නිර්මාණ පැත්තෙන් හානියක් වුණා
- සේන තෝරදෙනිය
- මහාචාර්ය සරත් විජේසූරිය
පේරාදෙණි සාහිත්‍යය ගැන බොහෝ මතවාද කලක් තිස්සේ කරලිගත ව තිබිණි. පනහ හා හැට දශකද්වයෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අංශයක් ලෙස නොවුණත් පේරාදෙණිය ගුරුකුලය නමින් එකී මතවාදය දරන්නන් විසින් ඒකරාශී වුණු යම් මතවාදීමය කල්ලියක් සිටියේය. සමහරු මෙවැනි ගුරුකුලයක් පිළිගැනීමට අකැමැති වූහ. පේරාදෙණිය ගුරුකුලයේ උපත නැඟීම හා බිඳ වැටීම යනුවෙන් කෘතියක් ලියන සේන තෝරදෙනිය ස්වකීය කෘතියේ 33 වැනි පිටුවේ සඳහන් කරන්නේ මෙවැන්නකි.
“ගුරුකුල තනන්නන් 'අපි ගුරුකුලයක් තනමු' යි කතිකා කොටගෙන සිතාමතා ගුරුකුල තනන්නේ නැත. ගුරුකුල ප්‍රකාශයට පත්වන්නේ ගුරුකුල ඇදුරන් හා අනුගාමිකයන්ගේ කාර්යසාධනය හා ඔවුන් කාලයක් එකට එක්ව කටයුතු කිරීම හා එමගින් කෙරෙන සමාජමය හා බුද්ධිමය බලපෑම අනුවය."
මේ අනුව පෙනෙන්නේ පේරාදෙණිය ගුරුකුලයත් මේ කරුණු අනුව එකී මතවාදය දරන්නන් විසින් නඩත්තු කරන ලද මතවාදීමය කඳවුරක් බව ය. ගුණසේන විතාන වරක් මේ ලියුම්කරු විසින් මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සමඟ කරන ලද සාකච්ඡාවකට පිළිතුරු ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ පේරාදෙණි ගුරුකුලය නමැති සංවිධානයක් තිබුණු බව ය; සමහරු එය පිළිගනිමින් පාපොච්ඡාරණය කළ බවය. 1961 වංශනාථ දේශබන්දු නමින් ලියූ සාහිත්‍ය කොල්ලය නමැති පොත එය පේරාදෙණිය කුලය, පේරාදෙණිය කල්ලිය වශයෙන් හැඳින්වූ බවත් එහි සඳහන් විණි.
මේ පිළිබඳ විශ්වවිද්‍යාල පර්යේෂණයක් හෝ කර නැතැයි විවේචනය කරන්නවුන්ට පිටු 639 ක කෘතියක් ලියූවේ සේන තෝරදෙනිය ලේඛකයා ය. ඔහු ස්වකීය කෘතිය ඔස්සේ මේ පිළිබඳ අදාළ සියලු කරුණු පිළිබඳ පර්යේෂණය කරමින් ඒවා සියල්ල එක ම වේදිකාවක සංගෘහිත කරමින් මේ කෘතිය ලියා තිබේ. පේරාදෙණිය ගුරුකුලය හා ගුරුකුලයක් යන්න ගැන අවඥාවෙන් සිතිය යුතුද යන්නට ලේඛක සේන තෝරදෙනිය පවසන්නේ මෙවැන්නකි.
