
තෙල් හා ගෑස් අර්බුදය මේ දක්වා විසඳි නොමැති නිසා ඒ සම්බන්ධයෙන් සමාජය තුළ යම් යම් උණුසුම් කතාබස් සිදුවෙද්දී දේශපාලන ක්ෂේත්‍රයේද ඒ පිළිබඳ උණුසුම් කතාබස් ගෙවුණු සතියේ සිදුවිය.
සංස්ථාවටත් වඩා තෙල් ගෙවල්වල
මෙවර අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අවධානයක් යොමු කළේ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙනි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය 20 වැනිදා සවස 4.30 ට කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. තෙල් අර්බුදයට බලපා තිබෙන හේතු සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අමාත්‍ය මණ්ඩලයට දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය.
“දෛනික තෙල් පරිභෝජනය දළ වශයෙන් මෙට්‍රික් ටොන් 5000කට ආසන්නයි. දැන් මේ වෙනකොට දෛනික තෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 11000 දක්වා වැඩිවෙලා තියෙනවා. තෙල් හිඟයක් එයි කියලා සමහරු වැඩිපුර තෙල් ගහගන්නවා. තවත් සමහරු ගෙවල්වල තියෙන බූලිවලට තෙල් ගබඩා කරගන්නවා. තවත් සමහරු එහෙම ගබඩා කරපු තෙල් වැඩි මිලට විකුණනවා.” යනුවෙන් කංචන විජේසේකර විසින් පෙන්වා දුන්නේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම කඩිනමින් ගන්නා බවයි.
“අඩුම ගානේ තෙල් නැව් 4ක්වත් එකපාර එන්න ඕනෑ. මේ තෙල් පෝලිම් නතර කරන්න”යනුවෙන් එක් අමාත්‍යවරයකු ප්‍රකාශ කළේය.
“මේ ගබඩා කරන ගබඩා කිරිල්ලේ හැටියට තෙල් නැව් 4ක් ආවත් පෝලිම් නැති වෙයිද? කියල නම් කියන්න බැහැ. මොකද තෙල් සංස්ථාවටත් වඩා තෙල් දැන් ගෙවල්වල තියෙනවා” යනුවෙන් තවත් අමාත්‍යවරයකු පැවසීය.
ඒක නිසා එක් පැත්තකින් කඩිනමින් ඉන්ධන ලබාදෙන ගමන් අනෙක් පැත්තෙන් තෙල් මෙහෙම එක්රැස් කිරීම නැවැත්වීමට ක්‍රියා කළ යුතු බවද අමාත්‍ය රැස්වීමේදී සාකච්ජා විය.
අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසාන වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර කෙටි වේලාවක් කතාබහක් පැවැතිණි.
සජබ - ජවිපෙ වර්ජනයේ
පාර්ලිමේන්තුව පසුගිය සතියේ දින 4ක් රැස්වීමට නියමිතව තිබුණද තෙල් අර්බුදය හේතුවෙන් එම දින 4 දින 2 දක්වා අඩු කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරිණි. කෙසේ වූවද පසුගිය 21 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය. ඒ අනුව පාර්ලිමේන්තුවද වර්ජනය කරන බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගියේය.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරනු ලබන ජාතික ජනබලවේගයද කියා සිටියේ තමන්ද එම සතිය තුළ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.
මනූෂගෙන් සජබට ප්‍රහාරයක්
එදින පාර්ලිමේන්තුවට පැමිණි විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සජිත් ප්‍රේමදාසට උත්තරයක් ලබා දුන්නේය.
“සමඟි ජන බලවේගය දැන් පාර්ලිමේන්තුව වර්ජනය කරනවයි කියලා කිව්වට මේ හදන්නේ ලැජ්ජාවෙන් ගැලවෙන්න. ඒ තමයි සජබ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළාම ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා එහි ප්‍රධාන වගන්ති 6ටම පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. ඒ නඩුවෙන් සජබෙට යන එන මං නැහැ. ඒ ලැජ්ජාවෙන් බේරෙන්නයි සමඟි ජනබලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ” යනුවෙන් මනූෂ නානායක්කාර ප්‍රකාශ කර තිබුණි.
