සාහිත්‍යය හා අනෙකුත් කලාවන් පමණ මගේ ජීවිතයට ළංවූ අන් කිසිවක් බාහිර ලෝකයේ නැති තරම්ය එවායේ වස්තු විෂය නම් මගේත් මා දන්නා නො දන්නා අනෙකුත් අයගේත් ජීවිතමයි. මට හරි හැටි තේරුම් ගන්ට අමාරුත් මා මෙතරම් හොඳින් දන්නා කියන ජීවිතය ම යි.
මහාචාර්ය සුචරිත ගම්ලත් සාහිත්‍ය ලෝකය හා සැබෑ ලෝකය ලියමින් කියන්නේ එහෙමය. ජීවිතයේ බොහෝ දේ හමු වේ. සමහර අය අප ළඟ රැඳේ. සමහරු නික්ම යන්නේ පෑල දොරෙනි. ඉඳහිට සුහඳ වෙන්වීම් ද හමු වේ. ජීවිතය මේ සියල්ලේ එකතුවකි. ඒ විඳීම් විඳවීම් නියමාකාරයෙන් සිය ජිවිතයට ගන්නා අය වෙතොත් ඒ කලාකරුවන් ය. ඒ අන් කිසිවකින් ලොව කලාව ඔස්සේ ම ය.
පැරැන්නන් එළඹ ගත් න්‍යායික ආස්ථාන නමැති පියගැටපෙළ ඉසුඹුලනු නොයෙදේ කියන්නේ අභිනවගුප්ත ය. ඒ පැරැන්නන් ඉසුඹු නොලද මාවත් දිගේ පියනඟන්නට බොහෝ අය අකැමැති ය. එහෙත් ඒ මඟ අවබෝධයෙන් හා නිරීක්ෂණයෙන් යුතු ව යන්නන් ද නැත්තේ නොවේ. පෙරපර දෙදිගත්, නූතන හා පුරාතනයත්, කවි මඟ සේ ම ගද්‍ය මඟත් එකසේ සුරු ව සැරූ මහැදුරු සුචරිත ගම්ලතුන් ගේ ලිවිසැරිය මේ සියල්ලෙන් ලද අනුප්‍රාණයෙන් සජ්ජිත හා රසාලිප්ත වූවකි.
සුචරිත ගම්ලතුන් එක්තරා ආකාරයකින් ලංකාවේ සංස්කෘතික හා දේශපාලන එකිනෙකට වෙනස් ආස්ථාන දෙකක් එකතු වූ ලක්ෂ්‍යයකි. පාලි, සංස්කෘත භාෂා අධ්‍යයනය කර පෙරදිග කලා සාහිත්‍ය හදාරා ලංකාවේ වාමාංශික ව්‍යාපාරය හරහා මාක්ස්වාදී බුද්ධි සම්ප්‍රදායට එක් වීම ම විශේෂත්වයකි. මේ අංශ දෙකෙහි ම මෙතරම් ම සුරු වූ යමෙක් ගැන අප මතකයට එන්නේ නැත. ඒ අනුව ලංකාවේ පුරෝගාමී විකල්ප සංස්කෘතික බුද්ධිමතා වන්නේ ඔහු ය.
හැටේ දශකයේ මුල සුචරිත ගම්ලත් පේරාදෙණිය සරසවියේ දීප්තිමත් ශිෂ්‍යයකුව සිටි අවදියේ සිය ගුරුවරයා වූ එදිරිවීර සරච්චන්ද්‍ර යටතේ සාහිත්‍ය කලා රසවින්දනය උගත්තේය. අනතුරුව සහකාර කථිකාචාර්යවරයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එන ගම්ලත් කව්සිළුමිණ විචාරය කරන්නේ එකල විද්‍යාර්ථීන්ගේ නොමඳ ආදරයට ලක් වෙමිනි. සිසුන් අතර අතිශය ජනාදරයට ලක් වූ මේ දේශන මාලාව පසුව ග්‍රන්ථයක් සේ නිකුත් වූ අතර, එය කව්සිළුමිණ විනිස නම් විය. හොඳ සහෘදයකු නම් කව්සිළුමිණ විනිස කියැවූ කෙනකු විය යුතු බැව් මහැදුරු සරච්චන්ද්‍රයෝ එකල කියූ බව පැරැන්නෝ පවසති.
ආචාර්ය උපාධියට ලන්ඩන් බලා යන ගම්ලතුන් මුලින් ම පත්ව එන්නේ කොළඹ විශ්වවිද්‍යාලය ට ය. අනතුරුව හේ ටික කලෙකින් නැවත පේරාදෙණිය බලා යන්නේ ය.