ලංකාවෙ ගුරුකුල කියන එක සමහරු හෙළා දුටුවා. කේ. එන්. ඕ. ධර්මදාසලා වුණත් හිතුවෙ ගුරුකුලයක් කියන්නේ නිගරු දෙයක් විදියට. පත්තරවලටත් එහෙම කිව්වා. ගුරුකුලය කියන එක නින්දාලාපයක් නොවෙයි. ඒක වැදගත් දෙයක්. ලංකාවෙ ගුරු කුල තියෙනවා. ලෝකයෙත් එහෙමයි. ගුරු කුල තියෙනවා නම් මේ කාලෙ වුණත් මතවාදී වශයෙන් යම් බලපෑමක් කරන්න පුළුවන්. හැම විෂයය ක්ෂේත්‍රයකම මේ වගේ ගුරු කුල තියෙනවා. ගුරුකුල කියන්නෙ තිබිය යුතු දෙයක්. පේරාදෙණි ගුරුකුලයක් තිබුණා කියලා කියන්න අසතුටු ඇයි? මහාචාර්ය ජේ. බී. දිසානායක වුණත් නිතර ප්‍රශ්න කරනවා, කොහෙද එහෙම එකක් තිබුණෙ කියලා. කවුරුත් බෝඩ් ගහගෙන ගුරුකුල පවත්වා ගන්නෙ නෑ.
පේරාදෙණි ගුරුකුලය ගැන මහාචාර්ය සරත් විජේසූරිය දක්වන අදහස් ඇතුළත ද යම් මතභේදාත්මක කරුණු තිබෙන බව පැහැදිලි ය. මහාචාර්යවරයා පේරාදෙණි ගුරුකුලය ඇතිවීමේ ලා බලපෑ හේතු කාරණා මෙසේ සිය මතවාදයට ගොනු කරන්නේ ය.
සරච්චන්ද්‍ර උන්නැහේ නම් කියන්නෙ පේරාදෙණිය ගුරුකුලය කියලා එකක් නොතිබි බවක්. නිර්මාණ පන්ති වැඩමුළු හරහා එකතු වුණු පිරිසක් එයා වටා හිටියා. මේ එකතු වුණු පිරිසට ඔහු විචාරකයෙක් හැටියට යම් යම් අනුග්‍රහ දක්වලා තියෙනවා. මේක නිසා කට්ටිය කොටස්වලට බෙදුණා. මේ පිරිස තමයි මේ ගුරුකුලයක් ලෙස හඳුන්වා ගන්නේ.
සරච්චන්ද්‍ර බලපෑම ගැනත් මහාචාර්ය සරත් විජේසූරිය තවදුරටත් සිය මතවාදය ගෙනහැර දැක්වූයේ ය.
සරච්චන්ද්‍ර කියන්නෙ බලපෑමක් කරන්න පුළුවන් චරිතයක්. ඒ බලපෑම නිසා ඔහුට අනුගාමිකයන් පිරිසක් හැදුණා. නැතිව සරච්චන්ද්‍ර, කුමාරතුංග හෙළ හවුල හැදුවා වගේ උවමනාවෙන් සංවිධානයක් හැදුවෙ නැහැ. ඒ අය තමයි ගුරු පත්වීම් අරගෙන ලංකාව පුරා ගියේ. එතකොට එයාගෙ සාහිත්‍ය ගුරුකුලය තමයි ලංකාව පුරා ව්‍යාප්ත වුණේ. මේ ගුරුකුලය මතභේදයට, ප්‍රශ්නයට නඟන්නෙ මේ කාරණේ නිසානෙ.
පේරාදෙණි ගුරුකුලයෙන් හානියක් ද වුණේ, පෝෂණයක් ද වුණේ යන්න පිළිබඳ ව සේන තෝරදෙණිය දරන්නේ මෙවන් මතවාදයකි.
‘යම් හානිකර තත්ත්ව තිබෙන්නට පුළුවන්. සම්ප්‍රදාන තිබෙන්නත් පුළුවන්. හැබැයි ඒ කාලෙ අඩුම වශයෙන් සාහිත්‍යයක්වත් තිබුණනෙ. දැන් මොනවද තියෙන්නේ. ඒ කාලෙ පාඨක පිරිසක් හිටියා.
පේරාදෙණි ගුරුකුලය නිසා හානියක් සිදු වූ බවට චෝදනා කරන සමහර විචාරකයන් කියන්නෙ එ් හානිය වුණේ නිර්මාණ පැත්තෙන් බවකුයි. මේ ගැන සේන තෝරදෙනිය ලේඛකයාගේ ආස්ථානය මෙවැන්නකි.
