හොඳම මිතුරන් සිවු දෙනා නිල්වලාවේ සැඟවුණා | Page 4 | සිළුමිණ

හොඳම මිතුරන් සිවු දෙනා නිල්වලාවේ සැඟවුණා

නෑම අයෙකු රැකියාවක නිරත වන්නේ ජීවිතය දිනන්නටය. දෛනික වැටුපට වැඩකරන අයෙකු ආයතනයට බඳවා ගැනීම ද ජීවිතයේ තවත් ජයග්‍රහණයක් වුව ද එකී ජයග්‍රහණය සමරන්නට ගොස් ජීවිත පහකින්ම වන්දි ගෙවන්නට සිදුවන්නේනම් එය අතිශය ඛේදනීය තත්වයක් මෙන්ම විමර්ශනාත්මකව සොයාබැලිය යුතු සිදුවීමකි.

ඒ ඉකුත් 26 වැනි සිකුරාදා දවසයි. වැලිගම මිදිගම ප්‍රදේශයේ පිහිටි රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවයේ නිරත දොළොස්දෙනෙකුගෙන් සමන්විත තරුණ පිරිසක් අකුරැස්ස 'පෝරතොට' ප්‍රදේශයට පැමිණෙන්නේ 'සාදයක්' පැවැත්වීමේ අරමුණෙනි. මේ කණ්ඩායමේ සමාජිකයකුගේ නිවසට එක්වන තරුණ පිරිස මත්වතුර සහ විවිධ කෑම බීමවලින් සමන්විතව රිසිසේ එම සාදය පවත්වන්නේ සතුටේ උපරිමයට පැමිණෙමිනි.

එතෙක් දෛනික වැටුපට වැඩකළ තරුණයින් දෙදෙනෙකු ආයතනයේ ස්ථීර සේවයට බඳවා ගැනීමේ සතුට සැමරීම සාදය පැවැත්වීමේ නිමිත්තවූ අතර සතුටු සිනා මැද සාදය ඉදිරියට යද්දී ඊට බාධකයක් ඇතිවූයේ කවුරුත් නොසිතූ පරිද්දෙනි. ඒ සාදය පවත්වන නිවසට ආසන්න නිවසක මරණයක් සිදුවීම සහ එය අවසන් වී දිනක් පමණක් ගතවීම නිසා ගී ගයමින් සතුටුවීම නොහොඹිනා ක්‍රියාවක් බවට අදාල නිවසේ වැඩිහිටියන් පැවසීමත් සමගය‘

ඒ සමගින් සාදය නැවැත්වු තරුණ කණ්ඩායම නිවෙසින් පිටවී අඩුම කුඩුම සමඟ පිටබැද්දර ‘දෙහිගස්ප‘ - ‘හඬනකට‘ ඇල්ල ප්‍රදේශයට පැමිණෙන්නේ නිල්වලා ගඟේ නා සතුටුවීම සඳහාය. ඒ වන විට වේලාව පස්වරු එකයි තිහත් දෙකත් අතර විය. එහෙත් තමන් මේ ගමන්කරමින් සිටින්නේ මහා ඛේදනීය ඉරණමකට මුහුණදීම සඳහා බව එහි සිටි කිසිවෙකුටත් දැණුනේ නැත.

‘දෙහිගස්ප හඬනකට ඇල්ල‘ ප්‍රදේශය දුටුවන්ගේ මනස සතුටින් පුරවාලන සුන්දර ස්ථානයක් වුවද එහි අභ්‍යන්තරය මහා භිහිසුණු බවක් ඇති බව එම ප්‍රදේශයට පිටස්තර පුද්ගලයින්වූ මෙම තරුණ පිරියෙන් ඇතැම් අය දැන සිටියේ නැත. ජනප්‍රවාද රැසක් ඇති මෙම ස්ථානයේ විටින් විට 'මිනිස් බිල්ලක්' ගැනීම කලක සිට සිදුවන බව ප්‍රදේශවාසින්ගේ මතයයි. මධු විතෙන් සප්පායම්වූ ඇතැම් මේ තරුණ පිරිස 'හඬනකට ඇල්ල' වෙත ලංවද්දී ඒ වන විටත් ඇදහැලෙමින් තිබූ වර්ෂාවත් සමග නිල්වලා ගඟේ දියපාර ද වඩා උසකින් යුක්තව ගලාබසිමින් තිබුනේ එහි චණ්ඩ බව ද වැඩිකරවමිනි.

