තමන්ව හරියටම හඳුනාගන්න එක තමයි සාර්ථකත්වයේ රහස | සිළුමිණ

තමන්ව හරියටම හඳුනාගන්න එක තමයි සාර්ථකත්වයේ රහස

එච්. ඩී. ප්‍රේමසිරි

මම චිත්‍රපට නිෂ්පාදනය කරන්නෙ ආසාවට

 

මගේ අම්මයි තාත්තයි මට අවුරුදු 11 දී නැති වුණා;

මම හැදුණෙ වැඩුණෙ සුළු පියා යටතේ ඉස්කෝලෙ ඉවර වෙලා මම කෙළින් ම ආවෙ සුළු පියාගෙ පොත් සාප්පුවට කලාභවනෙ පැවැත්වුණු පොත් ප්‍රදර්ශනයෙදී පොත් සෑහෙන ප්‍රමාණයක් වැස්සට තෙමිලා විනාශ වුණා. එදා තමයි හිතුවෙ ඊට වඩා හොඳ තැනකට මේක ගෙනියන්න ඕන කියලා

සම්පූර්ණ නම

හපුතන්ත්‍රිගේ දොන් ප්‍රේමසිරි

උපන්දිනය 

1944 ජුනි 24

ගම්පළාත කොහෙද?

හොරණ ගුරුගොඩ

අම්මා තාත්තා රැකියාවක් කළා ද?

තාත්තා සුළු ව්‍යාපාරිකයෙක්. මගේ අම්මයි තාත්තයි මට අවුරුදු 11 දී ජීවිතෙන් සමුගන්නවා. කලින් මිය යන්නෙ අම්මා. ඊට සුළු කලකට පසු තාත්තාත් මිය යනවා. මට සහෝදරයෙක් හා සහෝදරියක් ඉන්නවා.

අවුරුදු 11 ක දරුවෙක්ට අම්මා තාත්තා දෙන්නම නැති වීම දරාගන්න හරිම අසීරුයි

අම්මයි තාත්තයි නැති වුණාට පස්සෙ මම මගේ සුළු පියා ළඟ හැදුණෙ. ඔහු මට කවදාවත් වෙනසක් කළේ නෑ. ඔහුගේ ම දරුවො දෙන්නට වගේ තමයි මටත් සැලකුවේ. ඔහුට පොත් සාප්පුවක් තිබුණා. මල්ලී පුංචි අම්මා ගාවත්, නංගි මාමා ගාවත් තමයි හැදුණෙ

පාසල් ගියේ කොහේද?

මම පාසල් පහකට විතර ගියා. මුලින්ම ගියේ දැන් තක්ෂිලා විද්‍යාලයේ ප්‍රාථමිකය තියෙන තැන. ඒ කියන්නෙ කුළුපන තිබූ ප්‍රාථමික විද්‍යාලයට. ඊට පස්සෙ පාදුක්කෙ මලගල කියන පැත්තෙ තියෙන පාසලකට ගියා. එතැනින් පාදුක්ක මහා විද්‍යාලයට. ඒ වෙනකොට පාදුක්ක ප්‍රදේශයේ තමයි අපි පදිංචි වෙලා හිටියෙ.

සමාන්‍ය පෙළ, උසස් පෙළ කරන්නෙත් ඒ පාසලේ ම ද ?

ඒකාලෙ තිබුණා 8 පන්තියෙදී විද්‍යා ශිෂ්‍යත්වය කියලා එකක්. මම ඒකෙන් පාස් වුණා. ඒ වෙනකොට මම හිටියෙ පාදුක්කෙ සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලෙ. ඒකෙන් සමත් වුණා ම මට පාසල් තුනක් ලැබුණා කැමති එක තෝර ගන්න කියලා. මම තෝරා ගත්තෙ හංවැල්ල සෙන්ට්‍රල් එක. මට පාසලට යන්න මාස තුනක් විතර පරක්කු වුණා, ලියුම ලැබෙන්න පරක්කු වීම නිසා. මට කලින් අනික් අය ගියා. අපි සාමාන්‍ය පෙළ කළේ සිංහලෙන්. ඒ කාලෙ ඊළඟ අදියර හැඳින්වුණේ විශ්වවිද්‍යාල ප්‍රවේශය කියලා. ඒක කළේ ජීව විද්‍යා අංශයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන්.