සුචරිත ගම්ලත් භාවිත බස සුමියුරු වූවෙකි. එය අත්‍යන්තයෙන් ම සුපෝෂිත බසකි. අධ්‍යයනය හා අභ්‍යාසය එහි අලංකාරය වර්ධනය කළේ ය. ඔහුගේ න්‍යායික ආස්‌ථානය කුමක් වුවත් පොදුවේ අප දකින න්‍යාත්මක මාක්‌ස්‌වාදියකු ලෙස අපට ඔහු පෙනී නොගියේ ඒ නිසා ය. සිංහල, පාලි, සංස්‌කෘත මිණි පත්ලෙන් ගරා ගත්, තෝරා ගත් නියම වචන නියම තැනට යෙදීමේ අපූරු හැකියාවක්, සුවිශේෂ කුසලතාවක් හේ සතු විණි. ඔහු මාක්ස්වාදීන් යැයි අප හඳුනාගන්නා බහුතරයකගෙන් වෙනස් මඟක් ගත්තෙකි. රස භාව කලතන මියුරු බස ඔස්සේ ඔහු පාඨක දන මන රංජනය කළේ ය. සියුම් පාරිභාෂිත වදන් හදාරමින් හා ඒවා නිසි පරිදි නිසි අයුරෙන් යොදමින් හේ සිංහලයේ සුලලිත බව මනාව ඔප් නැංවූවේ ය. ඒ ඔස්සේ නව වදන් නිපදවමින් සිංහලය පෝෂණය කළේ ය.
ඔහු කෙතරම් පෝෂිත අයෙක් වුව ද අදාළ පාඨක කණ්ඩායමට ලිවීමේ දී එය කෙසේ ලිවිය යුතුද යන්න ගැන මැනවින් දැනුම්වත් වූවෙක් විය. ගී මිණි ආර ලිපි පෙළ ඊට කදිම උදාහරණයකි. වියත් අවියත් දෙපිරිසගේ ම මන රංජනය වෙන අයුරෙන් හේ ලියන්නේ රස නුසුන් නොකොට ය. ගැඹුරු දෑ සරල ව හා සුගම ව ඉදිරිපත් කරන්නේ යම් සේ ද යන්නට හේ තරම් නිදර්ශනයක් නැති තරම් ය. බසෙහි දරිද්‍රතාව නිසා පාඨකයන්ට එපා වෙන බොහෝ දෑ ගම්ලතුන් අතින් ලියැවෙද්දි එහි මනෝරම්‍ය බව නිසා ම බොහෝ පාඨකයන් වැලඳ ගත්තේ ය. සංස්කෘත වැනි පෙරදිග භාෂාවන් ද ඉංග‍්‍රීසි, ලතින් වැනි අපරදිග භාෂාවන් ද ගැඹුරෙන් හදාරා තිබූ ඔහු සිංහල භාෂාවේ ද අමතක නොවන සුළු ප්‍රවීණත්වයක් දැක්වූවේ ඒ ලෙසිනි.
ගම්ලතුන් භාෂාවේ ස්‌ථර තුනක් පෙන්වා දෙති. ඒ එදිනෙදා කතා කරන භාෂාව, විද්‍යාත්මක භාෂාව හා කාව්‍යමය භාෂාව වශයෙනි. ඒ පිළිබඳ ව ඔහු ඉදිරිපත් කරන මතවාදය මෙවැන්නකි.
‘මෙහිදී විද්‍යාත්මක භාෂාව නොතකා හැර කතා කරමු. කතා කරන භාෂාව යනු මිනිසුන්ට එදිනෙදා ජීවිතයේදී උනුන් අතර අදහස් හුවමාරු කරගැනීමට තිබෙන උපකරණය යි. එය ඉගෙනීම සඳහා විශේෂ මහන්සියක් දැරීම අවශ්‍ය නො වන්නේ ය.
කාව්‍යමය භාෂාව යනු ඈත අතීතයේ ගල්ලෙන්වල වාසය කළ කාලයේ පටන් මිනිසා හැඟීම් පැවසීම සඳහා භාවිත කළ සුභාවිත කළ, සම්භාවිත කළ, බහුලීකෘත කළ, වර්ධනය කළ, සංවර්ධනය කළ උපකරණය යි.’
