දිවිමඟ සටහන්
උපන්දිනය - 1944 ජනවාරි 3 වැනිදා
නම - සරත්චන්ද්‍ර ජයකොඩි
පියාගේ නම - දොන් ඩේවිඩ් ජයකොඩි
මවගේ නම - මැසිලින් ගුණසේකර
අධ්‍යාපනය ලැබූ පාසල් - හඳපාන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයෙ, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, කුඩා උඩුව නාලන්දා පිරිවෙන.
උසස් අධ්‍යාපනය - විද්‍යෝදය විශ්වවිද්‍යාලය (1965-1972)
රැකියා - තුනී ලෑලි සංස්ථාව, විධායක නිළධාරී, සිංහල විශ්වකෝෂයේ සහකාර කර්තෘ සහ නියෝජ්‍ය කර්තෘ, ප්‍රධාන කර්තෘ බාහිර කථිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
විවාහය - 1975 ජනවාරි 8 වැනිදා
බිරිය - චන්ද්‍රා පද්මිණී මාන්නප්පෙරුම
දියණිය - චින්තා ජයකොඩි (1976- 2016)
අභාවය - 2009 වසරේ අගෝස්තු 8 වැනිදා
පසු කලෙක සාහිත්‍යවේදියකු වෙන්නට පෙරුම් පිරූ උසස්පෙළ සිසුවෙක් තමන් පාසල හැරදා යන මොහොතේ පන්තියේ කළු ලෑල්ලේ හුනු කූරකින් කවියක් ලියුවේ ය. ඒ කවිය ඒ පාසලේ කෙදිනක හෝ තේමා ගීතය වෙතැයි එදා කිසිවකුත් නොසිතන්නට ඇත. වටිනාකම් එක් වෙන්නේ නොදැනුවත්ව ම ය. ඒ වටිනාකම් විසින් ඇති කරනු ලබන ඵල පුද්ගලයාට ද ඉනික්බිති ඔහු නියෝජනය කරන සමාජයට ද කලක් ඇවෑමෙන් වහනය වෙන්නේ ය. එදා කළු ලෑල්ලේ සිය පාසලට වන ගෞරවාදරය සටහන් කළ සිසුවා පසු කලෙක සාහිත අම්බරය දිදුල වූ සාහිත්‍යවේදියකු වූයේ ය. හොරණ තක්ෂිලාවේ උදෑසන පාසල් ආරම්භයට පෙර ගැයෙන ඒ කවියේ නිර්මාතෘ සිසුවා වූයේ සරත්චන්ද්‍ර ජයකොඩි ය. කවිය මෙපරිදි ය.
සම මෙත් සිතින් ඔබ තුරුලට කතා කොට
ගමනක සුබ ලකුණු පෙන්වූ එදා සිට
හැම සම්පතක් දුන් ඉරහඳ දැකීමට
මම ආදරෙයි කවදත් තක්ෂිලාවට
සිසුන් සිය දහස් ගණනක මුවෙන් නිකුත් වෙන එකී කවියේ පදරුත් සේ ම හේ තක්ෂිලාවට ආදරය කරන්නට ඇත. ඒ ආදරය හා සමාන ව ඔහු පාඨක ආදරය දිනා ගත්තේ ඊට වැඩි කාලයක් ඉක්ම යෑමට ඉනික්බිතිව ය.
සාහිත ක්ෂේත්‍රයේ වෙසෙස් දස්කම් පෑ හෙතෙම පාඨක හද මන රංජනය කළේ ස්වකීය අපූරු භාෂා ශෛලියේ අනුහසිනි. දෙස් විදෙස් සාහිත්‍ය කෘති ඒක භාෂික පාඨකයා වෙනුවෙන් සිංහලට නැඟූ හේ විශිෂ්ට පරිවර්තකයෙකි. තක්ෂිලාවෙන් නික්ම යද්දි පටන් ගත් කවිකම දිනෙන් දින ඔප් නංවා ගත් කවියෙකි. අනාගත පරම්පරාවක් නිර්මාණය කිරීමේ ලා මූලික ව කටයුතු කළ ගුරු තරුවකි. ප්‍රවීණ ජ්‍යෙතිෂවේදියෙකි.
