ගැහැනියක ගැන ලිවීම පහසු නැත. කිවිඳියක වූ ගැහැනියක ගැන ලිවීම වඩාත් අපහසු ය. ගැහැනුන්ගේ ජීවිත ගැන අනාවැකි හා නිර්දේශ දෙන බොහොමයක් දෙනා ඈ විඳි හෝ වින්දනය කළ දෑ ගැන දන්නේ මොනවාද? මාතර කාව්‍ය කලාවේ මහා කිවිඳිය ගජමන් නෝනාගේ කවිත්වයට වඩා බොහෝ අය කතා කරන්නේ ඇයගේ රූපශ්‍රීය හෝ ඇයගේ පෙම් සබඳතා ගැන ය. මේවා ලංකාවට පමණක් ආවේණික වූ ඒවා නොවේ. අසල්වැසි ඉන්දියාව ද මීට නොෙදවෙනි නැත. එහෙත් ඒ මහා සංස්කෘතියට අභියෝග කළ කිවිඳියන්, නිර්මාණකාරිනියන් ඉන්දියාවේ සිටියි. ලංකාවේ ද බිහි විය, තව තවත් බිහි වෙනු ද ඇත.
කිවිඳියක වන ගැහැනියක ගැන කියද්දී එක්වර ම මතක් වෙන චරිතයක් අසල්වැසි ඉන්දියාවේ වෙයි. ඇය කමලා දාස් ය. කමලා සිය සැමියාගෙන් නිරන්තරයෙන් ඇසූ ප්‍රශ්නයක් තිබිණි.
මම ලේඛිකාවක් නොවෙයි නම්, ඒත් ඔයාට මාව වටිනවද?
ඇගේ සැමියා අමොල් මිත්‍ර ඒ ප්‍රශ්නයට හැමදාමත් දෙන්නේ එක ම පිළිතුරකි.
‘ඔයා කොහොමත් වටිනා ගැහැනියක්. වඩාත් වටිනවා, ඔයාගෙ බුද්ධි මහිමය නිසා‘
ඇයට අවැසි වූයේ අත්දැකීම්වලින් පිරෙන්නට ය. ඒ ඇය නැවත උපතක් විශ්වාස නොකළ නිසා ය.
කමලාදාස්ට ඇගේ වටිනාකම පෙන්වා දෙන්නට ඇගේ සැමියා අමොල් සිටියේ ය. එහෙත් ලංකාවේ බිහි වූ අපූර්වත ම කිවිඳියක වූ මොනිකා රුවන්පතිරණට ඇගේ වටිනාකම පෙන්වා දෙන්නට සිටියේ පොදු සමාජය පමණකි. ඒ ද යම් තරමක අවබෝධාත්මක දුරස්ථ භාවයකින් යුතු ව ය. සියලු ස්ත්‍රී වර්ගයාගේ දුක, කඳුළ හා සොම්නස මෙන් ම පශ්චාත්තාප බව ද සිය අකුරු අතර සිත්තම් කළ ඈ පෙරළා සියුම් බව නොවිඳ ම නික්ම ගියා දැ යි දැනෙන්නේ සිතට බරක් එක් කරමිනි. එය ඊයම් බරු බරකි. ගැලවීම පහසු නැති පශ්චාත්තාපයකි. කමලා දාස් ගැන භක්ති පූර්වක හා විශ්මයාවහ ලෙස බලන අප අතින් මොනිකා අත්හැරුණි ද?