ජනපතිට දිනේෂ්ගෙන් සුබ පැතුම්
මෙවර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වුණේ 20 වැනි සඳුදා සවස 6.00ට පමණ කොටුව ජනාධිපති මන්දියේදීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ප්‍රධාන මේසයේ ජනාධිපතිවරයා සමඟ එක්ව සිටියහ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඡන්ම දිනයද එදිනට එනම් ජුනි 20 වැනිදාට යෙදී තිබුණු අතර ආණ්ඩු පක්ෂයේ සියලුදෙනා වෙනුවෙන් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කළේ පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාය. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළේ අධිකරණ ඇමැති, ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසිනි.
“21 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ මූලික එකඟතාවය හිමිවුණා. දැනට සකස් කරන ලද කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා.” යනුවෙන් විජයදාස රාජපක්ෂ විසින් පෙන්වා දෙන ලදී.
බන්දුල ඉල්ලුවේ මොනවාද?
මේ අතර ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නැඟී සිටියේය.
“නවවැනිදා ගෙවල් ගිනි තියලා, දේපළ විනාශ කරලා කරපු විනාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ මන්දගාමී ස්වරූපයෙන්. මේ සමස්ත සිදුවීම් ගැන හොඳින් හොයලා බලනකොට තේරුම්ගන්න පුළුවන් මේ මහා විනාශය සංවිධානාත්මකව සිදු වුණේ කොහොමද ? කාගෙන්ද උපදෙස් ලැබුණේ කියලා. හොයාගන්න එක අමාරු නැහැ. ඒ නිසා රටම ගිනි තියපු මේ සිදුවීම් ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතුයි.” යනුවෙන් ඇමැති බන්දුල ගුණවර්ධන යෝජනා කළේය.
මැයි 09 වැනිදා රටපුරා සිදුවූ සිද්ධි ගැන යළිත් වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අවධානය යොමු වූ අතර තමාට පොලීසියෙන් සිදුවූ අසාධාරණකම් ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ අදහස් දැක්වීය.
“මගේ අම්පාරේ ගෙදර ගිනි තියන්න කට්ටිය එනකොට මං හිටියේ කොළඹ. මගේ නෝනයි දරුවෝ දෙන්නයි හිටියේ ගෙදර. ඒ වෙලාවේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරීන් දෙන්න ගිනි අවි දෙක ලොකප් කරලා දාගෙන ඉඳලා තියෙනවා. ගිනි අවි දෙක ලොකප් කරගන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ පොලීසියේ OIC මහත්තයමයි.
ගෙවල් ගිනි තියන වෙලාවේ සරුංගල් යැව්වාද?
වාහනේ ගිනි තියන නිසා එළියට ගන්න හදනකොට ඒකත් පොලිසීයෙන් නවත්තලා තියෙනවා. ඊට පස්සේ මේ ගැන කට උත්තර ගන්නකොට පොලීසියෙන් අපේ ගෙදර කට්ටියට කියන්න කියලා තියෙනවා, දරුවන් එක්ක සරුංගල් යවන්න හදනකොට වාහනේ ගිනි තිබ්බා කියලා. මේ ගෙවල් ගිනි තියන අවස්ථාවේ මොන සරුංගල් ද?” යනුවෙන් ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මඳක් හැඟුම්බරවයි.
“දැන් බලන්න හරි අපූරු දේවල් සිද්ධ වෙන්නේ. ගෝල්පේස් එකට ගිහිල්ලා අට්ටාල ගැලෙව්වයි කියන එක ගැන තමයි සමහරුන්ගේ පුදුම උනන්දුවක් තියෙන්නේ.”
