අන්තර් සංස්කෘතික මාවතක් විවර කළ ප්‍රාඥයා ආනන්ද කුමාරස්වාමි | සිළුමිණ

අන්තර් සංස්කෘතික මාවතක් විවර කළ ප්‍රාඥයා ආනන්ද කුමාරස්වාමි

"මගේ අදහසේ හැටියට, නූගත් ජනයා ඇතැම් අයුරින් අපට වඩා වාසනාවන්තය. මන්ද ඔවුන්ට සිදුවී ඇත්තේ නූගත් දෙය ඉගෙනීම පමණය. එනමුත් අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය.”

1911 දෙසැම්බර් මාසයේදී එංගලන්තයේදී පැවැත්වුණු වාර්ෂික ලංකා රාත්‍රී භෝජන සංග්‍රහයකදී එක්තරා චින්තකයෙක් පැවසුවේ ය. ඒ පැවසූ වදනෙන් ම හේ චින්තකයෙක් බැව් සනාථ වෙන්නේ ය. උගතුන්ට හෝ බුද්ධිමතුන්ට සමාජයේ හිමි තැන ගැන සිතද්දී මෙන් ම උගත් දෙයින් ගත හැකි ඵල ප්‍රයෝජන ගැන සිතද්දී ද මෙය මෙසේ නොවන්නේ ද යන්න සිතීම සාමාන්‍ය කරුණකි. උගතුන්ට උගත් බොහෝ දේ අත්හරින්නට සිදුවෙන මේ පූර්ව නිගමනය දැනට සියවසකටත් පෙර කීවේ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි ය. ඒ චින්තනයක අනාගත ප්‍රභාව විදහා දක්වමිනි.

කලාවේ පරමාර්ථය පිළිබඳ ශාන්ති නිකේතනයේ ශ්‍රී සිසිර් කුමාර් ඝෝෂ් හා ආනන්ද කුමාරස්වාමි අතර සංවාදයක් ඇති වූ බව ආචාර්ය අමරදාස වීරසිංහ සංස්කෘති සඟරාවට ලියූ ලිපියක සඳහන් කරයි.

කලාවේ පරමාර්ථය කුමක්ද? 

හැමවිටම ප්‍රබල ලෙස අදහස් ප්‍රකාශ කිරීමයි

නමුත් කලා කෘති මඟින් කුමක් ප්‍රකාශ කළ හැකිද?

මෙතනදී අපට වේදනාත්මක සත්‍යයක් කියන්නට සිදු වේ යැයි එක්වරම කුමාරස්වාමි කීය

ඒවා බොහෝමයක් ප්‍රකාශ කරන්නේ, මේ දවස්වල විනීත සමාජවල සඳහන් කිරීමටවත් අප අකැමැති දෙවියන් ගැන.

ඔහු වේද, උපනිශද්, බ්‍රාහ්මණ, ශිල්ප ශාස්ත්‍ර, දශරූප වැනි අලංකාරවල පිහිටා පාරම්පරික ව පැවැති සම්මත සම්ප්‍රදාය අගය කළේ ය. තවද පෙරදිග කලාකරුවා ගේ උත්තම ගුණයක් ලොවට පෙන්නා දුන්නේ ය. එනම් කලාකරුවා අහං-කාරයෙන් (මම යන හැඟීමෙන්) තොරව තම කලා කෘති ඉදිරිපත් කිරීමයි. මමායනක්, ‘අහං‘ යන හැඟීමක් නැති පෙරදිග කලාකරුවා සිය කෘති ඉදිරිපත් කළේ නිර්නාමික ව ය.

ආනන්ද කුමාරස්වාමි නම් චින්තකයා, කලාකරුවා, පර්යේෂකයා ගැන ආචාර්ය අමරදාස කළ මේ හැඳින්වීම ඔහුගේ නිර්මාණ හා චින්තන ප්‍රභාව ගැන ප්‍රමාණවත් හැඳින්වීමකි. ඔහුගේ චින්තන හා නිර්මාණ වපසරියේ වන පෘථූල බව පසක් කිරීමට ඒ කලාකරුවාගේ ස්වභාවය පිළිබඳ ව ඔහු දරන මතය ම වුව ප්‍රමාණවත් වීම ඊට හේතුවයි.