දශක තුනකට අධික කාලයක් තිස්සේ ලාංකේය කාව්‍ය ක්ෂේත්‍රයේ තැබුණු බරසාර අඩි අතර ඇගේ අඩි සලකුණු ද පැහැදිලි ව සටහන් විණි. සමාජ කියැවීම ස්වකීය නිර්මාණ උත්තේජකය බවට පත්වූ ඇගේ අනන්‍යතාව අද ද පැහැදිලි ව සටහන් වූවකි. ඇය ගැහැනියගේ හදවත දෙස බැලුවේ චෝදනාත්මක හෝ ඊර්ෂ්‍යාපර්වශ බවකින් ආලේපිත ව නොවේ. ඒ ගැහෙන හදවත් හි රිද්මීය හා ආවේණික ගැහැනුකමත් ඒ නිසා ම වන අතපසුවීම් හා සිත්රිදීම් ද ඈ සුමට ලෙස කියවා ගත්තා ය. ඇය පීඩිත ව සිටිය ද පීඩිත බැව් නොපෙන්වුවා ය. යුතුකම් හා වගකීම් මැදින් බැඳීම් ද නඩත්තු කරමින් ඈ පීඩිත ස්ථරවල ජීවිතය කියවා ගන්නට ආසා කළා ය; ඒ වෙනුවෙන් අනවරත අරගල ද කළා ය.
මැද පෙරදිග සේවය කරන, දහඩිය බිඳු තරම් ම බර කඳුළු බරක් දරන සන්නාලියන්ගේ ජීවිත ගැන ඇයට තිබූ ආදරය අසීමිත විය. රෑ දවල් නොබලා කරන මෙහෙයේ වටිනාකමට සරිලන සමාජ ආර්ථික රැකවරණයක් වගකිව යුතු පාර්ශ්ව විසින් ඔවුන් ට ලබා දුන්නේ ද යන්න ගැන සෙවීමට ඈ ක්‍රියාකාරී මෙහෙයක් කළා ය. එතැනින් නොනැවතෙන මොනිකා මැද පෙරදිග ශ්‍රමය වගුරුවන හා යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ සමාජ ආර්ථික ගැටලු ද සිය කවියට හසු කරගත්තේ ය. ඇගේ සමහර මතවාද සමාජය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කිරීමේ ලා සමත් විණි.
ගැහැනියට සිය නිර්මාණ කාර්ය කරගෙන යෑමට බලපෑමක් කළ මතවාදයක් ගැන ඈ පළ කළ අදහසක් ඒ කාලයේ සමාජය ගිනි ඇවිළුවේ ය. මෘතෘත්වය පමණක් පූජනීයත්වයට පත්කිරීම විවාදාපන්න බවත්, මාතෘත්වය සේ ම පීතෘත්වයත් පූජනියත්වයට තහවරු නොකර ඇත්තේ සමාජීය කුමන්ත්‍රණයක් ප්‍රතිඵලයක් ලෙස බවත් ඇගේ මතවාදය විය. ඒ අනවශ්‍ය මාතෘත්ව ආලේපනය නිසා කාන්තාවට නිදහසේ සිය නිර්මාණ කරගෙන යෑමට නොහැකිව ඇති බව ඇගේ මතයයි. ඇගේ නව පන්නයේ ආකල්ප සාම්ප්‍රදායික සමාජය ගිනි තැබූ අතර, ගැහැනියගේ අසීමිත දරා ගැනීම සේ ම කැපවීමට ද ඈ නොතිත් අගයක් සම්පාදනය කිරීමට තැත් කළා ය.
එහෙත් ඇගේ ඒ නිර්මාණ කැරැල්ල ගැන හෝ ඇගේ ගුණ සුවඳ ගැන නිසි විවරණයක් සිදු වූවා ද යන පැනය අප ඉදිරියේ එයි. ඇය ම පෙනී සිටි පාර්ශ්වය වූ කාන්තාවන්වත් ස්වකීය නිර්මාණ ඔස්සේ හෝ විචාර ඔස්සේ ඈ ගැන නිසි ඇගයුමකින් කළා දැයි සැකයෙකි. ඒ කෙසේ හඳුනා නොගත්ත ද ආචාර්ය අමරසේකර හා මහාචාර්ය සරච්චන්ද්‍ර නම් මේ කිවිඳියගේ ප්‍රතිභාව මුල් වකවානුවේ ම හඳුනා ගත්හ. ජනතාවගේ ප්‍රශ්න හා ගැටලුවලින් මුළුමනින් ම විනිර්මුක්ත ව ගමන් කරමින් තිබූ කවි මඟ ජනතාවාදී කවි මඟක් බවට පත්කිරීමට ඒ අනුව මොනිකා කිවිඳියට හැකි විණි.
