අපේ එල්ලේ ක්‍රීඩාව අයාලේ යන තැනට වැටෙයි | සිළුමිණ

අපේ එල්ලේ ක්‍රීඩාව අයාලේ යන තැනට වැටෙයි

ක්‍රීඩා රෙගුලාසි අනුව ගිණුම් වාර්තා විගණනයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වන වරදකට යටත්ව මූල්‍ය වංචා රාශියක් ගැන දිගින් දිගටම චෝදනා නැගූ ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ප්‍රධානින් තිදෙනෙකුට ජිවිතාන්තය දක්වා කිසිඳු ක්‍රීඩා සංගමයක නිලතල දැරීමේ තහනමකට ලක් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

එල්ලේ සම්මේලනයේ වත්මන් සභාපති ජයතිස්ස රුද්‍රිගු, ලේකම් ප්‍රියන්ත මද්දුමගේ භාණ්ඩාගාරික උදය ජයසිංහට මෙලෙස එල්ලේ සම්මේලනයේ හෝ වෙනත් කිසිඳු ක්‍රීඩා සංගමයක නිලතල දැරීමේ අයිතිය මෙලෙස අහෝසි කොට ඇතැයි වැඩි දුරටත් වාර්තාවෙයි.

2020 – 2021 යන වසරවලදී අයවැය විගණනයට ලක් නොකිරීමෙන් ක්‍රීඩා රෙගුලාසි උල්ලංඝනය කළ බවට තහවුරු විමෙන් මෙම තිදෙනාට ජිවිතාන්තය තෙක් තහනමට ගොනු කර ඇත. ක්‍රීඩා රෙගුලාසි අනුව ගිණුම් වාර්තා විගණනය නොකිරීම සම්බන්ධයෙන් වන වරදකදී ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව ජාතික ක්‍රීඩා සංගමයක සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරිකවරයකු වශයෙන් ධුරයක් දරා සිටි තැනැත්තකු වේ නම්, එවැනි පුද්ගලයකු යම් ජාතික ක්‍රීඩා සංවිධානයකට තෝරා පත් කර ගනු ලැබීමට හෝ එසේත් නැත්නම් ගෙවීම් ලබන හෝ නොලබන යම් ධුරයක් දැරීමට හෝ ගෙවීම් ලබන හෝ නොලබන යම් තනතුරක් දැරීමට හෝ යම් ජාතික ක්‍රීඩා සංගමයක කමිටුවක සාමාජිකයකු වීමට හෝ ජාතික ක්‍රීඩා සංගමයක අනුබද්ධ ක්‍රීඩා සමාජයක හෝ සංවිධානයක නාමිකයකු වීමට හෝ නුසුදුස්සකු විය යුතුය යන්න දක්වා තිබේ.

මේ තත්ත්වය මත එල්ලේ සම්මේලනය විසුරුවා එහි පරිපාලනය අතුරු කමිටුවක් යටතට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තුවෙන් සිටියද නිලවරණ කමිටුවක් යටතේ විධිමත් නිලවරණයක් පැවැත්වීමට ඉදිරි කාලයේදී සිදු වනු ඇතැයි අප කළ විමසුමකදී ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු පැවැසීය.

පසුගිය කාලය පුරා එල්ලේ සම්මේලනය තුළ විවිධ අර්බුද පැවැති අතර එහි සභාපතිවරයා වන ජයතිස්ස රුද්‍රිගු හා හිටපු ක්‍රීඩා ඇමැතිවරයා වෙත දීර්ඝ ලිපියකින් යොමු කරමින් එල්ලේ සම්මේලනය හොර ගුහාවක් ලෙස හඳුන්වා දී තිබේ. එබැවින් ක්‍රීඩාව බේරා ගැනීමට වහාම එල්ලේ සම්මේලනය අතුරු පාලනයකට යටත් කරන ලෙස ද ඉල්ලීම් කර ඇත.

මුදල් ඉපයීම එකම පරමාර්ථය කර ගත් පිරිසක් එල්ලේ සම්මේලනය තුළ අරක්ගෙන සිටින බවත්, මැර බලය යොදා නිලධාරීන් හා ක්‍රීඩා සමාජ මර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ප්‍රියන්ත මද්දුමගේ කරුණු දැක්වූවේය. එම පිරිස එල්ලේ සම්මේලනය ගන්නා සියලු ප්‍රගතිශීලී ඉදිරි පියවරයන් කඩා කප්පල්කොට සම්මේලනය තුළ හා ඉන් පිටත ව්‍යවස්ථා විරෝධී ලෙස හැසිරෙමින් සිටින බවත්, මූල්‍ය වංචා වලට ද වගකිවයුතු එම පිරිස සම්මේලනය තුළ සාමුහිකව කටයුතු නොකරමින් කල්ලිවාදය නිර්මාණය කිරීම කනගාටුදායක තත්ත්වයක් බවත් ක්‍රීඩා අමාත්‍යවරයාට ඉදිරිපත් කළ වාර්තාවෙන් දැනුම් දී ඇත.