ආනන්ද කුමාරස්වාමිගේ පෙළපත පිරික්සන විට ඔහු මෙරට කලා ශිල්ප පිළිබඳ දැරූ අප්‍රමාණ භක්තියේ නෂ්ටාවශේෂ එන්නේ කොතනින් දැයි පෙනේ. ඔහුගේ පියා වන මුත්තු කුමාරස්වාමිගේ පියා වූයේ ආරුමුගම් පිල්ලේ කුමාරස්වාමි ය. යාපනයේ මනිපායි හි ඉහළ කුල පරම්පරාවකින් පැවත ආ ඔහු 1815 දී පමණ උඩරට රාජධානියේ පළමුවන ඉංග්‍රීසි අණ දෙන නිලධාරියාගේ ප්‍රධාන භාෂා පරිවර්තකයාව සිටියේ ය. මුත්තු කුමාරස්වාමි නයිට් නාමයක් ලැබූ පළමුවන ආසියාතිකයා ය. සංස්කෘත හා පාළි උගත්තකු සේ සලකන ඔහුට සිටියේ දියණියක හා පුතෙකි. ඔහුගේ දියණිය වන සෙල්ලච්චී කුමාරස්වාමි, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් හා ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් යන නිදහස් සටනේ පුරෝගාමී මෙහෙවරක් කළ දෙදෙනාගේ මෑණියන් ය. ඔහුගේ පුතණුවන් වන්නේ ආනන්ද කුමාරස්වාමි ය.

ආනන්ද ඉපදී මාස අටකට පසු සිය මව සමඟ එංගන්තයට යන අතර, පියා ඔවුන් හා එක්වීමට එංගන්තය බලා යන දවසේ ම හදිසියේ ජිවිතයෙන් සමු ගත්තේ ය. අනතුරුව කුඩා ආනන්ද සිය දිවිසැරිය ගෙවන්නේ මව සමඟින් එංගලන්තයේ ය. ඉගෙනීමෙන් අනතුරුව ඔහු ලංකාවට එන්නේ භූගර්භ විද්‍යාව හා උද්භිද විද්‍යාව පිළිබඳ පළමුවන පන්තියේ ගෞරව උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව ය.

ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්වීමක් ලබන කුමාරස්වාමිට ඒ තනතුර දැරූ වසර තුනක කාලයේදී ලංකාව පුරා සංචාරය කරන්නට අවස්ථාව උදා වේ. පා ගමනින් ද, කරත්තයෙන් ද ලංකාව පුරා සංචාරය කළ ඔහුට ලාංකේය සිතුවම් කලාව, පුරා විද්‍යාව හා සිංහල සිරිත් විරිත් මෙන් ම කලා ශිල්ප ද ඇසුරු කරන්නට හා ගවේශනය කරන්නට ලැබිණි. එයින් උද්දීපනය වන ඔහු විවිධ පළාත්වල ගැමියන් හමුවී ලාංකේය කලා ශිල්ප පිළිබඳවත් ජන සාහිත්‍යය පිළිබඳවත් හදාරන්නට පටන් ගත්තේ ය. එ් හැදෑරීමෙන් ප්‍රතිඵල ලැබුණේ ලාංකේය සාහිත්‍යයට ය; ඉතිහාසයට ය. අවරදිග සංස්කෘතිය හමුවේ මුල් සිඳුණු වකවානුවක එකී ස්වර්ණමය මිණි කැට මතු කරගන්නේ ආනන්ද කුමාරස්වාමි ය.