සරත්චන්ද්‍ර ජයකොඩි ලේඛකයාගේ මුල් ම කෘතිය ළමා නිර්මාණයකි. ඒ බින්දු බින්දු මල් නම් ළමා කතාවයි. සිය මුල් ම ළමා නිර්මාණයෙන් රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ හේ අනතුරුව හිත හොඳ හාවා, සාමාගේ කතාව, පිංතාලිය වැනි ළමා නිර්මාණ රැසක් දරුවනට තිළිණ කළේ ය.
සරත්චන්ද්‍ර ජයකොඩි අමතක නොවන මතකයක් ව මා මනසේ තැන්පත් වෙන්නේ පරිවර්තනයක් නිසා ය. විසිවන සියවස මුල් සමයේ මෙරට විසු ඩග්ලස් රැෆල් නම් ඉංග්‍රීසි ජාතිකයා අප රටේ දකුණු ලක වනගත පරිසරයක නේවාසිකව තමන් විඳි අත්දැකීම් අළලා ලියු “ඉන් රුහුණු ජංගල්” නම් කෘතිය රුහුණු වන සැරිය නමින් සිංහලට නඟන්නේ සරත්චන්ද්‍ර ජයකොඩි පරිවර්තකයා ය. මෙය එකල ලිව්වේ පුවත්පතකට කොටස් වශයෙනි. පුවත්පතේ සාහිත්යික අබිමන රැකෙන්නට මේ ලිපිය අනිවාර්ය බලපෑමක් සිද්ධ කළේ ය. මෙකී සාහිත්යික එළැඹුම වෙනුවෙන් ම පුවත්පත් මිලදී ගන්නා එක්තරා පිරිසක් විණි. ඒ පාඨක ප්‍රජාව අතර සරත්චන්ද්‍ර ජයකොඩි නාමය බෙහෙවින් ඇගැයුම් කටයුතු විය.
“අට මසක් පුරා පැවති ඉඩෝරය හමාර කරමින් මෝසම් වැසි සමය ඇරඹුණු සේය. සිවුපාවෝ ද පක්ෂිහු ද ජනයා ද ගලා හැලෙන වැසි දිය දහර නිසා සැනසුමක් ලදහ. මගේ සංඛ්‍යාලේඛන අනුව නියඟය නිසා මේ ප්‍රදේශයේ මියගිය ගවයන්ගේ ගණන 126 කි. මුළු දිස්ත්‍රික්කයේම ගවයන්ගේ සංඛ්‍යාව ගතහොත් දහස් ගණනක් විය හැකිය. එහෙත් ඊළඟ දෙසතිය පුරා වැසි පොදක් ගිලිහුණේ නැත. නැවත ද උෂ්ණත්වය ඉහළ නැංගේ ය. අගලක් පමණ මෝදු වූ මල් පොහොට්ටු මලානිකව අතුරුදහන් වන්නට වන. ඉක්බිති දින කිහිපයක් පැවතියේ ශාන්ත වාතාවරණයකි. සැතපුම් 90 ක පමණ වේගයෙන් හමන “කච්චන් මාරුතය” කෙළවර දුටු සේය. හාත්පස කුතුහලය දනවන නිහැඬියාවක් වැලඳ ගති. දැරිය නොහැකි වූ උණුසුම එළෙසින්ම යළිදු පැවතිණි. සුළඟ නිශ්චල විය.”