අප භාවිත බස ගැන හේ ඉදිරිපත් කළ මතවාද සමහරුන්ට දිරවූයේ නැත. ඔවුහු ඒවාට විවිධ අර්ථකථන ඉදිරිපත් කළහ. වරක් ඔහුගේ විචාරක භූමිකාව ගැන කියූයේ දෙන්නම් බැටේ විචාර කලාව කියා ය. දෙන්නම් බැටේ විචාරය යැයි කියූ ඒ විචාර එකල පිට කසා ගන්නා විචාර කලාවට වඩා බෙහෙවින් අර්ථාන්විත හා දැනුම් පූර්ණ විය. එක වචනයක් හෝ අපත යැවිය නොහැකි තරම් සෑම වදනක් ම එහි රසභාව ඉහළ නැංවූයේ ය.
මහැදුරු ගම්ලතුන් විසින් ලියා පළ කරන ලද කෘති සංඛ්‍යාව සියය ඉක්මවයි. විවිධ මාතෘකා යටතේ ලියැවුණු ඒවා එකක් පරයා අනෙකට නැඟී සිටින්නට අවස්ථාවක් නැති විශිෂ්ට කෘති වෙයි. ඒ අතරෙනුත් විශිෂ්ටත ම කෘතියක් සේ බුද්ධ චරිතය හැඳින්විය හැකිය. බුද්ධ චරිතය විශ්ලේෂණාත්මක ලෙස ඉදිරිපත් වෙන මෙහි තුලිත බව අප විශ්මයට පත් කරවන සුළු ය. එය පොදු ආකාරයේ චරිත කතාවකට එහා ගිය තර්කානුකූල ඉදිරිපත් කිරීමකි. සිව් කොටසකින් සමන්විත මෙහි සිය අරමුණ ගැන හේ මෙසේ සඳහන් කරයි.
“මෙහි පළ වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ චරිතා-පදානයකි.
ඉංගිරිසිය නොකියවිය හැකි හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා මෙය රචිතයි.
බුදුසමය නන් වැදෑරුම් රූපයෙන් ගණිකා වෘත්තියේ යෙදැවෙන අද දින සැබෑ බුදුන් වහන්සේ නම් කවරහු ද’යි පෙන්වා දීම අත්‍යවශ්‍ය ය’යි හැඟුණෙන් මෙය ලිවීමි.”
සියල්ල පරතෙරට දත් ඔහුගේ ශාස්ත්‍රවන්තභාවයට අමතර වශයෙන් මාක්ස්වාදියකු මෙන් ම භෞතිකවාදියකු ද වීම ඔහුටම අනන්‍ය සාධාරණ වූවකි. ඉතින් එබඳු පුද්ගලයකු විසින් සංග්‍රහ කරන ලද බුද්ධ චරිතය එසේ තර්කානුකූල වීම අත්‍යවශ්‍ය ය. එය සුචරිත ගම්ලත් නම් මාක්ස්වාදී චින්තකයාගේ සැබෑ අනන්‍යතාව හෙළි කෙරෙන කෘතියක් බව අවිවාදිත ය. දශක එකහමාරකට වැඩි කාලයක් තිස්සේ ගී මිණි ආර සන්දේශයේ ගලා යෑමට ඉඩ හළ හේ සුභාවිත ගීතයේ අරුත් නිරුත් පිරිපහදු කළේ මහත් රුචියකිනි. ගීත ම ය බස කවරාකාරද ඒ වැනිම සුලලිත බසකින් ගද්‍ය වියමන් කළ හේ ඒ ගීත ඔස්සේ අපට පෙන්වූ මාවත් සාරගර්භ හා රස පූර්ණ විය.
ඔහුට කිසිදිනෙක ජාතිවාදයක් ගැන හැඟීමක් තිබුණේ නැත. රට පුරා විශ්වවිද්‍යාල ගණනාවක ම සේවය කළ සුචරිත ගම්ලත් මහාචාර්යවරයා වරක් යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධානියා වශයෙන් පත් කෙරිණි.
1977 දී දෙමළ ජනතාව විසූ ප්‍රදේශයකට පළමු වතාවට ගමන් ගත් සිංහල කථිකාචාර්යවරුන් වූ, මටත්, ධර්මසේන පතිරාජටත් - මහාචාර්ය සුචරිත ගම්ලත් පරමාදර්ශී චරිතයක් විය යනුවෙන් ඔහු සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයක් පවසන්නේ මේ සියලු බහුශ්‍රැත කම් සේ ම විචක්ෂණ හා නිරීක්ෂණශීලි භාවිතය නිසා ය.