අපි දෙන්නා සහ තවත් කීපදෙනෙක් කාව්‍ය සංග්‍රහය සමඟ 1971 දී කාව්‍යකරණයට එළැඹෙන මොනිකා ස්වීය අනන්‍ය ලකුණක් කවි මඟ සටහන් කරන්නට වැඩි කාලයක් ගත්තේ නැත. එතැනින් ඇරඹි ඇගේ සාහිත්යික ගමන බොහෝ පොහොණි වූවකි. ඒ අතර තහනම් දේශයෙන්, අංගුලිමාලගේ සිහින, ඔබේ යෙහෙළිය ඇය ගැහැනිය, විසි වසක ශේෂ පත්‍රය, අසන් පත්තිනි දේවතාවි, අලුත්ම සිහිනය, හිපොක්‍රටීස් සහ රෝගිනිය ආදී කවි පොත් ද වසන්තිට සහ වසන්තටය, කසාද කොන්දේසි, දූ කුමරී, සිරිපා කවි ආදී යොවුන් කවි පොත් ද අතුරු මිතුරු, කැළෑ ගමේ කවි, සිදාදියේ කවි, නැළැවිලි ගී, ආසිරි ලංකා, වන්දනා ලංකා, සුන්දර ලංකා ආදී ළමා කවි පොත් ද; කුසුමලතාගේ දවසක්, අමරාට සැමියෙක් ආදී කෙටිකතා පොත් ද නව කවි විමසුම වැනි විචාර පොත් ද නවාතැන්පොළේදී වැනි රචනා සංග්‍රහයෙන්ද දක්නා ලැබේ. ඇයට තෙවරක් රාජ්‍ය සම්මාන හිමිවී තිබේ. ඒ අසන් පත්තිනි දේවතාවි, හිපොක්‍රටිස් සහ රෝගිනිය යන කෘතිවලට ය.
ඇගේ කාව්‍ය කෘති අතර ඔබේ යෙහෙළිය ඇය ගැහැනිය කාව්‍ය සංග්‍රහය වෙසෙස් වෙනසක් දරන කාව්‍ය සංග්‍රහයකි. එහි ඇරඹුම ම ස්ත්‍රී වර්ගයාගේ දුක සතුට ගැන ලියැවුණකි. ජීවිතයේ ම තැන් විනා අන් දෑ නොදකින ඇගේ කවි සියුම් ව හද පිරිමදියි. ඇරඹුම ම ජීවිතය විනිවිඳින්නේ මෙලෙසිනි.
“කාමරයේ පින්තූරේ
රැඳී සිටින මොනාලිසා
ඇගේ විස්මිත සිනහව ගැන
මා ඇසූ විට කීය මෙලෙස
අනේක වූ දුක් ලැබුවත්
ලොවේ උතුම් මව් පදවිය
හිමි වන ගැහැනියක් නිසා
මගෙ මුහුණේ සිනහව ඇත
අනේක වූ දුක් ලැබුවත්
පදවිය හළ නොහැකි නිසා
එක් සිනහ රේඛාවේ - සෝකයකුත් සැඟවී ඇත”
සෑම හිමි වීමක ම අහිමි වීමක් ඇත. සෑම අහිමි වීමක ම හිමි වීමක් ද ඇත. මේ දෙක වරින් වර ජීවිතයට අත්දැකීම් එක් කරයි. ඇගේ ජීවිතයේ සෑම හමුවීමක් ම අත්දැකීමකි. ඒ අත්දැකීම ඈ කවියට නඟන්නී ය. ඇයට ජීවිතය ම වූයේ කවියයි. එයින් ඇයට ලැබුණේ ආත්ම තෘප්තිය පමණකි. ඇගේ සියලු කවිවලින් පෙනෙන්නේ, දැනෙන්නේ, හැඟෙන්නේ අපේ ම ජීවිතය ය. ඒවා සුගතපාල ද සිල්වා කියන්නාක් මෙන් ම ජීවිතය මුළුමනින් ම කණපිට හරවා පෙන්වයි. අපේ ම ජීවිතවල අඩුලුහුඬුකම් සේ ම හදා ගත යුතු තැන් ද, වැරදුණු තැන් ද ඇය පෙන්වන්නේ කවියෙන් හද පිරිමදිමිනි.
