පේරාදෙණිය එකලු කර පඬිවරුන්ටත් ගුරු වූ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි | සිළුමිණ

පේරාදෙණිය එකලු කර පඬිවරුන්ටත් ගුරු වූ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි

සාම්ප්‍රදායික ව්‍යාකරණයට සීමා නොවී ඓතිහාසික වාග් විද්‍යාවේ නව අංශ සොයා ගිය විද්වතකු වෙයි. සිංහල කතා ව්‍යාවහාරයට අදාළ උප භාෂා හැදෑරීමට විශේෂ උනන්දුවක් දැක්වූ හේ වාග් විද්‍යා විෂයයට අදාළ වචන කෝෂවල පරිණාමය පිළිබඳ විශේෂ ඇල්මක් දැක්වූයේ ය. උප භාෂා හැදෑරීමට ඔහු උනන්දු වෙන්නේ මේ නිසා ය. ස්වකීය උනන්දුව කොතෙක් ද යත් වාග් විද්‍යා විෂයයට අදාළ වචන කෝෂවල පරිණාමය හේ අධ්‍යයනය කළේ ය. මේ කෙටි විස්තරය දකින ඔබට මා කියන්නට යන විද්වත් ප්‍රාමාණිකයා කවරෙක්ද යන්න ගැන අවබෝධයක් ඇති වනු නිසැක ය. හේ මෙරට භාෂාව ගැන, වාග් විද්‍යාව ගැන කතා කරන ඇසිල්ලක කෙසේවත් මඟ හැර යා නොහැකි විද්වතකු වශයෙන් සම්භාවනාවට පාත්‍ර වන මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි ය. 

‘ලංකාවේ මුහුදුබඩ ඇතැම් පෙදෙස්වල සිංහල හා දෙමළ දෙක ම සංමිශ්‍රිත ස්වරූපයකින් ව්‍යවහාර කෙරේ. මෙසේ ලංකාවේ නොයෙක් පෙදෙස්වල ව්‍යවහාර වන්නා වූ ප්‍රාදේශික භාෂා ව්‍යවහාර පිළිබඳ පර්යේෂණයක යෙදී සිටින අපට ඉතා අගනා තොරතුරු රැසක් ලැබී තිබේ.

සමහර පළාත්වල ‘කුරුල්ලා’, ‘ලෙලි ගැහීම’ වැනි වචන අසභ්‍ය ප්‍රයෝග සේ ගනු ලැබේ. ‘මෝට බසු’, ‘මෝට ගේදොර කාපිය’ වැනි ප්‍රයෝග ඇතැම් පළාත්වල භාවිතය අනුව ඉතා අසභ්‍ය කියුම් වේ. ගෑනු ළමයකු වැඩිවිය පැමිණීම හෙවත් මල්වර වීම යන අදහස නොයෙක් පළාත්වල නොයෙක් පරිද්දෙන් ප්‍රකාශ කරනු ලැබේ. ඒ අරුතෙහි මේ තාක් අපට අසන්ට ලැබී ඇති ප්‍රයෝග නම්: ඉණ පිළී කිලිටු වීම, පිල හොඳ වීම, වැඩි යොග්ග වීම, බැදි පැනීම, ලොකු මහත් වීම හෝ ලොකු වීම, අහක් වීම යනු යි‘

1968 වර්ෂයේ දී පළ කළ විද්‍යෝදය සාහිත්‍යය අප්‍රේල් මස සඟරාවට සිංහලයේ උපභාෂා අධ්‍යයනය නමින් ලිපියක් යොමු කරන මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි පවසන්නේ එසේ ය. එකී ලිපියේ ලංකාව පුරා විසිරී පවතින භාෂාත්මක වෙනස්කම් ගැන සඳහන් ය. එකී පර්යේෂණ නිසා මේ උප භාෂා අපට ඉතිරි වී තිබේ.