“ගෙවල් එකසිය ගණනක් ගිනිබත් කරලා වාහන විනාශ කරලා මේවා ගැන ගෝල්ෆේස් සිද්ධිය තරම් කතා කරන්නේ නැහැ. නීතිපති දෙපර්තමේන්තුවේ සමහරුන්ට හරිම කැක්කුමක් තියෙන්නේ ගෝල්ෆේස් සිද්ධිය ගැන විතරයි. මුළු රටපුරාම ගෙවල් ගිනි තියලා මහා විනාශයක් කරලත් සමහරුන්ට නම් ඒ ගැන ගානක්වත් නැහැ. මෙහෙම වෙන්න බැහැ.” යනුවෙන් මැති ඇමතිවරු, මන්ත්‍රීවරු කිහිපදෙනක් ප්‍රකාශ කරන ලද්දේ තරමක් කනස්සල්ලෙනි.
“මේ පරීක්ෂණ හරිහැටි සිදු කෙරෙන්නේ නැත්නම් වහාම පොලිස්පති ඉවත් කරන්න. නීතිය හරියට ක්‍රියාත්මක කරන පොලිස්පතිවරයෙක් පත්කරන්න” යනුවෙන් කිහිපදෙනක් ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් සහතිකයක් ලබාදුන්නේ මෙම විමර්ශන කටයුතු නිසි පරිදි සිදුකරන බවයි.
ගෙවල් ගිනි තියපු තව 6000ක් ඉන්නවා
“මුළු රටම ගිනි තියපු සිද්ධිවලට තාම අල්ලගෙන තියෙන්නේ 2000යි. නමුත් මේ සිද්ධිවලට 6000 ක් පමණ සම්බන්ධ වූ බවට පිළිගත හැකි වාර්තා ලැබිලා තියෙනවා. මේ සේරම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න”යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම ඉල්ලා සිටියහ. ඊට ප්‍රතිචාර දැක්වීමට නැගී සිටියේ ටිරාන් අලස් අමාත්‍යවරයායි.
“මේ සියලු දෙනාම අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. නීතිය ක්‍රියාත්මක නොකරපු පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා. කොහොම නමුත් මෙම සිදුවීම ගැන ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් කට උත්තර ගන්න වෙනම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවනවා. ඒ නිලධාරීන් ළඟදීම මන්ත්‍රීතුමන්ලාගෙන් තොරතුරු ඉල්ලා ගනීවි.” යනුවෙන් ටිරාන් අලස් කියපු කතාවට බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබිණි.
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ අගමැතිතුමන්ගෙන් යමක් දැනගැනීමට අවශ්‍ය විය. ඒත් අගමැතිතුමා කාටත් හොරා ගිහිල්ලා යනුවෙන් ලලිත් එල්ලාවල උදයන කිරිඳිගොඩ ප්‍රකාශ කරන්නට වූහ.
“IMF එකේ නිලධාරීන් සමඟ සාකච්ජා තියෙන නිසා තමයි අගමැතිතුමා ඉවත්වෙලා ගියේ.” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන විට සියලුම දෙනා ජනාධිපතිවරයාගේ කතාව පිළිගත්තේය.
මේ අවස්ථාවේදී නැගී සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරලයි.“අපි හිතාගෙන හිටියේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පට්ට ඉන්ටර්නැෂනල් පොරක් කියලා. නමුත් තාමත් ප්‍රශ්න විසඳලා නැහැ” යනුවෙන් සම්පත් අතුකෝරල කියා සිටියේය.
ප්‍රසන්නගෙන් ජනපතිට ලිපියක්
මේ රැස්වීමේ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් බාර දුන්නේය. මේ ලිපිය ලියා ඇත්තේ පසුගිය මැයි 09 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දේපළ අහිමිවූ මැති ඇමතිවරුන්ය. ඔවුන් කියා තිබුණේ මේ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවය.
