පෙර නොවූ විරූ දෑට කියන්නේ ප්‍රතිභාව කියා ය. පෙර නොකියූ දේ කීම ද ප්‍රතිභාවෙහි ම ලා ගැනෙයි. ඇසට කඳුළු නංවන්නට සමත් හදවතින් බිහි වූ කවිය වනාහි තව කෙනකුගේ හදවතක් සුවපත් කරන්නකි. රිදුම, වේදනාව කවියකුට අවශ්‍ය වන්නේ ඒ නිසා ය. කවිය නැමැති මල බිහි කරන ගසට පොහොර වන්නේ කවියා ලබන රිදුමත්, සංවේදනාවත් ය. ඒ රිදුමේ මිහිරි ඵලය විඳින්නේ කාව්‍ය සහෘදයා ය. කවියා කරන්නේ ඒ මිහිරි වින්දනය වෙනුවෙන් සිය හදවත රිදවා ගැනීම ය. ඒ වේදනාවේ ඵලයෙන් තවත් බොහෝ දෙනකුගේ හදවත් සුවපත් කරන්නට කවියාට හැකි වීම ම කාව්‍යයේ උත්තුංග ගුණය ය.
තවත් කෙනකුට ඇසක් දෙන්නට, ලෝකයේ වර්ණවත් බව දකින්නට සිංහල වදන් කෝෂයේ ඇති හොඳ ම හා සංවේදී ම වචන භාවිත කළ කවියකුගේ නමක් සිහිපත් කරන්නේ නම් මුලට ම මතක් වෙන නාමයක් ඇත. එය අන්වර්ත නාමයෙකි. අන්වර්ත නාමයක් තමන්ගේ ඇත්ත නාමයට වඩා ජනප්‍රිය හා ජනගත වන්නට බලපාන හේතු සාධක රැසක් ඇත. තමන් ලෝකයට ඉතිරි කරන්නේ මොනවාද; එයින් ඉදිරි පරම්පරාව කෙතරම් අනුප්‍රාණය ලබන්නේ ද යන්න මේ පිටුපස ඇති රහසයි. මේ කවියා ද එවැන්නෙකි. පරම්පරා ගණනකට හේ සිය නාමය ඇතැඹුලක් සේ ඉතිරි කෙරුවේ ය. කේයස් කියූ විට ලොකු කුඩා බේදයකින් තොර ව සැවොම දන්නේ ඒ නිසා ය.
ගස් මල් බිහි කරති. සුළඟ විත් ඒ මල් සුවඳත්, බීජත් සැම තැන විසිරුවා හරිති. කේයස් හෙවත් සාගර පලන්සූරිය නාමයත් එපරිදි ය. කේයස් නාමය ඔහුගේ අභාවයෙන් දශක හයකටත් වැඩි කලක් ගතවෙද්දීත් සුවඳ හමන්නේ ඒ නිසා ය.
අපාර කාව්‍ය සංසාරේ
කවිරේව ප්‍රජාපතිඃ
කියා ශ්ලෝකයක් තිබේ. මෙහි සිංහල අරුත වන්නේ තෙරක් නොපෙනෙන කවි සසරේ - මහ බඹු කවියා විතරේ යන්න ය. කවියා කියන්නේ ම සංසාරයකි. ඒ සංසාරය යම් සේ ද එපරිද්දෙන් ම හේ රිදුණු, තැවුණු සිත් සනසන්නේ ය. ආදරයෙන් පුරවන්නේ ය. මඟ පෙන්වන්නේ ය. ඉනික්බිති ලෝකයේ සාර සුභාවය අවබෝධ කර දෙන්නේ ය.