කම්කරු බලය ගැන ඔහුට තිබුණේ අචල විශ්වාසයකි. වියතුන් හා ප්‍රභූන්ට සින්න වී තිබූ සාහිත වින්දනය පොදු ජනතාව අතරට ගෙන ඒමේ හේ ප්‍රමුඛ ව ක්‍රියා කළේ ය. එය ලේඛනයට දේශනයට සීමා නොකළ ඔහු ක්‍රියාකාරීව වාමාංශික දේශපාලනයේ නියැළී සිටියේය. විශ්ව විද්‍යාල පරිපාලනය ගැන රාජ්‍යයේ මර්දනකාරී ක්‍රියාකාරිත්වය නිබඳව ප්‍රශ්න කළ මහාචාර්ය ගම්ලත් අවුරුදු ගණනාවක්ම සේවය අත්හිටුවා විශ්වවිද්‍යාලයෙන් 1979දී පිටමන් කෙරිණ.
1966 වර්ෂයේ වැඩි දුර අධ්‍යාපනය සඳහා ලන්ඩන් සරසවියට ගොස් ප්‍රාචීන හා ප්‍රතිචීන දර්ශනවාදය, දාර්ශනික මනෝවිද්‍යාව හා බටහිර සෞන්දර්ය විද්‍යාව හදාරා පෙරළා පැමිණි ගම්ලත්, 1971 දී ‘‘සාහිත්‍ය ලෝකය හා සැබෑ ලෝකය’’ රචනා කළේ ය. අනතුරුව සාහිත්‍ය විචාරය හා මාක්ස්වාදී විකට රූප නම් කෘතිය පාඨකයන්ට තිළිණ කරන හේ එහි සාහිත්‍ය ලෝකයේ සැබෑ ස්වරූපය ගැන මෙසේ කියයි. ඒවා ඔහුට පමණක් නොව අප සැමට ම පොදු කරුණු කාරණා ය. එහෙත් ඒ කිසිවක් ඔහුට තරම් ලස්සනට අපට කිව නොහැකි ය.
‘‘මේ අනුව සාහිත්‍ය කෘතියක් ගැන ඕනෑ ම කෙනෙකුන්ට ඕනෑ ම දෙයක් කිව හැකි ය. ඒ කියන දේවල් ඒවා කියන පුද්ගලයන්ගේ පෞද්ගලික අනුභූති ය. ඒ සෑම එකක් ම එක සේ සප‍්‍රමාණ වෙයි. මේ නම් අනිකක් නො ව පරම ආත්මීය විඤ්ඤාණවාදය යි. ලෝකය යනු මගේ මනසේ පවත්නා ලෝකය විනා අන් දෙයක් නො වේ ය යනු මේ දාර්ශනික ගුරුකුලයේ මූලික ප්‍රතිස්ඨාව යි. ඔබේ මනසේ පවත්නා ලෝකය කුමක් වුව ඉන් මට කම් නැත. මගේ මනසේ පවත්නා ලෝකය ගැන ඔබට ද එසේ ම ය.’’
සාහිත්‍ය ගැන ඇතැඹුලක් සේ දැන බොහෝ දෑ පාඨක ලොවට තිළිණ කළ ඔහුගේ අග්‍රගණ්‍ය පර්යේෂණය සේ පොදු පාඨක ප්‍රජාවගේ බුහුමනට ලක් වූයේ 2009 දී මුද්‍රණද්වාරයෙන් එළි දුටු ඉංග්‍රීසි සිංහල මහා ශබ්ද කෝෂයයි. සිය ජීවිත කාලයෙන් හතරෙන් පංගුවකට වැඩි කලක් ඒ කටයුත්ත වෙනුවෙන් වැය කළ ගම්ලතුන් ඒ හා සමඟම එළැඹි අනෙක් ශාස්ත්‍ර කාර්යය වූයේ සිංහල - දමිළ - ඉංග්‍රීසි ත්‍රෛභාෂා ශබ්ද කෝෂයයි. ඔහු හා ඒ කටයුත්තේ නියැළී මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි ඊට කෙටි කලකට පෙර දිවියෙන් සමු ගත්තේ ය. සිය ජීවිතය ම කලාව, සාහිත්‍ය හා දේශපාලනය වෙනුවෙන් කැප කළ ඔහු සිය අවසන් කාලය ගත කළේ එක්තරා කලකිරීමකිනි. රූප මාධ්‍යයේ ඔහු නිතර පෙනුනෙක් නොවේ. එහෙත් පාඨක මනසෙහි ඔහුගේ සොඳුරු රුව නොමැකෙන සේ සිත්තම් වී තිබේ.
