මාතර පහක් මැරූ හයක් එල්ලුම් ගස් | Page 4 | සිළුමිණ

මාතර පහක් මැරූ හයක් එල්ලුම් ගස්

තීන්දු­වෙන් පසු අධි­ක­රණ භූමි­යෙන් පිටත රැස්ව සිටි පිරිස
තීන්දු­වෙන් පසු අධි­ක­රණ භූමි­යෙන් පිටත රැස්ව සිටි පිරිස

 

ටි සිතේ ලියලන වෛරය තුළින් තවකකුගේ ජීවිතය විනාශ කරනවා සේම තමන්ගේ ද ජීවිත විනාශ කර ගන්නා අවස්ථා ද අපි අසා ඇත්තෙමු. එහි අලුත්ම කතාව අසන්නට ලැබුණේ පසුගිය 30 වැනි දිනයි. ඒ මාතර මහ අධිකරණයේදී ඝාතකයන් හයදෙනකු සඳහා මරණ දඬුවම ලබාදුන් අවස්ථාවේදීය.

 

වසර විසි දෙකක් පුරා ක්‍රියාත්මක වූ නඩුවක තීන්දුව මත දකුණේ ව්‍යාපාරිකයන් පිරිසකට එලෙස මරණ දඬුවම නියම වෙද්දි එකී තීන්දුවට තුඩුදුන් සිද්ධිය ද මෙරට ඝාතන ලැයිත්තු අතරට එක්වූ සුවිශේෂීතම සිදුවීමකි.

ඒ දෙදහස වසරේ නොවැම්බර් මස 14 වැනිදාය. දෙවිනුවර පදිංචිව සිටි පිරිසක් පෙරවරු කාලයේදී මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා සහභාගී වීමට වෑන් රථයකින් ගමන් කරමින් සිටියහ. කලක සිට ආරම්භවී සිද්ධියෙන් සිද්ධියට ව්‍යාප්ත වෙමින් තිබූ ආරවුලක කොටස්කරුවන්වූ මෙම පිරිස එදින තමන් සොයා මාරයා එන බව හීනෙකින්වත් නොසිතා ඒ ගමනට එක්ව සිටියේය. එහෙත් දින කීපයක සිට සිදුකරන ලද සැලසුමක ප්‍රතිඵල ලෙස අවි අමෝරාගත් පිරිසක් වෑන් රථයේ එන පිරිස මරු තුරුලට යැවීමට මාන බලමින් සිටියේ ලියලා වැඩෙන වෛරය ද සමඟිනි.

තීන්දු­වෙන් පසු වර­ද­ක­රු­වන්ගේ ඥාතීන්ගේ වැලපීම්

දෙවිනුවර වරාය දෙස සිට පැමිණි වෑන් රථය දෙවිනුවර පරණ ඔරලෝසු කණුව (වර්තමානයේ බුදු පිළිමය පිහිටි ස්ථානය) දෙසින් වෙලේගොඩ හන්දිය දෙසට ළඟාවෙද්දී මාර්ගය හරස් කළ මැරයන් වෑන් රථයේ ගමන් කළ පිරිසට දිගට හරහට වෙඩි පිට වෙඩි තබන්නට වූයේ ඇසිපිය හෙළන්නටවත් ඉඩක් ලබා නොදෙමිනි. දෙවිනුවර වෙලේගොඩ ප්‍රදේශයේ ජනතාව නොනවත්වා ඇසුණු වෙඩි හඬින් බියෙන් තැති ගනිද්දී මාතර මහේස්ත්‍රාත් අධිකරණය බලා යමින් සිටි වෑන් රථයේ සිටි හයදෙනකු ලේ ගංගාවක් මත එකා පිට එකා වැටී සිටියේය. වෙඩි තැබූ පුද්ගලයන් ක්ෂණයකින් ප්‍රදේශයෙන් පලා යද්දී සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගම්වැසියන් තුවාලකරුවන් පිරිස මාතර මහ රෝහලට පිටත් කර හැරිය ද වෙඩි තැබීමෙන් ලත් තුවාලවලින් පස්දෙනකු මෙලොව හැරගොස් සිටි අතර එක් අයෙකු බරපතළ තුවාල ලබා සිටියේය.

අදාළ සිදුවීම වන අවස්ථාව වන විට ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි සේනාපති ද සිල්වා ඝාතකයන් සොයා වහා මෙහෙයුම් දියත් කළ අතර දින කීපයක් පුරා සිදුකරන ලද මෙහෙයුම් වල ප්‍රතිඵලයක් ලෙස ඝාතනයට සෘජුවම සම්බන්ධ හා ඊට අනුබල දීමේ චෝදනාව මත පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බණ්ධනාගාර ගත කරන ලද අතර පසුකාලීව එම සැකකරුවන් ඇප මත පැමිණ තම රැකියා හ ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටියේ කිසිදු ක්‍රියාවක් සිදු නොවූ පරිද්දෙනි. ඒ අතර දෙදහස වසරේ සිට 2010 වසර දක්වා මාතර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ ක්‍රියාත්මක වූ නඩුව එතැන් සිට විභාග කටයුතු සඳහා යොමු කෙරුණේ මාතර මහ අධිකරණය වෙතයි. ඒ අනුව 2010 වසරේ සිට මහ අධිකරණ විනිසුරුවරුන් කීපදෙනකු යටතේ විභාගයට ගැනුණ නඩුව වසර 22 කට පසුව පසුගිය 30 වැනි දින විභාගයට ගැනුණේ මහ අධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් යටතේය. එදින වන විට තීන්දුවට අවශ්‍ය සියලු පිඹුරුපත් සැකසී තිබුණි. ඒ වනවිට ඝාතනවල සැකකරුවන්ට ඒ පිළිබඳ අත්දැකීමෙන් මෙන් දැනී තිබෙන්නට ඇත. ඔවුන්ගේ හැසිරීම් රටා ඒ බව පසක් කළේය. මෙම සැකකරුවන් අතරින් දෙදෙනකු මහ අධිකරණය වෙත රැඟෙන ආවේ රක්ෂිත බන්ධනාගාරයේ සිටය. ඒ මීට මාසයකට පමණ පෙර වෙනත් නඩුවක සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටීම නිසයි.