වරක් මහාචාර්ය හෙට්ටිආරච්චි අව්‍ය පද හා යුගල පද ගැන විමර්ශනයක් කළේ ය. ඔහු කියන්නේ බඩු මුට්ටු කියා කියන්නේ යුගල පදයක් බවයි. සාමාන්‍යයෙන් බඩු කියන වචනය සිංහල භාෂාවේ කිසියම් භාණ්ඩයක් ගැන කිවීමට යොදා ගන්නා වචනයයි. ඒ සමඟ කියැවෙන යුගල පදය වෙන මුට්ටු යන්න දෙමළ වචනයකි. මේ වචන දෙකේ අරුත එකකි. දෙමළ භාෂාව ඉගෙන ගන්නට හේ සිය අවසාන කාලේ කැප කරන ලද්දේ ද මේ පිපාසාව නිසා ය. ඔහු භාෂා 13ක් දැන සිටියේ ය. සිංහල, පාලි, සංස්කෘත, හින්දි, ගුජරාටි, ද්‍රවිඩ, වංග, මරාටි යන පෙරදිග භාෂා මෙන් ම, ඉංග්‍රීසි ලන්දේසි, පෘතුගීසි යන අපරදිග භාෂා ද ඔහු ප්‍රගුණ කොට තිබිණි. එනිසා ම මේවායේ එන විවිධ අරුත් නිරුත් සම්බන්ධ කරන්නට ඔහුට තිබුණේ මනා හැකියාවකි. සිංහලයේ වචන කෝෂය විකාශනය වූයේ කෙසේද යන්න ගැන හේ මනා ව අධ්‍යයනය කළේ ය. සිංහල යුගල පදවලට දෙමළ, හින්දි, පෘතුග්‍රීසි, ඕලන්ද හා ඉංග්‍රීසි වචන මිශ්‍ර වී ඇතැයි ඔහු කියන්නේ ඒ මත පිහිටා ය.

මෙකී භාෂා පටුත්වය නිසා දෝ ඔහු පුරාණ ග්‍රන්ථ සංස්කරණයට විශේෂ ඇල්මක් දැක්වූයේ ය. එනිසා මහාචාර්ය හෙට්ටිආරච්චි අර්ථ ව්‍යාඛ්‍යාන රචනාවේ ලා වෙසෙස් ඇල්මක් දැක්වී ය. පූජාවලියේ මුල් පරිච්ඡේද එකොළහ ඇතුළත් පුජාවලිය සම සංස්කරණය ඔහුගේ මුල්ම ග්‍රන්ථයයි. ඔහු සමඟ මේ කාර්යයේ නිමග්න වූයේ ඩී. සී. දිසානායක ය. ඔහු විසින් තනිව රචිත පළමු ග්‍රන්ථය පැරණි දඹදිව සාහිත්‍යය කෘතියයි. වෙසතුරු දා සන්නය ත් එසේ රචිත කෘතියකි. ඔහුගේ ව්‍යායාමය වූයේ පුරාතන ග්‍රන්ථ නැවත පරිශීලනය සඳහා අනාගත පරපුරට දායාද කිරීමයි. මහාචාර්ය හෙට්ටිආරච්චි තනිව මෙන් ම, වෙනත් ලේඛකයන්ගේ සහාය ඇතිව ග්‍රන්ථ විස්සකට වැඩි සංඛ්‍යාවක් පළ කළේය. 1936 දී හේ චාර්ල්ස් කාටර්ගේ ඉංග්‍රීසි සිංහල අකාරාදියේ සංශෝධිත සංස්කරණයකට සහාය වූයේ ය. මහාචාර්ය හෙට්ටිආරච්චි හා කථිකාචාර්ය එම්. ශ්‍රී රම්මණ්ඩල එකතුව ජාතක අටුවා ගැටපදය (ද්විතීය භාගය) 1960 වර්ෂයේ දී සංස්කරණය කොට පළ කළහ. 1974 හෙට්ටිආරච්චි ධම්පියා අටුවා ගැටපදය සංස්කරණය කළේය. එපමණක් නොව පියදාස නිශ්ශංක හා එක්ව ඔහු ශාකුන්තලයේ පරිවර්තනයක් ශකුන්තලා නමින් 1962 දී පළ කළේය. වඩාත් ම කතාබහට ලක්වෙන හා දැනටත් පුනර් මුද්‍රණය වෙමින් පවතින ඔහුගේ සිංහල සිරිත් සංග්‍රහය පළ වෙන්නේ 1979 දී ය. ප්‍රවීණ ලේඛක ආනන්ද අමරසිරි වරක් මේ කෘතියේ පුනර් මුද්‍රණයක් සිදුවූ අවස්ථාවේ එහි වටිනාකම ගැන මෙසේ පවසා තිබිණි.

