සාහිත්‍ය සම්මාන අවශ්‍ය ද නැද්ද? | සිළුමිණ

සාහිත්‍ය සම්මාන අවශ්‍ය ද නැද්ද?

ලංකාවේ සම්මාන ගන්න පොත් ලියන්න හරි ලේසියි
- ලේඛක මොහාන්රාජ් මඬවල

සම්මානයක් කියන්නේ ලේඛකයකුට ජීවිතේ ලොකු අවස්ථාවක්
- ලේඛක පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි

සම්මාන විවේචනය කරන්න මිනිස්සු බයයි. විවේචනය කළාම ආයෙත් සම්මානවලට නිර්දේශ වෙන්නෙවත් නෑ 
- ලේඛක මොහාන් රාජ්මඬවල

සම්මාන දිනාගත් පොත් ගැන පිළිතුරු දිය යුත්තේ විනිශ්චය මණ්ඩලය මිසක් ලේඛකයා නොවෙයි
- පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි

සාහිත්‍ය සම්මාන කියා දෙයක් නැති බවත් ඇත්තේ සාහිත්‍ය තෑගි කියා දෙයක් බවත් 2005 වසරේදී පුවත්පතකට ලිපියක් ලියමින් සිය නවකතා වෙනුවෙන් සාහිත්‍ය සම්මාන වැඩිම ප්‍රමාණයක් ලබා ගත් කේ. ජයතිලක ලේඛකයා පවසා තිබේ. ඒ පිළිබඳ වැඩිදුරටත් අවධාරණය කරමින් හේ කියා ඇති වාක්‍ය සමහර විටෙක වත්මන් සාහිත්‍ය සම්මාන අර්බුදය ගැන කැඩපතක් වැනිය.

“සාහිත්‍ය සම්මාන” යන යෙදුම මා කිසි දි‍නක භාවිත කරන්නේ නැත. සාහිත්‍ය මණ්ඩලය ඇති කළ මුල් අවධියේ කලින් වර්ෂයේ ඒ ඒ විෂයන්ගේ ලියැවුණු හොඳම පොත් සඳහා තෑගි පිරිනමනු ලැබිණ. පසු කාලයක ඒවාට “සාහිත්‍ය සම්මාන” යන මහේශාක්‍ය නාමය මුලින්ම ආරූඪ කරන ලද්දේ ග්‍රන්ථ ප්‍රකාශකයන් විසිනි. ඒ වෙළෙඳ උපක්‍රමයක් වශයෙනි. නොබෝ කලකින්ම ලේඛකයෝ ද වැඩි ගරුත්වයක් සහිත මේ උප පදයන්ගෙන් ආකර්ෂණය වී ගියහ. කෙසේ වුවද අදත් මට නම් සිතන්නේ මුදලින් මනිනු ලබන බුහුමන සම්මානයක් නොවන බවය.”

තමන්ට ලැබුණු සාහිත්‍ය සම්මාන ප්‍රතික්ෂේප කළ ලේඛකයෝ ද වෙති. 1960 වසරේ “න්‍යාය ප්‍රවේශය හා න්‍යාය හෝඩිය, ලියූ මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි ද, 1961 වර්ෂයේ “කාන්තාව හා සමාජය” කෘතිය ලියූ ප්‍රකට ලේඛක කිරිවත්තුඩුවේ පඤඤාසාර හිමි ද, 1960 දශකයේ “ගුරුළුවත” ලියූ ගුණදාස අමරසේකර ද, 1983 දී “මාංචු” කෙටිකතා සංග්‍රහය ලියූ ජයතිලක කම්මැල්ලවීර ද මේ අතර වෙති. 1959 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබූ ලේඛකයන් අතර අවසානයට නාමශේෂභාවෝපගත වූයේ 1927 උපන් අශෝක කරුණාරත්න ලේඛකයා ය. ඒ මිනුවන්ගොඩ දැවමොට්ටවේ දී 2021 වසරේදී ය.

