විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය ලොකු ම ඉලක්කයයි | Page 8 | සිළුමිණ

විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය ලොකු ම ඉලක්කයයි

 

සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ලෙස ඔස්ට්‍රේලියාව ජය ගැනීමට සමත් විය.

 

සංචාරක ඔස්ට්‍රේලියාවට එරෙහිව දෙවැනි විස්සයි20 තරගයේදී විකට් එක හොඳට කැපුණා. (දඟ කැවීමක් තිබූණා) කඩුලු දවා ගැනීම සඳහා දඟ පන්දු යවන්නන් යොදා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක කටයුතු කළේ එ් නිසා බව ද හසරංගගේ අදහස විය.මමයි මහීෂ්සුයි විකට් ගත්තොත් අපට දිනන්න පුළුවන් කියලා හිතුණා. ශ්‍රී ලංකා පිතිකරුවන් තවත් ලකුණු 15ක් 20ක් පමණ ලබා ගත්තේ නම් තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් පැවැති බව වනිඳු හසරංග පවසයි.මේ අතර චාමීක පන්දු නොයැවීම ගැන අදහස් දක්වන වනිඳු පවසන්නේ අපි දෙන්නා ගැන ලොකු විශ්වාසයක් දසුන්ට තිබු බව යි. තරගයට කඩින් කඩ වහින්න ගත්ත ම විකට් එක ෆැලැට් වුණා.

IPL තරගාවලියේ එයාට (ඇරොන් ෆින්ච්) මම කොහොමත් වැඩිපුර පන්දු යැව්වේ නෑ.හැබැයි එයා වැඩිපුර පන්දුවට පහර දෙන තැන් ගැන ලොකු අවධානයකින් හිටියේ.

දෙවැනි තරගයේදී මගේ පන්දු වාර දෙකට ලකුණු 27ක් ගැහුවා. පොඩි ලකුණු ගණනක් බේර ගන්න එක ලෙහෙසි නෑ.කොහොමත් ඔවුන් දන්නවා මට මුලින් ගහලා අඩපණ කළොත්,මට ගේම් එක අල්ල ගෙන ඉන්න බෑ කියලා.

ඒ නිසා තමයි ඔවුන් මට මුලින් ම පහර දෙන්න බලන්නේ.මමත් වඩාත් කැමති පහර දෙනවාට මිසක් ආරක්ෂා වන එකට නෙවෙයි.මට පහර දෙන තරමට විකට් එනවා.මට පහර දෙන එකට මමත් කැමතියි.එතකොට විකට් අරගෙන ටීම් එක දිනවන්න පුළුවන්.

අපි කවුරුත් දන්නවා මාලි අයියා කියන්නේ කවුද කියලා.මාලි අයියා වගේ කෙනෙක් ටීම් එකේ ඉන්නවා කියන්නේ ඒක ගොඩක් වටිනවා. ඒ සහයෝගය පන්දු යවන්නන්ට විතරක් නොවෙයි මුළු ටීම් එකට ම ගොඩක් වටිනවා. විශේෂයෙන් ඔහු දන්නවා මේ ආකෘතිවල තරගවලදී කොහොම ද තරගයක් කරන්නේ කියලා.

පළමු වැනි තරගයේ දී ලකුණු 100කට විකට් 1ක් වැටිලා, එකම පන්දු වාරයේ විකට් තුනක් වැටුණ ම තරගයක උඩට එන්න අමාරුයි. විශේෂයෙන් විස්සයි20 තරගවල. අපේ මුල සහ මැද පෙළ කඩා ගෙන වැටුණා. අපේ පිතිකරුවන් මේ මොහොතේ පසු බැහැලා කියන එක පිළිගන්න වෙනවා.

පිතිකරුවන් ගහළා දෙන ලකුණු ටික අපි ආරක්ෂා කර ගන්නවා වගේ ම, අපි ප්‍රතිවාදි ඉනිමක් සීමා කරන ලකුණු ටාගට් එකට යන එකත් පිතිකරුවන්ගේ වගකීමක්.

අපි ටීම් එකක් විදියට ටාගට් කරන්නේ ඊළඟ විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන යයි.මේ ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වැදගත් ම ඉලක්කය බව ද, වනිඳු හසරංග පවසයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරණයේ සියයට දහයක් පමණ තව දියුණු කර ගැනීම අනිවාර්ය බවත්, එසේ වුව හොත් ලෝක කුසලානය ළංවෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පෙරැළියක් කළ හැකියි.

අපේ පන්දු යවන්නෝ සහ පිතිකරුවන් ඊළඟ ලෝක කුසලානය ළංවන විට ස්ථාවරව ඉදිරියට එන්න පුළුවන් නම් ඒක ඉතාමත් හොඳ‌ දෙයක්, අපි ටාගට් කරන්නෙත් ඒ දේමයි.පළමු විස්සයි20 තරග දෙකේ ම අපේ පිතිකරුවන් අතින් හුඟක් වැරැදි සිද්ධ වුණා. අපි ටීම් එකක් විදියට හැම වෙලාවේ ම උත්සහ කරන්නේ අඩුපාඩු හදා ගෙන ඉදිරියට යන්නයි.

ඉදිරියට හොඳ තරගාවලි 2-3ක් ම තියෙනවා.ඒ තරගාවලි වලදි,අපේ පන්දු යවන්නෝ සහ පිතිකරුවන් තම තමන්ගේ අඩුපාඩු හදා ගෙන ඉදිරියට ගියොත්, ලෝක කුසලාන තරගාවලියේ දී අපට ලොකු ඉලක්කයකට යන්න පුළුවන් වෙයි.

අපේ පන්දු යවන්නෝ මේ වෙන කොට ඉතාමත් හොඳට පන්දු යවනවා. මේ වගේ සුළු ලකුණු ගණන්වලට හොඳ තරගයක් දෙනවා කියන්නෙ ම මේ වෙන කොට අපේ පන්දු යවන්නෝ යම් මට්ටමක ඉන්නවා කියන එකයි.ලෝක කුසලාන තරගාවලියට යන කොට අපේ පිතිකරුවන් පවා ඒ මට්ටමින් ඉදිරියට යන්න උත්සහ කළොත්, අපට ලෙහෙසින් ම ඉලක්කවලට යන්න පුළුවන් වෙයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබාගත හැකි බව පවසන වනිඳු හසරංග ජයග්‍රහණය උදෙසා ප්‍රතිවාදීන්ට අඩු ලකුණු ඉලක්කයක් තිබියදී පීඩනයක් එල්ල කළ හැකි ආකාරයෙන් පන්දු යැවීම සතුටට කරුණක් බව ද හෙතෙම පවසයි.

 

Comments