"මේ විමර්ශනවලදී ඇතැම් නිලධාරීන් අපේ මන්ත්‍රීවරුන්ගේ දේපළ හා ජීවිත හානි වීම ගැන සැලකිල්ලක් දක්වන්නේ නෑ. හැබැයි ඔවුන් ගෝල්ෆේස් අරගලකරුවන් පිළිබඳව නම් උනන්දුවක් දක්වනවා." ප්‍රසන්න කීවේය.
"ප්‍රසන්න ඇමතිතුමා කියන කතාව ඇත්ත. සනත් නිශාන්ත, මිලාන් ජයතිලක, මන්ත්‍රීවරු වගේ බොහෝ අය මේ ගැන සාක්ෂි කියාවි. හැමටම එක නීතියක් තියෙන්න ඕනෑ." දිනේෂ්ද කීවේය.
මධුර විතානගේ මන්ත්‍රීවරයා කීවේ "මේ පොලිස්පති ඉන්නකං මේක හරියන්නේ නෑ." කියාය. "වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිට ෂෙඩ් එකක බහින් බස් වීමක් හින්දා පොදු දේපළ යටතේ නඩු දාන්න හැදුවා. මේවා සංවිධානාත්මකවයි කරන්නේ." යැයි කීවේ ඇමැති මහින්දානන්දය. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ කීවේ පොදු දේපළ පනත පොලීසිය අවභාවිත කරන බවය. "ඒකනෙ අපේ ගෙවල් ගිනි තියපු අයට ඇප හම්බෙනවා. අනික් ඒවා හිර කරනවා." ඇමැති ප්‍රසන්න රණතුංග කීවේය.
රොෂාන් රණසිංහ ඇමතිවරයා යෝජනා කළේ පොදු දේපළ වගේම පෞද්ගලික දේපළ විනාශ කරන අය ගැනත් තීරණයක් ගත යුතු බවය. අධ්‍යාපන ඇමතිතුමාගේ අදහස වූයේද ඇප පනත පවා සංශෝධනය විය යුතු බවය.
අගමැති රනිල් යෝගා ගැන කී කතා
අගමැති රනිල් වික්‍රමසිංහ ඉකුත් අඟහරුවාදා පාන්දරම ගියේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සංවිධානය කරන ජාත්‍යන්තර යෝග දිනයට සහභාගීවීම උදෙසාය. නමුත් ඊට පෙර ඔහුගේ ළඟම හිතවතුන් පිරිසක් කීවේ මෙයට නොයන ලෙසය. එහෙත් රනිල්ගේ ප්‍රතිචාරය වෙනස් විය.
“මම කොහොමත් සතියට දින දෙක තුනක් යෝග කරනවා. අනෙක ජාත්‍යන්තර යෝග දිනයක් ගත්තේ ඉන්දියාව මැදිහත් වෙලා. ලංකාවේ යෝග ව්‍යායාම කරන බහුතරයක් ඉන්නවා. මෙතනට මම ගියාම ජාත්‍යන්තරයට පණිවිඩයක් යනවා විදේශිකයන්ට ලංකාවට ඇවිත් යෝග ඉගෙන ගන්නත් පුළුවන් කියලා.” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි. ඔහු යෝග උත්සවයට යන විටත් ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ, අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ද එහි පැමිණ සිටියහ.
අගමැති වෙන්න හදන පොහොට්ටු මන්ත්‍රී කවුද?
මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණියේ උදෑසන 10.00ට පමණය. පාර්ලිමේන්තුව් මන්ත්‍රී පිවිසුම අසලදී මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිගැන්මට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පැමිණ සිටියහ.
ඉන්දික අනුරුද්ධ, විමලවීර දිසානායක, ජානක තිස්සකුට්ටිආරච්චි, සම්පත් අතුකෝරල, මධුර විතානගේ, සමන්ප්‍රිය හේරත්, මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රියන්ත රත්නායක ඇතුළු පිරිසක් ඒ අතර වූහ.