සාහිත්‍ය සම්මාන පිළිබඳ මතවාද හැමදාමත් කරළියට එන්නේ සාහිත්‍ය සම්මාන ලබා දුන් ඉනික්බිතිවය. අනතුරුව එකිනෙකාට සීනි තැවරූ වෙඩි උණ්ඩ යවමින් සීතල යුද්ධය පටන් ගනිති. මේවා වෙඩි උණ්ඩවලටත් වඩා රිදෙන සුලුය. පොදු සමාජයෙන් සමහර අවස්ථාවල අපට අසන්නට ලැබෙන සාහිත්‍යකාරයන් තරම් කුහකයන් තවත් සිටී ද යන්නට අඩු වැඩි වශයෙන් අනුපාන එකතු කරන්නෝ ද වෙති. කෙසේ වෙතත් සම්මානයක් කවර අර්ථයෙන් ගත්තත් දිරිගැන්වීමකි. සතුට, උත්තේජනය දනවන්නකි. සිය නිර්මාණ කෘතිය වෙනුවෙන් පාඨක ආකර්ෂණය ලැබෙන්නකි. එනිසා වසරෙන් වසර අති උත්කර්ෂවත් අයුරෙන් මෙකී සම්මාන උලෙළ පවත්වන්නට ද කටයුතු කෙරෙති.

ඩී. ආර්. විජේවර්ධන අනුස්මරණ නවකතා අත් පිටපත් තරගය, විභවි සංස්කෘතික මධ්‍යස්ථානය මෙහෙය වූ සාහිත්‍ය සම්මාන උලෙළ, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මාන, ස්වර්ණ පද්ම සාහිත්‍ය සම්මාන , ස්වර්ණ පුස්තක, රජත පුස්තක හා කවිතා සාහිත්‍ය සම්මාන ආදී ලෙසින් විවිධ වර්ගයේ සම්මාන උලෙළ ඉතිහාසයක් අප සතුව ඇත. මේ සියල්ලෙන් රටේ සාහිත්‍යකරණයේ නියුතු වූවන් නඟා සිටුවීමේ හා උත්තේජනයක් ලබා දීමේ යම් අරමුණක් ඇත. කෙසේවෙතත් මේ සියලුම සම්මාන උලෙළ අවසානයේ ලැබුණු නොලැබුණු අය විවිධ කතා කියති. එය සාමාන්‍ය ස්වරූපයයි. එබැවින්ම මෙවර වාදයට අප සම්මුඛ කරගත්තේ සම්මාන පිළිබඳ කතාවයි.

රාජ්‍ය, ස්වර්ණ පුස්තක ඇතුළු සියලු සම්මාන රැසක් ලබා ගත් සම්මානනීය ප්‍රවීණ ලේඛකයකු ලෙස බුහුමනට ලක්වෙන පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන් හා සන්නිවේදකයකු ලෙස බහුවිධ මාධ්‍ය ඇසුරු කරන ජනප්‍රිය ලේඛකයකු වන මොහාන් රාජ් මඬවල ඒ අනුව මෙවර සිළුමිණ වාදයට සම්මුඛ වෙයි.

පූජ්‍ය බටුවන්ගල රාහුල ස්වාමීන් වහන්සේ කලක් තිස්සේ කෙටිකතා නවකතා ඇතුළු නිර්මාණකරණයේ නිමග්න වෙති. පරිකල්පනීය ඉසව් ගැන උන්වහන්සේ බෙහෙවින් සවිඥානිකය. යථාර්ථවාදී ප්‍රවේශයේ සිට ප්‍රභානි, බොරතෙල් වැනි නිර්මාණ කෘති රචනා කළ උන්වහන්සේ රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා වැනි නිර්මාණ කෘති ඔස්සේ මායා යථාර්ථවාදය ස්පර්ශ කළහ. මොහාන් රාජ් මඬවල ඉතිහාසයේ සරන්නේ ඒ ඉතිහාසයෙන් වර්තමානය පිළිබඳ යම් යම් උපකල්පන පාඨකයා ඉදිරියේ දිග හරිමිනි. ඔහුගේ කෘති බෙහෙවින් ජන ආකර්ෂණීය ය. වරෙක ලාංකේය ක්ෂණික ධනපති පන්තිය ඇරඹීමේ මූලාශ්‍රය වෙන රේන්ද කලාව සොයා යන ඔහු තවත් විටෙක ඉතිහාසය විසින් වැරදි ලෙස අර්ථ ගන්වන ලද චරිත හා සිද්ධි පිළිබඳ සිය විචාරාක්ෂිය යොමු කරයි.

සම්මාන උත්තේජනයක් වන්නේ කෙසේද යන්න ගැන පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන් සිය අදහස් දැක්වූයේ මෙසේය.

