත සිංහලයේ සම්මතය තාක්ෂණයෙන් විසඳේවි. ඒකට අපි කාටවත් තීරණයක් දෙන්න බැරි වේවි. යතුරු ලියනය ආවම බැඳි අකුරු තනි අකුරු වුණා. අද වෙනකොට ගොඩක් අය අකුරු ලියන්නෙ නෑ. ටයිප් කරන්න පුරුදු වෙලා.

අපේ භාෂා පුරුදු තාක්ෂණය විසින් වෙනස් කරමින් පවතිනවා. භාෂා විෂයයීක මතවාද නැති වෙන්නෙ නෑ. හෙළ හවුලේ මතය, විද්‍යෝදය, විද්‍යාලංකාර මතය, කොළඹ මතය, පේරාදෙණිය මතය ආදී වශයෙන් තියෙන්න පුළුවන්

සම්මතයක් ඕන කියන එක නම් පිස්සුවක්‘

1960 දශකයේ අවසානය පමණ වන විට සිංහල භාෂාධ්‍යයන ක්ෂේත්‍රයේ වෙනස් මත දරන ගුරුකුල ත්‍රිත්වයක් දැකිය හැකිය. එනම්: පිරිවෙන්, විශ්වවිද්‍යාල හා හෙළ හවුල යනුවෙනි. එකල සිංහල භාෂා විෂයයෙහි විවිධ මතවාද හා වාද-විවාද බහුල වූ සමයකි.

ග්‍රන්ථ භාෂාව පමණක් නොව, පොදු ජන බස ද එක සේ විමසා සරල සිංහල වියරණයක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව 1970දී මාර්ටින් වික්‍රමසිංහ පෙන්නා දුන්නේ ය. කෙසේ වුවද මේ වාදය හා මතගැටුම තවමත් සක්‍රියව පවත්නකි. අප ඒ පිළිබඳ අවධානය යොමු කරන්නට හේතු වූ කරුණ වන්නේ තවමත් සම්මතයක් පිළිබඳ කතාබහ නිමා වී නැති බැවිනි.

Comments