තීන්දු­වෙන් පසු වර­ද­ක­රු­වන්ගේ ඥාතීන්ගේ වැලපීම්

එදින පෙරවරුවේ නඩුව විභාගයට ගනිද්දි සැකකරුවන් පහළොස්දෙනකු සඳහා චෝදනා ගොනුකර තිබු අතර ඉන් හතරදෙනකු ඒ වන විටත් මියගොස් සිටියේය.

පෙරවරුවේ නඩුව කැඳවන ලද අතර එහි වැඩිදුර විභාගය දහවල් දොළහට අරඹන බව පවසා නඩුව කල්තබන ලද අතර මධ්‍යහන දොළහට නඩුව යළි කැඳවූයේ පිරිසකගේ හිත් බියෙන් හා ගින්නෙන් දැවෙමින් තිබියදීය. ගන්දර පොලීසියේ වාර්තා අනුව සැකකරුවන් වෙත චෝදනා අනූ නවයක් ගොනුකර තිබු අතර තීන්දුවට පෙර මුල් චෝදනා උසාවියේ මුඩ්ලියර් තැන විසින් ප්‍රකාශ කිරීමෙන් පසු මහ අධිකරණ ශාලාවේ දොරවල් වසා විදුලිය නිවී යද්දි චෝදනා ලැබ සිටයවුන්ගේ හිතේ ඇති නොසන්සුන්කාරී බව දෑස්වල රැඳී තිබුණේය.

අඳුර අතරේ මහ අධිකරණ විනිසුරුතුමන් තින්දුව ප්‍රකාශයට පත්කරණ අවස්ථාව වන එය දැකබලා ගන්නට අධිකරණයේ කාර්ය මණ්ඩලය අධිකරණ ශාලාව දෙසට පැමිණි අතර සියල්ලන්ගේම නෙත් සිත් පුදුමයෙන් පිරී තිබුණේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ ඇති පෙර අවබෝධය ද සමඟිනි.

ඒ සමඟින් මහ අධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් විසින් තීන්දුව ප්‍රකාශයට පත්කළ අතර ඉන් කියවුණේ ඝාතන චෝදනාවන්ට වැරදිකරුවන්වූ හයදෙනෙකු සඳහා මරණ දඬුවම ලබාදෙන බවයි. එයට අමතරව චෝදනා ලැබ සිටි සැකකරුවන් පස්දෙනකු නිදොස්කොට නිදහස් කරන බව ද තීන්දුවේ සඳහන් විය. මෙයට අමතරව නඩුවේ පළමු චෝදනාවට එක් අයකුට රුපියල් දසදහස බැගින්වූ දඩයක් ද එය නොගෙවන්නේ නම් මාස හයක සිරදඬුවම් හා හත්වන චෝදනාවට වසර දෙකක බරපතළ සිරදඬුවම් හා එක් අයකුට රුපියල් දසදහස බැගින් දඩ ද නියම කළ අතර ඝාතන සිදුවන අවස්ථාවේදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයාට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කෙරිණි. එය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරඬුවම් ද නියම කරන බව තීන්දුවේ සඳහන් විය.

මෙලෙස මරණ දඬුවම නියමවී ඇත්තේ නාරාතොට හේවගේ තමිල් අජිත් කුමාර නොහොත් දෙවිනුවර චමිල්, මද්දුමපටබැඳගේ සුමිත් කුමාර, සෞන්ද්‍රාහැන්නදිගේ චමින්ද, අබේරත්න මාගම්පත්තු මහ විදානගේ නාමල්, අබේරත්න වීරසේකර පටබැඳිගේ රොෂාන් දිල්රුක්ෂ, අබේරත්න වීරසේකර පටබැඳිගේ නිශාන්ත නොහොත් චමී යන පුද්ගලයන්ටය.

ගන්දර පොලීසියේ වාර්තාවන්ට අනුව කියවුණේ මෙම පිරිසෙන් එක් අයකු හැර අන් සියලුම දෙනා ප්‍රකට ව්‍යාපාරිකයන් බවයි. එමෙන්ම මෑත ඉතිහාසයේ මාතරදී ලබාදුන් ප්‍රබලතම නඩු තීන්දුව බව ද ඉන් කියැවිණි.

ගන්දර පොලීසියේ වත්මන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේශබන්දු සේනාරත්නගේ උපදෙස් මත පොලිස් සැරයන් 2257 විකුම්නායක විසින් නඩුවේ සාක්ෂි මෙහෙයවීය.

 

 

Comments