‘සම්මානයක් කියන්නේ ලේඛකයකුට ජීවිතේ ලොකු අවස්ථාවක්. ඒක සාධාරණ විදියට වෙනවද කියන එක ගැන එක එක්කෙනාට මතිමතාන්දර තියෙන්න පුළුවන්. ලංකාවෙ ගොඩක් අය ගුරුකුල, කණ්ඩායම්වලට බෙදිලා ඉන්න නිසා එක කණ්ඩායමක එක්කෙනෙක්ට සම්මානෙ ලැබුණම අනෙක් කණ්ඩායම ඒකට විරුද්ධ වෙනවා. ඒක සාහිත්‍යයේ වෙන්න ඕන නෑ කියලයි මම හිතන්නේ.

පසුගිය කාලෙ අපේ ලේඛක ශෙහාන්ට බුකර් සම්මානය ලැබුණා. අපි හැමෝම ඒකට සතුටු වෙනවනෙ. ඒක නිර්මාණකරණයට ලොකු උත්තේජනයක්. මුදල් ත්‍යාගය කිසියම් ලේඛකයෙක් ඉලක්ක කරනවා නම් වැරදියි කියලා කෙනකුට කියන්න පුළුවන්. ලේඛකයා මොන අරමුණෙන් ලිව්වත් සම්මාන දෙන්නෙ විනිශ්චය මණ්ඩලය විසින්නෙ. ඒ විනිශ්චය මණ්ඩලය හැම පැත්තක්ම සලකලා බලලා ඒ විනිශ්චය හරියට දෙනවා නම් ලේඛකයා දවස ගානෙ පොත් ලිව්වත් කාටවත් මුකුත් කියන්න බැහැ. එයාට පුළුවන් නම් එයා කරන්න ඕන. පාඨකයන්ට හා විචාරකයන්ට ඕන විදියට නෙමෙයි ලේඛකයා හැසිරිය යුත්තේ"

මේ පිළිබඳ අදහස් දැක්වූ ලේඛක මොහාන් රාජ් මඬවල සම්මාන විනිශ්චය මණ්ඩලවලට දැඩිව දෝෂාරෝපණය කරන්නේ ඔවුන් තවමත් සිටින්නේ දශක හතරකට පහකට එහා බව කියමිනි.

“ඕනෑම කෙනෙක්ගෙ ඕනෑම දෙයක් යම් ඇගයීමකට ලක් වීම පෞද්ගලිකව ගෞරවයක් සහ ආඩම්බරයක්. ඒකට නිර්මාණ ප්‍රවර්ගය මොකද්ද කියන එක වැදගත් නෑ. නමුත් ලංකාවේ සම්මාන මණ්ඩලවල බහුතරයකගෙ සාහිත්‍ය හෝ කලාව ගැන තියෙන දැනුම 80 දශකයෙන් මෙහාට වර්ධනය වෙලා නැහැ. එයාලා තාම ඉන්නෙ 70 - 80 දශකවල. ඒ කාලෙ ඒ අය දැන ගත්ත, හඳුනා ගත්ත නිර්ණායක විතරයි හරි කියලා හිතන්නෙ. යථාර්ථවාදය ගැන විතරයි දන්නෙ. එතැනින් එහාට ලෝකෙ කොච්චර කලාව දියුණු වුණාද කියන එක ඒ අය දන්නෙ නෑ. සරලව ගත්තොත් ශෙහාන්ගෙ පොත සිංහලෙන් තිබුණා නම් මේ එක සම්මාන උලෙළකවත් කතා වෙන්නෙවත් නෑ. පිස්සු පොතක් කියලා අතහරීවි. අලුත් අත්දැකීම්, අලුත් ශානර, මායා යථාර්ථවාද කියන දේවල් හරිම ආගන්තුකයි. ඕනෑම නිර්මාණයක තියෙන දැවැන්තම කාර්ය භාරය පරිකල්පනය. හැබැයි මේ සම්මාන කමිටුවල ඉන්න විනිශ්චය මණ්ඩල සාමාජිකයන් ඉන්නෙ තාමත් 70, 80 දශකවලින් මෙහාට ඇවිත් නැහැ. ඒ හින්දා ලංකාවේ සාහිත්‍ය කියන්නෙ නොදියුණු තත්ත්වයක් පෙන්නුම් කරන දෙයක්"

මොහාන් රාජ් ලේඛකයා සඳහන් කරන විනිශ්චය මණ්ඩල යාවත්කාලීන නොවීම ගැන පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන් දක්වන අදහස මොහාන් ලේඛකයා දක්වන අදහස තරම් චෝදනාත්මක නැත.