“සිංහල, බෞද්ධ සමාජයේ පොදු විඤ්ඤාණය කෙබදු දැයි වටහා ගනු පිණිස සමාජ විද්‍යාඥයන් විසින් කරනු ලබන සෘජු පර්යේෂණ අල්ප යැයි සිතන්නට සිදුවන අවස්ථාවක මෙවන් කෘතියක් යළි මුද්‍රණය කිරීම සාධු සම්මත ක්‍රියාවකැයි හැඟේ. වඩා ශිෂ්ටාචාරවත් සමාජයක් වෙත ගමන් කිරීමේදී ජන සමාජයේ කුල ක්‍රමය වැනි ප්‍රාථමික ව්‍යුහයක ස්වභාවය කවරේදැයි දැන ගනු පිණිස මේ කෘතිය මහඟු අත්වැලකි.”

ඔහුගේ සේවාව මුළුමනින් ම පාහේ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයටත් කෝෂ ග්‍රන්ථ සම්පාදනයටත් වෙන්ව තිබුණු බව මෙකී ගමන්මඟේදී පැහැදිලි ව පෙනෙන බව සත්‍යයකි.

මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි ද්විත්ව ආචාර්ය උපාධිධාරියෙකි. 1944 වසරේදී ‘සිංහල ස්වරයන්හි ඉතිහාසය‘ පිළිබඳ නිබන්ධනයට කල්කටා විශ්වවිද්‍යාලයෙන් සිය අචාර්ය උපාධිය හිමිකර ගත් ඔහු නැවත 1948 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පැරණි සිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යය පිළිබඳ නිබන්ධයට ආචාර්ය උපාධිය හිමිකර ගත්තේ ය. ඔහු පුරාණ ග්‍රන්ථ සංස්කරණයට සුවිශේෂ ඇල්මක් දැක්වූයේ ය. අර්ථ ව්‍යාඛ්‍යාන සම්පාදනයේ ලා හේ සුරුකම් පාන්නේ එනිසා ය. පුරාතන සිංහල සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණයට අමතර ව, සිංහල භාෂාව, ව්‍යාකරණ හා නූතන වාග්විද්‍යාත්මක ක්ෂේත්‍රයන්හි ප්‍රගමනයට කැපවූ විද්වතකු වශයෙන් හේ ගමන් ගත් මඟ සැකසෙන්නේ ඒ අයුරෙනි.

ඩී. ඊ. හෙට්ටිආරච්චි චරිතය ගොඩනැංවීමේ ලා එකල ප්‍රමාණික විද්වතුන් සේ සම්භාවනාවට පත් ඩී. බී. ජයතිලක, ජුලියස් ද ලැනරෝල්, එම්. ඩී. රත්නසූරිය, ගුණපාල මලලසේකර යන මානවහිතවාදී ප්‍රාමාණිකයන්ගේ බලපෑම ලැබිණි. ශාස්ත්‍ර ඥානය මතු නොව ඔහු වෙතින් ප්‍රකාශ වුණු ජීවිත-ශාස්ත්‍ර විනයටද පදනම සැකසෙන්නට ඇත්තේ ද වියත් සඟ ඇසුරෙහි ලද ශික්ෂණයෙන් විය යුතුය. එනිසා ම සිංහල විශ්ව කෝෂයේ පෝෂණය සඳහා මහාචාර්ය හෙට්ටිආරච්චිගෙන් ලැබුණු සහාය විශ්වාසයට ගත් හිටපු ස්වදේශ කටයුතු අමාත්‍යවරයකු වූ ඒ. රත්නායකගේ යෝජනාවක් අනුව විශ්වකෝෂය නැවත ලිවීමට පටන් ගත්තේ ය. ඒ 1955 වසරේදී මහාචාර්ය හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙනි. සිංහල විශ්වකෝෂය නිම කිරීම ඔහුට එතරම් අභියෝගයක් නොවූයේ හැදෑරීම ගුරු කරගත් නිසා ය. නව වචනයක් හමු වූ විට කුසගින්නේ සිටියකුට දානයක් ලැබුණා සේ තුටු වෙන ඔහු එහි අරුත් නිරුත් සොයන්නට පෙලඹෙයි. පිටු 750 බැගින් කාණ්ඩ පහළොවකින් යුත් විශ්වකෝෂයක් සම්පාදනය කිරීමට එදා යෝජනා වී තිබිණ. 1977 - 1979 දක්වා කාලය වන විට පිටු 672 බැගින් යුත් කාණ්ඩ වශයෙන් නිකුත් කර තිබුණේ ශබ්දකෝෂයේ තුනෙන් එකක් පමණි. හෙට්ටිආරච්චි ඇතුළු කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම හේතුවෙන් 1983 වනවිට කාණ්ඩ හයක් නිකුත් කෙරිණි.

විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ පදවිය හොබවන ලද සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි විවිධ ගුරුකුල සම්ප්‍රදායන්ට අයත් විද්වතුන්ගේ සේවය විශ්වකෝෂයට ලබා ගැනීමට තරම් දූරදර්ශී මනසකින් යුත් ශාස්ත්‍රඥයෙක් විය. එපමණක් නොව විශ්වවිද්‍යාල භූමිය බුද්ධිමය සංවාදවලට සුදුසු වටපිටාවක් කිරීමේ ව්‍යාවෘත වන්නට ද මහාචාර්ය හෙට්ටිආරච්චි මූලිකත්වය ගත්තේ ය. ඩොරික්ද සූසා, පිංතු පියතුමා, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය සරච්චන්ද්‍ර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න, මහාචාර්ය කේ. ඇන්. ජයතිලක වැනි උගත්හු එකල විශ්වවිද්‍යාලය සංවාද භූමියක් බවට පත් කිරීමේ මූලිකත්වය ගත්තේ ය. ඔහු වෙතින් විහිදෙන දීප්තිමත් ශාස්ත්‍ර ප්‍රභා මණ්ඩලයට පසුබිම සැකසීමේ ලා මේ සියල්ල උපස්ථම්භක විය.

1944 දී සිංහල අංශයට හෙට්ටිආරච්චි අනුයුක්ත කෙරිණ. ඒ අංශයේ එවකට සිටි ප්‍රධානියා වූ මහාචාර්ය එම්. ඩී. රත්නසූරියගේ මාර්ගෝපදේශ මත තරුණ හෙට්ටිආරච්චි තම දැනුම, කුසලතා වර්ධනය කර ගත්තේ ය. ඔහු කලක් නැවතී සිට ඇත්තේ මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ නිවෙසේ ය. ඒ ගැඹුරු බැඳීම ඔහුගේ ජීවිතය සැකසෙන්නට බෙහෙවින් බලපාන්නට ඇත. සිය විශ්වවිද්‍යාල ජීවිතයේදී පළමු වසරේ සිසුන්ට හේ ඉගැන්වූයේ සිංහල හා සංස්කෘත විෂයයන් ය. රඝු වංශය, මේඝදූතය, සකුන්තලා වැනි ග්‍රන්ථ සිසුනට ඉගැන්වූයේ මහාචාර්ය හෙට්ටිආරච්චි ය. සිසුන්ගේ සාහිත්‍ය රසය හා දැනුම වර්ධනය කිරීම යන කොටස් දෙක ම ගැන හේ සවිඥානික විය.1944 වර්ෂයේ සිට මහාචාර්ය හෙට්ටිආරච්චි සංස්කෘත අතහැර සිංහල පමණක් සරසවි සිසුනට ඉගැන්වූයේ ය. පැරණි සාහිත්‍ය ග්‍රන්ථ වන ධම්පියා අටුවා ගැටපදය, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය ඇතුළු පැරණි සාහිත්‍ය ග්‍රන්ථ ඉගැන්වීම හෙට්ටිආරච්චිට පැවරිණ. මහාචාර්ය එම්.ඩී. රත්නසූරියගේ හදිසි අභාවයෙන් පසු සිංහල අධ්‍යයන අංශයේ ප්‍රධානියා වූයේ මහාචාර්ය හෙට්ටිආරච්චි ය. භාෂා පීඨයේ පීඨාධිපති ලෙස ද කලක් සේවය කළ මහාචාර්ය හෙට්ටිආරච්චි 1969 - 1972 දක්වා කාලය තුළ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් ද පත් විය. එකල පොදුවේ ශිෂ්‍ය ප්‍රජාව අතර හේ බෙහෙවින් ජනප්‍රිය චරිතයක් විය. සිසුන්ට ශාස්ත්‍රාවබෝධය ලබාදීම ඔහුගේ එක ම අභිප්‍රාය වූ බවට එකල ශාස්ත්‍රාභිලාෂියෝ පවසති.