සම්මේලනයේ විගණන වාර්තා දීම හිතා මතා ප්‍රමාද කිරීම, මිල ගණන් කැඳවීමකින් තොරව හිතුමතේ ලක්ෂ ගණන් වියදම් කරමින් කුසලාන හා පන්දු ගැනීම, දිස්ත්‍රික් එල්ලේ සංගම් පිහිටුවීමේදී විවිධ අයථා කටයුතුවල යෙදීම එල්ලේ ක්‍රීඩාවේ පරිහානියට හේතු වී ඇතැයි ලේකම්වරයා සිය ලිපිය මඟින් දැනුම් දී තිබිණි. එල්ලේ සම්මේලනයේ සභාපති ජයතිස්ස රුද්‍රිගූ ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මේ බව ලිඛිතවම දැනුම් දී තිබූ අතර එමඟින් සඳහන් කර ඇත්තේ සම්මේලනයේ නිලධාරියකු සම්මේලනයේ පොදු මුදල් තම පුද්ගලික ගිණුමකට බැරකොට ඇති බවත් එම මුදල් අවභාවිත කොට ඇති හෙයින් මේ පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙසය. එම නිලධාරියා තරග අයැදුම්පත් ගාස්තු පුද්ගලික ගිණුමකට බැර කොට ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්විණි. සම්මේලනයේ ගිණුම් වාර්තාවක් විගණනය කිරීම උදෙසා මුදල් ලබාගෙන ඇතත් එවැනි විගණනයක් සිදු කොට නැති බවට ද සභාපතිවරයා ක්‍රීඩා අධ්‍යක්ෂක වරයා වෙත දැනුම් දී ඇත.

මේ පිළිබඳ එල්ලේ සම්මේලනයේ සභාපති ජයතිස්ස රුද්‍රිගු ගෙන් විමසුවෙමු. ඔහු පවසා සිටියේ මම ඇමැතිතුමා දැනුවත් කර තිබුණත් අද වන විට අමාත්‍යාංශය මා දැනුවක් කර නැති බවයි. මේ වන විට කණ්ඩායම් 128කින් සමන්විතව ආරම්භ වු ජාතික තරගාවලිය තම පුද්ගලික වියදමින් පවත්වමින් සිටින බව පවසන සභාපතිවරයා කණ්ඩායම් 128න් කණ්ඩායම් 32ක් අවසන් වටයට තේරි ඇති බවයි. මේ වන විටත් අවසන් තරගාවලිය පැවැත් විමට දින නියම කරගෙන සිටියත් අපිට රටේ තිබෙන ව්‍යාකුලත්වය මත, මඳකට ප්‍රමාද විමට සිදුවු බවද පවසයි. 

විගණන වාර්තාව විගණනය කොට ඉදිරිපත් කිරිම වෙනුවෙන් මුදලින් රුපියල් 10,000 මුදලක් චාමර සේරසිංහ එල්ලේ සංගමයේ තරග සංවිධායකතුමා වෙත තම පුද්ගලික මුදලින් ලබා දුන්නද අද වන තුරු එම විගණන වාර්තාව ඔහු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව පවසන සභාපතිවරයා සංශෝධිත නව ව්‍යවස්ථාව හා තරග නීති රීති උදෙසා නිම කරන ලද පොත් පිංචෙන් මේ වන විට සම්මේලනයට ලැබී ඇත්තේ පොත් 60ක් පමණක් වන බවත් තවත් පොත් 200ක් පමණ ලේකම්වරයා සම්මේලනයට ලබාදීමට කටයුතු කර නැති බවත් පවසයි.

පසුගිය වසරේ අගෝස්තු මස නිලවරණයෙන් සභාපති බවට පත්වු පසු ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ලැබුණු රුපියල් 100,000ක අනුග්‍රාහක මුදල හා එවකට සම්මේලනය සතුව තිබු රුපියල් 12,000ක මුදල ද, ලේකම්වරයා පොත් පිංච මුද්‍රණයට රැගෙන ගියා. 2019 වසරේ පැවැත්විමට නියමිත වු ජාතික තරගාවලිය 2020 වසරේදී නිම කළේ රුපියල් ලක්ෂ 500,000ක මගේ පුද්ගලික වියදමින්. වසර 5ක කාළයක් පවත්වන්න බැරි වුණු අන්තර් ආයතන තරගාවලිය 2020 වසරේදී සංවිධානය කිරිමට මගේ වියදමින් කටයුතු කළා. එල්ලේ පුහුණුකරුවන් පුහුණු කිරිමේ වැඩ සටහන් ගණනාවක් වවුනියාව, යාපනය හා කොළඹ කේන්ද්‍ර ගත කරමින් පැවැත්වු බවත් වැඩි දුරටත් පවසයි. මගේ නිල කාලය තව මස කිහිපයකින් නිමා වුණත් මම මගේ පුද්ගලික වියදමින් 2022 වසරේ ජාතික තරගාවලිය අවසන් කරමින් සිටින බවත් පවසයි.

තමා එල්ලේ සම්මේලනයේ සභාපතිවරයා ලෙස වැඩ බාර ගනිද්දී සම්මේලනයේ වත්කම් ප්‍රමාණය බිංදුවට හිඳි තිබුණු බවත්, ක්‍රීඩා අමාත්‍යංශයෙන් පවා මුල්‍ය අනුග්‍රහයක් නොකළ බවද හෙතෙම වැඩි දුරටත් පවසයි.

ඉහත කරුණු විග්‍රහයේදී එල්ලේ සම්මේලනයේ අපහරණයට වගකිව යුතු යම් නිලධාරින් පිරිසකගේ නම් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමු කර ඇති මොහොතක සම්මේලනයේ ප්‍රධාන වගකීම් දරන නිලධාරීන් තිදෙනා තහනමට ලක් කර ඇත. මෙසේ මෙරට ඉපැරණිත ම ක්‍රීඩාවක් හා ජන ක්‍රීඩාවක් වන එල්ලේ ක්‍රීඩාව මං මුලා වී අයාලේ යන තැනට වැටී ඇත.

Comments