"මට එහෙම එකපාර කියන්න බෑ. එක එක අයගේ විචාර මිනුම්දඬු එක එක විදියයි. සමහර වෙලාවට විවිධ ප්‍රභේදවලට අනුකූලව ලියන අය ඉන්නවා. ඒක නිසා විනිශ්චය මණ්ඩලය යාවත්කාලීන වීම අත්‍යවශයයි. පාසල් පෙළ පොත්වලට ගන්නා කතා වෙනස් වෙලාද? නෑනෙ. පරණ ඒවම තමයි ගන්නෙ. සමහර වෙලාවට ජීවතුන් අතර ඉන්න ලේඛක ලේඛිකාවනට වඩා ජීවතුන් අතර නැති කලාකරුවන්ට ලංකාවේ සලකනවා. අලුත් පරපුර පාඨක ප්‍රජාවට හඳුන්වා දීමේ වගකීමක් තියෙනවා. හැබැයි එහෙම වෙන්නෙ නෑ"

මොහාන් ලේඛකයා දිගින් දිගටම සඳහන් කරන්නේ සම්මාන විනිශ්චය මණ්ඩලවල ක්‍රියාකාරිකයන් තවමත් 70-80 දශකවලින් මෙහාට පැමිණ නැති බවකි.

"ලෝකෙ කලාව ගැන දන්න අයවත් මේ විනිශ්චය මණ්ඩලවල නැහැ. අඩුම තරමෙ සරච්චන්ද්‍ර ලියපු කල්පනා ලෝකය පොතේ තියෙන හරයවත් දන්නවද? තාම 70-80 දශකවලින් මෙහාට ඇවිත් නැහැ"

සාමාන්‍යයෙන් පාඨකයන් ගැන ඔහු දරන අදහස විනිශ්චය මණ්ඩලවල සාමාජිකයන් ගැන තියෙන හැඟීමට එහා ගිය එකකි.

"හැමෝම විවිධයි. මගේ පොත් ගත්තොත් සමහරු හොඳ කියනවා, සමහරු බනිනවා, සමහරු විවේචනය කරනවා. ඒවා කුණුහරුප කියන අය ඉන්නවා. මේ තේරුම් ගැනීම් වෙන්නෙ එක එක්කෙනාගෙ දැනුම් මට්ටම අනුව.

කොටු වෙච්ච මානසිකත්වයක ඉඳන් ලෝකෙ දේවල් තීරණය කරන්න බැහැ. පාඨකයන් අතරත් විවිධ පාඨක කණ්ඩායම් ඉන්නවා. ගැඹුරු ආඛ්‍යාන කියැවීම් සහිත අය ඉන්නවා. පැහැදිලිවම ලංකාවෙ ඉන්න විනිශ්චය මණ්ඩලවල සාමාජිකයන්ට වඩා නම් පාඨකයන් දියුණුයි. ඒකයි මේ වෙනස් විදියට ලියන, වෙනස්කම් කරන කිසිම ලේඛකයෙක්ගෙ නිර්මාණ මේ සම්මාන උලෙළවලට අහු වෙන්නෙ නැත්තෙ. පාඨකයන් වැදගත්. ඒත් මේවත් හැදෙන්න ඕන"

සම්මාන විනිශ්චය මණ්ඩල නිර්ණායක මීට වඩා පාරදෘශ්‍ය විය යුතු බව පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන්ගේ අදහසයි.

"හැම සම්මාන උලෙළකටම නිර්ණායක තියෙන්න ඕන. හැබැයි මේවා පොදු නිර්ණායක නොවෙයි. සාහිත්‍යයට පොදු නිර්ණායක වගේම ඒ ඒ සම්මාන උලෙළ සඳහා පොදු නිර්ණායකත් තියෙන්න ඕන. ඒ දේවල් එක්ක එළියෙ සමහරු කතා වෙන ඒවට අමතරව ඒ අයගේ කැමැත්ත නිර්ණායක අනුව සිදු වෙන තෝරා ගැනීමුත් තියෙනවා. ඒක සාපේක්ෂයි. වැදගත්ම දේ සාහිත්‍ය විනිශ්චයක් දුන්නට පස්සෙ ඒ විනිශ්චය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕන. සමාජයට පිළිතුරු දෙන්න ඕන ලේඛකයා නොවෙයි. ඒ විනිශ්චය මණ්ඩල සාමාජිකයන්. අපි සම්මාන වෙනුවෙන් පොත් ඉදිරිපත් කරන්නෙවත් නෑ. ඒ කාර්යය කරන්නේ ප්‍රකාශකයා විසින්. එහෙම නැත්නම් රාජ්‍ය ලේඛනාරක්ෂක මණ්ඩලය විසින්. ඒ ඉදිරිපත් කරන පිරිස හා ඒ කණ්ඩායම් අතර තියෙන ගනුදෙනුවයි සිදු විය යුත්තේ. එකම දේ සම්මාන උලෙළකින් පසු සම්මාන දිනාගත් පොත් ගැන පිළිතුරු දිය යුත්තේ විනිශ්චය මණ්ඩලය විසින්"