ගඟ දිගේ ගලාබසින ජල පහර උස්වූ ගලක් මතින් ඇදහැලීම නිසා 'ඇල්ල' ලෙසින් හැඳින්වූ මෙම ස්ථානයේ ගලට පහළින්වූ තටාකයක් ලෙස සැකසී තිබු ස්ථානය දැඩි ගැඹුරක් සහිතවීම සහ ඒ මෙහොත වන විට වැස්සත් සමග ජල පහර සහ ජල ප්‍රමාණය වැඩිවෙමින් තිබීම තරුණ පිරිස වැඩි අවධානයකට නොගත් බවක් දක්නට ලැබුනේ දහතුන් දෙනොගෙන් පස්දෙනෙකු පමණ ගැඹුරැති 'තටාකයක්' වන් ස්ථානයට පැනීමත් සමගය. පළමුව එහි පැන්න පුද්ගලයා චණ්ඩ ජල පහරට හසුව ගසා ගෙන යමින් සිටියදී තවකෙකු ඒ වෙත ලංවූයේ ගසාගෙන යන තරුණයා බේරා ගැනීමටය. එහෙත් බේරා ගැනීම වෙනුවට ඔහු ද ජල පහරට හසුව ගසාගෙන යද්දී තවත් අය ඒ සඳහා ඉදිරිපත්වූ අතර එලෙස තරුණයින් පස්දෙනෙකුම දියකඳට මැදිව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවද්දී පළමුවෙන් ගඟට බට තරුණයා ගඟ හරහා පිහිනා ගොස් ගං ඉවුරේ තිබූ කොට්ටම්බා ගසක අත්තක එල්ලී ජීවිතය ආරක්ෂා කර ගනිද්දී අනෙක් තරුණයින් සිව්දෙනා ගඟ දිගේ පහළට ඇදීගියේ වේගවත් ජලපහරෙන් බේරීමට නොහැකිව. කොට්ටම්බා අත්තේ එල්ලී සිටි තරුණයා ප්‍රදේශවාසීන් විසින් වහා බේරාගත් නිසා ඔහුගේ ජීවිතය ආරක්ෂා වූයේය.

එලෙස ජල පහර සමග පොරබදිමින් සිටි තරුණයින් සිව්දෙනා ක්ෂණයකින් ජල කඳ අතර නොපෙනී යද්දී අනෙක් තරුණයින් කෑ මොර දෙන්නට පටන්ගත්තේ තමන්ට කළ හැකි වෙනත් යමක් නොවූ නිසාය. ඒ සමග එම ස්ථානයට ප්‍රදේශවාසීන්ගෙන් පැමිණෙද්දී එලෙස පැමිණි බැංකු සේවකයකු පිටබැද්දර පොලීසියේ පොලිස් කොස්තාපල් 78162 රවීන්ද්‍රට දුරකථන ඇමතුමක් ගෙන දන්වා සිටියේ තරුණයින් හතරදෙනෙකු නිල්වලා ගඟේ ජල කඳට හසුව අතුරුදන්ව ඇති බවයි. ඒ සමගින් කොස්තාපල් රවින්ද්‍ර පිටබැද්දර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග වෙත තමාට ලද තොරතුර දැණුම්දුන් අතර ඒ අනුව ස්ථානාධිපතිවරයා වහා පොලිස් කණ්ඩායමක් සමග අනතුරවූ සිදුවූ ස්ථානයට ගොස් තතරුණයින් බේරා ගැනිම සඳහා මෙහෙයුම දියත් කළ ද ඒ වන විටත් තරුණියින් ගං පතුලේ සැඟව යාමත් ඔවුන් පිළිබඳ කිසිම හෝඩුවාවක් නොවීමත් ජීවිත බේරාගැනීමට බාධාවක්ව තිබුනේය. ඒ වන විට අඳුර ගලා එමින් තිබීම ද තරුණයින් සොයාගැනීමට තවත් බාධකයක්ව තිබුණේය.

මෙලෙස අතුරුදන්ව සිටියේ අකුරැස්ස පෝරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි මලිත උදයංග, වැලි ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි ජයසංක තිලක්ෂණ, අහංගම ප්‍රදේශයේ පදිංචිව 24 හැවිරිදි ශසික සම්පත් හා දෙයියන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි මනුෂ්ක යොෂාන් යන තරුණයින් ය.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතුරුදන්ව ඇති තරුණයින් සොයා මෙහෙයුම් දියත්කළ ද රාත්‍රිය වනතෙක්ම තරුණයින් පිළිබඳ කිසිම හෝඩුවාවක් නොවූ අතර ඒ වන විට එහි පැමිණ සිටි අතුරුදන්ව සිටි තරුණයින්ගේ ඥාතීන්ගේ විලාප හඬත් සමග මුළු ප්‍රදේශයම ශෝකීභාවයකින් පිරී තිබුණේය. ඒ අතර තරුණයින් පිරිස නිල්වලා ගඟේ අතුරුදන්ව ඇති බවට වූ පුවත 26 දින රාත්‍රී රූපවාහිණී ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රකාශ වෙද්දී එය නරඹමින් සිටි ගංදියේ අතුරුදන්ව සිටි දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි මනුෂ්ක යොෂාන්ගේ පෙම්වතිය වු කඹුරුපිටිය රන්සෑගොඩ ප්‍රදේශයේ පදිංචිව 20 හැවිරිදි අශානි හංසිකා නැමති තරුණිය නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරම ආර ඔයට පැන 26 දින රාත්‍රී සිය දිවි හානි කරගෙන තිබුනේ තවත් පවුලකට මහා වේදනාවක් ඇතිකරවමිනි.