මන්ත්‍රීවරුන් සිනහමුසු මුහුණින් ප්‍රතිචාර දැක්වූ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඇතුළු වූයේ “මං දැන් ඉතිං පාර්ලිමෙන්තු මන්ත්‍රීනේ” කියමිනි.
“එහෙම කියන්න එපා සර්. මේ පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට අගමැති වෙන්න පුළුවන්” යනුවෙන් පැවසුවේ ජානක තිස්සකුට්ටිආරච්චිය. “ඒ කොහොමද? යන පැනය සහිතව මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා තිස්සකුට්ටිආරච්චිගේ මුහුණ බැලුවේය. “ඇයි? සර් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක් ආසනයක් තියාගෙන මේ රටේ අගමැති වුණා. මාත් මේ දැන් ට්‍රයි කරන්නේ ඒ වගේ මටත් අගමැති වෙන්න පුළුවන්ද? කියලා බලන්නයි” යනුවෙන් තිස්සකුට්ටිආරච්චි කළ ප්‍රකාශයට සියල්ලෝම සිනාසුහ.
ධම්මිකට මහින්දගෙන් හා රනිල්ගෙන් සුබ පැතුම්
පසුගිය 22 වැනි බදාදා උදෑසන 9.45 වන විට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සූදානමින් සිටියේය.
පාර්ලිමේන්තුව පෙරේදා 10.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වනතුරු ධම්මික පෙරේරා පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවැනි මහලේ දිවුරුම් දෙන මන්ත්‍රීවරුන් පැමිණෙන දොරටුව අසල රැඳී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා ඔහුගේ නම ප්‍රකාශ වනතුරුය.
මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා මීට පෙර ධම්මික පෙරේරාට මුලින්ම සුබපතා තිබුණි. ධම්මික පෙරේරා දිවුරුම් දීමට සූදානම්ව එම ස්ථානයේ සිටින විට නිමල් ලන්සා, නලීන් ප්‍රනාන්දු, ජයන්ත කැටගොඩ ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනක් පැමිණ ඔහුට සුබ පැතූහ.
ධම්මික පෙරේරා දිවුරුම් දීමෙන් අනතුරුව විරුද්ධ පක්ෂය පැත්තේ ආණ්ඩු පක්ෂයට වෙන්කර තිබූ අංක 110 වැනි ආසනයට ගමන් කළේය.
ඒ අතරතුර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අතට අතදී ධම්මිකට සුබ පැතු අතර විරුද්ධ පක්ෂයට පැමිණෙන විට තමා ඉදිරියට පැමිණි ධම්මිකට අතට අතදී පිළිගත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසිනි.
සැබෑ මිතුරා කවුද? රුසියාවෙන් ප්‍රශ්නයක්
හවුල්කාර පක්ෂ 10 නියෝජිතයන් සහ මෙරට රුසියානු තානාපති යූරි මැටෙරි අතර සකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ නායකයෝ කිහිපදෙනෙක් එම සාකච්ජාවට සහභාගී වූහ. රටේ පවතින ඉන්ධන අර්බුදය සහ ගෑස් අර්බුදය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා විය.
තෙල්, ගෑස්, පොහොර වැනි දේවල් මේ වෙලාවේදී ජනතාවට ලබා දීලා අපිට උදව් කරන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාව බංකොළොත් රටක් කියලා ප්‍රකාශ වෙලා තියෙනවා. එතකොට බංකොළොත් රටකට ණය දෙන්න බැහැ. ණය ගෙවනවා කියන සහතිකය ගන්නේ කොහොමද? ඒක නිසා මේ රටේ රාජ්‍ය නායකයා රුසියානු ජනාධිපතිට කෙළින්ම කතාකරලා ඉල්ලුවා නම් රුසියාවෙන් උදව් ලබාදෙන්න සූදානම්.