සංකල්ප රූප ජනනය කරන විචිත්‍රවත් සාහිත්‍යමය ආලේපිත බස හා විස්තර වර්ණනය මෙය පරිවර්තනයක් යැයි කිසිවිටෙකත් නොදැනෙන තරම් සුලලිත බවෙන් යුතු ය. පරිසරයේ අනුනාදිත ශබ්ද සේම සංසිද්ධීන් ද මනා සංයමකින් යුතු ව ඉදිරිපත් කරන හේ ද්වී භාෂා උගත්කම ඔස්සේ පරපුරක් ඥාණනය කෙරූවෙකි. සිය අවට සංසිද්ධීන් කෙතරම් සිදු වූයේ වුව ද ඒවා අප නිරීක්ෂණයෙන් බොහෝ විට බැහැර පවතින්නේ අප ඒ ගැන දක්වන උනන්දුවේ හීන බව නිසා ය. දෙමලිච්චන් අප සෑම නිවෙසක ම දකින්නට ලැබුණත් අප උන්ගේ දින චර්යාව හා ජීවන සැරිය ගැන අවධානයේ සිට නොමැති බවක් සිතට දැනෙන්නේ මෙවැනි දේ කියවද්දී ය.
“ලංකාවේ දෙමළිච්චන් සැම විටම සත් දෙනෙකුගෙන් යුත් රංචුවක් හැටියට හැසිරෙන බව ප්‍රකට කරුණකි. කවුරුත් ඒ බව දනිති. “සොහොයුරියන් සත් දෙනාගෙ රෑන” යනුවෙන් එය හැඳින්වේ. ඔවුහු සැමවිටම රෑනේ යථෝක්ත සංඛ්‍යාව එලෙසින්ම තබා ගැනීමට උත්සාහ දරති. එහෙත් ඔබ මේ කුරුලු රංචුවෙහි හැසිරීම් රටාව සියුම් ලෙස නිරීක්ෂණය කිරීමට උත්සාහ දැරුවෙහි ද? දිනපතා ඔවුන් මෙසේ රංචු ගැසී නාද නගන්නේ එකම වේලාවකට ය. එනම් පෙරවරු එකොළහේ සිට දොළහ වන තුරු ය.”
හුදු පරිවර්තන ම ය හැකියාවෙන් හා කාර්යයෙන් ඔබ්බට යමින් සරත්චන්ද්‍ර ජයකොඩි වැනි පරිවර්තකයන් කෘති තෝරා ගත්තේ ජාතික, සමාජ හා අධ්‍යාපනික කාර්යබාරයක් සේ සලකමිනි. බොහෝ පරිවර්තකයන් වෙළෙඳපොළ අවශ්‍යතාව පමණක් සලකා ඒ ඕනෑ එපාකම් වෙනුවෙන් කෘති පරිවර්තනය කරද්දී සරත්චන්ද්‍ර ජයකොඩි වැනි ලේඛකයන් සිතුවේ එය සිය යුතුකමක් හා වගකීමක් කියා ය. එබැවින් ඔවුනගේ භූමිකාව වෙසෙසින් ම සමාජීය අවශ්‍යතාව වෙනුවෙන් පෙළ ගැසුණක් විය.
සරත්චන්ද්‍ර ජයකොඩි නිර්මාණ භූමිකාව ගොඩනැගෙන්නේ ශාස්ත්‍රාලීය පසුබිමක් මත ශක්තිමත් පාදමක් සමඟිනි. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකුව ශාස්ත්‍රවේදී උපාධිය හදාරා එහිම සහකාර කථිකාචාර්යවරයකු ලෙස හේ කටයුතු කළේ ය. ඉන්පසු ශ්‍රී ලංකා තුනීලෑලි සංස්ථාවේ පිරිස් කළමනාකරු ලෙස මහජන සේවයට එක්ව, පසුව සංස්කෘතික අමාත්‍යාංශයට සම්බන්ධ වී සිංහල විශ්ව කෝෂයේද ප‍්‍රධාන කර්තෘ ධූරය ඉසුලූ සරත්චන්ද්‍ර ජයකොඩි ලේඛකයා ආචාර්ය උපාධිධාරියෙකි. ඔහු සිය ආචාර්ය පට්ටම භාවිත කිරීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එතරම් ම නිහතමානී හා නිරහංකාර පුද්ගලයකු වූ හේ සිව් භාෂා නිපුණත්වයකින් යුතු භාෂා පඩිවරයකු ද විය. සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත හා දෙමළ ඔහු නිපුන් භාෂා විණි. උපන්දා සිට මියෙන තුරාවට ගමත් - ගැමිකමත් අගය කළ හේ තමන් උපන් ගම ගැන ආඩම්බර වූවෙකි. ගමේ ඇළදොල, වෙළ-ලන්ද ඇසුරේ ගැමියකු ලෙස ජීවත්වීමේ පරම සුවය ගැන තමා උපන් බිම වූ හඳපාන්ගොඩ ග‍්‍රාමය අළලා "තවද එක් සමයෙක" නමින් කෘතියක් ලියන්නේ එකී උපන්ගම වෙනුවෙන් කළගුණ දැක්වීම වෙනුවෙනි.