‘ඒකට එකඟයි. යම් හානියක් වුණේ නිර්මාණ පැත්තෙන්. නැත්නම් මිනිස්සුන්ගෙ පැත්තෙන් නොවෙයි.
පේරාදෙණි සාහිත්‍යය ප්‍රවේශය හා ගුරුකුලය නිසා නිර්මාණ ඔස්සේ හානියක් සිදු වූයේද යන්නට මහාචාර්ය සරත් විජේසූරියගේ මතවාදය මේ වැනි ය.
‘ඒ කාලෙ ඇත්තටම තාත්විකවාදය කියන එක පැතිරුණු කාලයනෙ. ඔය වගේ දේවල් ලෝකෙ එක එක යුගවල වෙලා තියෙනවා. බටහිර වුණත් ලෝරන්ස්ගෙ සාහිත්‍ය එහෙම ජනප්‍රිය වෙලා තිබුණු කාලෙ ඒවායේ අාභාසය මෙහෙටත් ආවා. පශ්චාත් නුතනවාදය ආවෙත් එහෙමනෙ. මම නම් මේක දකින්නෙ කාලානුරූප ව අනිවාර්ය තත්ත්වයක් කියලයි.
පේරාදෙණි ගුරුකුලය ගැනත් එයින් ඇතිවුණු සාහිත්‍යමය බලපෑම ගැනත් සේන තෝරදෙනිය ලේඛකයා පවසන්නේ මෙවැන්නකි.
ඒ කාලෙ නිර්මාණයකට විශාල පාඨක ප්‍රසාදයක් හා පාඨක ප්‍රමාණයක් හිටියනෙ. මට මතකයි මම පේරාදෙණියෙ ඉන්නකොට නවකතාවක් ගැන දේශනයක් තියෙද්දි ඈත පළාත්වලින් පවා මිනිස්සු එනවා. කලාගාරය පිරිලා. එළියෙ පවා මිනිස්සු. ඒ කාලෙ අවට ගම්වල මිනිස්සු ඒ කියන්නෙ හිඳගල, මායිම් කන්ද, පේරාදෙණිය, උඩ පේරාදෙණිය වගේ ප්‍රදේශවල ඉන්න බුද්ධිමතුන්, පාඨකයන්, ගුරුවරු, රජයේ සේවකයන් වගේ අයත් සහභාගි වෙන්න එනවා. මේ ඩිජිටල් යුගයෙ 50ක්වත් එකතු කරගන්න ලේසිද? බෑනෙ. ඉතින් නිර්මාණකරණයේදී බලපෑමක් වුණේ නෑ කියලා කියන්න බෑ.
ඒ පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය සරත් විජේසූරිය දරන්නේ මෙවැනි අදහසකි.
මේ කාලෙ පේරාදෙණි සාහිත්‍යය තමයි හොඳ කියලා හැම පැත්තෙන් ම අගය කිරීමකට ලක් වුණා. ඒකට බලපෑම් කරපු සාධක තියෙනවා. මේ නිර්මාණ බොහොමයක් විභාගවලටත් නිර්දේශ වුණා. ඒවගේ දේවල්වලින් සාහිත්‍යයට පොඩි ආලෝකයක් ලැබුණා. ජනප්‍රිය වීමක් වුණා. සරච්චන්ද්‍ර පේරාදෙණියෙ ආචාර්යවරයෙක් විදියට එයාගෙ යටතේ පුහුණුව හා අධ්‍යාපනය ලබපු බොහෝ පිරිසක් බිහි වුණානෙ. එයාලා සමාජෙ හැම පැත්තක් ම නියෝජනය කරන පිරිස් බවට පත් වුණා.