තේ වගාව විසින් අපට තිළිණ කරන විදේශ විනිමය ගැන බොහෝ අය සවිඥානික වන්නා සේම ඒ තේ දලු යට ඇති කඳුළු කතාව ගැන ද ඒ හා ම සවිඥානික වන්නන් අඩු ය. මොනිකා කිවිඳිය මේ සියලු දුක් දෝමනස්සයන් තමා සතු කරගන්නී, ඒ ලයිම් ජීවිතවල අසරණ බව හා දරිද්‍රතාව ගැන පැමිණිල්ලක් සමාජගත කරන්නී ය.
බංගලාවෙ දොරටු හතෙන්
ලැයිමේ කාමර සියයට
කඳු යායෙන් වතු යායට
ආවේගශීලී නොවන ඈ ඉදිරිපත් කරන්නේ පැමිණිල්ලකි. ඇගේ හද සන්තානය ගිනි තැබූ ලයිම් ජීවිතවල ගෙවෙන ජීවිත ගැන වන පැමිණිල්ලකි. රොටියකින් හා කහට කෝප්පයකින් ගෙවා ගන්නා ජීවිතයේ තවත් බොහෝ සැඟවුණු තැන් හා කතා තිබේ. ඒවා බංගලාවල සුවපහසුව ගෙවෙන ජීවිත තරම් සුන්දර නැත. ලෙච්චමීලාගේ ගැහැනු ජීවිත හා බංගලාවල කාන්තාවන්ගේ ගැහැනු ජීවිත ජීව විද්‍යාත්මකව සමාන වුවද දිවිසැරියේ දී එකිනෙකට හාත්පසින් ම වෙනස් ය. ඒ වෙනස ලෙච්චමීලාට උරුම කරන්නේ දුක ය. සත්සමුදුරෙන් එහාට කිව්ව ද එය විසඳෙන ගැටලුවක් නම් නොවන්නේ ය. මේ කවිය, ලෙච්චමීගේ දුකෙන් සන්තාපයට පත් වූ සිත පිරිමදින කාව්‍යාලේපය වන්නේ ඒ නිසා ය.
තමා අවට ජීවත්වන්නවුන්ගේ දුක තමාගේ ද දුකක් සේ දැනීමට ළතෙත් හදක් තිබිය යුතු ම ය. ඒ ළතෙත් හදවත අඩු නැතිව පිහිටි කිවිඳිය මොනිකා ය. ඈ කවි ලියන්නේ කවුරු වෙනුවෙන් ද යන්න ගැන ඈ ම සිය කාව්‍ය සංග්‍රහයක පිදුමකින් පවසා තිබෙන්නේ ය. එය ඇගේ හදවත සේම කවි මඟ ද තේරුම් ගැනීමට අනුපානය සපයන්නේ ය.
කාව්‍ය සංග්‍රහය තහනම් දේශයකින් ය. නිකුත් වෙන්නේ 1972 දී ය.
කුසගිනි නිවන්නට ඩා බිඳ හෙළන නෙත
සෙනෙහස් සොයන්නට කඳුළැලි ගලන නෙත
දුටුයෙන, සසල වූයෙන් නිරතුරු මසිත
පුද දෙමි මෙ කව් ලොව හැම එබඳු සත වෙත
තමාගේ නිර්මාණ නොඑසේ නම් කවි පිදෙන්නේ කාටද යන්නෙන් ඇගේ හදවතේ භාෂාව රසික සහෘදයනට වැටහෙන්නේ ය. තහනම් දේශයකින් කාව්‍ය සංග්‍රහයේ අපූරු කවි පෙළ කිහිපයක් ම දක්නට ලැබේ. ඒ අතරෙන් සපත්තු මහන්නාගේ ගීතය නම් කාව්‍ය පන්තිය ඔස්සේ මොනිකා කිවිඳිය සමාජ ක්‍රමය, දිළිඳුකම හා ජීවිතය ගැන කියන්නී හෘදයාංගම ව ය.