සරත්චන්ද්‍ර ජයකොඩි පුවත්පත් ලේඛනය වෙනුවෙන් බොහෝ ඇලුම් කෙරූවෙකි. වෘත්තියෙන් පුවත්පත් කලාවේදියකු ලෙස හේ නොබැඳෙන්නේ එහි ඇති වෙහෙසකාරී හා කලබලකාරී බව නිසා ය. සිය සාහිත්‍යමය වගකීම ඉටු කරනු වස් හේ පුවත්පත වාහකයක් කර ගත්තේ ය. සිළුමිණ, දිනමිණ, ලංකාදීප, රිවිර වැනි පුවත්පත් හි හේ නිරන්තරයෙන් සිය ලිපි පළ කළේ සරල, සුගම හා ඖචිත්‍යවත් බසක් භාවිත කරමිනි. සියලුම ජාතික පුවත්පත් පාහේ සරත්චන්ද්‍ර ජයකොඩි ලේඛකයාට ගරු බුහුමන් ව සැලකුවේ ය. සිය පුවත්පතට ඔහුගේ දායකකත්වය අබිමනක් සේ සැලකීය. සතිපතා ඔහු විසින් රචිත නවකතා කොටස්වලට පාඨකයන් අතර තිබුණේ තිර ඉල්ලුමකි. සාහිත්‍යයට අමතර ව ආර්ථික හා සමාජයීය ලිපි ද වරින්වර පුවත්පත්වලට සැපයූ හේ සිය ලේඛන භාවිතය යෙදවූයේ සවිඥානික සමාජයක් වෙනුවෙනි. ග්‍රන්ථකරණයෙන් සිය නාමය පාඨක ප්‍රජාව වෙත ගෙන ආ සරත්චන්ද්‍ර ජයකොඩි ලියූ කෘති සංඛ්‍යාව අල්ප නොවේ.
ප්‍රේමය, විරහව, ස්වභාවධර්මය, පුරාවිද්‍යාව, මනෝවිද්‍යාව, ඉතිහාසය, දර්ශනය, බුද්ධ ධර්මය, අපදාන වැනි වූ විෂය පථ රාශියක් ඔස්සේ කරන ලද නිර්මාණ අතර "බිංදු බිංදු මල්, පිනි කැටය, පුන්කලස, හතහොඳ හාවා, කරළිය රඟදුන් නිදහස් සටන, දයනී, සීවලී මහ රහතන් වහන්සේ, ලූම්බිණියේ සිට කුෂිණාරාවට, ගමේ ඇත්තෝ, ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ, පුලතිසි ගීතය, වයර්ලස් හාමුදුරුවෝ, සිරි දළඳා පුවත, වනතුරු පත්මත ලියූ කවි, සංසාර සිහින, කන්ද කොන්ද කළ මිනිස්සු, අණවින කොඩිවින, ගැටවර, ආදරය, ගම්මැද්දෙන් වන බැද්දට, ආත්මයෙන් ආත්මයට, රයිගම්පුරයේ යශෝගීතය, කුණ්ඩලනී යෝග අභ්‍යාස, යෝගාසන හා විශ්ව ශක්තිය, සන්දර සිංහලී, මගේ දුව එළිසබත්, ත‍්‍රිපිටක යාත‍්‍රා, ලක්දිව සැඟවුන වන කතා සහ මගේ කතාව, මාකෝ පෝලෝ, භාරත යෝග, කුණ්ඩලනී, රුදුරු වනයේ ජීවිතය, වනසතුන් සමඟ සත් වසක්. තවද එක් සමයෙහි ලංකාවේ නටබුන් නගර, ලක්දිව වනසන දඩ කෙළි,මාගේ දේශය හා මාගේ ජනතාව, සිඳු රළ" වැනි කෘති වේ.