නිර්මාණ සාහිත්‍යය බලපෑම සමාජයට කුමන විදියට බලපෑමක් කළාද යන්නට මහාචාර්යවරයාගේ අදහස මෙවැන්නකි.
ඇත්තටම ඒ නිර්මාණ සාහිත්‍යය සමාජයට පිළිගන්න සිද්ධ වුණා. මනමේ, සිංහබාහු වගේ නිර්මාණ විශාල වශයෙන් සමාජගත වුණා.
මාර්ටින් වික්‍රමසිංහ මේ ගැන දරන ආස්ථානය හා මතවාදය ගැනත් අපි අවධානය යොමු කළෙමු. 1961 සිට ම මාර්ටින් වික්‍රමසිංහ ඔහුගේ කෘති ඔස්සේ විශේෂයෙන් ජපන් කාම කතා හෙවණැල්ල කෘතියෙන් ඍජුවත්, විචාරාක්ෂිවත් පේරාදෙණිය ගුරුකුලය හා නිකාය වශයෙන් පරාභවයට ගමන් කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් මේ අනතුරු ඇඟවීම් මුල් කාලයේ පේරාදෙණි ගුරුකුලයේ ඇතැමුන්ගේ සරදමට ලක් විය. පේරාදෙණි ගුරුකුලයට සම්බන්ධ පිරිස් ඉතා හොඳින් සහ ළඟින් ඇසුරු කළ මාර්ටින් වික්‍රමසිංහ ආරම්භයේ සිටම එකී ගුරුකුල ගමන පරාභව ගමනක් බව පෙන්නා දෙන්නට උත්සාහ කළේය. පේරාදෙණි ගුරුකුලයේ ඇත්තන් කිහිප දෙනෙකුගේ නිර්මාණ ඔහු වරින්වර ඍජුවම විවේචනය කළේය. මේ පිළිබඳ අපි සේන තෝරදෙනිය ලේඛකයාගෙන් විමසුවෙමු
‘නවකතාංග හා විරාගය, සිංහල නවකතාව හා ජපන් කාමකතා හෙවණැල්ල කියන කෘති දෙකෙන් තමයි වික්‍රමසිංහ පේරාදෙණි ගුරුකුලයට අන්තිම යකුළු පහර දෙක දුන්නෙ.
1965 දී ඩේලිනිවුස් පුවත්පතට පේරාදෙණිය සිංහල අංශය විවේචනය කරමින් වික්‍රමසිංහ ලිපි ලියන්න පටන් ගත්තා. ඒවගේම සිරි ගුනසිංහ තමා ද පේරාදෙණි නිකායේ සාහිත්‍යකාරයකු ලෙස හැඳින්වීම සදොස් බව සඳහන් කරමින් ‘මම ගුරුකුල බැඳුම් නැත්තෙක් මි. එහෙයින් ගුරුකුල හා නිකාය නොඉවසන්නෙක් ද වෙමි‘ කියලා තමයි ලිව්වෙ.
මාර්ටින් වික්‍රමසිංහ පවසා ඇත්තේ ගෙදරත් ඉංග්‍රීසි කතා කරන සිංහලයෝ සිංහල භාෂා සාහිත්‍ය විචාරකයන්ගේ හා විනිශ්චයකාරයන්ගේ තැන ද ගනිති. ඔවුන් ඉඳහිට වහරන සිංහලය කල්පක සාහිත්‍යයට උචිත බස යැයි සමහරු කියති කියා ය. වික්‍රමසිංහයන් පේරාදෙණි ගුරුකුලය ඇතුළු සියලු ගුරුකුලවලට එල්ල කරන ලද පහරක් මේ ප්‍රකාශයෙන් විද්‍යමාන වේ. නවකතාංග හා විරාගය කෘතියේ සඳහන් මේ ප්‍රකාශය ඔහු කෙතරම් මෙකී පේරාදෙණිය ගුරුකුලය හා මතවාදීමය ගැටුමක සිටියේද යන්න පසක් කරයි.