පාසලේ දී බාහිර වැඩ කළා ද?

ඒකටම යොමු වෙලා කළේ නෑ. ඉඩ ලැබුණු වෙලාවට ක්‍රීඩා කළා; ඒ වගේ ම බාහිර සමිති සමාගම්වල වැඩ කළා.

විශ්වවිද්‍යාලෙ යන්න සුදුසුකම් ලැබුණද?

විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදි වුණා. කොහොමත් තවදුරටත් ඉගෙන ගන්නවට වඩා මට ඕන වුණේ යම් දෙයක් කරන්න. ඒනිසා ආයෙත් සැරයක් විභාගෙ කළෙත් නෑ. ශිෂ්‍යත්වය නිසා හොස්ටල් එකේ ඉන්න ලැබුණා. ඇත්තට ම කිසිම කරදරයක් නැතිව සියලු වැඩ කරගන්න පුළුවන් වුණා.

කොහොමද පොත් සාප්පුව එක්ක තිබුණු බැඳීම. සුළු පියාට උදව් කළා ද ඒ වැඩවලට?

මම පාසල් ඇරුණු ගමන් එන්නෙ පොත් සාප්පුවට. ඊට පස්සෙ දිගටම කළේ පොත්පත් කියවීම. උදව් කරන්න, වැඩ කරන්න කියලා දෙයක් තිබුණෙ නෑ. මම පුළුවන් තරම් පොත් කියෙව්වා. අවශ්‍යතාවක් ආවොත් සුළු පියාටත් උදව් කළා

මොකද්ද පළවැනි වෘත්තිය

මගේ සුළු පියාට පාදුක්කට අමතර ව මහරගමත් පොත් සාප්පුවක් තිබුණා. මම උසස්පෙළ අසමත් වුණා ම සුළු පියා කිව්වා, එහෙනම් මහරගම සාප්පුවෙ ගිහින් වැඩ කරන්න කියලා.

සුළු පියාගෙ පොත් හලේ නම මොකද්ද?

ඒකෙ නම සරසවි.

මොකද්ද මේ පොත් සාප්පුව ඇතුළෙ ඔබේ කාර්ය භාරය වුණේ

එතන පොත් ම විතරක් නොවෙයි; තව පොඩි පොඩි දේවල් තිබුණා විකුණන්න. මගෙත් නෑදෑ වෙන අයියා කෙනෙක් තමයි ඒකෙ කළමනාකරු විදියට වැඩ කළේ. එයාගෙන් පස්සෙ අවුරුදු 19, 20 වෙනකොට මම පොත් සාප්පුවෙ වැඩ බාර ගත්තා. මට ඕන වුණේ ඒක හොඳ පොත් සාප්පුවක් කරන්න. මම පොඩි කාලෙ ගිහින් තියෙනවා කොටුවෙ පිටකොටුවෙ තිබුණු පොත් සාප්පුවලට. මැකලම්, ගුණසේන, ලේක්හවුස් වගේ පොත් හල්වලට ගිහින් මම බලනවා. ගොඩක් ඒවයේ තිබුණෙ ඉංග්‍රීසි පොත්. මට ඒවා දැක්කම ආසාවක් ආවා, ඒවගේ පොත් සාප්පුවක් කරන්න. මහරගම පොත් සාප්පුවෙ තිබුණු අනික් ඒවා අයින් කරලා ඒක පොත් විතරක් තියෙන තැනක් විදියට වර්ධනය කළා.

සුළු පියාගෙන් මේවට ලැබුණු සහයෝගය කොහොමද?

ඇත්තමට ඔහු මට ගොඩක් උදව් කළා. මට ඕන විදියට පොත් සාප්පුව කරන් යන්න දුන්නා.

මහරගම පොත් සාප්පුවේ වැඩ කරද්දි මේ ක්ෂේත්‍රයට අදාළ සියලු දේ පිළිබඳ ඔබට වැටහීමක් එන්න ඇති.