හේ නම ගිය ජ්‍යෙතීර්වේදියෙකි. ඕනෑම කෙනකුගේ කේන්දර සටහනක් අතට ගෙන බැලූ පමණින් ඒ පුද්ගලයාගේ ඉතිහාසයත්, වර්තමානයත්, අනාගතයත් තත්පර කිහිපයකදී පැවැසීමට තරම් හේ එකී විෂයය පිළිබඳ පරප්‍රාප්ත විය. රැයක් දවාලක් නැතිව ඇඳී ආ ජනතාවගේ නක්ෂත්‍ර කටයුතු හේ ඉටු කළේ ඒ වෙනුවෙන් සතයක් හෝ නොගෙන ය. කිසිවක් කිසිවකුගෙන් නොගත්තත් තමන් සොයා එන සැමට වෙලාවේ හැටියට බත බුලතින්, තේ පැන්වලින් සංග්‍රහ කිරීමට තරම් හේ කරුණාවන්ත හා පරිත්‍යාගශීලි විය.
සරත්චන්ද්‍ර ජයකොඩි කවියෙකි. ඒ බව කළු ලෑල්ලේ ලියූ කවියෙන් මනාව සනාථ වෙයි. ඔහු හිටිවන කවි කීමේ ප්‍රවීණයෙකි. කවි සංවාදවල නිපුණයෙකි. ඔහුගේ හඬ ළයාන්විත ය. හෙළදිව කවි සම්මේලනයෙහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් හෙළ කවි කලාවට ඔහු කළ මෙහෙවර අගනේ ය. මේ සියලු මෙහෙවර වෙනුවෙන් 2007 ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් “රයිගම් කෝරළාභිමානී සාහිත්‍ය ශිරෝමනී“ ගරු සම්මානය ලබා දුන් අතර, 2008 දී රයිගම් ලේඛක පරපුර හා එක්ව ඔහුට “රයිගම් අභිමන්“ සම්මානයෙන්ද පුදනු ලැබීය.
සිය නාමය පාඨක හදවතේ ගැඹුරු ම තැනක ලියූ සරත්චන්ද්‍ර ලේඛකයා අද ද පාඨක දන මන අතර බෙහෙවින් ආදරයට ගෞරවයට ලක් වෙන ලේඛකයෙකි. මානව හිතවාදියෙකි. සරත්චන්ද්‍ර ජයකොඩි නාමය ශ්‍රී ලාංකික සාහිත්‍ය ක්ෂේත්‍රය අලංකාරවත් කළ අපූරු සැරසිල්ලක් බවට පත් විය. ඉතා අපූරු බස් වහරකින් යුතු ලේඛකයකු ලෙස, ලොව අගනා සාහිත්‍ය කෘති රැසක් සිංහලට දායාද කළ කෘතහස්ත පරිවර්තකයකු ලෙස, පළමු පෙළේ පුවත්පත් කලාවේදියකු ලෙස මෙන්ම කොළඹ යුගයේ විසිතුරු කවි කුලකයට අයත් වූවකු ලෙස ඔහුගේ නම කලා ලොව හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරී තිබේ. නිහඬ ව බොහෝ වැඩ කර නිහඬ ව ම නික්ම ගිය ද ඔහුගේ නාමය දනන් මුවඟ අදටත් රැව් දෙන්නේ ඒ නිසා ය.