සැබෑ මිතුරා කවුද? සතුරා කවුද? කියලා ශ්‍රී ලංකාව දැන්වත් තේරුම්ගත යුතුයි. ශ්‍රී ලංකාව පෙනී ඉන්න රටවල් කිහිපයක්ම දැනටමත් ඒ රටවල සංචාරකයින්ට මෙරටට පැමිණීමට තහංචි දාලා. නමුත් ශ්‍රී ලංකාව රුසියානු ගුවන් යානයක් නවත්තගත්තත් අපේ රටේ සංචාරකයින්ට මෙරටට එන්න එපා කියලා තහංචි දැම්මේ නැහැ. දැනටමත් රුසියානු සංචාරකයින් මෙරටට එනවා” යනුවෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කළේය.
ඩිලාන්ගෙන් විමල්ට අලුත් තනතුරක්
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙනි. ඊට පාර්ලිමේන්තුව වර්ජනය කළ කිසිවකු එම පක්ෂ නායක රැස්වීමට සහභාගී වී සිටියේ නැත.
“සමඟි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ නැති නිසා විපක්ෂයේ භූමිකාව කරමින් වැඩබලන විපක්ෂ නායක ලෙස විමල් වීරවංශ මැතිතුමා පත්කරන්න කියලා මං යෝජනා කරනවා” යනුවෙන් ඩිලාන් පෙරේරා යෝජනාවක් ඉදිරිපත් කළේය. කොහොමත් දැන් විමල් මන්ත්‍රීතුමා විපක්ෂයේ ඉන්නේ කියාද ඩිලාන් පැවසීය. “අපි කොහොමත් විපක්ෂයේ කාර්යභාරය කරනවා” යනුවෙන් විමල් වීරවංශ විසින් ඩිලාන් පෙරේරාට ප්‍රතිචාර දක්වන ලදී.
මේ අතර වර්තමාන සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පර්ලිමේන්තුව කල්තැබීමේ අවස්ථාවේ විවාදය ඉදිරිපත් කිරීමද එම කණ්ඩායම විසින් සිදුකරන බව විමල් වීරවංශ විසින් පක්ෂ නායක රැස්වීමට දැනුම් දෙන ලදී.
ගිනිගත් පොත් දීමට රාජපක්ෂ මැදිහත් වෙයි
පසුගිය මැයි 09 වැනිදා විරෝධතාකරුවන් විසින් මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයින්ගේ නිවාස ගිනිතබා විනාශ කළ නිසා ඇතැම් ජනතා නියෝජිතයින්ගේ පොත්පත්ද මුළුමනින්ම විනාශ වී තිබේ.
පාර්ලිමේන්තුවට ඡන්දයෙන් පත්ව පැමිණෙන ජනතා නියෝජිතයින්ට පාර්ලිමේන්තුවෙන් විශේෂ පොත් කට්ටලයක් ලබාදේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීති, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු ක්‍රමය, පාර්ලිමේන්තු ඉතිහාසය වැනි මාතෘකා ඇතුළු පොත් කට්ටලයක් මීට ඇතළත් වේ. මෙම ගිනිතැබීම් හේතුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ජනතා නියෝජිතයින් 70 දෙනකු ආසන්න පිරිසකගේ මෙම පොත් කට්ටල ගින්නෙන් විනාශ වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වාට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ හමුවිය. “නියෝජ්‍ය කථානාකයතුමා, මගේ ගෙදර ගිනිතබපු වෙලාවේ මගේ පුස්තකාලය මුළුමනින්ම විනාශ වෙලා. පාර්ලිමේන්තුවෙන් දීපු පොත් කට්ටලයත් විනාශ වෙලා. එහෙම විනාශ වුණු විශාල මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා. ඔබතුමා මැදිහත්වෙලා අඩුම ගානේ පාර්ලිමේන්තුවෙන් දීපු පොත් කට්ටලයවත් ලබා දෙන්න” මොහාන් ප්‍රියදර්ශනද සිල්වා ඉල්ලීමක් කළේය.