කේයස් හෙවත් සාගර පලන්සූරිය නාමය ද කවිය ඉදිරියෙන් ලියැවෙන්නේ එපරිද්දෙනි. හේ අඳ දරුවාට ලෝකය පෙන්වන මහා කරුණ ගුණය රසයක් මෙන් ම මහා වේදනාවක් ද ජනිත කරමින් අප වටා දහසක් සංවේදනා ඉතිරි කරන්නේ ය. අන්ධ ළමයා කාව්‍යයෙන් මේ ගන්නා උපුටනය පොත් දහසක් ලියා වත් ලියා නිම කළ නොහැකි වේදනාවකින් උපන්නක් වන්නේ කවියාගේ වාග්ලංකාරය අප ඉදිරියේ සහකම්පනය කරමිනි. ලියැවෙන වචනයක් පාසා දුකත්, ආදරයත් එහි තැවරී ඇති සෙයකි. බොහෝ කාව්‍ය සහෘදයන්ගේ ආදරයට ලක් වූ ටෙනිසන් කවියා ලියූ Enoch Arden නම් කාව්‍ය පන්තියේ ප්‍රතිනිර්මාණයක් ලෙස බිහිවෙන එය පාසල් පෙළ පොත්හි ද අන්තර්ගත වූවකි.
මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මෙ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා
මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද
ඒවා මොළොක් බව තේරෙනවා මට
එළියක් කියා මොකවත් හෙම තියෙනවද
මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද...
කොළඹ යුගයේ දෙවැනි පරපුර නියෝජනය කරන සාගර පලන්සූරිය කවියාගේ කාව්‍ය අනුභූති සකස් වෙන්නේ පරිසරයට ඔහු දැක්වූ ආදරයේ හා ගෞරවයේ දැවටී ය. තමන් සමඟ එකට ජීවිතය ගෙවන නිර්ව්‍යාජ ගැමියන්ගේ ජීවන තොරතුරු ඔහුගේ කාව්‍යත්වයට ද නිර්ව්‍යාජ බවක් එක් කළේ ය. පැසුණු මිනිසුන් ළඟ රන් හා සමාන වාක් කෝෂයකුත්, අත්දැකීම් ගොන්නකුත් ඇති බැව් හේ මනාව දැන සිටියේ ය. කඩපිල් ළඟ, බස් නැවතුම්වල මෙන් ම හේනේ කුඹුරේ කරක් ගසන ඔහු ඒ ලබා ගන්නා අනුභූති පෙරළන්නේ අපමණ කාව්‍යත්වයෙන් පෝෂිත වදන්වලට ය. කැලෑ කොළේ ගතවුණු ළමා කාලය විසින් ඔහුට ලබා දුන් අව්‍යාජත්වයට හේ අගයක් දුන්නේ කවියෙනි. බඩ වැටි, ඕවිටි, වෙල් දෙණි, ලඳු කැලෑ, කඳු ගැට, දිය ඇලි ආදියේ දැවටෙමින් ද කළු ගඟේ ශාඛාවක් වූ කුඩා නදියේ කිමිදෙමින් ද ගත කළ සුන්දර ළමා විය දරා ගැනීම මෙන් ම ජීවිතයේ අනන්ත අප්‍රමාණ දහම ද ඔහුට පසක් කළේ ය. ග්‍රාමීය පරිසරයේ අතිශය දරිද්‍රතාවෙන් පීඩා වින්ද ද ලැබුණු ජීවිතය සතුටෙන් බාර ගන්නට ඔහු සතු වූ ශක්තිය සොබාදහමෙන් ලැබුණකි. ඒ දරා ගැනීම එක්තරා විටෙකදී ඔහුට තිළිණ කළේ පැවිදි ජීවිතය ය. දුරස්ථ ඥාතිවරයකු වූ මාදම්පේ පන්සලේ ලොකු හාමුදුරුවන් යටතේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන හේ ඉන්පසුව ඩිංගිරි මහත්තයා වෙනුවට අමතන්නේ කළල්ඇල්ලේ පේමානන්ද හිමි නාමයෙනි. ඔහුගේ උප්පැන්න සහතිකයේ සඳහන් නාමය වූයේ පලන්සූරිය මොහොට්ටාළලාගේ ඩිංගිරි මහත්තයා ලෙස ය.