මෙවර සාහිත්‍ය විනිශ්චය ගැන හෙළිදරව්වක් කරන මොහාන් රාජ් තමන් මුහුණ දුන් සිදුවීමක් ගැන මෙසේ සිය අත්දැකීම හෙළි කළේය.

"මම පෞද්ගලිකම අත්දැකීමක් කියන්නම්. මම මේක කිව යුතුම කතාවක්. ස්වර්ණ පුස්තක සම්මාන විනිශ්චය මණ්ඩලේ හිටපු පරාක්‍රම නිරිඇල්ල මහත්මයා මට කතා කරලා කිව්වා, මොහාන් මට සමාවෙන්න, මම ඔයාගෙ නිල් කට්රොල් පොත වෙනුවෙන් ලොකු සටනක් කළා. ඒත් මේ ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලේ ඇතුළාන්තය මට තේරෙන්නෙ නෑ. ඒක නිසා ඇත්තටම මම තීරණය කළා, මීට පස්සෙ විනිශ්චය මණ්ඩලවල වැඩට යන්නෙ නෑ කියලා... විනිශ්චය මණ්ඩලේ හිටියෙ පරාක්‍රම නිරිඇල්ලට අමතරව නිශ්ශංක දිද්දෙණිය, ප්‍රගීතිකා ජයසේකර, වාසනා පයාගල හා සුලෝචන වික්‍රමසිංහ. මට පුද්ගල ප්‍රශ්නයක් නෑ. මේ පරාක්‍රම නිරිඇල්ල මහත්මයා මට කියපු කතාව. මේ අය අඩුම වශයෙන් සරච්චන්ද්‍රයන්ගෙ කල්පනා ලෝකයවත් කියවලා තියෙනවාද කියලයි මට තියෙන ගැටලුව. පරිකල්පනය කොච්චර වැදගත් ද කියන දේ හරි ප්‍රායෝගිකව එතුමා පෙන්නුවා. හැබැයි මේ අයට ඒක අහුවෙන්නෙ නෑ. මම මේ කියන්නෙ මගේ පොත්වලට සම්මාන හම්බු නොවුණු එකක් ගැන නොවෙයි. ඒක නොවෙයි ප්‍රශ්නෙ. ලංකාවෙ අලුතෙන් හිතන, අලුත් පරිකල්පන තියෙන කොච්චර පිරිසක් ඉන්නවාද? ඒ අය තුට්ටු දෙකට දාලා ලංකාවෙ සාහිත්‍ය විනාශ කරලා තියෙන්නෙ. එකම පිරිසක්නෙ හැමදාම තේරෙන්නෙ.

පසුගිය අවුරුදු 30 ක සම්මාන ලැබුණු පොත් ටික හැදෑරුවා නම් ඒ විදියෙ පොතක් ලියන එක අමාරු කාර්යයක් නොවෙයි. ලංකාවේ සම්මාන ගන්න පොත් ලියන්න හරි ලේසියි. ඒ කෝවට, ඒ නිර්ණායකවලට ලියාගෙන යන්න තියෙන්නෙ. මට එහෙම ඕන නැති නිසයි මම නොලියන්නෙ"

බටුවන්ගල රාහුල ස්වාමීන් වහන්සේ පවසන්නේ මේ සියලු චෝදනාවලට පිළිතුර විනිශ්චය මණ්ඩලය විවෘතව තම විනිශ්චය සඳහා ඉදිරිපත් වීම බවයි.