පොත් සාප්පුවෙ වැඩ කරද්දි පොත් අරන් එන්න පොත් සාප්පුවලට යනවා, ඇණවුම් බාර ගන්නවා. මම ලිපි ද්‍රව්‍ය ගැනත් යම් දැනුමක් ලබා ගත්තා. මේ විදියට මේ ව්‍යාපාරය ගැන විස්තර හා දැනුම මම අත්දැකීමෙන් ම ලබා ගත්තා.

මහරගම ඉඳපු ඔබ නුගේගොඩට එන්නෙ කොහොමද?

නුගේගොඩ තිබුණු පොත් ව්‍යාපාරයක් විකුණනවා කියලා මට දැන ගන්න ලැබුණා. ඒකෙ නම ලෝටස්. මම ඒකෙ ව්‍යාපාරය මිලදී ගත්තා. ගොඩනැගිල්ල මිලදී ගන්න තරම් මුදලක් තිබුණෙ නෑ.

කොහොමද ව්‍යාපාරය මිලදී ගන්න මුදල් ලැබුණෙ

මම සම්බන්ධ වෙලා හිටියා සීට්ටුවකට. ඒ සීට්ටුවෙන් ලැබුණු මුදලෙන් තමයි මම ඒ පොත් සාප්පුවේ ව්‍යාපාරික අංශය මිලදී ගත්තේ.

මහරගම වැඩ කරන ගමන් කොහොමද අලුත් තැන කළමනාකරණය කර ගත්තෙ.

මම දෙතැනම වැඩ කළා. නුගේගොඩ සාප්පුවෙ තිබුණු පරණ පොත් අයින් කරලා අලුත් පොත් ගෙනාවා. දන්න විෂයය නෙ. මම ආසාවෙන් වැඩ කළා

නුගේගොඩ පොත් සාප්පුවට දීපු නම මොකද්ද?

ඒකට දැම්මෙත් සරසවි කියල ම තමයි

සුළු පියාගෙන් විරුද්ධත්වයක් ආවෙ නැද්ද?

නැහැ. සහයෝගයක් මිසක් කිසිම බාධාවක්, විරුද්ධත්වයක් තිබුණෙ නෑ. සුළු පියාත් ඊට වසර තුන හතරකට පස්සෙ නැති වුණා. මම ඒ පවුලත් වැඩිදියුණු වෙන්න උදව් කරගෙන මේ වැඩ දිගටම කරගෙන ගියා. ඒ වෙනකොට අපිට නුගේගොඩ සාප්පුවත් එක්ක සරසවි පොත් හල් 3ක් තිබුණා. එකක් පාදුක්ක, අනික් මහරගම, තුන්වැනි එක නුගේගොඩ.

කාලයක් යද්දි ඔබ නුගේගොඩ ඔබේ ම පොත්හලට යොමු වෙනවා

ඔව්. ඒකට කාලය යොදවන්න වුණා. ඒක දියුණු කරගන්න මම මහන්සි වෙනවා.

පොත් ව්‍යාපාරයට අනතුරුව ඒ කාලෙ තව මොනවද කළේ.

මම ඇත්තටම පොත් සාප්පුව කරගෙන යන කාලෙ හරිම ආසාවෙන් ඒකට ම කැප වුණා. ඒ වුණාට මට තවත් ආසාවක් තිබුණා ඡායාරූපකරණය ගැන. ඒ වගේම වර්ණ රසායනාගාරයක් පටන් ගන්න මට කැමැත්තක් තිබුණා. මම අවුරුදු කිහිපයකින් තව තැනක් අරගෙන වර්ණ රසායනාගාර වැඩ කරන්න පටන් ගත්තා.

ව්‍යාපාරය වැඩිදියුණු කිරීම වෙනුවෙන් මුලින් ම රටින් පිට යන්නෙ කොහේද?

මම පළමුවැනි වතාවට රටින් පිට යන්නෙ සිංගප්පූරුවට. ඒ වර්ණ රසායනාගාරෙ වැඩිදියුණු කරන්න බඩු අරන් එන්න. මම ඒ වෙලාවෙ සිංගප්පූරුවෙ පොත් සාප්පු හැම එකකම වගේ ඇවිද්දා. ඒවා දැක්ක ම මට මේ දෙකම ගැන හරිම ආසාවක් ආවා.

වර්ණ රසායනාගාරය ඔබ නම් කරන්නෙ මොන නමින්ද?