කඹුරුපිටිය පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණයවී තබුණි. එම තරුණිය හෙද පාඨමාලවක් හදාරමින් සිටි බවයි. ඇගේ පෙම්වතාට සිදු වු අනතුර රුපවාහිනි ප්‍රවෘත්ති ඔස්සේ ආරංචි විමෙන් අනතුරුව වේදනාවෙන් වැලපෙමින් සිටි බවත් රාත්‍රි කාලයේ නිවසේ නොමැති බව දැනගැනිමෙන් අනතුරුව ඇය ගැන කළ සොයා බැලිමේදි ඇය ජීවත්වු නිවස අසලින් ගලා බසිනා කිරම ආර ඔයේ ඉවුරේ තිබු ඇගේ ජංගම දුරකථනය විදුලි අාලෝකය දල්වා තිබියදිම සොයා ගැනිමට හැකි විය. ඒ අනුව ඇය කිරම ආරට පනින්නට ඇතැයි සැකකොට කිරම ආර ඔයේ 27 දින උදැසන ප්‍රදේශවාසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදි අශානිගේ සිරුර සොයා ගෙන තිබුණි.

තරුණයන් සිව් දෙනා ගසාගෙන ගිය දිනට පසු දින එනම් 27 හිරු උදාවද්දී පිටබැද්දර පොලීසියේ මැදිහත්වීම මත එහි පැමිණි නාවික හමුදා ජීවිතාරක්ෂක කිමිඳුම් කණ්ඩායම් තරුණයින් සොයා නිල්වලා ගඟේ මෙහෙයුම් දියත්කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අඩි හැටක් පමණ ගංපතුලේ සැඟව සිටි අකුරැස්ස පෝරතොට 24 හැවිරිදි මලිත උදයංග සහ වැලිගම බටවල පදිංචිව සිටි 22 හැවිරිදි ජයසංක තිලක්ෂණ නැමති තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගැනීමට හැකිවිය. 

නාවික හමුදා කිමිදුම් කරුවන් ඒ දිනය පුරා සිදුකළ මෙහෙයුම් අතරතුරදී ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි ශසික සම්පත් ගේ සිරුර එදින පස්වරුවේදී ගඟේ පාවෙමින් තිබියදි ප්‍රදේශවාසීන් විසින් සොයාගන්නා ලදි. දෙයියන්දර පදිංචිව 23 හැවිරිදි මනුෂ්ක යොෂාන් පිළිබඳ 27 දිනය නිමාවන තෙක්ම හෝඩුවාවක් සොයාගත නොහැකි විය. ඔහුගේ මළ සිරුර 28 වැනි දින සවස ප්‍රදේශවාසීන් විසින් නිල්වලා ගඟේ තිබී සොයාගත්තේ දින දෙකක මහන්සියකින් පසුවය.

සොයාගත් මල සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ මාතර මහා රෝහලේදී පවත්වා මෘතදේහ ඥාතීන් වෙත භාරදීමට පියවර ගෙන තිබු අතර ඇතැම් අයගේ මෘත දේහ පිළිබඳ අවසන් කටයුතු ඉක්මනින් පැවැත්විමට සිදුව තිබිණි.

“මෙම කණගාටුදායක තත්වය ඇතිවී තිබුනේ එම තරුණයින්ගේ නොසැලකිල්ල මතයි. අනතුරට පෙර පැවති සාදයට තරුණයින් දහතුන්දෙනෙකු එක්ව ඇති බව අනාවරණයවුනා. මේ අය අතරින් ඇතැම් අය බීමත්ව සිට ඇති බව වාර්තාවුනා. බීමත්ව ගඟේ නෑම මොනතරම් අනතුරු සහිත ද? ඒත් මේ පිරිස ඒ ගැන සිතාමතා වැඩකර නෑ. ප්‍රතිථලය වුනේ තරුණ ජීවිත පහක් රටට අහිමිවීමයි. මේ ගැන වැඩිහිටියන් ද අවදියෙන් සිටියයුතුයි. නැත්නම් මෙවැනි ක්‍රියා ඉදිරියෙදිත් සිදුවිය හැකියි. විශේෂයෙන් සඳහන්කළ යුතු දෙයක් තමයි මෙහි කිඹුලන් සිටින බව දැන දැනත් දෙහිගස්ප තරුණයින් ඇතුළු ප්‍රදේශවාසීන් අතුරුදන්වු සිටි තරුණයින්ව සොයන්න කළ කැපවීම. එය විශිෂ්ට ක්‍රියාවක් යැයි” පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග පැවසුවේය.

පිටබැද්දර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංගගේ උපදෙස් පරිදි පොලිස් සැරයන්වරුන් වන 18405 සුනිල්, 64669 සුනිල්, 58881 ගාමිණී, 64460 රංජිත් සහ කොස්තාපල් 78162 රවීන්ද්‍ර යන නිලධාරීන් මේ සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වුහ.

Comments