සාම්ප්‍රදායික ව්‍යාකරණයට සීමා නොවී නූතන වාග් විද්‍යාව වෙත ද සිය අවධානය යොමු කළ මහාචාර්ය හෙට්ටිආරච්චි සිංහල අංශයෙහි වාග්විද්‍යා විෂයය ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටු කළේය. ම. ව සුගතපාල ද සිල්වා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් වාග් විද්‍යාව පිළිබඳ වැඩිදුර අධ්‍යයනයට යවන ලද්දේ අනාගත අරමුණක් ප්‍රතිෂ්ඨාපනය කරගනු වස් ය. ඔහු ඓතිහාසික වාග් විද්‍යාව පිළිබඳ විශේෂ ඇල්මක් දැක්වූයේ ය. නිරන්තර ඒවා අධ්‍යයනය කළේ ය. සිංහල, පාලි හා සංස්කෘත භාෂාවන්හි මතු නො ව සිංහලයට බල පෑ දෙමළ, පෘතුගිසි, ලන්දේසි, ඉංගිරිසි භාෂාවල ද හේ විශාරදයකු වූයේය. ඔහු නූතන යුරෝපීය භාෂා හා ඉන්දියානු භාෂා කිහිපයක ද මනා විශාරදත්වයකින් යුතුව නූතන වාග් විද්‍යාව දෙස විචාරාක්ෂිය යොමු කළේ ය. සම්භාව්‍ය සාහිත්‍ය කෘති විධිමත් ව සකසා පළ කිරීමෙහි ලා විදුහුරු මඟ අනුදත් ඔහු සිය ජීවිතය ම කැප කළේ නව පරපුරක නැඟිටීම වෙනුවෙනි.

භාෂා ශාස්ත්‍ර අධ්‍යයනයෙහි විශාරද ප්‍රාමාණික පරපුරකට ප්‍රදීපස්ථම්භයක් සේ මඟ පෙන්වූ හේ රාජකීය ආසියාතික සංගමයේ කලක් සභාපති ධුරය ද දැරුවේ ය. යටත් විජිත භාවයෙන් මිදීමේ එක් ගැඹුරු ප්‍රවේශයක් වන්නේ දේශීය භාෂා ශාස්ත්‍ර නඟා සිටුවීමට දරන වෑයම බව හේ විශ්වාස කළේ ය. විශ්වව්‍යාප්ත නූතන සංස්කෘතික හා ආධ්‍යාපනික ප්‍රවණතා සමඟ සංකලනය වූ දේශීය සම්ප්‍රදායයක් ගොඩ නඟා ගැනීම ස්වකීය අරමුණු සාධනයේ ලා මූලිකත්වයෙන් ඔහු ගන්නේ ඒ නිසා ය. ගතානුගතිකත්වයෙන් මිදුණු නව සාහිත්යික සම්ප්‍රදායක් අත්පත් කර ගත හැකි මාර්ගය අපට සැකසෙන්නේ ඒ අනුව ය. මේ ගමන් මඟෙහි විශිෂ්ට සේවාවක් හා පුරෝගාමීත්වයක් දැරූවකු වශයෙන් මහාචාර්ය හෙට්ටිආරච්චි නාමය පෙරමඟ දැක්වෙන්නේ ය.

මිනිසුන්ගේ උපත, පවත, විපත නියත ලෝ දහමක් බැව් සනාතනයකි. විපත ගැන අප සසල විය යුතු නැති බවත් එය නියතයක් බවත් සැවොම දනිති. එසේ වුවද පෙනෙන තෙක් මානයක නික්ම ගිය තැනැත්තාගේ ඡායාවක් තරම් දෙයක් වත් බිහි වන බවට ලකුණක් නැති රටක ශ්‍රේෂ්ඨයන්ගේ නික්ම යාම මහත් සංවේග දනවයි. තුත්තිරි ගස්වලිනුත් බාල්ක ඉරන සමාජයක මහාචාර්ය හෙට්ටිආරච්චි වැන්නන් නික්ම යන්නේ සිය ලකුණ පරම්පරා ගණනක බරට ලකුණු කරමිනි. ඒ අයට කඩා වැටෙන තරු සේ නික්ම යෑමක් නැත. ඇත්තේ ඉතිරියකි. දිනෙන් දින බැබළීමකි. ශාස්ත්‍ර ඥානය මතු නොව ඔහු වෙතින් ප්‍රකාශ වුණු ජීවිත-ශාස්ත්‍ර විනය අප නැවත නැවත සිහිපත් කළ යුත්තේ ඒ නිසා ය.

Comments