ඇත්ඔය පැණනිස්ස හිමිගේ මඟ පෙන්වීම යටතේ සිංහල භාෂාව, සාහිත්‍ය, සංස්කෘතිය, දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාව හැදෑරු කළල්ඇල්ලේ පේමානන්ද හිමි ට විද්‍යාලංකාර පිරිවෙනේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා අවස්ථාව හිමි වන්නේ පැවිදි දිවියට ඇතුළත් වීම නිසා ය. උසස් අධ්‍යාපනය සඳහා කොළඹට එන කළල්ඇල්ලේ පේමානන්ද හිමි උපැවිදි වන්නේ ඒ අතර ය. එහෙත් සිය අධ්‍යාපන කටයුතු නවත්වන්නට ඔහුට අවැසි වෙන්නේ නැත. පිරිවෙන් අධ්‍යාපනයේ හා ඉංග්‍රීසි අධ්‍යාපන කටයුතුවල දිගින් දිගට ම නිරත වෙන ඩිංගිරි මහත්තයා තරුණයා ට ඉංග්‍රීසි ගුරු පුහුණු විදුහලට ඇතුළත් වීමට අවස්ථාව ලැබෙයි. මේ අවදියේ රටේ පැවැති ශාස්ත්‍රීය ආලෝකයේ සෙවණැල්ල මේ තරුණයා මතට ද වැටෙයි. මෙකල සිංහල පුවත්පත් සඟරා ආදිය පළ වීමේ මාර්ගය පෑදී තිබිණි. ස්වදේශීය මිත්‍රයා, සිංහල ජාතිය, කැඩපත, කවි කිරුළ, ආදී පුවත්පත් හා සඟරා සංස්කාරකවරු සමඟ ඩිංගිරි මහත්තයා තරුණයාගේ ඇසුර ඔහුගේ ජීවිතයට අරුණැල්ලක් විය.
ඒ අතර ඉන්දියාවේ ශාන්ති නිකේතනයට යන්නට ලැබෙන ස්වර්ණමය අවස්ථාව ඔහු මඟ හැර ගන්නේ නැත. කොළඹ යුගයේ ප්‍රකට කවීන් වූ ආනන්ද රාජකාරුණා, එස්. මහින්ද හිමි සහ ජී. එච්. පෙරේරා වැන්නවුන් ඔහුට මුණ ගැසෙන්නේ ශාන්ති නිකේතනය දී ය. 1937 දී නැවත ලංකාවට පැමිණ කේයස් නමින් දිගින් දිගට ම නිර්මාණකරණයේ යෙදෙන අතර ම; කොළඹ විද්‍යෝදය පිරිවෙන, ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ද ස්වකීය රාජකාරී ජීවිතයේ නිරත විණි. මේ කාලයේ දී ම දිනමිණ, සිළුමිණ, සිංහල බෞද්ධයා සහ සිංහල ජාතිය වැනි පුවත්පත්වලට කවි ලියූ කේයස්, මීමන ප්‍රේමතිලක, යූ. ඒ. එස්. පෙරේරා සහ බඹරකොටුවේ සුධර්ම හිමි වැනි ප්‍රවීණ කවීන්ගේ අභාසය ද තම කුසලතා ඔප් නැංවීමට යොදා ගත්තේ ය.
කළල්ඇල්ලේ ආනන්ද සාගර නමින් නැවත පැවිදි දිවියට ඇතුළත් වෙන ඔහු දේශපාලන කටයුතු සඳහා ද සිය දායකත්වය දෙන්නේ ඒ පිළිබඳ මනා ව හැදෑරීමෙන් අනතුරු ව ය. දේශපාලනයට භික්ෂූ සහභාගීත්වය කෙසේ විය යුතු ද යන්න ගැන උන්වහන්සේ ගේ විශේෂ අවධානයට ලක් වෙයි. වල්පොල රාහුල හිමි ඇතුළු පෙරමුණේ මුල්තැන ගත් සාගර හිමි ට චතුර කථිකත්වයත්, නෛසර්ගික කවිත්වයත් මනා පිටුබලයක් විණි. භික්ෂූ ජීවිතයක් ගත කරන අතරතුරදී දේශපාලනයට සම්බන්ධ වෙමින් පීඩිත ජනතාවගේ ගැටලු පිළිබඳවත්, කම්කරු අයිතිවාසිකම් පිළිබඳවත් සටන් කළේ ය. සමාජවාදී නැඹුරුවක් තිබුණේ වුව ද දේශීය බව හා සිංහලකමටත්, බෞද්ධාගමිකකමත් යටපත් කරන්නට උන්වහන්සේගෙන් ඉඩක් ලැබුණේ නැත.