“ගුණදාස අමරසේකර කාමය හා ස්ත්‍රිය වර්ණනා කරනු පිණිස රචිත පද්‍යාවලි කිහිපයක් ‘අමල් බිසෝ’ පද්‍ය සංග්‍රහයෙහි ඇත. ඔහු ආවේශ වුවකු ලෙස අස්ථානයේ දොඩන්නේ බුදුන් දෙසු මඟත් බෞද්ධ සංස්කෘතියත් අරබයා ඔහුගේ හිසට වැදුණු දුර්මතය නිසාය. විශ්වවිද්‍යාලයේදී මතුරා ජප කරනු ලැබු දුම්මල පහරක් වැන්න ඒ දුර්මතය. ඔහු ගූඪ කාම හැඟීම් කීමට තොවිල් කවි තාල හා අනුප්‍රාස වහල් කොට ගනියි. එය ඔහුගේ කාව්‍ය ශක්තිය හෙළි කරන්නකි. එහෙත් ඔහුගේ පද්‍යාවලි බාලයන් කාමාශාවෙන් නටවන බෙර වැයුමක් වැන්න.”
මේ පිළිබඳ අදහස් දක්වන සරත් විජේසූරිය මහාචාර්යවරයා පවසන්නේ මෙවැන්නකි. ඒ අනුව ඔහු වික්‍රමසිංහ ප්‍රවේශය පිළිබඳ ධනාත්මක අදහසක් දරයි.
සිංහල නවකතාව හා ජපන් කාමකතා හෙවණැල්ල කෘතියෙන් බොහෝදුරට පේරාදෙණි ගුරුකුලයට පහර ගැසීමක්නෙ කෙරුණෙ. ඒක පුද්ගලික ප්‍රශ්නයක්. භාෂා සංස්කෘතික සම්ප්‍රදායට පිටුපා වෙනම සාහිත්‍ය ගුරු කුලයක් ගොඩනඟා ගැනීමෙන් සිදුවන අනර්ථය ගැන පහදා දෙමින් 1957 කාලයේ සිටම මාර්ටින් වික්‍රමසිංහ සරච්චන්ද්‍ර ඇතුළු පිරිසට යම් පහදා දීම් කරමින් සිටියා. කොළඹ යුගයේ කවි සමයට අභියෝග එල්ල කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිරි ගුනසිංහ හා ගුණදාස අමරසේකර මුල්ව නිසදැස් හා නිදහස් කවි ව්‍යාපාරය ආරම්භ කළ අවධියේ වික්‍රමසිංහ ඒ කවි මඟෙහි දුබලතා පෙන්වා දුන්නා.
මාර්ටින් වික්‍රමසිංහ පේරාදෙණි ගුරුකුලය සම්බන්ධයෙන් පැවසූ දෑ සඳහා පුද්ගලික හේතු බලපෑ බව පවසන මහාචාර්යවරයාගේ අදහස සනාථ වෙන යම් කරුණු සරච්චන්ද්‍රගේ පින් ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියෙහි දැක්වෙන අදහස් හා යම් සමපාත බවක් දක්වන බැවින් මෙසේ උපුටා දක්වමි.
“වික්‍රමසිංහ මහතා සමඟ ආශ්‍රය මගේ ඥාන පථය පුළුල් කිරීමට හේතු විය. නිර්මාණ කුසලතාව මෙන්ම ඔහුට බහුශ්‍රැතය ද තිබුණි. මානව විද්‍යාව කෙරෙහි මගේ කුතූහලය ඉපදීමට හේතු වූයේ ඔහු සමඟ කතාබහ කිරීමෙනුත් ඔහුගේ පුස්තකාලයෙහි ඒ පිළිබඳව තුබු පොත් කියවීමෙනුත්ය. රුසියානු සාහිත්‍යයේ දොරටුව ද මට හැර දුන්නේ ඔහුය.”