"විනිශ්චයට පාදක වුණු අය කියන්න ඕන මොන නිර්ණායක නිසා ද සම්මාන දුන්නෙ කියලා. නැතිව අපිට චෝදනා කරන්න බෑ. විවෘත වේදිකාවක් අවශ්‍යයයි. නැත්නම් ගොඩගේ සම්මානයේදී වගේ තමන් තෝරන පොත් ගැන විවරණයක් සහිත පොතක් නිකුත් කරන්න ඕන. හේතු පාඨයට එහා ගිය ලිඛිත දෙයක් අවශ්‍යයි.

මම නියෝජනය කළ මණ්ඩලවලදී මම ඒ හේතු පැහැදිලි කරමින් සටහනක් ලබා දුන්නා"

විවෘත වේදිකාවකට ඒම කෙසේ වෙතත් තමන්ගේ පොත්වලට සම්මාන නොලැබුණේ කවර හේතු නිසා ද? නැත්නම් සම්මාන ලැබුණේ කවර හේතු නිසාද කියාවත් කතා කරන්නට ලේඛකයන් බිය බව ලේඛක මොහාන් පවසයි.

"සම්මාන විවේචනය කරන්න මිනිස්සු බයයි. මොකද විවේචනය කළාම ආයෙත් සම්මානවලට නිර්දේශ වෙන්නෙවත් නෑ. මේකෙ ඇතුළෙ තියෙන මාෆියාව ඒක. ඒක මට ප්‍රශ්නයක් නෑ. සම්මාන නොලැබුණා කියලා මගේ පොත් විකිණෙන්නෙ නැද්ද?; විකිණෙනවා. පාඨකයෝ කියවනවා. මේ ඇත්ත ලේඛකයො දන්නවා. මේක විවේචනය කළොත් ඊළඟ සම්මාන උලෙළේදී තමන් විනාශ වෙනවා කියලත් දන්නවා. මෙහෙම වුණාම කොහොමද කලාව දියුණු වෙන්නේ"

සම්මාන ලැබීම තමාට උත්තේජනයක් ද යන පැනයට පූජ්‍ය බටුවන්ගල රාහුල ස්වාමීන් වහන්සේ පැවසුවේ මෙවැන්නකි.

"දැන් නම් අමුතු උත්තේජනයක් නෑ. මට ඔය හැම සම්මානයක්ම ලැබිලා තියෙන නිසා මට ඒ ගැන ලොකු හැඟීමක් නෑ. මම කැමතියි අලුත් පරම්පරාවෙ අලුතෙන් ලියන අය ඉදිරියට එනවා නම්. අලුතෙන් එන අය ඔපමට්ටම් කරලා ගන්න පුළුවන් විදියේ විචාර කලාවක් ඇති වෙනවා නම් හොඳයි. විශ්වවිද්‍යාල මට්ටමේ මැදිහත් වීමක් කරන්න පුළුවන් නම් හොඳයි. නවීන පුරාතන සියල්ලේ හැදෑරීමක් අවශ්‍යයි"

සම්මාන කියන දේ අවශ්‍ය නොවන බවක් මේ මඟින් හැඟවෙන්නේ ද යන්නට පිළිතුරු දෙන ලේඛක මොහාන් එක් එක් කුලගත වීම විශාල හානියක් බැව් පවසයි.

"යම් යම් දේවල්වල පැවැත්ම සඳහා සම්මාන තියෙන්න ඕන. පරිකල්පනීය ප්‍රවේශයකින් ලියන හැමෝම දන්නවා තමන්ගෙ පොතක් මේවයෙ ඇගයීමට ලක්වෙන්නෙ නෑ කියලා. සාහිත්‍ය ඇතුළෙම විවිධ කුල හදාගත්ත අයත් ඉන්නවා. ඒ කුලවල කට්ටිය නියෝජනය කරන්නෙ තමන් වටා ඉන්න පිරිස විතරයි. ඒ කිසිවක් මට නම් අදාළ නෑ. මම හිතන්නෙ අලුත් පරම්පරාවටත් මේවා එච්චර අදාළ නෑ. ඒවා කිසිම විදියකට ඇගයීමට ලක් නොවීම මේ රටේ මිනිසුන්ගේ අවාසනාව. මෙතනින් එහාට වර්ධනයක් පේන්නෙ නෑ"

කෙසේ වෙතත් සම්මාන ගැන නැවත හිතා බැලිය යුතු කාලයක් එළැඹ ඇති බව පමණක් අපි අවසානයට කියන්නෙමු.

Comments