සපත්තු මහන්නා දිළිඳු ය; නූගත් ය; අවබෝධයෙන් තොර ය. සපත්තු මහන්නා ඇසුරු කරන්නෝ ද දිළිඳු ය; නූගත් ය. ඔහුගේ පාරිභෝගිකයෝ ද දුප්පත්තු වෙති. ධනවත්හු මහ මහා හෝ අලව අලවා සපත්තු පාවිච්චි නොකරති. එනයින් බලන කල මේ දෙපාර්ශ්වය අතර ලොකු වෙනසක් නැත. මොනිකා කිවිඳිය සපත්තු මහන්නාගේ ලෝකයට ඇතුළු වෙයි. ඇය සපත්තු මහන්නාගේ ලෝකය යන්නෙන් අදහස් කරන්නේ පොදු මනුෂ්‍යත්වයයි.
වඩා වැදගත් වන්නේ එය නොවේ. කිවිඳියගේ විචාර ලෝකයයි. කිවිඳිය බලාපොරොත්තු වෙන්නේ යුක්ති සහගත රටකි.
මහ මඟ යන දෙනෝ දහක්
මිනිසුනි මෙය අසනු මැනවි
කිසිවෙක් ඉන්නේ සතුටෙන් නොවේ. මිනිස්සු පාවිච්චි කරන සපත්තු නිතර කැඩෙති. සපත්තු මහන්නා කැමැති සපත්තු කැඩෙනවාට ය. කොයිතරම් සපත්තු කැඩී මසා දී මුදල් ගත්ත ද සපත්තු මහන්නාට ද කිසිදා දියුණුවක් නැත. මේ චක්‍රය සැමදා එකක් ම ය. මේ යම් යම් ජීවන අවස්ථා ඇය සිය කාව්‍යයට ගොනු කරන්නේ මේවා කේවල ව පෙනුණ ද පොදු සමාජ ගැටලු බැවිනි. ජීවිතය නැමැති මහා ගිරි දුර්ගය සංක්ෂිප්ත කාව්‍යයකට ගොනු කිරීම පහසු නොවේ. පෙරළා සමාජය ප්‍රශ්න කරන්නට තරම් ඇගේ සිත සමාජ අසාධාරණය හමුවේ සසැලී ඇත.
රිදුණු සිතකට කරන්නට බැරි දෙයක් නැත. ඒවා තැෙළන්නට තැළෙන්නට දිස්න දෙන්නේ ය. තියුණු වෙන්නේ ය; ඔරොත්තු දෙන්නේ ය. මොනිකාගේ සිතත් එපරිදි ය. එය රිදෙන්නට රිදෙන්නට පොදු රසික පාඨක ප්‍රජාව ඥානණය කරන දෑ බිහි වෙන්නට මං සැලසෙන්නේ ය. ගැහැනිය මෘදු වෙන වෙලාවත්, රුදු වෙන වෙලාවත් තීරණය වෙන්නේ ඇය ලබන අත්දැකීම් ගොන්නෙනි. ඇය සිය ජිවිතය තමාට සරදම් කරද්දී පවා නොසැලී කවියේ ම නිමග්න ව සිටියේ භාවනාවක් මෙනි. භාවනානුයෝගියකුට අවට පෙනෙන්නේ නැත. අනේකවිධ දුක් දෝමනස්ස හා ශාරීරික දුක්ඛ ද දරාගෙන ඇය කාව්‍යකරණයේ ම නියුක්ත වූයේ භාවනානුයෝගියකු මෙනි. රෝගී බව විසින් ඈ ගත කෙතරම් දුබල කළ ද ඈ ඊට යට නොවන්නේ තමාට සමාජ වගකීමක් ඇතැයි වන සිතිවිල්ලෙනි. 2001 වසරේදී දැඩි සේ ගිලන් වුව ද ඈ සිය මිතුරු කවි කිවිඳියන්ගේ හා සහෘදයන්ගේ ආශීර්වාදයෙන් ජීවිතය එකතු කරන්නට සමත් වූවා ය.