විශ්වවිද්‍යාල සිසුන් දහස් ගණනකට ශිල්ප ඥානය දානය කළ ගම්ලත් මහාචාර්යවරයා ගැන බොහෝ දෙනා වැරදි ආකල්ප දැරූයේ දැයි සිතේ. එහෙත් ඔහු ළඟින් ඇසුරු කළෝ දන්නා එක් සත්‍යයක් වෙති. ශාස්ත්‍ර තර්කනයේදී ඔහු කෙතරම් අදීන වූවකු ද යන්න ගැන ශාස්ත්‍රවන්තයෝ හා ශාස්ත්‍රලාභීහු දනිති. තමා දැරූ මතයේ හේ සැබෑ ලෙස ම දැඩි ව රැඳී සිටියේ ය. සැබෑ ජීවිතයේදී ඔහු අතිශය නිරහංකාර හා අහිංසක පුද්ගලයකු විය. එය ඇසුරු කළෝ දනිති. සිය දැනුම හා පාණ්ඩිත්‍ය ඔහුගේ ලේඛනවල බෙහෙවින් ප්‍රකට වුවත් සැබෑ ජීවිතයේ හේ බෙහෙවින් සරල රසකාමියකු විය.
බහුවිධ විෂය ක්‌ෂේත්‍ර ස්‌පර්ශ කෙරෙමින් සම්පරීක්‌ෂණයෙහි යෙදෙමින් ඔහු ලියූ ශාස්‌ත්‍රීය ග්‍රන්ථ බොහෝ ය. ගම්ලතුන්ගේ පන්හිඳ තෙළිතුඩක් බවට පත් වූයේ රසික සිත් වර්ණ ගැන්වීමට ය. මාක්‌ස්‌වාදී ආස්‌ථානයක් නියෝජනය කළ ද ගම්ලතුන්ගේ සිත ලෝකයේ සෞන්දර්යාත්මක හා දාර්ශනික චින්තාවනට ශුෂ්ක බිමක් වූයේ නැත. ලියොන් ට්‍රොට්‌ස්‌කි හා සාහිත්‍යකලා, ට්‍රොට්‌ස්‌කිවාදය, මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා කෘති අතරට බුද්ධ චරිතය, අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිතය, වෙස්‌සන්තර ජාතක කාව්‍ය හා යසෝදරාවත ද එක් වූයේ මේ අනුව ය. මේ සම්ප්‍රදායන් අප වෙත ලබා දී ඇත්තේ ගම්ලතුන්ගේ චිරකාලීන ශාස්‌ත්‍රීය ගවේෂණ හා ඒවායින් ලද සුපෝෂණය යි.
මහාචාර්ය ගම්ලත් ජීවතුන් අතර සිටියදී ඔහු ගැන කතා නොකළ අය පවා ඔහු නාමශේෂභාවෝපගත වූ පසු බොහෝ මතවාද ඉදිරිපත් කළහ. ඒවා සමහරක් බොහෝ ද්වේශ සහගත ද විණි. මතයක දැඩි ව එල්බ සිටින්නේ කවරෙක් ද, නිර්භය ව තම මතවාදය ඉදිරිපත් කරන්නේ කවරෙක්ද ඔහු විවේචනයට ලක් වීම වැළැක්විය නොහැකි ය. ඒ සමාජයේ හැටි ය.
ඒ ගැන ජීවතුන් අතර සිටියදී ම උපහාසයෙන් යුතු ව සුචරිත ගම්ලත් මහාචාර්යවරයා බැලූ අයුරු පෙනෙන්නේ ඔහු ම ලියූ බොහෝ විවේචනයට ලක් වූ කෘතිය වෙන මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා ඔස්සේ ය. රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කිගේ අභාවයෙන් පසු සෝවියට් ජනමාධ්‍ය හැසිරුණු ආකාරය ගැන එහි සඳහන් මේ උපහාසය කෙතරම් නිර්මාණශීලී ද යන්න බලන්න.
සෝවියට් පුවත්පත්, සඟරා දැන් මිය ගිය ලේඛකයාගේ තවමත් උණුසුම් රූපකාය මත අසීමිත කීර්ති ප්‍රශංසා කඳු ගසයි. ඒවායෙහි ඔහු වර්ණනා කෙරෙන්නේ ‘ශ්‍රේෂ්ඨතම සුධීමතා’ ලෙස ය.
මේ වර්ගයේ කිත් පැසසුම් තම ජීවිත කාලයේදී තමාට කෙරුණේ නම් ගොර්කි ඒවා දෙස රවා බලන්ට බොහෝ සෙයින් ඉඩ තිබිණි.
මහාචාර්ය සුචරිත ගම්ලත් ගැන කියන්නට ඇත්තේ ද එපමණකි.