එතැනින් නොනවතින ඔහු ඉන්දීය දර්ශනය, සාහිත්‍ය හා කලා ශිල්ප ද හදාරන්නට පටන් ගත්තේ ය. ඉන්දීය බෞද්ධ ප්‍රතිමා කලාව, ජෛන චිත්‍ර කලාව, මෝගල් චිත්‍ර කලාව, රාජ්පුත් සිතුවම් කලාව අධ්‍යයනය කළ ඔහු භාරතීය සිතුවම් කලාවට ග්‍රීක ආභාසයක් නැති බැව් පෙන්වා දුන්නේ ය. වෛදික සාහිත්‍යය පිළිබඳ ඔහුගේ අධ්‍යයනය ලොව වෙත නව ශාස්ත්‍රීය සම්ප්‍රදානයක් විවර කළේ ය. පෙරදිග කලාව හා කලා ශිල්ප පිළිබඳ ඔහුගේ දැනුම අපට දායාද කළේ විචාරාත්මක කෘති සමුදායකි. මේ අතර මධ්‍ය කාලීන සිංහල කලා, නූතන උඩරට ගෘහ නිර්මාණ ශිල්පය, ඉන්දීය මධ්‍ය ආසියා හා ලංකාවේ බිතුසිතුවම්, ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ කලා ශිල්ප ආදිය මීට නිදර්ශන වෙති. ඔහු විසින් ලියන ලද කෘති සියල්ල නම් කිරීම මේ වැනි ලිපියකදී කළ හැක්කක් නොවේ. කෙසේ නමුත් පෙරදිග ඉතිහාසය හා කලා ශිල්ප ගැන ඔහු කළ පර්යේෂණ හා ගවේශන වඩාත් වැදගත් වෙන්නේ ඒ සියල්ල ඔස්සේ ඔහු මතවාදීමය වටිනාකමක් නිර්මාණය කිරීම නිසා ය. එය හුදු පර්යේෂණ භූමිකාවෙන් ඉදිරියට ගිය චින්තනමය හා දාර්ශනික ප්‍රවේශයක් ලෙස හඳුන්වා දිය හැක්කේ ඒ නිසා ය.

භූගර්භ විද්‍යාව හා උද්භිද විද්‍යාව විෂය ක්ෂේත්‍ර සිය උසස් අධ්‍යාපනයේ විෂය පථ සේ හැදෑරු ආනන්ද කුමාරස්වාමි ශ්‍රී ලංකාවේ තෝරියනයිට් ඛණිජය ගැන අධ්‍යයනය කරන්නට පටන් ගත්තේ ය. බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් විසින් මේ පිළිබඳ ව ඔහු දැනුම්වත් කරන ලද බව පැවසේ. සිය පර්යේෂණය පිළිබඳ ව 1904 දී Spolia Zeylanica ජර්නලයට වාර්තාවක් සම්පාදනය කරන ඔහු එහිදී තෝරියනයිට් යන්න හඳුන්වා ඇත්තේ යුරනිනයිට් කියා ය. පසුව එය තෝරියනයිට් නොව යුරනිනයිට් බව පැහැදිලි විය. මේ විකිරණශීලී ඛනිජ ගැන කරන ලද පර්යේෂණය වෙනුවෙන් ඔහුට ලන්ඩන් විශ්වවිද්‍යාලය විසින් D.Sc (Doctor of Science in Geology) උපාධිය පිරිනමන ලදී. 1906 න් පසු නැවතත් එංගලන්තයට යන කුමාරස්වාමිට ඛනිජ පිළිබඳ උනන්දුව හීන වී ඇති බවක් විමර්ශනය වේ. ඒ වෙනුවට ඔහු පෙරදිග කලා ශිල්ප පිළිබඳ නොතිත් පිපාසාවකින් යුතු වූයේ වෙයි. ඡායාරූප ශිල්පියෙක් හා චිත්‍ර ශිල්පියෙක් ලෙස ද ඔහුගේ හැකියාවන් පළට වෙයි. අවුරුදු හැත්තෑවක සිය දිවිසැරිය ඇතුළත ඔහු ලියූ ග්‍රන්ථ සංඛ්‍යාව 120 කට අධික ය. ශාස්ත්‍රීය ලිපි 500 කට අධික සංඛ්‍යාවක් හා විචාර පොත් පනහකට වැඩි ප්‍රමාණයක් ද ඔහුගේ ලිවිසැරියට ඇතුළත් ය.