තමා ජීවත් වූ කාලය පුරා දෙස් විදෙස් මිනිස් ක්‍රියාකාරකම් දැක, ඒවායේ අනේකවිධ දෝමනස්ස ද විඳ කම්පිත සිතැති ඇය, සිය දුක් වේදනා ඒ මත්තේ දරා ගත්තේ ජීවිතය මේ යැයි පසක් කරගත් නිසා ය. දුක් විඳින මිනිසුන්ගේ කඳුළු ද, අවු වැසි නොතකා ජීවිතය සොයන මිනිසුන්ගේ දහඩිය ගන්ධය ද ඇය ගේ නිර්මාණාවේශය අවුළුවන අල්ප වූ නිමිති අතර විය. ඇළ දොළ, ගංගා ඇසුරේ මෙන් ම නගරය ද පැල්පත ද මුඩුක්කුව ද ඇයට අරුම ඒවා නොවී ය. ඔවුන්ගේ අවැසිතා වෙනුවෙන් ඇය නිරන්තර කැප වූයේ දෙවරක් නොසිතා ය. කවියට බොහෝ විට පාදක වෙන ශෘංගාරය හෝ රූපාලංකාරය වෙනුවට ඈ ඔවුන්ගේ ජීවන දහම පිළිසිඳින්නේ ඒ අනුව ය. දීර්ඝ කාව්‍යයක් සේ රචිත ඔබේ යෙහෙළිය ඇය ගැහැනිය කාව්‍ය සංග්‍රහය ඊට මනා නිදසුන් ය.
දෑස යොමාගෙන පහන් කණුව යට
බලා හිඳින විට දනෝ කියති මට
මා ගතවට දැවෙනා රුදු ගින්නට
ලොව හැම දන හැමදා බිලිවන වග
එනමුදු මෙතුවක් පහන් කණුව යට
දුබල එළිය යට බලා හිඳින මට
එගිනි අවුළුවා ලන මිනිසුන් මිස
එගිනි නිවන කිසිවකු හමුවී නැත
පහන කණුව හාත්පස එළිය කරයි. එහෙත් පහන් කණුව යට අඳුරු ය. ඒ ගින්නේ දැවෙන ගැහැනුන් ගැන සිතන්නට කවුරුත් නැත. පාවිච්චි කර හපයක් සේ ඉවත දමන්නන් මිස ඔවුන්ගේ හදවත කියවා ගන්නන් නැති බව මොනිකා කිවිඳිය දනියි. ගැහැනිය ගිනි තියන්නට මිස ඇගේ ගිනි නිවන්නට සමත් පුරුෂයෝ අවම වෙති. නාමමාත්‍රික ස්ත්‍රීවාදිනියක් නොවුණු ඇය, එකී නාමමාත්‍රික ස්ත්‍රීවාදිනියන්ට අභියෝග කළේ කවියෙනි. සුලබ කාන්තා විමුක්ති බොළඳ සටන් පාඨ වෙනුවට ඇයට තිබුණේ ශක්තිමත් ගැහැනියක ගැන වන බලාපොරොත්තුවකි. ඇය යුගයක් එකලු කළ යථාර්ථය ගැන සවිඥානික කිවිඳියක ලෙස ජනතාවගේ මනසේ තැන්පත් වූයේ එබැවිනි. ඇයගේ පන්හිඳට හසු නොවුණු ගැහැනියකගේ හද සෝ තැවුලක් නැති තරම් ය. වඩාත් වැදගත් වෙන්නේ ඇය ගැහැනියගේ ශක්තිමත්භාවය හා දැනුම්වත්භාවය වෙනුවෙන් කළ සටන ය.