එසේ පොත් අහිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම පොත් කට්ටල යළි ලබාදෙන ලෙස නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දිසානායකට දැනුම් දුන් අතර එම පොත් ලබාදීම මේ වන විට ආරම්භ කර තිබේ.
වජිර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සමඟ
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
රටවල් කිහිපයක සිට ශ්‍රී ලාංකිකයන් එම සාකච්ඡාවට එක්වූ අතර රට නැවත ගොඩනැගීම සඳහා වටිනා යෝජනා සහ අදහස් රැසක් ඔවුන් විසින් ඉදිරිපත් කළේ රට පත්ව තිබෙන තත්ත්වය පිළිබඳව වජිර අබේවර්ධන දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුවය.
මෙහිදී එක් ශ්‍රී ලාංකිකයෙක් මෙරට ඇතැම් දේශපාලන පක්ෂ මතු කරන ගැටලුවක් පිළිබඳව වජිර අබේවර්ධනගෙන් ප්‍රශ්න කළේය. “ඇමතිතුමනි, අපේ රටට ණය ආධාර ලබාගත හැකි රටවල් හා ආයතන තිබියදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැම විටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පස්සෙන් යන්නේ ඇයි?” දැයි ඔහු විමසා සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ අතීත සබඳතා මෙන්ම එවැනි ආයතනයක් සමඟ ඉදිරියට යාමට අගමැති රනිල් වික්‍රමසිංහයන් දරන උත්සාහය හා ඉන් රටට අත්වන ප්‍රතිලාභ පිළිබඳව වජිර ඉතා සවිස්තර පැහැදිලි කිරීමක් සිදු කළේය.
ක්‍රිකට් ගැන කතා
මේ දිනවල ක්‍රිකට් උන්මාදය යළි ඇතිවී තිබෙන නිසා යම් තරමකට හෝ තෙල් නොමැතිව, ගෑස් නොමැතිව, ආර්ථීක අර්බුදයෙන්ද මිරිකී සිටින රටේ පොදු මහජනතාවට යම් අස්වැසිල්ලක් ලැබී ඇත. මේ අතර පසුගිය 16 වෙනිදා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දෙවන එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 26 ක ජයක් අත්විය. මෙම තරගය නැරඹීමට පැමිණි වර්තමාන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත් ක්‍රීඩා අමාත්‍යාංශයේත් නිලධාරීන් කිහිප දෙනෙක් අතර කෙටි කතාබහක් ඇතිවිය.
“එදා LPL මෙසේ තියෙනකොට සමහරු ක්‍රිකට් ක්‍රීඩකයන් හිටපු හෝටල් ඉස්සරහට ගිහිල්ලා විරෝධතා සිදු කළා. ඒත් කොහොමහරි LPL තිබ්බා. මහීෂ් තීක්ෂණ, අසලංක වැනි ක්‍රීඩකයන් ඉදිරියට ආවේ ඒ තරගාවලියෙන්...“
දසුන් ශානක නායකත්වයට පත්කිරීමෙන් වෙල්ලාලගේ වැනි නවක ක්‍රීඩකයන් සොයා ගැනීමත් හොඳ දෙයක්. දේශපාලනයෙන් තොරව ක්‍රිකට් ටීම් එක හැදුවා.” යනුවෙන් කිහිපදෙනක් අතර කතාබහක් ඇති විය.
මේ අතර ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපතිවරයාට තහනමක් පැනවීම සඳහා එවකට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගත් තීරණය නිවැරදි බව ආසියානු රග්බි සංගමය ලිඛිතව දන්වා එවා ඇත. මේ සම්බන්ධයෙන්ද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේත් රග්බි සංගමයේත් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.