සරසවි වර්ණ රසායනාගාරය කියලා තමයි අපි පටන් ගත්තේ. පස්සෙ අපි නම වෙනස් කළා සේයා කලර් කියලා.

මේ වෙනකොට සරසවි ශාඛා රට පුරා

කොච්චර තියෙනවාද?

ශාඛා 28ක් තියෙනවා.

සේවකයන් කොච්චර ප්‍රමාණයක් වැඩ කරනවද?

සරසවි පොත්හල්වල, සේයා කලර් එකේ සහ මුද්‍රණ අංශයේ දැනට සේවකයන් ඔක්කොම 430කට වැඩි ප්‍රමාණයක් වැඩ කරනවා.

ඔබ හෝටල් ක්ෂේත්‍රයටත් අතගසනවා

ඔව්, අපේ හෝටල් දෙකක් තියෙනවා. එකක් පාදුක්කෙ තියෙන්නෙ. අනික නුවරඑළියෙ.

සරසවි පොත්හල කොහොමද මුද්‍රණ කර්මාන්තයට අත ගසන්නෙ

මුලින් ම අපි කළේ මහාචාර්ය ඒ. වී. සුරවීරගෙ පොතක්. මහරගම ඉද්දි පොත් කිහිපයක් කළා. පසුකාලීන ව කරුණාසේන ජයලත්ගෙ පොත්වල මුද්‍රණ අයිතිය එතුමා මට ලබා දුන්නා.

මුලින් ම ඔබේ ආයතනයට කියල ම මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගන්නෙ කොයි කාලෙද?

ඇත්තටම මුද්‍රණ යන්ත්‍රයක් ගේන්න මුල් වුණේ මගේ පුතා. එයා ඉගෙන ගෙන ආවම තමයි ප්‍රෙස් එකේ වැඩ පටන් ගත්තෙ. ඊට පස්සෙ අපි මැෂින් තුන හතරක් අරන් නුගේගොඩ අපේ ගෙදර යටම තට්ටුවෙ පොඩියට පටන් ගත්තා. මට වඩා ඒ ගැන උනන්දු අපේ පුතා. ඊට පස්සෙ අවුරුදු 7කට 8කට කලින් මාලඹේ ඉඩකඩ සහිත තැනකට අපි ප්‍රෙස් එක ගෙනාවා.

පොත් සංස්කෘතිය කර්මාන්තයක් විදියට දියුණු කරන්න හීනයක් තිබුණ ද?

ඇත්තට ම ඒක ටික ටික ඇතිවුණු හීනයක්. මුලින් ම තිබුණෙ හොඳ පොත් සාප්පුවක් කරන හීනය. කර්තෘවරු හැඳිනගෙන වැඩ කරද්දි තමයි ඒ කැමැත්ත ආවෙ.

පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට බැඳෙන්නෙ කොහොමද?

මුලින් ම මම හිටියෙ අන්තිම හරියෙ. ඒ කියන්නෙ කෙළවර. ගොඩක් ලොකු අය හිටියෙ ඒ කාලෙ. කේ. ජයතිලක මහත්තයා වාගේ. ඒ අයට සමීප වෙන්න මුලින් ටිකක් බයක් තිබුණා.

හැබැයි පොත් ප්‍රකාශකයන්ගෙ සංගමයට පසුකාලීන ව බොහෝ දෑ කළ කෙනෙක් ඔබ

ඒකාලෙ ජයතිලක මහත්තයයි, රැළපනාව නීතිඥතුමයි, ගොඩගේ මහත්තයා, වීරමන් මහත්තයා වගේ ක්ෂේත්‍රයේ ඉහළ ම අය තමයි මුලින් හිටියෙ. මගේ හැකියාවයි, කැපවීමයි එක්ක ටික ටික මට ඉහළ තනතුරුවලට එන්න වුණා. මුලින් ම සභාපතිකමට ඒ අයයි මාව යෝජනා කළේ. අවුරුදු දෙක තුනක් මම ඒ අනුව සභාපති තනතුර දැරුවා. පස්සෙ ආයෙත් ඉවත් වෙලා 1999 දී මට නැවතත් සභාපතිකම ගන්න සිද්ධ වුණා. ඒ වෙනකොට සංගමයේ සාමාජිකයන් ටිකක් වැඩි වෙලා. සංගමයත් දියුණු වෙලා.