එමෙන් ම සරච්චන්ද්‍ර ගැන තමන් දැරූ ආස්ථානය ද කොග්ගල මහා ප්‍රඥයා කෘතියේ මාර්ටින් වික්‍රමසිංහ දක්වන්නේ මෙලෙසය.
“ඔහුගේ බහුශ්‍රැත භාවය ගැන මා පුදුම වූ අතර නොයෙකුත් අලුත් පොත්පත් ගැන මට දැන ගන්ට ලැබුණේ ඔහුගෙන් බවද සඳහන් කරනු කැමැත්තෙමි. හැම විෂයයක් ගැනම මෑත සොයා ගන්නා ලද තතු හා මෑත ඉදිරිපත් කරන ලද මතවාද ඔහු මට වඩා මැනවින් දැන සිටියේය. ඔහු සමඟ කතා කරමින් සිට මා ගෙදර යන්නේ මා කෙතරම් අල්පශ්‍රැතයෙක් දැයි යන හැඟීමෙන් යුතුවය.”
මේ කරුණු විමසා බලන කල ගුරුකුල මතවාදීමය ගැටලු තිබුණ ද ඒවා හුදෙක් ශාස්ත්‍රීය මතවාද පමණක් ම වන්නට ඇත. මහාචාර්ය සරත් විජේසූරිය පවසන ආකාරයට මේවා හුදෙක් පුද්ගලික කරුණු නිසා ඇති වූ හෝ පෙන් වූ දෑ වෙන්නට ද හැකිය.
1967 දී මහාචාර්ය ආරිය රාජකරුණා සිළුමිණ ට ලියමින් කියා සිටියේ, "නිසදැස් කාව්‍ය වර්තමාන ලෝකයේ අත්දැකීම් පළැ කිරීමට ඡන්දස් කාව්‍යයට වඩා අතිශයින්ම යෝග්‍ය" ය කියා ය. වික්‍රමසිංහගේ නව පද්‍ය සිංහලය කොළඹ කවීන් කෙරෙහි විවේචනශීලි වුවද, වැදගත් නිරීක්ෂණ රැසක් ගත්තේ විණි. "ඔවුන්ගෙන් සමහරුන්ට විචාර බුද්ධිය දියුණු කළ නොහැකි වූයේ දැනුම ලැබීමට අතෘප්තිකර ආශාවක් ඔවුන් තුළ නොවූ බැවිනි. ලද දැනුමෙන් සතුටු වූ ඇතැම්හු පද්‍ය රචනයට මිස දැනුම ලැබීමට නොවෙහෙසුණෝය" යැයි කීවේය. එනුමුදු තෝරදෙනිය අල්විස් පෙරේරා හා කුඩලිගම අතර සංවාදය නිදසුනට ගෙන ඉහත චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
පේරාදෙණි සාහිත්‍යයට සංස්කෘතික ගැටුම මතු කරලීමට නොහැකි වූ බව තෝරදෙනියගේ ප්‍රධාන චෝදනාවයි. සරච්චන්ද්‍රගේ සාර්ථක නවකතාවලට දක්වන නිදසුන් අනුව පැහැදිලි වන්නේ ඔහු ට රුචි වූයේ ජීවිත පරමාර්ථ පිළිබඳ අවිශ්වාසයෙන්, ආධ්‍යාත්ම තෘප්තියක් නොලබනා චරිත මුල් වූ නවකතා බවයි. තෝරදෙනිය දකිනුයේ දේශපාලන සංවාදයෙන් තොර, සමාජ ගැටුම් නිරූපණයෙන් තොර නවකතාව ව්‍යාජ, ආනයිනික නවකතා ලෙසට ය. පසුකාලීනව වික්‍රමසිංහත්, ඊට වඩා ව්‍යක්ත ලෙස අමරසේකරත් තෝරදෙනියගේ ආස්ථානයට ආසන්න තැනක ඒමත් ඉන්, ඇතුළත වූ සන්ධානය බිඳවැටීමත් මෙහි සිදුව ඇත්තේ ය.