යළිත් උපැවිදි වෙන මේ කවියා නැවත ජනතාව අතරට එන්නේ සාගර පලන්සූරිය ලෙසිනි. අනතුරුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ඔහු එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ යටතේ තරග වැදෙයි. 1956 දී හොරණ ආසනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ජයග්‍රහණය කරන සාගර පලන්සූරිය දුප්පත් ගොවීන්ගේ මතු යහපත සහ මධ්‍යම පාන්තිකයන්ගේ ශුභසාධනය කෙරෙහි උනන්දුවක් දැක් වූයේ ය. වාමාංශික දේශපාලන කෙරෙහි ඔහුගේ පැවති කැමැත්ත නිසා ම ඔහු සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ අතර දේශපාලන දිවියේ ඔහුගේ සමීපතමයන් වූයේ ටිකිරි බණ්ඩා සුබසිංහ, ටී. බී. ඉලංගරත්න, කේ. එම්. පී. රාජරත්න සහ නිමල් කරුණාතිලක වැනි අයයි. 1959 වර්ෂයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව ඔහුගේ මන්ත්‍රී ධූරය ඉබේ ම අහෝසි විණි.
කොපමණ වැඩ තිබුණත්, කොපමණ දෑ කළත් කේයස් අතින් කවිය මග හැරෙන්නේ නැත. සොබාදහමත් ජීවන දහමත් එකසේ කලතා කාව්‍ය රසිකයන්ට මී බිඳුවන් කවි තිළිණ කළ ඔහුගේ කවියේ ශුංගාරය යෙදුණේ බෙහෙවින් චමත්කාරජනක ලෙසිනි. මාතර යුගයේදී ග්‍රාම්‍යත්වයට බර වූ සිංහල පද්‍ය කලාව සංයත ශුංගාර කවිත්වයක් බවට පත් කිරීමේ උපස්ථම්භකයන් අතර සාගර පලන්සූරිය කවියා ද වෙයි. නොපැසුණු අනවශ්‍ය වාගාලංකාර වෙනුවට පැරණි සිංහල සාහිත්‍යයේ මෙන් ම බටහිර කාව්‍යයන්හි ද පෝෂණය ලැබූ සාගර පලන්සූරියගේ කවි සංයත ය. නූතන පද්‍යයට ශුංගාර රසය සරල බවෙන් හා සංයත බවෙන් එක් කළ ඔහුගේ අව්‍යාජ බවට මේ කවිය මනා නිදර්ශනයකි.