ආනන්ද කුමාරස්වාමි සිය ජීවිතයේ බොහෝ විමැසුවන්ගේ විචාරක්ෂියට යොමු වූවෙකි. හේ පිළිබඳ කතා කරන්නන් විවිධ පැති ඔස්සේ සිය අදහස් පළ කර තිබේ. ඇමෙරිකාවේ රොබට් ලීච් පවසන්නේ ඔහු මුනිවරයෙක් බඳු බවත් නවීනත්වයේ කාන්තාරයෙහි පිහිටි ක්ෂේම භූමියක් බවත් ය. විශ්ව භාරතයේ ශ්‍රී අමිය කුමාර් සෙන් ඔහු හා අනගාරික ධර්මපාලතුමා තාගෝර් හා ස්වාමි විවේකානන්දන්ට සමාන කරයි. ලෝකයේ සියලුම ආගමික සම්ප්‍රදායන් ආනන්ද කුමාරස්වාමිගෙන් හමුවෙන බව ජින් බොරෙල්ලාගේ අදහසයි. ආනන්ද කුමාරස්වාමි නම් උතුම් ශාස්ත්‍රඥයාගේ උරහිස් මත අපි අදත් නැඟී සිටිමු යැයි කීවේ හයින්රිච් ෂිමර් ය. මිර්සියා එලිඒඩ් පවසන්නේ ශතවර්ෂයේ මහා ප්‍රාඥාවකින් සහ අවබෝධයකින් ලියූ වෙනත් ලේඛකයකු නැති බවෙකි.

මේ කුමන සමාන කිරීම් මැද වුවත් ආනන්ද කුමාරස්වාමි තමාට ම ආවේණික වූ කලාවක හා වගකීමක බැඳී සිටියේය. විවිධ විෂයන් ගැන කෘති පළ කළ අල්ප වූ ශාස්ත්‍රඥයන් අතර හේ ප්‍රමුඛයෙකි. දර්ශනය, ආගම, ප්‍රතිමා කලාව, ඉන්දියානු සාහිත්‍ය හා කලාව, මධ්‍ය කාලීන කලාව, සංගීතය, ඡායාරූප කලාව ආදී බොහෝ ක්ෂේත්‍රවල හේ පර්යේෂණයෙහි නිරත වීය. ඒවායේ ඵල ලැබුණේ අපට ය. කලාව පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නියැළෙන පර්යේෂකයා තත් කලා සම්ප්‍රදාය හා බැඳී තිබෙන භාෂා හා දාර්ශනික චින්තා ගැන මනා සේ අධ්‍යයනය කළ යුතු බව හේ දැන සිටියේය. ඉංග්‍රීසි විෂයේ ප්‍රාමාණිකයකු වුව ද පෙරදිග කලාවන් හදාරන්නට නම් සංස්කෘත හා පාළි භාෂා හැදෑරීම අත්‍යවශ්‍ය බව සිතූ හේ ඒ වෙනුවෙන් ද කැප විණි. ග්‍රීක්, ලතින්, ප්‍රංස හා ජර්මන් ද හේ මැනවින් හැදෑරුවේ ය. සිංහල, දෙමළ, හින්දි, පර්සියානු, ඉතාලි, ස්පාඤ්ඤ හා ඕලන්ද භාෂා ඉගෙනීම කෙරෙහි ද ඔහුගේ උනන්දුවක් තිබිණි. ඔහුගේ භාෂා හැදෑරීමේ නොතිත් පිපාසාව දැල්වුණේ විවිධ අන්තර් සංස්කෘතික හැදෑරීම් සඳහා පහසුවක් සලසා ගනු වස් ය. ඒ අනුව හේ භාෂා දහතුනක් පමණ දැන සිටියේ ය. සිය ජීවිත කාලයේ භාෂා දහතුනක් දැන සිටි ප්‍රාමාණිකයන් ඉතා අල්ප විය යුතු ය.

ආනන්ද කුමාරස්වාමි මේ ලොව නැති දර්ශනයක් හෝ අමුතු දහමක් පෙන්නූවකු නොවේ. යටපත් වූ කලාව හා දර්ශනය ඔස්සේ සත්‍ය සොයා යෑමට හේ සිය කාලය කැප කළේ ය. එහි ඵල ලැබූවෝ අපි වෙමු. බුදුදහම හා හින්දු දහම මිලේච්ඡයන්ගේ ඇදහීම, පිළිම වන්දනා, වෘක්ෂ වන්දනා ආදී ලෙසින් වරදවා වටහාගත් අවරදිග ජනතාව ඔහු ලියූ පොත් පත්, ලිපි ලේඛන නිසා සත්‍යය වටහා ගත්හ. ඔහු අප රටෙහි මෙන් ම ඉන්දියාව ද වෙළා ගනිමින් සිටි බටහිර ගැති භාවය නිර්දය ලෙස විවේචනය කළේ ය. එය ඔහු කරන ලද්දේ කරන්නන් වාලේ හෝ දෙන්නම් බැටේ ක්‍රමයෙන් නොව උගත්කමෙන් ලද හික්මීමෙන් යුතු ව ය. පෙරදිග රටවලට බටහිර අධ්‍යාපනය ගෙඩි පිටින් ආදේශ කිරීම ආයුධ වෙළෙඳාමටත් වඩා භයානක බව ඔහු කියන්නේ මේ හැදෑරීමත් සමඟ ය.