මහාචාර්ය සරත් විජේසූරිය විචාරක ප්‍රවේශයේ සිට පවසන්නේ පේරාදෙණිය ගුරුකුලය නිසා සාහිත්‍යයේ යම් ප්‍රබෝධයක් ඇති වූ බවකි. එය එසේ වුවත් මේ නිසා යම් යටපත් වීමකට හෝ නොතකා හැරීමකට ලක් වූ පාර්ශ්වයක් වෙත්දැයි අපි මහාචාර්යවරයාගෙන් විමසුවෙමු.
‘ මේ නිසා ප්‍රධාන වශයෙන් යටපත් වුණු පාර්ශ්වයක් තමයි කොළඹ කවිය. කොළඹ කවිය විවේචනය කළ දේවල් අරන් බැලුවොත් අපිට හේතු සාධක තියෙනවද ඒක ඉහළට ඔසවන්න කියන එක බලන්න ඕන. අද වුණත් අපි හැරිලා බැලුවොත් අපේ හොඳම නිර්මාණ ටික ගන්න. නවකතාවලින් විරාගය, නාට්‍යවලින් ගත්තොත් සිංහබාහු, සිරි ගුනසිංහගේ, අමරසේකරගෙ කවි වගේ ඒවට ඉහළින් යන්න ඒකාලෙ නිර්මාණ තිබුණද? නැතිනම් අපේ අවධානයෙන් ගිලිහුණු මොනවා හරි තියෙනවාද? කවුරුහරි එහෙම හොයලා පෙන්නුවද? ඒ නිර්මාණ බිහි වුණේ වෙනම බුද්ධිමය ආලෝකයක් සමඟ. විදේශ අධ්‍යාපනය ලබලා, වෙන සාහිත්‍ය සම්ප්‍රදා ඇසුරු කරලා ඒ ශාස්ත්‍රීය පසුබිම් එක්ක තමයි ඒව ඇති වුණේ. අදත් ගුරුකුල හැදෙන්න පුළුවන්නෙ. හැබැයි එහෙම හැදෙන්නෙ නෑ. මොකද්ද හේතුව. විශේෂ බුද්ධියක් තියෙන, ප්‍රඥාවන්ත පුද්ගලයන් එහෙම බිහි වෙන්නෙ නෑ. කුමාරතුංග හිටපු කාලෙ බිහි වෙච්ච සම්ප්‍රදාය එයාගෙන් පස්සෙ මොකද වෙලා තියෙන්නෙ. එයාට වන්දනාමාන කරන පිරිසක් මිසක් අලුත් සම්ප්‍රදායක් ගොඩනඟන අය ඉන්නවද?
පේරාදෙණිය ගුරුකුලය නිසා වෙනත් සම්ප්‍රදා මුළුමනින් ම යටපත් වීමක් සිදු නොවුණු බව මහාචාර්යවරයාගේ මතයයි.
වෙන්නෙ මෙහෙම දෙයක්. ඕනෑම දෙයක් අලුත් ප්‍රවාහයක් ගලා එද්දි පැවතුණු දෙයින් ඈත් වෙනවා හෝ යටපත් වෙනවා. ඒක ඕනෑම තැනක එහෙමයි. මම කැමැති නෑ හානියක් වුණා කියන්න. මම එහෙම තැනක නැහැ.
‘පේරාදෙණිය ගුරුකුලය කියලා පහර ගහන අය ගත්තම එක පැත්තකින් මෙහෙම දෙයක් තියෙනවා. මේකට තිබුණා දකුණෙ බලපෑමකුත්. අමරසේකර දකුණෙ, වික්‍රමසිංහත් දකුණෙ. අනික් පැත්තෙන් ගත්තම සිරි ගුනසිංහ රුවන්වැල්ලෙ. මේවත් ඇතුළෙන් වැඩකරන්න ඇති‘
සේන තෝරදෙනිය ලේඛකයා පවසන්නේ පේරාදෙණි ගුරුකුලය හා බැඳි අයවළුන් යම් යම් සාහිත්‍ය නිර්මාණ ගැන දැක්වූ අදහස්, කාලයත් සමඟ යම් පරස්පරතාවකට ලක් වූ බවකි. 1956 දී සිදු වූ සමාජ ආර්ථික පෙරළිය පේරාදෙණිය සාහිත්‍යය නිසා මතු වූවක් නොවන බවත් සිරි ගුනසිංහගේ පුවත්පත් සාකච්ඡාවක් උපුටා දක්වමින් පනස් හයේ පුනරුදය ව්‍යාජයක් බවත් ඔහු පවසයි.