ඒ කාලෙ වෙනකොට කේවල විදියටයි පොත් ප්‍රදර්ශන පැවැත්වුණේ

ඔව්. අපේ සාමාජිකයන් තමන්ට හැකි අයුරෙන් රටේ විවිධ පළාත්වල පොත් ප්‍රදර්ශන පැවැත්වුවා. රටවල විවිධ පොත් ප්‍රදර්ශනවලට යන්නත් අපට අවස්ථාව ලැබුණා

අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය ගැන අදහස එන්නෙ කොහොමද?

පොත් ප්‍රකාශකයන්ගේ සභාපති විදියට ඒ කාලෙ මට විවිධ අවස්ථාවල ලෝකයේ ජනප්‍රියම සහ හොඳම පොත් ප්‍රදර්ශනවලට සහභාගිවෙන්න අවස්ථාව ලැබුණා. ඒවා දැක්ක ම මේ වගේ දෙයක් කරගන්න අපටත් අවස්ථාවක් තියෙනවා නම් හොඳයි නේද කියලා මට හිතුණා. අපේ අනික් සාමාජිකයනුත් ඒවා බලන්න ගිහින් දැකලා ඔවුන්ටත් ආසාවක් ඇතිවෙලා තිබුණා මේවගේ දෙයක් කරන්න පුළුවන් නම් කියලා.

අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය දැන්

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර

සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණත් මෙය

ආරම්භ වෙන්නෙ කලාභවනෙන්.

අපේ ම සාමාජිකයෙක් තමයි පොත් ප්‍රදර්ශනය ගැන යෝජනාව අරන් එන්නෙ. 1999-2000 අවුරුදුවල කලාභවනෙ තමයි අපි පොත් ප්‍රදර්ශනය කළේ. 2000 දී මම තමයි සභාපති හිටියෙ. ඒ අවුරුද්දෙ අපි උත්සාහ කළා වෙනදට වඩා ටිකක් ලොකුවට පොත් ප්‍රදර්ශනය කරන්න. හැබැයි ඒ අවුරුද්දෙ අපේ පොත් විශාල වැස්සකට අහුවෙලා බහුතරයක් විනාශ වුණා. මේ ප්‍රශ්නත් එක්ක අපිට කලාභවනට වඩා ටිකක් ලොකු තැනකට මේක ගෙනියන්න ඕනකම ආවා. මම යෝජනා කළා වියදම සැර වුණත් අපි කොහොමහරි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මේ ප්‍රදර්ශනය තියමු කියලා. අපිට ඒ කාලෙ සල්ලිත් නෑ. මමයි වීරමන් මහත්තයයි තමයි මුලින් ම BMICH එකේ පොත් ප්‍රදර්ශනය තියන්න හෝල් එකට මුදල් ගෙව්වෙ. ඒක ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් වෙන්න පාර කැපුණෙ එහෙම. ටිකෙන් ටික අපි අන්තර්ජාතික මට්ටමේ පොත් ප්‍රදර්ශනයක් මට්ටමට ආවා. ඒකොලෙ BMICH එකේ හිටියා බන්දුල ඒකනායක කියලා මහත්මයෙක්. එතුමා අපට බෙහෙවින් සහයෝගය දුන්නා.

පොත් ප්‍රදර්ශනයට සමගාමීව ස්වර්ණ පුස්තක, රජත පුස්තක සම්මාන උලෙළත් පැවැත්වෙනවා

ඔව්. අවුරුදු කිහිපයක් යනකොට අපි මේ ප්‍රදර්ශනයේ ම දිගුවක් විදියටයි ඒක පටන් ගත්තෙ. ඇත්තටම මේකට ආභාසය ගත්තෙ බුකර් ප්‍රයිස් එකෙන්. මම ඒකට විශේෂ උනන්දුවක් දැක්වුවා. කේ. ජයතිලක, ඒ. වී. සුරවීර වගේ විද්වත්හු එක්ක තමයි අපි මේ සම්මාන උලෙළ මුලින් ම පටන් ගත්තෙ.