බටහිරකරණය හේතුවෙන් මෙරට පාරම්පරික ශිල්ප ශ්‍රේණිවල ජීවන පැවැත්ම සුනු විසුනු කර දැමූ බව ඔහු සනිදර්ශිත ව පෙන්වා දෙයි. ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය නිසා ලාංකිකයා හර පද්ධතියක් නැති නිකමකු බවට පත් කර ඇතැයි ඔහු චෝදනා කළේ ය. ඉංග්‍රීසීන් ප්‍රචාරය කළ අධ්‍යාපනය ගැන බටහිර උගතුන් ම කිව්වේ සිය සමය පිළිගැන්වීමේ උමතුව කියා බව කුමාරස්වාමි කියන්නේ ඒ නිසා ය. මේ පිළිබඳ සිය කෘතියක් වන උගත්කම නැමැති බිල්ලා කෘතියේ කුමාරස්වාමි දක්වන්නේ මෙසේ ය. 

‘පසුගිය ශතවර්ෂය අවසානයෙහි ආරම්භ කරන ලද බලහත්කාරයෙන් ලියන්ට කියවන්ට ඉගැන්වීම නිසා අපගේ සිතුම් පැතුම් පරිදි සුඛිත- මුදිත කාර්යක්ෂම නාගරිකයෝ පහළ නොවූහ. අනික් අතින් ඒ ඉගැන්වීම් නිසා හිත් කලඹන පුවත් පළ කරන පුවත්පත් කියවන්නෝත්, සිනමා චිත්‍ර බලන්නට යන්නෝත් සුලබ වූහ. ලියන්ට කියවන්ට ඉගැන්වීමෙහි ඒකාන්ත වටිනාකමක් ඇත යන මිතථා මතය මගේ සංවේගයට හේතු වෙයි. නූගත් මිනිසුන්ගේ සංස්කෘතික මැනීමට උගත්කම මිනුමක් කරගැනීම හේතු කොට ඉතා අන්තරායකර ප්‍රතිඵල ඇතිවිය හැකි ය‘ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ස්වභාෂාවෙන් සිදු විය යුතුය යන අදහස මුලින් ම ඉදිරිපත් කරන ලද්දේ ඔහු විසිනි. ලංකාවට විශ්වවිද්‍යාලයක ඇති අවශ්‍යතාව පෙන්වා දීමේ ලා ඔහු පුරෝගාමී මෙහෙවරක් කළේ ය. උගත්කම නම් පොතේ පතේ දැනුමෙන් අවිචාරවත් ව පෙරදිග සංස්කෘතිය විනාශ වීමට ඉඩ නොදිය යුතුය යන්න කුමාරස්වාමි නිරන්තරයෙන් අවධාරණය කළේ ය.

දේශීයත්වයේ පටු සීමා විනිවිද විශ්ව මනසකින් දේශීයත්වයේ මහිමය ලොවට පෙන්වා දුන් සෞන්දර්යවේදියකු හා චින්තකයකු ලෙස ඔහු බුහුමනට පාත්‍ර වන්නේ මෙකී මැදිහත් වීම හේතුවෙනි.

එරික් ගිල් පවසන්නේ කලාව, ජීවිතය, ආගම සහ භක්තිය පිළිබඳ ව ආනන්ද කුමාරස්වාමි තරම් ප්‍රඥාවකින් සහ අවබෝධයකින් ලියූ වෙනත් ලේඛකයකු නැති බවය.

ඔහුගේ දිවිසැරියටත් වඩා බර ලිවිසැරියක් අපට ඉතිරි කර නික්ම ගිය ආනන්ද කුමාරස්වාමි නම් අන්තර් සංස්කෘතික සොඳුරු සැරිසරන්නා විශ්වවිද්‍යාලවල තවමත් අනිවාර්ය හැදෑරීම් සාධකයක් නොවන්නේ ඇයි ද යන්න අපට ගැටලුවකි.

Comments