මහාචාර්යවරයා පවසන්නේ එය සාමාන්‍ය කරුණක් බවයි. කාලයත්, අධ්‍යයන පරාසත්, පරිණත බවත් විසින් එවැනි කාරණා වෙනස් විය හැකි බව ඔහුගේ අදහසයි. එය ඕනෑ ම කෙනකුට විය හැකි පොදු කරුණක් බව ඔහුගේ තර්කයයි.
පේරාදෙණිය ගුරුකුලය බිඳ වැටීමට බලපෑ අභ්‍යන්තර හේතු කාරණා පිළිබඳ ව අවධානය යොමු කරන සේන තෝරදෙනිය ලේඛකයා ඒ පිළිබඳ සිය ආස්ථානය මෙසේ ගොනු කරයි.
සරච්චන්ද්‍ර, සිරි ගුනසිංහ, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර වගේ සාහිත්‍ය නිර්මාණකරුවන් පසුකාලීනව කුලල් කා ගන්නට පටන් ගත්තා. පේරාදෙණි සාහිත්‍යයට එරෙහි ව ප්‍රබල ම විරෝධය මතු වෙන්නේ 1961 ඇරඹුණු සභ්‍ය අසභ්‍ය වාදයත් සමඟ. මේ වාදයට ගිහි පැවිදි පඬිවරු වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා එක් වුණා. ඒත් මේ විරෝධය පේරාදෙණිය ගුරුකුලය සවිමත්ව ස්ථාපිත වෙනකොට පුස් බෝම්බයක් පමණක් බවට පත් වුණා.
මහාචාර්ය සරත් විජේසූරිය පවසන ආකාරයට මේ වැනි ගුරුකුල ගැන කෙරෙන විචාරවලදී මතවාදීමය පාර්ශ්වයට වඩා පුද්ගලික න්‍යාය පත්‍ර බලවත් වන අවස්ථා ඇත.
‘විශ්වවිද්‍යාලෙ ගත්තත් පුද්ගලික මතවාද බොහෝදුරට බලපාන බව පේනවා. හුඟක් තීන්දු තීරණ ගන්නෙ එහෙම. අද වෙන දේවල් බැලුවම එදා වෙන දේවල් සම්බන්ධයෙන් දොසක් කියන්නවත් හිතන්නෙ නෑ. වර්තමානය අන්තිම සවුත්තුයි. එදා මේ දේවල්වලින් ඥාණ සම්භාරයක් ආවනෙ. ඉතින් පේරාදෙණි සාහිත්‍යයෙන් හානියක් වුණා කියලා නම් කියන්න බෑ.
දැන් උදාහරණයක් විදියට හිතන්න නන්දා මාලිනී මුල් කාලේ කොයිතරම් පද රචකයන්ගේ ගීත ගායනා කරලා තියෙනවද කියලා. හැබැයි පසුකාලීන ව ඇය සුනිල් ආරියරත්න ලියන ගීවලට විතරක් සීමා වෙනවා. ඒකෙන් යම්කිසි හානියක් වෙන්න ඇති. හැබැයි එහෙමයි කියලා ඔවුන් කරපු නිර්මාණ ඔක්කොම කුණු කූඩයකට දාලා විසි කරන්නත් බෑනෙ. මේ ඔක්කොම එහෙම තමයි