දිනය ඉකුත් මැයි මස 14 වැනි දාය. වේලාව රාත්‍රී 10.30 ට පමණය. ඔස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ත ප්‍රාන්තයේ නගරයක් වන ටවුන්ස්විල්ය. පුද්ගලයෙක් තනිවම සිය මෝටර් රථයෙන් නිවස බලා ගමන් කරමින් සිටියි. එක් වරම ඔහුට රථය පාලනය කර ගැනීමට හැකි වුයේ නැත. රථය මාර්ගයෙන් ඉවතට ගියේය. රථය කිහිපවරක් පෙරළි ගියේය.
රාත්‍රිය වුවත් එම මාර්ගයේ තවත් රථ කිහිපයක් ගමන් කරමින් සිටියේය. එහි සිටි ඇතැමුන් සිදුවිම දුටුහ. වහාම පොලිසිය මෙන්ම හදිසි ප්‍රතිකාර සඳහා පිරිස් ද අනතුර සිදු වු ස්ථානයට පැමිණියහ. එහෙත් ඵලක් වුයේ නැත . අධික ලෙස රුධිරය ගලා යැම හේතුවෙන් රථයේ සිටි පුද්ගලයා එම ස්ථානයේ දීම මිය ගොස් සිටියේය.
පසුව හෙළි වුයේ මෙසේ මිය ගොස් සිටියේ ඇන්ඩෘ සයිමන්ඩ්ස් බවය. ඔහු සිය 47 වැනි උපන් දිනය සැමරීමට තිබුණේ ලබන මාසයේදීය. හෙතෙම දෙදරු පියෙකි. ක්‍රිකට් ලොවට සයිමන්ඩ්ස් කිසි විටෙක ආගන්තුකයෙක් නොවේ.
මෑත කාලයේදී ඔස්ට්‍රේලියාවට ක්‍රීඩා කළ සුපිරිතම තුන් ඉරියව් හපනා ලෙස සයිමන්ඩ්ස්ව හැදින්විය හැකිය. විශේෂයෙන්ම එක්දින ජගත් තරගවලදී ඔහුගේ දක්ෂතාව වඩාත් දක්නට ලැබුණි. අඩි 6යි අඟල් 2ක් උසැති සයිමන්ඩ්ස්ට නම් දෙකක් පටබැඳී තිබිණි. ඒ රෝයි සහ සිමෝය. හැඩි දැඩි ක්‍රීඩකයෙක් වූ ඔහු ප්රවේගකාරි දකුණත් පිතිකරුවෙකි.දකුණතින් පිට දඟ සහ මද වේග පන්දු යැවීමටත් ඔහුට හැකිය. එමෙන්ම අති දක්ෂ පන්දු රකින්නෙකි.
1998 – 2009 අතර ඔහු ජාත්‍යන්තරව ක්‍රීඩා කළේය. ටෙස්ට් තරග 26කදී ලකුණු 1462ක් කඩුලු 24ක් උඩපන්දු 22ක් ද එක්දින ජගත් තරග 198 කදී ලකුණු 5088ක් කඩුලු 133ක් උඩපන්දු 82ක් හා විස්සයි 20 තරග 14කදී ලකුණු 337ක් කඩුලු 08ක් උඩපන්දු 03ක් එම කාලයේ දී හිමිකර ගැනිමට සමත් විය. 2003 – 2007 ලෝක කුසලාන ද්ව්ත්ව ශූරතා හිමිකරගත් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සාමාජිකයෙකුද විය.
සයිමන්ඩ්ස් උපත ලැබුවේ එංගලන්තයේය. ඔහුගේ මව්පියන් අප්‍රිකානු, කැරිබියානු සහ ස්කැන්ඩේනේවියානු සම්භවයක් සහිතය. කෙසේ හෝ වයස මාස 03ක් වන විට කෙන් සහ බාබරා යුවළ ඔහුව හදා වඩා ගැනීමට ඉදිරිපත් වුහ. පසුව ඔවුන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියහ.
ඔහුගේ පියා කෙන් දැඩි ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් විය. සයිමන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගැනීමටත් එය ඉවහල් වී ඇත. ඔහුගේ දක්ෂතාව දෙස බොහෝ දෙනාගේ අවධානය යොමු වුයේ එංගලන්ත ප්‍රාන්ත තරගයකදී දැක්වු දස්කම් නිසාවෙනි.
1995 වසරේ දී පැවැති එම තරගයේ ඉනිමක දී ඔහු 6 පහරවල් 16ක් එල්ල කිරීමට සමත් විය. එය එවකට පළමු පෙළ ලෝක වාර්තාවකි.
හයේ පහර 16 යේ ඉනිම නිසා පසුව එංගලන්ත ‘ඒ‘ කණ්ඩායමට සයිමන්ඩ්ස්ව තෝරා ගත්තේය. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. තම බලාපොරොත්තුව ඔස්ට්‍රේලියාවට ක්‍රීඩා කිරීම බව පැවසීය.
ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහුගේ ප්‍රධානතම කාර්යය වුයේ මාළු බැමයි. එමෙන්ම රුපවාහිනි ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෙකු ලෙසටත් ක්‍රියා කළේය.ගත වු මාස කිහිපය තුළදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් මෙලොවින් සමුගත්හ. ඒ රොඩිනි මාර්ෂ්, ෂේන් වෝන් සහ ඇන්ඩෘ සයිමන්ඩ්ස්ය.