බඩ වැටි මල් පඳුරු මුඩු බිම් පිසිමින් නේ
කටුරොද ගම්මානයට මද නල එන් නේ
පුර පසළොස්වකට පුන් සඳ පායන් නේ
මැණිකේ නිසා බව ටික දෙනෙකුයි දන් නේ
පායන පුන් සඳක් මෙන් වැසි වට සැණිනි
නා ගෙන ගෙදර එන මේ සුන්දර තරුණි
කුඹුරෙන් ගඟට යන මඩ ගෑවුණ ගතිනි
අදිරිට මගදි සැන්දෑවක මුණ ගැසුනි
ශුංගාරාත්මක කාව්‍යකරණයේදී බොහෝ කවීන් අසාර්ථක වූයේ එයට ගැළපෙන සංයත බසක් තෝරා ගැනීමට අසමත් වීමෙනි. එහෙත් හිරු බැස යන සන්ධ්‍යාවේ කේයස් අදිරිට හීන් මැණිකේ මුණ ගස්වන අපූරුව කෙතරම් ශුංගාරාත්මක ද? එහෙත් එහි ම දැවටුණු සංයමය කෙතරම් ද? ඇතැම් කවීන් නොදැමුණු හැඟීම් ඇවිස්සීමේ ලා අසංවර බසක් භාවිත කරන අයුරු ඔබ දැක, විඳ ඇතුවාට සැක නැත. මේ චෝදනාවෙන් කේයස් කිසිවිටෙකත් ගැරහුම් නොලබන කවියෙකි. තරුණියන්ගේ අඟපසඟ වර්ණනයට වඩා තමා භාවිත බසෙහි භාවික ගුණය ඔස්සේ ධ්වනිතාර්ථවත් බසක් මඟින් සිය හැඟීම් ජනනය කරන ඔහු සිය ජිවිතයෙන් ම නිවුණේ විණි. මැණිකේ ගේ ලස්සන හා පරිසරයේ ලස්සන ඒකාත්මික ව විඳින අපිට ඇගේ නොකැළැල් සුන්දරත්වය විඳින්නේ නිරාමිස ව ය.
කේයස්ගේ පරිණාමාහි හමුවන ජිවිතයේ පොදු දහම පිළිබඳ වන නියතියත් තාරුණ්‍යයේ ශුංගාරයත් එකසේ සුසංයෝග ය. කිරි මුහුද, රන්තුරුව, වනමල් ආදී පරිසරයේ සොබාදම් නිමැවුම් සේ ම පවිත්‍රත්වයේ සුන්දරත්වය ද එහි නොඅඩුව අන්තර්ගත ය.
දහඩිය පෙරාගෙන මහ දහවල ගින්නේ
වැලිබත් උයන අවදියේ ගෙයි පිළිකන්නේ
මා ඇය දුටුව බව ඇය කොහොමද දන්නේ
හඳ වාගෙයි එදා ඈ බැබළුණු පින්නේ
ඇගෙ නෙත් කොනින් ආ මඳලස වැද පිපුණු
වනමල් ගැන කීහ සමහර ගම ගැහැනු
ඇගෙ කටහඬින් ඉපනැලි තුළ ගොනු ගැසුණූ
සුමිහිරි තාල කවදාවත් නැත නැසෙනු
කේයස්ගේ කවිත්වයෙහි සැඟවුණු ශුංගාරය නර්මාලාප සේ සිතිවිලි අවුස්සන කවියන්ගේ කවිවල සමහර විට අන්තර්ගත වී නැතැයි විචාරයකයන් කියන්නේ ඒ නිසා ය. ගැමි මුවට හුරු වදන්වලින් යුතුව උපමා උපමේයයන්ගෙන් අලංකෘත මේ නිර්මාණ කේයස් ජීවමානව සිටියදී මෙන් ම ඔහු සමුගෙන ගොස් දශක 6ක් ගෙවී යන අද පවා ජනතාව මුවඟ රැව් පිළිරැව් දෙන්නේ ය. රජවරු, උපාසකයන්, මහල්ලන්, ගොවීන්, ධීවරයන්, කම්කරුවන් ආදී විවිධ මාදිලියේ චරිත ඔහුට මග හැරුණේ නැත.
කවි මඟ සුමට නැත. පොදු ජනයාගේ කවියකු වීම කොහොමත් අසීරු ය. මිය ගිය ද නොමියෙන නාමයක් කෙනකුට ඉතිරි වෙන්නේ නම් හේ අමරණීය ය. තම කවි මඟ ඔස්සේ ජීවන දහමත්, සොබාදහමත් එකට කලතන්නේ යමෙක් ද ඔහු අමරණීය වෙයි. කේයස් නම් ආදරණීය නාමයෙන් හැඳින්වූ සාගර පලන්සූරිය කවියා අදටත් ජීවමාන සේයාවෙන් අප හා සරන්නේ මෙකී ගුණය නොඅඩුව පළ කළ නිර්මාණකරුවකු නිසා ය.