පොත් ප්‍රකාශනය වෙන ආයෝජනවලට වඩා වෙනස්

ඔව්. මේක බුද්ධිමය ආයෝජනයක්. අපි අද වෙනකොට ශාස්ත්‍රීය පොත් ප්‍රකාශනය කරලා තියෙනවා ලාබය ගැන නොසිතා. ඒවා සමාජීය බුද්ධිමය ආයෝජන. නව ලේඛක පරපුරක් හදන්න අපි දායකත්වය දුන්නා.

චිත්‍රපට ක්ෂේත්‍රයටත් ඔබ මුදල් ආයෝජනය කරනවානේ. කොහොමද ඒක ව්‍යාපාරයක් විදියට සාර්ථක ආයෝජනයක් ද?

ඇත්තට ම ඒක ආසාවට කරන දෙයක්. මම පටන් ගත්තේ සුගතපාල ද සිල්වාගේ බිත්ති හතර සිනමාපටයෙන්. ඒක මම ව්‍යාපාරයක් විදියට ලාබ ලබන්න කරන දෙයක් නොවෙයි.

ව්‍යාපාරත් එක්ක ගෙවෙන ඔබේ ජීවන සහකාරිය වෙන්නෙ කවුද?

මම විවාහ වෙන්නේ කුමුදිනී ඩයස් සමඟ. ඇය ගුරුවරියක්. දැන්නම් විශ්‍රාම ලබා සරසවි අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රියාකාරිනියක් විදියට කටයුතු කරනවා. මට මහරගම පොත්හලේ වැඩ කරද්දි තමයි ඇය මුණ ගැසුණේ.

දරුවන් ගැන කතා කළොත්. පුතා ඔබේ ව්‍යාපාරවලට සක්‍රියව සම්බන්ධයි නේද?

ඔව්, පුතා චන්දු. අපේ ව්‍යාපාර සමඟ බෙහෙවින් සම්බන්ධයි. දියණිය චාන්ද්‍රි ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නෙ. ඇයත් අපේ අධ්‍යක්ෂවරියක්. එයාලා දෙන්න ම මේ විෂයය ගැන උනන්දුයි. මගේ ලේලිත් අලෙවිකරණය පිළිබඳ උපාධියක් තියෙන කෙනෙක්. ඇය අමෙන්ද්‍රා ගුණවර්ධන. ඇයත් බොහොම උනන්දුවෙන් මේ ව්‍යාපාරය හා සම්බන්ධ වෙලා ඉන්නවා. මට මුනුපුරු මිනිබිරියන් තුන්දෙනෙක් ඉන්නවා.

නිදහස් වෙලාවට මොනවද කරන්න කැමැති

මම කැමැතියි මගේ ගාර්ඩන් එකේ වැඩ කරන්න. වගා කටයුතු කරන්න.

සාමාන්‍යයෙන් සංචාරය කරන්න කැමැති කොහේද?

අනුරාධපුරයට වගේ ම නුවරඑළියේ යන්නත් කැමැතියි.

සමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් දේවල් ද පාවිච්චි කරන්නෙ

එහෙම කියලා දෙයක් නෑ. මම කැමැතියි හොඳ ගුණාත්මක දේවල් පාවිච්චි කරන්න. ඒවා පස්සෙ එළවගෙන යන්නෙ නෑ.

හැරිලා බලද්දි ජීවිතේ මට මේ දේ කරගන්න බැරි වුණා කියලා පසුතැවුණු අවස්ථා තියෙනවද?

එහෙම එකක් නෑ ඇත්තටම. මුලින් ම මම කැමැති වුණේ වෛද්‍යවරයෙක් වෙන්න. නමුත් මේ දේවල් කරන් යද්දි මම දැන් කරන්නෙ හොඳ ම දේ කියලයි මට හිතෙන්නෙ

අලුත් පරම්පරාවට මොකද කියන්න තියෙන්නෙ

මුලින් ම තමන්ව හරියටම හඳුනාගන්න ඕන වඩාත් දක්ෂ මොනවටද කියලා. ඊට පස්සෙ උනන්දුවෙන් හා කැපවීමෙන් ඒ දේට යොමු වෙන්න ඕන. ඒක තමයි ඕන කෙනකුගේ සාර්ථකත්වයේ රහස.

Comments