කපිල ජයලත් අනුස්මරණ ක්‍රිකට් ශූරතාව මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට | සිළුමිණ

කපිල ජයලත් අනුස්මරණ ක්‍රිකට් ශූරතාව මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට

ශූරයෝ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ දකුණු පළාත් ශාඛාව සංවිධානය කළ කපිල ජයලත් අනුස්මරණ වයස අවුරුදු 15න් පහළ දකුණු පළාත් පාසල් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ලබා ගැනීමට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සමත් වූයේ ය.

අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය සඳහා කණ්ඩායම් 24ක් සහභාගී වුණි. තරගාවලියේ අවසන් මහා තරගය සඳහා මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය සුදුසුකම් ලබා ගත් අතර එම තරගයෙන් සාන්ත සර්වේශස් විද්‍යාලයට ලකුණු 21ක ජයග්‍රහණයක් හිමි වුයේ ය. ඒ අනුව ඔවුන්ට රුපියල් ලක්ෂ එකහමාරක පමණ වටිනා ක්‍රීඩා උපකරණ සහ කපිල ජයලත් අනුස්මරණ කුසලානය ද හිමි වූයේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ හිටපු ලේකම්වරයෙක් වූ නැසීගිය කපිල ජයලත් අනුස්මරණ කිරීම අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය පැවැත්විණි.

තරගාවලියේ ආරම්භක දින ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් යොවුන් ක්‍රීඩක චරිත් අසලංක සහභාගී වූ අතර අවසන් දින ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක උපුල් තරංගගේ සහභාගීත්වයෙන් සිදු විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා සහ කපිල ජයලත් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සහභාගී වූ හ.

එක් පිලකට 8 දෙනෙක් බැගින් සහභාගී වූ පන්දු වාර 5කට සීමා වූ මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට මාතර රාහුල විද්‍යාලය සහ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය ද මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය ද සුදුසුකම් ලබා ගත්තේය.

තරගාවලියේ සහ අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ විරාන් චමුදිත සම්මාන දිනාගත් අතර තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් මාතර රාහුල විද්‍යාලයේ ආකාශ් අඹේපිටිය ද ,තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස මාතර රාහුල විද්‍යාලයේ නදිල් සංදේශ් ද, තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා ලෙස හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ ලකිත් නේමින්ද ද සම්මාන දිනා ගත්හ.

තරගාවලියේ නැගී එන කණ්ඩායම ලෙසින් තවලම විද්‍යාරාජ විද්‍යාලය ඇගයීමට පත් වූවේ ය. අනෙකුත් කණ්ඩායම් හා සැසදීමේ දී අඩු පහසුකම් යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදමින් පෙරළිකාර කණ්ඩායමක් බවට පත්වෙමින් දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගත් කපිල ජයලත් ගේ පවුලේ පිරිස ඔවුන් උදෙසා මුදල් පරිත්‍යාගයක් පිරිනැමූ හ. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ක්‍රීඩා කරන විද්‍යාරාජ විද්‍යාලය, මෙම තරගාවලියේ පළමු වටයේ දී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය පරාජය කළ අතර පෙර අර්ධ අවසන් වටයේ දී මාතර සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කිරීම කැපී පෙණුනි.

පළමු අවසන් පූර්ව තරගය

රාහුල විද්‍යාලය ; කඩුලු 5ක් දැවී 49 (5) ආකාශ් අඹේපිටිය 13, නදිල් සංදේශ් 13, ශනුක දෙනුවන් 2/10, ලකිත් නේමින්ද 2/05

ශ්‍රී සුමංගල විද්‍යාලය ; කඩුලු 3ක් දැවී 32 (5) ප්‍රමෝද් හිම්සර නොදැවී 10, ඉශන්ත ගිම්හාන 2/08

දෙවැනි අවසන් පූර්ව තරගය

දේවපතිරාජ විද්‍යාලය ; කඩුලු 2ක් දැවී 61 (5) අරෝෂ සිතුමිණ 13, සඳුන් මධුශංක නොදැවී 28, විහඟ ඉඳුසර 14, රිසිනු කිත්නුක 1/12

සාන්ත සර්වේශස් විද්‍යාලය ; කිසිවෙක් නොදැවී 62 (4.2) විරාන් චමුදිත නොදැවී 32, කළණ සංකල්ප නොදැවී 20

අවසන් මහා තරගය

සාන්ත සර්වේශස් විද්‍යාලය ; කඩුල්ලක් දැවී 68 (5) විරාන් චමුදිත නොදැවී 41, රිසිනු කිත්නුක නොදැවී 11, රෙසලි වත්විදු 1/09

රාහුල විද්‍යාලය ; කඩුලු 2ක් දැවී 47 (5) ආකාශ් අඹේපිටිය 12, ජනිරු තේජන 18, විරාන් චමුදිත 1/04



ජගත් ප්‍රේමචන්ද්‍ර

Comments